Wednesday, May 10, 2017

හිපොක්‍රටිස් ගේ සර්පයා භාරද්වාජට දෂ්ට කිරීම හෙවත් වෘත්තීය සදාචාරය කල් ඉකුත්වීම

ආයුර්වේද වෘත්තිකයා හා ඔහුගෙන් සිදුවන සේවාව බටහිර වෛද්‍යවරුන්ගේ අවතක්සේරුවට හා අවමානයට ලක් වූයේ අද ඊයේ සිට නොවේ. එය මෙරට යටත් කරගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය ආරම්භය සිටම ඉතා සැලසුම්සහගතව සිදුවුවකි. අදටත් සිය පරාධීන චින්තනයෙන් මිදිය නොහැකි වූ දොස්තර ආධිපත්‍යය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සියලු වරප්‍රසාද හා හිමිකම් අත්පත් කරගනිමින් ආයුර්වේද වෛද්‍යවරයා අවශේෂ ගණයට හෙළා කටයුතු කරන්නේ වෘත්තීය උද්දච්ඡකම නිසා ය. යුරෝපීයෝ මේ රටට පැමිණෙන විට ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක්‍රමය විසින් පාලනය කළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වගකීම් දේශපාලන බලයෙන් අත්පත් කරගත් බටහිර වෛද්‍ය ක්‍රමය ලොව අන් සියලු රටවල මෙන් ම මේ රට තුළත් දේශීය සම්ප්‍රදායන් ගෝත්‍රික තත්වයට ලා සමාජයෙන් බැහැර කළහ. මෙකී "වෘත්තීය ත්‍රස්තවාදයට" එරෙහිව මේ අදහස් ලියන්නට සිත් වූ අතර මෙමගින් බටහිර වෛද්‍ය ක්‍රමයේ වෘත්තීය ගුණාත්මකභාවය හෝ එමගින් සමාජයට සිදුවන සේවාව අවතක්සේරුවට ලක් නොකරන බව පළමුව කිව යුතුය. වරින් වර මතුවන අධිපතිවාදී මානසිකත්වයෙන් යුත් ගෝත්‍රික ආකල්ප ඇති දොස්තරලා අතින් දේශීය වෛද්‍ය ක්‍රමයට සිදුවෙන අපහාස උපහාස හා මදිපුංචිකම් ඉවසා ගත නොහැකි නිසා ලියැවුණු අදහස් නිසා එහි යම් වෘත්තීය ප්‍රචණ්ඩත්වයක් ඇතැයි සිතෙන්නටත් හැකිය. එහෙත් මේ ටික නොලියා බැරි තැන ලිව්වෙමි. මෙය දිග වැඩි යැයි සිතුනත් මොවුන්ගේ නරුම අදහස් වලට පිළිතුරු දෙන්නට මිට වඩා දිගට ලියනවා මිස කෙටියෙන් ලියන්නට නම් බැරිය. නැසීගිය මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා සිය ආන්දෝලනාත්මක කෘතිය වූ Nature of Medicine (වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය) හරහා මතු කළ ඉතා කටුක, අමිහිරි හා අවිවාදිත සත්‍යය වූයේ බටහිර වෛද්‍ය ක්‍රමය ඉතා විනාශකාරී ලෙස දුප්පත් රටවල ජනතාව ගේ ජිවිත බිලිගන්නා බවයි. එම ක්‍රියාවලිය තවදුරටත් අමානුෂික වන්නේ ඔවුන් සතුව තිබු දේශීය වෛද්‍ය ක්‍රම ඊනියා විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ ගර්හාවට හා උපහාසයට ලක් කරමින් දැනුම පිළිබඳ ඒකාධිකාරයක් ගොඩනැගීමෙන් සිදු කරන ව්‍යසනය නිසාය.

ජෝන් ඩේවි 1821 දී ඔහුගේ An Account of the Interior of Ceylon, and of Its Inhabitants තුළින් එල්ල කළ අශිෂ්ට විවේචනය අපේ මුතුන් මිත්තන් ට කියවන්නට නොලැබුණේ ඔහු ඒ පොත එංගලන්තයේ දී ඉංග්‍රීසියෙන් පළ කළ නිසාය. එහෙත් ඔහුගේම අදහස් වල නූතන මුහුණුවර තුළින් අපේ වෙදකමේ මුහුණට කෙළ ගසන්නට මෙන් කරන අශිෂ්ට අවලාද අපි ඉවසන්නේ නැත. ඉතිහාසයේ අපිට නිවැරදි කරන්නට බැරි වූ ඒ වරද මේ සියවසේ දී හෝ අප විසින් කළ යුතු ය. ඉතිහාසය පුරා සෞඛ්‍ය පද්ධතියේ නැති බැරිකම් සියල්ල පැටවුයේ දේශීය වෛද්‍ය ක්‍රමය මතය. එනයින්ම සස්සඳ හා Chinese Herbal Nephropathy  හරහා පසුගිය කාලය තුළ විවිධ නින්දා අවමන් චෝදනා එල්ල වූයේ මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමයට ය. මේ රටේ වකුගඩු රෝගය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ අතුරු වාර්තාවේ සස්සඳ පිළිබඳ ගොන් තර්කයක් ඇතුළත් වී තිබුණා පමණක් නොව ආයුර්වේද ඖෂධ භාවිතය ගැන සැකසහිත නිර්දේශයක් ද ඉදිරිපත් කර තිබුණි. අපේ රටේ දේශීය වෙදකමේ මුලධර්ම හෝ ප්‍රතිකාර වල අන්තර්ගතය හෝ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන මෙලෝ හසරක් නොදැන පංචකර්ම නමින් කුමක් හෝ බහුබුතයක් දැක එය ආයුර්වේදය යැයි සිතු දොස්තර මහතුන්ගේ ගේ දැනුම හා අවබෝධය ගැන කණගාටු වෙනවා හැර වෙන විකල්පයක් නැත. ඒ සස්සඳ තර්කය යල් පැනගොස් බොහෝ කල් බව ඔහු නොදැනීම විහිළුසහගතය. Balkan Endemic Nephropathy (BEN) හා Chinese Herbal Nephropathy වලට මුවාවී අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රම වලට පහරදෙන්නට ඔය වකුගඩු විශේෂඥයින් හට අවශ්‍ය බව අපි දනිමු. අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සස්සඳ භාවිතය හා ඔය වකුගඩු රෝගයෙන් පිඩා විඳින රෝගීන්ගේ සස්සඳ අඩංගු දේශීය ඖෂධ වලට නිරාවරණය වීමේ අවස්ථා පිළිබඳව ඇති වාර්තා පෙන්වන ලෙස ඔහුට අභියෝගයක් කරමි. මේ රටේ ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් වෙහෙසෙන බටහිර වෛද්‍යවරුන් මෙන්ම දේශීය වෛද්‍යවරුන් ද සිටින බව මේ නරුමයින් අමතක නොකළ යුතුය. ආයුර්වේදය හා දේශීය වෙදකම් තුළින් මිනිසුන් රවටන හොර වෙදුන් සමාජයේ කොතෙකුත් සිටින නමුත් එහි වරද හරහා වෛද්‍ය ක්‍රමයේ ප්‍රත්‍යක්ෂ සේවාව පහත හෙළන්නට ඉඩදිය නොහැකිය. අපේ ගුරුවරුන් අපිට ඉගැන්වූයේ වෛද්‍ය ක්‍රමය කුමක් වුවත් එමගින් රෝග සුවපත් කරන මිනිසුන් මරණයෙන් මුදවන චිකිත්සකයින් අගය කළ යුතු බවයි. එය සෘෂි භාෂිතයයි. සුචිකිත්සකයා කුමන ජාතියකට රටකට අයත් වුවත්, කුමන වෛද්‍ය ක්‍රමයකින් මිනිසුන් ට සේවය කළත් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ වෘත්තීය සමාජයේ ගෞරවයට බඳුන් වේ. එහෙත් මේ කතා කරන්නේ බටහිර වෙදකම පමණක් සර්වසාධාරණ යැයි අන් සියලු වෙදකම් නිෂ්පල යැයි සිතන එය පමණක් ලොව පැවතිය යුතුයැයි අන් සියලු වෙදකම් මෙලොවින් අතුගා දැමිය යුතු යැයි පතන අධමයින් ගේ අදහස් ගැන පමණි.

මොවුන් ගේ එක තර්කයක් වන්නේ දේශීය වෛද්‍ය ක්‍රම අනෙක් වෛද්‍ය ක්‍රම වලට අවශෝෂණය වීමට ඇති බිය ගැනයි. ආයුර්වේදය එසේ නවීන වෛද්‍ය ක්‍රමයට අවශෝෂණය කර ගත්තා නම් දේශීය වෛද්‍ය ක්‍රමය එසේ නොකිරීමට හේතුව රෝහියා සුව කිරීමේ ගෞරවය දොස්තර මහතා ලබා ගනී යන කුහක සිතිවිල්ල නිසා යැයි ඔවුන් උපකල්පනය කරයි. මෙහිදී මතුවන මූලික ප්‍රශ්නය වන්නේ අතීතයේ සිදු වූ දෙය නැවත සිදුවීමේ අවදානමක් ඇති බවයි. මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ පාලනය සියතට ගත් බටහිර වෛද්‍යවරුන් මේ කැස කවන්නේ ඉතිරී ටිකත් සින්ක්කර ලියා ගැනීමටයි. බටහිර ප්‍රතිකාර පද්ධතියට අවශෝෂණය කළ කිසිදු සාම්ප්‍රදයික දැනුමක ස්වාධීකාරය එහි මුල් අයිතිකරුවන් හට නොමැත. විවිධ පර්යේෂණ ඔස්සේ ඖෂධිය ශාක වලට අදාළ සම්ප්‍රදායික දැනුම පදනම් කොට නිපදවූ බෙහෙත් වල අයිතිය ඇත්තේ බහුජාතික සමාගම් වලටය. එම දැනුම බිලි බා ගැනීමේ ඇම ලෙස පාවිච්චි කරන්නේ ඔය කියන රෝගී සුබසිද්ධිය හෝ මානව සංහතියේ යහපත වැනි සුරතල් වදන් ය. දේශීය වෛද්‍යක්‍රම වල උපයෝගිතාව සම්බන්ධයෙන් නවීන දැනුම උරගා බලන්නට නොපෙළඹෙන බොහෝ විද්වතුන් මේ බුද්ධිමය සොරකමට රුචිය. රෝගීන් බටහිර වෙදකමට නැඹුරු කිරීමේ සියලු මාධ්‍ය මෙහෙයුම් අශික්ෂිත ලෙස ක්‍රියාත්මක වෙද්දී ගමේ වෙදමහතුන් ට ගොඩ වෙදා යැයි ගරහමින් රෝහල් තුළ මහජන මුදලින් යැපෙන දොස්තර මහත්වරුන් රෝගීන් ගේ යහපත ගැන සිතන අයුරු ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ බැලීමෙන් වටහා ගත හැකිය.

