Tuesday, May 17, 2016

හොර වෙදුන්, බොරු වෙදුන් හා රට වෙදුන්



කාලෙකින් ලියන්න හිතුනේ එක්තරා දොස්තර මහත්තයෙක් ලියපු ලිපියකින් මගේ හිතට අසතුටක් දැනුණු හින්ද. ඒ “නොපෙනන මානයේ සිට පෙනෙන මානයට පැමිණි හෙළ වෙද හොරු” යන මැයෙන් 2016.05.15 දින රාවයේ පළ වූ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ලියු ලිපිය. මුළු ලිපියම නොවුවත් ඒකෙ අඩංගු සමහර කරුණු සම්බන්ධයෙන් මගේ අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. වෛද්‍ය ගමගේ මහතා මාධ්‍ය පිටියේදී කලකින් හමු වූයේ නැතත් එතුමා ස්වභාවයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය ගැන දරන බොහෝ විසංවාදී හා විතණ්ඩවාදී අදහස් වලට මා තුළ ඇත්තේ වෘත්තීය අරුචියකි. මෙම ලිපියට හේතු වූ එතුමාගේ ලිපිය තුළින් එබඳු අරුචියක් මතු නොවූ වද එහි සමහර කොටස් කෙරෙහි එකඟ විය නොහැකි නිසා මෙය ලියන්නට සිදු විය. එයින් අදහස් වන්නේ මා එතුමාගේ ලිපියේ බොහෝ කරුණු කෙරෙහි එකඟ වන බවත් සමහර කැරුණු වලට විරුද්ධ නොවන බවත්ය. දේශීය වෛද්‍ය නාමයෙන් පෙනී සිටිමින් ජනතාව මුළා කරන, රෝගීන් සුරා කන, හොර වෙදුන් හා බොරු වෙදුන් ඇති තරම් සිටින බව සත්‍යයකි. ඔවුන් හට ප්‍රචාරය ලබා දෙමින් මාධ්‍යයෙන් ඔසවා තබන බව ඊටත් වඩා කණගාටුවට කරුණකි. අද සිදුවන බොහෝ මෙබඳු බාල ගණයේ ප්‍රචාර සම්බන්ධයෙන් මාධ්‍යයේ පහත් වාණිජමය හැසිරීම වගකිව යුතුය. හොර වෙදුන් බොරු වෙදුන් නිසා සිදුවන හානිය ගැන වාදයක් නැත. එය ආයුර්වේද වෛද්‍ය සභාවේ අඩුපාඩු නිසා සිදුවන සමාජ අපචාරයකි.


ලියාපදිංචියෙන් තොරව ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය කර්මයේ නියැලීම මෙන්ම එබඳු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීමද ආයුර්වේද පනතේ විධි විධාන උල්ලංඝනය කිරීමකි. එසේම දඩුවම් ලැබිය හැකි වරදකි. එසේම ලියාපදිංචිය ලත් වෛද්‍යවරුන් හට මාධ්‍ය ප්‍රචාරය හෝ වෙනත් යම් ලෙසකින් තමන් වෙත රෝගීන් කැඳවා ගැනීම ද ආචාරධර්ම වලට පටහැනිය. එබඳු වෛද්‍යවරුන්ට එරෙහිව විනයානුකුල පියවර ගැනීමේ බලය ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවටය. ඔවුන් වෘත්තීය විෂමාචාරයක් කළ බව සනාථ වුවහොත් එබඳු වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම කළ හැකිය. ආයුර්වේද ක්ෂේත්‍රයේ ද ඉතා විධිමත් නීති පද්ධතියක් තිබේ. ක්‍රියාත්මක කිරීමේ දෝෂය ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවේ නිලධාරීන් ගේ දුර්වලකම මතය. එහෙත් මෑතක සිට ගුවන් විදුලිය, රුපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කරන බොරු දැන්වීම් වලට එරෙහිව පියවර නොගැනීමෙන් ආයුර්වේද වෛද්‍ය සභාව ක්ෂේත්‍රයට තුළ සිය නොහැකියාව ප්‍රදර්ශනය කර තිබේ. “දියවැඩියාව නිට්ටාවට සුව කරන වෙද මහතෙකු ගැන ප්‍රචාරය වන දැන්වීම්” හරහා බොරුව වපුරන ඒ වෛද්‍යවරයා තවමත් නිදැල්ලේ ඒ ජාවාරම කරගෙන යයි. ඒ අපේ වෛද්‍ය සභාව හොර වෙදුන් හා බොරු වෙදුන් ගැන සලකන විදියයි. එබඳු හොර වෙදුන් ගැන පියවර නොගන්නේ ඔවුන් ගෙන් වාසි සැලසෙන නිලධාරින් පුටු වල තාමත් නිරුපද්‍රිතව සිටින නිසාය.


