Saturday, July 18, 2015

පණ්ඩිත රාළහාමි දැල්වූ අධ්‍යාපන ප්‍රදීපයේ ආලෝකය බද්දට දීම හෙවත් සිද්ධායුර්වේදයේ (වි)ජනිතකරණ විගඩම




පසු ගිය දා කොළඹ පවත් වූ ආයුර්වේද එක්ස්පෝ 2015 ප්‍රදර්ශනය තුළ ඇවිද යන මට ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්යාතනයට අයත් ප්‍රදර්ශන කුටියක් ද දක්නට ලැබිණ. ගුරුබිමට ඇති ආදරය නිසා එහි ගොඩ වූ මා දුටුවේ සිසු සිසුවියන් කිහිපදෙනෙකු ආයුර්වේදය ගැන ජනතාවට තොරතුරු කියා දෙන අයුරුය. මා කවුදැයි කොහි සිට ආවේදැයි කොහි යන්නේදැයි කුමට ආවේදැයි ඔවුන් නොදන්නා බව මා ඔවුන්ගේ හැසිරීමෙන් දැන ගත්තෙමි. ජනතාවට බෙදා දෙන පණ්ඩිත රාළහාමිගේ රුව සහිත පත්‍රිකාවක් මේසය මත තිබී එය අතට ගෙන කියවීමි. එය ආයතනය ඉදිරිපිට පවත්වා ගෙන යන එක්තරා බෙහෙත් වෙළඳ සමාගමකට අයත් ප්‍රචාරක දැන්වීමකි. එම ආයතනයේ නිෂ්පාදිත නියැදි බෙහෙත් කුප්පි කිහිපයක් ද එම කුටියේ ප්‍රදර්ශනයට තබා තිබිණි. මා මුල්ම ප්‍රශ්නය ඇසුවෙමි. මේ පත්‍රිකාව කුමක්ද? ඒ අපේ සමාගම යැයි සිසුවෙක් කිවේය. විශ්ව විද්‍යාලය සතුව සමාගමක් ඇත්දැයි මා පෙරළා ඇසුවෙමි. අපේ ඕ.පී.ඩි එකේ නැති බෙහෙත් මිළට ගන්නට රෝගීන් යොමු කරන්නේ මේ සමාගමට යැයි සිසුවාගේ පිළිතුර විය. මගේ ප්‍රතිප්‍රශ්නය වුයේ මෙම සමාගම හැර වෙනත් සමාගම් ද ආයතනය ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ තිබෙනවා නේද? ඒවාට රෝගීන් යොමු නොකරන්නේ ඇයිදැයි යන්නයි. මෙම සමාගම සිසුන් හට ඖෂධ නිෂ්පාදන පුහුණුව දෙන බව සිසුවාගේ පසුගාමී පැහැදිලි කිරීම විය. මා ගම්පහ සිද්ධායුර්වේදයෙන් අධ්‍යාපනය අවසන් කරන විට එම සිසුවා ඉපදී නොමැති බව මා ඉඳුරාම දනිමි. එහෙත් ඔහුගේ නොදනුමට හා හීනදීන ආකල්ප වලට හේතුව එය නොවේ. පසුගිය දශකය තුළ මෙම අධ්‍යාපන ආයතනය අවනතිය කරා ගෙනයාමේ අනිටු ප්‍රතිඵලයයි.

මට පණ්ඩිතමානි පිළිතුරු දුන් සිසුවා නියෝජනය කරන්නේ මේ වර්තමාන ඛේදවාචකයට ගොදුරු වූ මේ උතුම් ගුරුබිමේ අඳුරු යුගයට පා තැබූ සිසු සමාජයේ හරස්කඩයි. ඔවුන් ආයතනයේ අසහාය ඉතිහාසය නොදනී. ඔවුන් එහි සම්ප්‍රදායය තුළ ලැබෙන ශික්ෂණය නොලබයි. ඔවුන් හට එහි අභිමානවත් උරුමය ගැන අබමල් රේණුවක හැඟීමක් නැත. ඔවුන් ගේ පෞරුෂයට එහි අනන්‍ය ඇගයුම් ප්‍රණාලියේ සම්මතවාදී ගුණාංග කාන්දු වී නැත. එය ඔවුන්ගේ වරදක් නොව ඒ සඳහා අවශ්‍ය වටපිටාව ආයතනය තුළින් මුලිනුපුටා දැමීමේ ප්‍රතිඵලයි. එහි නිසි ශාස්ත්‍රීය උරුමයන් හී පෝෂණය නොමැතිව යහපත් වෛද්‍ය පරිචර්යා ශික්ෂණය වඳ පීදීමට ලක් වන විට විෂය නිර්දේශය බොන්සායි කිරීමෙන් ආයුර්වේද උපාධිධාරීන් බිහි කිරීමේ නරුම ව්‍යාපෘතියේ අස්වනු නෙලීම ඇරඹිණ. සියලු විරෝධතා ඉවත ලා විලම්බීත විපරිත විගඩම් වික්ෂිප්ත විෂය නිර්දේශයක් නිර්මාණය කළ පරිපාලනය එය ආයතනයේ සෞභාග්‍යය සමෘද්ධිය සංවර්ධනය ඇති කළ බවට මිත්‍යාවක් ද රෝපණය කළේය. ආයතනයක කොඳු නාරටිය බඳු වන්නේ එහි ශාස්ත්‍රීය උරුමයට පණ පොවන විෂය ප්‍රණාලිය වේ. එහි ගුණාත්මක සම්මතයන් පිළිබඳ අබ මල් රේණුවක අවබෝධයක් නොමැතිව සරසවි උඩඟුවෙන් විපිළිසරව ගත් අශික්ෂිත තීන්දුව ඉතා හානිකර බව බොහෝ දෙනා හට නොදැනේ. එයට නායකත්වය දුන් හිටපු අධ්‍යක්ෂවරිය ඇතුළු ගෝල බාලයින් ගේ පටු ආශාවන් සහ වාසිය තකා ආයතනයේ ඉදිරි ගමන පමණක් නොව ආයුර්වේදයේ අනාගතය ද පාවා දුන් බව කිව යුතුය. මේ ක්‍රියාදාමය සඳහා යෙදිය හැකි එක වචනයක් සොයා කල්පනා කරන විට මසිතට නැගුණු වචනය වන්නේ විජනිතකරණය යන්නයි. එය මා ලියන්නට සිතුවේ (වි)ජනිතකරණය ලෙසයි. පළමුව එය එසේ කීමටත් ලිවීමටත් හේතු පැහැදිලි කළ යුතුය.

(වි)ජනිතකරණය යන්නෙන් යම් කිසිවක් තුළ ගැබ්වූ නිසඟ ජනන ශක්තිය හීන කිරීම, අඩපණ කිරීම, අක්‍රිය කිරීම හෝ විකෘති කිරීම ලෙස අදහස් කළ හැකිය. නව අදහස් වලට ඉඩ නොදීම මෙන්ම නව අදහස් යටපත් කිරීම ද මෙහි ලක්ෂණයකි. නුතනවාදී සංකල්ප වලට මුවා වී ගතානුගතික ඥාති මිත්‍ර සංග්‍රහය, පන්දම් ඇල්ලීම වැනි කේවට්ට සම්ප්‍රදාය මත පදනම් වූ අධ්‍යාපන පද්ධතියක් සකස් කිරීම මෙහි අවසන් ප්‍රතිඵලයයි. ප්‍රෞඩ ඉතිහාසයක් අභිමානවත් උරුමයක් ඇති ආයතනයක හර පද්ධතිය ඇස් පනාපිට විනාශ කරනු දැක දැක නිවට නියාලුව කෙඳිරිලි හඬක් හෝ නොනගා බලා සිටින්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසය. එබඳු විනාශයක් අත් කර දුන් අධ්‍යක්ෂවරියට කිසිදු විරෝධයක් නොපෙන්වා ඇගේ සාරි පොටේ එල්ලී ගෙන වාසි ලබා ගන්නේ එහි ප්‍රතිඵල නිසාය. දැන් ඉතිරිව ඇත්තේ වඳ පීදුණු දඹු බවට පත් වූ බී.ඒ.එම්.එස්. විෂය නිර්දේශයක් හා එහි විද්‍යාත්මක රශ්මි කදම්බයෙන් ගිනි කන වැටුණු සිසුන් පිරිසකි. දැන් ඔවුන් biochemistry, analytical chemistry පමණක් නොව quantum physics, biotechnology, molecular biology, plant physiology, marine biology වුණත් සිලබස් එකට දැම්මත් කමක් නැති ගානට පදම් වෙලාය. ආයුර්වේදය තුළ රස බෙහෙත් තියෙන නිසා Metallurgy වැනි විෂයක් වුණත් දැම්මම මොකෝ ...? ඇයි ආයුර්වේදය මෙලොවට බිහි කළ මහා බ්‍රහ්මයා ගැන සොයන්නට astrophysics එහෙමත් ගලපෙනවනේ. බෙහෙත් වලට පස් ගෝ රස ගන්න නිසා veterinary science ටිකකුත් ඉගෙන ගත්තට මක් වෙනවද? මට හිතෙනවා අපේ සෘතු චර්යා ගැන පාඩම හොඳට තේරෙන්න meteorology ටිකකුත් ඉගැන්නුවා නම් පංකාදුයි කියල. හොඳ වෙලාවට මේ ආයතනයේ අධ්‍යක්ෂකමට සංගීත, චිත්‍ර, නැටුම් වගේ විෂයක් පිළිබඳ මහාචාර්ය කෙනෙක් පත් නොවුනේ. එහෙම වුණා නම් අද විෂය නිර්දේශය සංගීත, චිත්‍ර, නැටුම් වලින් පිරිලා.

පර්යේෂණ ක්‍රමවේදය කියල විෂයක් ශිෂ්‍යයින් ගෙ ඔළුවට දමල ඔවුන් ලව්ව පර්යේෂණ නිබන්ධන ලියවලා තීසිස් මානසිකත්වයක් හදන්නේ මුන් ගෙ මොලේ හොඳ නැද්ද කියලත් හිතෙනවා. අන්තිමට දන්නා පර්යේෂණයකුත් නැහැ නොදන්නා ක්‍රමවේදයකුත් නැහැ. ලොකු මාතෘකාවක් බර නිබන්ධනයක් එක්ක පට්ට ප්‍රෙසන්ටේෂන් එකක් කරනවා. ඊට පස්සේ රිසර්ච් ඔස්තාද් කියල හිතනවා. හැබැයි අන්තිමට වෙදකම හරියට දන්නෙත් නැති උඩඟු උපාධිධාරියෙක් බිහිවෙනව. උපාධිය තියෙනව. ඉංග්‍රීසි දන්නවා. ලැප්ටොප් තියෙනවා. ඒත් වෙදකම දන්නේ නැහැ. නොදන්නා දේ ඉගෙන ගන්න කැමතිත් නැහැ. ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට අපි හිතන්නේ සිංහලෙන්. අපේ පරිකල්පනය සිදුවෙන්නේ මව් භාෂාවෙන්. අපේ මහපොළොවේ මුල් ඇදපු අපේ සංස්කෘතිය තේරුම් ගන්නේ සිංහලෙන්. කෂාය ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට කෂායට ගන්න මුල් පොතු ඇට හට ගත්තේ මේ රටේ. ඒවා එකතු කරන්නේ, කිරන්නේ, හදන්නේ සිංහල විතරක් දන්නා මිනිස්සු. ඒවා බොන්නෙත් සිංහල කතා කරන මිනිස්සු. අපේ ආපහු බ්‍රිතාන්‍ය යුගයේ ආකල්ප වලට ගැති වෙච්චි ආයුර්වේද වෛද්‍යවරු පිරිසක් බිහි කරන්නද මේ උත්සාහය කියල මට හිතෙනවා. අපිට ඇත්තටම ඕනේ ආයුර්වේදය ගැන පර්යේෂණ කරන්න දන්නා විද්‍යාඥයින් පිරිසක් ද රෝගීන් සුවපත් කරන්න පුළුවන් ආයුර්වේද වෛද්‍යවරු පිරිසක් ද කියන එක හරියට තේරුම් ගන්න බැරි අය අතට මේ ආයතනයේ පරිපාලනයේ මුල් පුටුව දුන්න එකේ ප්‍රතිඵලේ තමා අපි දැන් භුක්ති විඳින්නේ. කෂාය වල pH අගය බලන්න, TLC, HPLC කියවන්න වෛද්‍යවරු ඕනෙද? ඒවා සාමාන්‍ය විද්‍යාගාර වල කෙරෙන සිල්ලර වැඩ නේ. වෙදකම ඒවාට ලඝු කරල අපේ නවක වෛද්‍යවරුන්ගේ ඔළුව කුරුවල් කරන බහු බූතවිෂය නිර්දේශයක් හඳුන්වලා දීපු එකේ විපාකේ අපිට විඳින්න වෙන්නේ තව කාලෙකට පස්සේ. එතකොට මේ වගේ උඩින් පල්ලෙන් අත පත ගාල විසඳුම් හොයන්න බැරි වෙයි.

අපිට තවමත් බැරි වුණා අපේ උපාධිය වෛද්‍ය ගණයේ සුදුසුකම් වලට ඇතුළත් කරගන්න. අපේ කථිකාචාර්යවරු තවම වෛද්‍ය ගණයේ නෙවෙයි. බි.ඒ.එම්.එස්. එක තවම කලා උපාධියක් වගේ. අපි ඒ වුණාට ඉගෙන ගන්නේ ගැඹුරු නවීන විද්‍යා විෂයයන්. ඒවා ගැන කතා කරන්නේ ඉතා ආඩම්බරයෙන්. ලැජ්ජාවට කාරණය සමහර ආචාර්යවරු ඉස්සරහ සමාගමෙන් කොමිස් එක එනකන් කට ඇරගෙන බලා ගෙන ඉන්නවා. ඊට පස්සේ සිසුන් ට ආයුර්වේදේ ගැන පර්යේෂණ කරන්න උගන්වනවා. තමන්ගේ ආයතනයේ ඉතිහාසය, උරුමය, සම්ප්‍රදාය ගැන ටිකක් කියලා දෙන්න දන්නේ නැති ආචාර්යවරු මෙලෝ රහක් නැතිව තාත්තගේ ලිඳේ කරිජ්ජ් බොනවා. අර ප්‍රදර්ශන කුටියේ හිටපු සිසුන් ට කියල දෙන්න හැදුවේ මේ ආයතනයේ නමට මුවා වෙලා බෙහෙත් සමාගම් දා ගත්ත අයගේ මුදල් වලට ඒ අයගේ පත්‍රිකා බෙදන එක බි.ඒ.එම්.එස්. එකට ගැලපෙන්නේ නැති බව. ඔය (වි)ජනිතකරණයෙන් බිහි වුණු ඉංග්‍රීසි විෂය නිර්දේශයේ රස්නේ නිසා ඔලුව ඉදිමිච්ච අයට සුදු ඕවර් කෝට් එක බර වුණාට අපිට ඒවා ලොකු නැහැ කියන්න. එකයි මම කිව්වේ ඒ හාදය ඉපදෙන කොට මම උපාධිය අරගෙන ඉවරයි කියල. ඒ අයගේ හිස් ගෙඩි වලට ඇතුල් කරලා තියෙන විද්‍යා ආඩම්බරය රෝගීන් සුවපත් කිරීමේ ලා අබමල් රේණුවක හයියක් නැති බව ඒ අය නොදන්නා එක ගැන කණගාටුයි. අපේ පරණ ගම්පහ වෙදමහත්තුරු ලෙඩ්ඩු සනීප කළේ ඔය කෙමිස්ට්‍රි වලින් නෙවෙයි. ඒ අයට අලගු තියන්න පුළුවන් ද මේ අයට. ඒ ගම්පහ වෙද මහත්තුරුන්ගේ දස්කම් වලට තමයි මේ සරසවි වරම ලැබුණේ. කෙටියෙන්ම කියනවා නම් මේ විශ්වවිද්‍යාල තත්වය ලැබන්නේ පැරණි වෙද මහත්තුරුන් ගෙ වෙදකමේ හොඳකම නිසා. ඒ උරුමයට සලකන්න දන්නේ නැති බි.ඒ.එම්.එස්. එක හොඳයි බලු වටින්නේ නැහැ.

ඊටත් වඩා දුක හිතෙන කතාව තමයි බී.ඒ.එම්.එස්. එක සම්පුර්ණ කර ගන්න බැරි අයට මගදී ඩිප්ලෝමා එකක් දීලා ගෙදර යවන එක. ඒ වගේ විලම්බීත විපරීත විගඩම් මේ ආයතනය තුළ සිදු වෙන කන් නිහඬව හිටිය කියන්නේ ඊට වඩා නිවට නියාලු නිර්ලප්ජ්ජිත නින්දිත පාවාදීමක් තවත් තියෙන්න බැහැ. පිටස්තරයින් ඇවිල්ල මේක ඇතුලේ කරණම් ගහන කොට ඒවට අත්පුඩි ගහපු හීන දීන සට්ටම්බියෝ සෙට් එකට අදවත් තමන් කරපු වරද නොතේරෙන එකයි පුදුමේ. හිටපු අධ්‍යක්ෂවරියයි එයාගේ කපටි ආරක්ෂකයෝ ටිකයි එකත්ය් වෙලා මේ ආයතනය දියුණු කරනවා කියල කරපු විනාසේ මෑත කාලයේ ආයුර්වේද ක්ෂේත්‍රයේ සිදු වෙච්ච බරපතල ම පරිහානි වලින් එකක්. ඒ වගේ අශික්ෂිත අධම අශීලාචාර තීරණ ගන්න උන්ට තියෙන අයිතිය මොකක්ද කියල හිතන්න මේ ආයතනයේ උරුමය යන්තමට හරි ගෑවිච්ච ආචාර්යවරුන් ට කොන්දක් තිබුණේ නැති කොට අන් අය ගැන කවර කතාද? ඉන්දියාවේ පශ්චාත් උපාධියට මේ ආයතනයේ උපාධිය පිළිගන්නේ නැත්තේ ඇයි කියල අහන්න බැරි ශිෂ්‍යයෝ අපිට උගන්වන්න හදනවා බේත් කොම්පැනි වල උජාරුව.. මම මේ කතාව කියන කොට මට ඔරවන්න බනින්න ගහන්න පැන්නට වැඩක් නැහැ. ඒ කාලේ අඩු වශයෙන් කාලි කෝවිලක පොල් ගෙඩියක් හරි ගහන්න බැරි වුණ කොට. තමන්ගේ වැටුපෙ කියක් හරි අඩුවෙන කොට තියෙන කැක්කුම වත් මේ වගේ විනාසයක් ඉදිරියේ නැත්තං ඒ අය ගැන කුමන කතාද? එහෙම නැත්තන් පිටරට සම්මන්ත්‍රණයක් ශිෂ්‍යත්වයක් වෙනුවෙන් ඇති උනන්දුව තමන්ගේ ආයතනයේ අනාගතය විනාශ කරන සතුරු බලවේග වලට එරෙහිව සටන් කරන්න නැගී සිටින්න නැති අයගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එක විතරයි..... ක‍න්න දෙනව නං අපිට බොන්න දෙනව නං අපිට මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ....? කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ. කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං (ආයතනයේ ගීතය) දැන් මං අහන්නේ ශිෂ්‍යයෝ කරන්න ඕනේ බෙහෙත් කොම්පැනි වල පත්‍රිකා බෙදන එකද ආයතනය බේර ගන්න එකද?

මම මේ කතාව කියන්නේ පහු ගිය කාලයේ අත්දැකීම් එක්ක මට අවබෝධ වෙච්ච් ඇත්ත කාරණා මේ ගැන උනන්දු අයගේ අවධානයට යොමු කරන්න. නවීන විද්‍යාවත් එක්ක ආයුර්වේදය ඉදිරියට ගමන් කරන එකයි ආයුර්වේදය විද්‍යාඥයින් ට පාවල දෙන එකයි දෙකක්. ආයුර්වේදය ගැන ප්‍රගතිශිලිව විචක්ෂණ ලෙස බලන විද්‍යාඥයෝ එමටයි. ඒ අතර ආයුර්වේදය තමන්ගේ බඩගෝස්තරය සඳහා යොදාගන්න මාන බලන විද්‍යාඥයෝත් ඉන්න බව අමතක කරන්න එපා. බී.ඒ.එම්.එස්. එක අත ඇරලා රටේ තියෙන ඔක්කොම විෂයන් බදා ගෙන පාඨමාලා ගොන්නක් ආයතනය තුළ පවත්වාගෙන යන්නේ මල්ල පුරෝගන්න බව බොහෝ අය දන්නේ නැහැනේ. ඒ වගේ අයට ආයතනයට හෙණ ගැහුවත් තමන්ගේ මඩිය තර වෙනවා නම් මදැයි. මේ ලිපිය ආරම්භයේදීම මම කියන්න හැදුවේත් පණ්ඩිත රාළහාමිගේ නමයි රුපෙයි විකුණගෙන කන සමාගමක් ගැන. ඒක පටන් ගත්තේ පණ්ඩිත රාළහාමිගේ ම පුත්‍ර රත්නය. එයාට තමන්ගේ තාත්ත වුණත් පණ්ඩිත රාළහාමි දැන් ජාතික වස්තුවක්. මේ රටේ ආයුර්වේදයට අයත් ජාතික සංකේතයක්. එහෙම උරුමයක් විකුණගෙන කන අයනේ ඔය කළමනාකරණ මණ්ඩලයේත් පුර්ණ කාලින සාමාජිකයෝ වෙලා ඉන්නේ. ඉතින් එහෙම අයගෙන් බුද්ධිමිත් සදාචාර සම්පන්න තීරණ බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ හින්දයි අර එදා මට හමුවෙච්ච සිසුන් ගෙ මානසිකත්වයට දොස් පවරන්න බැරි. එහෙම කියල නිකන් ඉන්නත් බැහැ මේ කරපු වින්නැහිය දකින කොට. අවසානයේදී ආධුනික සීමාවාසික පුහුණුව ද විෂය නිර්දේශයෙන් ඉවත් කළ පසු ඉතිරි වෙන්නේ සාමාන්‍ය කලා උපාධියක ඇති අගය පමණක් බව මේ ගොන් රැලට නොතේරීම පුදුමයකි. ඊට හේතුව ඒ තීරණයට අත ඉස්සු හිස පාත් කළ උඩ ගෙඩි දුන් පන්දම් ඇල්ලු ප්‍රශස්ති ගැයූ සියලු දෙනා හට මෙම පාප කර්මයේ විපාක වලින් ගැලවෙන්නට නොහැකිය. පණ්ඩිත රාළහාමි ඇතුළු සිද්ධයුර්වේද සම්ප්‍රදායේ පුරෝගාමීන් ගේ ශාපයෙන් මිදෙන්නට නොහැකිය. මේ රටේ ඉතා විශිෂ්ට ආයුර්වේද අධ්‍යාපන ආයතනයක අනාගතය විනාශ කිරීමේ අධම ක්‍රියාවේ අවලාදයෙන් නින්දාවෙන් නිදහස් වන්නට නොහැකිය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා