Friday, February 13, 2015

වික්‍රමාරච්චි පරපුරේ එඬරු තෙල් යොදා සිද්ධායුර්වේද ගුරු කුලයේ බඩ සුද්ද කිරීම හෙවත් පර-ජඩ සංයෝගය


නැවත වතාවක් බැලු බැල්මට අවුල් සහගත මාතෘකාවක් යොදා ගැනීම ගැන පළමුවෙන් කණගාටුව පළ කරමි. එහෙත් බොහෝ වෙලාවක් ගත කළ ද මේ ලියන්නට යන දේ හොඳින් නිරූපණය කළ හැකි වෙනත් මාතෘකාවක් ම සිතට නොනැගිනි. මේ ලිපිය ලියන්නට සිතුණේ අද ඊයේ නොවේ. නොයෙක් විට ඊට අදාළ කරුණු එකිනෙක පරයමින් සිත තුළ පෙරැළි කළ මා ඉතා අමාරුවෙන් සිත හදා ගන්නට උත්සාහ කළෙමි. එනමුත් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ එක්තරා පෝස්ට්ටුවක් නෙත ගැටීමෙනි. මම එය උපුටා දක්වමි. “ශ්‍රී ලංකාද්වීපයේ මහා ආයුර්වේද සෘෂිවරයාණෝ වික්‍රමාරච්චි සම්ප්‍රදාය ඇති කළේ හුදෙක් පරගැති වෙදුන්ට නොව වික්‍රමාරච්චි වෙද පරපුරටය. අනාගතයේ වික්‍රමාරච්චි භාරකාරත්වය පරගැත්තන්ට නතු වීමට ඉඩ නොතබමු. ලේ දහදිය ප්‍රාණය වුවද කැප කර රැක ගනිමු”. මෙය දුටු විට මසිතට නැගුණු ප්‍රශ්න කිහිපයකි.

     ·  වික්‍රමාරච්චි සම්ප්‍රදාය යනු කුමක්ද? එය ඇති වුයේ කෙදිනකද?
     ·  වික්‍රමාරච්චි වෙද පරපුර යනු කෙබඳු ගුරු කුලයක්ද?
     ·  පරගැති වෙදුන් යනු කවරහුද? ඒ පෙරකී වික්‍රමාරච්චි වෙද පරපුරට අයත් නොවන (පිටස්තර) අයද?
     ·  වික්‍රමාරච්චි (((((ආයුර්වේද ආයතනයේ) භාරකාරත්වය මින් පෙර පරගැත්තන් හට නතු වී නොතිබුණේද?
     · මින් පෙර එබඳු පරගැත්තන් එළවා දැමීම සඳහා ලේ, දහදිය හැලූ ඉතිහාසයක් නැත්තේ ඇයි?

මා දැන් මගේ ලිපියේ ප්‍රස්තුතය බවට පත් කර ගන්නේ ඉහතින් දැක්වූ ප්‍රශ්න කිහිපයයි. 1929 ජුලි 19 වැනි දින ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කරන්නේ මෙරට රාජ්‍ය අනුග්‍රහය ලබන ආයුර්වේද අධ්‍යාපන ආයතනය වන කොළඹ “ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය” ආරම්භ කර  දින 40 කට පසුවය.  සැබවින්ම ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පිහිටවූයේ මුඛ්‍යධාරාගත ආයුර්වේද ආධ්‍යාපන ව්‍යුහයට විකල්පයක් ලෙසය. එහි ඓතිහාසික පසුබිම අවබෝධ කර ගැනීම සඳහා පසුගිය සියවස මුල්භාගයේ ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් තුබූ සමාජ ආර්ථික පරිවර්තනයන්ට සාපේක්ෂව දේශීය වෛද්‍ය ක්‍රමයේ දිශානතිය තේරුම් බේරුම් කර ගත යුතුය. කෙටියෙන් සඳහන් කළ හොත් එය ඉන්දියානු ගැති ආයුර්වේද සම්ප්‍රදාය සහ දේශීය අනන්‍යතා සහිත ආයුර්වේද සම්ප්‍රදාය අතර නිහඬ අරගලයේ ප්‍රතිඵලයකි. අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයේ පිළිගත් රාජ්‍ය ප්‍රණාලිය තුළ ස්ථාපිත සම්ප්‍රදාය සහ වෛද්‍ය සමාජයේ පොදු සම්මුතීන් මත පෝෂණය වූ සම්ප්‍රදාය වෙන් වෙන්ව නියෝජනය කළ ආයතන දෙකක් විය.  එහෙත් මේ දෙකම පොදු ආයතන ලෙස ක්‍රියාත්මක වූ බව පිළිගත යුතුය.

ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කළ සමහර බලවේග එය වික්‍රමාරච්චි පරපුරේ දේපලක් සේ හඳුන්වා දුන් බව කුප්‍රකට කරුණකි. එහෙත් සත්‍ය තත්වය වුයේ එය ගම්පහ වෛද්‍ය සංගමය මගින් පොදු අරමුදල් යොදවා ආරම්භ කළ ආයතනයක් වූ බවයි. ඒ සඳහා නායකත්වය සැපයූ පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි වෛද්‍යතුමන් සිය ඉඩමක් ආයතනයේ භෞතික පැවැත්ම සඳහා පරිත්‍යාග කළේය. එහෙත් ආයතනයේ සියලු පරිපාලන කටයුතු ව්‍යවස්ථාවක් අනුව පාලක සභාවක් විසින් සිදු කළ අතර අංග සම්පුර්ණ ශික්ෂණ ආයතනයක් සතු සියලුම අංශ ක්‍රමවත් ලෙස පවත්වා ගෙන යාමෙන් එය රාජ්‍ය ආයතනයට විකල්ප ධාරාවක් සඳහා පුරෝගාමිත්වය දුන්නේය. මෙම ආයතන දෙක එක්තරා ආකාරයක ශාස්ත්‍රීය ගුරු කුල දෙකක් නියෝජනය කළ බව පැහැදිලි වන්නේ ඒවායේ පැවති විෂය නිර්දේශ, පරිචර්යා විධි, ශික්ෂණ ක්‍රමවේදයන් අතර වූ වෙනස් කම් සැලකීමේදී ය. එය තවත් තීව්‍ර වුයේ සමහර අවස්ථා වලදී ආයතනික අනන්‍යතාව මත යම් යම් ශාස්ත්‍රීය වාද විවාද වලට එළඹීම නිසාය. එහෙත් මෑත අතීතය දක්වාම මෙම ආයතන දෙක අතර අඩු වැඩි වශයෙන් ප්‍රතිරෝධතා තිබු බව ප්‍රකට කරුණකි.

වික්‍රමාරච්චි සම්ප්‍රදාය පිළිබඳ සාකච්ඡාව මේ රටේ ඇතිවන්නේ අසූව දශකයේදීය. ඒ මෙම ආයතනයේ අභිමානවත් හා අර්ථවත් සිද්ධායුර්වේද නාමය මකා දමා වික්‍රමාරච්චි නාමය ආදේශ කිරීමත් සමඟය. එය පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහේෂයාණන් පිළිකුල් කළ ආත්ම ප්‍රසිද්ධිය තකා පුද්ගල ප්‍රතිරුප නැංවීමේ නින්දිත ව්‍යාපෘතියේ ප්‍රතිඵලයකි. එතුමා ජිවත්ව සිටියදී පවා කිසි කලෙක ඒම ආයතනය පුද්ගලික දේපළක් ලෙස සලකා කටයුතු නොකළා මෙන්ම සිය ප්‍රතිරූපය උත්කර්ෂයට නැංවීමේ ප්‍රයත්නයන්ට නතු වුයේද නැත. “සිද්ධායුර්වේද” යන්නෙහි ඇති පොදු සාමුහික නියෝජනය සහ ජාතික වටිනාකම අභිබවා සිය පරපුරේ නම සටහන් කිරීමට එතුමා තුළ කිසිදු අවශ්‍යතාවක් නොවිය. එම නිසා වික්‍රමාරච්චි සම්ප්‍රදාය යන්න විවෘත ආර්ථිකයේ හුදු දේශපාලනික මිථ්‍යාවක් විනා අන් කිසිදු වටිනාකමක් ඇති ජාතික අනන්‍යතාවක් සහිත ශාස්ත්‍රීය සම්ප්‍රදායක් නොවේ. අනෙක් අතින් වික්‍රමාරච්චි යන්නෙන් සියලුම වික්‍රමාරච්චිලා නියෝජනය වන අතර පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහේෂයාණන් ගේ ශ්‍රී නාමයට ගෞරවයක් නොවේ. වික්‍රමාරච්චිලා අතර හරක් හොරුන්, කසිප්පු පෙරන්නන් මෙන්ම උපන් ගෙයි මෝඩයින් ද වෙති.

