Friday, July 1, 2016

මරහ ලෙඩාට මේකප් දැමීම හෙවත් තනි කකුලෙන් රේස් දුවන ආයුර්වේදය


මේ ලිපියේ මාතෘකාවේ කොටස් දෙක නොගැලපෙනව වගේ පෙනුනට කියෙව්වට පස්සේ තේරෙයි ඒ දෙක අපූරු සංයෝගයක් කියල. මරහ ලෙඩා කියන්නේ අද හෙට මියැදෙන පණ අදිමින් ඉන්න ලෙඩා. ඉතින් ඒ ලෙඩා බලන්න කට්ටිය එනකොට ලෙඩා ගේ අයිතිකාරයෝ කරන්නේ ලෙඩාට හොඳට මේකප් දාල සරසල අන්දලා තියනව. ලෙඩා දන්නෙත් නැහැ බලන්න එන අය දන්නෙත් නැහැ ලෙඩා අද හෙට මැරෙනවා කියල. ඒත් ලෙඩාගේ අයිතිකාරයෝ දන්නවා ලෙඩා වැඩි කල් ඉන්නේ නැහැ කියලා. ඒ මදිවට ලෙඩා බලන්න එන අය ලෙඩාට ගේන හොඳ ගුණවත් කෑම බිම ටික ලෙඩාට කන්න හොඳ නැහැ කියල අයිතිකාරයෝ බෙදා ගන්නවා. අන්තිමට ලෙඩා කලින් මැරෙන්නෙ ලෙඩෙන් නෙවෙයි කන්න බොන්න නැතිව. මම දකින්නේ අද මේ රටේ ආයුර්වේද ක්ෂේත්‍රයත් ඒ කියපු මේකප් දාපු මරහ ලෙඩා වගේ. මේක බාරගන්න ඔක්කොම මේකප් දාල ලෝකෙට පෙන්නනවා විතරයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වේ ඒ වගේ කතාවක්.

එතකොට මොකක්ද මේ තනි කකුලෙන් රේස් දුවන කතාව? ඒක බොහොම සරලයි. සුගමයි. ඒත් කටුකයි. අමිහිරියි. ඒ කියන්නේ වෛද්‍යාදී චතුෂ්පාදයෙන් හරියට වැඩ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එක පාදයයි. (එතන පාද කිව්වේ හතරෙන් කොටස කියන එක. ඒත් මගේ වැඩේට මං ඒකෙ සාහිත්‍යමය අර්ථය යොදා ගන්නවා) ඒ කියන්නේ ඉතුරු එක කකුලයි. ඒ නිසා දැන් ආයුර්වේදෙට රේස් එක දුවන්න වෙන්නේ තනි කකුලෙන්. ඒ අන්තිමට ඉතුරු වෙච්ච වෛද්‍ය පාදය විතරයි. මේ විදියට ගියොත් අපි මේ රේස් එකෙන් පරදින්න තියෙන චාන්ස් එක වැඩියි. අපි අමතක කරන්න හොඳ නැහැ මේ රේස් එකේ ප්‍රතිවාදියා කකුල් හතරම හොඳට ශක්තිමත් ඒ මදිවට හොඳ ජොකියෙකුත් එක්ක දුවන්නේ. ඒ රේස් අපි නොන්ඩි පැන පැන යන්නේ. මං මේ ටික කියන කොටම අපේ සමහරු මට පොලු මුගුරු අමෝරයි. ඒත් කරන්න දෙයක් නැහැ මං මේ ටික කිව යුතුමයි. අපි අද මේ දුවන්නේ පරදින රේස් එකේ අන්තිම වට කිහිපය. මේ හෝරාව තීරණාත්මකයි. අපි මේ තත්වය වෙනස් නොකොළොත් අපි පරදිනවා සිකුරුයි. ඒත් මං කියන්නේ නැහැ ලෙහෙසියෙන් පරාජය බාරගන්න කියල. මොකද පිටිය අපේ. නරඹන්නෝ අපේ. ඇයි අපිට බැරි දිනන්න. ඉස්සෙල්ල බලමු මෙහෙම උනේ ඇයි කියල.

අපේ වෙදකමට ඕන කරන මුලිකම සාධකය ඖෂධ. අපේ වෙදකමේ සාර්ථකත්වය රැඳී පවතින්නේ ඖෂධ වල සාඵල්‍යතාව මත බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම නම් අපි අද පාවිච්චි කරන බෙහෙත් ගැන අපිට එහෙම නොසැලෙන විශ්වාසයක් තියෙනවද? ඒවායේ ප්‍රමිතිය, ඒවායේ ගුණාත්මකබව, ඒ වගේම නිසැක ප්‍රතිඵල ගැන අපිට සහතික විය හැකිද? අපි අද ඖෂධ නිපදවන සමාගම් හා ඒ අයගේ සහතිකය මත රැඳී සිටිනවා විනා පොදුවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ගැටලු ගැන හා එය මුහුණ දී ඇති අර්බුදය ගැන දැනුවත් ද? එම අර්බුදය අපේ වෙදකමට බලපාන බව දන්නවාද? එනිසා ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ අර්බුදයෙන් වෙදකමේ අනාගතය වෙන් කරන්නට බැරි බව අපි ඉතා සාවධානව පිළිගත යුතුයි. අපි බටහිර වෛද්‍යවරුන් මෙන් හුදු “බෙහෙත් ලියන්නෝ” (prescribers) පමණක් නොවීය යුත්තේ අපේ සම්ප්‍රදාය තුළ ඖෂධ හා වෛද්‍ය කර්මයේ හරය අතර වන අවියෝජනීය සම්බන්ධතාව තරමක් වෙනස් නිසාය. අපි ලෙඩේ මුල හොයන්නෝ මෙන්ම බෙහෙතේ මුල ද සෙවිය යුත්තෝ වෙමු. 

අපේ ඖෂධ සඳහා අමුද්‍රව්‍ය හිඟයක් ඇති බව කතා කරන්නේ අපි දන්නා අතීතයේ පටන්ය. ඒත් වඳුරන් ගේ ගෙවල් හැදිල්ල මෙන් කවදාවත් නිශ්චිත විසඳුම් දුන්නේ නැත. අමුද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්වයි. අඩු වැඩි වශයෙන් වෙනත් රටවලින් ද ගෙන්වයි. එහෙත් ඒවා මෙරටට ළඟා වන විට ඒවායේ තත්වය සහතික කරන්නට කිසිදු ආයතනයක් නැත. ඒවා ගබඩා කරන තත්ව සහ ගබෝස් ලේන් වෙළඳ පොළ නියාමනය කරන්නට කිසිවෙකුත් නැත. ඉතින් අපි බෙහෙත් වලට දමන අමුද්‍රව්‍ය කෙබඳු ඒවා දැයි නිසැකව දැනගන්නට ක්‍රමයක් නැතිවීමේ අවදානම ගනිමින් සිටිමු. එසේම අපේ දේශීය වනාන්තර වලින් සූරා ගන්නා අමුද්‍රව්‍ය සිඝ්‍රයෙන් හිඟ වෙමින් තිබේ. ඒ මදිවාට සමහර අමුද්‍රව්‍ය වැරදි ලෙස වෙළඳ පොළට එන බවත් සමහර ඒවා නිසැකවම ප්‍රතිනිධි නොව ආදේශක ද්‍රව්‍ය බවත් බොහෝ දෙනා නොදන්නා කරුණකි. එසේම සමහර අමුද්‍රව්‍ය විවිධ රසායනික සංඝටක වලින් දුෂිතය. ඒවා පරික්ෂා කරන්නට කිසිවෙකුත් නැත. එහෙත් අපේ ඇත්තෝ ඒවා සැකයෙන් තොරවම බෙහෙත් වලට දමා ලේබල ගසා වෙළඳ පොළට එවති.  අපිත් ඒවා සැකයෙන් තොරවම රෝගීන් හට ලබා දෙන්නෙමු නැතිනම් නිර්දේශ කරන්නෙමු.

ඊළඟට බලමු උපස්ථායක පාදය. මේක අපි පුළුල් ලෙස ගත්තොත් අද එයින් කියවෙන්නෙ සහායක පරිවාර සේවාවන්. අපේ හෙද සේවය දුවන්නේ බාගෙට පණ ගිහින් ය. අපේ ආයතන වලම පුහුණුව ලත් අය ටික දෙනෙකි. බටහිර රෝහල් වලින් විශ්‍රාම ගිය අය වැඩි දෙනෙකි. සමහරුන්ට පඩි නැගගන්නට වත්  බැරි තරමේ වයසය. දුර්වලය. සම්බාහකයෝ චිකිත්සකයෝ වෙලාය. වාට්ටු වල නැවතී සිටින රෝගින් හට තෙල් සාත්තුව දෙන්නේ පොලිසියෙන් ගහනවා වගේය. ඖෂධ සංයෝජකයින් ලෙස ඉන්නේ සනීපාරක්ෂක කම්කරුවන්ය. බෙහෙත් රෝගීන්ට නිකුත් කරන්නේ බල්ලන්ට ලෙලි පොල් මෙන්ය. ෆාමසියේ භෛෂජ්ජකයින් වෙනුවට වැඩකරන්නේ කම්කරුවන්ය. අනෙක් සේවාවන් ගැන අපේ කිසිදු සැලැස්මක් නැත. එපමණක් නොව අපේ සේවාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් ලබාදෙන්නට මෙකී සහායක සේවා කෙතරම් වැදගත් ද යන්න මේ ක්ෂේත්‍රයේ කිසිදු තක්සේරුවක් නැති බව පෙනේ. වැඩිමනත් අපේ ශික්ෂණ රෝහල් වලද තත්වය කණගාටුදායකය. යක්කල ශික්ෂණ රෝහල බලු වටින්නේ නැත. එය නමට ශික්ෂණ වුණත් වෛද්‍යවරුන් කොමිස් දෙස බලාගෙන ඉස්සරහ සමාගම් වල ඇති බේත් පමණක් ගෝනි ගණන් රෝගීන්ට ලියා දෙති. එබඳු රෝහලකින් අපේ සිසුන් ලබන ශික්ෂණය කුමක්දැයි මට නම් නොවැටහේ.  

ඊළඟට අපි බලමු රෝගී පාදය. සමහර සායන කිහිපයක් හැරුණු විට අපේ රෝහල් වලට බෙහෙත් ගන්නට එන වැඩි පිරිස වයසක උදවිය බව නොරහසකි. එයින් අදහස් වන්නේ ආයුර්වේදය ඔවුන් විෂයෙහි සාර්ථක බවයි. ඊට අනුරූපව වාර්ධක්‍ය වෛද්‍ය (geriatric) සේවා හා ඒ හා බැඳුණු ප්‍රතිකර්ම පුළුල් කිරීමට තරම් ශාස්ත්‍රීය ප්‍රවේශයක් අපේ ආයතන තුළ නොවීම ඉතා කණගාටුදායකය. අපි තෙල් බේත් ගාල අත ගාන එක ටිකක් විධිමත් කරන්න පුනුරුත්ථාපන වෛද්‍ය විද්‍යාව (rehabilitation medicine) විෂය නිර්දේශයට ඇතුල් කරන්න ඒක physical medicine කියන අලුත් නමෙන් යෝජනා කළාම ඇයි mental medicine වැදගත් නැද්ද කියල අහන මැන්ටල් ආචාර්යවරු ඉන්න රටක් මේ. analytical chemistry උගන්වල වෛද්‍යවරු බිහිකරන්න පුළුවන් කියලා හිතන පසුගාමී ආචාර්යවරු ඉන්න රටක් මේ. එසේම අනෙක් ගැටලුව වන්නේ අපි අපේ සේවාවන් විවිධාංගිකරණය කිරීමේ ලා ආයුර්වේද සංකල්ප හා ආයුර්වේදීය අනන්‍යතාව භාවිත නොකිරීමේ අවාසනාවයි. ආයුර්වේද වෛද්‍ය සේවාව වඩාත් රෝගී-කේන්ද්‍රීය සේවාවක් බවට පරිවර්තනය වන්නේ රෝගීන්ගේ අවශ්‍යතා ඉටුවන්නේ නම් පමණක් බව පිළිගත යුතු සිද්ධාන්තයකි. එහෙත් අද රෝගීන් ගේ සමාජ ආකල්ප සමඟ සමපාත වන්නට ආයුර්වේදීය සෞඛ්‍ය සේවා අසමත් වී ඇත්තේ එහි වරද නිසාම නොව රෝගීන්ගේ ආකල්ප සම්පුර්ණයෙන් ම පාහේ බටහිර වෛද්‍ය ක්‍රමයේ දේශපාලනික බලපෑමට යටත්ව ඇති නිසාය. එනිසා රෝගීන් ගේ අවධානය අප වෙතින් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව පිළිගත යුතු සත්‍යයකි. මං හිතන්නේ අපි මේ බලා සිටින්නේ ගෙඩිය පිටින්ම අපේ ඔඩොක්කුවට වැටෙන තෙක් විය යුතුය. එය නම් සිහිනයකි.

රට පුරාම බෙහෙත් කරලා ලෙඩේ හොඳ නොවුණාම ආයුර්වේදේට එන ක්‍රමේට වඩා රෝගියාගේ පළමු තේරීම ආයුර්වේදය වෙන විදියට අපේ ක්ෂේත්‍රය හැදෙන්න ඕනේ. අපේ බේත් කළු පාටයි, ගඳයි, තිත්තයි කියන පරගැති ආකල්පය සමාජයෙන් බැහැර කරන්න ඕනේ. ඒකට අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පෙරමුණ ගන්න ඕනේ. ඒත් මේකට හොඳ ජාතික සැලැස්මක්, විධිමත් වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ අනාගතවාදී නායකත්වයක් යටතේ. ප්‍රතිපත්ති සම්පාදකයින් ගේ භාණ්ඩාගාරේ නිලධාරින් ගේ මොළ සෝදන්න ඕනේ දේශීය වෛද්‍ය ක්‍රම වල ආර්ථික වටිනාකම තේරුම් ගන්න. නැත්තං ආයුර්වේදය පිරිහෙන්න හේතු ඇහුවම කියයි හැමදාම ඔය නාවින්නේ, බොරැල්ලේ, ගම්පහ බස් කොන්දොස්තරලා “ආයුර්වේදේ බහිනවා” කියල උදේ හවස කියන හින්ද තමයි ආයුර්වේදේ බහින්නේ කියලා. ඇයි ආයුර්වේදේ නගිනවා කියල කියන්නෙම නැහැනේ. “සැරදේ සැරදේ ආයුර්වේදේ” කියල අපි උදේ හවස කිව්වත් මේක සැරදෙන්නේ නැහැ ඒකට අවශ්‍ය වැඩ පිළිවෙලක් නැතුව. අපි ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලා සටන් කළ ඉතිහාසයක් තියෙනවද දහ නමවැනි සියවසේ අග භාගයේ හා පසුගිය සියවසේ මුල් යුගයේ හැරුණු විට. ඒ කියන්නේ අපි අවුරුදු සියයකින් නැගිටලා නැහැ. ඒක නිසා අපි මේ විවෘත ආර්ථිකයේ රශ්මියෙන් ගිනි කණ වැටිලා, ගෝලීයකරණයෙන් මත් වෙලා, නවීන විද්‍යාවේ තේජසෙන් තැති ගැන්විලා, බටහිර වෛද්‍ය  ක්‍රමයට බයෙන් මුළු ගැන්නිලා හිටපු කාලේ ඉවර කරන්න ඕනේ. මේ එහෙම නැතිවුණොත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩි කල් නොගොස් තනි අශ්වයාගේ රේස් එකක් බවට පත් වෙනවා. ලෙඩ්ඩු නැතුව, බේත් නැතුව, සහායක සේවා නැතිව වෛද්‍යවරයා මොනව කරන්නද?

දැන් ඉතිරිව ඇත්තේ එක පාදයක් පමණි. ඒ වෛද්‍යවරුන්ය. දැන් අපි තනි කකුලෙන් රේස් එක දුවන්නේ මේ අයගේ හයියෙනි. ඔවුන් ඉතා අමාරුවෙන් ඉගෙන ගනියි. රැකියා විරහිතව දුක් විඳියි. ස්පා වල සේවය කරනවා යැයි නින්දා අපහාස විඳියි. පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදෙන්නට තරම් වෘත්තීය පෞරුෂයක් ඇති අයට අතදෙන්නේ ද නැත. රැකියාව සඳහා උද්ඝෝෂණ කරන්නට සිදු වෙයි. අවසානයේ රජයේ රැකියා ලබා තනි කකුලේ රේස් එක දුවන්නට උර දෙයි. රැකියාවේ නිසි පිළිගැනීමක් හෝ උසස් වීමක් හෝ වැටුප් වර්ධකයක් ලබා ගන්නට නොයෙක් අයුරින් නිලධාරින්ට දර දිය අදියි. මෙලෝ රහක් නැති වෘත්තීය සමිති නායකයින්ගේ තනතුරු රැකදීමට අව්වේ වේලෙයි. ඒවාට නොසලකන නොනැමෙන වෛද්‍යවරුන් ගැරහුමට ලක්වෙයි. සමහරුන් කැප වී සේවය කර බැනුම් අසා අවසානයේ විශ්‍රාම යයි. ආයුර්වේදය විශ්වාස කරමින් සියලු අවම පහසුකම් මැද රෝගීන් සුවපත් කරන දක්ෂයින් අප අතර එමටය. ඒ අතර ඉතා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවත් වෙදකමේ යෙදෙන වෛද්‍යවරුන් ඈත ගම් දනවු වල සිටිති. රජයේ ආයුර්වේද රෝහල් වලින් ඒ අයගේ පාත්තරේට ද හෙනහුරු අත දමයි. ඒ සියලු කරදර මැද ඔවුන් ගෙන් සුවපත් වන රෝගීන් එමටය. එහෙත් ඔවුන් මේ රටේ වෛද්‍යවරුන් ලෙස පිළිගැනීමට තරම් නීතිය සාධාරණ වන්නේ නැත. ඒ සඳහා වෛද්‍ය සභාවේ වැඩ ඉන්නා උත්තමයින් සටන් කරන්නේ ද නැත. අපි සටන් කළ යුත්තේ අපට බාහිරින් එල්ල වන අභියෝග වලට එරෙහිව පමණක් නොවේ. අපේ ක්ෂේත්‍රය තුළම තිබෙන බොහෝ දුර්වලතා මග හරවා ගැනීම සඳහා අපිට යම් ආකාරයක ආක්‍රමණශීලි එහෙත් බුද්ධිගෝචර වැඩ පිළිවෙලක් තිබිය යුතුමයි. මං හිතන්නේ අපි බොහෝ දෙනා හැට ස්වයං විවේචනය ඉවසන්නට තරම් විවේක බුද්ධියක් නොමැති වීමෙන් මේ කරුණු දෙස ද්වේෂසහගත එළඹුමක් තිබෙන්නට පුලුවන්. එහෙත් මා හට අවශ්‍ය වන්නේ මේ කරුණු වඩාත් යුක්තිසහගත සංවාදයකට බඳුන් කළ හැකි ප්‍රති-මතවාදයන්ය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

3 comments:

  1. ඇත්ත. පුද්ගලික වෛද්‍ය මාධ්‍යස්තාන තම කනකර උගස්කර පවත්වාගෙන යමින්, පැරසිටමෝල් පෙත්තක්වත් රෝගීන්ට නිර්දේශ නොකර තමුනුත් තම පවුලේ සාමාජිකයනුත් ආයුර්වේද වෙදකම ම පිහිටකර වෙසෙන වෙදමහතුන් නම් හුදකලා සත්ව කොට්ටාශයකුත් මේ රටේම වෙසෙන බවත් සටහන් කරතබුවානම් ඔබතුමාගේ රචනාව සම්පුර්ණවනු ඇතිබව මාගේ මතයයි.

    ReplyDelete
    Replies

    1. අද ආයුර්වේද වෛද්‍ය වරයාගේ පරමාදර්ශය වෙලා තියෙන්නේ රෙඩ්මෙට් බටහිර දොස්තර . වෙදමහත්තයා කීවාම රෝගීන්ට බනින Ay Dr ලා බිහිවෙලා ඉතින් කොහොමද හණමිටිය හොද කරන්නේ. නමුත් තාම පරණ මිනිස්සුන්ගේ පරමාදර්ශී චරිතය ගමේ වෙද මහත්තයා බුලත් හුරුල්ල අරගෙන අපවෙත එන රෝගීන් තවම ඉන්නවා. බටහිර හීනය බොදවුවන්ගේ අම්බලමක් බවට ආයුර්වේදය පත්වූ තැන ඉදලා තමයි මේකට කණකොකා හඩලා තියෙන්නේ ඔවුන් කරන්නේ තමන්ගේ පැලැන්තිය රකින එක මිසක් පවතී ක්‍රමය රෝගීන් පරම්පරා රකින එක නොවේ. අකමැත්තෙන් උනත් ගොඩක් අයට මේක පිළිගන්න වෙයි. චතුස්පාදයේ වැදගත්ම පාදය වූ වෛද්‍ය පාදය වෙදකම ගැන සැබෑ හැගීමෙන් වැඩකලොත් පමණයි ඉතිරි පාද ශක්තිමත් වෙන්නේ මෙහි අත්තිවාරම වූ පාරම්පරික වෛද්‍ය වරයා අවලංගු කාසියක් කර ආයුර්වේදය බහිනවා කීම විහිළුවක් නොවන්නේද?


      Delete