පළමුවෙන් මෙබඳු බටහිර ගැති අන්තවාදීන් මතුකරන නරුම තර්කය වන දේශීය වෛද්‍ය ක්‍රමයේ සාර්ථකභාවය හා සාඵල්‍යතාව ඔප්පු කිරීම, පර්යේෂණ හා සංඛ්‍යා ලේඛන ගැටලුවට යම් පිළිතුරක් දිය යුතුය. අපේ රටේ බරපතල ඛේදවාචකයක් වුණු රාජ්‍ය ප්‍රතිපත්තියේ මුලික දෝෂය නිසා අපි ජාතික සෞඛ්‍ය පද්ධතියෙන් අවතැන් වීමේ වාසිය නෙ ඔය ගැටලුවට හේතුව. පළමුවන ප්‍රතිතර්කය වන්නේ දේශීය වෛද්‍ය ක්‍රම වල සහාය හා දායකත්වය සෞඛ්‍ය සේවාවට ලබා ගැනීමේ යෝජනා සම්මත හා ප්‍රඥප්තීන් ලෝක සෞඛ්‍ය සංවිධානය සම්මත කර තිබුණත් බටහිර වෛද්‍යවරුන්ගේ අශික්ෂිත ඒකාධිකාරී වෘත්තීය ආධිපත්‍යය නිසා ඒවා පසුගිය දශක කිහිපයක් තුළ ක්‍රියාත්මක වූයේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 1978 අල්මා ආටා ප්‍රකාශනයත් 2008 බිජිං ප්‍රකාශනයක් මේ රටේ ක්‍රියාත්මක වූයේ නැත. එසේම එමගින් හඳුන්වා දුන් 2002-2005 දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ සිව් අවුරුදු උපායික සැලැස්මත් කිසිම ප්‍රගතියකින් තොරව අවසන් විය. මේ සියලු අවනතිගාමි තත්වයන් ට හේතුව බටහිර වෛද්‍ය ආධිපත්‍යය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුල්බැස තිබීමයි. දැන් 2014 - 2023 දස අවුරුදු සැලැස්මක් හඳුන්වා දී තිබේ. එයට අත්වනඉරණම දෙස බලා සිටිමු. එහෙත් ඉන්දියාව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉතා දියුණු මට්ටමෙන් අද පවත්වා ගෙන යන්නේ එහි බටහිර වෛද්‍යවරුන්ගේ වෘත්තීය ශික්ෂණයේ උසස් බව නිසා ලැබෙන ගුණාත්මක දායකත්වය ද ඔස්සේය. දෙවනුව ඉන්දියාව තුළ ඔවුන් කියන විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරමින් ආයුර්වේදය ඇසුරෙන් ඕනෑ තරම් සායනික පර්යේෂණ සිදු කර තිබේ. ඒවා පිළිගත් වෛද්‍ය සඟරා වල පලවී තිබේ. දියුණු ලෝකයේ පළමු පෙලේ වෛද්‍ය ආයතන වල ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රම ගැන පර්යේෂණ කරන අවධියක ඒවායේ සාඵල්‍යතාව ගැන මොන්ටිසෝරි කතා දෙසාබාන්නේ පසුගාමී මානසිකත්වයක් ඇති තවමත් 19 වැනි සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍ය යටත්විජිතයේ වහල් භාවයෙන් නොමිදුණු මිනිසුන්ය. තුන්වැනිව බටහිර වෛද්‍ය සභාව විසින් දේශීය වෛද්‍ය ක්‍රම සමඟ පර්යේෂණ වල නියැලීමට වෘත්තීය තහංචි පනවා ඇති ගෝත්‍රික සමාජයක් තුළ ඒකාබද්ධ පර්යේෂණ සිදුකිරීමට පෙර එකී අශිෂ්ට තහංචිය ඉවත් කළ යුතුය. සෑම අතින්ම අත් පය බැඳ දමා මොවුන් අපේ වෙදකමේ සත්‍ය බලන්නට රෝගීන් සුව පත් කර පෙන්වන්න යැයි අභියෝග කරයි. එහෙත් මේ රටේ රෝගීන් සුවපත් කරන දේශීය වෛද්‍යවරුන් ඔය කෙහෙල්මල් Double Blind Randomized Controlled Trials ගැන හාංකවිසියක් නොදනී. ඔවුන් කරන්නේ ප්‍රතිඵල පාදක වෙදකමකි. එය බටහිර ගැති දොස්තරලාට පෙන්නේ placebo effect එකක් වගේය. ලංකාවේ දොස්තරලා එසේ සිතන විට ලෝකය Patient Oriented Evidence Based Medicine (POEM) සමඟ ඉදිරියට යයි. ඒ පිළිබඳව NEJM, BMJ, JAMA, The Lancet වැනි පිළිගත් වෛද්‍ය සඟරා ලිපි පළකරයි. ලෝකයේ දේශීය වෛද්‍ය ක්‍රම ගැන පර්යේෂණ කිරීමට බටහිර වෛද්‍ය විශේෂඥයින් වෙනත් විද්වතුන් අවස්ථා සොයමින් සිටියි.

Michel Foucault විසින් ලියු 1973 දී පළවූ The Birth of the Clinic: An Archaeology of Medical Perception නැමති ග්‍රන්ථය සෑම බටහිර වෛද්‍යවරයෙකුම කියවිය යුතු ය. ඔහු එහි හඳුන්වා දෙන “medical gaze” නම් පදය තුළින් දුර්මානුෂකරණය (dehumanization) හරහා රෝගීයා හුදු කය මිස සිත නැති යාන්ත්‍රික සත්වයෙකු ලෙස සැලකීමේ ඓතිහාසික වරද බටහිර වෙදකම මගින් වෘත්තීය තත්වයට පත් කළේය. 1979 දී Robert S. Mendelsohn විසින් ලියන ලද Confessions of a Medical Heretic ග්‍රන්ථය මුළුමනින් ම අනවශ්‍ය ශල්‍යකර්ම හා නුසුදුසු ඖෂධ නිර්දේශ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගේ පාපොච්චාරණයක් ලෙස එළි දක්වා ඇත. සාක්ෂි ඇතිවම ඔහු පවසන පරිදි බොහෝ ශල්‍ය කර්ම රෝගීන්ගේ සෞඛ්‍යය හා ජිවිත අවදානමට පත් කරන මුදල් අපතේ යැවීමක් ලෙස මේ පොතේ සඳහන් ය. Ivan Illich නම් ප්‍රකට සමාජ විද්‍යාඥයා 1976 දී පළ කළ Medical Nemesis නම් ග්‍රන්ථයේ ඔහු කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය රෝගීන්ගේ සෞඛ්‍යයට පමණක් නොව සමාජ ජිවිතයට හා සංස්කෘතික පැවත්මට ද හානිකර බවයි. ඔහු බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර වල අතුරු ආබාධ නිසා ඇතිවන සෞඛ්‍යමය හානි clinical iatrogenesis නමින් හැඳින්විය. එනිසා රෝගීන් ගේ සමාජ ජීවිතය තුළ ඇති කරන හානිකර බලපෑම social iatrogenesis නමින් හැඳින්වූ අතර සංස්කෘතික හර පද්ධතිය හා සදාචාරය කෙරෙහි ඇතිකරන හානිය cultural iatrogenesis නමින් හැඳින්විය. දොස්තර මහත්වරුනි, දේශීය වෙදකම විවේචනය කීරීමට පෙර කරුණාකර මේ පොත ද කියවන්න. අපි විවේචනය කරන්නේ ඔබේ වෛද්‍ය ක්‍රමය නොව එමගින් ඔබ බිහි කරන වෘත්තීය ත්‍රස්තවාදයයි. වෛද්‍ය ක්‍රමයේ විශිෂ්ට දැනුම හා තාක්ෂණයේ දියුණු මෙවලම් දේශීය වෛද්‍ය ක්‍රම තලා පෙලා හෙළා දැකීමට පොළඹවන ඔබගේ ගෝත්‍රික මානසිකත්වය යි.  

මීළඟ ගැටලුව දේශීය වෛද්‍යවරුන් පාරම්පරික රහස් පිට නොදීමෙන් ඇතිවූ අවුලයි. ඒ තත්වය යටත් විජිත පාලනය තුළ දේශීය දැනුම පිටස්තරයින් ගෙන් ආරක්ෂා කරගැනීමේ ක්‍රමයක් ලෙස ඓතිහාසිකව නිර්මාණය වූ උපායික යාන්ත්‍රණයකි. එසේ නොවූ වා නම් අපේ රටේ පුස්කොළ පොත් තොග පිටින් මංකොල්ල කා විදේශ කෞතුකාගාර පුස්තකාල වල සඟවා ගෙන සිටින පරයින්ගේ ග්‍රහණයට දැනුමේ අයිතියත් ලබා දී අවසන්ය. යුරෝපීයයන් පෙරදිග ලෝකය ආක්‍රමණය කළ එක හේතුවක් වූයේ පෙරදිග වැසියන් සතුවූ පැරණි දැනුම හා තාක්ෂණය එකතු කිරීමයි. ඇත්තටම යුරෝපියන් ගේ මුල් යුගයේ ඖෂධ සංග්‍රහ ගැන සොයා බැලුව හොත් පෙනීයන්නේ ඒවායින් බහුතර දැනුම පෙරදිග ශාක හා ස්වභාවික ඛනිජ ද්‍රව්‍ය ඇසුරෙන් උකහා ගත් කරුණු මත පදනම් ව ඇති බවයි. බ්‍රිතාන්‍ය ඖෂධ සංග්‍රහයේ පළමු පළකිරීම සිදුවන්නේ 1821 දී ජෝන් ඩේවී අපේ වෙදකමට කළ අපහාසයෙන් අවුරුදු 43 කට පසු 1864 දීය.  එහි ඉඟුරු, කහ, කුරුඳු, කොත්තමල්ලි, සූදුරු, සතකුප්ප, මහදුරු, එඬරු තෙල්, සාදික්කා, වසාවාසි, කපුරු, ජයපාල, ගොඩකදුරු, අබිං, කංසා, දුම්මල, කස්තුරි, ආදී මෙකී නොකී බොහෝ ආයුර්වේද ඖෂධ බොහොමයක් ඇතුළත් විය. මෙහි වර්තමාන මාදිලිය ලෙස අද සමහර දොස්තර ලා  දේශීය ආහාර, පාරම්පරික වී වර්ග වෙනුවෙන් පෙනී සිටින්නේ ද එහි මුල් උරුමකරුවන් අමතක කරමින් එහි ගෞරවය තමන් වෙත ලියා ගෙනය. අපේ සංස්කෘතියේ මුල් වැනසූ යුරෝපීය අධිරාජ්‍යවාදීන් ගේ උපදෙස් අනුව මව්කිරි වෙනුවට පිටිකිරි සමාජගත කළ දොස්තර මහත්තුරු අද ඔවුන්ගේ දැනුමක් ලෙස මව්කිරි ගුණ වයන්නේ අපේ දේශීය සම්ප්‍රදායට කිසිදු ගෞරවයක් නොදෙමිනි. එහෙත් අද වන විට ආයුර්වේද බෙහෙතක් බි දොස්තර ළඟට යන රෝගියාට බලු බැනුම් අසන්නට සිදුවේ. ඉස්පිරිතාලයේ සිටින ලෙඩුන් හට ආයුර්වේද බේතක් දෙන්නේ දොස්තරට හොරෙන්ය. ඒ නීතිය කඩ කළහොත් දොස්තරලා ගේ ඇනුම් බැනුම් වලට අමතරව නර්ස් ලා ගේ රවුම් ගෙරවුම් වලට ද ලක් විය යුතුය.