යම් හෙයකින් එතුමන් ගේ කීර්තිනාමයට  බුහුමන් කිරීමේ අභිලාෂයක් වුයේ නම් කළ යුතුව තුබුණේ “පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි අනුස්මරණ” ආරෝග්‍යශාලාව හෝ කෞතුකාගාරය වශයෙන් නම් කිරීමය. එවිට ගම්පහ සිද්ධායුර්වේද සම්ප්‍රදායේ අනෙකුත් පුරෝගාමීන් වූ ඩි. එස්. ජයකොඩි, ආර්. රාජපක්ෂ, එස්.පී.ඩබ්. ශ්‍රිවර්ධන  වැනි උතුමන් ගේ නම් අනුස්මරණයට ද ඉඩක් වෙන් කිරීමේ සදාචාරයක් ඉතිරි වනු ඇත. එහෙත් එක්තරා කණ්ඩායමක් සංවිධානාත්මකව සිද්ධායුර්වේද නාමය, එහි අනන්‍යතාව, ඉතිහාසය සහ උරුමය ඉතා නිර්දය ලෙස යටපත් කළ බව තතු දන්නෝ දනිති. වික්‍රමාරච්චි සම්ප්‍රදාය කරළියට එන්නේ එතැන් සිටය. එහි ඇත්තේ දේශපාලනික අරමුණකි. අද වන විට පණ්ඩිත රාළහාමි පරිත්‍යාග කළ භුමිය ද රජයට විකුණා මුදල් ලබා ගෙන අවසන්ය. එතුමන් ගේ ප්‍රතිපත්ති වෙනුවට ඉතිරිව ඇත්තේ ආයතනයට පිටුපස හරවා ගෙන සිටින ගල් පිළිමය පමණි. දැන් ආයතනය ඉදිරිපිට එතුමන්ගේ නමින් බෙහෙත් වෙළෙන්දෝ සිටිති. සිද්ධායුර්වේද ගුරුකුලයේ අභිමානවත් උරුමයන් බිම හෙළා ඒ මත ඉදි කරන මහල් ගොඩනැගිලි වල සිටින අය සිතන්නේ වික්‍රමාරච්චි සම්ප්‍රදායක් පැවති බවය. එහෙත් එය කෙබඳු දෙයක් දැයි යමෙක් ඇසුව හොත් ඔවුන් නිරුත්තරය.

“පරගැති” වෙදුන් යනු ඊනියා වික්‍රමාරච්චි සම්ප්‍රදායට අයත් නොවන හෝ ගම්පහ ආයතනයේ අධ්‍යාපනය නොලද අය නම් එය වඩා ගැඹුරින් සලකා බැලිය යුතු ගැටලුවකි. ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේ එහි පුරෝගාමීන් වුයේ ඉතා ප්‍රවීණ පාරම්පරික දේශීය වෛද්‍යවරු, ඉන්දියානු ආයතන වලින් අධ්‍යාපනය ලත් ආයුර්වේද වෛද්‍යවරු, ආයුර්වේදහිතකාමි බටහිර වෛද්‍යවරු සහ පෙර අපර දෙදිග භාෂා ශාස්ත්‍රධරයින් ඇතුළු ඉතා පුළුල් වෘත්තිකයින් පිරිසකි. ඔවුන් ගොඩ නැගූ සිද්ධායුර්වේද ගුරු කුලය තුළින් බිහි කළ සිද්ධයුර්වේදඥයින් හැරුණු විට බොහෝ දෙනෙක් එහි අනන්‍යතාව වෙනුවෙන් පෙනි සිටියහ. ඉන්දියානු ආභාෂය ලත් ආයුර්වේදඥයින් සේවාවෙන් මෙහි ශාස්ත්‍රාලෝකය වඩාත් හොඳින් පැතිරී ගිය අවස්ථා ද එමටය. වරින් වර බොරැල්ල ස්දේශීය වෛද්‍ය විද්‍යාලයේ උගත් වෛද්‍යවරුන් ද මෙහි උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබා දි ඇත්තේය. එනිසා මා සිතන්නේ ඕනෑම වෛද්‍යවරයෙකු ගම්පහ සිද්ධායුර්වේද ගුරු කුලයේ උරුමය, සම්ප්‍රදාය හෝ  අනන්‍යතාව වෙනුවෙන් එහි අගයන් පිළිගනිමින් ඒවාට ගරු කරමින්, ඒවා පිළිපදිමින්, ඒවා නියෝජනය කරමින් ඒවා සංවර්ධනය කිරීමේ ලා ඇප කැප වේ නම් එබඳු අයෙකු කුමන ආයතනයකින් ඉගෙනීම ලැබුවද ඔවුන් පිටස්තරයෙකු ලෙස සැලකීම යුතු නොවේ.

