Monday, July 18, 2016

ආයුර්වේද උපාධිය අට්ටාලය උඩ වේලීම හෙවත් වෙදහටන වේදිකාවේ පදම් කිරීම


මේ ලිපිය බොරැල්ලේ ආයුර්වේද රෝහල ඉදිරිපිට යුක්තිය ඉල්ලා අව්වේ කැකෑරෙන අපේ තරුණ උපාධිධාරීන් ගේ ලේ වල දුවන අපේක්ෂා දිරිමත් කරන්නටය. අපි ඔබ ගැන කණගාටු නොවෙමු. අපිට ඔබ ගැන ආඩම්බරවෙමු. ඒ ඔබ ඔබේ සත්‍යග්‍රහය තුළින් රැකියා ඉල්ලා රජය ඉදිරියේ දනින් වැටෙනවා නොව මහජනතාවට ආයුර්වේදය ගැන කැක්කුමක් ඇති කරනවා යැයි මට සිතෙන් නිසාය. ඔබ තරුණ කාලය වැය කළේ ආයුර්වේදය වෙනුවෙන් මේ රටේ විවිධ ආණ්ඩු මහජනතාව තුළ ඇති කළ උනන්දුව හා ඊට අදාළව දියත් කළ වැඩසටහන් ගැන විශ්වාසය තැබූ නිසාය. අපි ඔබගේ අධ්‍යාපනයට ආශිර්වාද කළේ ඔබ දිරිමත් කළේ ඔබේ අධ්‍යාපනයෙන් පසු ඔබේ වෘත්තීය සුරක්ෂිතභාවය ඇතැයි විශ්වාස කළ නිසාය. එනිසා මේ අරගලයේදී ඔබ තනිකොට සිටීම අප නොකළ යුතු යැයි මා තරයේ විශ්වාස කරමි. එනිසා මේ අරගලය ජයග්‍රහණය කරා යනතෙක් ඔබ සමඟ අපි ද සිටින්නෙමු. මහලු සමාජවාදීන් ගේ භූමියෙන් ද එළියට දැමු පසු ආයුර්වේදයේම සෙවනේ යළි ඉඳ ගැනීමට ඔබට ආත්මශක්තියක් තිබීමද අභිමානයකි. ඔබ ඉඳගෙන සිටින්නේ වෙදසටන් වල ජයබිමකය. එනිසා ඔබේ සටනට ජය නියතය. මෙම ලිපිය පත්තර වලට ද යවමි. එහෙත් පළවේ දැයි සැක සහිතය. එනිසා සයිබර් අවකාශයට මුදාහරිමි.

මේ වන විට අපේ ආයුර්වේද උපාධිධාරීන් රැකියා ප්‍රශ්නය වෙනුවෙන් මහ මග අට්ටාලයක් උඩ සත්‍යග්‍රහයක නිරතව සිටින්නේ රැකියා ප්‍රශ්නය නිසාය. එහෙත් බලධාරින් නෑසු කන් ඇතිව ඉවත බලා සිටින්නේ මේ ප්‍රශ්නය ඔවුන් විහින් ඇති කර ගත් අර්බුදයක් මෙන් සිතාද? මේ අරගලයේ නිරත සියලුම දෙනා  මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ අත් කර ගත්තේ සිය අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට මෙන්ම  මේ රටේ ජනතාවට ද යම් සේවාවක් කිරීමේ අටියෙනි.  ඔවුන් මහජන මුදලින් සිය අධ්‍යාපනය අවසන් කොට මහ පාරේ දිය කරන්නේ තරුණ බුද්ධිය පමණක් නොවේ ජාතික ධනයයි. එනිසා මෙම තරුණ වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් ආයුර්වේද ක්ෂේත්‍රයට පමණක් නොව පොදුවේ මුළු  මහත් සෞඛ්‍ය පද්ධතියටත් රටේ ජාතික ආර්ථිකයටත් මහඟු වාසියක් අත් කර ගත හැකිය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත් තොරතුරු අනුව ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියකු බිහි කිරීම සඳහා වසර පහක කාලයක් තුළ වැය වන පුනරාවර්තන වියදම රු.1597980කි.  ඊට  අමතරව වසරක සීමාවාසික  පුහුණු කාලය තුළදී මාසික දීමනා ලෙස ලක්ෂ හයකට ආසන්න  මුදලක් එක වෛද්‍යවරයෙකු සඳහා  වනු ලබයි. එවිට  මේ වියදම ලක්ෂ 22 ක් පමණ වේ. එසේ නමුත් එම ආයතන වල භෞතික සම්පත් හා යටි තල පහසුකම් සඳහා වැය කර ඇති ධනස්කන්ධය ඇති විශාලය. එහෙත් මේ මහජන මුදල් කන්දරාව වැය කරන්නේ එහි ප්‍රතිඵල හා ප්‍රතිලාභ බෙදාහැරීමේ ජාතික වැඩ පිළිවෙළක් නොමැතිව ද යන්න නැගෙන විමතියකි.