අවි බලයෙන් අපේ රටවල් අත් පත් කරගත් ඔවුන් ස්වාභාවික සම්පත් හා මානව සම්පත් සියල්ල විනාශ කොට ඔවුන්ගේ පරිපාලනමය, අධ්‍යාපනික හා ආර්ථික ක්‍රමය ලංකාවේ ස්ථාපනය කර අපේ ජාතික උරුමයන් දේශපාලනික වහල් භාවයට පත් කළ බව කවුරුත් දනියි. අදටත් මේ දොස්තර ලා වඳින පුදන බටහිර දැනුමේ අයිතිකරුවන් මේ රටේ බටහිර වෛද්‍යක්‍රමය ස්ථාපනය කළේ අපේ ජනතාවට ආදරේ නිසා නොව ඔවුන්ගේ වැවිලි ආර්ථිකයේ සුබසාධනය පිණිසය. පාරම්පරික වෙද මහතුන් ගේ දැනුම බදා නොදෙන්නේ ඇයිදැයි විස්සෝප වී සිටින්නේ ගෝලීය ආධිපත්‍යය දරන යුරෝපීය දැනුම් පද්ධතියේ පැවත්ම සඳහා ඉතිරී දේශීය බුද්ධිමය දේපළ ටිකත් අත්පත් කර ගැනීමේ පවිටු චේතනාව ඇතිවය. බටහිර වෛද්‍ය දැනුම හා සේවාවන් මෙරට ප්‍රචලිත වීමට පෙර මේ රටේ මිනිසුන් ගේ සෞඛ්‍ය තත්වය ඉතා පහළ මට්ටමක තිබු බව පෙන්වන්නට ඔවුන් කරන උප්පරවැට්ටිය නම් යටත් විජිත යුගයේ සංඛ්‍යා ලේඛන උස්සා පෙන්වීමයි. ඒ යුගයේ සෞඛ්‍ය දර්ශක පහළ වැටී ඇත්තේ පර සුද්දන්ගෙන් ගේ යකඩ සපත්තුවට යට වී තිබු සමාජ ආර්ථික පාරිසරයක ජිවත් වූ තමන්ගේ සංස්කෘතික උරුමයන් හි පිහිට නොලැබූ ස්වභාවික සම්පත් මත රැකවරණය ලැබූ ජිවන රටාව බිඳ වැටුණු සියවස් හතරක් පුරා කුරිරු ලෙස සූරාකෑමට ලක් වූ නිසා බව මුන්ට නොතේරෙන්නේ තවමත් පරගැති මානසිකත්වයෙන් පසුවන නිසාය. එදා බටහිර රෝහල් මෙරට ඇති කරන්නට පෙර ජාතික සෞඛ්‍ය රැකබලා ගත්තේ දේශීය වෛද්‍යවරුන්ය. ගමේ සර්ප දෂ්ටයෙන් ජිවිත බේරා ගත්තේ ඔවුන් ය. මව්වරුන්ගේ හා දරුවන්ගේ ජිවිත බේරාගත්තේ වින්නඹු මාතාවන්ය. ඔවුන්ට උපදෙස් දුන්නේ ගමේ වෙදුන් ය. අන්තිමට බටහිර වෙදකමේ අශික්ෂිත ව්‍යාපාරික සෙවනැල්ල අද වනවිට මුළු සමාජයම ගිල ගෙන ඇතිවා පමණක් නොව දේශීය වෙදකමේ පැවත්මට ද අභියෝග කරයි.

1999 දී පළවු James Le Fanu ගේ The Rise and Fall of Modern Medicine හා 2002 දී Bill Sardi පළ කළ The Collapse of Conventional Medicine යන ග්‍රන්ථ කියවීමෙන් බටහිර වෙදකමේ විස්මිත දියුණුවෙන් හිස් උදුම්මවා ගෙන සිටින කොයි දොස්තරලාටත් ගුණය. එම ග්‍රන්ථය විස්තර කරන නවීන වෛද්‍ය ක්‍රමයේ තීරණාත්මක අවස්ථා දොළහ සහ එහි බුද්ධිමය රික්තකය ගැන පවතින විවේචනය නොසලකා මේ අර්බුදය විසඳිය නොහැකිය. පසුගිය සියවසේ ඉතා දරුණු ඛේදවාචකය වූ බහුජාතික සමාගම් හරහා ව්‍යාප්ත වූ ඖෂධ මාෆියාව රෝගීන්ගේ මුදල් සූරාකන අයුරු Marcia Angell 2005 දී ලියා පළකළ The Truth About the Drug Companies: How They Deceive Us and What to Do About It නමැති කෘතිය තුළ මැනවින් විස්තර වේ. එම වසරේදීම Ray Moynihan  සහ  Alan Cassels විසින් පළ කළ Selling Sickness: How the World's Biggest Pharmaceutical Companies Are Turning Us All Into Patients නමැති ග්‍රන්ථය ද මේ ඖෂධ මාෆියාවේ භයානක ප්‍රතිඵල මැනවින් විස්තර කරයි. එසේම 2005 දී පළවූ Carolyn Dean ගේ Death by Modern Medicine නැමති ග්‍රන්ථය නවීන වෛද්‍ය ප්‍රතිකාරයේ ගොදුරු බවට පත්වූ සමාජයේ ඉරණම කදිමට කියා පායි. Ray Strand විසින් 2006 දී පළ කළ Death By Prescription: The Shocking Truth Behind an Overmedicated Nation නමැති පොත තුළ කියැවෙන පරිදි වෛද්‍ය වෘත්තිකයින් ගේ අනුදැනුම ඇතිව හානියට පත්වන රෝගී ජිවිත නිසා සමාජයේ බටහිර ඖෂධ නිසා නව සෞඛ්‍ය අර්බුදයක් බිහිවෙමින් පවතින බව පෙනේ. Shannon Brownlee විසින් 2008 දී පළ කරන ලද Overtreated: Why Too Much Medicine Is Making Us Sicker and Poorer ග්‍රන්ථය ද තව දුරටත් විස්තර කරන්නේ සමාජය මත අනවශ්‍ය ලෙස පටවා ඇති ඖෂධ වල බර නිසා සිදුවන අනර්ථයයි.  2011 දී H. Gilbert Welch, Lisa M. Schwartz, Steven Woloshin යන කතුවරුන් විසින් පළ කරන ලද Overdiagnosed: Making People Sick in the Pursuit of Health නැමති ග්‍රන්ථය විස්තර කරන්නේ අනවශ්‍ය ලෙස රෝග නිර්ණය කිරීමෙන් ඇතිවන අනිටු පලවිපාක සම්බන්ධයෙනි.

ඖෂධ මාෆියාවේ ඒජන්තයින් ලෙස අසරණ රෝගීන් සූරාකන දොස්තරලා නිදහස් අධ්‍යාපනයේ යහපත් පාර්මාර්ථ කෙලසන බව නොකිවයුතුය. ඔවුන් ගේ නොසැලකිල්ල හා අනවශ්‍ය ඖෂධ නියම කිරීම නිසා හානියට පත් වන රෝගීන්ගේ ජිවිත ගැන වග කියන්නේ කවුද? Joshua A. Perper හා Stephen J. Cina විසින් 2010 දී ලියා පළ කළ When Doctors Kill: Who, Why, and How මේ ඛේදවාචකය මැනවින් විස්තර වේ. බටහිර වෙදකමේ මානව ධර්මතා පිරිහෙමින් තිබෙන මේ යුගයේ එහි තාක්ෂණික ප්‍රගමනය වේගයෙන් මිනිස්කමේ සදාචාර සීමාවට පය තබා ඉන් ඔබ්බෙහි ඇති මුදල් දෙසට කෙල හලමින් සිටී. එනිසා දොස්තරලා රෝගීන්ගේ වකුගඩු ගලවා විකුණන පහත් ගණයේ රකුසන් බවට පත්ව ඇත. අසරණ රෝගීන්ගේ පසුම්බිය සුද්ද කර ජිවත් වන මං පහරන්නන් ගේ තත්වයට වැටුණු බටහිර වෛද්‍ය වෘත්තීකයින් තව දුරටත් රෝගීන් ගේ යහපත වෙනුවෙන් කැප වී සිටී දැයි සමාජය විමසන දිනය ලං වෙමින් තිබේ.  Dr. Erika Schwartz විසින් 2015 දී පළ කළ Don't Let Your Doctor Kill You: How to Beat Physician Arrogance, Corporate Greed and a Broken System නමැති ග්‍රන්ථය බටහිර වෛද්‍ය වෘත්තීය වාණිජ පරමාර්ථ තුළ දුෂණය වී ඇති අයුරු මැනවින් විස්තර කරන අතර දොස්තර මාෆියාව අහිංසක රෝගීන් ගේ ජිවිත පරදුවට තබා මුදල් උපයන අයුරු පැහැදිලි කරයි. ඇත්ත කතාව නම් බටහිර වෛද්‍ය ක්‍රමය බොහෝ හපන්කම් කරන්නේ තාක්ෂණික මෙවලම් හා ඒ ඇසුරෙන් ගොඩනැගුනු ඉංජිනේරුමය හැකියාව නිසා බවය. එය අද සමාජය පාලනය කරන ශිල්පාධිපත්‍යය (technocracy) බවට පත් කරගැනීම ලැජ්ජාවට කාරණයක් වන අතර ඉංජිනේරුමය සළුපිළි ගැලවූ දිනෙක බටහිර වෙදුන් ට විලිවසා ගන්නට ඉතිරිවන්නේ ඉතා කුඩා දැනුම් සළුවකි.

(බටහිර වෛද්‍ය ක්‍රමයේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටිස් ගේ ප්‍රතිඥාව තුළින් ගෞරව කරන්නේ වෛද්‍ය විද්‍යාවට අධිපති දෙවියන් වූ ඇස්ක්ලේපියස් හටය. ඔහුගේ සරයැටියේ එතුණු සර්පයා මුල් යුගයේ ග්‍රීක දේව කතා වල සුවකිරීමේ බලය සහිත වූ සංකේතය ලෙස සැලකිණ.)


වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

Tuesday, May 9, 2017

ආයුර්වේදයට සීතාම්බර සළු පොරවන සන්නාලියන් ගේ “ගිලෙන නැවේ සාදය”


ලෝකයේ නව සොයා ගැනීම් සියලු ජාතීන් අතර හැමදාම සිදුවුව ද ඒවාට වටිනාකම් ලැබෙන්නේ ගෝලීය වෙළෙඳ පොළ බලවේග අවශ්‍යතාව අනුවය. එසේම ඒ ඒ ජාතීන්ගේ දේශපාලනික දෘෂ්ටිවාද ලෝක බලවතුන් ගේ සංවර්ධන න්‍යාය පත්‍රය හා ගැලපෙන ප්‍රමාණය අනුව එම සොයාගැනීම් වල වැදගත්කම තීරණය වෙන බව බොහෝ දෙනා නොදනී. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ යැයි හංවඩු ගැසූ රටවලට විද්‍යාව හා තාක්ෂණය ලබා දිය යුත්තේ දියුණු යැයි සම්මත රටවල් විසින් බවට පිළිගැනීමක් අප තුළ බිහිකොට ඇත. එනිසා විද්‍යාත්මක පර්යේෂණ නියැලෙන අපේ විද්වතුන් වුවත් සිය නව නිමැවුම් එළි දක්වන්නේ ඒ ගෝලීය මොඩලය හරහාය. අපි දන්නා අපිට පෙනෙන අපිට දැනෙන අපි පිළිගන්නා නව නිපැයුම් වල වටිනාකම් හා වැදගත්කම් තීරණය වන්නේ තොරතුරු සංනිවේදන මාධ්‍ය මගින් අප තුළ නිර්මාණය කරන "සාමූහික නොදැනුවත්කම" ට සාපේක්ෂවය. මේ ආකෘතිය ගොඩනගන්නේ මා අදහස් කළ සාමූහික නොදැනුවත්කම හෙවත් සමාජගත විපරීත බුද්ධිය අප තුළ නිර්මාණය කිරීම හෝ චින්තනයේ කොටසක් ලෙස ස්ථානගත කිරීම හරහා. මෙයින් ඇති වන "දෘෂ්ටිවාදී විලම්බනය" නිසා සාමාන්‍ය විතර්ක බුද්ධිය හා තර්කන හැකියාව සාපේක්ෂව පහළ යනවා. එවිට අපි සිතන්නේ වෙළඳ පොළ අවශ්‍යතා අනුව. ඔවුන් නිපදවන දේ මිළදී ගැනීමට අප තුළ අවශ්‍යතා ද නිර්මාණය කරනවා. අපේ ජන සමාජය ඔවුන් ගේ නිෂ්පාදන මිළදී ගන්නා, ඒවා පාවිච්චි කරන, ඒවා අගයන, ඒවා අන් අයට හඳුන්වා දෙන, ඒවා අපේ ඊළඟ පරපුරට හුරු කරන මෝඩ පාරිභෝගිකයින් පිරිසක් බවට පත් කොට හමාරය. ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙන යාමේ මුලික කොන්දේසිය වන්නේ මේ ගෝලීය දෘෂ්ටිවාදය නිසි ලෙස තේරුම් ගැනීමය. ආයුර්වේදය පිළිබඳ වෘත්තීය අභිමානය ගොඩ නැගීම සඳහා වෙළෙඳ පොළ බලවේග හැසිරෙන අයුරු වෘත්තිකයින් හට තේරුම් බේරුම් කර දීමේ හෝරාව එළඹී තිබේ. 

ලෝකයේ ආර්ථික විද්‍යා න්‍යායන් අනුව මිළදී ගැනීමේ හැකියාව සහිත පාරිභෝගිකයින් බිහිකිරීමෙන් අපි අමාරුවෙන් හරි හම්බ කරන මුදල් ඔවුන්ගේ නිෂ්පාදන මිළදී ගැනීමට යොදන විට ඔවුන් සමෘද්ධිමත් ජාතින් බවට පත්වේ. එම රටවල සාමය පවත්වා ගෙන යාමට අපි යුද්ධ කළ යුත්තෙමු. ඔවුන් ගේ බඩකට පුරවන්නට අපි කුසගින්නේ සිටිය යුත්තෙමු. ඔවුන් ගේ රටවල හරිත ආචරණය අවම කිරීමට අපි අපේ වනාන්තර සුරැකිය යුත්තෙමු. ඔවුන් ගේ කාබන් විමෝචනය අඩු කිරීමට අපි තිරසාර සංවර්ධන ඉලක්ක කරා යා යුත්තෙමු. ඔවුන් ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට අපි එන්නත් ලබා ගත යුත්තෙමු. මේ ක්‍රියාදාමය තවත් මට සිලුටු කිරීමට ඔවුන් වෙත අපේ සම්පත් විකිණීමට අවශ්‍ය මග පෙන්වීමත් ඊට පහසුකම් සැපයීමත් කරයි. අපේ රටවල විද්වතුන් ඔවුන් සඳහා සේවය සපයමින් ඔවුන් ගේ ගීතයට අනුව රංගනය කරයි. ඒ ස්වාමියාගේ හඬට (his master’s voice) වැනෙන නැටවෙන වහලුන් ගේ බුද්ධියයි. අපි හඳුනා ගත යුත්තේ මේ ස්වාමියාගේ හඬ එන්නේ කොහෙන්ද යන්නට වඩා එහි සැඟවුණු අරුත කුමක්ද යන්නයි. ආයුර්වේදයට අත් වෙමින් පවත්නා ඉරණම විග්‍රහ කිරීමට මෙන්ම එය තේරුම් ගැනීමටත් මේ පසුබිම තුළින් වියුක්ත වූ මොඩලයක් සොයා ගැනීමට නොහැකිය. මේ තත්වය ගැන නිසි අවබෝධයක් නොමැති සන්නාලියන් මසා දෙන සීතාම්බර සළු පොරවා ගෙන ආයුර්වේදය ජාත්‍යන්තරය ගෙන යන්නට දත කන බොහෝ දෙනා පිටස්තරයින් ගේ පදයට රුකඩ මෙන් නැටවේ. ඔවුන් දෙස බලා සිටින නව පරපුරේ සමහර වෘත්තිකයින් ද ඊට නොදෙවැනි ලෙස මේ සීතාම්බර සළුව ගැන ගුණ වයයි. ගොනාට ඇන්දවීම හා ගොනාට ඇඳීම යන දෙකම එකිනෙකට නොදෙවැනි ලෙස මේ ප්‍රගුණ කළ මේ සන්නාලියන් අපේ ක්ෂේත්‍රයට කරන හානිය ගැනයි මේ ලියන්නේ. 

ආයූර්වේද ක්ෂේත්‍රය පාලනය කරන්නේ වෛද්‍යවරුන් නොවේ. ප්‍රධාන ආයතන වල මුල් පුටු වල වැජඹෙන්නේ වෛද්‍යවරුන් නොවේ. ඉඳ හිට හෝ ඉහළ තනතුරකට වෛද්‍යවරයෙකු පත් කළත් එබඳු අය වැඩ කරන්නේ පරිපාලන නිලාධාරී මාෆියාවේ අතකොලු ලෙසිනි. දුර්වලයොන් තනතුරු වලට පත් කොට පසුව වෛද්‍යවරුන් පරිපාලනය නොහැකි යැයි මතයක් ඇති කරන්නේ ද මේ මාෆියාව විසිනි. අපේ සෙසු වෛද්‍යවරුන් බහුතරය ද නිලධාරි මාෆියාවේ අකටයුතුකම් ඉවසා සිටින්නේ නිවට කම නිසා යැයි මේ මාෆියාව සිතයි. එනිසා ඔවුන් සියලු වරප්‍රසාද විඳිමින් වෛද්‍යවරුන්ගේ ඔලුවට අත සෝදයි. වෛද්‍යවරුන් ගේ වෘත්තීය අයිතිවාසිකම් වලට පයින් ගසා ඊට එරෙහිවන්නන් මර්ධනය කිරීමට සියලු යටි උගුල් අටව‍යි. සමහර පාවාදෙන්නන් සිය නීච ගති නිසා මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ලෙස නිලධාරී මාෆියාවේ කටු ලෙවකයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් අතර ද මේ තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බව අමතක නොකළ යුතුය. පිටස්තරයින් අපේ ආයතන තුළ මුල් පුටු වල ඉඳ ගැනීමත් ඔවුන්ගේ වහලුන් අනුගාමිකයින් සේ වාසි ලැබීමත් ගෞරවයක් සේ සලකන විද්වතුන් ශාස්ත්‍රඥයින් ලෙස සලකන්නේ කෙසේ දැයි ගැටලුවකි පෞද්ගලික වාසි සඳහා ආයතනික අභිමානය හා වෘත්තීය අනන්‍යතාව පාවා දෙමින් සහචරයින් ගේ සුබසිද්ධිය වෙනුවෙන් පිටස්තරයින් ගේ පය ලෙවකන අය කිසි දින පොදු අරමුණු වෙනුවෙන් පෙනී නොසිටී. එබඳු අය ආයූර්වේදය ගැන ගුරුහරුකම් ගන්නේ මෙකී පිටස්තරයින් ගේ මහා දැනුම් කෝෂ පරිශීලනය තුළිනි. ඔවුන් අනුගමනය කරන සමහර සිසුන් තුළ ද පරාධීනත්වය හා වහල්බව මුල සිටම රෝපණය වන අතර ඔවුන් ද මේ පරගැති ආකල්ප වල ගොදුරු බවට පත් වේ. ආයුර්වේදය ක්ෂේත්‍රයේ මුල් පුටු හෙබවූ බොහෝ පිටස්තරයින් ඒවා අත් හැර ගියේ කැමැත්තෙන් නම් නොවේ. ඔවුන් සමහර විට ආයුර්වේද සංගම් අටවා ගෙන හෝ ආයූර්වේදය තුළින් යැපෙන ව්‍යාපාරිකයින් ගේ පිහිටෙන් අනියම් වාසි ලබමින් හැසිරෙන බව නිසැකය. ඔවුන් සැම විටෙකම මාන බලන්නේ නැවත තනතුරක් ඩැහැගන්නට හෝ තමන්ගේ හෙන්චයියන් හරහා කුමන්ත්‍රණ දියත් කරන්නට ය. අපි ප්‍රවේශම් විය යුත්තේ මේ පිටස්තරයින් හා ඔවුන් ගේ අනුගාමිකයින් ක්ෂේත්‍රය තුළ සිය බලය තහවුරු කිරීමේ කුමන්ත්‍රණය වෘත්තීය අභිමානයට බරපතල අභියෝගයක් නිසාය. දැන් එළඹ ඇත්තේ එය පරාජය කිරීමේ හෝරාවයි. ගෝස්තරය නිසා ඊට සහාය නොදෙන පාවාදෙන්නන් පිටුදකිමු. ඒ සඳහා පුලුල් වෘත්තීය සන්ධානයක් හරහා ප්‍රගතිගාමී බලවේගයක් ගොඩනැගිය යුතුය.

පසුගිය දින කිහිපයේ දී ආයුර්වේද ක්ෂේත්‍රය තුළ බොහෝ දේ සිදුවිය. ඒවායින් බොහෝ දේ සිදු නොවිය යුතුව තිබිණ. තමන්ගේ ම සගයන් ගේ බෙලි කපන්නට ගොස් තම ආයතන වල අනාගතය බිල්ලට දුන් නරුමයින් ද ඒ අතර සිටී බව දුටිමු. බලය උදෙසා වන සිහින සැබෑ කරගැනීමට ඕනෑම තුප්පහි වැඩක් කරනවාට වඩා වැදගත් වන්නේ උසස් වෘත්තීය සංයමයක් හා ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් ක්ෂේත්‍රයක් ගොඩනැගිය හැකි ද යන්නයි. ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙන යා හැක්කේ එය පිටස්තර බලවේගයන්ට පාවා දීමෙන් නොව එහි වෘත්තීය බලය වර්ධනය කිරීමෙන් බව නොදන්නා අලජ්ජි විද්වතුන් සිසුන් නොමග යවන්නේ හුදු බඩගෝස්තරය සඳහා මිස අන් කිසිදු යහපත් අරමුණක් ඇතිව නොවේ. ආයුර්වේදයේ අනන්‍ය ලක්ෂණ මතුකර එහි ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය ඉස්මතු කිරීමට එරෙහිව සිසුන් ගේ සිත් දුෂණය කරන ශාස්ත්‍රීය ක්ලීවතාව ආයතන තුළ රජ කරවන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා සඳහා බව අවබෝධ කළ යුත්තෙමු. ආයූර්වේද ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා විප්ලවකාරී පිම්මක් පැනිය යුතු මොහොතක එකිනෙකා අතර කුලල් කා ගැනීම් ඇතිවීම යම් කම්පනයක් බව කිව යුතුය. මත ගැටුම් හා අදහස් වල නොගැලපීම් නිසා වාද විවාද ඇතිවීම ස්වාභාවික වුවත් ඒවා එකිනෙකාගෙ පෞද්ගලිකත්වයට හානි වන මට්ටමට ඇවිලීම සුබ ලකුණක් නොවේ. එබඳු ගැටුම් වලින් නිර්මාණය වන වියවුල තුළ බොර දියේ මාලු බාන බලවේග ක්‍රියාත්මක වීමත් ඒ අර්බුදය බඩගෝස්‍තරවාදීන් සිය වාසියට යොදා ගැනීමත් සිදුවේ. ආයුර්වේදයට සීතාම්බර සළු පොරවන මේ සන්නාලියන් ගේ ලිං මැඩි මානසිකත්වය නිසා සිදුවන විනාශය ඉමහත්ය. 

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සදාචාරය රැකීමේ ලා වගකියන ආයුර්වේද වෛද්‍ය සභාවේ ෂණ්ඩක ප්‍රතිපත්‍ති හා එහි අලජ්ජී නිලධාරින් ගේ දූෂණ හේතුවෙන් වෙදනම කෙලසන වෙදකම වනසන හොර වෙදුන් රට පුරා රජ කරයි. ඒ කෙරෙහි ඇතිවන වෛරය හා ද්වේෂය නිසා නියම පාරම්පරික වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගෞරවයට හානි නොකළ යුතුය. එසේම පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂාකිරීම වෙනුවෙන් උරදෙන සංවිධාන අවංක ලෙසම හොර වෙදුන් සිය සීමාවෙන් පන්නා දැමිය යුතුම ය. ආයුර්වේද ක්ෂේත්‍රයේ නව නීති සම්පාදනය කරන සෑම අවස්ථාවකම අපි මුහුණ දුන් අභියෝගය වූයේ පාරම්පරික වෙදකම මුවාවෙන් රෝගීන් සුරා කන ඇතැම් හොර වෙදුන් ගේ මුදලින් යැපෙන සට්ටැඹියන් විසින් අටවා ගත් සංවිධාන වල විරෝධයට සාධනීය යෝජනා යටපත් වීමයි. මේ වන විට අපි හඳුනා ගත් ප්‍රධාන අභියෝගය වන්නේ ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය නිසි ලෙස ස්ථානගත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමයි. එහිදී රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් ගේ වගකීම හා කැපවීම ඉතා වැදගත් ය. එසේම රාජ්‍ය සේවයෙන් පිට පෞද්ගලික සේවා සලසන වෘත්තිකයින්ගේ වෘත්තීය ගුණාත්මකභාවය ද ඊට දෙවැනි නොවේ. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ගොඩ නැගීමට ඇවසි පාරම්පරික වෙදකමේ දැනුම් සංරක්ෂණය හා එහි අනාගත උපයෝගීතාවයි. මේ කරුණු වඩා පුලුල්ව හා ගැඹුරින් සංවාදයට බඳුන් කළ හැකි වේදිකාවක් තුළ මත ගැටුම් ඇතිවන්නේ නම් එය සතුටුදායකය. එනිසා අපි වාද විවාද කළ යුත්තේ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හේතු වන තේමාවන් ඔස්සේ බව නැවතත් ලියමි. ආයුර්වේද ක්ෂේත්‍රයේ බොහෝ දෙනා සිටින්නේ “නැව ගිලුණත් බෑන් චූන්” මානසිකත්වයෙනි. ඊට හේතුව ඔවුන් ඉතා කුඩා දේවල් වලින් සතුටු කළ හැකි මෙන් ම තමන්ට සිදු වන අගතියක් විනාසයක් හෝ පාඩුවක් හමුවේ ඉතා සරල බොරු වලින් රැවටිය හැකි නිසාය. ඔවුන් දේශපාලනඥයින් සහ රජයේ නිලධාරින් කියන දේ හිස් මුදුනින් පිළිගන්නා අතර එබඳු දේ තුළින් නිසැකව තමන්ගේ සුබසිද්ධිය සිදුවන බව ද විශ්වාස කරයි. එනිසාම මැතිවරණ පොරොන්දු සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශන කෙරෙහි අසීමිත බැති සිත් උපදවයි. එහෙත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරන්නේ තර්කානුකුල පදනමක් මතය. අපි පෙන්වා දිය යුත්තේ ආයුර්වේදය සඳහා රජය මුදල් වෙන් කළ යුත්තේ ඇයි? යන්නයි. එසේ නැතහොත් රජය ආයුර්වේදය දෙස බලන්නේ අනුකම්පාසහගත ලෙස පවත්වා ගෙන යා යුතු පුණ්‍ය සේවාවක් ලෙසය.

සයිටම් තීන්දුවෙන් දොස්තර සංහතිය කුජීත වී යැයි සියුම් ප්‍රීතියක් ඇති වන හැම විටම ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තීරණය කිරීමේ බලය අධිකරණය සතු කර ගැනීමේ අවදානම ගැන ඇතිවන්නේ කළකිරීමකි. සයිටම් ආයතනයේ බිහිවීමට මෙරට අශික්ෂිත දේශපාලනය හා අශිෂ්ට ආර්ථික ත්‍රස්තවාදය වගකිව යුතුවාක් මෙන්ම එහි පැවැත්ම නිර්බාධිතව තහවුරු කිරීමට වෛද්‍ය සභාවේ අවිනිශ්චිත නිශ්ශබ්දතාව ද බලපෑ බව කිව යුතුය. දොස්තරලාගේ ගෝත්‍රික ආකල්ප හා අවෘත්තීය ධනවාදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්වාගෙන ගිය ඒකාධිකාරය වෛද්‍ය සභාවේ දේශපාලනික අධිපතිවාදය මගින් සුරතල් කරනු ලැබුවා මිස එහි සමාජ බලපෑම තේරුම් ගත්තේ නැත. සයිටම් කෙරෙහි නිදිමත කුසීත ප්‍රතිපත්තියක් අනුගමනය කළ වෛද්‍ය සභාව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් උසාවි යන තෙක් නින්දෙන් ඇහැරුණේ නැත. වෛද්‍ය සිසුන් වෙනුවෙන් අනෙක් සිසුන් පාරේ කඳුලු ගෑස් රබර් උණ්ඩ වලට මුහුණ දෙන තෙක් මෙඩ්ඩන්ට රිදුණේ නැත. රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩි වැටුපට වාහන බලපත්‍රයට ජාතික පාසැල් වලට රෝගීන් බිල්ලට දුන්නා මිස සයිටම් නිසා චැනල් වර්ජනය කළේ හෝ වේලක් නොකා උපවාස කළේ නැත. මෙරට වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමේ නීතිමය බලය ඇතැතිව සිටි වෛද්‍ය සභාව ආයුර්වේද වෛද්‍යවරුන්ට පුප්පන පෙනයවත් සයිටම්ලාට පිප්පුවේ නැත. මේ ආයතනය පිහිටුවා පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවාගත් විගසම නීතිය ඉදියට ගොස් සිය බලය ක්‍රියාත්මක කරන්නට තරම් උවමනාවක් ඔවුන්ට නොතිබුණේ ඇයි ද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. වසර 5 ක් ඉගෙනගත් සිසුන්ගේ ඒ වරදට වන්දි ගෙවිය යුතුද යන මානුෂික ප්‍රශ්නයට දැන් පිළිතුරු සෙවිය යුතුය. අවම වශයෙන් සයිටම් ආයතනය රජයට පවරා ගෙන එහි ගුණාත්මක බව වැඩි දියුණු කිරීම හා සිසුන් හට කඩඉම් යෝග්‍යතා විභාගයක් පවත්වා මේ අර්බුදය නිමවා ගැනීම මීළඟ සාධනීය පියවර වන්නේය. එහෙත් වෛද්‍ය සභාවම ගුණාත්මකභාවයෙන් තොර යැයි නිගමනය කළ සයිටම් දොස්‍තරලා ඔවුන්ටම ලියාපදිංචි කිරීමට සිදුවුවහොත් සභාපති පමණක් නොව මුලු වෛද්‍ය සභාවම හාරාකිරි ක්‍රමයෙන් දිවි තොර කර ගැනීම ගෞරවාන්විතය. මන්ද එසේ නොවුව හොත් බටහිර වෛද්‍ය සභාව ආයූර්වේද වෛද්‍ය සභාවටත් අන්ත අසරණ කුජීත තත්වයට පත්වන නිසාය.

ආයුර්වේද වෛද්‍ය සභාව පසුගිය කාලය තුළ ක්ෂේත්‍රයේ සිදුවූ පරිහානියට වගකිව යුතු ආයතනය බව බොහෝ නිලධාරින් දන්නා නමුත් අන්‍යොන්‍ය වාසි නිසා ලේඛකාධිකාරීවරයාගේ දුෂණ හා අක්‍රමිකතා වසන් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ප්‍රසිද්ධ රහසකි. අභිමානවත් වෘත්තියක් ලෙස ආයුර්වේද වෛද්‍යවරුන් හට සමාජයේ පෙනී සිටීමේ අනභිභවනිය අවස්ථා අහිමි කරනු ලැබුයේ නිතිය වල් වදින විට ආයුර්වේද වෛද්‍ය සභාව අහක බලා සිටීමේ ප්‍රතිඵලය විසිනි. නව නෛතික ප්‍රතිශෝධන යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ ලා බොරු පතුරුවන මෙහෙයුමේ මුලිකයා ලෙස නිලධාරි මාෆියාවේ සුරතලා ලෙස කටයුතු කරන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා බව නොරහසකි. මේ වන විට හොර වෙදුන් හා එක්ව මඩ ගැසීම් හා පෙත්සම් ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ ඔහු එළිපිට අදහස් දක්වන්නට තරම් කොන්දක් නොමැති හීන පෞරුෂයක් නිසාය. මා හිටපු ආයුර්වේද කොමසාරිස් ඇතුළු නිලධාරී මාෆියාවට ප්‍රසිද්ධියේ අභියෝග කරන විට ඔවුන්ට කළ හැකි එකම දෙය නම් මා සම්පත්දායකයෙකු ලෙස වැඩසටහන් වලින් වාරණය කිරීමයි. කෙලින් අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රතිපල ලෙස එබඳු අත්දැකීම් කොතෙකුත් අපි අත් විඳ ඇති අතර එනිසා මොවුන්ගේ ඒකාධිකාරය වැනසීමේ අරගලය අත්නොහරින බව පැහැදිලිව කිව යුතුය. ලෝකයේ ඉපැරැණිම වෛද්‍ය ක්‍රමයක් ලෙස වෛද්‍ය වෘත්තීය ආචාරධර්ම පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කළ ආයූර්වේදය වෘත්තීය ගුණාත්මකභාවය ඉහළින්ම සලකයි. බටහිර වෛද්‍යවරුන් හිපෝක්‍රටීස් ප්‍රතිඥාවට බැඳී සිටින ලෙස ආයූර්වේද වෛද්‍යවරුන් හට ද වෘත්තීය ප්‍රතිඥාවක් යළිත් හඳුන්වා දිය යුතුය. යළි හඳුන්වා දිය යුතු බව කීවේ අතීතයේ මුල්ම වෛද්‍ය ක්‍රමය ලෙස හිපොක්‍රටීස් ආචාර්‍යතුමාටත් පෙර ලොව එබඳු ප්‍රතිඥාවක් ලොවට ඉදිරිපත් කළේ ආයුර්වේදය නිසාය. මේ වන විට බලාත්මක වෘත්තීය ආචාරධර්ම පිළිබඳ නීතීය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අසමත් වෛද්‍ය සභාවක් ඇතිතාක් කුමන ප්‍රතිඥාවකින් වුව ඵලක් නොවේ. එහෙත් අනාගතයේ දී වඩා යහපත් සමාජ පිළිගැනීමක් සහිත වෘත්තීය තත්වයක් ආයූර්වේද වෛද්‍යවරයාට හිමි විය යුතුමය. මා ආයූර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීව සිටි යුගයේ වෘත්තීය ප්‍රතිඥාව නැවත හඳුන්වාදීමේ යෝජනාව සම්මත වී ප්‍රතිඥාවක් ද කෙටුම්පත් කළ නමුත් ඒ කාර්යය අතරමග නවතා දැමිණ. අද වන විට ආයූර්වේද වෛද්‍යවරයාගේ වෘත්තීය අභිමානය හා ගෞරවය ආරක්ෂා කිරීමේ ලා මෙබඳු ප්‍රතිඥාවක අවශ්‍යතාවය වඩාත් කැපී පෙනේ. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වල අවධානය යොමු වීම කාලෝචිත බවයි මගේ අදහස.