එසේ නම් එම් ආයතනයේම උගෙන එහි සම්ප්‍රදාය, උරුමය සහ අනන්‍යතාව ගරු නොකරන ඊට අනුගත නොවන ඒ වෙනුවෙන් පෙනී නොසිටින වෛද්‍යවරුන් හඳුන්වන්නේ කෙසේද? මට නම ඔවුන් පිටස්තරයින් ය. කිසිදු ආයුර්වේද පසුබිමක් නොමැතිව ආයතනයේ මුල් පුටුවට උඩින් පත්වෙන නෝනා මහත්වරුන් පිටස්තරයින් නොවේද? ආයතනයේ ඉතිහාසය අමතක කොට උරුමයට සරදම් කොට එබඳු පිටස්තරයින් ට කඩේ යන ඔවුන් බැලමෙහෙකම් කරන ඔවුන් ඉදිරියේ නැමෙන ඔවුන්ට පන්දම අල්ලන ඔවුන්ගේ පිට කසන අය පරගැතියන් නොවේද? නිසි සුදුසුකම් නොලබා පස්සා දොරෙන් තනතුරු ලද ගමපහ පුස්සෙකුට (මේ කතාව අදාළ වන්නේ ඉතා සුළු පිරිසක් සම්බන්ධයෙනි) නිසි සුදුසුකම් ඇති බොරැල්ලේ නිස්සෙකු මුල් පුටුවේ වාඩි කරවීම අනුමත නොකරන්නේ ඇයි? සසුගිය වසර හයක් තුළ ගෙනගිය පරගැති පාලනය ඉදිරියේ ලේ දහදිය නොසැලු අය දැන් ඉදිරිපත් වන්නේ ඇයි? අන්තිමට ආයුර්වේදය කට ගාගත් දොස්තර පිල්ලියක් ගෙන්වීමේ මන්තරය ජප කරන්නට සුදානමක් ඇති නිසාදැයි සැකයක් තිබේ.  

“ගස් නැති රටේ එඬරු ගසත් ගසක්” යැයි පැරැණි සංස්කෘත කියමනක් ඇත. එයින් හැඟවෙන්නේ සුදුස්සන් නැති තැනක නුසුදුස්සන් කැපී පෙනෙන බවයි. මම මුලින් කී පස්සා දොරෙන් පත්වීම් ලද සමහර ආචාර්යවරුන් සැබෑ එඬරු ගස්ය. එනමුත් දැන් සිදුවෙමින් පවතින්නේ එබඳු එඬරු ගස් පළ දරා ඒවායේ ඇට වලින් තෙල් සිඳ එම තෙල් වලින් සිද්ධාර්යුර්වේද ගුරුකුලයේ බඩ සුද්ද කිරීමේ මෙහෙයුමක් අරඹා ඇති නිසාය. ඔවුන්ගේ අදහස් සහ ප්‍රතිපත්ති අදටත් පදනම් වී ඇත්තේ පන්දම් ඇල්ලීම විභාග සමත් වීමේ  නිර්ණායක ලෙසත් නිදහස් ප්‍රකාශනය පළිගැනීමේ හේතුවක් ලෙසත් යොදා ගන්නා ක්‍රමයයි. පණ්ඩිත රාළහාමි ගස් යට ඉගැන්වූ යුගයේ ආයතනය තුළ වොරැඳි ප්‍රතිපත්ති අද සුවිසල් මහල් රසායනාගාර තුළ අමු අමුවේ උල්ලංඝණය කරයි. එදා නොමිලේ අධ්‍යාපනය දුන් ගුරු පියවරුන් ගේ ශ්‍රේෂ්ඨ පෞරුෂයන් අද දහසින් බැඳී පියළි වලින් වැටුප් ලබන ගෝලයින් අතින් ගැරහීමට ලක්වේ. මාර්තු මස ගුණ සමරුවේදී පුෂ්පෝහාර දක්වා සියල්ල අමතක කරයි. සරසවි වරම් ලැබුණේ ගොඩනැගිලි වලට නොව ආයතනයේ ශාස්ත්‍රීය උරුමයට බව ඒ බොහෝ දෙනා අමතක කරති. ඒ ගැන සිසුන් හට කියා නොදෙති.