අද වන විට රැකියා විරහිතව සිටින උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 700කට අධික පිරිසක් සිටිය යුත්තේ ඵලදායි සේවාවක නියැලි වුවත් අද ඔවුහු සිටිනුයේ නිවෙස්වලය.  සියලු දෙනාටම රජයේ රැකියා දිය යුතුය හෝ එසේ නොමැතිව වෛද්‍ය සේවයේ නොයෙදිය හැකිය යන්න වෙනම සාකච්ඡා කළ යුතුය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ සියලු දෙනා 2008 වර්ෂයේ සිට ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් නොවී සිය කාලය නාස්ති කරමින් සිටිමයි. වාර්ෂිකව මේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර ඒ අය සඳහා රැකියා සැපයීම කෙසේ වෙතත් ඔවුන්ගේ සේවාව කාර්ක්ෂමව යොදා ගැනීමේ වැඩපිළිවෙලක් බිහි නොවීමේ ඛේදවාචකය අප ඉදිරියේ ප්‍රශ්න කෙරෙමින් පවතී. ඇත්තටම මේ නොසැලකිල්ලේ හේතුව ආයුර්වේද විශ්විද්‍යාල ආයතන වසා දැමීම හෝ ඒවා අඩපණ කිරීම ද යන්න ඒ සමඟම නැගෙන අතුරු ප්‍රශ්නයයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ පිළිගැනීමට ලක් වී ඇති බව පුන පුනා ප්‍රකාශ වුවත් ඒවා වේදිකාවේ කතා පමණක් යැයි සැකයක් උපදින්නේ මෙබඳු අර්බුදයන් විසඳුම් නොදී ඇදෙමින් යන ආකාරය දකින විටය. මේ තත්වය ඉදිරියේ ආයුර්වේද අධ්‍යාපනය කෙරෙහි තරුණ පිරිස් නැඹුරු නොවන්නේ නම් තවදුරටත් රජයේ සම්පත් මහජන මුදල් වැය කරමින් මේ ආයතන පවත්වා ගෙන යාම අපරාධයකි. එහෙත් තත්වය බොහේ සෙයින් වෙනස් වන්නේ මේ වන විට විශ්ව විද්‍යාල ආයතන වල ආයුර්වේදය ඉගෙනීමට නැඹුරු වන සිසුන් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රතිශතයකින් වැඩි වී ඇති නිසාය. එහෙත් අවාසනාව වන්නේ සමහර නිලධාරින් බි.ඒ.එම්.එස්. උපාධිය සඳහා වසර කීයක් ගත වේදැයි නොදන්නා තරමට බොළඳ ය. ලාමකය. ඔවුන් මහජන මුදලින් පඩි ලැබීමද රටේ අවාසනාවකි. 

එහෙත් ඉතිහාසය දෙස බැලූ විට අපි අවබෝධ කරගන්නා සත්‍යය වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මුල් බැස ගන්නට අවශ්‍ය නිසි පහසුකම් සැපයීමේ වැඩසටහන අඩාල වී ඇති බවය. මේ ආයතන පිහිටුවීමේ ලා පුරෝගාමී වූ දේශීය වෛද්‍ය විශාරදයින්, සංවිධාන හා දේශපාලන නායකයින් ඉන් අපේක්ෂා කළ මහඟු සේවාව ලබා ගැනීමේ අසමත් පාලකයින් ඒවා තුළත් ඉන් පිටතත් කාලයක් පුරා මුල් පුටු වල කාලය කා දැමීමේ අනිටු විපාකය අද විඳිමින් සිටිමු. ඒවායින් බිහිවන උපාධිධාරින් මහ මගට ඇද දැමීමෙන් එහි ශෝචනීය ඉරණම සාමාන්‍ය මහජනයා ද අත්විඳිනු නිසැකය. මේ රටේ ජාතික උරුමයක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කරගැනීමේ මුලික වගකීම ඇත්තේ එහි අධ්‍යාපනය පවත්වා ගෙන යන ආයතන වලටය. වර්තමාන සමාජ අවශ්‍යතා වලට ගැලපෙන වෛද්‍යවරුන් බිහි කිරීමේ ශාස්ත්‍රීය වගකීම රැඳී ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළය. එසේම උපාධිධාරීන් බිහි කර අහක බලා ගෙන සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් ඔවුන්ට නැත. ඔවුන් සිය උපාධිධාරීන් හට වෘත්තීය අගයන් හා අභිමානය පවත්වා ගැනීමේ අවස්ථාව සැලසුම් කළ යුතුයි. මහජන මුදලින් බිහි කළ වෛද්‍යවරුන් අතරමං කිරීමට රජයට ද කිසි අයිතියක් නැත. එය සිය ජාතික මානව සම්පත් සැලැස්මේ කොටසක් විය යුතුය. එසේ නොමැතිව මහපාරේ අට්ටාලයක් මත වේලෙන උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ගේ ශ්‍රමය, දැනුම හා බුද්ධිය නාස්තිවීමට ඉඩ හරින්නේ පසු ගිය දශක කිහිපයක් පුරා සිදු වූ මේ දේශපාලනික අත්වැරැද්ද නිසාය.

ආසන්න වශයෙන් වසරකට උපාධිය ලබාගන්නා ආයුර්වේද වෛද්‍යවරුන් 300-350ක් අතර ප‍්‍රමාණයක් රැකියා නොමැති වෘත්තිකයින් ලෙස සමාජයේ විවිධ අයුරින් සිය කාලය නාස්ති කරති. සිය වෘත්තීය අභිමානය පරදුවට තබා නොයෙකුත්  අශිෂ්ට ව්‍යාපාර වලට ආරක්ෂාව සපයති. ව්‍යාපාරිකයින් අඩු වැටුපට වෘත්තීය අභිමානය නොමැති තනතුරු වලට මේ උපාධිධාරීන් යොදවා ගනී. එහෙත් 2012 වසරේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 264 ක් රාජ්‍ය සේවයට එක් කර ගත් අතර මීට වසර කිහිපයකට පෙර වෛද්‍යවරු 183 දෙනකුට රැකියා ලබාදී ඇත. එලෙස සීමිත බඳවා ගැනීම් සිදුවන්නේ ප්‍රමාණවත් පුරප්පාඩු සංඛාවක් නැතිවම නොවේ. අවශ්‍ය නම් තවත් පුරප්පාඩු නිර්මාණය කළ හැකිය. එසේ නිර්මාණය කළ පුරප්පාඩු 600 ක් පිළිබඳ යෝජනාව කැබිනෙට්ටුවේ කුණු කුඩයට වැටුණේය. දැනට සත්‍ය වශයෙන් පවතින පුරප්පාඩු සංඛ්‍යාව පිරවීමට ඉල්ලුම් පත්‍ර කැඳවා තිබියදී එය අනවශ්‍ය ලෙස ප්‍රමාද කරන්නේ මන්දැයි ගැටලුවකි. මේ වනවිටත් ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍ය හිඟය 40% - 50%ත් අතර බව ගණන් බලා තිබියදී ඒ සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙලක් නොමැති වීම බලවත් අඩුපාඩුවකි. වේදිකාව මත නොයෙකුත් පොරොන්දු දුන්නත් ඒවා වචන වලට සිමා විය. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයත් යහපාලන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඉතා පැහැදිලිව උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ රැකියා ප්‍රශ්නය සඳහා තිරසාර විසදුම්  හා ආයුර්වේද වෛද්‍ය සේවාවේ ගුණාත්මක සංවර්ධනයත් සහතික කරන බව ඉඳුරාම පොරොන්දු වී ඇත. දැන් මහපාරේ සිටින වෛද්‍යවරුන් ප්‍රශ්න කරන්නේ ඒ පොරොන්දු වල විශ්වාසනීයත්වය විනා මේ රටේ දේශපාලනයේ අවංකභාවය  නොවේ. දේශපාලකයින් පොරොන්දු වලින් තෙම්පරාදු වෙමින් සිටියි. අපේ උපාධිධාරීන් ගේ වෙද හටන අට්ටාලය උඩ පදම් වෙමින් තිබේ. එය හරි පදමට බා ගැනීමට දේශපාලකයින් දැනගත යුතුය.

සමස්තයක් ලෙස ගත් කළ රටේ විවිධ මට්ටම වල ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 604ක සංඛ්‍යාවක් පවතී. මේවා  මධ්‍යම රජය,  පළාත් සභා, පළාත් පාලන ආයතන යටතේ පාලනය අතර සේවාව පිළිබඳ නිසි ප‍්‍රමිතියක් නොමැති නිසා බොහෝ ආයතන මහජන සේවාවට අසමත් ව සිටී. එහිලා බලපා ඇති මුලික ගැටලුවක් වන්නේ ප්‍රමාණවත් පරිදි මානව සම්පත් නොවීමයි.  උපාධිධාරී වෛද්‍යවරයෙක් බිහිකිරීමට රජය විශාල මුදලක් වැය කරන අතර වසර හයක් සිය තරුණ ජීවිතය වැය කරමින් උපාධිය ලබා ගන්නා උපාධිධාරීන් ඒ සඳහා කරන කැප කිරීම ද සුළුකොට තැකිය නොහැකිය. බටහිර වෛද්‍ය උපාධියට සමාන ධාරිතාවකින් යුත් විෂය මාලාවකට මුහුණ දෙමින් විභාග හා ප්‍රායෝගික කර්මාභ්‍යාස වලින් පසුව එක අවුරුදු සිමාවාසික පුහුණුවක් ද සම්පුර්ණ කරමින් විශ්ව විද්‍යාලයෙන් පිටවන මේ තරුණ උපාධිධාරින් අද මහපාරේ අට්ටාල උඩ සත්‍යග්‍රහ කරයි. ඔවුන්ට අට්ටාල උඩට වී වෘත්තීය හිඟමන් යැදීමට සිදුවීමේ අවාසනාව දෙස බලා සිටින්නේ ඉතා කණගාටුවෙනි. උපාධියෙන් පසු ඔවුන් මුහුණ දෙන සමාජ ආර්ථික ප්‍රශ්න ගැන බලධාරින් හට අබමල් රේණුවක අවබෝධයක් නැත. මේ රැකියා ප්‍රශ්නය මත සමහරුන් ගේ පවුල් අවුල් වී අසරණ වී ඇත. ඔවුන්ට පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ නියැලීමට අවශ්‍ය සමාජ පරිසරය හා වෘත්තීය තත්වය ගැන නොවිසිඳුණු ගැටලු බොහෝය. එසේම රාජ්‍ය සේවාව තුළ මානව සම්පත් හිඟය නිසා ආයුර්වේද සේවාවේ ගුණාත්මක බව පිරිහෙමින් පවතී. ඒ අතර වටිනා මානව සම්පත් මහපාරේ වේලෙමින් සිටියි.

මේ රටේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නිරන්තර පීඩාවට පත් වන විට එය සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත් වූ විට අලුත් බලාපොරොත්තු ඇති විය. එසේම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කතා ක්ෂේත්‍රය හා වෘත්තිකයින් දිරිගන්වන සුළු වූයේ එතුමා එඩිතර ලෙස දොස්තර ඒකාධිකාරයට අභියෝග කරමින් දේශීය වෛද්‍ය ක්‍රම අගය කරන නිසාය. මෙරට ජනගහනයෙන් වැඩි පිරිසක් සිය සෞඛ්‍ය ප්‍රශ්න සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහය නොපතන බවට වැරදි මතයක් නිලධාරීන්ගේ ඔළු ගෙඩි තුළ අනාදිමත් කාලයක සිටම තිබේ. එනිසාම ආයුර්වේද වෛද්‍යවරයා “වෛද්‍ය ගණයේ” ලා නොසැලකෙන වෘත්තිකයෙක් ලෙස මහපාරට ඇද දමා තිබේ. ආයුර්වේද වෛද්‍ය සභාව අරක් ගත් නිලධාරි ගෙවල පෙරේතයින් එහි අල්ලසට දුෂණයට යට වී සාක්කු පුරවා ගන්නවා මිස වෛද්‍යවරුන් ගේ නෛතික අයිතීන් වෙනුවෙන් කිසිදු පෙනී සිටීමක් නොකරයි. එසේ කරන්නට තරම් මොළයක් හෝ කොන්දක් ද ඒ මන්ද්බුද්ධිකයාට ඇත්තේද නැත. ඔහු නිකං විහිළු චරිතයක් රඟ දක්වයි. ඉහළ නිලධාරින්ට කඩේ යන නිසා ඔහුගේ දුෂණයට බාධාවක් ද නැත. මෙයින් සිදුවන්නේ උපාධිධාරීන් ගේ වෘත්තීය අභිමානයට හානි සිදුවන අවස්ථා වලදී ඊට එරෙහිව පෙනී සිටීමේ පෞරුෂයක් මේ වෛද්‍ය සභාවට ඇත්තේ නැත. එනිසා රැකියා ප්‍රශ්නය විසඳා ගැනීමට අදාළව ජාතික සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා නායකත්වය දෙන්නට අවශ්‍ය බුද්ධිමය දායකත්වය එබඳු ආයතනයකින් අපේක්ෂා කළ නොහැකිය. අම්බරුවන් කරත්තේ බඳිනවා මිස උන් ගෙන් පාර ඇසීම මෝඩ කමකි.

ආයුර්වේද වෛද්‍ය සේවාව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම අඩු කිරීමේ ලා යොදා ගත හැකි හොඳම වික්ලපය බව බොහෝ නිලධාරින් නොදනී. විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ, කළමනාකරණ සේවාවේ නිලධාරින් මේ ගැන දැන ගත යුතුය. අපේ රටේ ජාතික ධනයෙන් නඩත්තු කරන මේ වියදම අධික සෞඛ්‍ය සේවාවේ වියදම 25% කින් අඩු කිරීමට ආයුර්වේදය යොදා ගත හොත් තව වෛද්‍යවරුන් 1500 කට රැකියා සැපයීම අපහසු නොවේ. සාමාන්‍ය වශයෙන් රුපියල් බිලියන 216 ක් වන වාර්ෂික සෞඛ්‍ය වියදමෙන් 10% ක් දේශීය වෛද්‍ය ක්‍රමයට වෙන් කිරීමෙන් මේ ක්ෂේත්‍රය අද පවතින තත්වය මෙන් 300 ගුණයකින් වැඩි දියුණු කර පුළුල් සේවාවක් සැපයිය හැකිය. මෙය රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක් නොව රාජ්‍ය ආකල්ප පිළිබඳ ප්‍රශ්නයකි. රජයේ බටහිර රෝහල් තුළ අධික වියදම් දරන ශල්‍ය කර්ම වලට වැය කරන සමහර රෝගාබාධ සාමාන්‍ය ප්‍රතිකාර වලින් ගොඩ දාන ආයුර්වේදය ඒ සඳහා ඉල්ලා සිටින්නේ සුළු ඇගයීමකි. එබඳු ප්‍රතිකාර ක්‍රම ගැන විධිමත් ආර්ථිකමය ඇගයීමක් හා ඒවායේ වියදම් ප්‍රතිලාභ අධ්‍යනයක් සිදු කොට එය ප්‍රචලිත කිරීමට ආධාර අනුබල දෙන ලෙසයි. වකුගඩු රෝගීන් සඳහා වන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර වලින් ඉතිරී වන්නේ විදේශ විනිමයයි. ආරක්ෂා වන්නේ රෝගීන්ගේ ජීවිතයි. ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 700 ක් පමණ සංඛ්‍යාවක්  ප්‍රාදේශීය මට්ටමේ සිදුකරන සේවාව කිසි ලෙසකින් අවතක්සේරු කළ නොහැකි වුවත් ඒ ගැන නිසි තක්සේරුවක් ද සිදු කර නැත. මේ සියල්ල එකට ගණන් බලා ජාතික ආර්ථිකයට ආයුර්වේදයෙන් ලබා දිය හැකි දායකත්වය සොයා බැලීම නොවටනේද? එය මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දීමේ වැඩපිළිවෙළකට යාමට විරුද්ධ වන්නේ කවුද? ඒ සඳහා මේ මහපාරේ සත්‍යග්‍රහ කරන තරුණ වෛද්‍යවරුන් යොදා ගැනීමට ක්‍රියා කිරීම ජනතාහිතවාදී යහපාලන රජයක පරම යුතුකම විය යුතුය.


වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

No comments:

Post a Comment