දැන් ගමගේ වෛද්‍යතුමාගේ ලිපියේ මා නුරුස්නා වැකිය දෙසට හැරෙමු. “කරුණු එසේ තිබියදී සැත්කම් වලට බිය නුගත් රෝගීන් දේශීය වෙදකම වෙත යොමු වන බව පෙනේ. මිට අමතරව කැඩුම් බිඳුම් සහ සර්ප දෂ්ටනය සඳහා ප්‍රතිකාර ගැනීමට මිනීසුන් දේශීය වෛද්‍යවරුන් වෙත යොමු වන්නේ, එම වෙදකමේ ඇති සාර්ථකත්වයට වඩා ඒවා පිළිබඳ මිනිසුන් තුළ පවතින විශ්වාසයත්, එම ප්‍රතිකාර ගැමි ජනතාවගේ සංස්කෘතිය හා මනාසේ ගැලපෙන නිසාත්ය.” දේශීය වෙදකමට එරෙහිව සුද්දන්ගේ අධිපතිවාදී විවේචන එල්ල වූයේ අද ඊයේ නොවේ. 1821 දී ජෝන් ඩේවී ඇති තරම් සිය විද්‍යා තර්කන දැනුම උපයෝගී කර ගෙන පුනරුදයේ අවියෙන් දේශීය වෙදකමට තැලුවේය.  ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. අපේ රටේ උරුමය වනසන්නට පැමිණි බ්‍රිතාන්‍ය හමුදාවේ වෛද්‍යවරයෙකි. අපේ රටේ ගොඩ වෙදුන් ඉදිරියේ ඔහු රට වෙදෙකි. අපේ දේශීය වෙදකම ගොඩ වෙදකම ලෙස හෙළා දැක්කේ රට වෙදුන් ය. රට වෙදකම උගත් මෙරට වෙදුන් ය. ඒ සියල්ලෝ රට වෙදුන් ය. ඒ අය සියලු බටහිරෙන් ආනයනය කළ දැනුමට ඇලුම් කරයි. ඊට ගරු කරයි. දේශීය දැනුමට ගරහයි. එය නුගත් ගැමියන් ගේ මිථ්‍යා විශ්වාස ගොන්නක් ලෙසය. ඒ ඔවුන්ගේ ස්වාමියාගේ හඬයි. සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ගැන කෙරෙන පර්යේෂණ ඔවුන් මායිම් නොකරයි. ඒවායේ ප්‍රතිපල විශ්වාස නොකරයි. අද නවීන වෛද්‍ය ක්‍රමය හෙවත් ජෛව වෛද්‍යක්‍රමය (biomedicine) ලෙස හඳුන්වන බටහිර වෙදකම එදා හැදින්වුයේ අධිරාජ්‍යයාගේ වෙදකම (imperial medicine) හෙවත් යටත් විජිත වෙදකම (colonial medicine) ලෙසයි. ඊට හේතුව යුරෝපියානු වෛද්‍යක්‍රමය ආසියානු රටවල ව්‍යාප්ත කළේ අධිරාජ්‍යවාදයේ මෘදු දේශපාලන මෙවලමක් ලෙස නිසාය. අද මේ බල මෙවලම භාවිතා කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමටය.  


අද ගමගේ මහතා ප්‍රතිරාවය කරන්නේ ජෝන් ඩේවී ගේ පරපුරේ පශ්චාත් නුතනවාදී මාදිලියේ අදහස් විනා අන් කවරක් හෝ නොවේ. බලන්න, දේශීය වෛද්‍ය ක්‍රමයේ සමාජ පිළිගැනීම, එහි ව්‍යවහාරික පැවත්ම හා එහි සංස්කෘතික අනන්‍යතාව මත සිය පශ්චාත් උපාධිය සරි කර ගත් ඔබ ඊට ලබා දෙන ගෞරවය. දේශීය වෙදකමට යොමුවන්නේ “සැත්කම් වලට බිය” සහ “නුගත්” රෝගීන් බව ඔබ නිගමනය කරයි. එය ඔබේ නිබන්ධනයේ උපුටනයක් දැයි සැක සහිතය. කැඩුම් බිඳුම් සහ සර්ප වෙදකම ගැන නිසි අධ්‍යයනයක් නොමැතිව හිතලු පළ කරන්නට තරම් ඔබ දුර්වල වී ඇත්තේ පුරුද්දට හතර අතේ වනන නිසාදැයි සිතේ. කැඩුම් බිඳුම් වලට බටහිර ප්‍රතිකාර ලබා ඉන් පසු හරියට අතපය දිග හැරගන්නට දේශීය වෛද්‍යවරුන් ළඟට යන  රෝගීන් ගැන කතා නොකරන්නේ ඇයි? රෝහල් වලට වාර්තා නොවන සර්ප දෂ්ට නිසා අනතුරට පත්වීමට හැකිව තිබු ජිවිත බේරන අපේ ගොඩ වෙදුන් ගැන තොරතුරු නැත්තේ ඇයි? අද බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රචලිත හා ව්‍යවහාරික ප්‍රතිකර්ම වල අසාර්ථකබව නිසා බියට පත් වන රෝගීන් මෙන් ම දුකට පත් වන රෝගීන් ද දේශීය වෙදකමේ පිහිට පතයි. සමහර රෝග සුවපත් කිරීමේදී බටහිර වෛද්‍ය ක්‍රමය දේශීය වෛද්‍ය ක්‍රමයට වඩා ඉදිරියෙන් සිටින බව ගැන කිසිදු විවාදයක් නැත. එහෙත් සැත්කම් නියම කළ රෝගීන් එයින් මුදවා දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවපත් ව යනු අපි දැක ඇත්තෙමු. රෝගීන් ගේ අධ්‍යාපනික නුගත්කමට වඩා භයානක වන්නේ වෛද්‍ය ව්‍යාපාරය මගින් බිහි කළ සමාජමය නුගත්කම හෙවත් ගොනාට ඇන්දවීමෙන් මුදල් කඩා වඩා ගැනීමයි. එය හෙළ වෙද හොරු කළත් රට වෙද හොරු කළත් එකම වරදය. දේශීය වෛද්‍ය ක්‍රමයට නැඹුරු වන්නේ නුගත් සමාජය බව ඔබ කියන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවය. එය ඔප්පු කරන්නට බැරි මුසාවාදයකි. වෘත්තීය නොවන බේගලයකි. නුගතුන්ට ගැලපෙන පට්ටපල් බොරුවකි.


ඊළඟට ඔබ කියන්නේ දේශීය වෙදකමේ ජනප්‍රියත්වයට හේතු වන්නේ “මිනිසුන් තුළ පවතින විශ්වාසය” සහ “සංස්කෘතිය හා මනාසේ ගැලපෙන බව” යන සාධක දෙකය. මේ කතාව දෙපැත්ත කැපෙන තර්කයකි. ඕනෑම වෛද්‍ය ක්‍රමයක් දෙසට මිනිසුන් ඇදී යන්නේ ඒ කෙරහි වන විශ්වාසය නිසාය. ඒ විශ්වාසය ගොඩ නැගෙන්නේ, එය වර්ධනය වන්නේ, එය තිරසාරව දිගු කලක් පවතින්නේ එහි සාර්ථකත්වය නිසාය. එහි ප්‍රතිපල දැනෙන නිසාය. ඒවා ප්‍රයෝගිකව අත් විඳින නිසාය. කොටින්ම කිව හොත් එය සාක්ෂ්‍ය-පාදක (evidence-based) නිසාය. ඊළඟ සාධකය බලන්න. එය බටහිර වෙදකමට නැති දේශීය වෙදකමට පමණක් ආවේණික සාධකයකි. “සංස්කෘතිය හා මනාසේ ගැලපෙන බව” යන්නෙහි “මනාසේ” යන වදන ඔබේය. ඔබ නව යුගයේ වෛද්‍යක්‍රම වල ප්‍රගතිය ගැන දැනුවත් බව කියන හෙයින් සංස්කෘතිය වෛද්‍යක්‍රමයක පැවත්මට කෙතරම් වැදගත් ද යන්න මා කිවයුතු නොවේ. මේ වන විට පර්යේෂකයින් ගේ අවධානය යොමුව ඇත්තේ සංස්කෘතිකමය බලපෑම සෞඛ්‍යය ප්‍රතිලාභ සඳහා යහපත් ලෙස යොදා ගත හැකි අයුරුය. මව්කිරි දීමේ පුරුදු හා ව්‍යවහාර සමාජගත කළේ දේශීය සංස්කෘතියෙන් උදුරා ගෙන බව කියන්නේ නැත. අපේ ආහාර පාන රටාව ගැන කියන්නේ දේශීය වෙදකමේ උරුමය ලෙසින් නොවේ. කොළ පලා වල ගුණ ජනතාවට කියා දෙන්නේ ඒවා යුරෝපයෙන් ආනයනය කළ නිසා නොව එය දේශීය වෙදකමෙන් උරුමව අපේ ජන සන්තානයේ තිබු උරුමයක් නිසාය. එය සංස්කෘතික බුද්ධිමය දේපළක් (intellectual property) ලෙස සොරා ගත්තකි. අදටත් දේශීය වෛද්‍ය ක්‍රමය මේ තරම් බාධක විවේචන මධ්‍යයේ වොරැඳෙන්නේ ඒ මනා සංස්කෘතික ගැලපීම නිසාය. මේ හොර වෙදුන් හා බොරු වෙදුන් ප්‍රයෝජනයට ගන්නේ ද මෙකී පිළිගැනීමේ වාසියයි. එය රට වෙදුන් ගේ අභියෝගයට වඩා දරුණුය. මිනිසුන් රවටන්නේ මෙකී අනන්‍යතාවට මුවා වෙමිනි. ඒත් ඒ සංස්කෘතික උරුමය විකුණා ගෙන කන බොරු වෙදුන් නිසා පරිහානියට යන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අභිමානවත් අනන්‍යතාවයි.


ගමගේ මහතා දක්වන අනෙක් අර්ධ සත්‍යය නම් මේ අද අත්විඳින යහපත් සෞඛ්‍ය දර්ශක වල සියලු ගෞරව බටහිර වෛද්‍ය ක්‍රමය අත් පත් කර දුන් ඒවා ලෙස හුව දැක්වීමය. දේශීය වෙදකම යටපත් කළ ශතක පහක් තුළ මේ රටේ සෞඛ්‍යයට සිදු වූ හානිය ගණන් බලා නැත. ඒවාට සංඛ්‍යා ලේඛන ද නැත. එහෙත් නිදහසෙන් පසු මේ රටේ පසුගිය දශක කිහිපය තුළ යම් ප්‍රමාණයකින් ආයුර්වේද වෛද්‍යවරුන් හා දේශීය වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට දායක වූ බව අමතක නොකළ යුතුය. ඒවා කිසි දිනෙක මුඛ්‍ය ධාරාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඇගයීමට ලක් වූයේ නැත. සංඛ්‍යාත්මක අධ්‍යයනයට බඳුන් වූයේ නැත. එහෙත් ගමේ ගොඩ වෙදුන් ගොඩ දැමු රෝගීන් ගෙන ඉතිරී වූ විදේශ විනිමය, සෞඛ්‍ය පිරිවැය ගැන සොයා බැලුවේ නැත. සියලුම සම්පත්, බලතල හා යාන්ත්‍රණය අතේ තබා ගත් රට වෙදුන් ගේ ආධිපත්‍යය ගොඩ වෙදුන්ට ගැරහුවා පමණි. අවම වශයෙන් එක්ව පර්යේෂණයක් කරන්නට තරම් කොන්දක් තිබු වෛද්‍යවරු සිටියේ අතළොස්සකි. ලෝක සෞඛ්‍ය සංවිධානය 1978 අල්මා ආටා ප්‍රකාශනයෙන් වසර 30 කට පසු 2008 බිජිං ප්‍රකාශනය ද එළි දක්වා දේශීය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සෞඛ්‍ය පද්ධතියට එක් කරගන්නා ලෙස ඉල්ලා සිටියදී පවා එයට හිස් නමන්නටවත් යටත්විජිත මානසිකත්වයේ ගිලිණු රට වෙදුන්ට “වෘත්තීය විවේක බුද්ධියක්” තිබුණේ නැත. එබඳු ප්‍රජාතාන්ත්‍රික බුද්ධිමය ප්‍රතිචාර ඩේවී පරපුරේ ආක්‍රමණික රට වෙදුන් ගෙන් අපේක්ෂා කිරීමද මෝඩකමකි. ගමේ ගොඩේ අපේ ආච්චිලා සීයලා අවුරුදු සීය පැන්නුවේ රට වෙදුන්ගේ බෙහෙත් බලෙන් නොවෙයි. ඒ අයගේ දනිස් වලට ප්ලාස්ටික් පොල්කටු හයි කළෙත් නෑ. ඩයලිසිස් කළෙත් නෑ. බයිපාස් කළෙත් නෑ. ඒත් අගේට දරු මුණුපුරන් දැකල ආණ්ඩුවට බරක් නොවී අවසන් ගමන් ගියා. ඒ දේශීය වෙදකමේ බල මහිමය නිසා.


මේ තත්වය ගමගේ මහතා වැනි අයගේ පෑනෙන් ලියවුණත් අදහස් ගලා එන්නේ යුරෝපීය යටත් විජිත අධිපතිවාදී වෛද්‍ය අධිමානය තුළින්ය. බලාගෙන යන විට එයත් එක්තරා මානසික ව්‍යාධියකි. ඉන් පෙළෙන පුද්ගලයා සිතන්නේ තමන් ගේ බුද්ධිය නිසා මේ අන්දමේ අදහස් පහළ වන බවය. දේශීය වෛද්‍ය ක්‍රමය ජාතික සෞඛ්‍ය පද්ධතියෙන් අවතැන් ව තිබියදීත් එහි දායකත්වය අවම පහසුකම් යටතේ ලබාදුන් පසුගිය දශක කිහිපය කිසිදු ඇගයීමකට ලක් නොකර උදාන වාක්‍ය කියන්නේ රට වෙදුන් ගේ ඒකාධිකාරය තවදුරටත් තහවුරු කිරීමටය. තාක්ෂණික අධිකාරය, මානව සම්පත්, යටිතල පහසුකම්, නෛතික බලය, පරිපාලන ශක්තිය, දේශපාලන ආශිර්වාදය සියල්ලෙන් සම්පුර්ණ බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය සමඟ කරට කර සටනක් දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපේක්ෂා කිරීම ඉතා අනුවණ හා අශික්ෂිත අදහසකි. තාක්ෂණය හා පරිපාලන ඒකාධිකාරය උනා දැමූ කල බටහිර වෙදකමේ ශාස්ත්‍රීය නිරුවත පෙනේ. ඒ බව නොදැන අපේ බොහෝ බක පණ්ඩිතයින් ද උඩ දමමින් වැළඳ ගන්නේ නවීන වෛද්‍ය විෂයන්ය. රට වෙදුන් ගේ පම්පෝරිය අසන්නට ඒවාට අත්පොලසන් දෙන්නට අපේ සම+හරක් වෙදුන් හරිම කැමතියි. මේ රටේ අපේ දේශීය සෞඛ්‍ය උරුමය විනාශ කළ සංස්කෘතික සම්පත් කොල්ල කෑ රට වෙදකමෙන් තොරව සිතන්නට පුළුවන් අපේ වෙදුන් හදන බි.ඒ.එම්.එස්. විෂය නිරදේශයක් ඉල්ලන්නේ ඒ නිසාය. බටහිර වෛද්‍යවරුන් සිය පශ්චාත් උපාධියට හදාරන්නේ අපේ වෙදකමයි. ඒත් උපාධියෙන් පසු ගරහන්නේ ද එයටමයි. අපේ සම+හරක් උපාධිධාරීන් ද හිස උදුම්මවා ගත් විට ඒ වරදම කරයි. අපිට සටනක් ඇත. ඒ ගොඩ වෙදුන් සමඟ නොව රට වෙදුන් සමඟය. අපේ වෙදකමට ගරහන එහි ඉදිරිගමනට බාධා කරන රට වෙදුන් සමඟ කරට කරට හැප්පෙන්න උන් ගෙ ඉස්සරහ කෙළින් හිට ගන්න පුළුවන් උන් විතරක් මේ සටනට වරෙල්ලා.  රට වෙදුන්ගේ දැනුමට වන්දනාමාන කරන, රට වෙදුන් දැක්කම බයේ ගැහෙන දෙකට නැමෙන උන් පැත්තකට වෙයල්ලා.


වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

2 comments:

  1. "දේශීය වෛද්‍ය නාමයෙන් පෙනී සිටිමින් ජනතාව මුළා කරන, රෝගීන් සුරා කන, හොර වෙදුන් හා බොරු වෙදුන් ඇති තරම් සිටින බව සත්‍යයකි. ඔවුන් හට ප්‍රචාරය ලබා දෙමින් මාධ්‍යයෙන් ඔසවා තබන බව ඊටත් වඩා කණගාටුවට කරුණකි. අද සිදුවන බොහෝ මෙබඳු බාල ගණයේ ප්‍රචාර සම්බන්ධයෙන් මාධ්‍යයේ පහත් වාණිජමය හැසිරීම වගකිව යුතුය. හොර වෙදුන් බොරු වෙදුන් නිසා සිදුවන හානිය ගැන වාදයක් නැත. එය ආයුර්වේද වෛද්‍ය සභාවේ අඩුපාඩු නිසා සිදුවන සමාජ අපචාරයකි." ආයූර්වේද වෛද්‍ය සභාවේ කොඳුනාරටිය සකස් කිරිම මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේ වගකීම් විරිහිත ජඩ හැසිරීම පාලනය කිරීමද යුගයේ අවශ්‍යතාවකි.

    ReplyDelete
  2. ඔබ සමග සම්පුර්ණයෙන්ම මා එකගයි. කාර්ය බහුලකම නිසා මදක් ප්‍රතිචාර පමාවීම ගැන සමාවන්න.

    ReplyDelete