Thursday, February 5, 2015

“ළිං මැඩියන්” ට එරෙහිව “සඳුන් පටවා ගත් බුරුවන්” ගේ උභතෝකෝටිකය හෙවත් සුද්දන්ගේ ආයුර්වේදතරණය


ආයුර්වේදය ක්ෂේත්‍රය තුළ සිදු වන බොහෝ දෑ බෙහෙවින් ම සිත් කළකිරවන නමුත් ඉඳ හිට සිත් කුපිත කරවන දේවල් ද දක්නට ලැබේ. මේ කරුණු වර්ග දෙක වෙන් වෙන්ව සඳහන් කළේ සිත් කළකිරවන දේවල් දිහා බලා සිටිනවා හැර වෙන කළ හැකි දෙයක් නොමැත. ඒවායින් එතරම් හානියක් සිදුවන්නේ ද නැති නිසා බලා සිටීමෙන් පාපයක් ද සිදු නොවේ. අද පවතින සමාජ ආර්ථික වටපිටාව තුළ එබඳු දේවල් අනුමත කරන්නට හෝ ඒවායේ කොටස්කරුවන් වන්නට ද අප හට සිදු වන අවස්ථාවන් ද එළඹේ.  එහෙත් සිත් කුපිත කරවන දේවල් වහා නිවැරදි කළ යුතු ඉතා බරපතල හානි සිදුවන වැරදිය. මා අද කතා කරන්නේ එබඳු සිත් කුපිත කරන සුළු දෙයක් ගැනය. එකී කාරණාවේ මුල මැද අග තරමක් සංකීර්ණ නිසා මෙහි සන්දර්භය ඉතා ප්‍රවේශමෙන් වටහා ගත යුතුය. මෙම මාතෘකාවේ සුද්දන් යන කුලකය අර්ථ දක්වන්නේ බටහිර ජාතිකයන් හෝ යුරෝපීය රටවල වැසියන් පමණක් නොව බටහිර දැනුම් පද්ධතීන් ඔස්සේ ලෝකය විවරණය කරන අය ද ඇතුළත්වය. එනිසා මෙය දාර්ශනික  ස්වරුපයෙන් නිදහස් කර ගැනීමේ ප්‍රයත්නයක් මා තුළ පවතී. ක්‍රමයෙන් ඒ බාධකය පහව යනු ඇතැයි මා සිතමි. මෙහි මා ආයුර්වේදතරණ ය න්න යෙදුවේ ආයුර්වේදාවතරණයෙන් වෙනස් අර්ථයක් සහිතවය. අවතරණය යන්නෙන් ඉහළ සිට පහළට ගලා ඒම හෝ යම් වංශාවලියක පැවත්ම  ගලා යාම  (වංශානුක්‍රමය) යන්න අදහස් වේ. එහෙත් තරණය යනු එගොඩ වීම හෝ එතෙර වීම යන අර්ථය දේ. මෙහි දී යොදා ඇත්තේ ආයුර්වේදයෙන් එගොඩවවිම යන් අරුත ඇති “ආයුර්වේදතරණය” යන්නයි.

ළිං මැඩියන් ගේ සද්භාව විචාරයේ ආකෘතිය කෙබඳු ද යන්න පළමුව වටහා ගනිමු. අපි මේ යෙදුම තුළින් අරුත් ගන්වන්නේ තමන් ගේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට එපිටින් ඇති ලෝකය වටහා නොගන්නා බවත් සියල්ල තමන් දකින තමන්ට වැටහෙන දැනෙන සිමාවන් තුළ තේරුම් ගැනීමත් එය විස්තර කිරීමත් ය. ආචාර්ය සුශ්රුත සඳුන් පටවා ගත් බුරුවන් ලෙස හඳුන්වා දුන්නේ විෂය දැනුම දරා ගනිමින් එහි ප්‍රමාණාත්මක අගය පමණක් දැන එහෙත් එහි ගුණාත්මක අගය නොදැන හෝ අමතක කර කටයුතු කරන ශාස්ත්‍රධරයින් හෙවත් විද්වතුන් ගේ සමාජ නිරුපණයයි. මෙය ආයුර්වේදඥයින් හට මෙන්ම අන් සියලු විද්වතුන් හට ද පොදු විවේචනයකි. සමහර විටෙක මෙබඳු විද්වතුන් විෂය දැනුම භාවිත කරනුයේ සමාජයට පුහු ආටෝපය පෙන්වීම සඳහා වන හුදු ආභරණයක් ලෙස හෝ අන් අය බිය ගැන්වීමට යොදා ගන්නා අවියක් ලෙසය. නම අගට බී.ඒ.එම්.එස්. එකට තව පශ්චාත් උපාධියකුත් එයට වග කියන විශ්ව විද්‍යාලයේ නමත් අපි දරන නොයෙකුත් තනතුරුත් එල්ලා ගත් පමණින් ම අපි "ආයුර්වේදඥ" (ආයුර්වේදය හොඳින් දැනගත්) වන්නේ නැත. එසේම අපි ආයුර්වේදය ගැන යමක් ලියු පමණින් එය ගැන කතා කළ පමණින් එය හොඳින් සංනිවේදනය කළා වන්නේ ද නැත. මෙය විදේශීය රටකින් පැමිණි වෙනත් බසක් කතා කරන අය සම්බන්ධයෙන් තවත් දුෂ්කරය. සුද්දන්ට අදාළව මේ කරුණ තවත් බරපතලය.         

මා හට ආයුර්වේදය පිළිබඳව උනන්දුව දක්වන සුද්දන් කණ්ඩායම් දෙකක් මුණ ගැසී ඇත. එක කොටසක් ආයුර්වේදය භාවිත කිරීමට, එම ප්‍රතිකාර ලැබීමට හෝ එහි දැනුම ලබා ගැනීමට පැමිණෙන කණ්ඩායමයි. මම මින් මතු ඔවුන් “ශ්‍රාවකයින්” ලෙස හඳුන්වමි. අනෙක් කොටස ආයුර්වේදය ගැන අපට ඉගැන්වීමට හෝ ඒ ගැන පැහැදිලි කිරීමට හෝ තමන් දරන මතය පැවසීමට පැමිණෙන කණ්ඩායමයි. මින් මතු ඔවුන් “දේශකයින්” ලෙස හඳුන්වමි. දැන් මා මේ ගැටලුවට අවතීරණ වන්නේ මෙකී ශ්‍රාවකයින් සහ දේශකයින් දෙපස තබා ගෙනය. මේ දෙපක්ෂයම අප සමඟ අදහස් හුවමාරු කර ගන්නේ ඉංග්‍රීසියෙන් ය. මින් පළමු (ශ්‍රාවක) කණ්ඩායම සාමන්‍ය ඉංග්‍රීසි භාෂාවත් දෙවන (දේශක) කණ්ඩායම පාරිභාෂික වදන් බහුල පාණ්ඩිත්‍ය ඉංග්‍රීසියත් උසුරුවයි. මේ කරුණ වඩාත් හොඳින් විග්‍රහ කර ගැනීම සඳහා සුද්දන් කෙරෙහි අප සමාජ සන්තානය තුළ නිර්මාණය කර ඇති අන්‍යභාවයේ (otherness) ආරෝපිත අගයන් කෙබඳු දැයි වටහා ගත යුතුය. ඉදින් අපි පළමු කණ්ඩායමට ආයුර්වේදය ඉගැන්වීමටත් දෙවන කණ්ඩායමෙන් ආයුර්වේදය ඉගෙන ගැනීමටත් කැමත්තෙන් සිටිමු. එය ආඩම්බරයට හෙතුවක් යැයි සිතමු. අපි වරෙක ළිං මැඩියන් හට දෙසන අතරේ සඳුන් පටවා ගත් බුරුවන් හට සවන් දෙමු. මේ ළිං මැඩියන්ට සහ සඳුන් පටවා ගත් බුරුවන් ට මැදිවූ උභතෝකෝටිකය විසඳා ගන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් සුද්දන් පෙරදිග දේවල් හෝ දේශීය දේවල් අගයන විට හෝ ඒවා භාවිත කරන විට අපි ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන්නේ ඇයි? එය අප තුළ ඇති පැරණි පරාධීන මානසිකත්වයේ නටබුන් ය. බිල් ක්ලින්ටන් පන්සලකට ගිය විටත්, බරක් ඔබාමා බෝ පැළයක් රෝපණය කළ විටත් මතුවන්නේ එයමයි. අපේ ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් බණ පදයක් නොඅසන අය සුදු හාමුදුරුවන් ගේ බණ අසන්නට සැදී පැහැදී පෝලිම් වල පොරකන්නේ මෙකී මානසිකත්වය නිසාය. සුද්දන් වැරදි උච්චාරණයෙන් සිංහල සිංදු කියන විට සැනසෙන සිත් අපේ ළමයි ඉංග්‍රීසි වලට ලකුණු අඩුවෙන් ගත් විට රිදෙන්නෙත් එනිසාය. අපි අමාරුවෙන් ළම්යින්ව එලකියුෂන් පන්ති යවන්නේ එනිසා ය. සිංහල වැරදුණත් ඉංග්‍රීසි නිවැරදිව කතා කළ යුතු බව සිතන්නේ බ්‍රිතාන්‍ය කිරීටය කෙරෙහි අපේ මුතුන්මිත්තන් දැක්වූ බය පක්ෂපාතිත්වය නිසාය. එනිසා මම සිතන්නේ අපේ සමාජය තුළ සුද්දන් කෙරෙහි අනියත දේශපාලනික බියක් හෙවත් ජානගත සමාජමය පිළිගැනීමක් ඇති බවය. බිබිසි සීඑන්එන් ඩිස්කවරි නැෂනල් ජියෝග්‍රෆි වැනි නාලිකා හරහා ඒ බිය වැඩි කරන පරිකල්පන මෙවලම් සපයන බව මම සිතමි, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, මානව හිමිකම් කවුන්සලය, ලෝක බැංකුව වැනි ආයතන හරහා ඒ බිය පවත්වා ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික පදනම සපයයි. 

ආයුර්වේදය සිංහලෙන් ලියැවුණු පොත් වලට වඩා ඉංග්‍රීසියෙන් ලියැවුණු පොත් වඩා නිවැරදි යැයි ද ඒවායේ වඩා උසස් ගණයේ විවරණ හෝ විදවත් සංවාද අඩංගු වේ යැයි ද ඒවා වඩා සුදුසුකම් ලත් වියතුන් අතින් ලියැවී ඇතැයිද පිළිගන්නේ ද මෙකී ආස්ථානයේ ම කොටසක් ලෙසය. ඉංග්‍රීසියෙන් ආයුර්වේදය ගැන පළ වන පර්යේෂණ පත්‍රිකා වඩා විද්‍යාත්මක යැයි සිතන්නේ ද මෙ නිසාය. ඉංග්‍රීසියෙන් ආයුර්වේදය ගැන කතා කරන විද්වතුන් නවීන ලොවට ඔබින පරිදි ආයුර්වේදය හදාරා එය ඉදිරිපත් කරන්නේ ය යන මිථ්‍යාව සමාජ ගත වන්නේ ද එනිසාය. එහෙත් අපේ කතා අහන්නට රැස්වන ළිං මැඩි සුද්දන් ඉදිරියේ අපී සඳුන් පටවා ගත් බුරුවන් මෙන් පෙනේ යැයි හැඟීමක් මට තිබේ. අද ආයුර්වේද සම්මන්ත්‍රණ තුළ මෙන්ම ශාස්ත්‍රීය සංග්‍රහයන් තුළ ආයුර්වේදය සාකච්ඡා කරන ප්‍රධාන මාධ්‍යය ලෙස ඉංග්‍රීසිය යොදා ගන්නේ එය වඩා හොඳ සංනිවේදන මෙවලම නිසා නොව එය සුද්දන්ට තේරෙන බාසාව නිසාය. ඉන්දියාවේ ඕනෑම ජාත්‍යන්තර සමුළුවකදී හින්දියෙන් හෝ ප්‍රාන්ත භාෂාවන් ගෙන් සිදු කරන දේශන සහ සාකච්ඡා ඉතා මැනවින් සංවිධානය කෙරේ. ඒ දේශීය විද්වතුන් ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමේ පරමාර්ථය නිසාම නොව ශාස්ත්‍ර පරිභාෂාවේ අනන්‍යතාව ආරක්ෂා කිරීමෙන් එහි ගුණාත්මක අගයන් ඉහළ මට්ටමක රඳවා ගැනීමටය.

ආයුර්වේදයේ පිහිට පතන අයුර්වේදයෙන් යම් සුවයක් හෝ සහනදායී අත්දැකීමක් අපේක්ෂා කරන සුද්දන් කොටස් දෙකකි. එක කොටසක් දැනටමත් ආයුර්වේදය ගැන දැනට පළවී ඇති පොත් පත් හෝ අන්තර් ජාලයේ ලියවිලි පරිහරණය කර ඇති අය වේ. අනෙක් කොටස එබඳු මුලික දැනුමක් හෝ තොරතුරු නොමැති අය වේ. මේ දෙකොටස අතරින් පළමු කොටසට ආයුර්වේදය අවබෝධ කරවීම පහසු යැයි සිතීම මුලාවකි. ඔවුන් දෙගොල්ලම මා දකින්නේ ආයුර්වේදය තුළ ළිං මැඩියන් ලෙසයි. ඒ අයට අපි ආයුර්වේදය ගැන ඉංග්‍රීසියෙන් කියා දෙන විට ඔවුන් එය තේරුම් ගන්නේ “කූප මණ්ඩුක න්‍යාය” අනුවය. ඒ කියන්නේ අප දෙන දැනුම ඔවුන් කියවා තේරුම් ගන්නේ ඔවුන් ගේ සංස්කෘතික වටපිටාව අයත් ලෝක දෘෂ්ටිය තුළ ය. පංච මහා භූත, සප්ත ධාතු, ත්‍රිදෝෂ, අග්නි, ප්‍රකෘති වැනි ගැඹුරු සංකල්ප කෙසේ වෙතත් සද්වෘත, අන්නපාන විධි වැනි ප්‍රායෝගික කරුණු පවා ඔවුන්ගේ මනසේ තැන්පත් වන්නේ උඩු යටිකුරු මාදිලියෙනි. ඉංග්‍රීසි පොත් වල ප්‍රකෘති පරික්ෂාව හුදු සරල ප්‍රශ්නාවලියකට ලඝු කිරීමෙන් ඔවුන් අත දිගු කරන්නේ ඔබට මගේ ප්‍රකෘතිය කිව හැකිද? යන ප්‍රශ්නය නගමිනි. මේ තත්වය ඇති කළේ අර සඳුන් පටවා ගත් බුරුවන් හෙවත් ආයුර්වේදය ඉංග්‍රීසියෙන් වටහා ගත් සුද්දන්ය. මේ සඳහා මම ඓතිහාසික උදාහරණ දෙකක් ගනිමි.

රොබට් නොක්ස් අපේ වෙදකම ගැන කියුවේ කුමක්දැයි යළිත් කියවා බලමු. “මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය. මේ රටේ ඒ සඳහා වෙන වෙනම නම් දැරූ විශේෂ වෛද්‍යවරු හෝ ශල්‍ය වෛද්‍යවරු හෝ නැත්තාහ. කෂාය බෙහෙත් ගැන කැපුම් කෙටුම් පෑස්සුම් ගැන කොයි කාටත් සාමන්‍ය පළපුරුද්දක් ඇත්තේය. ඔසු පිළියෙළ කරන්නේ ගස් වැල් වල කොළ පොතු ආදියෙනි.... එසේම ඒ රටේ මිනිස්සු සර්ප විෂට මෙන්ම අනෙකුත් විෂට ද වෙදකම් කිරීමට ඇති සමත්තු වෙති...... සිංහලයෝ සර්ප විෂ බස්සන්නට හා සර්පයා සපා කෑමෙන් වළකින්නට මන්ත්‍ර ගුරුකම් කිරීමේ ගජ සමත්තුය... සර්වාංග රෝග සුව කිරීම සම්බන්ධයෙන් ඔවුන් තුළ කිසිදු දස්කමක් නැත්තේය.” මා දන්නා පරිදි ආයුර්වේදයට වැටුණු පළමු සුදු (බටහිර) ළිං මැඩියා රොබට් නොක්ස්ය. ඔහු  එදිනෙදා දුටු සිදුවීම් සහ ඔහුගේ අත්දැකීම් ඔස්සේ කරන ලද නිරීක්ෂණ සාමන්‍ය පුද්ගලයෙකු ලෙස වාර්තා කරයි. රොබට් නොක්ස් මේ කතා ලියන්නේ 1659 සිට 1680 දක්වා ඔහු ලද අත්දැකීම් සමුදායයි (An historical relation of the island Ceylon, in the East Indies). මේ නොක්ස් දේශීය වෙදකම ගැන ඔහුගේ සද්භාවවිචාරය තුළ විශ්වාස කළ දේවල් මත වාර්තා කළ අයුරයි. අදත් ආයුර්වේදය ගැන අපෙන් අසන ආයුර්වේද ප්‍රතිකාරයක් ලබන සුද්දෙකු මිට වඩා බොහෝ වෙනස් වාර්තාවක් ඉදිරිපත් කරනු ඇතැයි මම නොසිතමි. ශ්‍රී ලංකාවට සංචාරකයෙකු (නාවිකයෙකු) ලෙස පැමිණ අහම්බෙන් සිරකරුවෙකු ලෙස දිවි ගෙවු නොක්ස් දේශීය වෙදකම ගැන වාර්තා කරන පළමු විදේශිකයා බව අමතක නොකළ යුතුය. එනිසා ඔහුගේ කියවීමට යටින් දිවෙන සද්භාවවිචාරය ගැන ඉතා සියුම් විග්‍රහයක් අවශ්‍ය බව නැවතත් කියමි.

මීළඟට ජෝන් ඩේවී ගේ ආස්ථානය දෙසට හැරෙමු. “බෙහෙත් සැදීම පිළිබඳ ඔවුන්ගේ දැනුම සීමිතය. ඔවුන්ගේ ද්‍රව්‍ය ගුණ නිඝණ්ටුවට අයත් ද්‍රව්‍ය චුර්ණ, කසාය, සාර ලෙස පිළියෙළ කොට ගත් වනෞෂධ මිරිකීමෙන් හෝ උණුකිරීමෙන් ලබාගන්නා නියමිත තෙල් වර්ග කිහිපයක් තෙල් හෝ උකු ද්‍රව්‍ය සංයෝග කළ රසදිය වැනි ලෝහමය ඖෂධ ඉතා සුළු සංඛ්‍යාවක් සුදු ඔක්සයිඩ් තත්වයේ වූ පාසානම් කුඩු තත්වයෙහි වූ තඹ රණ හා රිදී යන මෙයින් සමන්විතය. ඔවුන්ගේ ශල්‍ය කර්මය පවතින්නේ අතිශයින් ග්‍රාම්‍ය ලෙසකිනි.,,, ඔවුන්ගේ ශරීර විද්‍යාව අනුමාන කළ හැකි පරිදි අතිශයින් කාල්පනික ය... සප්ත ධාතු සහ තුන් දොස් අනුසාරයෙන් ද සත්ත්ව ශරීරයෙහි සියලු ම කටයුතු මෙන්ම ශරීරය පිළිබඳ විධිමත් හෝ ව්‍යාකුල හෝ වේවා රෝගී හෝ නිරෝගී හෝ වේවා සියලුම ක්‍රියා ද පිළිබඳ හේතුව ප්‍රකාශ කළ හැකිය යනු ඔවුන්ගේ මතයයි. ඔවුන්ගේ රෝග විනිශ්චය ද ඉහත සඳහන් කළ කාල්පනික ගණයට අයත් වුයේ ඉහත මුලධර්ම පිළිබඳව වගකට නැති තර්ක මාත්‍රය මත සම්පුරණයෙන් ම රඳා පවතී... මේ රෝග 572 පිළිබඳ ඔවුන්ගේ රෝග වර්ගීකරණය ඔවුන්ගේ රෝග විනිශ්චය පදනම් කොට ඇත්තේය. මෙහිදී රෝග ඒ ඒ රෝගය පිළිබඳ රෝග ලක්ෂණ සමුහ වශෙයන් නො සලකා එක් එක්  රෝග ලක්ෂණය හා රෝග ලක්ෂණයක විපර්යාසයක් විශේෂ රෝගයක් ලෙස සලකනු ලැබේ. මෙසේ සංකල්පික හේතුන්ගේ පිහිට ලබන ඔවුන්ගේ රෝග නාම ලේඛනය බොහෝ දික්ය. ඔවුන්ගේ වෛද්‍ය කර්මය ප්‍රත්‍යක්ෂ මූලක ක්‍රමයට වඩා කාල්පනිකය. රෝග ලක්ෂණ සහනය කිරීමට වඩා රෝග හේතු වැළැක්වීම කෙරෙහි වෙයි. එසේ නැතහොත් හුදෙක් පළපුරුද්ද මත පිහිටා සුව කිරීමට උත්සාහ කරති. ඔවුන්ගේ ක්‍රියාමාර්ගයේ ප්‍රධාන ලක්ෂණය නම් පළමු කොට රෝගය පැසවා හෙවත් උත්සන්න කරවා දෙවනුව එය ඉවත් කිරීමයි... වෛද්‍යවරයෙකුගේ අධ්‍යාපනය සුදුසුකම්, ශිල්පයේ තත්වය පිළිබඳ විශේෂ ලක්ෂණ ප්‍රබල ලෙස විදහා දක්වයි.  ලංකාවේ ආයුර්වේදය විග්‍රහ කළ පළමු සුදු (බටහිර) බුරුවා (සඳුන් පටවා ගත්)  ජෝන් ඩේවී ය. ඔහුට අනුව සිංහලයාගේ වෛද්‍ය විද්‍යා දැනුම “සීමිත සිතු බුද්ධිය මත ගොඩ නගන ලද දුරවබෝධ අසත්‍ය ක්‍රමයක්” වේ. ඩේවී සිංහලයාගේ වෙදකම පිළිබඳ විද්‍යාත්මක ක්‍රමය මත පදනම් ව දීර්ඝ විවරණයක් ඉදිරිපත් කරයි. හුදු තමන් සතු ශාස්ත්‍ර බුද්ධිය මත පදනම් ව සීමිත කාලයක් තුළ එකතු කර ගත් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය පමණක් ප්‍රමාණ කොට වෙනත් තර්කානුකුල සාක්ෂි හෝ විෂයානුබද්ධ කරුණු යොදා නොගෙන නිගමන වලට එළඹේ. තමන් ගේ වෘත්තීය ප්‍රවීණතාව හරහා ඊට යම් ශාස්ත්‍රීය අගයක් එකතු කොට ඒවා සමකාලීන පාරිභාෂික පද වලින් සරසා ප්‍රකාශයට පත් කරයි. එනිසා ඔහු සඳුන් පටවා ගත් බටහිර බුරුවන් ගේ පරපුරේ පුරෝගමියෙකු ලෙස හඳුන්වමි.

ජෝන් ඩේවී වෛද්‍යවරයෙකු පමණක් නොව රසායන විද්‍යාඥයෙකු ලෙසත් යම් ප්‍රවීන විද්වතෙකු ලෙස සිය An Account of the Interior of Ceylon, and of Its Inhabitants: With Travels in that Island ග්‍රන්ථය පළ කරන්නේ 1821 දීය. මොහු ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය රසායන විද්‍යාඥයෙක් වන ශ්‍රීමත් හම්ප්‍රි ඩේවී ගේ සහෝදරයා ලෙස එඩින්බර්ග් සරසවියේ පර්යේෂණ වලට ද සහය වන අතර පසු කලෙක ඔහුගේ පර්යේෂණ සඳහා රාජකීය සංගමයේ සම්මානය ද හිමිවේ. මොහු ශ්‍රී ලංකාවට පැමිණෙන විට නුතන යුරෝපයේ විද්‍යාත්මක චින්තනය සරුවට දළු ලමින් පර්යේෂණ ඥානය සියලු විෂයන් කෙරෙහි ආධිපත්‍යය පතුරවමින් තිබු යුගයයි. යක් දෙස්සියන් මරා පුළුස්සමින් යුරෝපයේ පුනරුදය තුළ ගොඩ නැගූ චින්තන විප්ලවයෙන් උද්දාමයට පත් ව ද සිටි විද්වත් සමාජයේ එක් පුරුකක් ලෙස ජෝන් ඩේවී ද හඳුන්වමි. පල්ලියේ නීතිමය බලය මත යුරෝපය තුළ පමණක් ඝාතනය කළ යක්දෙස්සන් ලක්ෂ ගණනක් අතර සුවකරන්නන්, දේශීය වෛද්‍යවරුන්, යාගකරුවන්, ඉතා විශාල සංඛ්‍යාවක් විය. ඔවුන් සියලු දෙනා ජිවිතයෙන් වන්දි ගෙවුවේ ඔවුන් සතු සුවිසල් පාරම්පරික දැනුම් සම්භාරයද ලොවට අහිමි කරමිනි. (මේ ගැන වේනම් ලිපියක් ලියමි.) මට කියන්නට අවශ්‍ය වුයේ යුරෝපිය විද්වතුන් යටත්විජිතයන්හි සම්ප්‍රදායික දැනුම් පද්ධතීන් සහ සංස්කෘතික හර පද්ධතීන් දෙස බැලුවේ යක්දෙස්සන් ගේ සන්දර්භය තුළය. ඩේවී දේශීය දැනුම් විග්‍රහ කිරීමට යොදා ගන්නේ විද්‍යාත්මක රසය පෙවූ ඉතා නිග්‍රහශීලි, අශික්ෂිත, අශ්ලීල, පරිභවාත්මක වදන් සමුදායකි. එය යක්දෙස්සන් ගේ සංකල්ප පණපිටින් මතවාදීව පුළුස්සා දමනවා වැනිය.

ඩේවී ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් මෙන්ම පර්යේෂකයෙක් ද වෙයි. එහෙත් ඔහු ආයුර්වේද දැනුම හෝ දේශීය වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් පළ කරන මත සහ නිගමන හුදු සරල ඒකපාක්ෂික පුර්වනිගමන කිහිපයකි. එනිසා ඔහු ආචාර්ය සුශ්රුත ගේ විග්‍රහයට අනුව සඳුන් පටවා ගත් බුරුවෙකු හා සමානය. අද සමහර විටෙක තමන් ගේ විෂය ප්‍රාමාණික ව ආයුර්වේදය ගැන මත පළ කරන නිගමන වලට එළඹෙන වියතුන් ද ඩේවී ගේ බූරු නිර්ණායක වලින් නිදහස් වන්නේ නැත. මා සිතන අයුරින් ආයුර්වේදය අපි ඉතා ප්‍රවේශමෙන් කියවීමත් තේරුම් ගැනීමත් අන් අයට කියාදිමත් කළ යුතුය. අපිට ඉංග්‍රීසි උගත් පමණින් සුද්දන් හට ආයුර්වේදය කියා දෙන්නට බැරිය. සුද්දන් ආයුර්වේදය උගත් පළියට ආයුර්වේදයේ ගැඹුරු සංකල්ප ගැන අප හට විවරණ ඉදිරපත් කරන්නට බැරිය. මේ වරද අතීතයේදී වේද ග්‍රන්ථ හැදෑරු සුදු විද්වතුන් අතින් ද සිදු වුණා. ඒ අය ඉන්දු-යුරෝපිය ආර්ය සංක්‍රමණයක් හරහා වේදයේ ආගමනය ගැන කතා කළා. ආයුර්වේදය “ආර්ය වෛද්‍යක්‍රමය” ලෙස අර්ථ ගැන්වූ අතර සමහර විටෙක “වෛදික වෛද්‍යක්‍රමය” ලෙස හැඳින්විය. මේ සියල්ල තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් තුබුණු බව වටහා ගත යුතුයි. ඔබ බොහෝ දෙනා නොදන්නා ඉතා අප්‍රකට ඓතිහාසික කාරණයක් මා මෙහි ලා සඳහන් කරන්නට අවශ්‍යයි. 1898 දි නිව්යෝක් නගරයේ එවකට ඇමෙරිකාවේ සුප්‍රකට වෛද්‍ය විශාරදයින් එක්වී ශාස්ත්‍රීය සංගමයක් පිහිටුවා ගනු ලැබිය. එහි නම වශයෙන් යොදා ගත්තේ “චරක ක්ලබ්” යන්නයි. එහෙත් එහි කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු හට සාමාජිකත්වය හිමි වුයේ නොවීම විශේෂයක්.යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව යම් උනන්දුවක් දැක්වූ පසුව අපේ වෙද පුස්කොළ පොත් එකතුවක් අයිතිව සිටි වෛද්‍ය කේසි වුඩ් මෙම සංගමයේ සාමාජිකයෙකු ව සිටි අතර එම පුස්කොළ පොත් 119ක් කැනඩාවේ මැක්ගිල් සරසවියේ විලියම් ඔස්ලර් පුස්තකාලයේ තැන්පත්ව තිබේ. ඔවුන්ගේ අභිමතාර්ථය වුයේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතිහාසය සම්බන්ධ කරුණු හැදෑරීමයි. එහෙත් අපි තවමත් ආයුර්වේදය තුළ “චරක සංහිතාව” ග්‍රන්ථයක් කියවන්නෙමු. උපුටා දක්වන්නෙමු. එහෙත් “චරක” විද්වත් සංසදයක් ලෙස නොකියවන්නෙමු. ආයුර්වේදයේ ඓතිහාසික සුසමාදර්ශය සංකල්පීය රාමුවෙන් ඉවත් කොට කෞතුකාගාරයේ තබා ඇත්තෙමු. මේ අපේ පිට පිටවා ගත් සඳුන් හර ලිහා බැලීමට කාලයයි.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පාසල්වල බටහිර විද්‍යාවන් උගෙන දොස්තර වීමට නොහැකිව ආයු. දොස්තර වි හෝ වෙද නලාව බෙල්ලේ දමාගන්න කැසකවන බොහෝ උගතුන්ට ආයුර්වේදයේ දාර්ශනික අගය නොපෙනේ ඔවුනටද ඔබ කියන උපමාව බෙහෙවින් ගැලපේ පාට කන්නාඩි දමා බලන කෙනෙකුට පරිසරය එම පාටින් පෙනෙන සේ බටහිර නිර්ණායක මත සිට ආයුර්වේදයේ දිගපළල මැනීමට යාමෙන් සිදුවන්නේ විනාශයකි. ආයුර්වේදය ජිවන දර්ශනයක් ලෙස දැක්වේ එසේ නම් ඒ සමග ජිවත් විය යුතය. පෙත්තප්පුලාට රෝගීන් අකමැති වන්නේ එබැවිනි. තම රෝගයටවත් තමන් දෙන බේත් බිමට සැක උගතුන් සිටන රටක බටහිර උගතුන් පිළිබද කවර කථා ද?

    ReplyDelete
  3. ආයුර්වේදයේ දාර්ශනික අගයන් සමඟ සමපාත විය නොහැකි අය පිළිබඳව මෙය සත්‍යයක්.

    ReplyDelete
    Replies
    1. ඉහත අදහස බහුතරය ගැනවේ. සැබෑවටම ආයුර්වේදයට පෙම් බදින පරම්පරා ඇති නැති සුළුතරයක් ඉතිරිවී සිටීම රටේ වාසනාවකි.

      Delete