ඉතිහාසය දෙස බැලූ විට අපි අවබෝධ කරගන්නා සත්‍යය වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මුල් බැස ගන්නට අවශ්‍ය නිසි පහසුකම් සැපයීමේ වැඩසටහන අඩාල වී ඇති බවය. මේ ආයතන පිහිටුවීමේ ලා පුරෝගාමී වූ දේශීය වෛද්‍ය විශාරදයින්, සංවිධාන හා දේශපාලන නායකයින් ඉන් අපේක්ෂා කළ මහඟු සේවාව ලබා ගැනීමේ අසමත් පාලකයින් ඒවා තුළත් ඉන් පිටතත් කාලයක් පුරා මුල් පුටු වල කාලය කා දැමීමේ අනිටු විපාකය අද විඳිමින් සිටිමු. ඒවායින් බිහිවන උපාධිධාරින් මහ මගට ඇද දැමීමෙන් එහි ශෝචනීය ඉරණම සාමාන්‍ය මහජනයා ද අත්විඳිනු නිසැකය. මේ රටේ ජාතික උරුමයක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කරගැනීමේ මුලික වගකීම ඇත්තේ එහි අධ්‍යාපනය පවත්වා ගෙන යන ආයතන වලටය. වර්තමාන සමාජ අවශ්‍යතා වලට ගැලපෙන වෛද්‍යවරුන් බිහි කිරීමේ ශාස්ත්‍රීය වගකීම රැඳී ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළය. එසේම උපාධිධාරීන් බිහි කර අහක බලා ගෙන සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් ඔවුන්ට නැත. එහෙත් සමහර මුග්ධ බඩගෝස්තරවාදීන් කරන්නේ විශ්ව විද්‍යාලය තුළ නිකං බලා සිටිමින් එළියේ ටියුෂන් ක්‍රමයට උගන්වා මුදල් ගසා කෑමය. ඔවුන් ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගත් ලෙස විකුණන්නේ ඉන්දියානු පර්යේෂණ හරහා ඉදිරිපත් කළ දැනුමයි. මේ කුටිල කුහක මානසිකත්වයෙන් මිදී ඔවුන් සිය උපාධිධාරීන් හට වෘත්තීය අගයන් හා අභිමානය පවත්වා ගැනීමේ අවස්ථාව සැලසුම් කළ යුතුයි. මහජන මුදලින් බිහි කළ වෛද්‍යවරුන් අතරමං කිරීමට රජයට ද කිසි අයිතියක් නැත. එය සිය ජාතික මානව සම්පත් සැලැස්මේ කොටසක් විය යුතුය. එසේ නොමැතිව උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ගේ ශ්‍රමය, දැනුම හා බුද්ධිය නාස්තිවීමට ඉඩ හරින්නේ පසු ගිය දශක කිහිපයක් පුරා සිදු වූ මේ දේශපාලනික අත්වැරැද්ද නිසාය. උපාධියෙන් පසු ඔවුන් මුහුණ දෙන සමාජ ආර්ථික ප්‍රශ්න ගැන බලධාරින් හට අබමල් රේණුවක අවබෝධයක් නැත. එසේම රාජ්‍ය සේවාව තුළ මානව සම්පත් හිඟය නිසා ආයුර්වේද සේවාවේ ගුණාත්මක බව පිරිහෙමින් පවතින අතර වටිනා මානව සම්පත් අපතේ යමින් තිබේ. 

ආයූර්වේදය ඉන්දියානු සම්ප්‍රදායෙන් අප ලද උරුමයක් වුවත් අද වන විට එය නෛතික පිළිගැනීමට ලක් ව ඇත්තේ 1961 අංක 31 දරන ආයූර්වේද පනත මගින් ය. දේශිය චිකිත්සාවේ අනන්‍යතාව නෛතිකව ආයුර්වේදය තුළට ලඝු කොට ඇත්තේ ඒ අනුවය. එහෙත් අපි අභිමානයෙන් කථා කරන දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සුභාවිත චිකිත්සා ඥනය අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රණාලිය තුළ විධිමත් ව ස්ථානගත කර නොමැති බව මගේ පෞද්ගලික නිරීක්ෂණයයි. මීට දශක කිහිපයකට පෙර පූර්වගාමී විශ්වවිදාල ආයතන තුළ පැවති දේශීය චිකිත්සා පරිචය ක්‍රමයෙන් ආයතනික සම්ප්‍රදායන් තුළින් ගිලිහී ‍යාමේ තත්වයට වගකිව යුත්තන් කවුද? අපි ඉතා විවෘතව ස්වයං විවේචනයක් සහිතව මේ තත්වය පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ගොඩනැගිය යුතු කාලය එළඹ ඇත. ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත ච්කිත්සා ඥානයට පාදක වන දේශීය සම්ප්‍රදායන් ආයුර්වේද උපාධි පාඨමාලාව තුළ ‍ප්‍රතිස්ථාපනය කළ යුතු බව එයින් අවධාරණය කෙරේ. මෙහි වඩාත් වැදගත් ම පරමාර්ථය විය යුත්තේ උපාධිධාරී වෛද්‍යවරයා සමාජය තුළ වෘත්තීය අභිමානය සහිතව සුභාවිත චිකිත්සා කෞශල්‍යය හරහා ආයුර්වේදයේ උපයෝගීතාව ලොවට කියාපාන තත්වයට ගෙන ඒමයි. ආයුර්වේද අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශීය අනන්‍යතාව හෙවත් ශ්‍රී ලාංකේය සළකුණ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට මතු වී තිබේ. ගෝලීය ප්‍රවණතා ඉදිරියේ වඩා තිරසාර හා විචක්ෂණ අධ්‍යාපන ප්‍රණාලියක් සකස් කිරීමේ වගකීම විශ්වවිද්‍යාලට පැවරෙන අතර අපි ඒ අභියෝගය නිසි ලෙස අවබෝධ කර ගත්තේ ද යන්න නැවත සාකච්ඡා කළ යුතුය. ක්ෂේත්‍රයට ගැලපෙන හා පිළිගැනෙන පශ්චාත් උපාධි පාඨමාලා සැලසුම් කිරීමේ වැඩපිළිවෙළක් හා සියලු දෙනාට සම අවස්ථා සැලසීමේ ප්‍රතිපත්තියක් මේ සඳහා අවශ්‍යව තිබේ. යෝජිත "දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය" (Post Graduate Institute of Indigenous Medicine) තුළින් මෙම අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා විධිමත් සැලසුමක් හා පුළුල් සංවාදයක් අවශ්‍ය වන අතර එය සවිමත් කිරීමේ ලා සියලු පාර්ශ්වයන් හි සහයෝගය ලැබිය යුතුය. එවිට අනාගතයේ දී නිසි ප්‍රමිතියෙන් යුත් පශ්චාත් උපාධිධාරින් එකම ආයතනයකින් බිහි කිරීමේ ජාතික වැඩසටහන තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව සලකුණු කළ හැකිය.

සයිට්ම් ප්‍රශ්නයෙන් අපි උගත යුතු පාඩම් බොහෝය. ආයුර්වේද වෘත්තිකයින් වෛද්‍ය ගණයට ඇතුළත් කරන නීති සම්මත කරන දිනයේත් මේ විරෝධය දොස්තර නඩයෙන් එල්ල නොවුවහොත් පුදුමයකි. අපේ කොල්ලන් සයිට්ම් ප්‍රශ්නයේදී දොස්තරලාට දෙන සහාය අපේ ප්‍රශ්නයේදී ඔවුන් ගෙන් පෙරලා ලැබේදැයි සැකසහිතය. සීතාම්බර සළු පොරවා ගෙන උජාරුවෙන් දොස්තරලා සමඟ එකට හිටගන්නා විට ඔවුන් අපේ නිරුවත වර්ණනා කරයි. එහෙත් ඔවුන් ගේ ගෝත්‍රිකවාදී ආකල්ප නිසා වෘත්තීය කටයුතු වලදී අප හා එකට අසුන් නොගනියි. ආයුර්වේද වෛද්‍යවරුන් වෛද්‍ය ගණයේ ලා සැලකෙන වෘත්තිකයින් පිරිසක් ලෙස සැලකීමේ අවමානය මට වඩාත් ම දැනුනේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සාමාජිකයින් ලෙස අපේ නම් වලට ඉදිරියෙන් වෛද්‍ය යන්න යෙදීමට එරෙහිව බටහිර වෛද්‍යවරුන් විරෝධය පළ කළ අවස්ථාවේදීය. වෛද්‍ය ගණයේ වෘත්තිකයින් ලෙස නෛතික වරප්‍රසාදය ලබා ගැනීමේ අරමුණින් එදා සිට ඇරඹූ අරගලය කිසි දිනෙක අපි අත් නොහළෙමු. එසේම මේ නීතිමය ස්වෛරීත්වය අපගේ වෘත්තිකයින් හට ලබා දීමේ ලා කැප වූ බවට සාක්ෂි විනා එය පාවාදුන් බවට කිසිම සාක්ෂියක් ඇතිව අයෙකුට අභියෝග කළ නොහැකිය. මේ අර්බුදය විසඳාලීමට නම් අප ඉතා සාවධානව අපේ ක්ෂෙත්‍රයට අදාළ නෛතික ප්‍රතිශෝධන කිහිපයක් කළ යුතුව තිබේ. වෛද්‍ය නාමය හා එහි වරප්‍රසාද බටහිර වෛද්‍ය වෘත්තිකයින් හට ලැබෙන්නේ වෛද්‍ය ආඥා පනතේ විධි විධාන මගින් ය. පසු කාලීනව සම්මත කළ සෞඛ්‍ය අණපනත් හා වෙනත් ආනුෂාංගික නීති මගින් එය ඉතා අනුල්ලංඝනීය ලෙස ස්ථාපිත විය. වෛද්‍ය ආඥා පනත තුළම දේශීය වෛද්‍යවරුන් වෙනම කණ්ඩායමක් ලෙස අර්ථ දැක්විමෙන් හා පසුව සැකසුණු දේශීය වෛද්‍ය අණපනත් තුළින් එය එසේ පිළිගැනීම තුළින් ද අපි නෛතිකව වෛද්‍ය ගණයෙන් පිටමං කරනු ලැබූවෙමු.

එම තත්වය අපේ වෛද්‍ය සේවාවේ යෙදෙන වෘත්‍තිකයින් හට මෙන්ම විශ්වවිද්‍යාල වල උගන්වන ආචාර්යවරුන් හට ද ඉතා බරපතල ලෙස හානිකර වූ නමුත් ඊට යම් විසඳුමක් ලබා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් දියත් නොවීමෙන් ඒ තත්වය වඩාත් උග්‍ර විය. විශේෂයෙන් ම විශ්වවිද්‍යාලයේ උගන්වන ආචාර්යවරුන් වෛද්‍ය ගණයට අයත් නොවීමෙන් ඔවුන් ගෙන් බිහිවෙන උපාධිධාරීන් හට ද වෛද්‍ය ගණයට ඇතුළත් වීමේ සුදුසුකම අහිමි වේ. එය ක්‍රමයෙන් විෂම චක්‍රයක් ව ක්ෂේත්‍රයේ බොහෝ අර්බුදයන් නිර්මාණය කරද්දී තවත් පිරිසක් බටහිර ඖෂධ නියම කිරීමේ අයිතිය ඉල්ලා සිටීමේ තත්වය හමුවේ බටහිර වෛද්‍යවරුන් මේ ප්‍රශ්නයේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ශක්තිමත් කළෝය. කෙසේ වෙතත් එම බටහිර ඖෂධ ප්‍රශ්නය නිසා මේ අර්බුදය වඩාත් සංකීර්ණ වූ අතර වෛද්‍ය ගණයට අයත් නෛතික වරප්‍රසාද ඉල්ලා සිටින්නේ අනියමින් බටහිර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටීමේ උපායක් ලෙස බව බලධාරීන් ගේ අදහස විය. එනිසා මෙම ගැටලුව මතම බටහිර වෛද්‍ය සභාව එහි වෘත්තිකයින් හට අවිද්‍යාත්මක වෛද්‍යක්‍රම සමඟ එක්ව අධ්‍යාපන හෝ පර්යේෂණ කටයුතු වල නියැලිම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කළේය. එනිසා අපේ විශ්වවිද්‍යාල ආයතන වල ඉගැන්වීමේ යෙදී සිටි බටහිර වෛද්‍යවරු ඒවායින් ඉවත් විය.අපි ආයූර්වේද පනත සංශෝධනයේදී පවා මේ කණ්ඩායමේ අදහස් හා මතවාද නිසා දෙගිඩියාවට පත් වුණා. සමහර විට විශාල පසුබෑම් වලට මුහුණ දුන්නා. එනිසා ආයූර්වේදීය අනන්‍යතාවට හිමි විය යුතු නෛතික ස්වාධිපත්‍යය ගිලිහී ගියා. එහෙත් විවිධ මුහුණුවරින් මේ දෙමුහුන් සංකල්පය කරළියට එන අතර එහි බටහිර විද්‍යා විෂයයන් හි ඔතා සරසන ලද පිට ඔපයට රැවටෙන නව පරපුර එයින් තමන්ගේ වෘත්තීය අභිමානය ඇතිවෙතැයි විශ්වාස කරයි.

මේ වෛද්‍ය ගණයේ ගැටලුව හුදෙක් නීති ප්‍රතිශෝධනයක් මගින් පමණක් විසඳිය නොහැකි බව අපි ඉතා පැහැදිලිව පසක් කළෙමු. ඒ සඳහා ප්‍රතිපත්‍තිමය, නෛතික හා ආයතනික ප්‍රතිශෝධන අවශ්‍ය බවත් එය ක්‍රමානුකූලව හා විධිමත්ව සිදුකළ යුතු බවත් අපේ මතයයි. එහි මුල් පියවර ලෙස එකල බටහිර වෛද්‍ය සභාව සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉතිහාසයේ පළමුවරට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් පැවැත් වීය. එසේම ආයූර්වේද වෛද්‍ය සභාව වෙත මේ සම්බන්ධයෙන් මණ්ඩල පත්‍රිකාවක් මගේ අත්සනින්ම ඉදිරිපත් කළෙමි. එහෙත් මගේ රාජකාරි කාලයෙන් පසුව ඊට සිදුවූයේ කුමක් දැයි නොදනිමි. වෘත්තීය ගුණාත්මකභාවය හා ආයතනික බලය අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය අවබෝධ නොකිරීමේ ප්‍රතිවිපාක මේ ගැටලුවේ අවදානම ලඝු කොට සැලකූ බව පෙනේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිය වරප්‍රසාද අත්පත් කර නොගැනීමේ විපාකය ද වෘත්තිකයින් ගේ හිස මහ කඩා වැටුණු බව කිව යුතුය. ආයුර්වේද වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල ආයතන හා දෙපා‍ර්තමේන්තුවේ වෛද්‍ය සේවාව මේ අර්බුදය විසඳීමේ පාර්ශ්වකරුවන් විය යුතුය.ඊළඟ පියවර ලෙස අපි යෝජනා කරන්නේ නෛතික ස්වාධීනත්වය උදෙසා ක්ෂේත්‍රයේ ආයතනික ව්‍යුහය බලගැන්වීමේ මෙහෙයුම වහා කඩිනම් කිරීමයි. මෙවර ඒ සඳහා ලැබුණු අවස්ථාව අපට අනුව නම් ඉතා ප්‍රබල නියෝජනයකි. එමගින් ආයුර්වේද වෛද්‍ය සභාව, ආයුර්වේදය වෛද්‍ය සේවාව, ආයුර්වේද නෂ්පාදන, ආයූර්වේද ආයතන, ආයූර්වේද පර්යේෂණ, යන,ක්ෂේත්‍ර සඳහා වෙනම පනත් සම්පාදනය කිරීම මුල් අදුයර ලෙස ක්‍රියාත්මක කෙරේ. දෙපර්තමේන්තු ව්‍යුහය තුළ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ආයුර්වේද වෘත්තිකයෙකු පත් කිරීම ඊළඟ පියවරයි. යෝජිත නෛතික ප්‍රතිශෝධන තුළ අප වෘත්තිකයින් වෛද්‍ය ගණයට ඇතුළත් වන නීතිමය ප්‍රතිපාදන ඇතුල් කොට තිබේ. පුහුණුව හා නිපුණතාව මත වෘත්තිකයින් ප්‍රභේද කිරීමේ මූලධර්මය මෙහිදී යොදාගෙන තිබේ. මෙවර අපගේ යෝජිත විසඳුම පහසුවෙන් ළඟා කර ගත හැකි පරමාදර්ශී තත්වයක් නොවන බව අවබෝධ කරගත යුත්තේ ක්ෂේත්‍රය තුළත් මීට එරෙහි බලවේග ක්‍රියාත්මක වන නිසාය.

මේ වෛද්‍ය ගණයේ ගැටලුව හුදෙක් නීති ප්‍රතිශෝධනයක් මගින් පමණක් විසඳිය නොහැකි බව අපි ඉතා පැහැදිලිව පසක් කළෙමු. ඒ සඳහා ප්‍රතිපත්‍තිමය, නෛතික හා ආයතනික ප්‍රතිශෝධන අවශ්‍ය බවත් එය ක්‍රමානුකූලව හා විධිමත්ව සිදු කළ යුතු බවත් අපේ මතයයි. එහි මුල් පියවර ලෙස 2005 දී පමණ එකල බටහිර වෛද්‍ය සභාව සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉතිහාසයේ පළමුවරට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් පැවැත් වීය. එසේම ආයූර්වේද වෛද්‍ය සභාව වෙත මේ සම්බන්ධයෙන් මණ්ඩල පත්‍රිකාවක් මගේ අත්සනින්ම ඉදිරිපත් කළෙමි. එහෙත් මගේ රාජකාරි කාලයෙන් පසුව ඊට සිදුවූයේ කුමක් දැයි නොදනිමි. වෘත්තීය ගුණාත්මකභාවය හා ආයතනික බලය අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය අවබෝධ නොකිරීමේ ප්‍රතිවිපාක මේ ගැටලුවේ අවදානම ලඝු කොට සැලකූ බව පෙනේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිය වරප්‍රසාද අත්පත් කර නොගැනීමේ විපාකය ද වෘත්තිකයින් ගේ හිස මහ කඩා වැටුණු බව කිව යුතුය. ආයුර්වේද වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල ආයතන හා දෙපා‍ර්තමේන්තුවේ වෛද්‍ය සේවාව මේ අර්බුදය විසඳීමේ පාර්ශ්වකරුවන් විය යුතුය.ඊළඟ පියවර ලෙස අපි යෝජනා කරන්නේ නෛතික ස්වාධීනත්වය උදෙසා ක්ෂේත්‍රයේ ආයතනික ව්‍යුහය බලගැන්වීමේ මෙහෙයුම වහා කඩිනම් කිරීමයි. මෙවර ඒ සඳහා ලැබුණු අවස්ථාව අපට අනුව නම් ඉතා ප්‍රබල නියෝජනයකි. එමගින් ආයුර්වේද වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සේවාව, ආයුර්වේද නිෂ්පාදන, ආයූර්වේද ආයතන, ආයූර්වේද පර්යේෂණ, යන, ක්ෂේත්‍ර සඳහා වෙනම පනත් සම්පාදනය කිරීම මුල් අදියර ලෙස ක්‍රියාත්මක කෙරේ. දෙපර්තමේන්තු ව්‍යුහය තුළ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ආයුර්වේද වෘත්තිකයෙකු පත් කිරීම ඊළඟ පියවරයි. යෝජිත නෛතික ප්‍රතිශෝධන තුළ අප වෘත්තිකයින් වෛද්‍ය ගණයට ඇතුළත් වන නීතිමය ප්‍රතිපාදන ඇතුල් කොට තිබේ. පුහුණුව හා නිපුණතාව මත වෘත්තිකයින් ප්‍රභේද කිරීමේ මූලධර්මය මෙහිදී යොදාගනු ලැබේ. මෙවර අපගේ යෝජිත විසඳුම පහසුවෙන් ළඟා කර ගත හැකි පරමාදර්ශී තත්වයක් නොවන බව අවබෝධ කරගත යුත්තේ ක්ෂේත්‍රය තුළත් මීට එරෙහි බලවේග ක්‍රියාත්මක වන නිසාය. ගිලෙන නැවේ සාදය නතර කර පිටස්තර ලෝකයට සාවධාන වෙමු.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Friday, January 20, 2017