පරගැති කතාව ඇසෙන විට මගේ මතකයට එන්නේ සිද්ධායුර්වේද ගුරු කුලයේ අසිරිමත් චරිතයක් වූ ලීලාරත්න වීරසිංහ ගුරු පියාණන් වරෙක පැවසූ දෙයකි. සිද්ධායුර්වේදයට හානි සිදු කරන වුන් එතුමන් හැඳින්වුයේ පරයින් සහ ජඩයින් ලෙසය. එහි අර්ථය නොදත් බොහෝ දෙනා ඒ ප්‍රකාශය ගැන නොසතුටෙන් සිටියද එතුමා ඊට කදිම අර්ථ දැක්වීමක් කළේය. “පරයා” යනු පිටින් ආ අයෙකු හැඳින්වීමට යෙදෙන වචනයක් වුවත් එය අපේ කමට ගරු නොකරන ඇතුලේ සිටිමින් ම ඇතුළත් බව නොපෙන්වන ඇතුළට ද්‍රෝහී වන්නා ද පරයෙකි. “ජඩයා” යනු මෝඩ පුද්ගලයා හැඳින්වීමට යොදන වදනක් ලෙසින් ලෙහෙසියෙන් රැවටිය හැකි හෝ නොදන්නාකම නිසා අන් අයගේ දැනුමට යට වූ අය හට ද යෙදිය හැකිය. ඒ අනුව අදත් මේ ආයතනයේ මෙකී පර-ජඩ සංයෝගය එලෙසින්ම පවතී. එය ආයතනයේ ඉදිරි ගමන වළක්වන පිළිලයකි. පිටින් කඩා පාත් වූ පරයින් ඇතුළත අගයන් ට ගරු නොකර ඒවා පිළිනොගෙන පිටස්තර බලය පතුරුවන විට හරි හැටි සිය ශාස්ත්‍ර පෞරුෂය මෙහෙයවා ගත නොහැකි ජඩයින් ඔවුන් සමඟ අත්වැල් බැඳ ගෙන සිද්ධායුර්වේද සම්ප්‍රදාය ඔලුවෙන් සිටවති. එසේ නැත හොත් ඔලුවෙන් සිටගෙන ඒ දෙස බලති.

මෙම ආයතනය විශ්ව විද්‍යාල ආයතනයක් බවට පත් වන අවස්ථාවේ එහි පැරැණි නම හෙවත් අභිමානවත් සිද්ධායුර්වේද නාමය යළිත් ස්ථාපනය කරන්නට බල කරමින් තනි පුද්ගලයෙකු ලෙසත් එවකට සිද්ධායුර්වේද වෛද්‍ය සංගමයේ ලේකම් ලෙසත් වගකිවයුත්තන් හට කළ ඉල්ලීම් සහ පත්තර වලට ලියු ලිපි විශාල ප්‍රමාණයකි. (ඒවා බොහොමයක් මා ළඟ තවමත් සුරැකිව තිබේ.) මා විශේෂයෙන්ම උත්සාහ කරන්නේ මේ වන විට යටපත් කොට වසා දමා වනසා ඇති ඉතිහාසය නවක වෛද්‍යවරුන් හට සිසුන් හට යම් ප්‍රමාණයකින් උපුටා දක්වන්නටය. වික්‍රමාරච්චි සම්ප්‍රදායක් හෝ පරපුරක් ගැන ඔවුන් කතා කරන්නේ ඒ අතීතය නොදන්නා නිසාය. මේ ආයතනය දේශීය විශ්ව විද්‍යාලයක් නමින් වෙනස් ආයතනයක් බවට පත් කරන බහුබූත යෝජනාවක් අධ්‍යක්ෂවරිය විසින් ඉදිරිපත් කළේ සිද්ධායුර්වේද සම්ප්‍රදායත් ජී.පී.වික්‍රමාරච්චි ප්‍රතිපත්තිත් සියල්ල සිය පෞද්ගලික වාසිය සඳහා පාවා දෙමිනි. ඒවා දැන දැන හිස නමා එය අනුමැත කළේ පරගැති කම නිසා නොවේද? ඒ මා පෙර සඳහන් කළ වික්‍රමාරච්චි පරපුරේ එඬරු තෙල් වලින් සිද්ධායුර්වේද ගුරු කුලයේ බඩ සුද්ද කිරීමේ අරමුණ වෙනුවෙන් ය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

