Friday, January 20, 2017

වත්ත බද්දට දී ඇස්සට දත නියවීම හෙවත් “හරිත විප්ලවය” වමාරා කෑම


Image result for images human evolution fast food

අපේ පැරැණි සමාජයේ මුතුන් මිත්තන් තිරසාර ජිවන රටාවට හුරුවූයේ දේශීය සංස්කෘතිය තුළින් උරුම වූ සම්ප්‍රදායික දැනුමේ ශික්‍ෂණය නිසා ය. ස්වභාවධර්මයේ මූලික නීති වලට අනුගතව එහි අපිරිමිත බලයට ගරු කරමින් එහි සම්පත් තිරසාරව භුක්ති විඳීමේ හුරුව ඔවුන් ගේ ජිවන කුසලතාවක් ලෙස පරපුරෙන් පරපුරට නොනැසී පවතින සම්ප්‍රදායක් බවට පත් විය. ස්වාභාවික වාසභූමි හා ඒවායේ සම්පත් සමඟ ඒකාත්මික වී පැරැණි සමාජය මෙරට තුළ වනගහනය අඩු වීමත් සමඟ සම්ප්‍රදායික ජනජීවිතය තුළ සංස්කෘතික උරුමය අවදානමකට ලක්විය. මේවන විට 29% ක්‌ දක්‌වා හීන වීමත් ඊට සාපේක්‌ෂව ඉදිවන කොන්ක්‍රීට්‌ නගර ව්‍යාපෘතීන් විධිමත් නොවන පරිදි ගොඩනැගීමත් නිසාවෙන් දිනෙන් දින උග්‍ර වන පාරිසරික ගැටලු පිළිබඳව අවදිවීමට සිදුව තිබේ. බෞද්ධ සංස්‌කෘතික සමාජ පරිසරයක්‌ තුළ ඊට ආවේනික ව ගොඩනගා ගන්නා ලද ආහාර පිළිබඳ සිරිත් විරිත්, මානව ධර්මතා හා සමාජ වටිනාකම් බොහොමයක්‌ම පවතින බවත් ඒවා මිනිසා සහ ස්වභාවධර්මය අතර යහපත් අන්‍යොන්‍ය සම්බන්ධතාවකට හේතු වූ බවත් පෙනේ. අනෙක්‌ අතට මෙරට ප්‍රචලිතව තිබූ දේශීය වෛද්‍ය ක්‍රමයට මූලික වශයෙන් පදනම දමා ඇති ආයුර්වේදයේ මූලික අරමුණ වන්නේ සත්වයාගේ පැවැත්මට උපයෝගී කරගන්නා විද්‍යාව ලෙසත්, දීර්ඝායුෂ පිළිබඳ උපදේශය ලෙසත් ය. අපේ පැරණියන් සිය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා යොදා ගත්තේ ස්වාභාවික වන සම්පත් බවට කියැවෙන කදිම උදාහාරණයක්‌ රොබට්‌ නොක්‌ස්‌ගේ එදා හෙළ දිව පොතෙහි දැක්‌ වෙයි. “ඖෂධ පැළෑටිවලින් ලක්‌ වැසියන් හට කිසිම අඩුවක්‌ පාඩුවක්‌ නැති. බෙහෙතක්‌ ගත වූ කළ ඔවුන් යා යුත්තේ කැලෑවටය. එහෙයින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේ ය.”

එහෙත් බටහිර වෛද්‍ය ක්‍රමයේ ආගමනයෙන් පසු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා දියුණු වූ නමුත් දේශීය උරුමයන් හෙළා දැකීමේ අඩුවක් පෙනෙන්නේ නැත. ඉන් ප්‍රධාන තර්කයක් වන්නේ යුරෝපීය වෙදකම මෙරට එන්නට පෙර අපේ රටේ මිනිසුන් ඉතා අඩු වයසින් ජිවිත කාලය අවසන් කළ බවයි. බටහිර වෛද්‍ය ක්‍රමය පැමිණි පසු අපේ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩිවී ඇතැයි යන මිථ්‍යාවට හොඳම පිළිතුර රෝම අධිරාජ්‍යයේ විසූ ප්ලීනි (Pliny) ක්‍රි.ව. 77-79 අතර කාලයේදී ලියු "Natural History" හි ශ්‍රී ලංකාවේ ජීවත් වන මිනිසුන් අවුරුදු 100 ක්‌ ජීවත් වන බව සඳහන් කර තිබීමයි. ප්ලීනි ජීවත් වූ රෝම යුගයේ මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 30 - 40 ක්‌ පමණ වී ඇතැයි සොයා ගෙන තිබෙන අතර එකල රෝමයේ ඉපැදුණු ළමයින්ගෙන් හරි අඩක්‌ම අවුරුදු 10 කට වඩා ජීවත්ව නොසිටි බවට සාක්‌ෂි ඇත. බටහිර ජාතීන්ගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වුණු රෝම ශිෂ්ටාචාරයේ ජීවත් වූ මිනිසුන්ගේ පමණක්‌ නොව, 18 වන සියවස වන විට හිරු නොබසින අධිරාජ්‍යයේ (මහා බ්‍රිතාන්‍යයේ) වැසියෙකුගේ සාමාන්‍ය ආයු අපේක්‌ෂාව වී ඇත්තේ වසර 40 කි. දහතුන් වන සියවසේ දඹදෙනිය රාජධානි සමයේ දී පවා මෙරට අවුරුදු 160 ක්‌ ආයු වැළඳු අය සිටි බවත් සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100 ක්‌ බවත් ධර්මසේන මාහිමි විසින් රචිත සද්ධර්මරත්නාවලියෙහි පතිපූජීකා වස්‌තුවෙහි දැක්‌වෙයි. මෙරට පැරැන්නන් විඳි නිරෝගි සුවය සහ ඔවුන් ගේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳ සාක්‌ෂි කලින් කලට මෙරටට ආ ගිය විදේශිකයින් විසින් තැබූ සටහන්, ලේඛන වලින් පවා පැහැදිළි වෙයි. ක්‍රිස්‌තු වර්ෂ 1660 සිට 1679 දක්‌වා මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ රොබට්‌ නොක්‌ස්‌ විසින් ලියන ලද ''එදා හෙළ දිව'' (පරිවර්තනය) නම් කෘතියෙහි ද ඒ පිළිබඳව ලියෑවුණු සටහනක්‌ මෙසේය. ''ලක්‌වැසියෝ සාමාන්‍යයෙන් අවුරුදු අසූවක පරමායුෂ ඇත්තෝය. අසූවෙහිදීත් ඔවුහු දුර්වල නො වෙති. කන්දේ රජුගේ සහෝදරිය අවුරුදු සියයකට ළං වන තුරු ම ජීවත් වූවාය. කොතරම් මහලු වුව ද ඔවුහු නිරෝග ශරීර ඇත්තෝ ය.'' වයස අවුරුදු 40 ක්‌ 50 ක්‌ පමණ ජීවත් වීම උරුම කර ගත් තත්කාලීන බටහිරයින්ට වසර 100 ක්‌ ජීවත් වන මිනිසුන් ජීවත් වන රටක්‌ තිබීම යනු ඇදහිය නොහැකි ආශ්චර්යයක්‌ ම වූ නිසා සේද මාවතේ පිහිටි අපේ රටට විජාතිකයින් ආවේ ගියේ මුතු මැණික්‌ අලි ඇතුන් පිළිබඳ සොයා බැලීමට පමණක්‌ නොවන බව අප තේරුම් ගත යුතු වේ. 

මානව විද්‍යාවට අනුව නූතන මිනිසා මහ පොළොව මත බිහි වී දැනට වසර ලක්‌ෂයක පමණ කාලයක්‌ ගත වී ඇති අතර, ඉන් වසර 90,000 ක්‌ම ගත කොට ඇත්තේ ශිලා යුගයේ නොහොත් පැලියොලිතික යුගයේ දඩයක්‌කාරයින් සහ ආහාර ද්‍රව්‍ය රැස්‌ කරන්නන් ලෙසයි. ඒ යුගයේ විකසනය වූ වර්ධනය වූ ජාන වල ලක්‌ෂණ අපගේ මුතුන් මිත්තන්ගේ පරිසරයට විශේෂයෙන් ඔවුන්ගේ ආහාර වලට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පරිණාමය වූ අනුවර්ථනය වූ හෙයින් ඒවා වෙනසකට ලක්‌ වී නොමැති බවත් නූතන මානව විද්‍යාඥයින් අවධාරණය කරයි. එබැවින් ඒ යුගයේ අනුභව කළ ආහාර වලට සමාන ස්‌වභාවික (කාබනික) එළවළු හා පලතුරු බහුල වශයෙන් ද, අල වර්ග, ඇට වර්ග, හා මී පැණි වැනි ස්‌වභාවික පැණි වර්ග මධ්‍යස්‌ථ ප්‍රමාණයෙන් ද, ඉඳ හිට වන සතුන්ගේ මස්‌, බිත්තර හා මාළු වර්ග ද ඒ අතීත ආහාර වේලෙහි අඩංගු විය. මෙරට තුළ පරිණාමය වුණු ජනතාවට අන් බොහෝ රටවල්වලට නොමැති පෝෂණ හා ඖෂධීය ගුණයෙන් සරු ආහාර වර්ග භුක්‌ති විඳීමේ භාග්‍යය ලබා ඇත. ක්‍රිස්‌තු පූර්ව දහවන සියවස වන විටත්, මෙරට ජනතාව ගින්දර සහ මැටි භාජනයන් භාවිතය දැන සිටි බව තහවුරු වී ඇතී හෙයින් අපේ මුතුන්මිත්තන් ගේ අතීත ජිවන රටාව කෙතරම් පරිසරහිතකාමිදැයි දැයි සොයා බැලීම වැදගත්ය. දඩයම් යුගයේ දීම ශරීරයට හානියක්‌ නොවන ආහාර වර්ග හඳුනා ගැනීමටත්, පිළියෙල කර ගැනීමත්, ඒවා අතර තිබෙන විෂ හඳුනා ගැනීමටත්, ඒවා ආහාරයට ගත යුතු ආකාරය, නොකෑ යුතු අවස්‌ථාවන්, ඒවායේ රෝග නිවාරණ සහ රෝග සුව කිරීමේ ගුණයන් පිළිබඳවත් මනා නිපුනතාවයක්‌ තිබී ඇත. මෙම දැනුම වැඩි දියුණු වෙමින් පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වීමක්‌ ද සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. අපගේ පැරැන්නන් පිළිකාව, දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග වලින් වැළකී සියක්‌ ආයූ වැළඳීමේ රහස ඇත්තේ පරිණාම ක්‍රියාවලිය තුළ අවුරුදු දස දහස්‌ ගණනක්‌ පුරාවට ඔවුන් විසින් ප්‍රගුණ කොට අනුභව කළා වූ විවිධත්වයෙන්, විචිත්‍රත්වයෙන් අනූන සහ සංඛ්‍යාත්මකව වැඩි ආහාර වර්ග තුළ අන්තර්ගත වන සහ නිසැකයෙන්ම අන්තර්ගත විය හැකි සමබල පෝෂ්‍ය පදාර්ථ, ශාක රසායනිකයන් සහ ජෛව පදාර්ථ වල අනුහසින් බව පැහැදිළි වෙයි. ජීවන රටාව හා බැදී තිබෙන කවර රෝගාබාධයක්‌ සඳහා වුව හේතුවන ප්‍රධාන කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා අතරින් ආහාර පරිභෝජනය සහ ක්‍රියාශීලී ජීවන රටාව මූලික වෙන බව මතකයේ තබා ගත යුතුම වේ. අපට අහිමි වූ, සෞඛ්‍ය සම්පන්න ජීවිතය, පෝෂණය යළි ලබා ගැනීම උදෙසා අප ඉහත කරුණු ගැන දැන ගැනීම අවශ්‍යයෙන්ම වැදගත් වන බව කිව යුතුව තිබේ.

බටහිර ජාතීන් තම දිගු කාලීන සූරා කෑමේ උවමනාවන් සාක්‌ෂාත් කර ගැනීමට තිබුණු ලොකුම බාධාව බවට මෙරට ජනයා සතුව පැවති නිරෝගී කම හා පෝෂණීය ආහාර බව හොඳින්ම හැඳින සිටියහ. උඩරට අල්ලා ගත් පසු, ඌව වෙල්ලස්‌ස පෙදෙස්‌වල නිල ගමනකට සහභාගී වූ ''බ්‍රවුන්රිංග්'' ආණ්‌ඩුකාරයා මෙම නිල ගමන, යටත් විජිත භාර මහ ලේකම් වරයාට වාර්තා කළේ මෙසේය. ''වංශාධිපති තුමනි, ඌව වෙල්ලස්‌සට ගිය මගේ ප්‍රථම නිල ගමනින් පසු මගේ හිත තුළ බලවත් හැඟීමක්‌ ඇති විය. ඌව සහ වෙල්ලස්‌ස, ලක්‌දිව වනෝද්‍යානයක්‌ යයි මට කිව හැකිය. එහි සෑම ප්‍රදේශයක්‌ම ගොවිතැන් කොට තිබේ. මුලු ප්‍රදේශයම පලතුරු ගස්‌ වලින් පිරී පවතී. වංශාධිපතිතුමනි, ඌව වෙල්ලස්‌සේන් නිපදවන වී වලින් මුළු රටම ස්‌වයංපෝෂිත කිරීමට හැකි වනවා පමණක්‌ නොව, ඉන්දියාවටද සහල් සැපයිය හැකිය.'' එසේ කියූ ඔවුන් අපේ රටේ ආහාර සංස්‌කෘතිය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ පරිභෝජන රටාව සැලසුම් සහගතව කෙටි කලෙකින් විනාශ කර දැමූ ආකාරය 1818 වෙල්ලස්‌සේ කැරැල්ලේන් පසු ඉහත බ්‍රවුන්රිංග් ආණ්‌ඩුකාරයාම යටත් විජිත මහ ලේකම්ට ලීවේ මෙසේය. ''සියලු වාරිමාර්ග ක්‍රම විනාශ කරවා ඇත. පලතුරුවලින් පිරුණු ගස්‌ කපා දමා තිබේ. මුළු පළාතම පාලු වී ඇත. වයස අවුරුදු 18 ට වැඩි වයසේ සිංහල මිනිසුන් මරණයට පත් කොට ඇත. ඌව වෙල්ලස්‌ස දෙපළාතෙම බිත්තර වී සොයා ගැනීමට අපහසුය'' එහෙත් පරාධීන යුගයේ පවා නොමැරී තිබු අපේ ගැමියන් ගේ පරිසරහිතකාමී සොබාවාදය වැනසීමට බ්‍රිතාන්‍ය රජය ගත් වෑයම 1920 ගනන් වලදී බදුල්ලේ කච්චේරියේ රාජකාරී කළ රොබට්‌ නම් ඒජන්ත කෙනෙකු පවත්වාගෙන ගිය දින පොතක ඇති මේ සටහනෙන් පෙනේ. ''ඌවේ මිනිස්‌සු හරි කපටියි. ඔවුන් අපි කියන දෙයක්‌ පිළිගන්නේ නෑ. ඔවුන් අපි දිහා බලන්නේ සැකයෙන්. පහළ ඌවට ජලය හිඟ කිරීමට කළ හැකි එක්‌ ක්‍රමයක්‌ තමයි, අපේ තේ වතු ආශ්‍රිතව, විශේෂයෙන් ''ටර්පන්ටයින්" වැනි ජලය උරා ගන්නා ගස්‌ වැවීම. එවිට ඒ අයත් අපව අනුගමනය කරනවා ඇති. කල් යැමේදී අපි බලාපොරොත්තු වන ජල හිඟය ඉබේම ඇති වේවි''.

අධිරාජ්‍යවාදීන් ගේ පාලනය තුළ පරාධීනව සිටි යුගයේ ගිලිහුණු ජාතික සංස්කෘතික උරුමයන් හා බටහිර ගැති අනුකාරකවාදයට ඇති ලැදියාව සූක්‌ෂම ලෙස මුළු සමාජයම අවනතියට තල්ලු කොට අවසන්ය. පාරම්පරිකව පරිණාමය වෙමින්, සොබා දහමෙන් සුපෝෂණය වූ ඒ විශිෂ්ට ආහාර වේලෙහි උරුමය අපගේ පැරණි සංස්කෘතියේ අංගයක් විය. යටත් විජිතවාදීන් ශ්‍රී ලාංකිකයින්ගේ ගමන ආපසු හරවා ඇත. සියල්ල බිමට සමතලා කරන මහා සංවර්ධනය පරිසරය වනසමින් ඉදිරියට යන අතරේ වාණිජකරණය වූ පරිභෝජනවාදී ජිවන රටාව ඉතා රුදුරු ලෙස සමාජය ගිලගනිමින් සිටී. හිරු සඳු තාරකා ගංගා ඇලදොළ සතා සීපාවා ගහකොළ මහ පොළොව නොඉඳුල් ස්‌වභාවිකත්වය මුලිනුපුටා දැමූ ආහාර රටාවක්‌ වසංගතයක්‌ව මිනිසා ගිලගෙන පැතිර යමින් තිබේ. දෛනිකව උග්‍රවෙමින් පවතින කෙමෙන් අපව මරණය කරා ගෙන යන ලෙඩ රෝග බහුල වෙමින්, බත් කනවාට වඩා බෙහෙත් පෙති ගිල දමන තත්ත්වයකට අපව පත් කර ඇත්තේ, ඉවක්‌ බවක්‌ නොමැතිව කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ, ජාන වෙනස්‌ කළ, කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් යෙදූ, ක්‌ෂණික ආහාර සහ පෝෂණ විෂමතාවයෙන් යුතු වැරදි ආහාර භාවිතයට ගැනීම නිසාවෙනි. අධිරාජවාදීන් තමන්ගේ අනාගත ආහාර සහ වෙළෙද අවශ්‍යතාවයන් සාක්‌ෂාත් කර ගැනීම උදෙසා අපේ රටේ පැවති කෘෂි සංස්‌කෘතිය ඊනියා කෘෂි කර්මාන්තයෙනුත්, වාරි ශිෂ්ටාචාරය වාරි මාර්ග, කොන්ක්‍රීට් වේලි සහ සහ වාරි යෝජනා ක්‍රම මගිනුත් මේ භූමියෙන් මුලිනුපුටා දමන ලදි. ඔවුන් අපේ විශිෂ්ට ස්වාභාවික තිරසාර පරිසරහිතකාමි ආහාර පරිභෝජන රටාව මෙන්ම උසස්‌ පෝෂණීය ගුණදායි ආහාර වර්ගද මෙරටින් අතුරුදහන් කළෝය. 

මෙරට උසස්‌ බීජ වර්ග ඒවායේ ජාන සම්පතද සමගම කොල්ල කා ගත් ඔවුහු අපේ ගොවින් මෝඩ අනුකාරකවාදී නිවටුන් බවට පත් කර, ඔවුන්ගේ උපදෙස් අනුව කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් බවට පත් කළහ. සාමන්‍ය ජනතාව සුදු පාන් පිටි, කිරි පිටි, ඇපල්, මිදි, ටින් මාළු, කෝලා බීම, මීට්‌ බෝල්, සොසේජස්‌, සීරියල් යනු සුපිරි ආහාර යෑයි හිතන මතන ඒවා මත යැපෙන සුපර් මාර්කට්‌ පාරිභෝගිකයින් බවට පත් කොට ඇත. ජනතාව ඒවා බදා වැළඳගෙන ඇත්තේත් ඒවා තමන්ගේ දරුවන් හැට දෙන්නෙත් ඒවායේ අවදානම පිළිබඳ නොදන්නා කමමෙන්ම ඒවාට සුදුසු දේශීය විකල්පයන් සුලබ නොවීම නිසාවෙනි. අපගේ ජාන හුරු වූ ස්‌වභාවික සම්ප්‍රදායික ආහාර වල වටිනාකම සහ ගුණ මහිමය සහ ඒවාට නිසි සුරක්‌ෂිත ඉහුම් පිහුම් ක්‍රම පිළිබඳ නොදන්නා කම නිසාවෙන් ඒවායින් මිදී නවීන මාදිලියේ සැකසුම් ඇසුරුම් කළ ආහාර වලින් යැපෙන්නට පුරුදු වී තිබේ. එම සම්ප්‍රදායික භෝග සහ ඉබේ වැවුණු ආහාර භෝග සුරක්‌ෂිත කර නොගත් නිසාවෙන් සහ වැඩි දියුණු කළ ජාන වෙනස්‌ කළ දෙමුහුන් කළ භෝග වර්ග පමණක්‌ වගා කිරීම නිසාවෙන් ඒවායේ ජාන සම්පතද පිරිහී ගියේය. ඒ අනුව අද දවසේ අප වගා කරන බණ්‌ඩක්‌කා ඇටයේ, ගස්‌ ලබු ඇටයෙ පටන් අල ගෙඩිය දක්‌වා සියල්ල පිටරැටියන්ගේ ය. ඒවා සඳහා අවැසි කෘෂි රසානික ද්‍රව්‍යයද ඒ කෘෂි රසායනික වල සඟවා ඇති සමූල ඝාතක වස විස ද උන්ගේ ය. පස සකස්‌ කරන උදැල්ල ද, සීසාන නඟුල ද උන්ගේ ය. අස්‌වැන්න නෙලන සුනාමිය වැනි යන්ත්‍ර සූත්‍ර ද, අස්‌වැන්න අසුරන ගෝනිය ද, ඒ ගෝනිය මසන ගෝනි කටුවද, නූල් ද උන්ගේය. එහෙත් මෙකී විජාතික සරණ ගිය ආහාර අනුභවයෙන් අප කරා පැමිණෙන රෝග පීඩාදීන් ලැගුම් ගන්නේ අපගේ ශරීර වලය. ඒවායින් මියැදෙන්නේ අපේ මිනිසුන්ය. ඒ රෝග පීඩාදීන් සඳහා බොන බෙහෙත් පෙත්ත ද අවසානයේ අවයව බද්ධ කරන්නට පණ රකින්නට එවන යන්තර ද උන්ගේ වන අතර, ඒවාට ගෙවන්නේ අපේ මුදල් ය. 

කුසගින්නේ සිට මියැදීම තරම් තවත් පාපයක් හෝ මනුෂ්‍යත්වයට අවමානයක් මේ මිහි පිට නැති වුවත් මේ මොහොත වන විටත් ලෝකයේ අති විශාල ජනකායක් කුසගින්නේ මිය යනවා ඇත. දේශගුණික හා කාලගුණික විපර්යාසයන් නිසා ලෝක ජනගහණයෙන් හරි අඩකටත් වඩා දුර්භීක්ෂයන් හේතුවෙන් අන්ත අසරණව සිටී. කෝටි 620ක් තරම් වූ ලෝක ජනගහණයෙන් මිලියන 800ක් පමණ මේ වන විට හාමතේ මියදෙමින් සිටී. වසරේ සෑම දිනකම අප්‍රිකානු, ආසියානු හා ලතින් ඇමරිකානුවන් 60000කට අධික ප්‍රමාණයක් කුසගින්න දරාගත නොහැකිව මිය යයි. මිනිසා විසින් පරිසරය වෙත එල්ල කරන අනිටු බලපෑම් හේතුවෙන් දිනෙන් දින ආන්තික කාලගුණික තත්වයන් නිර්මාණය වන අතර ගෝලීය උණුසුම ඉහළ යමින් ලෝකය තුල උග්‍ර ආහාර හිඟයක් ඇති වෙමින් පවතී. ක්‍රි.ව. 2000න් මෙපිට මෙම තත්වය තවදුරටත් දෙගුණ, තෙගුණ වෙමින් පවතී. ලෝක ජනතාවගේ ප්‍රධාන ආහාර සම්ප්‍රදායට වග කියන සහල්, තිරිඟු, ඉරිගු හා සෝගම් වගාවන් උග්‍ර පාරිසරික ව්‍යසනයන් හේතුවෙන් දැඩි තර්ජනයකට ලක්ව පවතී. චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, මියන්මාරය වන් ලෝක ආහාර නිෂ්පාදනයේ නියමුවන් මේ වන විටත් දැඩි නියං, ගංවතුර, සුළි කුනාටු වලට කොටුව බැට කමින් සිටී. අප්‍රිකානු මහද්වීපික ඇතැම් රටවල් දැඩි නියඟය හා නොනවතින යුධ ගැටුම් හේතුවෙන් උග්‍ර සාගතයකට මුහුණදෙමින් සිටී. මෙලෙස ආහාර හිඟයෙන් බැට කන අහිංසක ජනතාව බේරාගැනීමට ලෝක ආහාර සංවිධානය වැනි සංවිධාන ලොව ප්‍රබල රට වලින් ආධාර උපකාර ඉල්ලමින් සිටී. ලෝකය තුල එලෙස සිදුවෙද්දී අප රට තුලද මන්දපෝෂණ තත්වයන් යළි හිස ඔසවමින් පවතින බවත් මෙයට අප රටේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා ගොදුරුව ඇති බවත් මෑත සමීක්ෂණ ප්‍රතිඵල විදහා දක්වයි. අද අපි වසරක් පාසා අත් දකින නියඟය හා ගංවතුර ආදී ආන්තික කාලගුණික තත්වයන් ගම්බද ගොවිතැන් කරමින් දිවි ගෙවන දිළිඳු ජනතාවටද නාගරිකව වෙසෙන මිළ මුදල් ඇත්තවුන් ට ද එක ලෙස බලපා ඇත. 

කාර්මික විප්ලවය, හරිත විප්ලවය හරහා පාරිසරික තිරසභාවය තුට්‌ටුවකට මායිම් නොකරන නූතන සංවර්ධනය හා සංවර්ධනයේ දර්ශක රාජ්‍ය ප්‍රතිපත්ති තුළ මුල් බැස ගනිමින් තිබේ. ඒවා ජනතාවගේ නොදැනුවත්කම නිසාවෙන් දේශපාලනයේ ජනප්‍රිය සටන් පාඨ බවට පත්ව තිබේ. අපෙන් ඈත් වුණු සම්ප්‍රදායික ආහාර කෙරෙහි අපගේ අවධානය වඩා වැඩියෙන් යොමු විය යුතු යුගයක ආනයනික ආහාර සඳහා විදේශ විනිමය වැය කරමින් සිටිමු. හරිත විප්ලවය ජනතාව මරාගෙන මැරෙන තත්ත්වයකට පත් ව කෘෂිකාර්මික වකුගඩු රෝගය මාරාන්තික ලෙස ගොවිබිම් බිලි ගනිමින් තිබේ. යෙදවුම් සඳහා වැය වන අධික වියදම ගොවීන්ට දරා ගැනීමට නොහැකි වීම නිසාවෙන් පමණක්‌ නොව, පරිසරයට සහ ආහාර භෝග වලට එක්‌කළ අධික වස විස කන්දරාව, ඉවක්‌ බවක්‌ නොමැති පරිසර විනාශය, භෝග විවිධත්වය, මෙන්ම ස්‌වභාවික ආහාර භෝග වඳ වීම ද නිසාවෙන් එය අද දවසේ සම්භාවනාවට පාත්‍ර වන්නේ නැත. අපේ රටට ආවේනික මහා කෘෂි සංස්‌කෘතිය, වාරි ශිෂ්ටාචාරය, මෙරට මහ පොළොවට ගැළපෙන හීය, දේශගුණයට ඔරොත්තු දෙන දේශීය බීජ, සුවදායක පරිසරය හා පරිසරයට හිතකර කෘමි සතුන්, පාංශු ජීවීන් හා ක්‌ෂ්‍රද්‍රජීවීන් ගොවීන්ගේ සම්ප්‍රදායික දැනුම හා සාරධර්ම හරිත විප්ලවය සහ නව ලිබරල් ආරථීක ක්‍රමවේද නිසාවෙන් අපි අහිමි කර ගත්තෙමු. මේ ඛේදවාචකය යළිත් වෙළෙන්දන් ගේ තෝතැන්නක් බවට පත් කොට මුදලට යට වූ ජන මාධ්‍යය එහි නව සංස්කෘතික විලෝපනයක් බිහි කරමින් සිටියි.



විවිධ ප්‍රභව වලින් ලබාගන්නා වූ ආහාරමය පදාර්ථයන් ගණන වැඩි වන්නට අපි පෝෂ්‍ය විවිධත්වය හා පෝෂණ සුරක්ෂිතතාව අතින් පොහොසත් වූවෝ වෙමු. ඒ නිසා වූවේ භෝජන රටාවන් හා රජරට භෝජන රටාවන් අතරත්, යාපා පටුනේ හා රුහුණේ ආහාර රටාවන් අතරත් විවිධ වෙනස්කම් තුළින් අපේ ප්‍රාදේශීය ජන සෞඛ්‍යය හා පෝෂණය ඔවුන්ගේ සම්පත් මතින් ආරක්ෂා විය. නෙළුම් කොළේ බත් කෑමත්, කෙසෙල් කොළේ බත් බැදීමත්, පුවක් කොළපුවේ බත් බැදීමත් පිටුපස බොහෝ සමාජ පාරිසරික දර්ශයන් පවතී. එහෙත් අද නගරයේ අවන්හල් තුළ විකිණෙන නෙළුම් කොළයේ බත් යනු සමාජයේ ජනප්‍රිය භෝජන විලාසයක් විනා සංස්කෘතික හරයන් මත නිපැයුණු පුරුද්දක් නොවේ. මග තොටේ නෙළුම් කොළේ බත්, කෙසෙල් කොළේ බත්, ගමේ විදියට කෑම, පොල් අතු බත් කඩේ ආදී ලොකු පුවරු ගැසූ කඩවල් නොහොත් ආපන ශාලා දක්‌නට ලැබුණ ද නෙළුම් කොළේ, කෙසෙල් කොළේ, පොල්අතු බත් කඩේ විකිණෙන්නේ අපේ අතීතකාමයයි. ශීතකරණ නොමැති අතීතයේ පොදු ජනතාව බොහෝ දුරක් ගෙවා පයින් ගමන් යන කල සිය කුසගින්න නිවා ගැනීමට ආහාර ඇසුරුම් ක්‍රම ගැන අවධානය දැක්වූහ. කෙසෙල් කොළයේ බෙදන ලද බත් මුලක්, පුවක් කොළපුවේ බදින ලද බත් මුලක් අද පොලිතීන් සිවියකින් ඔතා පහසු කරනු ලැබුවද එයින් මතුවන අයහපත් විපාක වලින් මුළු සමාජය ම පීඩා විදි යි.

එසේ නම් අනාදිමත් කාලයක සිට මුතුන් මිත්තන්ගෙන් සාම්ප්‍රදායිකව පැවතගෙන ආ අපගේ උතුම් වූ ආහාර සංස්කෘතියට කුමක් වීද? බහු මාධ්‍යය හරහා ලෝකය අතැඹුලක් වීමෙහි ප්‍රථීපලයක් ලෙස ඇස ගැටෙන ඕනෑ එපා සෑම දෙයක්ම බදාගන්නට යෑමේ ඵලවිපාකයන් ඇස්පනා පිට අපට ඵලදෙන්නට පටන් අරගෙන හමාරය. රටේ හතු පිපෙන්නාක් මෙන් බිහිවන සුපිරි වෙළඳ සල් හා බැලු බැලූ පැත්තේ ඇරෙන සුපිරි අවන්හල් ය. නිවසේ කෑම ටික පිලියෙල කරගන්නට මැලි කමක් දක්වන ගෘහණියන් ගේ හැඳි මිටේ නුවණත් හමාර වී ඇති හෙයින් ඔවුන්ගේ රස නහර පිනවන්නට නිවසෙන් පිට ක්ෂණික ආහාර ඇති පදමට ඇත. මෙරට ජනතා සෞඛ්‍යය නගා සිටවූ සාම්ප්‍රදායික ජිවන ක්‍රමය බහු ජාතික කූට වෙළදුන්ගේ ග්‍රහණයට හසු වී ඇති අතර අපේ ආවේනික වූ පෝෂණ සංස්කෘතිය දරුණු ත්‍රස්තවාදයේ ගොදුරක් වී හමාරය. අපේ දේශීය ගොවි කමේ පදනම බදු වූ කොටු, කොරටු, හේන්ද, ගෙවතු, බඩවැටි, ඕවිටි ද ස්වභාව දහමෙන් අපට දායාද වූ තෙත් බිම්, විල්ලු, කලපු, ගංගා හා ඇල දොල කිසිදාක අපව හාමතේ තබන්නේ නැත. එබැවින් ආර්ථික සම්බාධක පැනවීමෙන් අපේ රටේ ගැමියන් ගේ දේශීය සමෘද්ධිය උදුරා ගත නොහැකි වුවත් ඔවුන්ගේ ආකල්ප සිතුම් පැතුම් වෙනස කිරීමෙන් ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් විතැන් කොට අවසන්ය. 

අපේ පැරැණියෝ අගනා ජල බැදි ශිෂ්ඨාචාරයක් අපට උරුම කර දුන් අතර දිය පහරවල් අවහිර නොකර පහළ මිටියාවත් වල වැව් බැඳ ගොවිතැන් බත් කළෝය. මේ සියල්ල අපේ කෘෂි ජෛව විවිධත්වයේත්, සංස්කෘතියේත් මුදුන් මූලයන් ලෙස අප බතින්, බුලතින් හා පළතුරින් පිරී ඉතිරී ගිය ජාතියක් බවට පත් කළේය. එහෙත් අද වාණිජකරණය වූ මාධ්‍ය විසින් පෝෂණය කර නානාප්‍රකාර මාධ්‍ය කලාවන්ගෙන් ඔතා හැඩ ගැන්වූ ප්‍රචාරක දැන්වීම් අහිංසක පාරිභෝගිකයාගේ ඔළුව හිරි වට්ටමින් ලබා දෙන ආහාරයන්ගේ අගය හා එහි විවිධත්වය සූක්ෂම ආකාරයෙන් වෙනස් කොට ඇති අතර ඒවායේ ගුණාත්මය තුට්ටුවකට මායිම් කළ නොහැකිය. මෙසේ පිට ඔපයට මං මුලා වූ ශ්‍රී ලාංකික ජාතියම අද අඳුරේ ගිලී ඇත. පොලු මුගුරා අමෝරාගත් කිරි පිටි හා පාන් පිටි වෙළදුන්ට අනේක වාරයක් හිස නමමින් නොවටිනා මිලකට වස විස කමින් බොමින් මුහුදට දත නියවන ජාතියක් බවට අප පත්කර හමාරය. හාල්, පරිප්පු, පාන්පිටි, සීනි හා කිරිපිටි අත්‍යාවශ්‍ය ආහාර ලෙස සලකමින් විදේශයන්ට ගැත්තන් වී සිටින්නේ ඉන්නක් නිකන් ඇන්නත් පැලවෙන රත්තරං මහ පොලොවක් අප සතුව තිබියදීත්ය. තවමත් අප බොහෝ ප්‍රමාද නැත. වහ වහා අපගේ පාරම්පරික ආහාර සංස්කෘතිය වෙත දෑස් විවිර කල යුතු කාලය පැමිණ ඇත. අප කල යුත්තේ වසර දහස් ගණනක සිට අපට උරුම අපගේ පාරම්පරික ඥානය වල් වැදීමට නොදී තවදුරටත් පරිණාමය කිරීමයි. මිනිසා හා චිමපන්සින් අතර ජානමය වෙනස 1.2% කි. මේ වෙනස නිසා මිනිස්සු කූඩුවෙන් එළියේ සිට කූඩුව ඇතුළේ සිටින චිම්පන්සින් නරඹති. සත්තුවත්හේ සිටින චිම්පන්සින් උගේ ජාන වලට විරුද්ධව කූඩු කර අපි අපේ ජාන වලට එරෙහිව වාණිජ සංස්කෘතික කූඩුවේ සිරවී සිටිමු. 

නෙළුම් කොළේ, පොල්අතු බත් කඩේ අත වනන්නේ සිතින් ගමට යනු පිණිස ගැමි බතෙහි රස විඳින නාගරික වූ ගැමියාටය. පොල් අතු බත් කඩේ ඇතුළත මේස, පුටු, විදුලිපංකා, විදුලි බුබුළු පමණක්‌ නොව කෑම බඳුන් පවා නවීකරණයෙන් අලංකෘත ආපන ශාලාවක් වන අතර පොල් අතු සෙවිලි කොට තිබෙන්නේ පියස්‌සේ පමණි. නෙළුම් කොළේ බත් කඩේ ද වෙනසකට තිබෙන්නේ පිඟානක්‌ වෙනුවට නෙළුම් කොළයක්‌ තැබීම පමණි. නිවැරැදි දේශීය ගැමි ආහාර වේලක්‌ නම් නෙළුම් කොළයට බෙදිය යුත්තේ හීනටි හාලේ බතුත්, කිරි හොද්දක්‌, කොස්‌ ඇට බැදුමක්‌, කරවල කෑල්ලක්‌, පලාකොළ මිටක්‌ ආදී දේය. එහෙත් බෙදෙන්නේ ගෝවා, බීට්‌ රූට්‌, ලීක්‌ස්‌, කැරට්‌, කුකුළු මස්‌, පපඩම්ය. දේශීය ගැමි රසය හා ගුණය සොයා පොල් අතු බත් කඩේට ගිය ගැමියාට ලැබෙන ආහාර වේල එබඳුය. සමහර විට ඒ නෙළුම් කොළේ ද තායි නෙළුම් කොළයකි. එහි බෙදෙන අර්තාපල් ඉන්දියාවෙන්ය. රට ලූනු, රතු ලූනු, සුදු ලූනු ටිකද ඉන්දියාවේය. පරිප්පු ටික පකිස්‌තානයෙනි. පැපොල් ගෙඩිය තායිලන්ත දෙමුහුන් පැපොල්ය. තක්‌කාලි මලයාසියාවෙනි. හට්‌ටි මුට්‌ටි, වළං, පොල් කටු ඇඳි දේශීය වුවත් එහි ඉදෙන බත, එළවළු සියයට සියයක්‌ දේශීයම නොවේ. එනිසා සැබවින්ම දේශීය ආහාර වේල යන්න තුළ අප ගිලී සිටින අසංස්කෘතික මිථ්‍යාව බිඳ හෙළිය යුතුය. එබැවින් අතීත කාමයෙහි ගිලෙනු රිසියෙන් හෝ තමන් සුවකාමී පුරුදු පුහුණු කරනවා යැයි මුලාවී ගැමි බත සොයා නෙළුම් කොළේ බත් කඩේට පිවිසීම සිත රවටා ගැනීමක්‌ පමණක්‌ වනු ඇත. පොල් අතු පියසි, කෙසෙල් කොළය, නෙළුම් කොළය, මැටි හැළි වළං පොල් කටු හැඳි මිස ගැමි දේශීය බත හෝ දේශීය ආහාර රටාව එහි නැත. අඩුම තරමින් දර ලිපක් හෝ නැත. බත ඉදෙන්නේ ගෑස් ලිපේය. එහෙත් බත තිබෙන්නේ මැටි බඳුන් වලය. බත බෙදන්නේ නෙළුම් කොළයටය. 

මිනිසුන් පෝෂණය කිරීම හා ඔවුන්ගේ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා සොබාදහම සතු හැකියාව හා එහි හරිත සම්පත් තුළ සැඟවී ඇති බලය ඉමහත්ය. එය හඳුනා ගත හැකි, අගය කළ හැකි, භාවිතා කළ හැකි, ආරක්ෂා කළ හැකි, ඉදිරියට ගෙනයා හැකි පරපුරක් නිර්මාණය කිරීම යුගයේ කාර්යභාරය වී තිබේ. සාම්ප්‍රදායික භෝග වර්ග සහ දේශීය ආහාර වර්ග ප්‍රචලිත කිරීම මෙන්ම ඒවා සුලබ කිරීමේ වැඩපිළිවෙලක් ද ජාතික මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් දියත් කිරීම තුළින් සෞඛ්‍යය හා පෝෂණය වෙනුවෙන් කළ හැකි මෙහෙය තවත් පුළුල් වන බවය. අතීතයේ අපේ පැරණියන් අතර භාවිතා වූ සම්ප්‍රදායික දැනුම් හා ඊට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවායේ වැදගත්කම නිසි ලෙස අධ්‍යයනය කොට ඒවා ශිල්පීය ඥානය අදට ගැළපෙන පරිදි ගළපා අනාගත තිරසාර පැවැත්මක්‌ ඇති වන සේ සංවර්ධනයට උචිත පරිදි යොදා ගන්නා ආකාරය අප වහ වහා සොයා බැලිය යුතුව ඇත. මෙබඳු කාර්යයකදී දේශීය වෛද්‍ය ක්‍රමයට කළ හැකි මෙහෙවර අති විශාලය. සහශ්‍රක සංවර්ධන ඉලක්ක වලින් සපුරා නොගත් අරමුණු තිරසාර සංවර්ධන ඉලක්ක හරහා සඵල වේ දැයි අපි දෑස් අයා සිටිමු. මිනිසුන් ගේ පරිභෝජන රටාව තිරසාර ආකෘතියක් තුළ පුනරුත්ථාපනය කරන තුරු මේ පරිසර විනාශය වළකා හරිත ජිවන රටාවක් ඇති කිරීම දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජනගහනය වැඩිවීම මේ මහා පොළොව දරා සිටිනු ඇති වුවත් ඉන් කොටසක් විසින් අනුගමනය කරන විනාශකාරී ජිවන රටාවෙන් වෙන හානිය එයට දරාගැනීමට නොහැකිය. 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Thursday, August 25, 2016

ආයුර්වේද වෛද්‍ය සභාවේ කේජු කෑල්ල උදුරා ගත් නරියාටම බොක්ක හෝදන්නට දීම


අද ලියන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී ගේ පැටිකිරිය යි. මේ තරම් කාලයක් ක්ෂේත්‍රය වැනසීමට මොහුට ඉඩ දීම ගැන මා තුළ ඇත්තේ දැඩි පිළිකුලකි. වෛරයකි. එනිසා මගේ ලියවිල්ල තරමක් සැර වැඩි යැයි කෙනෙකුට සිතුන හොත් එය සාධාරණය. මෙය අපි මිට පෙර ලියු “ආයුර්වේද අම්බරුවන් කෙත පාලු කරන විට පඹ-ගාලට යට වූ නීතිය” නැමති ලිපියෙන් හෙළි කළ දූෂිත ක්‍රියා වල සාක්ෂි සහිත ලියවිල්ලකි. මෙය දුටු විගස ලේඛකාධිකාරී කරගැනීමේ පෙරමුණට නායකත්වය දෙන්නට සමහරු සුදානම් වනු ඇත. ඒ සියල්ලෝම මේ දුෂණයේ කොටස්කරුවන්, සහායකයින් හා වාසි ලබන්නන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වන විට ආයුර්වේද කොමසාරිස්තුමා ද මේ දුෂිතයාගේ ග්‍රහණයට නතු වී මෙල්ල වී බව මොහු කටමැත දොඩවන නිසා මේ පිළිබඳව කොමසාරිස්තුමාගේ ප්‍රතිචාරය “සුපුරුදු සිනහවෙන් ලිස්සා යන සැහැල්ලු ප්‍රතිචාරයක්” නොවනු ඇතැයි විශේෂයෙන් ම බලාපොරොත්තු වෙමු. බොහෝ දෙනා ගේ අදහස පරිදි ක්ෂේත්‍රයේ සාධාරණ හා අපක්ෂපාතිත්වය සැකයට බඳුන් වෙමින් පවතී. ඒ අනුව දෙපාර්තමේන්තු ප්‍රධානියා දෙසට ද යම් ලෙසකින් ඇඟිල්ල දිගු වෙන බව පෙනී යයි. මේ වන විට මොහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට ආයුර්වේද වෛද්‍ය සභාව තීරණය කර ඇති නමුත් එය කෙතරම් දුරට ස්වාධීනව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අපි බලාසිටින්නෙමු.  

මෙහි සඳහන් වන චෝදනා සියල්ල සාක්ෂි ඇතිව ඔප්පු කළ හැකි නිසා ඒ පිළිබඳව සාධාරණ හා අපක්ෂපාති පරීක්ෂණයක් පැවත්වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු. වෛද්‍ය සභා සාමාජිකයින් බොහෝ දෙනා හට මේ කරුණු පිළිබඳ අවබෝධයක් නොමැති නිසා මොහු ඉතා සියුම් ලෙස සභාව නොමග යැවීමත් කරුණු සැඟවීමත්, තමන් හට අවශ්‍ය ලෙස ලිපි ලේඛන වාර්තා වෙනස් කිරීමත් කරනු ලබයි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් ගේ ආශීර්වාදය මත මොහුට ඉතා පහසුවෙන් මෙම තනතුර භාවිතා කොට සිදු කරන දුෂණ හා අක්‍රමිකතා නිසා වෛද්‍ය සභාවේ ගෞරවය හා කිර්තිනාමය ඉතා බරපතල ලෙස පිරිහීමට ලක් වී තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විට මොහු මෙම තනතුරේ සිටියදීම එබඳු පරීක්ෂණයක් පැවැත්වීම අපක්ෂපාති නොවන හෙයින් ඊට මොහු මුල් සේවාස්ථානය වෙත යැවීම කළ යුතුය. මොහු දැනටමත් රජයේ නිලධාරියෙක් වන බැවින් වෙනත් තනතුරකට පත් කිරීමට පෙර මොහු මෙම තනතුරේ සිදු කරන ලද අක්‍රමිකතා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතුය. එබඳු ක්‍රියාවලියකින් තොරව උඩින් පල්ලෙන් මෙම චෝදනා සලකා බලා ඉවත දැමීමට යම් පුද්ගලයෙකු යෝජනා කරන්නේ නම් හෝ මේවා විහිළු සහගත ලෙස සමච්චලයට ලක් කරන්නේ නම් ඒ අය මේ දුෂිතයා ගේ “සට්ටම්බියන්” බව නොබියවම කියා සිටිමු.

වැදගත්ම කාරණය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දන්වා ඇති පරිදි අදාළ නිලධාරියාට එරෙහිව කැඳ වූ පරීක්ෂණය යට ගැසීමයි. මේ කියන උසස් නිලධාරිනිය කවුද? ආයුර්වේද දෙපාර්තම්නේතුවේ නම් කොමසාරිස්ට පහළින් සිටිනුයේ නිලධාරිනියකි. මේ කියන්නේ ඇය ගැනද? සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් 2015.06.09 දිනැතිව අංක 01/13/පොදු යටතේ ආයුර්වේද කොමසාරිස් වෙත එවන ලද ලිපියෙන් දන්වා ඇති පරීක්ෂණය මේ දක්වා නොපැවත්වුයේ ඇයි? මෙම පරීක්ෂණය යට ගැසීම පිටුපස සිටින උසස් නිලධාරිනිය මේ වන විට එබඳුම අක්‍රමිකතා වලට චෝදනා ලැබූ තැනැත්තියක් වන අතර ලේඛකාධිකාරී ගේ දුෂණ වල ලාබ බෙදා හදා ගනිමින් ජයටම ආයුර්වේද ක්ෂේත්‍රයේ අඩුපාඩු වලින් පෞද්ගලික වාසි ලබා ගනී. හිටපු කොමසාරිස්තුමා ගේ නිවට නියාලු ස්වභාවය ඉදිරියේ සියලු සෙල්ලන් දැමු මේ දුෂිතයා නව කොමසාරිස්තුමා ගේ අවශ්‍යතා ඉටු කර දෙන බවක් ප්‍රචාරය කරමින් සිටියි. එනිසා මේ සම්බන්ධයෙන් නව කොමසාරිස්තුමා නිහඬ පිළිවෙතක් අනුගමනය නොකර මෙම පැමිණිලි වලට අදාළ පැරණි ලිපි ගොනු නැවත විවෘත කිරීමට වහා පියවර ගනු ඇතැයි සිතමු.

මොහුගේ පත්වීම සම්බන්ධයෙන් මෙන්ම ගෙවන දීමනාව පිළිබඳවද විගණන විමසුමක් තිබෙන බව බොහෝ දෙනා නොදනී. මොහු විසින් අත්සන් කරන සහතික පතක් තුළ ඇති වෘත්තීය හා නෛතික වටිනාකම ගැනද යම් සැකයක් ඇතිවෙන බව නොකියා බැරිය. සාමාන්‍යයෙන් ලේඛකාධිකාරී ධුරයට පත් කරන්නේ කොන්ත්‍රාත් පදනම මත වුවත් මෙම නිලධාරියා පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයාගේ ආශිර්වාදය මත සිය තනතුරේ එසේ දින නියමයකින් තොරව රැඳී සිටියි. කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව මෙම තනතුරේ දීමනාව අනුමත කර ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත පත් කරනු ලැබූ නිලධාරියෙකු සඳහා ය. යම් නිශ්චිත කාල සීමාවක් නොමැතිව පත් කිරීමෙන් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සභාවේ අභිමතානුසාරී බලය ඉක්මවා ක්‍රියා කර ඇති අතර නිලධාරියා නිත්‍යානුකුල නොවන දීමනාවක් ලබා ගනී. මිට අදාළ ලිපි ගොනු ගැන විධිමත් පරීක්ෂණයක් පැවත්වීමෙන් මේ පිලිබඳ සත්‍යය සොයා ගත හැකිය. මොහුගේ පත්වීම විගණකාධිපති ගේ එච්එස්එම්/සී/ඒම්සී/1/15/21 අංක දරණ 2016.07.08 දිනැති විගණන විමසුම අනුව රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ හා ආයතන සංග්‍රහයේ විධිවීධාන වලට පටහැනිව සිදු කර තිබේ.


ඊළඟට මොහු ගේ දුෂණ හා අක්‍රමිකතා වලට අදාළ තොරතුරු සමුදාය ගැන බලමු. විනය විරෝධී ලෙස වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනිව හැසිරෙන වෛද්‍යවරුන් ගෙන් අල්ලස් ගෙන ඔවුන් හට වාසි සහගත ලෙස කටයුතු කිරීම ඉන් ප්‍රධාන ය. මොහුගේ පාලන කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව, වෛද්‍ය සභාවේ අවධානයට යොමු කර ඇති සංඛ්‍යාව, විධිමත් ලෙස පරීක්ෂණ සිදු කර ඇති සංඛ්‍යාව හා දණ්ඩනීය අවස්ථා පිළිබඳ කාරක සභාවට යොමු කර ඇති සංඛ්‍යාව ක්‍රමානුකුලව අධ්‍යයනය කිරීමෙන් මේ තත්වය ඉතා මැනවින් අනාවරණය කර ගත හැකිය. පසුගිය කාලයේ “දියවැඩියාව නිට්ටාවට සුවකරන මහවිල වෙදමහතා” ගේ ප්‍රචාරක දැන්වීම ගැන පුරා අවුරුද්දක් නිහඬව සිට වෛද්‍ය සභාවේ අවධානයට යොමුවීමෙන් පසුවත් ලිපියක් යැවීම ප්‍රමාද කරමින් සිටියේ ඔහු පුද්ගලිකව හමුවී ගනුදෙනුව කතා කරගැනීමට අවශ්‍ය කාලය ගැනීම සඳහාය. අන්තිමේදී පසුගිය දිනෙක මෙකී වෛද්‍යවරයා මුලික විමර්ශනයක් සඳහා වෛද්‍ය සභාවට කැඳවා පවසා ඇත්තේ එම මුලික විමර්ශනය පවත්වන්නේ ඔහුගේ උවමනාව නිසා නොව මා විසින් දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කළ නිසා බවය. ඒ තරමට මොහු නින්දිත ගති ඇති අපතයෙක් බව එමගින් ඔප්පු කර ඇත.


ලියාපදිංචිය ලබා දීමේදී මොහු විසින් කරනු ලබන දුෂිත වැඩපිළිවෙළ මෑත ඉතිහාසයේ ආයුර්වේද ක්ෂේත්‍රයේ අපකීර්තිමත් ම මගඩි ක්‍රියාදාමය බව කුප්‍රකටව තිබේ. ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය දුර්වල කිරීමේ යෝජනා වෛද්‍ය සභාවට ඉදිරිපත් කරන්නේ ද මේ පරමාර්ථය ඇතිවය. විශේෂයෙන් ම දිගින් දිගටම අසමත් වෙමින් ප්‍රතික්ෂේප වන අයදුම්කරුවන් හට විශේෂ අවස්ථා ලබා දීමට ඔවුන් ලවා ඉල්ලීම් අභියාචනා ඉදිරිපත් කරවීමේ උපාය මෙයින් ප්‍රධානය. අල්ලසට පාරම්පරික වෛද්‍ය ලියාපදිංචිය ලබා ගත හැකි බව ප්‍රචලිත වීම ආයුර්වේද වෛද්‍ය සභාවේ ගෞරවය මෙන්ම වෛද්‍ය වෘත්තියේ අභිමානය ද ඉතා බරපතල ලෙස කෙලසීමකි. මේ කාලය තුළ ද වෛද්‍ය සභාවේ අනුමත සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ලේඛනයට අමතරව තමන්ගේ හෙන්චයයින් ඇතුළත් කර ගැනීමට උත්සාහයක නිරත වේ. විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහභාගී නොවන විට වහා කැඳවා ගන්නා එක් වෛද්‍ය සභා සාමාජිකයෙකු මෙම වෛද්‍ය සභාවේද සිටියි. ඔහු මේ නිලධාරියාගේ හොර මගඩියේ කොටස්කරුවෙක් ලෙස කටයුතු කරන විහිළුකාරයෙක් මෙන් හැසිරෙන බැවින් පහසුවෙන් හඳුනා ගත හැකිය. පසුගිය මාස කිහිපයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වල ප්‍රතිඵල විධිමත් ලෙස සමාලෝචනය කළ හොත් ඔහු ගේ දායකත්වය ලැබූ සියලු පරීක්ෂණ වලින් සමත් වූ සංඛ්‍යාව සැක සහිතවම ප්‍රතිශතයක් ලෙස ඉහළය.  සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දෙන අපේක්ෂකයින් ගේ නම් හා ලිපිනයන් කලින් ලබා ගන්නා මොහු එය තම තැරැව්කරුවෙකු වෙත ලබා දෙන අතර එම තැරැව්කරු තෝරාගන්නා අපේක්ෂකයින් හමුවී අල්ලස් ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරයි.

ස්පා ආයතන පරික්ෂා කිරීම සම්බන්ධයෙන් මොහුට කිසිදු බලයක් පැවරී නොමැති වුවත් මොහු අනවසරයෙන් ඒවාට ඇතුල් වී අනිසි බලපෑම් කරන බව ප්‍රසිද්ධ රහසකි. එබඳු ආයතන වලට ගොස් සිය තනතුරට අදාළ හැදුනුම් පත පෙන්වා තර්ජනය කොට අල්ලස් ලබා ගැනීම ගැන පැමිණිලි ලැබී තිබේ. එපමණක් නොව එම ආයතන ලියාපදිංචි කර දීමට හා ඖෂධ වර්ග ලියාපදිංචි කිරීමට ද පොරොන්දු වී අල්ලස් මුදල් ලබා ගත් අවස්ථාවන් ද වාර්තා වේ. වෛද්‍යවරුන් පාර්ශ්ව දෙකක් සම්බන්ධයෙන් පවතින විනය ක්‍රියාමාර්ග වලදී එක් පාර්ශවයකට වාසි වන පරිදි පරීක්ෂණ මෙහෙයවීම සඳහා අල්ලස් ලබා ගත් අවස්ථා පිළිබඳ මොහුට විරුද්ධව ඇති පැමිණිලි විභාග නොකොට යටපත් කර තිබේ. වෛද්‍ය සභාව කුලී පදනම මත ලබා ගන්නා වාහන අයථා ලෙස පුද්ගලික කටයුතු සඳහා පරිහරණය කිරීම හා අවසර නොලත් ගමන් රාජකාරී ගමන් සේ ව්‍යාජ ලෙස පෙන්වා ගනුදෙනු කරුවන් හමුවීම යෑම මගින් රජයට පාඩු සිදුකිරීම පිළිබඳව සොයා බැලිය යුතුය. එසේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වාහන භාවිතා කරන අවස්ථා වලදී කුලී පදනම මත වාහන ලබා ගන්නා බව පෙන්වා එම මුදල් අදාළ ආයතනය හරහා මාසිකව ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ප්‍රවාහන ගොනු විගණනය කිරීමෙන් ලබා ගත හැකිය.  

නව වෛද්‍ය සභාව පත් වූ මුල් කාලයේදීම මොහුගේ එක අක්‍රමිකතාවක් අතටම හසු වූයේ “ගුරු වෛද්‍යවරයා” සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කොට ගෝලයා සමත් කිරීමේ මගඩිය හෙළිවූ විටය. එහෙත් එම සිද්ධිය වෛද්‍ය සභාව සුළුකොට සලකා විධිමත් පරීක්ෂණයක් නොපවත්වා ප්‍රතිඵල අවලංගු කිරීමෙන් පමණක් සෑහිමකට පත් වූ විට මෙම වෛද්‍ය සභාව පහසුවෙන් ගොනාට ඇන්දිය හැකි බව මොහු කිහිප තැනක ප්‍රකාශ කර ඇත්තේ තමන් කරන කියන දේ තබා වාර්තාව හෝ හරි හැටි කියවා නොබලන මෝඩයින් පිරිසක් ලෙස හඳුන්වමිනි. එනිසා මොහු යම් සිද්ධියක් හසු වුවත් එයින් ලිස්සා යා හැකි වන පරිදි සියලු දේ සඟවා සිදු කිරීමටත් වෛද්‍ය සභාව නොමග යැවීමටත් තොරතුරු හෙළිවීම වැළැක්වීම සඳහා කාර්ය මණ්ඩලය බියවැද්දීමත් සිදු කරයි. යම් ස්වාධින පරීක්ෂණයක් තුළින් කාර්ය මණ්ඩලයේ රහස්‍ය භාවය ආරක්ෂා කරන්නේ නම් ඔවුන් මොහුගේ අක්‍රමිකතා පිළිබඳව සාක්ෂි දීමට සුදානම් බව කිව යුතුය. එබඳු පරීක්ෂණයකදී අනන්‍යතාව හෙළි නොවන පරිදි බාහිර පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතුය.

ලියාපදිංචිය යාවත් කාලින කිරීමේ වැඩසටහන සම්පුර්ණයෙන් ම අවුල් සහගත ලෙස ක්‍රියාත්මක වන්නේ මොහුගේ අදක්ෂ හා අනුවණ පරිපාලනය නිසාය. මේ වන විට ලියාපදිංචියෙන් වසර පහ නොඉක්මවූ බොහෝ වෛද්‍යවරුනේ ගෙන් මුදල් අය කොට ඇති අතර එම අයකිරීම් නිත්‍යානුකුල නොවන බව එම වෛද්‍යවරුන් නොදන්නා නිසා මොහු මුනිවත රකිමින් වෛද්‍ය සභාවට සත්‍ය තත්වය වසන් කොට තිබේ. නැවත ලියාපදංචියක් ගැන කියමින් මොහු ඉදිරිපත් කරන කරුණු විමසීමෙන් තොරව පිළිගැනීමේ පුරුද්ද නිසා වෛද්‍ය සභා සාමජිකයින් ගොනාට ඇන්දවීමේ රටාව ක්‍රමයෙන් හුරුවෙමින් සිටි. විශේෂයෙන් ම සභා රැස්වීමේදී සාකච්ඡා කරන කරුණු තමන් ට වාසි වන අයුරින් වාර්තා කිරීම හෝ අවාසි කරුණු වාර්තා නොකර සිටීම පුරුද්දක් ලෙස මොහු සිදු කරයි. එහෙත් වෛද්‍ය සභා සාමාජිකයින් ගේ අවධානය වෙනතක යොමු කිරීමේ ලා අලුත් යෝජනා ලෙස නැවත නැවත එකම දේ මණ්ඩල පත්‍රිකා ලෙස ඉදිරිපත් කරයි. මේ තත්වය වෛද්‍ය සභාව මේ වන විට අවබෝධ කරගනිමින් සිටීම එක්තරා දුරකට සුබ ලකුණක් වුවත් මේ වන විට මොහු සිදු කර ඇති විනාශය යළි පිළිසකර කිරීම නම් ඉතා දුෂ්කරය. අවම වශයෙන් මොහු විසින් සිදු කළ දුෂණ වංචා හෙළි කොට ඒවාට දඬුවම් ලබා දීමෙන් මෙම තනතුරේ ගරුත්වය හා වෛද්‍ය සභාවේ අභිමානය ආරක්ෂා කිරීම කළ යුතුය.

එසේම පසුගියදා මොහු ආයුර්වේද පනතේ විධිවිධාන ප්‍රකාර නිකුත් කළ පාරම්පරික වෛද්‍ය ලියාපදිංචියට අදාළ ගැසට් නිවේදනය අමු අමුවේ උල්ලංඝණය කළේය. එනම් විශේෂ ලියාපදිංචියට ඇතුළත් නොවන අංශයක් සඳහා අයදුම්පතක් නිකුත් කොට, එය භාර ගෙන සම්මුඛ පරික්ෂණයක් ද පවත්වා නීතිවිරෝධී කටයුත්තක් සිදු කිරීම අවසන් මොහොතේ අතටම හසු විය. ඉන් ඉතා බරපතල දුෂණයක් වැළකී ගියද එම ක්‍රියාව සම්බන්ධයෙන් මෙතෙක් ඔහුට එරෙහි කිසිදු පියවරක් ගෙන නැත්තේ ඇයිදැයි ගැටලුවකි. මෙම තනතුරට කිසිසේත්ම නොගැලපෙන මන්ද පෞරුෂයකින් හෙබි මොහු කිසි විටෙකත් ප්‍රධාන ආයතන වල දේශන සඳහා කැඳවීමක් නොකරයි. ඊට මුලික හේතුව මොහු වෛද්‍ය සභාවේ කටයුතු හෝ ආයුර්වේද වෛද්‍ය වෘත්තියේ නීතිමය තත්වය පිළිබඳව සුදුසු දේශනයක් කිරීමට තරම් දැනුමක් නොමැති වීමය. මොහුට පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් හා භාෂාව නිසි ලෙස හසුරුවා ගැනීමේ දැනුමක් නොමැති බව මේ වන විට වෛද්‍ය සභාවේ සාමාජිකයින් තේරුම් ගෙන සිටින බව අපේ විශ්වාසයයි.

පළපුරුදු පරිපාලකයෙක් වන කොමසාරිස්තුමන් ද මොහුගේ අපැහැදිලි හා අවුල් සහගත කතා විලාසය අවබෝධ කර ගෙන තිබිය යුතුය. යම් බාහිර ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් හමුවට වෛද්‍ය සභාව නියෝජනය කිරීම සඳහා යම් නිලධාරියෙකු යන්නේ නම් ඔහුට තමාගේ විෂය පථය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබිය යුතුය.  ජංගම සේවාවන් වලදී අහිංසක පාරම්පරික වෛද්‍යවරුන් ඉදිරියේ සිංහ වෙස් ගෙන හැසිරෙන්නේ ඔහුට ආවේණික නිවට නියාලු පෞරුෂ ආබාධයේ ප්‍රතිඵලයක් නිසාය. මෑතකදී සිංහ ගර්ජනාවකදී සිවල් නාදය ඉස්මතු වීමෙන් කොන්ද පණ ඇති වෙදමහතුන් ගේ වාග් ප්‍රහාරයට ද බඳුන් විය.  මොහුට තැනක වැදගත් ලෙස හැසිරීමේ පරිචයක් නොමැතිවීම වෛද්‍ය සභාවේ වෘත්තීය ගෞරවයට හානිදායක බව අමුතුවෙන් කිව යුතු නොවේ. මොහු සාමන්‍ය වෛද්‍ය නිලධාරියෙකු ලෙස බොහෝ කාලයක් සංවර්ධන අංශයේ ජංගම සායන ආදියට සහභාගී වෙමින් බේත් මගඩියෙහි රස බලමින් සිටි නිසා අල්ලස දුෂණය මොහුට අමුතු දෙයක් නොවේ. එසේම මේ වන විටත් මෙම තනතුර දරමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෙනත් කටයුතු වලට සහභාගී වී දීමනා ලබන්නේත් ව්‍යාජ බිල් පත් ඉදිරිපත් කොට මුදල් ලබා ගන්නෙත් ඒ පුරුද්දටමය. ආයුර්වේද වෛද්‍ය සභාව වැනි ආයතනයක ලේඛකාධිකාරී ලෙස තිබිය යුතු ස්වාධිනත්වය හා අපක්ෂපාතිත්වය මොහු තුළ කිසිසේත් නොමැති බව පෙනී යන්නේ මොහු ද අන් වෛද්‍යවරුන් හා පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ ද නියැලෙන බැවිනි.

මොහුගේ ක්‍රියාවලිය අනුමත නොකරන හෝ ඊට බාධා පමුණව හෝ ඊට එරෙහි වන පුද්ගලයින්  විවේචනය කරමින් ඔවුන්ට විරුද්ධව මඩ ප්‍රචාර ගෙනයාම, කැලෑ පත්තර ගැසීම හා පෙත්සම් යැවීමට භාවිතා කරන්නේ මොහුගේ ආශිර්වාදය මත අල්ලසට ලියාපදිංචිය ලැබූ “හොර වෙදුන්” කණ්ඩායමයි. ඔවුන් මොහු බේරා ගැනීමට නිතර සුදානමින් සිටියි. ඒ අතර ස්පා මුදලාලිලා, මසාජ්කරුවන්, තෙල් බේත් වෙළෙන්දන් හා වෙදකම  මුවාවෙන් රෝගීන් සුරා කන පිරිසක් සිටිති. එනිසා මේ ලිපියෙන් පසු ඔහු මඩ විසි කිරීමේ ව්‍යාපාරය අරඹනු ඇත්තේ පරීක්ෂණ වෙනතක යොමු කිරීම සඳහාය. එහෙත් මෙකි නිලධාරියා තනතුරෙන් එළවා දමන තෙක් මේ සටන නොනවත්වන බව පැහදිලිවම කියමු. ඔහු ඊළඟට ඉව අල්ලමින් සිටින්නේ ගමපහ වික්‍රමාරච්චි රෝහලේ අධ්‍යක්ෂ තනතුරටය. අප බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ එම ශික්ෂණ රෝහල විනාශ මුඛයට අද හෙළන අනුවණ තීන්දු වලට නො එළඹෙන ලෙසයි. එය සිසුන් ගේ අනාගතය හා උපාධියේ ගුණාත්මක බව පිළිබඳ තීරණාත්මක සාධකයකි.

මෙම කරුණු වෙන් වෙන් ව විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරනු ඇති බවට විශ්වාසයක් අප තුළ පවතී. එහෙත් මේවා හරයක් පදනමක් නොමැති චෝදනා ලෙස සලකා ඉවත දැමීමට යමෙක් බල කරන්නේ නම් එම පුද්ගලයින් මේ දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් යම් අනුදැනුමක් ඇතිව ඒවායේ වාසි භුක්ති විඳින අය බවට අමුතු සාක්ෂි අවශ්‍ය නොවේ. මෙම ලිපිය පැමිණිල්ලක් මෙන් නොසලකා මෙහි අයිතිකරුවන් සෙවීම හෝ තොරතුරු ලබාගත් අයුරු සොයා බැලීම සඳහා කාලය වැය කිරීම ද දුෂිතයා ආරක්ෂා කිරීමේ තවත් ක්‍රමයක් බව කිව යුතුය. ආයුර්වේද වෛද්‍ය සභාව ආයුර්වේද ක්ෂේත්‍රයේ ගෞරවය හා වෛද්‍යවරුන්ගේ වෘත්තීය අභිමානය සුරැකීමේ කටයුතු කරන උත්තරීතර ආයතනය ලෙස මෙම ලිපියේ කරුණු සුළුකොට සලකා බැහැර කරනු වෙනුවට යම් විධිමත් පරීක්ෂණයක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. දුෂිතයා පෙන්වා දුන් විට ඔහු දෙස බලනු වෙනුවට ඇඟිල්ල කාගේදැයි සෙවීමේ කපටි න්‍යාය ආයුර්වේද කොමසාරිස්තුමා මෙහිදී අනුගමනය නොකරනු ඇතැයි විශ්වාසය පළ කරමු. එසේ නොවුවහොත් එතුමාද මෙහි කොටස්කරුවෙකු ලෙස සලකා කටයුතු කිරීමටත් ඒ බව ඉහළ බලධාරින් වෙත දැනුවත් කිරීමටත් සිදුවන බව ඉතා කරුණාවෙන් දන්වා සිටිමු.


වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

Monday, July 18, 2016

ආයුර්වේද උපාධිය අට්ටාලය උඩ වේලීම හෙවත් වෙදහටන වේදිකාවේ පදම් කිරීම


මේ ලිපිය බොරැල්ලේ ආයුර්වේද රෝහල ඉදිරිපිට යුක්තිය ඉල්ලා අව්වේ කැකෑරෙන අපේ තරුණ උපාධිධාරීන් ගේ ලේ වල දුවන අපේක්ෂා දිරිමත් කරන්නටය. අපි ඔබ ගැන කණගාටු නොවෙමු. අපිට ඔබ ගැන ආඩම්බරවෙමු. ඒ ඔබ ඔබේ සත්‍යග්‍රහය තුළින් රැකියා ඉල්ලා රජය ඉදිරියේ දනින් වැටෙනවා නොව මහජනතාවට ආයුර්වේදය ගැන කැක්කුමක් ඇති කරනවා යැයි මට සිතෙන් නිසාය. ඔබ තරුණ කාලය වැය කළේ ආයුර්වේදය වෙනුවෙන් මේ රටේ විවිධ ආණ්ඩු මහජනතාව තුළ ඇති කළ උනන්දුව හා ඊට අදාළව දියත් කළ වැඩසටහන් ගැන විශ්වාසය තැබූ නිසාය. අපි ඔබගේ අධ්‍යාපනයට ආශිර්වාද කළේ ඔබ දිරිමත් කළේ ඔබේ අධ්‍යාපනයෙන් පසු ඔබේ වෘත්තීය සුරක්ෂිතභාවය ඇතැයි විශ්වාස කළ නිසාය. එනිසා මේ අරගලයේදී ඔබ තනිකොට සිටීම අප නොකළ යුතු යැයි මා තරයේ විශ්වාස කරමි. එනිසා මේ අරගලය ජයග්‍රහණය කරා යනතෙක් ඔබ සමඟ අපි ද සිටින්නෙමු. මහලු සමාජවාදීන් ගේ භූමියෙන් ද එළියට දැමු පසු ආයුර්වේදයේම සෙවනේ යළි ඉඳ ගැනීමට ඔබට ආත්මශක්තියක් තිබීමද අභිමානයකි. ඔබ ඉඳගෙන සිටින්නේ වෙදසටන් වල ජයබිමකය. එනිසා ඔබේ සටනට ජය නියතය. මෙම ලිපිය පත්තර වලට ද යවමි. එහෙත් පළවේ දැයි සැක සහිතය. එනිසා සයිබර් අවකාශයට මුදාහරිමි.

මේ වන විට අපේ ආයුර්වේද උපාධිධාරීන් රැකියා ප්‍රශ්නය වෙනුවෙන් මහ මග අට්ටාලයක් උඩ සත්‍යග්‍රහයක නිරතව සිටින්නේ රැකියා ප්‍රශ්නය නිසාය. එහෙත් බලධාරින් නෑසු කන් ඇතිව ඉවත බලා සිටින්නේ මේ ප්‍රශ්නය ඔවුන් විහින් ඇති කර ගත් අර්බුදයක් මෙන් සිතාද? මේ අරගලයේ නිරත සියලුම දෙනා  මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ අත් කර ගත්තේ සිය අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට මෙන්ම  මේ රටේ ජනතාවට ද යම් සේවාවක් කිරීමේ අටියෙනි.  ඔවුන් මහජන මුදලින් සිය අධ්‍යාපනය අවසන් කොට මහ පාරේ දිය කරන්නේ තරුණ බුද්ධිය පමණක් නොවේ ජාතික ධනයයි. එනිසා මෙම තරුණ වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් ආයුර්වේද ක්ෂේත්‍රයට පමණක් නොව පොදුවේ මුළු  මහත් සෞඛ්‍ය පද්ධතියටත් රටේ ජාතික ආර්ථිකයටත් මහඟු වාසියක් අත් කර ගත හැකිය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත් තොරතුරු අනුව ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියකු බිහි කිරීම සඳහා වසර පහක කාලයක් තුළ වැය වන පුනරාවර්තන වියදම රු.1597980කි.  ඊට  අමතරව වසරක සීමාවාසික  පුහුණු කාලය තුළදී මාසික දීමනා ලෙස ලක්ෂ හයකට ආසන්න  මුදලක් එක වෛද්‍යවරයෙකු සඳහා  වනු ලබයි. එවිට  මේ වියදම ලක්ෂ 22 ක් පමණ වේ. එසේ නමුත් එම ආයතන වල භෞතික සම්පත් හා යටි තල පහසුකම් සඳහා වැය කර ඇති ධනස්කන්ධය ඇති විශාලය. එහෙත් මේ මහජන මුදල් කන්දරාව වැය කරන්නේ එහි ප්‍රතිඵල හා ප්‍රතිලාභ බෙදාහැරීමේ ජාතික වැඩ පිළිවෙළක් නොමැතිව ද යන්න නැගෙන විමතියකි.

අද වන විට රැකියා විරහිතව සිටින උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 700කට අධික පිරිසක් සිටිය යුත්තේ ඵලදායි සේවාවක නියැලි වුවත් අද ඔවුහු සිටිනුයේ නිවෙස්වලය.  සියලු දෙනාටම රජයේ රැකියා දිය යුතුය හෝ එසේ නොමැතිව වෛද්‍ය සේවයේ නොයෙදිය හැකිය යන්න වෙනම සාකච්ඡා කළ යුතුය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ සියලු දෙනා 2008 වර්ෂයේ සිට ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් නොවී සිය කාලය නාස්ති කරමින් සිටිමයි. වාර්ෂිකව මේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර ඒ අය සඳහා රැකියා සැපයීම කෙසේ වෙතත් ඔවුන්ගේ සේවාව කාර්ක්ෂමව යොදා ගැනීමේ වැඩපිළිවෙලක් බිහි නොවීමේ ඛේදවාචකය අප ඉදිරියේ ප්‍රශ්න කෙරෙමින් පවතී. ඇත්තටම මේ නොසැලකිල්ලේ හේතුව ආයුර්වේද විශ්විද්‍යාල ආයතන වසා දැමීම හෝ ඒවා අඩපණ කිරීම ද යන්න ඒ සමඟම නැගෙන අතුරු ප්‍රශ්නයයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ පිළිගැනීමට ලක් වී ඇති බව පුන පුනා ප්‍රකාශ වුවත් ඒවා වේදිකාවේ කතා පමණක් යැයි සැකයක් උපදින්නේ මෙබඳු අර්බුදයන් විසඳුම් නොදී ඇදෙමින් යන ආකාරය දකින විටය. මේ තත්වය ඉදිරියේ ආයුර්වේද අධ්‍යාපනය කෙරෙහි තරුණ පිරිස් නැඹුරු නොවන්නේ නම් තවදුරටත් රජයේ සම්පත් මහජන මුදල් වැය කරමින් මේ ආයතන පවත්වා ගෙන යාම අපරාධයකි. එහෙත් තත්වය බොහේ සෙයින් වෙනස් වන්නේ මේ වන විට විශ්ව විද්‍යාල ආයතන වල ආයුර්වේදය ඉගෙනීමට නැඹුරු වන සිසුන් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රතිශතයකින් වැඩි වී ඇති නිසාය. එහෙත් අවාසනාව වන්නේ සමහර නිලධාරින් බි.ඒ.එම්.එස්. උපාධිය සඳහා වසර කීයක් ගත වේදැයි නොදන්නා තරමට බොළඳ ය. ලාමකය. ඔවුන් මහජන මුදලින් පඩි ලැබීමද රටේ අවාසනාවකි. 

එහෙත් ඉතිහාසය දෙස බැලූ විට අපි අවබෝධ කරගන්නා සත්‍යය වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මුල් බැස ගන්නට අවශ්‍ය නිසි පහසුකම් සැපයීමේ වැඩසටහන අඩාල වී ඇති බවය. මේ ආයතන පිහිටුවීමේ ලා පුරෝගාමී වූ දේශීය වෛද්‍ය විශාරදයින්, සංවිධාන හා දේශපාලන නායකයින් ඉන් අපේක්ෂා කළ මහඟු සේවාව ලබා ගැනීමේ අසමත් පාලකයින් ඒවා තුළත් ඉන් පිටතත් කාලයක් පුරා මුල් පුටු වල කාලය කා දැමීමේ අනිටු විපාකය අද විඳිමින් සිටිමු. ඒවායින් බිහිවන උපාධිධාරින් මහ මගට ඇද දැමීමෙන් එහි ශෝචනීය ඉරණම සාමාන්‍ය මහජනයා ද අත්විඳිනු නිසැකය. මේ රටේ ජාතික උරුමයක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කරගැනීමේ මුලික වගකීම ඇත්තේ එහි අධ්‍යාපනය පවත්වා ගෙන යන ආයතන වලටය. වර්තමාන සමාජ අවශ්‍යතා වලට ගැලපෙන වෛද්‍යවරුන් බිහි කිරීමේ ශාස්ත්‍රීය වගකීම රැඳී ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළය. එසේම උපාධිධාරීන් බිහි කර අහක බලා ගෙන සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් ඔවුන්ට නැත. ඔවුන් සිය උපාධිධාරීන් හට වෘත්තීය අගයන් හා අභිමානය පවත්වා ගැනීමේ අවස්ථාව සැලසුම් කළ යුතුයි. මහජන මුදලින් බිහි කළ වෛද්‍යවරුන් අතරමං කිරීමට රජයට ද කිසි අයිතියක් නැත. එය සිය ජාතික මානව සම්පත් සැලැස්මේ කොටසක් විය යුතුය. එසේ නොමැතිව මහපාරේ අට්ටාලයක් මත වේලෙන උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ගේ ශ්‍රමය, දැනුම හා බුද්ධිය නාස්තිවීමට ඉඩ හරින්නේ පසු ගිය දශක කිහිපයක් පුරා සිදු වූ මේ දේශපාලනික අත්වැරැද්ද නිසාය.

ආසන්න වශයෙන් වසරකට උපාධිය ලබාගන්නා ආයුර්වේද වෛද්‍යවරුන් 300-350ක් අතර ප‍්‍රමාණයක් රැකියා නොමැති වෘත්තිකයින් ලෙස සමාජයේ විවිධ අයුරින් සිය කාලය නාස්ති කරති. සිය වෘත්තීය අභිමානය පරදුවට තබා නොයෙකුත්  අශිෂ්ට ව්‍යාපාර වලට ආරක්ෂාව සපයති. ව්‍යාපාරිකයින් අඩු වැටුපට වෘත්තීය අභිමානය නොමැති තනතුරු වලට මේ උපාධිධාරීන් යොදවා ගනී. එහෙත් 2012 වසරේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 264 ක් රාජ්‍ය සේවයට එක් කර ගත් අතර මීට වසර කිහිපයකට පෙර වෛද්‍යවරු 183 දෙනකුට රැකියා ලබාදී ඇත. එලෙස සීමිත බඳවා ගැනීම් සිදුවන්නේ ප්‍රමාණවත් පුරප්පාඩු සංඛාවක් නැතිවම නොවේ. අවශ්‍ය නම් තවත් පුරප්පාඩු නිර්මාණය කළ හැකිය. එසේ නිර්මාණය කළ පුරප්පාඩු 600 ක් පිළිබඳ යෝජනාව කැබිනෙට්ටුවේ කුණු කුඩයට වැටුණේය. දැනට සත්‍ය වශයෙන් පවතින පුරප්පාඩු සංඛ්‍යාව පිරවීමට ඉල්ලුම් පත්‍ර කැඳවා තිබියදී එය අනවශ්‍ය ලෙස ප්‍රමාද කරන්නේ මන්දැයි ගැටලුවකි. මේ වනවිටත් ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍ය හිඟය 40% - 50%ත් අතර බව ගණන් බලා තිබියදී ඒ සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙලක් නොමැති වීම බලවත් අඩුපාඩුවකි. වේදිකාව මත නොයෙකුත් පොරොන්දු දුන්නත් ඒවා වචන වලට සිමා විය. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයත් යහපාලන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඉතා පැහැදිලිව උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ රැකියා ප්‍රශ්නය සඳහා තිරසාර විසදුම්  හා ආයුර්වේද වෛද්‍ය සේවාවේ ගුණාත්මක සංවර්ධනයත් සහතික කරන බව ඉඳුරාම පොරොන්දු වී ඇත. දැන් මහපාරේ සිටින වෛද්‍යවරුන් ප්‍රශ්න කරන්නේ ඒ පොරොන්දු වල විශ්වාසනීයත්වය විනා මේ රටේ දේශපාලනයේ අවංකභාවය  නොවේ. දේශපාලකයින් පොරොන්දු වලින් තෙම්පරාදු වෙමින් සිටියි. අපේ උපාධිධාරීන් ගේ වෙද හටන අට්ටාලය උඩ පදම් වෙමින් තිබේ. එය හරි පදමට බා ගැනීමට දේශපාලකයින් දැනගත යුතුය.

සමස්තයක් ලෙස ගත් කළ රටේ විවිධ මට්ටම වල ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 604ක සංඛ්‍යාවක් පවතී. මේවා  මධ්‍යම රජය,  පළාත් සභා, පළාත් පාලන ආයතන යටතේ පාලනය අතර සේවාව පිළිබඳ නිසි ප‍්‍රමිතියක් නොමැති නිසා බොහෝ ආයතන මහජන සේවාවට අසමත් ව සිටී. එහිලා බලපා ඇති මුලික ගැටලුවක් වන්නේ ප්‍රමාණවත් පරිදි මානව සම්පත් නොවීමයි.  උපාධිධාරී වෛද්‍යවරයෙක් බිහිකිරීමට රජය විශාල මුදලක් වැය කරන අතර වසර හයක් සිය තරුණ ජීවිතය වැය කරමින් උපාධිය ලබා ගන්නා උපාධිධාරීන් ඒ සඳහා කරන කැප කිරීම ද සුළුකොට තැකිය නොහැකිය. බටහිර වෛද්‍ය උපාධියට සමාන ධාරිතාවකින් යුත් විෂය මාලාවකට මුහුණ දෙමින් විභාග හා ප්‍රායෝගික කර්මාභ්‍යාස වලින් පසුව එක අවුරුදු සිමාවාසික පුහුණුවක් ද සම්පුර්ණ කරමින් විශ්ව විද්‍යාලයෙන් පිටවන මේ තරුණ උපාධිධාරින් අද මහපාරේ අට්ටාල උඩ සත්‍යග්‍රහ කරයි. ඔවුන්ට අට්ටාල උඩට වී වෘත්තීය හිඟමන් යැදීමට සිදුවීමේ අවාසනාව දෙස බලා සිටින්නේ ඉතා කණගාටුවෙනි. උපාධියෙන් පසු ඔවුන් මුහුණ දෙන සමාජ ආර්ථික ප්‍රශ්න ගැන බලධාරින් හට අබමල් රේණුවක අවබෝධයක් නැත. මේ රැකියා ප්‍රශ්නය මත සමහරුන් ගේ පවුල් අවුල් වී අසරණ වී ඇත. ඔවුන්ට පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ නියැලීමට අවශ්‍ය සමාජ පරිසරය හා වෘත්තීය තත්වය ගැන නොවිසිඳුණු ගැටලු බොහෝය. එසේම රාජ්‍ය සේවාව තුළ මානව සම්පත් හිඟය නිසා ආයුර්වේද සේවාවේ ගුණාත්මක බව පිරිහෙමින් පවතී. ඒ අතර වටිනා මානව සම්පත් මහපාරේ වේලෙමින් සිටියි.

මේ රටේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නිරන්තර පීඩාවට පත් වන විට එය සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත් වූ විට අලුත් බලාපොරොත්තු ඇති විය. එසේම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කතා ක්ෂේත්‍රය හා වෘත්තිකයින් දිරිගන්වන සුළු වූයේ එතුමා එඩිතර ලෙස දොස්තර ඒකාධිකාරයට අභියෝග කරමින් දේශීය වෛද්‍ය ක්‍රම අගය කරන නිසාය. මෙරට ජනගහනයෙන් වැඩි පිරිසක් සිය සෞඛ්‍ය ප්‍රශ්න සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහය නොපතන බවට වැරදි මතයක් නිලධාරීන්ගේ ඔළු ගෙඩි තුළ අනාදිමත් කාලයක සිටම තිබේ. එනිසාම ආයුර්වේද වෛද්‍යවරයා “වෛද්‍ය ගණයේ” ලා නොසැලකෙන වෘත්තිකයෙක් ලෙස මහපාරට ඇද දමා තිබේ. ආයුර්වේද වෛද්‍ය සභාව අරක් ගත් නිලධාරි ගෙවල පෙරේතයින් එහි අල්ලසට දුෂණයට යට වී සාක්කු පුරවා ගන්නවා මිස වෛද්‍යවරුන් ගේ නෛතික අයිතීන් වෙනුවෙන් කිසිදු පෙනී සිටීමක් නොකරයි. එසේ කරන්නට තරම් මොළයක් හෝ කොන්දක් ද ඒ මන්ද්බුද්ධිකයාට ඇත්තේද නැත. ඔහු නිකං විහිළු චරිතයක් රඟ දක්වයි. ඉහළ නිලධාරින්ට කඩේ යන නිසා ඔහුගේ දුෂණයට බාධාවක් ද නැත. මෙයින් සිදුවන්නේ උපාධිධාරීන් ගේ වෘත්තීය අභිමානයට හානි සිදුවන අවස්ථා වලදී ඊට එරෙහිව පෙනී සිටීමේ පෞරුෂයක් මේ වෛද්‍ය සභාවට ඇත්තේ නැත. එනිසා රැකියා ප්‍රශ්නය විසඳා ගැනීමට අදාළව ජාතික සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා නායකත්වය දෙන්නට අවශ්‍ය බුද්ධිමය දායකත්වය එබඳු ආයතනයකින් අපේක්ෂා කළ නොහැකිය. අම්බරුවන් කරත්තේ බඳිනවා මිස උන් ගෙන් පාර ඇසීම මෝඩ කමකි.

ආයුර්වේද වෛද්‍ය සේවාව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම අඩු කිරීමේ ලා යොදා ගත හැකි හොඳම වික්ලපය බව බොහෝ නිලධාරින් නොදනී. විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ, කළමනාකරණ සේවාවේ නිලධාරින් මේ ගැන දැන ගත යුතුය. අපේ රටේ ජාතික ධනයෙන් නඩත්තු කරන මේ වියදම අධික සෞඛ්‍ය සේවාවේ වියදම 25% කින් අඩු කිරීමට ආයුර්වේදය යොදා ගත හොත් තව වෛද්‍යවරුන් 1500 කට රැකියා සැපයීම අපහසු නොවේ. සාමාන්‍ය වශයෙන් රුපියල් බිලියන 216 ක් වන වාර්ෂික සෞඛ්‍ය වියදමෙන් 10% ක් දේශීය වෛද්‍ය ක්‍රමයට වෙන් කිරීමෙන් මේ ක්ෂේත්‍රය අද පවතින තත්වය මෙන් 300 ගුණයකින් වැඩි දියුණු කර පුළුල් සේවාවක් සැපයිය හැකිය. මෙය රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක් නොව රාජ්‍ය ආකල්ප පිළිබඳ ප්‍රශ්නයකි. රජයේ බටහිර රෝහල් තුළ අධික වියදම් දරන ශල්‍ය කර්ම වලට වැය කරන සමහර රෝගාබාධ සාමාන්‍ය ප්‍රතිකාර වලින් ගොඩ දාන ආයුර්වේදය ඒ සඳහා ඉල්ලා සිටින්නේ සුළු ඇගයීමකි. එබඳු ප්‍රතිකාර ක්‍රම ගැන විධිමත් ආර්ථිකමය ඇගයීමක් හා ඒවායේ වියදම් ප්‍රතිලාභ අධ්‍යනයක් සිදු කොට එය ප්‍රචලිත කිරීමට ආධාර අනුබල දෙන ලෙසයි. වකුගඩු රෝගීන් සඳහා වන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර වලින් ඉතිරී වන්නේ විදේශ විනිමයයි. ආරක්ෂා වන්නේ රෝගීන්ගේ ජීවිතයි. ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 700 ක් පමණ සංඛ්‍යාවක්  ප්‍රාදේශීය මට්ටමේ සිදුකරන සේවාව කිසි ලෙසකින් අවතක්සේරු කළ නොහැකි වුවත් ඒ ගැන නිසි තක්සේරුවක් ද සිදු කර නැත. මේ සියල්ල එකට ගණන් බලා ජාතික ආර්ථිකයට ආයුර්වේදයෙන් ලබා දිය හැකි දායකත්වය සොයා බැලීම නොවටනේද? එය මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දීමේ වැඩපිළිවෙළකට යාමට විරුද්ධ වන්නේ කවුද? ඒ සඳහා මේ මහපාරේ සත්‍යග්‍රහ කරන තරුණ වෛද්‍යවරුන් යොදා ගැනීමට ක්‍රියා කිරීම ජනතාහිතවාදී යහපාලන රජයක පරම යුතුකම විය යුතුය.


වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

Friday, July 1, 2016

මරහ ලෙඩාට මේකප් දැමීම හෙවත් තනි කකුලෙන් රේස් දුවන ආයුර්වේදය


මේ ලිපියේ මාතෘකාවේ කොටස් දෙක නොගැලපෙනව වගේ පෙනුනට කියෙව්වට පස්සේ තේරෙයි ඒ දෙක අපූරු සංයෝගයක් කියල. මරහ ලෙඩා කියන්නේ අද හෙට මියැදෙන පණ අදිමින් ඉන්න ලෙඩා. ඉතින් ඒ ලෙඩා බලන්න කට්ටිය එනකොට ලෙඩා ගේ අයිතිකාරයෝ කරන්නේ ලෙඩාට හොඳට මේකප් දාල සරසල අන්දලා තියනව. ලෙඩා දන්නෙත් නැහැ බලන්න එන අය දන්නෙත් නැහැ ලෙඩා අද හෙට මැරෙනවා කියල. ඒත් ලෙඩාගේ අයිතිකාරයෝ දන්නවා ලෙඩා වැඩි කල් ඉන්නේ නැහැ කියලා. ඒ මදිවට ලෙඩා බලන්න එන අය ලෙඩාට ගේන හොඳ ගුණවත් කෑම බිම ටික ලෙඩාට කන්න හොඳ නැහැ කියල අයිතිකාරයෝ බෙදා ගන්නවා. අන්තිමට ලෙඩා කලින් මැරෙන්නෙ ලෙඩෙන් නෙවෙයි කන්න බොන්න නැතිව. මම දකින්නේ අද මේ රටේ ආයුර්වේද ක්ෂේත්‍රයත් ඒ කියපු මේකප් දාපු මරහ ලෙඩා වගේ. මේක බාරගන්න ඔක්කොම මේකප් දාල ලෝකෙට පෙන්නනවා විතරයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වේ ඒ වගේ කතාවක්.

එතකොට මොකක්ද මේ තනි කකුලෙන් රේස් දුවන කතාව? ඒක බොහොම සරලයි. සුගමයි. ඒත් කටුකයි. අමිහිරියි. ඒ කියන්නේ වෛද්‍යාදී චතුෂ්පාදයෙන් හරියට වැඩ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එක පාදයයි. (එතන පාද කිව්වේ හතරෙන් කොටස කියන එක. ඒත් මගේ වැඩේට මං ඒකෙ සාහිත්‍යමය අර්ථය යොදා ගන්නවා) ඒ කියන්නේ ඉතුරු එක කකුලයි. ඒ නිසා දැන් ආයුර්වේදෙට රේස් එක දුවන්න වෙන්නේ තනි කකුලෙන්. ඒ අන්තිමට ඉතුරු වෙච්ච වෛද්‍ය පාදය විතරයි. මේ විදියට ගියොත් අපි මේ රේස් එකෙන් පරදින්න තියෙන චාන්ස් එක වැඩියි. අපි අමතක කරන්න හොඳ නැහැ මේ රේස් එකේ ප්‍රතිවාදියා කකුල් හතරම හොඳට ශක්තිමත් ඒ මදිවට හොඳ ජොකියෙකුත් එක්ක දුවන්නේ. ඒ රේස් අපි නොන්ඩි පැන පැන යන්නේ. මං මේ ටික කියන කොටම අපේ සමහරු මට පොලු මුගුරු අමෝරයි. ඒත් කරන්න දෙයක් නැහැ මං මේ ටික කිව යුතුමයි. අපි අද මේ දුවන්නේ පරදින රේස් එකේ අන්තිම වට කිහිපය. මේ හෝරාව තීරණාත්මකයි. අපි මේ තත්වය වෙනස් නොකොළොත් අපි පරදිනවා සිකුරුයි. ඒත් මං කියන්නේ නැහැ ලෙහෙසියෙන් පරාජය බාරගන්න කියල. මොකද පිටිය අපේ. නරඹන්නෝ අපේ. ඇයි අපිට බැරි දිනන්න. ඉස්සෙල්ල බලමු මෙහෙම උනේ ඇයි කියල.

අපේ වෙදකමට ඕන කරන මුලිකම සාධකය ඖෂධ. අපේ වෙදකමේ සාර්ථකත්වය රැඳී පවතින්නේ ඖෂධ වල සාඵල්‍යතාව මත බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම නම් අපි අද පාවිච්චි කරන බෙහෙත් ගැන අපිට එහෙම නොසැලෙන විශ්වාසයක් තියෙනවද? ඒවායේ ප්‍රමිතිය, ඒවායේ ගුණාත්මකබව, ඒ වගේම නිසැක ප්‍රතිඵල ගැන අපිට සහතික විය හැකිද? අපි අද ඖෂධ නිපදවන සමාගම් හා ඒ අයගේ සහතිකය මත රැඳී සිටිනවා විනා පොදුවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ගැටලු ගැන හා එය මුහුණ දී ඇති අර්බුදය ගැන දැනුවත් ද? එම අර්බුදය අපේ වෙදකමට බලපාන බව දන්නවාද? එනිසා ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ අර්බුදයෙන් වෙදකමේ අනාගතය වෙන් කරන්නට බැරි බව අපි ඉතා සාවධානව පිළිගත යුතුයි. අපි බටහිර වෛද්‍යවරුන් මෙන් හුදු “බෙහෙත් ලියන්නෝ” (prescribers) පමණක් නොවීය යුත්තේ අපේ සම්ප්‍රදාය තුළ ඖෂධ හා වෛද්‍ය කර්මයේ හරය අතර වන අවියෝජනීය සම්බන්ධතාව තරමක් වෙනස් නිසාය. අපි ලෙඩේ මුල හොයන්නෝ මෙන්ම බෙහෙතේ මුල ද සෙවිය යුත්තෝ වෙමු. 

අපේ ඖෂධ සඳහා අමුද්‍රව්‍ය හිඟයක් ඇති බව කතා කරන්නේ අපි දන්නා අතීතයේ පටන්ය. ඒත් වඳුරන් ගේ ගෙවල් හැදිල්ල මෙන් කවදාවත් නිශ්චිත විසඳුම් දුන්නේ නැත. අමුද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්වයි. අඩු වැඩි වශයෙන් වෙනත් රටවලින් ද ගෙන්වයි. එහෙත් ඒවා මෙරටට ළඟා වන විට ඒවායේ තත්වය සහතික කරන්නට කිසිදු ආයතනයක් නැත. ඒවා ගබඩා කරන තත්ව සහ ගබෝස් ලේන් වෙළඳ පොළ නියාමනය කරන්නට කිසිවෙකුත් නැත. ඉතින් අපි බෙහෙත් වලට දමන අමුද්‍රව්‍ය කෙබඳු ඒවා දැයි නිසැකව දැනගන්නට ක්‍රමයක් නැතිවීමේ අවදානම ගනිමින් සිටිමු. එසේම අපේ දේශීය වනාන්තර වලින් සූරා ගන්නා අමුද්‍රව්‍ය සිඝ්‍රයෙන් හිඟ වෙමින් තිබේ. ඒ මදිවාට සමහර අමුද්‍රව්‍ය වැරදි ලෙස වෙළඳ පොළට එන බවත් සමහර ඒවා නිසැකවම ප්‍රතිනිධි නොව ආදේශක ද්‍රව්‍ය බවත් බොහෝ දෙනා නොදන්නා කරුණකි. එසේම සමහර අමුද්‍රව්‍ය විවිධ රසායනික සංඝටක වලින් දුෂිතය. ඒවා පරික්ෂා කරන්නට කිසිවෙකුත් නැත. එහෙත් අපේ ඇත්තෝ ඒවා සැකයෙන් තොරවම බෙහෙත් වලට දමා ලේබල ගසා වෙළඳ පොළට එවති.  අපිත් ඒවා සැකයෙන් තොරවම රෝගීන් හට ලබා දෙන්නෙමු නැතිනම් නිර්දේශ කරන්නෙමු.

ඊළඟට බලමු උපස්ථායක පාදය. මේක අපි පුළුල් ලෙස ගත්තොත් අද එයින් කියවෙන්නෙ සහායක පරිවාර සේවාවන්. අපේ හෙද සේවය දුවන්නේ බාගෙට පණ ගිහින් ය. අපේ ආයතන වලම පුහුණුව ලත් අය ටික දෙනෙකි. බටහිර රෝහල් වලින් විශ්‍රාම ගිය අය වැඩි දෙනෙකි. සමහරුන්ට පඩි නැගගන්නට වත්  බැරි තරමේ වයසය. දුර්වලය. සම්බාහකයෝ චිකිත්සකයෝ වෙලාය. වාට්ටු වල නැවතී සිටින රෝගින් හට තෙල් සාත්තුව දෙන්නේ පොලිසියෙන් ගහනවා වගේය. ඖෂධ සංයෝජකයින් ලෙස ඉන්නේ සනීපාරක්ෂක කම්කරුවන්ය. බෙහෙත් රෝගීන්ට නිකුත් කරන්නේ බල්ලන්ට ලෙලි පොල් මෙන්ය. ෆාමසියේ භෛෂජ්ජකයින් වෙනුවට වැඩකරන්නේ කම්කරුවන්ය. අනෙක් සේවාවන් ගැන අපේ කිසිදු සැලැස්මක් නැත. එපමණක් නොව අපේ සේවාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් ලබාදෙන්නට මෙකී සහායක සේවා කෙතරම් වැදගත් ද යන්න මේ ක්ෂේත්‍රයේ කිසිදු තක්සේරුවක් නැති බව පෙනේ. වැඩිමනත් අපේ ශික්ෂණ රෝහල් වලද තත්වය කණගාටුදායකය. යක්කල ශික්ෂණ රෝහල බලු වටින්නේ නැත. එය නමට ශික්ෂණ වුණත් වෛද්‍යවරුන් කොමිස් දෙස බලාගෙන ඉස්සරහ සමාගම් වල ඇති බේත් පමණක් ගෝනි ගණන් රෝගීන්ට ලියා දෙති. එබඳු රෝහලකින් අපේ සිසුන් ලබන ශික්ෂණය කුමක්දැයි මට නම් නොවැටහේ.  

ඊළඟට අපි බලමු රෝගී පාදය. සමහර සායන කිහිපයක් හැරුණු විට අපේ රෝහල් වලට බෙහෙත් ගන්නට එන වැඩි පිරිස වයසක උදවිය බව නොරහසකි. එයින් අදහස් වන්නේ ආයුර්වේදය ඔවුන් විෂයෙහි සාර්ථක බවයි. ඊට අනුරූපව වාර්ධක්‍ය වෛද්‍ය (geriatric) සේවා හා ඒ හා බැඳුණු ප්‍රතිකර්ම පුළුල් කිරීමට තරම් ශාස්ත්‍රීය ප්‍රවේශයක් අපේ ආයතන තුළ නොවීම ඉතා කණගාටුදායකය. අපි තෙල් බේත් ගාල අත ගාන එක ටිකක් විධිමත් කරන්න පුනුරුත්ථාපන වෛද්‍ය විද්‍යාව (rehabilitation medicine) විෂය නිර්දේශයට ඇතුල් කරන්න ඒක physical medicine කියන අලුත් නමෙන් යෝජනා කළාම ඇයි mental medicine වැදගත් නැද්ද කියල අහන මැන්ටල් ආචාර්යවරු ඉන්න රටක් මේ. analytical chemistry උගන්වල වෛද්‍යවරු බිහිකරන්න පුළුවන් කියලා හිතන පසුගාමී ආචාර්යවරු ඉන්න රටක් මේ. එසේම අනෙක් ගැටලුව වන්නේ අපි අපේ සේවාවන් විවිධාංගිකරණය කිරීමේ ලා ආයුර්වේද සංකල්ප හා ආයුර්වේදීය අනන්‍යතාව භාවිත නොකිරීමේ අවාසනාවයි. ආයුර්වේද වෛද්‍ය සේවාව වඩාත් රෝගී-කේන්ද්‍රීය සේවාවක් බවට පරිවර්තනය වන්නේ රෝගීන්ගේ අවශ්‍යතා ඉටුවන්නේ නම් පමණක් බව පිළිගත යුතු සිද්ධාන්තයකි. එහෙත් අද රෝගීන් ගේ සමාජ ආකල්ප සමඟ සමපාත වන්නට ආයුර්වේදීය සෞඛ්‍ය සේවා අසමත් වී ඇත්තේ එහි වරද නිසාම නොව රෝගීන්ගේ ආකල්ප සම්පුර්ණයෙන් ම පාහේ බටහිර වෛද්‍ය ක්‍රමයේ දේශපාලනික බලපෑමට යටත්ව ඇති නිසාය. එනිසා රෝගීන් ගේ අවධානය අප වෙතින් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව පිළිගත යුතු සත්‍යයකි. මං හිතන්නේ අපි මේ බලා සිටින්නේ ගෙඩිය පිටින්ම අපේ ඔඩොක්කුවට වැටෙන තෙක් විය යුතුය. එය නම් සිහිනයකි.

රට පුරාම බෙහෙත් කරලා ලෙඩේ හොඳ නොවුණාම ආයුර්වේදේට එන ක්‍රමේට වඩා රෝගියාගේ පළමු තේරීම ආයුර්වේදය වෙන විදියට අපේ ක්ෂේත්‍රය හැදෙන්න ඕනේ. අපේ බේත් කළු පාටයි, ගඳයි, තිත්තයි කියන පරගැති ආකල්පය සමාජයෙන් බැහැර කරන්න ඕනේ. ඒකට අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පෙරමුණ ගන්න ඕනේ. ඒත් මේකට හොඳ ජාතික සැලැස්මක්, විධිමත් වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ අනාගතවාදී නායකත්වයක් යටතේ. ප්‍රතිපත්ති සම්පාදකයින් ගේ භාණ්ඩාගාරේ නිලධාරින් ගේ මොළ සෝදන්න ඕනේ දේශීය වෛද්‍ය ක්‍රම වල ආර්ථික වටිනාකම තේරුම් ගන්න. නැත්තං ආයුර්වේදය පිරිහෙන්න හේතු ඇහුවම කියයි හැමදාම ඔය නාවින්නේ, බොරැල්ලේ, ගම්පහ බස් කොන්දොස්තරලා “ආයුර්වේදේ බහිනවා” කියල උදේ හවස කියන හින්ද තමයි ආයුර්වේදේ බහින්නේ කියලා. ඇයි ආයුර්වේදේ නගිනවා කියල කියන්නෙම නැහැනේ. “සැරදේ සැරදේ ආයුර්වේදේ” කියල අපි උදේ හවස කිව්වත් මේක සැරදෙන්නේ නැහැ ඒකට අවශ්‍ය වැඩ පිළිවෙලක් නැතුව. අපි ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලා සටන් කළ ඉතිහාසයක් තියෙනවද දහ නමවැනි සියවසේ අග භාගයේ හා පසුගිය සියවසේ මුල් යුගයේ හැරුණු විට. ඒ කියන්නේ අපි අවුරුදු සියයකින් නැගිටලා නැහැ. ඒක නිසා අපි මේ විවෘත ආර්ථිකයේ රශ්මියෙන් ගිනි කණ වැටිලා, ගෝලීයකරණයෙන් මත් වෙලා, නවීන විද්‍යාවේ තේජසෙන් තැති ගැන්විලා, බටහිර වෛද්‍ය  ක්‍රමයට බයෙන් මුළු ගැන්නිලා හිටපු කාලේ ඉවර කරන්න ඕනේ. මේ එහෙම නැතිවුණොත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩි කල් නොගොස් තනි අශ්වයාගේ රේස් එකක් බවට පත් වෙනවා. ලෙඩ්ඩු නැතුව, බේත් නැතුව, සහායක සේවා නැතිව වෛද්‍යවරයා මොනව කරන්නද?

දැන් ඉතිරිව ඇත්තේ එක පාදයක් පමණි. ඒ වෛද්‍යවරුන්ය. දැන් අපි තනි කකුලෙන් රේස් එක දුවන්නේ මේ අයගේ හයියෙනි. ඔවුන් ඉතා අමාරුවෙන් ඉගෙන ගනියි. රැකියා විරහිතව දුක් විඳියි. ස්පා වල සේවය කරනවා යැයි නින්දා අපහාස විඳියි. පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදෙන්නට තරම් වෘත්තීය පෞරුෂයක් ඇති අයට අතදෙන්නේ ද නැත. රැකියාව සඳහා උද්ඝෝෂණ කරන්නට සිදු වෙයි. අවසානයේ රජයේ රැකියා ලබා තනි කකුලේ රේස් එක දුවන්නට උර දෙයි. රැකියාවේ නිසි පිළිගැනීමක් හෝ උසස් වීමක් හෝ වැටුප් වර්ධකයක් ලබා ගන්නට නොයෙක් අයුරින් නිලධාරින්ට දර දිය අදියි. මෙලෝ රහක් නැති වෘත්තීය සමිති නායකයින්ගේ තනතුරු රැකදීමට අව්වේ වේලෙයි. ඒවාට නොසලකන නොනැමෙන වෛද්‍යවරුන් ගැරහුමට ලක්වෙයි. සමහරුන් කැප වී සේවය කර බැනුම් අසා අවසානයේ විශ්‍රාම යයි. ආයුර්වේදය විශ්වාස කරමින් සියලු අවම පහසුකම් මැද රෝගීන් සුවපත් කරන දක්ෂයින් අප අතර එමටය. ඒ අතර ඉතා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවත් වෙදකමේ යෙදෙන වෛද්‍යවරුන් ඈත ගම් දනවු වල සිටිති. රජයේ ආයුර්වේද රෝහල් වලින් ඒ අයගේ පාත්තරේට ද හෙනහුරු අත දමයි. ඒ සියලු කරදර මැද ඔවුන් ගෙන් සුවපත් වන රෝගීන් එමටය. එහෙත් ඔවුන් මේ රටේ වෛද්‍යවරුන් ලෙස පිළිගැනීමට තරම් නීතිය සාධාරණ වන්නේ නැත. ඒ සඳහා වෛද්‍ය සභාවේ වැඩ ඉන්නා උත්තමයින් සටන් කරන්නේ ද නැත. අපි සටන් කළ යුත්තේ අපට බාහිරින් එල්ල වන අභියෝග වලට එරෙහිව පමණක් නොවේ. අපේ ක්ෂේත්‍රය තුළම තිබෙන බොහෝ දුර්වලතා මග හරවා ගැනීම සඳහා අපිට යම් ආකාරයක ආක්‍රමණශීලි එහෙත් බුද්ධිගෝචර වැඩ පිළිවෙලක් තිබිය යුතුමයි. මං හිතන්නේ අපි බොහෝ දෙනා හැට ස්වයං විවේචනය ඉවසන්නට තරම් විවේක බුද්ධියක් නොමැති වීමෙන් මේ කරුණු දෙස ද්වේෂසහගත එළඹුමක් තිබෙන්නට පුලුවන්. එහෙත් මා හට අවශ්‍ය වන්නේ මේ කරුණු වඩාත් යුක්තිසහගත සංවාදයකට බඳුන් කළ හැකි ප්‍රති-මතවාදයන්ය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Monday, June 13, 2016

ගොඩ වෙදුන්ගේ සාස්තරයට එරෙහි රට වෙදුන් ගේ ගෝස්තරය



මෙම ලිපිය බ්ලොග් අවකාශයට එක් කරන්නේ පත්‍රයේ මෙලෙසින්ම පළ වීම ගැන සහතිකයක් නොමැති නිසාය. “රට වෙදාගෙන් ගොඩ වෙදාට” යන මැයෙන් පසුගිය 12 වැනි දින රාවය පත්‍රයේ පළවූ වෛද්‍ය ආරියසේන යු. ගමගේ මහතාගේ ලිපිය වැල්වටාරම් හා හිතළු වලින් පිරුණු නීරස කතාන්තරයක් බඳුය. මගේ ලිපියට පිළිතුරක් ලෙස ලියුවත් මා මතු කළ ප්‍රධාන කරුණු වලින් මග හැර ගිය එම දිගු ලියැවිල්ලේ වැඩිපුරම ඇත්තේ ඒ මහතාගේ පුරසාරම් හා හපන්කම් ය. මා තුළ වෛද්‍ය ගමගේ මහතා ගැන යම් වෘත්තීය අරුචියක් වී නම් එය දෙගුණ තෙගුණ වූයේ ඒ මහතා ගේ ලිපිය තුළ වූ බාල ගණයේ විවේචන, විපරිත මනස්ගාත, බොළඳ උපහාස, වැනි සුන්බුන්  මත ගොඩ නැගුණු අසංස්කෘතික (uncultured), අශික්ෂිත (undisciplined) හා අවෘත්තීයමය  (unprofessional) අන්තර්ගතය නිසාය. සමස්තයක් ලෙස ගත් විට එහි වැඩිපුරම ඇත්තේ පුද්ගලබද්ධ හුදකලා සිද්ධි කිහිපයක්  හා ඒ මහතා සහභාගී වූ බව කියන සම්මන්ත්‍රණයක උපුටා ගැනීමක් සවිස්තරාත්මකව ලිවීමට ගත් උත්සාහයකි. එහෙත් අවම වශයෙන් ඒ මත ගොඩ නගන උපකල්පනයක් හෝ ලියා ගැනීමට නොහැකි තරමට බුද්ධි විලම්බනයකට පත් ව ඇති බව පෙනේ. අපේ ප්‍රස්තුතයට අදාළව යම් හරවත් සංවාදයකට එළඹෙන්නේ නම් විශ්ව විද්‍යාලයක දෙවන වසරේ සිසුවෙකු ගේ උත්තර පත්‍රය මිට වඩා ඉහළ මට්ටමක තිබෙන බව නිසැකය. මෙම ලිපියේ මාතෘකාවට “ගෝස්තරවාදය” යන වදන ඇතුළත් කළේ රට වෙදුන් සිය යුරෝකෙන්ද්‍රිය මතවාදය ප්‍රචලිත කරන්නේ ගෝලීය දේශපාලනයේ අවශ්‍යතා මත හැසිරෙන වාණිජමය හා පරිභෝජන රටාවට සමගාමිව නිසාය. එය බටහිර වෛද්‍ය ක්‍රමයේ ආවේණික ගති ලක්ෂණයක් නොව ප්‍රජා සෞඛ්‍යය වෙළඳ භාණ්ඩයක් (commodity) බවට පත් කර ගත් වෛද්‍ය ශාස්ත්‍රීය දැනුම ව්‍යාපාරික ලාභය සඳහා මෙහෙයවන සීමිත පිරිසක් අනුගමනය කරන දහමකි.

ඒ මහතා මගේ ලිපියේ අන්තර්ගතයට අභියෝග නොකර මග හරින්නේ රට වෙදුන් ගේ ගෝස්තරවාදී ප්‍රතිපත්තියෙන් බැහැරව ගොඩ වෙදුන් ගේ සාස්තරය දෙස සංහිඳියාවෙන්, සාමයෙන්, සහයෝගයෙන් සාකච්ඡා කිරීමේ සදාචාරාත්මක ආකල්පයක් නොමැති හෙයිනි. එය හොඳින්ම පෙනී යන්නේ ගමගේ මහතා සිය ලිපිය තුළ කීපවරක් වෛද්‍ය වෘත්තීය සදාචාරයට පටහැනිව රෝගීන්ගේ රහස්‍යභාවය පිළිබඳ නිතිය කඩකරන නිසාය. සම්මත වෛද්‍ය සදාචාරය අනුව සාමාන්‍යයෙන් රෝගීන් ගේ පෞද්ගලික තොරතුරු තුන්වන පුද්ගලයෙකුට සෘජුව හෝ වෙනත් ආකාරයකින් ලබා දීම නොකළ යුතුය. එසේම යම් යම් ප්‍රසිද්ධ පුද්ගලයින් තමාගෙන් ප්‍රතිකාර ගන්න බව මාධ්‍යයට හෙළි කිරීම හෝ යම් වෘත්තීය වාසියක් අපේක්ෂාවෙන් ඒ පිළිබඳව මෙබඳු ලිපි තුළ සාකච්ඡා කිරීමත් ඉතා පිළිකුල් සහගතය. තමන්ගේ මතය හෝ අදහස විධිමත් ව ගොනු කොට ඉදිරිපත් කිරීමට නොහැකි වන විට ඒ සඳහා මෙබඳු ලාමක උපක්‍රම භාවිතා නොකළ යුතුය. එවිට ඔවුන් ගොඩ වෙදුන්ට එරෙහිව නැගෙන මඩ වෙදුන් සේ උගත් සමාජය තුළ පිරිහීමට බඳුන් වේ. මා සිතන්නේ ගමගේ මහතා තුළ වෘත්තීය ශික්ෂණයක් තිබේ නම් පළමුව කළ යුත්තේ මට පිළිතුරු සැපයීම පසෙක ලා මෙකී පුද්ගලයින් ගෙන් සමාව ඉල්ලා සිටීමය. එසේ නොමැති නම් රට වෙදුන් සිය ගෝස්තරවාදී න්‍යාය තුළ වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා ඕනෑම පහත් හැසිරීමක නියැලෙන බව පිළිගැනීමට සිදු වේ. සිය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම එහි දස්කම් විස්කම් ගැන අභිමානයෙන් කතා කිරීමට වෘත්තිකයින් හට ඇති අයිතියට මුවා වී අන් වෛද්‍ය ක්‍රමයක නියැලෙන වෘත්තිකයින් ගේ පෞද්ගලික තොරතුරු මත පදනම්ව වෛද්‍ය ක්‍රමයට අභියෝග එල්ල කිරීම “ගෝස්තරවාදය” විනා අන් කවරක්ද? සාස්තරයට එරෙහි ගොස්තරයේ පදනම එයයි.

දැන් ඒ මහතාගේ පරිකල්පිතයේ සුන්බුන් පිළිවෙලකට ගොඩ ගසා එකිනෙක ගෙන විමසමු. පළමුවෙන් මාවනැල්ල විෂ වෙද මහතාගේ සිද්ධියෙන් මතු කරන කරුණු දෙසට යොමු වෙමු. මාවනැල්ලේ වෙදමහතාගේ ප්‍රතිකාරයෙන් රෝගීන් සුවපත් වන්නේ හුදු විශ්වාසය පමණක් නිසා නොවන බව ගමගේ මහතා පිළිගනියි. අසාධ්‍ය රෝගීන් පමණක් තමා වෙත යොමු කරන බව පැවසීමෙන් එය වඩාත් තහවුරු වේ. වාසනාවට ඒ අවසානයේ වෙදමහතා ගොඩ යන්නේ ගමගේ මහතා වෙදමහතාගේ පොතට ලියු පෙරවදනේ පිහිටෙනි. රජයේ නිලධාරින් පැමිණ පරික්ෂා කරන විට ඉදිරිපත් කිරීමට ගමගේ මහතාගේ අත්සන ඇපයට තබා ගැනීම ගැනද තරමක උද්දාමයක් ඇති බව පෙනේ.  බටහිර වෛද්‍යවරුන්ට මුවා වි සිය ප්‍රතිරූපය නංවා ගන්නා දේශීය වෛද්‍යවරුන් වෙනුවට රට වෙදුන් ඉදිරියේ තමන් උගත් සාස්තරයේ විස්කම් දක්වන දේශීය වෛද්‍යවරුන් ගැන අපට අභිමානයක් තිබේ. එහෙත් ගමගේ මහතා හට සත්‍ය වශයෙන් අවශ්‍ය වන්නේ දේශීය වෛද්‍යවරුන් කරා විෂ වෙදකම සඳහා පැමිණෙන රෝගීන් හට නිසි ප්‍රතිකාරයක් නොලැබෙන බවත් ඔවුන් සුවය ලබන්නේ ප්‍රතිවිෂ ප්‍රතිකාරයෙන් බවත් ය. ශ්‍රී ලංකාවේ සිදු වන විෂ අනතුරු සියල්ලම රජයේ බටහිර රෝහල් වලින් ප්‍රතිකාර නොලබන අතර ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ද සටහන් නොවේ. එසේම දේශීය ප්‍රතිකාර ලබන සියලු රෝගීන් හෝ ඉන් වැඩි දෙනෙකු ප්‍රතිවිෂ එන්නත ලබා සුවපත් වන බවට ද තොරතුරු නොමැත. ඊටත් වඩා වැදගත් වන්නේ දේශීය විෂ වෙදකමෙන් පිහිට ලබන රෝගීන් සියලු දෙනා හෝ වැඩි දෙනා මිය යන බව හෝ අනතුරට පත් වන බවට ද කිසිදු තොරතුරක් නැත. ඒ සියලු සාධක පසෙක ලා මාවනැල්ලේ එක් වෛද්‍යවරයෙකුගේ අදහස් පොදු සාධකය සේ ගෙන දේශීය විෂ වෛද්‍ය ක්‍රමය හෑල්ලු කිරීම ඉතා කණගාටුදායකය.  එපමණක් නොව මෙරටට බටහිර වෛද්‍ය ක්‍රමය හඳුන්වා දීමට පෙර විෂ අනතුරු වලින් මිනිස් ජිවිත බේරා ගත්තේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් බව අමතක නොකළ යුතුය.


ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල තවමත් සෞඛ්‍ය පහසුකම් සඳහා ළඟා වීමේ අවම හැකියාව ඇති ජනතාවට හදිසි ප්‍රතිකාර ලබා දෙන්නේ “සාස්තරය හොඳින් ප්‍රගුණ කළ” ගොඩ වෙදුන්ය. සත්‍ය වශයෙන් ම විෂ අනතුරු වලට වැඩියෙන් මුහුණ දෙන්නේ නාගරික ජනතාව නොව සෞඛ්‍ය පහසුකම් අඩු ග්‍රාමීය ජනතාව නිසා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඔවුන් තබා ඇති විශ්වාසය මාවනැල්ලේ ජනතාව තුළ මෙන් තවමත් පලුදු වි නැති බව කිව යුතුය. එසේම බටහිර ප්‍රතිකාරයෙන් පසුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නා රෝගීන් පිළිබඳවත් යම් සමීක්ෂණයක් කිරීම සුදුසු යැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් හට නොසිතෙන්නේ යට කී ගෝස්තරවාදී ආකල්ප නිසාය. කෙසේ වෙතත් ගමගේ මහතාගේ මව සහ පියා ද “දේශීය වෛද්‍ය ක්‍රමයට ඇලුම් කරන නිසා” වාත අමාරු සඳහා ප්‍රතිකාර ගන්නේ දේශීය වෛද්‍යවරුන් වෙතින්ය. එහෙත් දියවැඩියාවෙන් පෙළෙන මාවනැල්ල ප්‍රදේශයේ බොහෝ දේශීය වෛද්‍යවරුන් ප්‍රතිකාර ගන්නේ ගමගේ මහතාගෙනි. එමගින් ගමගේ මහතා මාවනැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය දියවැඩියා රෝගීන්ගේ ජීවකයා පමණක් නොව වෙද මහත්වරුන් ගේ ද ගැලවුම්කාරයා ලෙස සිය වෘත්තීය මධ්‍යස්ථානයට ප්‍රචාරයක් ලබාදේ. ගෝස්තරවාදය එතැනම ඉස්මතු වන අයුරු බලන්න. ඔහුට අනුව සමහර දේශීය වෛද්‍යවරුන් රෝගීන් හට දෙන උපදෙස් ගමගේ මහතාගේ නම ඇසු පමණින් වෙනස් කරන තරමේ සෞඛ්‍ය බල පරාක්‍රමය පතුරුවා සිටින බව ලිපියේ පුරාජේරු කොටසේ මනාව කියැවේ. එසේම තමාගෙන් ප්‍රතිකාර ගැනීමට එන රෝගීන් හට ද ඔවුන් දේශීය වෙදකම් සඳහා යන වෙද මහතාගේ වෘත්තීය ගරුත්වය කෙළසා “රහස්‍යභාවය” කඩ කරන බව නිරල්ජ්ජිතව කියා සිටියි. ගමගේ මහතා ව්‍යංගයෙන් කියා සිටින්නට උත්සාහ කරන්නේ මාවනැල්ලේ තමන්ගේ මගපෙන්වීම යටතේ “හරස්-යොමුකිරීමේ සේවාවක්” (cross-referral system) පවතින බවය. එහෙත් ඇත්ත වශයෙන් ම එය ගමගේ මහතා වෙත දේශීය වෛද්‍යවරුන් විසින් කරනු ලබන යොමු කිරීම හා ඔහු විසින් කරනු ලබන යොමු කිරීම අතර වෙනස පැහැදිලි කළ හැකි සාධකය වන්නේ “සාස්තරය හා ගෝස්තරය” අතර පරතරයයි.

මීළඟට ගමගේ මහතා සිය විලම්බීත ලිපියේ ගොදුර බවට පත් කර ගන්නේ මාවනැල්ල ප්‍රදේශයේම ඉතා ප්‍රකට වෙද හාමුදුරුනමකි. උන්වහන්සේ වෛද්‍ය විද්‍යාලයක් ද පවත්වා ගෙන යන බව සඳහන් කිරීමෙන් ඔහු දේශීය වෛද්‍ය අධ්‍යාපනය තුළ ද යම් අඩුපාඩුවක් ඇති බවට ඉඟි කරන්නේ උන්වහන්සේ වෙදකම උගන්වන අතරම බටහිර ප්‍රතිකාර ගත බව හැඟවීමෙනි. එසේම වැගන්තලේ වෙදමහතා සහ පාට්ටගම වෙද මහතා ද මේ ගෝස්තරවාදී ආත්ම ප්‍රකාශනයේ ප්‍රචාරක මාධ්‍යය ලෙස පාවිච්චි කරයි. ගමගේ මහතා ගේ පටු වෘත්තීය බුද්ධියෙන් දැකිය නොහැකි ඉතා වැදගත් ම දෙය නම් දේශීය වෛද්‍යවරු බටහිර ප්‍රතිකාර ගැනීම යන කාරණය මත දේශීය වෛද්‍ය ක්‍රමය අසමත් ලෙස හුවා දැක්වීම ළිං මැඩි මානසිකත්වයේ ලකුණක් බවය. එහි පරස්පරය ද සිදුවන බව අමතක වන්නේ එනිසාය. ඒ අනුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බටහිර වෛද්‍යවරුන් නිසා බටහිර වෛද්‍ය ක්‍රමය අසමත් බව පිළි ගත යුතු ද යන්න ගමගේ මහතා ගෙන් අසමු. ඊළඟට මහතා තමන් ගේ අංශභාග රෝගීන් හට කායික හා මානසික සුවය සඳහා හාමුදුරුවන් ගේ තෙල් සම්බාහන ප්‍රතිකාරයට යොමු කරන බව කියයි. ඒ මහතා අනියමින් පිළිගන්නේ අංශභාග රෝගීන් හට තෙල් බේත් සාත්තුවෙන් සුවයක් ලැබෙන බව නොවේද? ගමගේ මහතාට මාවනැල්ල වෙද විදුහලේ දේශනයක් පැවැත්වීමට ලැබීම අරුමයක් සේ පෙනුන ද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මට්ටමේ ඇති දේශීය වෛද්‍ය විද්‍යා ආයතන තුළ නිත්‍ය දේශන පවත්වන බටහිර වෛද්‍යවරුන් හට එය සාමාන්‍ය දෙයකි.

ගමගේ මහතා නොදන්නවා වුවත් (පසු ගිය ලිපියේ සඳහන් පරිදි) ශ්‍රී ලංකාවේ උපාධිධාරී මෙන්ම පශ්චාත් උපාධිධාරී දේශීය වෛද්‍යවරුන් ද සිටින බව දැනගත යුතුය. විශ්ව විද්‍යාල විෂයමාලාවේ නවීන විද්‍යාත්මක විෂයයන් අවශ්‍ය තරම් ඉගැන්වෙන හෙයින් උපාධිධාරී වෛද්‍යවරුන් ඉතා ඉහළ දැනුම් පරාශයක සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වන විට බි.ඒ.එම්.එස්. උපාධිය ලබා රජයේ සේවයට යන දේශීය වෛද්‍යවරයා හා එම්.බී.බී.එස්. උපාධිය ලබා ගත් බටහිර වෛද්‍යවරයාත් සම තත්වයේ ලා සැලකෙන බව අමතක නොකළ යුතුය. එම නිසා ගමගේ මහතා හට  නව දිල්ලියේදී  හමු වූ දේශීය වෛද්‍ය විද්‍යාලයේ අංශ ප්‍රධානියා ගේ උදාහරණය ගැන අප තුළ විමතියක් ඇති නොවේ. නවදිල්ලියේ පුරසාරම නැතිව එබඳු අය ගැන කියන්නට ලංකාවේදී එබඳු අය ගැන කියන්නට අපට පුළුවන. ගමගේ මහතා පුරුද්දක් ලෙස තමන්ගේ විදේශ සංචාර, දේශන, සම්මන්ත්‍රණ හා තනතුරු ගැන නිතර ගෙන හැර දක්වන්නේ බණ්ඩා වෙසක් බලන්නට ගියා වගේය. (එසේ නම් මා ලිපිය ලියන්නේ ද එතෙර දියුණු රටක ඉහළම වෛද්‍ය විශ්ව විද්‍යාලයක සම්මන්ත්‍රණයක් අමතා දේශීය වෛද්‍ය ක්‍රමය ගැන දේශනයක් පවත්වා ඉතා උසස් ඇගයීමකට බඳුන් වූ දිනට පසු දිනය. එහෙත් අපේ බුද්ධිය පෙනෙන්නේ ලබා ගත් උපාධි හෝ විදේශ සම්මන්ත්‍රණ මත නොව පළ කරන අදහස් වල හරවත් බව මතය.) මෙබඳු සංවාදයකදී කරුණු වලට වඩා පුරසාරම් මත යැපෙන සිද්ධි උලුප්පා දැක්වීම නිසා සිදුවන්නේ නිශ්චිත ප්‍රස්තුතයෙන් පිට පැනීමය. ගමගේ මහතා හට නවින විද්‍යාව හා තාක්ෂණය මැජික් සේ පෙනුනත් මේ වන විට දේශීය වෛද්‍ය ක්‍රමය නව තාක්ෂණය සමඟ මුසු වි හමාරය. ගමගේ මහතා වැනි නිෂේධනාත්මක ආකල්ප ඇති “රට වෙදුන්” ගේ තල්ලුව නැතිව පණ ගැන්විය හැකි එන්ජිමක් දේශීය වෛද්‍ය ක්‍රමයට තිබෙන බව අපි හොඳින් දනිමු.


දේශීය වෛද්‍ය උපාධිධාරීන් බටහිර ප්‍රතිකාර කිරීමේ ගැටලුව හා දේශීය වෛද්‍යවරුන් නව තාක්ෂණය භාවිතා කිරීම පටලවා නොගත යුතුය. බටහිර වෛද්‍යවරුන් සිය දස්කම් විස්කම් පාන මෙවලම් හා තාක්ෂණික මෙහෙයුම් සියල්ලම වෛද්‍යවරුන් විසින් සොයා ගත් ඒවා නොව වෙනත් විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදුව වෛද්‍ය ඉංජිනේරුවන් අතින් නවීකරණය වූ ඒවා බව අමතක නොකළ යුතුය. දේශීය වෛද්‍යවරුන් යම් අවස්ථාවක එකී තාක්ෂණයක් සිය න්‍යායට අනුගතව භාවිතා කරන්නේ නම් එය දෙමුහුන්කරණයක් ලෙස අරුත් ගැන්වීම ගෝස්තරවාදී ප්‍රකාශනයකි. දේශීය වෛද්‍ය ක්‍රමය සිය න්‍යායට අනුගතව තාක්ෂණික පරිණාමයකට බඳුන් වූ දැනුම් පද්ධතියකි. දේශීය වෛද්‍ය ක්‍රමය සිය න්‍යායට අනුගතව තාක්ෂණික පරිණාමයකට බඳුන් වූ දැනුම් පද්ධතියකි. එයට අනන්‍ය වූ තාක්ෂණික ශිල්පීය ක්‍රමවේද මෙන්ම අනුගත කළ හැකි ක්‍රමවේදයන් ද තිබේ. ගෝස්තරවාදී න්‍යායන් තුළ දේශීය වෛද්‍ය ක්‍රමය හෑල්ලු කරන රට වෙදුන් නවීන විද්‍යාත්මක දැනුම එයට පුට්ටු කරන්නට කැස කවන්නේ දේශීය වෛද්‍යවරුන්ගේ සාස්තරයට වළ කපන්නටය. එවිට ඔවුන්ගේ ගෝස්තරයට සරිලන පරිදි හොද්ද බොර වේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ දේශීය වෛද්‍ය ක්‍රමය යටපත් කොට යුරෝපීය වෛද්‍ය ක්‍රමය ස්ථාපිත කිරීමේ උපායන් කිහිපයක් අනුගමනය කරනු ලැබිය. පළමුවෙන් පොත් පත් හා මුලාශ්‍ර විනාශ කොට සංස්කෘතික ආයතන පද්ධතියේ මුල් උදුරා දැමු අතර බටහිර වෙදකමට ආගමික හා දේශපාලනික බලය ආරෝපණය කරනු ලැබිය. එපමණක් නොව දේශීය වෛද්‍යවරුන් එම වෙදකමේ යෙදීම වැළැක්වීම සඳහා සමාජමය බාධක යොදමින් ඔවුන් වෘත්තීය වශයෙන් පහළට ඇද දමනු ලැබිය. අවසානයේ ඔවුන්ට බටහිර ප්‍රතිකාර ඉගැන්වීමේ උත්සාහයක් ද 19 වැනි සියවස අගභාගයේ දියත් කරනු ලැබිය. එහි දිගුවක් ලෙස ගමගේ මහතා වැනි ඊනියා ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් එක්ව ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ දී දේශීය වෛද්‍ය ක්‍රම වල අගයට මුවා වි දේශීය වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාර අඩපණ කොට මුඛ්‍ය සෞඛ්‍ය ප්‍රවාහයෙන් ඉවත් කොට තැබීමේ සැලසුම ක්‍රියාත්මක කළෝය.

එහෙත් මේ අය නිතර මතුරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අල්මා ආටා ප්‍රකාශනයෙන් පසුව සිදුවූ කිසිදු ප්‍රගතිගාමී සැලසුමක් මේ රටේ ක්‍රියාත්මක නොකළේ රට වෙදුන් ගේ ගෝස්තරවාදී ප්‍රතිපත්ති වලට පහර වදින නිසාය. මේ රටේ සෞඛ්‍ය වියදම පහළ දමන්නට, විදේශ විනිමය ඉතුරු කරන්නට, ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳව දේශීය වෛද්‍ය ක්‍රමයට වගකීම් පවරන්නට මැලි වන්නේ බටහිර වෙදකමේ අධිපතිවාදී සෞඛ්‍ය වෙළදාමට පාඩු සිදුවන නිසාය. ගමගේ මහතා නියෝජනය කරන්නේ ඒ මතවාදය බව අපිට පැහැදිලිය. 2005 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ සිව් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක නොකළේ මන්ද යන්න මේ අය කතා නොකරයි. 2008 දී සම්මත වූ බීජින් ප්‍රකාශනය අනුව අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය දේශීය වෛද්‍ය ක්‍රම වලට නිසි තැන දී ප්‍රතිසංස්කරණය කරන්නට මේ අය තල්ලුවක් දුන්නේ ද නැත. දැන් දේශීය වෛද්‍ය ක්‍රමයට හයිබ්‍රිඩ් එන්ජිමක් සවි කිරීමට කතා කරන්නේ එහි දේශීය වෛද්‍යවරුන් තුළ ඒ ගැන විශ්වාසයක් නැති බවට නිගමනය කරමිනි. දේශීය ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කරන හා දේශීය ඖෂධ නියම කරන බටහිර වෛද්‍යවරුන් සිටින නිසා එය බටහිර වෛද්‍ය ක්‍රමයේ පරිහානියට හේතු වී ඇති බව නිගමනය කළ හැකිද? දේශීය වෛද්‍යවරුන් ගේ දරුවන් බටහිර වෛද්‍ය අධ්‍යාපනයට යොමු වීම සමාජ ප්‍රශ්නයක් වන්නේ උසස් වෘත්තීය අධ්‍යාපනය තුළ ඊට ලබා දී ඇති සුපිරි අගය, ඉහළ සමාජ බලය සහ උසස් වටිනාකම මතය. දේශීය වෛද්‍ය ක්‍රම සඳහා ඉහළ අගයක් ලැබෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළ මේ තත්වය වෙනස් වන්නට ඉඩ තිබේ. එහෙත් දේශීය වෛද්‍ය ලියාපදිංචිය ලබා ගත් හා ලබා ගන්නට බලා සිටින බටහිර වෛද්‍යවරුන් ද ඇති බව අමතක නොකළ යුතුය. අවසන් වශයෙන් ගමගේ මහතා ගෙන් මා ඉල්ලා සිටින්නේ මෙබඳු වැල් කතා - බොල් කතා පසෙක තබා දේශීය වෛද්‍ය ක්‍රමය ගැන අශාස්ත්‍රීය නිගමන හා මත පළකිරීමේ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා සහේතුක හා සබුද්ධික සංවාදයකට එළඹෙන ලෙසයි.

මෙරට දේශීය වෛද්‍යවරුන් ගේ සත්කාරකත්වයේ තුබූ සෞඛ්‍ය පද්ධතිය රට වෙදුන් විසින් ආක්‍රමණය කාරණා විට ලංකාවේ සෑම ගමකම පාහේ එක් “වෙදරාළ” කෙනෙකු සිටි බව එවකට ආණ්ඩුකාරයා යටත් විජිත මහලේකම් වෙත යවන ලද ලිපියක සඳහන්ය.  ඉන් අදහස් වන්නේ මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බලය හා අයිතිය බටහිර වෛද්‍ය ක්‍රමය විසින් අධිරාජ්‍යවාදී දේශපාලනය හරහා අත්පත් කර ගත් බවයි. ඒ අනුව රට වෙදුන් ගේ ගොස්තරය හොඳින් හැදෙන්නේ වැඩෙන්නේ ගොඩ වෙදුන් ගේ සාස්තරය විනාශ කිරීමේ තරමට බව ඉන් කියවෙන අනියම් අරුතයි. ඒ සඳහා අතීතයේ ඔවුන් භාවිත කළ උපක්‍රම වලට වඩා සියුම් උපාය වත්මනෙහි සැඟවුණු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. දෙමුහුන්කරණය (hybridization) ඉන් එකකි. එය යම් තරමකට වාසි සහගත ප්‍රතිඵල ලබා දුන් බව දැනට දශක කිහිපයකට පෙර අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට බටහිර වෙදකම් කාන්දු කිරීමෙන් සිදු වූ හානියෙන් පෙනේ. ඊළඟට ඔවුන් යෝජනාව වුයේ විකල්ප (alternative) හෝ සම්පුරක (complementary) ආකෘතිය හරහා සාම්ප්‍රදායික හා දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රධාන සෞඛ්‍ය ප්‍රවාහයෙන් කොන් කිරීමේ උපායයි. එහි ක්‍රියකාරකයින් වන්නේ ද බටහිර වෛද්‍යවරුන්මය. ඔවුන්ට දී ඇති ඉලක්කය දේශීය වෛද්‍ය ක්‍රම නවීන විද්‍යාවට සාපේක්ෂව පැහැදිලි කළ යුතු දැනුමක් ලෙස අත්හදා බැලීම් මට්ටමේ තබා ගැනීමය. ඉන් පසුව හඳුන්වා දෙන්නේ සහබද්ධ (integrated) වෛද්‍ය ක්‍රමය පිළිබඳ මිථ්‍යාවයි. මෙය ගෝලීයකරණ දේශපාලනයේ ඉතා භයානක උපායක් වන්නේ එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දේශීය වෛද්‍ය ක්‍රම බටහිර වෛද්‍ය ක්‍රමය විසින් ගිල ගැනීමේ අවදානමක් පවතින හෙයිනි. එවිට අවසානයේ පවතින්නේ එකම වෛද්‍ය ක්‍රමයකි. එය රට වෙදුන් ගේ ගෝස්තරයට ඉතා හිතකරය.

 වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Wednesday, June 8, 2016

ආයුර්වේද අම්බරුවන් කෙත පාලු කරන විට පඹ-ගාලට යට වූ නීතිය



අම්බරුවන් සිටින්නේ කුඹුරු හාන්නට ගොයම් පාගන්නට මිස පරිපාලන කටයුතු වලට නොවේ. ඒත් ඉඳ හිට අම්බරුවන් එබඳු වැදගත් තනතුරු වලට පත් කරන්නේ ඊටත් වඩා දේශපාලන අම්බරුවන් විසිනි. එසේ පත් කළ එක අම්බරුවෙකු ආයුර්වේද වෛද්‍ය සභාවේ ද තනතුරක් දරයි. අද මේ ලිපිය ලියන්නේ ඒ අම්බරුවාගේ ගොන් වැඩ ඉවසා සිටින්නට තරම් සිත් නොදෙන නිසාය. කෙත රකින්නට පඹයෙකු හිටවන්නේ පඹයා ගෙන් සේවාවක් හෝ කිසියම් ක්‍රියාකාරී රාජකාරියක් බලාගෙන නොවේ. ඒත් පඹයා සිටගෙන ඉන්නේ ගොවිරාලගේ නියෝජිතයා ලෙසය. එබඳු පඹයන් රැසක් එකතැනක සිටින විට එය පඹ ගාලකි. හරියට හරක් රැළක් ලගින තැන හරක් ගාල වූවා සේය. දැන් පඹ ගාල කුමක්දැයි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. එහෙත් අම්බරුවාගේ ගොන් වැඩ වලට පඹයින් ගේ විරෝධයක් හෝ ඊට එරෙහිව නැගෙන්නට පඹයින් හට ශක්තියක් හෝ නොමැති බව පමණක් දැනගැනීම ප්‍රමාණවත්ය. එනිසා අද කතා කරන්නේ ඒ පඹ ගාලට යටව වල් වැදුණු ආයුර්වේදයේ නීතියයි.  මෙතැන් සිට මා ලියන දේ මගේ වෘත්තීය අනාගතය තීරණය කරන අවදානම්සහිත කරුණු වන්නට හැකි බව මා හොඳින්ම දනිමි. එහෙත් මීටත් වඩා තීරණාත්මක දේ ලියා බැට කා පුරුදු මගේ පෑනේ ඉවසීමේ සීමාව ඉක්මවා තිබේ.  එනිසා මා දැන් මේ අවදානම ගැනීමට තීරණය කළෙමි.

ආයුර්වේද වෛද්‍ය සභාව යනු මේ රටේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළම නීතිමය අධිකාරි බලය සහිත උත්තරීතර ආයතනයකි. ආයුර්වේද වෛද්‍ය වෘත්තියේ අභිමානය සහ නෛතික වරප්‍රසාද ආරක්ෂා කර දෙන ඉතා බලසම්පන්න ගෞරවනීය සභාවකි. 1961 අංක 31 දරණ ආයුර්වේද පනත යටතේ ස්ථාපනය කළ පුද්ගල මණ්ඩලයකි. එය බටහිර වෛද්‍ය සභාවට නොදෙවෙනි ලෙස සිය අභිමානය සහ බලය පතුරුවා සිය වෘත්තියේ ගරුත්වය හා ගුණාත්මකභාවය ආරක්ෂා කළ යුතු ආයතනයකි. එහෙව් ආයතනයක් අද පත්ව ඇති ජරාජීරණ නිවට නියාලු තත්වය ගැන අපි කණගාටු වීමෙන් පමණක් සෑහීමකට පත් විය නොයුත්තෙමු. මන්ද ආයුර්වේද වෛද්‍ය සභාව බාල්දු වන තරමට අපේ වෘත්තීය අභිමානය හා ගරුත්වය ද පහළට ඇද වැටෙන බැවිනි. මෙවැනි අම්බරුවන් එහි ගෞරවය කෙලෙසද්දී අපි ඊට එරෙහි විය යුත්තේ එය අපේ වෘත්තීය අයිතියක් නිසාය. ආයුර්වේද වෛද්‍ය සභාවේ කාර්යය විය යුත්තේ ආයුර්වේද වෘත්තියේ ප්‍රතිරූපය ගෞරවාන්විතව ඉහළ නැංවීම මිස එය බිම හෙළීම නොවේ . එනිසා අපි බිය විය යුත්තේ හිස නමා ගරු කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුකුලව නීතිය ක්‍රියාත්මක කරන ආයුර්වේද වෘත්තීය වරප්‍රසාද ආරක්ෂා කරන වෛද්‍ය සභාවකට විනා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි පඹයින් රැළකට නොවේ.

ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු හැර අන් අය ඒ සඳහා තමන් පත් කළේ කුමක් නිසාදැයි  නොදනී. සමහරුන් සිතන්නේ එය තමන්ගේ පිනට, වාසනාවට, නම්බුවට, කීර්තියට, ලැබුණු බෝනස් තනතුරක් බවය. සමහරුන් එය තමන්ගේ ලිපි ශීර්ෂයේ, මුද්‍රාවේ, නාම පුවරුවේ සිය නම සරසන ආභරණයක් ලෙස එල්ලා ගෙන සිටී. සමහරුන් මේ සභාවේ කතා කරන්නේ මොනවාද යන්න නොදනී. සමහරුන් කට අරින්නේ කේක්, බූන්දි, පුහුල්දොසි, ඇපල්, කන්නට මිස කතා කරන්නට නොවේ.  එනිසා අම්බරුවා සිය ජාවාරම ජයට කර ගෙන යන්නේ මේ සාමාජිකයින් පඹයින් ට ඇන්දීමෙනි. සමහර සාමාජිකයින් හෝටල් අයිතිකරුවන්ය. සමහරුන් ස්පාකාරයින්ය. දැන් ඔවුන් සාමාජිකත්වය අත් හැර ගොසින්ය. එහෙත් ඊට ගැලපෙන අය පත් කරන්නේ ද නැත. ඉතිරී අයගෙන් දෙතුන් දෙනෙක් නොබියව සිය අදහස් ඉදිරිපත් කරති. මේ විවේචනය ඒ මහත්වරුන් නෝනාවරුන් ගැන නොවේ. මෙය අදාළ වන්නේ ඒ අයට සහාය නොදෙන අම්බරුවාගේ ගොම්පස් අල්ලන පඹ-ගාලේ ඇත්තන්ටය. ඒ අතර හිටපු ලේඛකාධිකාරීවරු දෙන්නෙක් ද සිටී. ඉන් එක් අයෙක් හැසිරෙන්නේ පල් මෝඩයෙක් මෙනි. අනෙකා එලෝ විකාරෙන් මෙලෝ අත ගාන පිස්සෙකි. දෙදෙනාම උඩඟු වී සිටින්නේ තමන් ගේ දැනමුතුකම් ගැනය. නිතර ගොන් කතා කියන හාදයා ලේඛකාධිකාරීකමට පත් කළේ බේත් කොම්පැනියක කළමනාකාර අධ්‍යක්ෂකම දරන ගමන් ය. ඉතිහාසයේ පළමු වතාවට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී එම කාර්යාලයේ සිට බිස්නස් කළේ ඒ හාදයාගේ කාලයේදීය.

දැන් උන්නැහේ ඊට වඩා නරක නින්දිත අශික්ෂිත අයුරින් හැසිරෙන බව සියල්ලෝ දනිති. අල්ලස, දුෂණය, අක්‍රමිකතා සහ අවිධිමත් බව රජයන වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ගේ ඔළුවට අත හෝදා හොරුන් මගඩිකාරයින් රකින නිවට නියාලු ආයතනයක් බවට පත් කළේ මේ අම්බරුවාය. තමන්ට රිසි පරිදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පත් කොට කිසිම දැනුමක් නැති වෛද්‍ය අඩලයින් එහි සභාපති කර මුදලට ලියාපදිංචිය දුන් කාලයේ ගොනු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතු කාලය එළඹ තිබේ. දැන් ඒ මගඩිය තේරුම් ගත් කොමසාරිස්තුමා ඇතුළු වෛද්‍ය සභාව සම්මුඛ පරීක්ෂණ සංචිතයක් සැකසීමෙන් කලබලයට පත් මොහු “හොර ලියාපදිංචිය” සඳහා වෙනත් විකල්ප සොයමින් සිටී. ගෝලයා ලියාපදිංචියට එන විට ගුරුවරයා පරීක්ෂණ මණ්ඩලයේ ය. එය අතටම අහු වුණු විට ප්‍රතිඵල අවලංගු කොට වැඩේ ඉවර කර දැම්මා මිස එයට මුල් වූ අම්බරුවා ට එරෙහි පියවරක් ගත්තේ නැත. පහුගිය කාලයේ පවුල් පිටින් ලියාපදිංචි කළ අයුරු දැන් සොයා බැලිය යුතු බව වෛද්‍ය සභාවට යෝජනා කරමු. වෛද්‍යවරුන්ගේ වෘත්තීය විනය ගැන සෙවීමට පෙර සිය සභාවේ ලේඛකාධිකාරී ගේ හැසිරීම හා කටයුතුවල සදාචාරාත්මක බව හා ඊට අදාළ අක්‍රමිකතා ගැන සෙවිය යුතු නොවේද?

වෛද්‍යවරුන් ගේ සම්මන්ත්‍රණ වලදී ආයුර්වේද නීතිය ගැන දෙසුම් කරන්නට මොහුට ඇරයුම් නොකරන්නේ මොහු ඊට සුදුසු නොවන නිසාය. වරක් දෙකක් එසේ දේශන කරන්නට ගොස් වෛද්‍යවරුන් ඉදිරියේ පච වූ පසුව කරපටියෙන් ගෙල වැල දා ගැනීම හැර වෙනත් දෙයක් කළ නොහැකි විය. අදටත් ආයුර්වේද වෛද්‍ය සභාවේ අභිමානය හා ගෞරවය ආරක්ෂා කිරීමේ පෞරුෂයක් ඇතිව යම සභාවක පෙනී සිටීමට මොහුට හැකියාවක් නැත. එය මුළු මහත් ක්ෂේත්‍රයම දන්නා සත්‍යයකි. එහෙත් වෛද්‍ය සභාවේ සමහර බබාලා නොදැනීම පුදුමයකි. වෛද්‍ය සභා කාර්යාලය තුළම පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදෙන මොහු අමු අමුවේම වෘත්තීය ආචාරධර්ම කඩ කරයි. සාමාන්‍යයෙන් ලේඛකාධිකාරී තනතුරට පත්වන තැනැත්තා අනෙක් වෛද්‍යවරුන් සමඟ තරගකාරී ලෙස වෘත්තියේ නියැලීම නොකළ යුත්තකි. මොහු ඉතා නිර්ලජ්ජිව සිය තනතුර ඒ සඳහා යොදාගනී. වෛද්‍යවරුන් අතර ගැටුම් ඇති වන විට හොඳින් සොයා බලා තෝරාගන්නේ සල්ලි තියෙන පැත්තය. ඉන් පසුව අහිංසක වෛද්‍යවරයා තලාපෙළා වරද පටවා නිහඬ කරයි. සල්ලි ඉදිරියේ පමණක් නීතිය ක්‍රියාත්මක කරන බව පෙන්වන නරුමවාදී නිවට ප්‍රතිපත්තියට විරුද්ධව කිසිවෙක් ඉදිරිපත් නොවේ.

හොර වෙදුන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සිදු නොවන්නේ ඇයිද යන්න වලංගු ප්‍රශ්නයක් නොවන්නේ පගාවට ලියාපදිංචිය ලබා ගැනීම සඳහා හොර වෙදුන් හට අවස්ථාව සලසා ඇති හෙයිනි. හොර වෙදුන් වෛද්‍ය සභාවට බිය නැත්තේ එනිසාය. උන් වෛද්‍ය සභාවට පස්ස හරවන්නේ එනිසාය. හොර වෙදුන් ගේ මගඩි වැඩ නිසා වෛද්‍ය සභාව අපහාස උපහාස විඳින්නේ එනිසාය. කොටින්ම කිව හොත් මේ අම්බරු නිලධාරියා නිසාය. පසුගිය කාලය තුළ ස්පා මුදලාලිලා, බස් වල බේත් විකුණන වෙළඳුන්, ගස් යට සාස්තර කියන හොර වෙදුන් ආදී නොයෙක් ආකාරයෙන් මේ ක්ෂේත්‍රය කෙලෙසන උන් තොග පිටින් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කළේ කවුද යන්න සොයා බැලිය යුතුය. ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයින් ද මේ වරදේ කොටස්කරුවන් බව අමතක නොකළ යුතුය. එපමණක් නොව බටහිර වෛද්‍යවරුන් ද යන්තම අරිෂ්ටයක් දෙකක් කට පාඩම් කොට ලියාපදිංචි වූයේ මොහුගේ ආශිර්වාදයෙනි. මට හොඳින් මතක ඒ කාලයේ ප්‍රතික්ෂේප කළ ලිපි ගොනු යළිත් කරලියට ආවේ මොහුගේ උග්‍ර ආර්ථික අර්බුදයට පිළියම් ලෙසය. ක්ෂේත්‍රයේ පැතිරී ඇති කතා අනුව එක එක වර්ගයේ හොර ලියාපදිංචි කිරීමේ ගාස්තු වෙනස්ය. වරෙක කුරුණෑගල අහිංසක සර්ප වෙද මහතෙකු ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයක් ඉල්ලු පුවත එවක ඇමතිගේ අතටම අහු වුණත් එයින් ඇතිවූ පලයක් නොවීය. මාස කිහිපයකට පෙර වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව හිතුමතේ පරීක්ෂණ මණ්ඩල පත් කොට යාපනයේ විශාල මගඩියක් සිදු කළේය. එහෙත් වෛද්‍ය සභාවේ තීරණ වලට පටහැනිව ක්‍රියාකරන මේ අම්බරුවාගේ සියලු අක්‍රමිකතා  යටපත්ඒ කරන්නේ ඇයි දැයි විමතියකි. ගැන අමතක කොට  මොහුට විරුද්ධව ඇති චෝදනා නොසලකා හරින, මොහුට විරුද්ධ පරීක්ෂණ යට ගසන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක සිටින නෝනා එසේ කරන්නේ කාගේ හයියකින් දැයි සෙවිය යුතුය. තවමත් බලවත් පසුගිය ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියලා නම් මේ යහපාලනයෙනුත් ආයුර්වේද ක්ෂේත්‍රයට වන යහපතක් නැත.

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ඉතා පැහැදිලි හා නිශ්චිත නීති පද්ධතියක් ගැසට් මගින් ප්‍රකාශ කර ඇති නමුත් එය පවා ක්‍රියාත්මක කර ගත නොහැකි නිවට නියාලු තත්වයට අද වෛද්‍ය සභාව පත්ව ඇත්තේ මේ අම්බරුවාගේ නින්දිත හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍යතාවක් නැත. රුපවාහිනි, ගුවන් විදුලි, පුවත්පත් හරහා වෙළෙඳ දැන්වීම් මගින් ප්‍රචාරය කරමින් රෝගීන් සුරා කන මගඩි වෙදුන් මැඩීමට මොහු ට කිසිදු වුවමනාවක් නැත. දියවැඩියාව නිට්ටාවට සුව කරන බව කියමින් පුරසාරම් දැන්වීම් දමන මහවිල වෙදා ගෙන් මොහු ලබන පඬුරු පාක්කුඩම් වලට යටවී නිහඬව සිටින්නේ වෛද්‍ය සභාවේ දුර්වලකම නිසාය. පසුගිය වසරකට ආසන්න කාලය තුළ මොහු මේ දැන්වීම් ඉදිරියේ නිහඬව සිටියා පමණක් නොව වෛද්‍ය සභාවේ විමර්ශන අංශය ද අඩපණ කළේය. දැන් වෛද්‍ය විෂමාචාර වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව ඉතා හොඳින් දන්නා මෙබඳු සුචකයින් රෝගීන් මුලා කොට ඔවුන්ගේ මුදල් සුරා ගනියි. ක්ෂේත්‍රයේ ගුණාත්මක බව ඉතා නින්දිත ලෙස පිරිහෙමින් තිබේ. මේ පිරිහීම ආරම්භ වූයේ මුලින් කි බේත් කොම්පැණිකාර ලේඛකාධිකාරී ගේ පාලන සමය තුළය. ඔහු හිට ගෙන කළ දේ මොහු දුව දුව කරන බව බලා සිටින අයට තේරෙයි. ඔහු වෛද්‍ය සභාව තුළ මේ අම්බරුවා විවේචනය නොකර රකින නිසා මේ ගොන් පාට්  ඔහු ද අනුමත කරන බව පෙනේ.

මොහු නීතිය ක්‍රියාත්මක නොකළාට වෛද්‍ය සහතික පොතක් ගන්නට හෝ හැඳුනුම්පතක් හදා ගන්නට  වෙනත් යම් වැඩකට එන අහිංසක වෙද මහතුන්ට පුප්පන, ගොරවන, කාඩ් බෝඩ් වීරයෙක් ලෙස හැසිරෙයි. නැවත ලියාපදිංචියක් ගැන බොරු බියක් මවා පාමින් නීතිය වැරදියට අර්ථකථනය කොට වෛද්‍යවරුන් ගේ මුදල් ගසා කන මට්ටමට වෛද්‍ය සභාව පත් කළේ මේ අම්බරුවාගේ මග පෙන්වීමයි. වෛද්‍ය සභාව සතු දේපළ හා බලතල අනිසි ලෙස භාවිත කරනවා පමණක් නොව මොහු විසින් කරන ලද වාහන අවභාවිතයේ විගණන වාර්තා යටපත් කොට තිබේ. යන එන ගමන් ස්පා වලට කඩා පැන පගා ගැනීමේ ක්‍රමවේදයක් ද මේ පුද්ගලයා ගේ අනුදැනුම මත ක්‍රියාත්මක වේ. ඒවායේ අයිතිකරුවන් හා වෛද්‍යවරුන් බිය ගන්වා මුදල් කඩා වඩා ගන්නා මේ අම්බරුවාගේ ක්‍රියාකලාපය වෛද්‍ය සභාවට පමණක් නොව මුළු ක්ෂේත්‍රයටම නින්දාවකි.  යම් ආයතනයකට ඇතුළු වීමේදී අනුගමනය කළ යුතු සම්මත රීති හා රෙගුලාසි වලට පටහැනිව තමන්ගේ හිතු මතේ ආයතන වලට කඩා පැනීමේ බලයක් වෛද්‍ය සභාවට නැත. එහෙත් මේ අම්බරුවා සල්ලි වලට ඕනෑම හබකක් යටින් රිංගන තාලයේ බාල ගණයේ නිලධාරියෙකි. වෛද්‍ය සභාවේ ගෞරවය රකිමින් වෙනත් ක්ෂේත්‍ර සමඟ ගණුදෙනු කිරීමේ හැකියාව ඇති නිලධාරින් වෙනුවට වැදගත් සභාවක් නියෝජනය කළ නොහැකි අම්බරුවන් මේ තනතුරු වලට පත් කළ වුන් දැන් ගෙදරය. ඒත් උන්ගේ පව් අපේ කර පිටින් යන විට ඒවාට වග කියන්නේ කවුද?

මෙබඳු අම්බරුවන් විසින් කෙලෙසු වෛද්‍ය සභාවේ ගෞරවය හා පරිහානියට පත් කළ අභිමානය යළිත් අත්පත් කර ගැනීමේ ඉතා දැවැන්ත මෙහෙයුමක් දියත් කළ යුතුය. ආයුර්වේද කොමසාරිස්තුමා ඇතුළු වෛද්‍ය සභාව මෙම මෙහෙයුමේ මූලිකත්වය ගත යුතුය. ඒ සඳහා නායකත්වය දිය හැකි කිහිප දෙනෙකු හෝ වෛද්‍ය සභාවේ සිටින බව අපේ විශ්වාසයයි. එසේ නොමැති නම් මේ තත්වය විෂය භාර අමාත්‍යවරයා වෙත වහා වාර්තා කොට එතුමාගෙන් ඉක්මන් විසඳුමක් ඉල්ලා සිටිය යුතුය. ආයුර්වේද ක්ෂේත්‍රයේ ගුණාත්මක බව හා වෘත්තීය අනන්‍යතාව ඉහළ නැංවීමේ මෙහෙවරට උර දීමේ අයිතිය හා වගකීම සියලු ආයුර්වේදහිතකාමී වෛද්‍යවරුන් සතුය. මේ කරුණු ඉදිරිපත් කළ පුද්ගලයා පෞද්ගලිකව කොටු කර ගැනීමට හෝ ඔහුගෙන් පළිගැනීමට වඩා වටින්නේ කරුණු වළ සත්‍යාසත්‍යතාව සොයා බැලීමයි. නිර්නාමිකව මඩ ගැසීමට වඩා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට තරම් කොන්දක් මට තිබෙන නිසා ඕනෑම අවස්ථාවක මේ ගැන පවත්වන පරීක්ෂණයක් හමුවේ පෙනී සිටීමට කැමැත්තෙමි. එනිසා විධිමත් ලෙස සකස් කළ මෙහි නිත්‍යානුකූල පිටපත් ආයුර්වේද වෛද්‍ය සභාවේ සියලු සාමාජිකයින් වෙත යවනු ලැබේ. මා විශ්වාස කරන්නේ “දුම් දමමින් දිගු කලක් රැඳී සිටිනවාට වඩා එකවර ඇවිලී ආලෝකය දී නිවී යාම” උතුම් බවයි. එබැවින් මා අවුලවන මේ මතය ගින්නක් සේ පැතිරී මේ අවනීතිය දවා අළු කරනු දැකීම මගේ අපේක්ෂාවයි.


වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා