Friday, May 27, 2016

ආයුර්වේදයේ ඔළුවට අත සෝදන “දොස්තර” බලය හෙවත් ගෝත්‍රිකයින් දොස්තර වීම


පසුගිය දා ගංවතුරෙන් අනාථ වුවන් හට සායන පැවැත්වු ජීවක ගුණෝපේත වෙදවරු ආයුර්වේද හෝ බටහිර හෝ වේවා ඔවුන් වෙත ජාතියේ උපහාරය හිමි විය යුතුය. සමහරුන් ස්වේච්ඡාවෙන්ම සිය කාලය ධනය වැය කොට එම සේවාවේ යෙදුණ බව අපි දුටුවෙමු. ඒ අතර බටහිර ආයුර්වේද භේදයෙන් තොරව එකට එකම කඳවුරේ සේවා සපයනු සමහර තැන් වල අමුත්තක් නොවීය. එසේ තිබියදී හදිසියේම එක් වරම දොස් තද වූ දොස්තරලා කට්ටියක් ආයුර්වේද වෛද්‍යවරුන් හා එකට සායන කරන්නට බැරි බව පවසා විරෝධයක් පළ කළ බවක් අසන්නට ලැබිණ. ඒ සමඟම සායන පවත්වන්නට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අවසරය ලබා ගැනීමේ අවශ්‍යතාවක් ගැනද පුවත් පළවන්නට විය. එකම අමාත්‍යාංශයක් යටතේ සිටියදී ඇමතිවරයා දේශීය වෛද්‍ය ක්‍රමය ඔසවා තබන්නට යෝජනා කරද්දී දොස්තරලා සිය බලය පෙන්වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්ද සිය ඒකාධිකාරී ව්‍යාප්තවාදය වෙනුවෙන්ද යන්න ගැටලුවකි. එකම වහලක් යට මෙම වෛද්‍ය ක්‍රම දෙකම සේවා සපයන පද්ධතියක් ස්ථාපිත කිරීම අමාත්‍යවරයාගේ අනාගත ප්‍රතිපත්තිය ලෙස වරින් වර ප්‍රකාශයට පත් ව තිබියදී මේ දොස්තර බලය ලෙලවන්නේ එකී යෝජනා නිෂ්ප්‍රභ කිරීමට බව සැකයක් පවතී. රෝගීන්ගේ අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වන්නේ සෞඛ්‍ය සේවය රෝගී-කේන්ද්‍රීය (patient-centered) වන එකක් මිස වෛද්‍ය-කේන්ද්‍රීය (doctor-centered) වන එකක් නොවන නිසාය. ලෝක සෞඛ්‍ය සංවිධානය 2008 වසරේදී පෙන්වා දුන්නේ සෞඛ්‍ය සේවාව වාණිජකරණයට හසුව ඛණ්ඩනීකරණය (fragmentation) වී ඇති බවය. එනිසා විවිධ අංශ අයාලේ හුදකලාව සම්බන්ධීකරණයකින් තොරව කටයුතු කරන බව පෙනේ.

මහජන සෞඛ්‍ය සේවාවේ පොල්මඃකාර සින්නකර අයිතිකරුවන් බවට පත්ව සිටින දොස්තරලා සත්කාර සේවාව ක්‍රමයෙන් සියලු අංශ වල නෛතික බලය තමන් හට අත්පත් කරගැනීමේ අශික්ෂිත ප්‍රයත්නයට අවතීර්ණ වෙමින් සිටින බව නිසැකය. ආයුර්වේද වෛද්‍යවරුන් අළු ගසා දමා කල එළි බසිද්දී ඔවුන් ගේ වෘත්තීය අනන්‍යතාව නිසා දොස්තරලා ගේ පැවත්මට හානියක් වේ යැයි බියක් ජනිත වීම නිසා මේ ක්‍රියාවලිය ඉක්මන් කර ඇතැයි අනුමාන කළ හැකිය. මේ රටේ මහජන මුදලින් ඉගෙන ගත් සියලු වෘත්තිකයින් ජනතා සේවාවට බැඳී සිටිනවා මෙන්ම ජනතාහිතවාදී සේවාවක් ලබා දීම ද ඔවුන්ගේ පරම වගකීමකි. එසේම ජනතා සුබසිද්ධිය හෝ සමාජ ප්‍රගතිය හෝ මහජන සෞඛ්‍යය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේ යුතුකමක් ද ඔවුන් සතුව පවතී. ඒ සියලු වගකීම්, යුතුකම් හා සමාජ ගෞරවය සියල්ලට පයින් ගසා වෘත්තීය ඒකාධිකාරය (monopoly) වෙනුවෙන් සිය රට උරුමයට කෙළ ගැසීමේ නරුම, අධම, කුහක ගතිය උපාධියකින් වසා ගන්නට නොහැකිය. හිත හොඳ දොස්තරලා අතර නින්දිත, අමන, අශීලාචාර දොස්තරලා ද සිටින බව මෙයින් පෙනේ. වඩා නරකම දෙය මෙබඳු දොස්තරලා ඉහළ තනතුරු වල ද සිටීමයි. අපේ රටේ දොස්තරලා සිතන්නේ තමන්ගේ වගකීම වන්නේ බටහිර වෛද්‍යක්‍රමය ආරක්ෂා කිරීම හා වෘත්තීය හිමිකම් සුරැකීම බවය. එය එසේ නම් ආයුර්වේද වෛද්‍යවරුන් ගේ පරම වගකීම හා ශුද්ධ අයිතිය වන්නේ ආයුර්වේද වෛද්‍යක්‍රමය සුරක්ෂිත කිරීමයි. ඒ වෙනුවෙන් පෙනීසිටීම හා එයට උරදීමේ කාර්යය රාජ්‍යය ද භාරගත යුත්තේ දේශීය වෛද්‍ය ක්‍රමය මේ රටේ උරුමයක් ලෙස තවමත් ජනතාව සිය සංස්කෘතික අනන්‍යතාව තුළ පිළිගන්නා නිසාය.

දොස්තරලා සිතා සිටින්නේ මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඔවුන්ගේ බුදලයක් බවය. එහි සියලු බලතල අණ පනත් වලින් සින්නකර ලියා දුන් බවය. දේශීය වෙදකමට අපහාස උපහාස කරන්නේ ඇනුම්පද විහිළු පද ගොතන්නේ ඔවුන්ගේ විනෝදයට අලගු තබන්නටය. සෞඛ්‍ය පද්ධතිය තුළ අපේ රටේ ජනතාව සුරක්ෂිත යැයි ඔවුන්ගේ සියලු සෞඛ්‍ය අවශ්‍යතා සපිරෙතැයි සිතා උදන් අනන්නේ ගොඩ වෙදුන් අතින් සිදුවූ මෙලෝ හසරක් නැති බව සිතමිනි. සෞඛ්‍ය සේවාවේ රාජ්‍ය අංශය දුර්වල කරමින් පෞද්ගලික මාෆියාව ක්‍රමයෙන් ජනතා මුදල් සුරා ගනිද්දී නිහඬව සිටින දොස්තරලා සිය වෘත්තීය ඒකාධිකාරයට අභියෝග එල්ල වන විට පමණක් හඬ නගයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් විපුල ඵල ලබාගෙන, ජනතාවගේ ආයෝජනයෙන් වෘත්තියකට එහා ගොස් ධන උල්පතක් පාදා ගන්නා, එයින් සමාජ හිනි පෙතේ ඉක්මන් නැග්මකට අවස්ථාව ලබා ගන්නා වෛද්‍යවරුන් කියන සමාජ තීරුවට තමන්ට ඉහළ යන්නට දුන් මේ රටේ ජනතාව ගැන තිබෙන හෘදය සාක්ෂිය කියන කාරණය මෙහිදී ඉතා වැදගත්ය. අද වන විට ඖෂධ සමාගම්වලින් අල්ලස් නො ගන්නා වෛද්‍යවරයෙක් සොයා ගැනීම අතිශය දුෂ්කරයි.  බෙහෙත් තුණ්ඩු ලියන කොළ කෑල්ලේ සිට රට සවාරි හා යාන වාහන දක්වා මේ අල්ලස් පරාසය විහිදේ. වෙළඳ නාමයෙන් බෙහෙත් තුණ්ඩු ලිවීමෙන් පමණක් මාසයකට ලක්ෂ ගණනක් මුදල් උපයා ගන්නා වෛද්‍යවරු මේ රටේ සිටී. එහෙව් සියලු පව් වහගෙන ආයුර්වේදයට ඔරවන ගොරවන ගෝත්‍රික දොස්තරලා කෙරෙහි මෙත් සිත් උපදවන්නට නම් නොහැකිය. නොසැලකිල්ල, නොදැනුම හා වගකිම් රහිත බව නිසා මේ රටේ වසරකට හානියට පත් වන හා අවදානමේ හෙළන රෝගී ජිවිත වල ගැන දොස්තරලා ගේ අනුකම්පාව හිමිවන්නේ නැත. එහෙත් ඉඳ හිට කලාතුරකින් ආයුර්වේද බෙහෙතක් විසවීමෙන් හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු ගේ වරදින් රෝගියෙකු හට ආපදාවක් සිදුවුවහොත් එය මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේම අවමගුලක් සේ හඬා වැටෙන්නට අමතක නොකරයි.

තවමත් මේ රටේ ජනතාව ආයුර්වේද වෛද්‍යවරුන් කෙරෙහිත් ආයුර්වේද ඖෂධ කෙරෙහිත් අනල්ප ගෞරවයක් ඇති බව නොකිව මනාය. රෝගීන් ආයුර්වේද රෝහලකට යන්නේ ඔවුන්ගේ රෝගයට පමණක් නොව සිතට ද යම් සහනයක් පතා ගෙන බව කිව යුතුය. ඊට හේතුව ආයුර්වේද වෛද්‍යවරුන් තුළ මානව ධර්මතා ඉහළ තලයක ඇති බවට සමාජ පිළිගැනීමක් තිබෙන නිසාය. සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධිමානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. මෙය මහජන සෞඛ්‍යය කෙරෙහි බලපාන සමාජ ප්‍රශ්නයක් ලෙස ද අර්ථකථනය කළ හැකිය. සමහරුන් ටයි ඇඳ දොස්තර නලාව කරේ එල්ලාගෙන අලුත් වාහන වල ගිය ද එම යුරෝපීය පෙනුමට යටින් සිටින්නේ අමු නොදියුණු අශිෂ්ට ආසියානු ගෝත්‍රිකයෙකි. ඉංග්‍රීසිය උසුරුවන්නට මෙන්ම බටහිර විෂයන් පිළිබඳ පොතේ දැනුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම හා සංස්කෘතික සාක්ෂරතාව නොමැත​. ඒ නිසා රෝගීන්ගේ ජිවිත පරදුවට තබා වර්ජනයට බසිනවා පමණක් නොව රෝගීන් ගේ අයිතිවාසිකම් ඉදිරියේ අලජ්ජිව මුනිවත රකිති. ඇමරිකාව, කැනඩාව, ඕස්ටෙ‍්‍රලියාව, එංගලන්තය වැනි රටවල වෛද්‍යවරුන් සමඟ ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලා සංසන්දනය කර බලන විට ලංකාවේ දොස්තරලා තවම සිටින්නේ ගෝත්‍රික මට්ටමේ බව තේරුම් ගන්නට අමාරු නොවේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුළ රොගීන් පිළිබඳ ගරුත්වය, රෝගීන්ට මානුෂිකව සැලකීම, රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහළ මට්ටමක තිබෙන බව හෙළිවී තිබේ. ඊට අමතරව අනෙකුත් සමාන්තර සේවාවන්හි අයිතිවාසිකම් හා වරප්‍රසාද කෙරෙහි කුහක හා ද්වේෂ සහගත ප්‍රතිපත්තියකින් ක්‍රියා කිරීමද ඔවුන්ගේ වෘත්තීය විකලතාවයකි.

සුළු ප්‍රමානයක් හැරුන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන වෛද්‍යවරු තුළ වෛද්‍ය - රෝගී සන්නිවේදනය (communication skills),  රෝගීන් පිලිබඳ  වගකීම (responsibility) සහ වෛද්‍ය ආචාර ධර්ම හා ආකල්ප (medical ethics and attitudes) ඉතා පහළ මට්ටමක පවතියි.  එසේම සමස්තයක් ලෙස ලංකාවේ වෛද්‍ය පීඨ වල ගුණාත්මක භාවය පිරිහී ඇත​. වෛද්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය හා ඒවාට අනුගත වීමේ ශික්ෂණය ඉතා අවමය. අධ්‍යාපනික ගුණාත්මකභාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. සියලු දෙනා පාහේ රෝගීන් සුරා කෑමේ ව්‍යාපාරයට අඩු වැඩි වශයෙන් දායක වේ. සමහරු රජයේ සේවාවේ යෙදෙමින් මහජන මුදල් ගසා කෑමෙන් මඩි තර කර ගැනීමේ ක්‍රියාවලියට සාර්ථක ලෙස සම්බන්ධ වේ. මේ ගසාකෑම කරන්නේ අඩුවෙන් හා නොසැලකිල්ලෙන් මහජන සේවයෙහි යෙදෙමින් මහජන මුදලින් උපරිමයෙන් වැටුප් හා වරප්‍රසාද භුක්තිවිඳිමින් නිදහසේ පෞද්ගලික ව්‍යාපාරවල යෙදෙමිනි. වෛද්‍ය විශේෂඥ සේවාවන් දිනෙන් දින වැඩිවන්නේ රෝගීන්ගේ මුදල් පසුම්බියට විදින්නට යොදා ගත් උපක්‍රමයක් ලෙසය. එක් එක් ඉන්ද්‍රිය පද්ධතියට එක් දොස්තර බැගින් වූ විශේෂඥතාව එක් එක් ඉන්ද්‍රියට වෙන් වෙන් ලෙස බෙදා ගත්තේ එනිසාය. දැන් ඒ ඒ රෝගය සඳහා විශේෂඥයින් සිටී. වෛද්‍යවරුන් හට ප්‍රචාරය තහනම් වුවත් දොස්තරලා මාධ්‍යය බදු අරන් තරඟෙට සිය හපන්කම් පුරසාරම්, විස්කම්, දස්කම් පුරාජේරු කියවති. රෝගීන් ඔවුන් වෙත කැඳවා ගැනීමට මාධ්‍යය හරහා ප්‍රචාරය කරති. රෝගීන්ගේ තීරණ ගැනීමේ අයිතිය හා ක්‍රියාවලියට බලපෑම් කරති. මේ සියල්ල දොස්තර බලය ව්‍යාප්ත කිරීමේ අධිපතිවාදී ගෝත්‍රික ප්‍රයත්නයේ උපායයන් වේ. රෝගී වෙළඳ පොළ ආයුර්වේදය වෙතින් උදුරා ගැනීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් පොදු මහා ජනයා එයින් ඉවත් කොට තැබීමේ යම් වැඩපිළිවෙලක් අවශ්‍යය. මේ සායන වලින් ආයුර්වේදය පිට මං කරන්නේ ද එහි එක් පියවරක් ලෙසය.

ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලාගේ ගුණාත්මකභාවයේ පිරිහීම සඳහා වෛද්‍ය පීඨ වල උගන්වන ආචාර්යවරු මෙන්ම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ගේ විනය සහ හැසිරීමේ පිරිහීම බලපෑ බව විද්වතුන් පෙන්වා දෙයි. වර්තමානයේ අලූතෙන් වෛද්‍ය සේවයට එකතුවන තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් දුෂ්කර ජීවිතයක් ගත කළ ගම්බද තරුණ තරුණියන් ලෙස සැලකිය හැකිය. ඔවුන් වැඩි පිරිසක් වෛද්‍ය සේවයට එකතුවීම යහපත් වුවත් ඔවුන් පැමිණි දුෂ්කර පරිසරය නිසා සිය වෘත්තියෙන් මුදල් උපයාගැනීමට වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. එවැනි බොහොමයක් අය පළමුවෙන් පොඩි මෝටර් රථයකින් වෘත්තීය ගමන ආරම්භ කළත් ඔවුන්ගේ ඊළඟ ඉලක්කය සුඛෝපභෝගී ලොකු මෝටර් රථයකි. ඉන්පසු ලොකු දෑවැද්දක් සමග විවාහයක් වගේම මාලිගාවක් වැනි ලොකු නිවසක් තනා ගැනීමය. මේ සියලු ආර්ථික අවශ්‍යතා සඳහා ඔවුන් ඉලක්ක කර ගන්නේ අසරණ රෝගීන් ගේ මුදල් පසුම්බියයි. එහිලා සදාචාර සම්මතයන් නැත. වෙනසකට ඇත්තේ රෝගීන් කැමත්තෙන් මුදල් ගෙවීමයි. එම කැමැත්ත කෘත්‍රිමව ඇති කළ අවශ්‍යතාව මත සිදු වන්නක් බව සමාජ විද්‍යාව අනුව නිගමනය කළ හැකිය. වෛද්‍යවරුන් දිනෙන් දින වර්ධනය වන සුවිශේෂ වෘත්තීයමය තත්වයක් අත්පත් කරගන්නේ තනිකරම රෝගීන් ඇපයට තබා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමෙන් නොවේ. මෙහි වෙනත් කිසිදු වෘත්තියක දක්නට නොලැබෙන සුවිශේෂි දෙෂ්පාලනික සාධකයක් තිබේ. දොස්තරකම ලංකාවේ මිනිසුන්ගේ ජීවන පරමාදර්ශයක් වී තිබේ. එයට මුලික පදනම වැටුණේ අතීතයේ දේශීය වෛද්‍යවරයා කෙරෙහි සමාජයේ ගොඩනැගී තිබු පිළිගැනීම සහ ගෞරවයයි. අද එම සමාජ බලය දොස්තරකම විසින් අත් පත් කර ගෙන තිබේ. ඇත්තෙන්ම දොස්තරලා අද පාවිච්චි කරන්නේ දේශීය වෛද්‍යවරුන් සතුව තිබු නිස්සරණාධ්‍යාශ සමාජ බලයයි. එහෙත් ඊට එදා තිබු මානව ගුණ ධර්ම වල පෝෂණය නොමැත. එනිසා මානව ධර්මතා ප්‍රමුඛ වෛද්‍ය වෘත්තිකයින් බිහි කිරිම සඳහා ඉතා ඉක්මනින් මෙකී අධ්‍යාපන ක්‍රමය හා වෘත්තීය පුහුණු ක්‍රියාවලිය වෙනස් විය යුතු බව පෙනේ.

දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු සිය දරුවන්‍ හෝ දරුවන්ගේ දරුවන් දොස්තරලා කරන්නට සිහින දකින නිසා කිසිවෙක් වෛද්‍ය වෘත්තිය දෙස විවේචනාත්මක වීමට අකැමැති වෙති.  රජයෙන් ආන්තික ඉල්ලීම් ඉදිරිපත් කළත්, දොස්තරලා ගැන කතා කරන්න හෝ දොස්තරලා ගේ ඉල්ලීම් කේවල් කරන්නට ඔවුන් සූදානම් නැහැ. මෙතැන තිබෙන්නේ සංස්කෘතික ප්‍රශ්නයක්. අපි හැමෝම ඉන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරපු දොස්තර හීනෙක. ඒ පර සුද්දන්ගේ ආකල්ප වලින් නිදහස් වෙන්න අපට බැරි වුණා විතරක් නෙවෙයි ඒ හීනය අපේ දරුවන්ගෙන්, බැරි නම් මුණුබුරන්ගෙන් හෝ සැබෑ කර ගන්න අපි හදන්නේ. ඒ වගේ සමාජයක දොස්තර මාෆියාවට එරෙහිව කතා කරන අය ගැන කවුරුත් හිතන්නේ ඉරිසියාකාරයන් ලෙසයි. ඒත් ඇත්ත කතාව නම් රෝගීන් සූරා කන මේ ඖෂධ ජාවාරමට මූලිකව ම වග කියන්න ඕනැ මේ දොස්තර මාෆියාව කියන එකයි. හන්දියේ දොස්තරගේ පොල්කඩයේ සිට පෞද්ගලික මහා රෝහල් දක්වා මේ පුද්ගලික වෛද්‍ය සේවය විහිදෙයි. මේ එක් එක් තැන්වලදී රෝගියා ගසා කෑම සිදු කරනු ලබයි. ෆාමසියේ බෙහෙත් තුණ්ඩුව, ලේ, මුත්‍රා පරීක්ෂණ ආදී දහසකුත් එකක් මගඩි හරහා දොස්තර මාෆියාව සිය අඬු පඬු විහිදුවා සිටියි. රජයේ රෝහලකින් නොමිළයේ දෙන බෙහෙත් ගැනීමට හැකි වීම භාග්‍යයක් වුවත් රජයේ රෝහල් වලට කරන ගමන, බොහෝ දෙනෙකුගේ සිතේ අප්‍රියජනක හැඟීම් ඇති කරවන අත් දැකීමකි. අධික පෝලිම්, අපිරිසිඳුකම හා ඖෂධ හිඟය මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. රෝහල් වල දොස්තරවරු, හෙදියන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩලය රෝගීන්ට සලකන අන්දම නම් ජුගුප්සා ජනක බව නොකිව මනාය.  එහෙත් ආයුර්වේද රෝහලක් තුළ ඇති පරිසරය මිට වඩා හාත්පසින් වෙනස් වූ  සහනශීලි මෙන්ම ආර්ථික වශයෙන් අඩු අවදානමක් සහිත වුවකි. ආයුර්වේද වෛද්‍යවරුන් හට ගමේ ගොඩේ අසරණ රෝගී ජනතාවගේ ජිවන තත්වය හා සංස්කෘතික වටපිටාව ගැන මනා අවබෝධයක් තිබේ.


දොස්තරලා වැඩි දෙනෙක් බිහි වන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටාධාරයෙනි. ඔවුන් සිසුන් ලෙස අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදා හඬ නගන්නේ නැත. එහෙත් දේශීය වෛද්‍ය සිසුන් ඊට වඩා බොහෝ ප්‍රජාතන්ත්‍රවාදීය. ඔවුන් අනෙක් සිසුන් වෙනුවෙන් සිය ජීවිතය, අධ්‍යාපනය, ශිෂ්‍යභාවය, විභාගය කැප කළ අවස්ථා එමටය. දොස්තර වූ පසු ඔවුන් වැඩි දෙනෙකුට රැකියාවට පිවිස ඉතා කෙටි කාලයක් තුළ විශාල ධනයක් උපයා ගැනීමේ අවශ්‍යතාව තිබේ. ඊට හේතුව දොස්තරකම සමාජය තුළ වැජඹෙන ස්තරයට ඔසවා තබන්නට ඒ වත් පොහොසත්කම අවශ්‍යය. ඔවුන්ගේ වැටුප් මෙම අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් නැත.  එබැවින් වෛද්‍යවරු විශාල වශයෙන් පෞද්ගලික සේවයේ යෙදී සිටිති. මෙම පෞද්ගලික සේවා අතර තියුණු තරගයක් ද තිබේ. භෞතික දියුණුව අත්පත් කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට තිබෙන අධිකතර උන්නතිකාමය ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රධාන ලක්ෂණය ලෙස දැක්විය හැකි ය. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තරම් අධ්‍යාපනික කුහකත්වයක් සහිත අංශයක් ලොව තවත් තිබේ ද යන්න සැක සහිත ය.  සෞඛ්‍යය වෛද්‍යවරුන් වෙතින් මිලදී ගත් යුතු රෝහල් මුලික අවශ්‍යතාවක් හා මිල අධික පාරිභෝගික භාණ්ඩයක් (commodity) බවට පත් කරන්නේ වෛද්‍යවරුන් ගේ වෘත්තීය කුහකත්වය මගිනි.  ඔවුන්ට වැදගත් දෙය වන්නේ තමන් ‍ඉගෙන ගන්නා දෙය නො ව අනුන් ඉගෙන ගන්නා දෙයයි. මෙහි සිටින වෘත්තිකයෝ තමන් දන්නා දෙයක් වෙනත් අය ඉගෙන ගනීවි යයි දැඩි බියකින් පෙළෙති. දැනුම බලය ලෙස භාවිතා කරන ශිල්පාධිපත්‍යය (technocracy) හා වෛද්‍ය වෘත්තීය ඒකාධිකාරය හරහා වෙළෙඳ පොළ පාලනය කිරීමේ දේශපාලනික අවශ්‍යතාව ද මෙහි තිබේ. මෙවැනි වෘත්තීය කුහකත්වයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වීමට හා වෙනත් වෘත්තීය ශ්‍රේණි සංවර්ධනය වෙනවාට හේතුව වන්නේ වෘත්තීය ධුරාවලි පිළිබඳ ගැටලුවකි. වෙනත් වෘත්තීය ශ්‍රේණියක් ධුරාවලිය තුළ ඉහළ යනු ඇතැයි බිය නිසා වෘත්තීය ශ්‍රේණි අතර විෂමතා පුළුල් කර ගැනීමට තිබෙන කැමැත්ත මෙන්ම තමන්ගේ වෘත්තීය ශ්‍රේණිය ඉහළ නංවා ගන්නා ගමන් සෙසු වෘත්තීය ශ්‍රේණි තව තවත් පහළට ඇද දැමීමේ කුහක උවමනාවක් ද මෙහි තිබේ. ඔවුන් ආයුර්වේද ක්ෂේත්‍රය වෙත එල්ල කරන්නේ ද මේ සුපුරුදු ගෝත්‍රික ප්‍රහාරයයි. එය තමන්ගේ ගොදුරු බිම් කරා වෙනත් වෘත්තිකයින් ප්‍රවේශ වීම වැළැක්වීමට මග රැක සැඟව සිට පහර දී පළා යන වෘත්තීය ත්‍රස්තවාදයයි. 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

1 comment:

  1. හොද ලිපියක් නමුත් ආයුර්වේද රෝහල්වල සිටින වෛද්‍යවරයාගේ දැනුම සපුරාලීමට තම පාරම්පරික දැනුම හා මෙවලම් දන්දුන් වර්තමානයේත් දන්දෙමින් සිටින පාරම්පරික වෙදදුරන් හා ඔවුන්ගේ දු දරුවන් තවමත් ස්වාධීනනව ගම්බදව සිදුකරන සේවය තක්සේරු කිරීම හිතාමතාම පැහැරහැර කරඇති බවක් හැගේ. තවමත් දේශීය වෙදකමින් රෝගීන් බහුතරයක් සුවකරන්නේ රාජ්‍ය අංශයේ දොරගුළු වැසුණු පුද්ගලික අංශයේ ආයුර්වේද හා සිංහල වෙදමහතුන් බව රටේ බහුතර ජනතාව පිළිගන්නා කරුණකි.

    ReplyDelete