3 comments:

  1. ඔබේ ලිපිය කියවීමෙන් දිනකට පසු තමයි මම මේ ප්‍රතිචාරය එක් කරන්නේ. මේ දිනය තුළ බොහෝ දේ මම හිතුවා. ඒ සියල්ල පුද්ගලික ව ඔබ සමඟ මා කතා කර තිබෙන දේ. එයට අමතර දෙයක් මම මෙතන දි කියන්නම්.
    එවකට මම වි. ආ. වී. ශිෂ්‍යයෙක් ලෙස උගනිමින් සිටින වකවානුව. අපි ජ්‍යේෂ්ඨ සිසුන් ලෙස, මේ විශ්ව විද්‍යාල සටනේ මුල සිට ම සිටි අය. මට ඔබ ව හොදින් මතක යි. නොමේරූ තරුණ අවධියක සිටි මා ද ඔබ ව එකල ගත්තේ අපේ හතුරෙක් ලෙස. නමුත් අද මම ඔබට මගේ හදවතින් ම මෙහෙම කියනවා. ඔබ ඔය කියන අපරාධයේ එක් වගකිවයුත්තෙක් මම.
    කලක් යනවිට මටත් හැඟී ගියා වික්‍රමාරච්චි සම්ප්‍රදාය යනු කුමක් දැයි කියා. අද එහි අවසන් අදියර තිබෙන්නේ. බොහොම ටික දෙනෙක් තමයි මේ පිළිබඳ අවබෝධයකින් සිටින්නේ. මා අද වන විට ලාංකීය ආයුර්වේද නොවන දේශීය චිකිත්සාව යනු කුමක් දැයි හොඳින් ම අවබෝධකරගෙන සිටිනවා.
    අපේ පරම්පරාවේ කිසිවකුට නොලැබුණු අවස්ථා මට පුද්ගලිකව ලැබුණා. එනිසා මා වෙදකමේ යම් ඉහළ තැනකට ගියත්, මට බොහොම කණගාටුවක් තිබෙනවා, අපි අහිමි කරගනිමි සිටින දේ පිළිබඳ.
    මේ සම්ප්‍රදාය විනාශ වීමෙන් ගලවා ගැනීමට අදවන විට සිටින අයට හැකියාවක්, කොන්දක් නැහැ. එනිසා මේ පිළිබඳ යමක් කළ යුතුව තිබෙනවා.

    ReplyDelete
  2. මම ඔබේ ස්වයං විවේචනය ගැන අගය කරනවා. ඒ කාලයේදී අර මා කියූ දේශපාලන කඩතුරාවෙන් මේ ආයතනයේ උරුමය සහ අනන්‍යතාව වසා දැමුණා. එසේම මෙය වික්‍රමාරච්චි පරපුරේ පුද්ගලික දේපළක් ලෙස හංවඩු ගැහුණා. ආදිකර්තෘන් පිරිසකගේ සාමුහික ප්‍රයත්නයක් වූ මේ සම්ප්‍රදාය ඉතා නිර්දය ලෙස ඒ රැල්ලට යට කළා. ඒ බව මම ප්‍රසිද්ධියේ මෙන් ම කළමනාකරණ මණ්ඩලයේදී ත් ප්‍රකාශ කළා. එවිට් මා වික්‍රමාරච්චි පරපුරේ හතුරෙක් ලෙස හැඳින්වුවා. මා ඉතා හොඳින් කරුණු සහිතව ඔප්පු කළේ මෙය පොදු ආයතනයක් බවයි. ඊට හේතුව වික්‍රමාරච්චි පරපුර රැකීමට ගොස් මට සිද්ධායුර්වේද සම්ප්‍රාදයේ හතුරෙකු වන්නට අවශ්‍ය නොවූ නිසාය. මේ සත්‍යය දැන් මේ ආයතනයේ උරුමයට උර දෙන සියලු දෙනා දැන ගත යුතුයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete