Thursday, May 19, 2016

ගොඩයා ගේ බඩට ගහන බටහිර වෙදකම හෙවත් “බට-හිර” වූ ගොඩ වෙදකම

හොර වෙදුන්, බොරු වෙදුන් හා රට වෙදුන් ගැන ලිවීමෙන් පසු එහි දෙවන කොටස ලියන්නේ වෙනත් මානයකින් මේ ප්‍රශ්නය තේරුම් කර ගැනීම සඳහාය. බටහිර කියන්නේ බස්නාහිර හෙවත් බසින හිරුට අයත් අරුතින් වුවත් එය හොඳින් තේරුම් ගන්නට ශාස්ත්‍රීය ලෙස “අපරදිග” කියන වචනය යොදා ගන්නට පුළුවන්. අපි මේ පෙරදිග අපරදිග කතාව කියන්නේ අපි ලෝක සිතියමේ ඉන්න තැනට සාපේක්ෂව. එහෙම නැත්තං ලෝකය අපි දකින සිතියමේ විදියට පැතලි සමතල බිමක තිබෙනවා කියන විශ්වාසයේ මත. ලෝකය ගෝලයේ කිසිම විදියක උතුරු-දකුණු, පෙරදිග-අපරදිග භේදයක් තියෙන්න බැහැ. ඒත් ග්‍රිනිච් රේඛාව බ්‍රිතාන්‍යය උඩින් වැටිලා තියෙන බව පිළිගත්තම අපි හිරු නොබසින අධිරාජ්‍යයේ සංස්කෘතික බලයත්, ඉංග්‍රීසි භාෂාවේ දැනුම් හා තාක්ෂණික ශ්‍රේෂ්ඨත්වය මත යැපීමෙන් එහි ආර්ථික උත්තරීතරත්වයත්, පොදු රාජ්‍ය මණ්ඩලයේ කිරුළට හිස් නැමූවම බ්‍රිතාන්‍යයේ දේශපාලනික ආධිපත්‍යයත් නිකංම පිළිගන්නවා. ඒ නිසා මේ Western කියන අර්ථයෙන් බටහිර යන වචනයට දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික මානයක් තියෙනව. අපි දැන හෝ නොදැන හිර වෙලා ඉන්නේ ඔන්න ඔය කියන දේශපාලනික-ආර්ථික-සංස්කෘතික රාමුව (බටයක්) ඇතුලේ. බටහිර කියන්නේ බටයක හිරවුණු කියන කතාව මං අහුලා ගත්තු එකක්. ඒත් මං ඒක ටිකක් දියුණු කරලා පුළුල් කරලා අපේ ප්‍රස්තුතයට යොදා ගන්නයි මං හිතුවේ.

බටහිර වෙදකම බටයක හිරවෙලා කියන්නේ ඒක පටන් ගන්නේ බට වලින් ඉවර වෙන්නෙත් බට වලින් නිසා. විද්‍යාත්මක පර්යේෂණ කෙරෙන රසායනාගාරයක තියෙන බට ඇතුළේ හිර වෙලා (in-vitro) තිබුණු සංකල්ප සිද්ධාන්ත වෙලා ඒවා දැනුම් අධිකාරියේ මුද්‍රාව තියලා පොත පත හරහා අපේ ඔලු ගෙඩි වල තැන්පත් කරනවා. ඉතින් ඒ දැනුම උපදින්නේ බට තුළ තමයි. දැන් ඊට වඩා පුළුල් ලෙස මේ කාරණය විස්තර කළොත් බටහිර දැනුම් සම්භාරය අනිත් රටවල අධ්‍යාපනයට හා සංස්කෘතියට එන්නත් කරන්නේ ඔවුන්ගේ දේශපාලනික චැනලය (බටය) හරහා. ඒ නිසා බටහිර දැනුම විසිරිච්ච බුරුල්වෙච්ච දියාරුවෙච්ච් දැනුමක් නෙවෙයි. ඒක ඉතා නියත ගති ලක්ෂණ සහිත සංකේන්ද්‍රීය තියුණු විනිවිද යන ගුණ සහිත ප්‍රබල ප්‍රවාහයක්. ඒ නිසා ඒක ඉතා ඉක්මනින් මොළය මගින් ග්‍රහණය කර ගන්නවා. මනසට කා වදිනවා. සංස්කෘතියේ නහර ගත වෙනවා. ඒ නිසා ඒ දැනුම ක්‍රියාත්මක වෙන්නේ ඉතා සංවිධිත පද්ධතියක් ලෙස. එම නිසා එහි ආධිපත්‍යය පිළිගත් අයෙක් එම පද්ධතියෙන් බැහැර නොයයි. ඊට අනුගත වූ අය එහි සිමාවෙන් පිටත සිදුවන දේ සත්‍ය ලෙස පිළි නොගනී. එසේම ඉන් බැහැර වූ දැනුම් දරන අය නිසි සුදුසුකම් ලත් අය ලෙස ද පිළිනොගනී. පද්ධතිය බටයක් වන්නේ එය රේඛීය (linear) ප්‍රවාහයක් ලෙස ගමන් කරන හෙයින්ය. එනිසා මේ දැනුම් පද්ධති වල “ප්‍රමාණ” ලෙස සැලකෙනුයේ සංවෘත පද්ධතියක් (බටයක්) තුළ සීමාකාරී සාධක මත සිදුකරන සම්පරීක්ෂණය පමණි.

මෙබඳු දැනුම් පද්ධතියක් තුළ හැදී වැඩුණු “බටහිර වෙදකම” අපේ රටේ මුල් බැස ගන්නේ යුරෝපීයන් විසින් හඳුන්වා දුන් වැවිලි ආර්ථිකයේ අතුරු පලයක් ලෙසයි. එය පසු කලෙක ක්‍රිස්තියානිය ප්‍රචාරය කිරීමේ සමාජ මෙවලමක් ලෙසත් ආගමික බලය ව්‍යාප්ත කිරීමේ මිෂනාරි මාධ්‍යයක් (clinical Christianity) ලෙසත් යොදා ගැනිණ. මුල් යුගයේ දී බටහිර රෝහල් තුළ ආගමික ප්‍රචාරය සඳහා රෝගීන්ගේ වට්ටෝරු පත්‍රිකාවේ බයිබල ශුභාරංචි වැකි මුද්‍රණය කර තිබිණි. ඒ සඳහා භුමිය සකසා ගැනීමට දේශීය වෛද්‍ය ක්‍රම අඩපණ කිරිමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම් වෙත ආණ්ඩුකාරයා යැවු ලිපියක සඳහන් වූයේ මෙරට සැම ගමක් පාසාම වෙදරාළ නමින් දේශීය වෛද්‍යවරයෙක් සිටින බවයි. ඒ මුල් යුගයේ අපේ රටේ ග්‍රාමීය සෞඛ්‍ය සංවිධානයේ බිම් මට්ටමේ සත්කාර සේවාවයි. පසු කාලයේ “ගොඩ වෙදුන්” වූයේ ගමේ ගොඩේ ගොඩ බේත් වලින් අපේ ගැමියන්ගේ ජිවිත ගොඩ දැමු වෛද්‍ය සංහතියයි. අපේ ගම වල බලි තොවිල් යක්ෂයාගේ කටයුතු ලෙස පහර දී හෙළා දැක ක්‍රිස්තියානි යාඥාව හඳුන්වා දුන්නා. යුරෝපයේ යක්දෙස්සියන් පණ පිටින් පුළුසද්දී අපේ ගොඩ වෙදුන් බේරුණේ ඒ වෙනකොට මේ වෙදකම් ගැන පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය ගවේෂකයින් යම් තරමක අධ්‍යයනයක් කරල තිබුණ හින්ද වෙන්න ඇති. මුල් යුගයේදී ඝර්මකලාපීය වෙදකම (tropical medicine) හරහා යටත් විජිත වල හමුදා සෞඛ්‍යයට අවශ්‍ය සේවා සපයන අතර උණුසුම් රටවල ශාක වර්ග අධ්‍යයනය කරන විද්වතුන් එවපු එක. අපේ රටේ ශාක ගැන මෙන්ම සැඟවුණු ප්‍රතිකාර ගැන යම් ඇගයීමක් කරලා තිබුණ විතරක් නෙවෙයි සමහර පුස්කොළ පොත් ඒ රටවලට ගෙනිහින් තිබුණේ. ඉතිරී පොත් පත් මහනුවර ආක්‍රමණයේදී ගිනි තියල විනාශ කළා.

මේ බටහිර වෙදකම කොහොමද ගොඩය ගෙ බඩට ගැහුවේ? එක පැත්තකින් මේ අය ගේ ස්වාමිවරුන් අපේ කෘෂි සංස්කෘතිය විනාශ කළා. මේ අය අපේ දේශීය ආහාර රටාව හා ඊට අදාළ පාරම්පරික දැනුම තුරන් කළා. ඒක තුළ පැවතුනු සංස්කෘතික වටිනාකම්, විශ්වාස, හර පද්ධතිය මෙන්ම එහි ආරක්ෂාකාරී සාධක හානියට පත් කළා. ඒ මත පදනම් වුණු වෙදකමේ පැවත්ම හා එහි සංකල්ප අභියෝගයට, සමච්චලයට ලක් කළා. ඊට පස්සේ දේශීය වෙදකමෙන් ඉතා පහසුවෙන්, සරලව, අඩු වියදමෙන් සුවපත් කර ගත් ලෙඩ රෝග වලට හම්බ කරපු සල්ලි ටික ගෙවන තැනට වැඩ සිද්ධ කළා. සෞඛ්‍යය කියන්නේ මිල අධික වෙළඳ භාණ්ඩයක් (commodity) බවට පත් කළා. බුලත් අතේ තියල ඇති හැකි පමණින් වෙද මහත්තයගෙන් බේත් ගත්තු ගැමිය චැනල් සර්විස් එකට, ලැබ් එකට, ෆාමසියට සල්ලි ගෙවල බඩගින්නේ ඉන්න තත්වෙට පත් කළා. රොබට් නොක්ස් කියපු සිංහලයාගේ බේත් ගබඩාව තුළ තිබුණු වටිනා ශාක ටික විනාශ කළා. මේ රටේ පවුලේ සෞඛ්‍යය රැකබලා ගත්තු අම්මලා ගේ මොළේට උදේ හවස වෙළඳ දැන්වීම් පොම්ප කරන කොට මේ බට-හිර වෛද්‍යවරු නිහඬව හිටිය.  උපදින්න බලාගෙන බඩේ ඉන්න එකාගේ සෞඛ්‍යයටත් කන කොකා අඬන විදියේ කුනුවෙච්ච පරිසරයක් හදන කොට ඒක අපේ නෙවෙයි කියල අහක බලාගෙන හිටිය.

ඊළඟ කතාව ගොඩ වෙදකම බට-හිර උනේ කොහොමද කියන එක. අපේ වෙදකම දෙස බට-හිර ඇසින් බලන්න ගිහින් වෙච්ච වින්නැහියක් ඒක. විශ්වවිද්‍යාල ඇතුලේ දේශීය වෙදකමේ ඇත්ත නැතත් හොයන්න ඒ බේත් බට ඇතුළේ දාගෙන විශ්ලේෂණ කළා. ඒකෙන් සමහරු කියක් හරි හොයා ගත්ත. සමහරු උපාධි ගත්ත. ඒත් තවම අපි අපේ බේත් ටික දීගෙන යනවා. ඒවා හොඳට වැඩ කරනවා. අපි බට-හිර විෂයයන් ඉගෙන ගන්නවා කියල උදන් අනනවා. ඒත් ආයුර්වේද මුලධර්ම වලට පයින් ගහනව. අන්තිමට බට-හිර වෙච්ච් ආයුර්වේද වෛද්‍යවරු බිහි වෙනවා. මේක දැක්කම බොහෝ දෙනා මාත් එක්ක උරණ වෙයි. මට බනියි. මට අභියෝග කරයි. මාව ගලේ ගහල අපුල්ලයි. ඒත් ඇත්ත කතාව අපි වහගෙන ඉන්නේ. දේශීය වෛද්‍යවරුන්ට බටහිර බේත් දෙන්න පුරුදු කළේ 1883 දී ලියපු “වෛද්‍යාභිදානය” කියන පොත ලියපු ධර්මරත්න උන්නැහේ. එයත් බට-හිර වෙච්ච කෙනෙක්. දේශීය වෛද්‍යවරුන් බට-හිර දැනුම් පද්ධතිය තුළ සිර කිරීම ගොඩ වෙදකම අවනතියට කරා යැවීමේ ලා සාර්ථක උපක්‍රමයක් බව එදා සිටම ඔවුන් වටහා ගත් දෙයක්. ආයුර්වේද විෂයමාලාව තුළට බට-හිර විෂයයන් පාලනයකින් තොරව රිංග වීමේ අරමුණ මේ කියන ඉතිහාසය සමඟ බැඳුණු දෙයක්.

බට-හිර වූ අපේම අය නොසිතන නොදකින එක දෙයක් මා අවසන් වශයෙන් ලියමි. ඒ මේ රටේ දේශීය වෛද්‍යක්‍රමය හෝ ආයුර්වේදය යටත්විජිත පාලනයේ නීතිමය ආධිපත්‍යයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමේ පුරෝගාමීන් වූයේ එදා “ගොඩ වෙදුන්” ය. ඒ අරගලෙයේ ඉදිරියෙන් සිටි බොහෝ වෙදුන් ගේ මුල් තිබුණේ අපේ ගොඩ වෙදකමේ පරපුරු වලය. එදා ඒ සටනට පණ දුන්නේ ගමේ ගොඩේ ගුලි කල්ක තෙල් වලින් දස්කම් දැක්වූ ගොඩ වෙදුන් ගේ සමාජ වටිනාකමයි. අපි අද උදන් අනන බොහෝ ජයග්‍රහණ ඔවුන්ගේ කැපවීම් වල ප්‍රතිඵල බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒත් අවසානයේ ආයුර්වේදය බට-හිර වන විට උන් හිටි තැන් නැති වූයේ ඒ ගොඩ වෙදුන්ගේ පරපුරු වලටය. රජයේ ආයුර්වේද රෝහල් පද්ධතිය ව්‍යාප්ත වූයේ උන්ගේ ගොදුරු බිම් මතිනි. උපාධිධාරීන් හට රජයේ පත්වීම් ලැබුණේ උන්ගේ බුලත් අතේ තිබු පඬුරු වල එකතුවෙනි. අන්තිමේදී ගොඩ වෙදුන් ආණ්ඩුවේ පිං පඩි ලබන තත්වයට පත් විය. දැන් සීමාවාසික පුහුණුවේ පාරම්පරික කාර්තුවට සිය දැනුම ප්‍රදානය කරන ගොඩ වෙදුන්ට ගෙවන්නේ මසකට රු. 500 කි. එයත් ලබා ගැනීමට නොයෙක් දුෂ්කරතාය. සීමාවාසිකයා දහසින් බැඳී පියළි ලබද්දී පුහුණව දෙන ගොඩ වෙදාට ලැබෙන සොච්චම නිගරුවකි.  ආයුර්වේද වෛද්‍ය සභාවේ සිටින ප්‍රභූ වෙදුන් මසකට වරක් රැස්වී දොදොල් සමග ඇපල් කා ගාස්තුව සාක්කුවේ දමාගෙන මාරුවෙයි. ලේඛකාධිකාරී පගාව අල්ලස ජරාව දෙස ඇස් ඇර නොබලයි. හොර වෙදුන් බොරු වෙදුන් සභාව ඉදිරියේ මළපහ කරයි. නිලධාරින් උන්ගේ පස්ස හෝදයි. පසුව බලන විට උන් ලියාපදිංචි ලේඛනයේ සිටියි.

දැන් මේ ලියපු ටිකට මාත් එක්ක ඔට්ටු වෙන්න කැස කවන අයට තව එක දෙයක් කිව යුතුයි. අපි ආඩම්බර වෙන බොහෝ දේ අපි දිනාගත් දේවල් නොවෙයි. මෑත ඉතිහාසයේ මේ ක්ෂේත්‍රයේ දිනා ගත්තු ඒකම වෘත්තීය අයිතිවාසිකම ආයුර්වේද සේවා ව්‍යවස්ථාව විතරයි. ඒකත් රජයේ සේවය සම්බන්ධයෙන් මිසක් සියලු වෘත්තිකයන්ට අදාළ ව ලැබුණු හිමිකමක් නෙවෙයි. අපි දැන් නිතරම අරගල කරන්නේ රජයේ රැකියා සඳහා මිසක් ක්ෂේත්‍රයේ දැවෙන ප්‍රශ්න හෝ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නෙවෙයි. රැකියා අරගලය රැකියා ලැබුණට පස්සේ ඉවරයි. විරැකියාව තියෙනකන් ඒ අරගලය තියෙයි. අපේ වෘත්තීය පිළිගැනීම නිසි නෛතික ආකෘතියක් තුළ ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. බටහිර වෛද්‍යවරුන් ගේ මට්ටමට වැටුප වැඩි වුණාට මදි ඒ නෛතික තත්වය නැතුව. පශ්චාත් උපාධි ගන්න හියාම තියෙන ප්‍රශ්න ගැන කවුද කතා කරන්නේ. අපි වසර හයක් BAMS කරලා ආපහු MSc කරන රටක් මේ. කාය චිකිත්සාව ඉගෙන ගෙන ආපහු පංචකර්ම සහතිකේට සල්ලි ගෙවන රටක් මේ. ගම්පහ උපාධිය තවම CCIM එකෙන් පිළිගන්නේ නැහැ. අලුත් විෂය නිර්දේශය වෛද්‍ය සභාවේ අනුමතියට යවල නෑ. ඒව ඉගෙන ගන්න ශිෂ්‍යයින් ගේ වැරදි නෙවෙයි. පරිපාලනයේ වැරදි. ඒ අය හිතුව ගොඩනැගිලි, රසායනාගාර, උපකරණ වලින් සම්පුර්ණ වුණාම හරි කියල. මදේ නැතුව පොත්ත ලස්සනට හැදුව. IIM එකේ අලුත් සිලබස් එකෙත් ප්‍රශ්න. ලස්සන ලොකු ඉංග්‍රීසි වචන වලින් නවීන විෂයක් දෙකක් ඇතුළට දාල ඒකෙන් කරන්නේ ආපහු අයුර්වේදේ අර බටේ හිර කරන එකමයි (බැන්නට කමක් නෑ. කියන්නේ මං දකින දේ).

හොඳට ජවය තියෙන උනන්දුව කැපවීම තියෙන බි.ඒ.එම්.එස්. පෝතකයෝ ගොඩක් අපිට ඉන්නව. ඒ අයව අපේ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට යොදා ගන්න විධිමත් වැඩපිළිවෙලක් රජයට නෑ. තිබුණෙත් නෑ. ඒ සියලු දෙනාම කරන්නෙ තැනින් තැනින් අල්ල ගත්ත ව්‍යාපෘති. එදිනෙදා ප්‍රහ්න වලට විසඳුම් හොයනවා. අපි මැදිහත් වෙන්න අවශ්‍ය වෘත්තිකයෝ හැටියට මේ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. කල් පවතින ජාතික වැඩසටහනක්. අපි වැඩ කරපු හැම ඇමතිවරයෙකුටම මේ ගැන කියල ඇති. ලියල දීල ඇති. විවේචනය කර ඇති. ඔවුන් ඒ සම්බන්ධයෙන් උරණ වූ අවස්ථා පවා තිබේ. වරෙක මා හට අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව  තහනම් කලාප බවට පත් වුණා. සියලු තනතුරු වලින් නෙරපා දැම්මා. ඒත් මම දරන ස්ථාවරය වෙනස් වන්නේ නැහැ. අදටත් කියන්නේ අපි මේ යන ගමන අවදානම්. සියලු අවාසි සහගත සාධක සමඟ අපි රජයේ රැකියාවෙන් සතුටු වෙනවා. වැටුප් වර්ධකයක්, දිමනාවක්, ශිෂ්‍යත්වයක් අහිමි වුණොත් හැර අපේ ලේ රත් වෙන්නේ නැහැ. අපේ වෘත්තීය අයිතිවාසිකම් ගැන නිහඬව සිටිනවා. වෘත්තීය සංගම් දේශපාලනයේ අතකොලු වෙලා. ඔවුන්ට රිදෙන්නේ නායකයින් හට යමක් අහිමිවන විට පමණයි. අපිට දැන් සැබවින්ම අවශ්‍ය වන්නේ “වෘත්තීයමය සංවිධානයක්” (professional organization) මිස වෘත්තීය සමිතියක් නොවේ. නැතිනම් අපිත් ගොඩයාගේ බඩට ගහන ගොඩට වැටෙයි අනාගතේදී. ලියන්නට ගොඩක් දේ හිතේ සිරවී තිබුණත් මිට වඩා මගේ කිර්ති නාමයට හානි කර ගැනීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා. 

5 comments:

  1. ඔබට ප්‍රනාමය පුදන්නෙමි

    ReplyDelete
  2. ඔබ පවසන දේ සත්‍යයක්.අපට අව්ශ්‍ය වෘත්තීය සංවිධානයක්.අපි එය ගොඩ නගමු.!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබ කියන ආකාරයේ සංවිධානයක් ගොඩ නැගීම දුෂ්කර කාර්යයක්. ඒත් බලමු.

      Delete
  3. ඔබ කියන දේ සැබෑවක් DA ගැන ඔබේ කියවීමත් දැම්මානම් සම්පුර්ණයි. ලංකාවේ ජනතාවගෙන් 1000 කට සිටින වෛද්‍යවරුන් ගණන බලන නිර්ණායකයටවත් BAMS වෛද්‍යවරුන්ට පත්වීමට නොහැකිවී ඇති පසුබිමක පාරම්පරික වෛද්‍යවරයා නිහඩකිරිමටනම් කැසකවන මුසිලයන් රොත්තක් නම් සොයාගත හැකිවේ. ඒ අතර හර්ධෂක්ෂියක් ඇති ඔබ වැන්නවුන් අවංක අරමුණින් එක්වුවහොත් අපේ වෙදකමේ රිදිරේකාවක් මතුකරගැනීම උගටහ නොවේ. අපේ සහයෝගය ...

    ReplyDelete