Tuesday, February 3, 2015

ගඟෙන් දිය බී මුහුදට ආවඩන කරිජ්ජ පුරසාරම හෙවත් ආයුර්වේදයේ ඉන්දියානු යටත්විජිතවාදය


මාතෘකාව දුටු විගස ඔබට එහි කිසියම් සැඟවුණු අරුතක් පෙනෙන බව දනිමි. එනිසා පළමුවෙන් මාතෘකාව ලිහා ගැනීම වැදගත් ය. “ගගෙන් දිය බී මුහුදට ආවඩන” උපමාව යොදන්නේ යම් තැනකින් යම් ප්‍රතිලාභයක් ලබන අයෙකු තමන් හට එම ප්‍රතිලාභය ලබා දුන් මුල් අමතක කොට වෙනත් තැනකට එම ගෞරවය හෝ අයිතිය ලබාදීම පිළිබඳවයි. එම උපමාවේ අරුත වෙනත් මානයකින් විමසා බැලීම සඳහා තවත් උපමාවක සහාය ලදිමි. “පියා ගේ ළිඳ යැයි කරදිය බීම” යනු ගතානුගතික අදහස් හා පිළිගැනීම් වැරදි බව දැන දැන දැනි දැනී එය පිළිනොගෙන හෙළිනොකර දිගින් දිගටම එහිම රැඳී සිටීමයි. මේ උපමාව බිහි වන්නේ මා දන්නා පරිදි සංස්කෘත ශ්ලෝකයක අදහස ලෙසය. “කරිජ්ජ පුරසාරම” යනුවෙන් මා අදහස් කළේ තමන් එකී ගතානුගතික අදහස් වැරදි බව පිළිනොගන්නවා පමණක් එහි අගය අන් අයට ඒත්තු ගැන්වීමට හා එහි උතුම්බව වර්ණනා කිරීමට උත්සුක වීමයි. කරිජ්ජ බීමට අපහසු බවත් ඉන් පිපාසය නොනිවෙනවා පමණක් නොව වැඩිවෙන බවත් දැන දැන එයම අත්දකිමින් එය අන් අයගෙන් සඟවා පියාගෙන් උරුම වූ ළිඳ නිසාම  එහි ගුණ වැනීම කරිජ්ජ පුරසාරමයි.  මුහුදේ ඇත්තේද කරිජ්ජයි. එයද බීමට සුදුසු නොවේ. එහෙත් ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නේ ද මෙකී කරිජ්ජ පුරසාරම නිසාය.

මේ කරිජ්ජ පුරසාරම ආයුර්වේදයට සම්බන්ධ වන්නේ කෙසේදැයි බලමු. අද මේ අපි සියලු දෙනා අතැඟිලි බැඳ වන්දනා කරන ආයුර්වේදය ඉන්දියානු යටත්විජිතවාදයේ දායාදයක් බව මා පිළිගන්නා සාක්ෂ්‍ය-පාදක කල්පිතයයි. පසුගිය ලිපියේ මෙසේ සඳහන් කළෙමි. “බ්‍රිතාන්‍ය කිරීටය යටතේ නිදහස් අරගලයට පුරෝගාමිත්වය දුන් නියමුවෝ දේශීය වෛද්‍ය ක්‍රමයේ නෛතික අයිතීන් සම්බන්ධයෙන් ද සිය න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් දුන්හ. එහෙත් අපිට ලැබුණේ ඉන්දියානු ආකෘතියේ ආයුර්වේද සම්ප්‍රදාය මත පදනම් වූ සුසමාදර්ශයකි.” මේ ප්‍රකාශය බොහෝ දෙනා පිළිනොගන්නා නමුත් එය යළි යළිත් අවධාරණය කරන්නේ ඒ සඳහා ඓතිහාසික මෙන්ම සමාජ විද්‍යාත්මක  සාක්ෂි අතැතිවය. අපි “අපේ ආයුර්වේදය” හෙවත් “ආයුර්වේදයේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය” ලෙස සලකා ගෙන හිස් මුදුනින් පිළිගත් ශාස්ත්‍රීය උරුමය සත්‍ය වශයෙන්ම අපේ අනන්‍යතාව නියෝජනය කරන්නේද? අපි ඒ සඳහා අවස්ථාව ලබා දි තිබේද? අපි එහි සැබෑ මුල් සොයා ගොස් තිබේද? ඒ පිළිබඳව ප්‍රමාණවත් සංවාදයක් කර තිබේද? අපි මේ ගැන විවෘතව සාකච්ඡා කිරීමට සුදානම්ද? කොටින්ම කිව හොත් අපි අද අපිට හඳුන්වා දුන් ඉන්දියානු ආයුර්වේදය හැර අන් දේශීය දැනුම් පද්ධතියක උරුමය ගැන හැඟීමක් තිබේද?

සම්ප්‍රදායික ආයුර්වේද ක්ෂේත්‍රයේ වෘත්තීය අනන්‍යතා තුනක් මට පෙනේ. ආයතනික අධ්‍යාපනයක් නොලද පාරම්පරික ගුරු කුල අධ්‍යාපනය තුළ ශික්ෂණය ලද දේශීය වෛද්‍යවරු එහි පළමු කොටසයි. දෙවැන්න ආයතනික අධ්‍යාපනය ඔස්සේ පොදු අභිඥාන පත්‍රයක් සඳහා නිශ්චිත විෂය නිර්දේශයක් තුළ යම් කාල සීමාවක නියමිත පාඨමාලාවක් හදාරා ඇති වෛද්‍යවරුන් වේ. තුන්වැනි කොටසට අයත් වන්නේ පිළිගත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නිර්ණායක මත උපාධි ලත් වෛද්‍යවරුන් ය. මෙම කොටස් තුන කාලය සමඟ ගලපන විට එකිනෙක අනුපිළිවෙළට තබා අනුක්‍රමයෙන් පරිණාමය වූ බව නිගමනය කළ හැකිය. එහෙත් ඇත්තටම පිළිගැනීමට සිදු වන්නේ දෙවන කොටසින් තුන් වැනි කොටස පරිණාමය වූ බවයි. බොහෝ දෙනා අමතක කරන සත්‍යය නම් පළමු කොටසේ පුර්වජයින් දෙවන කොටස බිහි කිරීමේ ලා ඉතා දැඩි කැපකිරීමක් සිදු කළ බවය. එහි අනෙක් අරුත් වන්නේ පළමු කොටස නොමැති ව තුන්වන කොටස බිහි නොවන බවය. එහෙත් දැන් පළමු කොටස ක්‍රමයෙන් අභාවයට යන හෝ විකරණයට බඳුන් වෙමින් පවත්නා කොටසක් බවට පත්ව තිබේ. එසේ නැතහොත් පළමු කොටස දෙවන කොටසේ හෝ තෙවන කොටසේ ආධිපත්‍යය පිළිගත් ඔවුන්ගේ අනුකම්පාව ලබන පිරිසක් බවට පත්ව තිබේ. මෙය සමහරුන්ට නම් විනෝදයකි. මම අද කතා කරන්නේ ආයුර්වේදයේ එම කරිජ්ජ පුරසාරම ගැනය.

අපි වසර ගණනාවක් ගත කළේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේය. එහි ජාතික වැඩසටහන හැදින්වුයේ  වුයේ හෙළ වෙද පුනරුද නමිනි. අපේ විශ්වවිද්‍යාල ආයතන වල දේශීය චිකිත්සා දෙපාර්තමේන්තු තිබේ. ඒත් කුමක්ද මේ කියන දේශීය වෛද්‍ය ක්‍රමය?. ආයුර්වේද පනතේ 81 වැනි වගන්තිය යටතේ ආයුර්වේද යන්නට දේශීය චිකිත්සා ක්‍රම ඇතුළත් කර තිබේ. එහි අදහස නම් දේශීය වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේ උපාංගයක් හෝ එහි ඇතුළත් කොටසක් බවයි. මෙය නෛතික වශයෙන් දේශීය වෛද්‍ය ක්‍රමය අවතැන් කළ ප්‍රධානතම අවස්ථාවයි. ආයුර්වේදය තුළ ඉන්දියානු යටත් විජිතවාදය නෛතිකව ස්ථාපනය කරන්නේ 1961 අංක 31 දරණ ආයුර්වේද පනත තුලින්ය. ප්‍රධාන විශ්වවිද්‍යාල ආයතන දෙකෙහිම පුරෝගාමී ආයතන ආරම්භ කරනුයේ ඉන්දියානු ක්‍රමයේ ශ්‍රී ලාංකේය දේශීය මාදිලිය ලෙසයි. එය සමාන වන්නේ සියම් දේශයෙන් රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ගෙනවිත් පිරිහී තිබු බුදු සසුන නගා සිටුවීමේ වැඩපිළිවෙලටය. එවිට විසිවන සියවසේ මුල් දශකය තුළදීම ඉන්දියානු යටත් විජිතවාදය ශාස්ත්‍රීය සම්ප්‍රදාය තුළ මැනවින් ස්ථාපිත කරනු ලැබීය. එහෙත් ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය මෙකී සුසමාදර්ශයෙන් පිටස්තර සම්ප්‍රදායක් හඳුන්වා දීමට යම් ප්‍රයත්නයක් දැරූ බව පෙනේ. එහි ඉරණම කෙබඳු වීදැයි විමසීම ඉතා හොඳ සමාජවිද්‍යාත්මක අධ්‍යයනයකි. (මේ කරුණ පසුව වෙනම සාකච්ඡා කරමි.)

දේශීය වෛද්‍ය ආඥා පනත වෙනුවට හඳුන්වා දුන් ආයුර්වේද පනත තුළ පිහිටවනු ලබන සියලු ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ල ආයුර්වේද නාමය යටතේ හඳුන්වනු ලැබිය. ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවට ආයුර්වේද දෙපාර්තමේන්තුව පිහිටුවා ආයතනික අනන්‍යතාව ද පෙරකී යටත් විජිතවාදී බලපෑමට නතු කරන ලදී. ස්වදේශීය වෛද්‍ය විද්‍යාලයෙන් පිරිනැමුණු DIMS යන්න DAMS බවට පත්විය. වෙනස වුයේ Indigenous යන්න වෙනුවට Ayurveda යන්න ආදේශ කිරීමයි. අද වන විට දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ “දේශීය” කොටස හුදු සැරසිල්ලක් පමණක් බවට පත්ව තිබේ. එහි කෞතුක වටිනාකමක් විනා  කිසිදු අනන්‍ය ශාස්ත්‍රීය අගයක් නොමැත. එය බොරැල්ල - ගම්පහ - නාවින්න ඇතුළු ආයුර්වේද ත්‍රිකෝණයම එකසේ අත්විඳින ඉරණමකි. දේශීය හෝ පාරම්පාරික යන යෙදුම බොහෝ සෙයින් (අඩු වැඩි වශයෙන් සැම විටෙකම පාහේ) යෙදුණේ ආයුර්වේදයේ චිර පැවැත්ම තව දුරටත් සුවසේ ඉදිරියට ගෙන යාමට හෝ එහි අගය වැඩි කරන රසකාරකයක් (රම්පෙ, කරපිංචා) හෝ එහි ජාත්‍යන්තර පිළිගැනීම වැඩි දියුණු කරන හෙවත් ප්‍රසන්න පෙනුමක් දෙන සැරසිල්ලක් ලෙස බව නොබියවම කිව හැකිය.

පාරම්පාරික වෙදුන් හුදු රෙද්ද බැනියම ඇඳි බුලත් සපන කොණ්ඩය බැඳී ගැමි පෙනුමක් ඇති බයාදු රුපකායකින් හෙබි පිටිසර බස් වහරන අය ලෙස ගත හොත් බී.ඒ.එම්.එස්. වෛද්‍යවරුන් කලිසම් කෝට් ඇඳ ටයි පටි  පැළඳ ඉංග්‍රීසියෙන් කතා කරන වෘත්තිකයින් පිරිසක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් එය එසේම නොවේ. මෙය ඉතා ගැඹුරට විහිද යන සංවේදී  සමාජ ගැටලුවකි. පාරම්පාරික වෙදුන් යනු උපාධිධාරී වෛද්‍යවරුන් හට ජීවිකාව සලසා දීම සඳහා සිය දිව පෙවෙත කැප කළ පිරිසකි. ඔවුන් රාජ්‍ය අනුග්‍රහය ලත් (එහෙත් අසංවිධිත හා අවුල්සහගත ) දීප ව්‍යාප්ත ආයුර්වේද ප්‍රතිකාර සේවාව නිසා ආර්ථික වශයෙන් අවතැන් වූ වෘත්තීය අනාථයින් පිරිසකි. (බොහෝ පාරම්පරික වෙදුන් සමෘද්ධි සහනාධාර ලාභීන් වේ. වරෙක ඔවුන් හට දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් දිළිඳු සහනාධාර දුන් බවද මතකය.) ඔවුන් නිතර දේශපාලනික අවභාවිතාවට ගොදුරු වන සමාජ සංස්ථාවකි. විටෙක බුද්ධිමය සුරා කෑමට බඳුන් වන එහෙත් ඇගයීමට ලක් නොවන ශාස්ත්‍රධරයින් පිරිසකි. ඔවුන්ගේම නම විකුණන ඔවුන් වෙනුවෙන් පෙනීසිටින ඔවුන්ගේම කපටි ආරක්ෂකයින් හට වරින් වර රැවටෙන පිරිසකි. කොටින්ම ආයුර්වේද ක්ෂේත්‍රය අද පවතින තත්වයට බොහෝ සෙයින් දායක වී එහෙත් අමතක කළ පිරිසකි. එහෙත් පුදුමය නම් ආයුර්වේදයේ ධූරාවලිය තුළ ඔවුන් සිටිනුයේ පහළම ස්ථරයේ වීමයි.

බොහෝ මධ්‍යම බෙහෙත් ශාලා මගින් අත්පත් කර ගෙන් ඇත්තේ ගම් නියම් ගම් වල පාරම්පරික වෙදුන් වටා ගොනුව තිබු රෝගීන් සංචිතය බව සංඛ්‍යාත්මකව ඔප්පු කළ හැකිය. එනිසා රාජ්‍ය සේවයේ වැටුප් ලබන ආයුර්වේදඥයින් පාරම්පරික වෙදුන් රජයට සිය ගොදුරු බිම් පවරා දීම ගැන ඉතා කෘතඥ විය යුතුය. මා මේ කියන “නියම පාරම්පරික වෙදුන්” අද ඉතිරිව ඇත්තේ අතලොස්සකි. ඔවුන්ගේ දැනුම සහ උරුමය සංරක්ෂණය කරන්නට මෑත කාලයේ ගත් සෑම උත්සාහයක් ම රජයේ අදුරදර්ශී බව හෝ ඔවුන්ගේ කපටි ආරක්ෂකයින් ගේ මුග්ධ බව නිසා අඩාල වූ බව මම දනිමි. ඒ සඳහා වෙන් වූ මුදල් කිසි විටෙකත් සැලසුම් සහගත ලෙස භාවිත නොකළ බව සහතිකය. මේ සියල්ලට හේතුව ඉන්දියානු ආයුර්වේද සම්ප්‍රදාය ක්ෂේත්‍රයේ සියලු දේශීය අනන්‍යතා යටපත් කොට සිය ආධිපත්‍යය පතුරුවා තිබීමයි. සියලු තැන්හි එයම ඉස්මතු වීමයි. එනිසාම අපේ දේශීය පාරම්පරික සම්ප්‍රදායේ උරුමයන් සහ අනන්‍යතා ගවේෂණය නොකරීම සහ ප්‍රයෝජනයට නොගැනීම නිසා අපතේ යන බව පෙනේ. මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක් අපට අහිමි වී ගොස්ය. දේශපාලනඥයින් අපේ දේශීය වෙදකම යැයි මොර දුන්නාට එහි අරුත සහ අගය නොදැන හුදු රැල්ලට කරන ඝෝෂාවක් වේදිකාවට ගෙන එයි. ඇමතිවරුන් පත් වූ විට ඔවුන් වට කර ගන්නා ඇඟිලි වලින් හිට ගෙන මුහුණ දික්කරන දැනුමැත්තන් ගේ උපදෙස් වල ද මේ කතාව නොකියැවේ.

මේ කතාවම තවත් විදියකින් කිව හොත් දේශීය වෛද්‍යවරුන් (පාරම්පරික වෙදුන්) පහසුවෙන් ඇන්දිය හැකි ලෙහෙසියෙන් කඩේ යැවිය හැකි පිරිසක් ලෙස ජනප්‍රිය දේශපාලනය තුළ පවතින මතය ඉතා අශික්ෂිතය. සැම මැතිවරණයකදීම වෙද මහත්වරුන් හට ලබා දුන් පොරොන්දු පත්‍රය අද වන තෙක්ම සංශෝධනය කර නොමැති යල් පිනු ලැයිස්තුවක් බව පෙනේ. ඒ තුළ ඇත්තේ සාමවිනිසුරු පදවි වැනි ඉතා අවර ගණයේ පොරොන්දුය. ඉතා අහිංසක ගම්බද වෙද මහතුන් පසුගිය ජනපතිවරණයේ දි අරලියගහ මන්දිරයේ ප්‍රචාරක රැස්වීමට දිවයිනේ සතර දිගින් ගෙනවිත් ගාල් කොට අවසානයේ සමහර වෙද මහතුන් කොළඹ නගරයේ පාර සොයා ගත නොහැකිව ගම්බිම් කරා ගියේ දින කිහිපයකට පසුවය. (අතුරු කතාව: රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් අලුත් ඇඳුම් ඇඳ ජේත්තුවට රජ දැක්මට පේ වී සිටියේ රැකියාව ලබා දුන් පාලකයාට කළ ගුණ සලකන්නටය. සරසවියෙන් ලබා දුන් උපාධිය කොතරම් නොවටිනා දෙයක් දැයි මට සිතුණේ වාසි පිලට පනින වෘත්තීය සමිති නායකයින් ගේ දේශපාලන කතාවලට හුරේ දමන විටය. දැන් ඒ අය මෛත්‍රී පිළේය. යහපාලනයේ කොටස්කරුවන්ය.) කෙසේ වෙතත් සමස්තයක් ලෙස පොදුවේ වෙද මහතුන් ගැන දේශපාලකයින් සිතන්නේ ගෝනි නැතිවම කරේ යන්නට හැකි පිරිසක් ලෙසය.

මා දේශීය චිකිත්සාව හදාරන කාලයේ දැඩි ආයුර්වේදවාදියෙක් වුවා මෙන්ම අනන්‍ය දේශීය චිකිත්සාවක් පිළිබඳ මා තුළ සිදු විශ්වාසයක් නොවිය. ඊට හේතුව අපට දේශීය චිකිත්සාව ඉගැන්වූ ගුරුවරුන් ගේ අඩුපාඩුවක් බව මට අද සක් සුදක් සේ පැහැදිලිය. ඔවුන් දේශීය චිකිත්සාව ලෙස අපට කියාදුන් වට්ටෝරු කිහිපය හැරුණු විට එහි න්‍යායාත්මක හෝ සෛද්ධාන්තික පසුබිමක් ගැන අබ මල් රේණුවක අවබොධයක් නොදුන් බව යි සැබෑව. සමහර විටෙක ඔවුන්ද එය නොදැන සිටියා විය හැකිය. එසේ නම් අපේ ශාස්ත්‍රඥයින් හා පර්යේෂකයින් දේශීය චිකිත්සාවේ සංකල්පීය පදනම හා උරුමයේ මුල් සොයා නොහියේ ඇයි? ඒ සඳහා යම් ශාස්ත්‍රීය පෙළඹවීමක් සිදු නොවුයේ ඇයි? ඊට හේතුව ඉන්දියානු ආයුර්වේදයේ අධිකාරිත්වය සහ එහි අනන්‍යතාවෙන් පරිබාහිර දැනුම් පද්ධතියක් විශ්වාස නොකිරීමට බල කෙරෙන සංස්කෘතිකමය අධිපතිවාදයක් ආයුර්වේද ක්ෂේත්‍රය තුළ පැවතීමයි.  පුරාවිද්‍යාව රාවණා යුගය ගැන නොසොයන්නේත් මහාවංශය හැරුණු කොට වෙනත් ඉතිහාස සම්ප්‍රදායක් මත පදනම් නොවන්නේත් මේ හේතුව නිසාමය. එය බටහිර උගතුන් විසින් අප ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදාය බලෙන් පැටවූ විකල්ප යටත් විජිතවාදය හා සමානය.

කලාපීය බලවතුන් ඇති කිරීම සහ ඒ හරහා කුඩා රටවල් පාලනය කිරීම භූදේශපාලනය තුළ ඉතා ප්‍රබල මෙවලමකි. ඒ මගින් ගෝලීයකරණයේ බලපෑමට කුඩා සංස්කෘතීන් නතු කර ගැනීම හෝ ඒවා කලාපීය සංස්කෘතීන් තුළට අවශෝෂණය කරවීම කාලයක සිට සිදුවන ක්‍රියාදාමයකි. දේශීය දැනුම් පද්ධතීන් ගෝලීය දැනුම් පද්ධතිය තුළ දිය කර හැරීම ද ඊට අයත්ය. ඉන්දියානු ආයුර්වේදය තුළ දේශීය වෛද්‍ය ක්‍රම අත්විදින්නේ ද මෙකී ඉරණමයි. ඉදින් අප සියලු දෙනා මේ ආවඩන්නේ ඉන්දියානු ආයුර්වේදයේ ව්‍යාප්තවාදයට නොවේදැයි කෙසේ කියමුද? මේ තත්වය කෙතරම් දරුණු දැයි කිවහොත් අපේ සමහර පාරම්පරික වෛද්‍යවරුන් ද විශ්වවිද්‍යාල ආයතන වල ඉගැන්වීම කරන විට ඔවුන්ගේ ආයුර්වේද දැනුම පෙන්වීමේ ලා බලවත් උත්සාහයක් ගන්නා අවස්ථාවන් දක්නට ලැබේ. එයින් සිදුවන්නේ තමන් පරම්පරාවෙන් උරුමකර ගත් දැනුමට වඩා ආයුර්වේදීය දැනුම උසස් යැයි පිළිගැනීමයි. ඔවුන් ඒ තත්වයට පත් කර ඇත්තේ ද ක්ෂේත්‍රය තුළ පවත්නා ඉන්දියානු අධිපතිවාදයේ බලපෑමයි. ඔවුන් සිය ජීවිකාව වෙනුවෙන් ආයුර්වේදඥයින් ගේ පසුපස යමින් හෑල්ලු වන අයුරු දකින විට සිහි වන්නේ ආයුර්වේදඥයින් ඉදිරියේ නොනැමුණු පෞරුෂයක් ඇතිව හෙළ වෙදකමේ අභිමානය ලොවට පෙන්වූ “කොණ්ඩ වෙදමහතා” වැනි උත්තුංග චරිතයන් ය.

මේ තත්වය ඉතා හොඳින් මා අත්දකින්නේ සීමාවාසික පුහුණු කාලය තුළ අපේ උපාධිධාරී වෛද්‍යවරුන් පාරම්පරික වෛද්‍යවරයෙකු යටතේ ගත කරන කාර්තුවේ දී සිදුවන අධ්‍යයනය තුළ යි. බොහෝ විට නිසි පුහුණුවක් ලබා ගත හැකි පාරම්පරික වෛද්‍යවරයෙකු සොයා ගැනීමේ ගැටලුවේ සිට අවසානයේ අධ්‍යයන වාර්තාව ඉදිරපත් කරන අවස්ථාව දක්වා මෙකී බලපෑම වරින් වර මතුවේ. අවසානයේ දී බොහෝ සිමාවාසිකයන් සිය වාර්තාව තුළ ඉදිරිපත් කරන්නේ ඉතා පහසුවෙන් කළ හැකි ආයුර්වේද විවරණයක් මිස පාරම්පරික දැනුමේ සංකල්පීය අනන්‍යතා හෝ ශාස්ත්‍රීය අගයන් මත පදනම වූ අධ්‍යනයක් නොවේ. එය ඔවුන්ගේ වරදක් නොව ඔවුන් සරසවිය තුළ ලබන ශික්ෂණය මගින් හුරු කළ යටත් විජිත චින්තනයේ ප්‍රතිඵලයකි. දේශීය චිකිත්සාව යනුවෙන් උගන්වන්නේ ආයුර්වේද මුලධර්ම අනුව රෝග නිර්ණය කොට දේශීය වට්ටෝරු නියම කිරීමයි. ඒ සඳහා වටිකා ප්‍රකරණයෙන් තොරව වූ ගුලියක් කල්කයක් සොයා ගත නොහැකිය. බුද්ධරාජ කල්කය, චන්ද්‍ර කල්කය, නවරත්න කල්කය, යසෝධරා කල්කය, යෂ්ටි කල්කය, ශර්කරාදී කල්කය, රත කල්කය, සුරන්විදුර ගුලිය, වාර්තිකාව ගුලිය, සීතරාම ගුලිය, මාත්තුපහ ගුලිය, ජීවානන්ද ගුලිය, සීතෝදක තෛලය, සර්වවිෂාදි තෛලය, සත්තවාදී තෛලය, සිද්ධාර්ථ තෛලය, ආදී සීමිත බේත් සංඛ්‍යාවක් මත පදනම් වූ දැනුමක් සහිතව දේශීය චිකිත්සාව නිමා වේ.  

ආයුර්වේද ඉතිහාසය තුළ ද දේශීය වෛද්‍ය ක්‍රම වල ශාස්ත්‍රීය සම්ප්‍රදායේ විකාශය කෙරෙහි දක්වන අවධානය ඉතා අඩුය. ඒ අනුව සිසුන් විෂය නිර්දේශය තුළ ඉගෙන ගන්නේ ආයුර්වේදයේ ඉන්දියානු සම්ප්‍රදාය මිස ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත ආයුර්වේදයක් නොවේ. එය පසුගිය කාලය තුළ වඩාත් ඉන්දියානු ආධිපත්‍යයට නතු වන්නේ ඉන්දියානු විශ්ව විද්‍යාල වලින් පශ්චාත් උපාධි ලබන විද්වතුන් දැන හෝ නොදැන ඉන්දියානු ශාස්ත්‍රීය සම්ප්‍රදාය වඩා උත්කර්ෂයට නැංවීමේ හේතුවෙනි. මා සිතන ආකාරයට මෙම විද්වතුන් කළ යුත්තේ සිය බුද්ධි මහිමය යොදවා දේශීය දැනුමේ අනන්‍යතා ඇගයීමට ලක් කිරීමයි. එබඳු විද්වතුන් කිහිප දෙනෙකු සිටින බව ද කිව යුතුය. වරෙක රත කල්කය ගැන කරන ලද පර්යේෂණය එබඳු ආකල්පයක යහපත් ප්‍රතිඵලයකි. එනිසා දේශීය චිකිත්සා විෂය ඇසුරෙන් පශ්චාත් උපාධි හදාරන විද්‍යාර්ථින් සහ පර්යේෂණ වල නියැලෙන ශාස්ත්‍රඥයින් දිරිමත් කළ යුතුය. මා දන්නා බොහෝ වියතුන් දේශීය වෛද්‍ය ක්‍රම ගැන උනන්දුවෙන් කතා කරන අතර ඔවුන් හට සිය මතය නිදහස් ව පළ කිරීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ආයුර්වේදීය ව්‍යාප්තිවාදයෙන් ඉඩ නොලැබේ. ගම්පහ ආයතනයේ දේශීය චිකිත්සා පශ්චාත් උපාධි පාඨමාලාවක් ඇරඹීමට ඉතා දරුණු සටනක් එකල කළමනාකරණ මණ්ඩලය තුළ කරන්නට සිදු වුයේ එනිසාය.

ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කරන විට එහි පුරෝගාමීන් “සිද්ධායුර්වේද” යන නාමය යෙදුවේ ඉතා වැදගත් අරුතක් ඇතිවය. සිද්ධ යන්නෙන් කිසි විටෙකත් දකුණු ඉන්දියානු වෛද්‍ය ක්‍රමය අදහස් නොවිය. එහි නියම අරුත වුයේ “දේශය තුළ නිපන් හෙවත් දේශජ” යන්නයි. එය වඩාත් ගැලපෙනුයේ indigenous යන්නටයි. ස්වදේශීය (native) යන්න ද ඒ සඳහා යෙදිය හැකි නමුත් දේශජ යන්න එහි නියම අරුතයි. එවිට “සිද්ධායුර්වේද” යනු දේශජ වෛද්‍ය දැනුම් පද්ධතිය සහ ඉන්දියානු ආයුර්වේදීය සම්ප්‍රදාය සංකලනය වූ යන්නයි. මුල් කාලයේ දි එහි විෂය නිර්දේශය සකස් වුයේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඊට සරිලන පරිදිය. එහෙත් පසු කාලෙය්දී එහි ප්‍රවේණි අගයන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ආයුර්වේදකරණයට බඳුන් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සම්ප්‍රදාය බිඳගත් අනන්‍යතාව සිඳගත් ආයුර්වේද අධ්‍යාපන ආයතනයක් ලෙස සරසවි පද්ධතියට ඇතුළත් විය. සම්ප්‍රදාය බිඳගත්තේ අනන්‍යතාව සිඳගත්තේ කෙසේ දැයි ඇසුවහොත් ඊට ඉතා සරල පිළිතුරක් ඇත. පොදු ආයතනයක් ලෙස බිහි වු මෙම ආයතනය වික්‍රමාරච්චි පරපුරට අයත් දේපලක් ලෙස නම් කිරීමෙන් ලාබදායි පෞද්ගලික කීර්තිය පිළිකුල් කළ එහි පුරෝගාමියෙකු වූ පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි විශාරදයන් හට මෙන්ම ආදීකර්තෘවරුන් හට ඉතා ප්‍රබල නිග්‍රහයක් සිදු කර තිබේ.  (මේ ගැන වෙනම සංවාදයක් අවශ්‍ය නම් ඊට බොහෝ තොරතුරු මා සතුව තිබේ.)

දැන් මා මේ කරිජ්ජ පුරසාරම පිළිබඳ සංවාදයේ අවසන් කොටසට පැමිණ සිටිමි. දේශීය වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින සියලුම දෙනා අව්‍යාජ පාරම්පරික උරුමයක් සහිත වෛද්‍යවරුන් නොවන බව ඉතා සහතික වශයෙන් කිව හැකිය. ඔවුන් අතුරින් බොහෝ දෙනා අඩු වැඩි වශයෙන් ආයුර්වේදීය සම්ප්‍රදායේ සිරකරුවන් වෙති. වැඩි වශයෙන් ආයුර්වේදයේ ශාස්ත්‍රීය වහලුන් වන්නේ නිසි පාරම්පරික උරුමයක් නොමැති හුදු ඡද්මචරයින් බව කිව යුතුය. මොවුන් පාරම්පරික වෛද්‍ය දැනුම ලෙස ඉදිරිපත් කරන්නේ බාගෙට උගත් වැරදියට උච්චාරණය කරන ආයුර්වේදයම බව මා පුද්ගලිකවම අත්දැක ඇත්තෙමි. කොටින්ම කිව හොත් ඔවුන් හොර වෙදුන්ය. ඔවුන් වෙදකම් කරන්නේ කොම්පැණි වලින් මිලදී ගන්නා ඔසු වලිනි. අනෙක් කොටස දේශීය වෛද්‍යක්‍රම පිලිබඳ ජාතික ආයතනයේ ආයුර්වේදීය පුහුණු වැඩ සටහන් වල ගොදුරු බවට පත් වී පරපුරෙන් උරුම වූ දේශීය දැනුම කුරුවල් කර ගත් “නියම පාරම්පරික වෛද්‍යවරුන්” ය. (දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ ඉංග්‍රීසි නම National Institute of Traditional Medicine වුවද එය “දේශීය” කොටස සමඟ සිංහලට පෙරළන්නේ මා මුලින් කී සැරසිල්ල සඳහාය.) මෙහි කාලයක් දිගින් දිගටම පුහුණු වැඩ සටහන් වලට සහභාගී වුයේ තෝරාගත් පාරම්පාරික යැයි පෙනී සිටි "සිද්ධසාධිතයින්”ය.  (මෙහි ම විසින් යෙදු ඡද්මචර සහ සිද්ධසාධිත යන වදන් වල අරුත චරක සංහිතා සූත්‍රස්ථානය බලා දැන ගන්නේ නම් මැනවි)

ආයුර්වේදයේ ඉන්දියානු ව්‍යාප්තිවාදය අප රට තුළ වඩාත් ප්‍රබලව ක්‍රියාත්මක වන්නේ එක් පසෙකින් ආයුර්වේදයේ නෛතික, ශාස්ත්‍රීය සහ ආයතනික බලය එමගින් අත්පත් කර ගෙන ඇති නිසාය. ඊට අමතරව එයට තව දුරටත් සහයවන්නේ පාරම්පරික වෙදුන් ලෙස පෙනී සිටින හොර වෙදුන්ගේ ක්‍රියා කලාපයයි. එයින් ගම්‍ය වන්නේ දේශීය දැනුම් පද්ධතිය වඩාත් ශක්තිමත් ලෙස විශ්වවිද්‍යාල තුළ නියෝජනය විය යුතු බවය. විශේෂයෙන්ම දේශීය දැනුම් පද්ධතීන් පිළිබඳව ආයුර්වේද නොවන අනෙකුත් ආයතන මගින් දක්වන උනන්දුව කෙරෙහි සතුරු ආකල්පයකින් කටයුතු කරන අවස්ථා කිහිපයක් මම අත් දුටුවෙමි.  (මේ ගැනත් කතා කරන්නට කරුණු බොහෝය.) කෙසේ වෙතත් ආයුර්වේදය ඉදිරියට ගෙන යන්නට වෙර දරන ඉන්දියානු ප්‍රයත්නය අපේ ඇත්තන් වැරදියට වටහා ගෙන ඇති බව පෙනේ. අපි දැන හෝ නොදැන උර දි සිටින්නේ නව දිල්ලි AYUSH දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සාර්ථක කර ගැනීමටය. ඔවුන් දෙන දේ ලබා ගත්තාට කම් නැත. ඒ නිසාම ඔවුන් වෙනුවෙන් කතා කරන්නට අවශ්‍ය නැත. අවශ්‍ය විටෙක අපි එකට කතා කළ යුතු ජාත්‍යන්තර කතිකාවන් වලදී එකට ඉඳ ගැනීම ගැන ගැටලුවක් නැත. මේ සියල්ල සැලකිල්ලට ගෙන ආයුර්වේද ක්ෂේත්‍රයේ නීතිමය රාමුව තුළින් දේශීය වෛද්‍ය ක්‍රම සවිමත් කරන්නට දැන් කාලය එළඹ තිබේ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා  

4 comments:

  1. මට මතකයි ඉස්සර ආචාර්ය සරත් රණසිංහ නිතර කියන කතාවක් ලංකාවේ අපට ආවේණික වෙදකම් ගැන පර්යේෂණ වෙන්නේ නැහැ කියන එක. ඔහු කියනවා වටිකා ප්‍රකරණය ආශ්‍රිතව පමණක් ජීවිත කාලයක් තිස්සේ කළ හැකි 'පර්යේෂණ නිමිති' දකින්න පුළුවන් බව. ඒත් වැඩේ කියන්නේ එතුමා වුනත් ඔය වැඩේට බැස්සෙ නැහැ ඉන්දියානු ආයුර්වේදයට අදාළ පර්යේෂණ කළා මිසක මා දන්නා තරමින්.

    ReplyDelete
  2. අපේ දේශීය වෛද්‍යක්‍රමයේ දී ආයුර්වේදයෙහි එන විදිහට දෝෂ අනුව රෝග වර්ගීකරණය කරනවා වගේම තවත් විටෙක ඒ ගැන එතරම් නොසළකා කරන 'සායනික' රෝග වර්ගීකරණයක් තිබෙනවා නේද 'උතුරු ඉන්දියානු' ආයුර්වේදයෙහි දකින්නට නොලැබෙන?

    ReplyDelete
  3. මම කලින් දාපු කමෙන්ට් දෙකම එක එල්ලේ ප්‍රස්තුතය අමතන දේ නොවෙයි. මම හිතන විදිහට ගුරුකුල ක්‍රමයට දේශීය වෙදකම පවත්වා ගත්තේ එය පරම්පරාවෙන් පරම්පරාවට යා යුතුමයි කියන දැඩි අභිප්‍රායයට වඩා එය නොනැසී පවත්වා ගත යුතු යැයි කියන කාරණය. විශේෂයෙන් ප්‍රායෝගික අභ්‍යාසයන් ට අමතරව අනෙකුත් අන්තර්ගතය ලිඛිතව ගෝලයා වෙත ගෙන යෑම වෙනුවට වනපොත් කිරීමේ සම්ප්‍රදායය පැමිණියේ ලේඛන ගත කිරීම ඊට සාපේක්ෂව දුෂ්කර වූ සමයයක එය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස. එහෙත් දැන් මේ දේශීය වෛද්‍ය ක්‍රම විශ්ව විද්‍යාල මට්ටමින් හැදෑරීම කරා යා යුතුයි කියලයි මම හිතන්නේ. වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා කියන විදිහටම ඒ වෙනුවට විශ්ව විද්‍යාල පද්ධතීන් කරන්නේ ගෙඩි පිටින් ඉන්දියානු විශ්ව විද්‍යාල අකෘතීන් මෙහි ගෙනැත් ඇලවීම. ඒවායේ කෙරෙන පර්යේෂණ වුනත් කරන්නේ ඉන්දියානු විශ්ව විද්‍යාල දිහා බලාගෙන. මෙහෙම වෙන්නේ ඒ සඳහා මග පෙන්විය හැකි පූර්වාදර්ශ නැති වීම වෙන්න පුළුවන්. ඒත් කවුරු හරි මේක පටන් ගන්න ඕනේ.

    ReplyDelete
  4. බොරු නින්ද අවදි කිරීමට නොහැකි බවත් සැබෑ නින්ද අවදිකළ හැකි බවත් කියමනකි. රටේ උගත් බලවත් අයගේ තත්වය මෙයයි. යතාර්තවාදිව හඩක් නැති අපට හඩක් වීම ගැන අපේ හද පිරි ප්‍රණාමය.

    ReplyDelete