වත්ත බද්දට දී ඇස්සට දත නියවීම හෙවත් “හරිත විප්ලවය” වමාරා කෑම


Image result for images human evolution fast food

අපේ පැරැණි සමාජයේ මුතුන් මිත්තන් තිරසාර ජිවන රටාවට හුරුවූයේ දේශීය සංස්කෘතිය තුළින් උරුම වූ සම්ප්‍රදායික දැනුමේ ශික්‍ෂණය නිසා ය. ස්වභාවධර්මයේ මූලික නීති වලට අනුගතව එහි අපිරිමිත බලයට ගරු කරමින් එහි සම්පත් තිරසාරව භුක්ති විඳීමේ හුරුව ඔවුන් ගේ ජිවන කුසලතාවක් ලෙස පරපුරෙන් පරපුරට නොනැසී පවතින සම්ප්‍රදායක් බවට පත් විය. ස්වාභාවික වාසභූමි හා ඒවායේ සම්පත් සමඟ ඒකාත්මික වී පැරැණි සමාජය මෙරට තුළ වනගහනය අඩු වීමත් සමඟ සම්ප්‍රදායික ජනජීවිතය තුළ සංස්කෘතික උරුමය අවදානමකට ලක්විය. මේවන විට 29% ක්‌ දක්‌වා හීන වීමත් ඊට සාපේක්‌ෂව ඉදිවන කොන්ක්‍රීට්‌ නගර ව්‍යාපෘතීන් විධිමත් නොවන පරිදි ගොඩනැගීමත් නිසාවෙන් දිනෙන් දින උග්‍ර වන පාරිසරික ගැටලු පිළිබඳව අවදිවීමට සිදුව තිබේ. බෞද්ධ සංස්‌කෘතික සමාජ පරිසරයක්‌ තුළ ඊට ආවේනික ව ගොඩනගා ගන්නා ලද ආහාර පිළිබඳ සිරිත් විරිත්, මානව ධර්මතා හා සමාජ වටිනාකම් බොහොමයක්‌ම පවතින බවත් ඒවා මිනිසා සහ ස්වභාවධර්මය අතර යහපත් අන්‍යොන්‍ය සම්බන්ධතාවකට හේතු වූ බවත් පෙනේ. අනෙක්‌ අතට මෙරට ප්‍රචලිතව තිබූ දේශීය වෛද්‍ය ක්‍රමයට මූලික වශයෙන් පදනම දමා ඇති ආයුර්වේදයේ මූලික අරමුණ වන්නේ සත්වයාගේ පැවැත්මට උපයෝගී කරගන්නා විද්‍යාව ලෙසත්, දීර්ඝායුෂ පිළිබඳ උපදේශය ලෙසත් ය. අපේ පැරණියන් සිය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා යොදා ගත්තේ ස්වාභාවික වන සම්පත් බවට කියැවෙන කදිම උදාහාරණයක්‌ රොබට්‌ නොක්‌ස්‌ගේ එදා හෙළ දිව පොතෙහි දැක්‌ වෙයි. “ඖෂධ පැළෑටිවලින් ලක්‌ වැසියන් හට කිසිම අඩුවක්‌ පාඩුවක්‌ නැති. බෙහෙතක්‌ ගත වූ කළ ඔවුන් යා යුත්තේ කැලෑවටය. එහෙයින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේ ය.”

එහෙත් බටහිර වෛද්‍ය ක්‍රමයේ ආගමනයෙන් පසු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා දියුණු වූ නමුත් දේශීය උරුමයන් හෙළා දැකීමේ අඩුවක් පෙනෙන්නේ නැත. ඉන් ප්‍රධාන තර්කයක් වන්නේ යුරෝපීය වෙදකම මෙරට එන්නට පෙර අපේ රටේ මිනිසුන් ඉතා අඩු වයසින් ජිවිත කාලය අවසන් කළ බවයි. බටහිර වෛද්‍ය ක්‍රමය පැමිණි පසු අපේ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩිවී ඇතැයි යන මිථ්‍යාවට හොඳම පිළිතුර රෝම අධිරාජ්‍යයේ විසූ ප්ලීනි (Pliny) ක්‍රි.ව. 77-79 අතර කාලයේදී ලියු "Natural History" හි ශ්‍රී ලංකාවේ ජීවත් වන මිනිසුන් අවුරුදු 100 ක්‌ ජීවත් වන බව සඳහන් කර තිබීමයි. ප්ලීනි ජීවත් වූ රෝම යුගයේ මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 30 - 40 ක්‌ පමණ වී ඇතැයි සොයා ගෙන තිබෙන අතර එකල රෝමයේ ඉපැදුණු ළමයින්ගෙන් හරි අඩක්‌ම අවුරුදු 10 කට වඩා ජීවත්ව නොසිටි බවට සාක්‌ෂි ඇත. බටහිර ජාතීන්ගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වුණු රෝම ශිෂ්ටාචාරයේ ජීවත් වූ මිනිසුන්ගේ පමණක්‌ නොව, 18 වන සියවස වන විට හිරු නොබසින අධිරාජ්‍යයේ (මහා බ්‍රිතාන්‍යයේ) වැසියෙකුගේ සාමාන්‍ය ආයු අපේක්‌ෂාව වී ඇත්තේ වසර 40 කි. දහතුන් වන සියවසේ දඹදෙනිය රාජධානි සමයේ දී පවා මෙරට අවුරුදු 160 ක්‌ ආයු වැළඳු අය සිටි බවත් සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100 ක්‌ බවත් ධර්මසේන මාහිමි විසින් රචිත සද්ධර්මරත්නාවලියෙහි පතිපූජීකා වස්‌තුවෙහි දැක්‌වෙයි. මෙරට පැරැන්නන් විඳි නිරෝගි සුවය සහ ඔවුන් ගේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳ සාක්‌ෂි කලින් කලට මෙරටට ආ ගිය විදේශිකයින් විසින් තැබූ සටහන්, ලේඛන වලින් පවා පැහැදිළි වෙයි. ක්‍රිස්‌තු වර්ෂ 1660 සිට 1679 දක්‌වා මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ රොබට්‌ නොක්‌ස්‌ විසින් ලියන ලද ''එදා හෙළ දිව'' (පරිවර්තනය) නම් කෘතියෙහි ද ඒ පිළිබඳව ලියෑවුණු සටහනක්‌ මෙසේය. ''ලක්‌වැසියෝ සාමාන්‍යයෙන් අවුරුදු අසූවක පරමායුෂ ඇත්තෝය. අසූවෙහිදීත් ඔවුහු දුර්වල නො වෙති. කන්දේ රජුගේ සහෝදරිය අවුරුදු සියයකට ළං වන තුරු ම ජීවත් වූවාය. කොතරම් මහලු වුව ද ඔවුහු නිරෝග ශරීර ඇත්තෝ ය.'' වයස අවුරුදු 40 ක්‌ 50 ක්‌ පමණ ජීවත් වීම උරුම කර ගත් තත්කාලීන බටහිරයින්ට වසර 100 ක්‌ ජීවත් වන මිනිසුන් ජීවත් වන රටක්‌ තිබීම යනු ඇදහිය නොහැකි ආශ්චර්යයක්‌ ම වූ නිසා සේද මාවතේ පිහිටි අපේ රටට විජාතිකයින් ආවේ ගියේ මුතු මැණික්‌ අලි ඇතුන් පිළිබඳ සොයා බැලීමට පමණක්‌ නොවන බව අප තේරුම් ගත යුතු වේ. 

මානව විද්‍යාවට අනුව නූතන මිනිසා මහ පොළොව මත බිහි වී දැනට වසර ලක්‌ෂයක පමණ කාලයක්‌ ගත වී ඇති අතර, ඉන් වසර 90,000 ක්‌ම ගත කොට ඇත්තේ ශිලා යුගයේ නොහොත් පැලියොලිතික යුගයේ දඩයක්‌කාරයින් සහ ආහාර ද්‍රව්‍ය රැස්‌ කරන්නන් ලෙසයි. ඒ යුගයේ විකසනය වූ වර්ධනය වූ ජාන වල ලක්‌ෂණ අපගේ මුතුන් මිත්තන්ගේ පරිසරයට විශේෂයෙන් ඔවුන්ගේ ආහාර වලට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පරිණාමය වූ අනුවර්ථනය වූ හෙයින් ඒවා වෙනසකට ලක්‌ වී නොමැති බවත් නූතන මානව විද්‍යාඥයින් අවධාරණය කරයි. එබැවින් ඒ යුගයේ අනුභව කළ ආහාර වලට සමාන ස්‌වභාවික (කාබනික) එළවළු හා පලතුරු බහුල වශයෙන් ද, අල වර්ග, ඇට වර්ග, හා මී පැණි වැනි ස්‌වභාවික පැණි වර්ග මධ්‍යස්‌ථ ප්‍රමාණයෙන් ද, ඉඳ හිට වන සතුන්ගේ මස්‌, බිත්තර හා මාළු වර්ග ද ඒ අතීත ආහාර වේලෙහි අඩංගු විය. මෙරට තුළ පරිණාමය වුණු ජනතාවට අන් බොහෝ රටවල්වලට නොමැති පෝෂණ හා ඖෂධීය ගුණයෙන් සරු ආහාර වර්ග භුක්‌ති විඳීමේ භාග්‍යය ලබා ඇත. ක්‍රිස්‌තු පූර්ව දහවන සියවස වන විටත්, මෙරට ජනතාව ගින්දර සහ මැටි භාජනයන් භාවිතය දැන සිටි බව තහවුරු වී ඇතී හෙයින් අපේ මුතුන්මිත්තන් ගේ අතීත ජිවන රටාව කෙතරම් පරිසරහිතකාමිදැයි දැයි සොයා බැලීම වැදගත්ය. දඩයම් යුගයේ දීම ශරීරයට හානියක්‌ නොවන ආහාර වර්ග හඳුනා ගැනීමටත්, පිළියෙල කර ගැනීමත්, ඒවා අතර තිබෙන විෂ හඳුනා ගැනීමටත්, ඒවා ආහාරයට ගත යුතු ආකාරය, නොකෑ යුතු අවස්‌ථාවන්, ඒවායේ රෝග නිවාරණ සහ රෝග සුව කිරීමේ ගුණයන් පිළිබඳවත් මනා නිපුනතාවයක්‌ තිබී ඇත. මෙම දැනුම වැඩි දියුණු වෙමින් පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වීමක්‌ ද සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. අපගේ පැරැන්නන් පිළිකාව, දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග වලින් වැළකී සියක්‌ ආයූ වැළඳීමේ රහස ඇත්තේ පරිණාම ක්‍රියාවලිය තුළ අවුරුදු දස දහස්‌ ගණනක්‌ පුරාවට ඔවුන් විසින් ප්‍රගුණ කොට අනුභව කළා වූ විවිධත්වයෙන්, විචිත්‍රත්වයෙන් අනූන සහ සංඛ්‍යාත්මකව වැඩි ආහාර වර්ග තුළ අන්තර්ගත වන සහ නිසැකයෙන්ම අන්තර්ගත විය හැකි සමබල පෝෂ්‍ය පදාර්ථ, ශාක රසායනිකයන් සහ ජෛව පදාර්ථ වල අනුහසින් බව පැහැදිළි වෙයි. ජීවන රටාව හා බැදී තිබෙන කවර රෝගාබාධයක්‌ සඳහා වුව හේතුවන ප්‍රධාන කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා අතරින් ආහාර පරිභෝජනය සහ ක්‍රියාශීලී ජීවන රටාව මූලික වෙන බව මතකයේ තබා ගත යුතුම වේ. අපට අහිමි වූ, සෞඛ්‍ය සම්පන්න ජීවිතය, පෝෂණය යළි ලබා ගැනීම උදෙසා අප ඉහත කරුණු ගැන දැන ගැනීම අවශ්‍යයෙන්ම වැදගත් වන බව කිව යුතුව තිබේ.

බටහිර ජාතීන් තම දිගු කාලීන සූරා කෑමේ උවමනාවන් සාක්‌ෂාත් කර ගැනීමට තිබුණු ලොකුම බාධාව බවට මෙරට ජනයා සතුව පැවති නිරෝගී කම හා පෝෂණීය ආහාර බව හොඳින්ම හැඳින සිටියහ. උඩරට අල්ලා ගත් පසු, ඌව වෙල්ලස්‌ස පෙදෙස්‌වල නිල ගමනකට සහභාගී වූ ''බ්‍රවුන්රිංග්'' ආණ්‌ඩුකාරයා මෙම නිල ගමන, යටත් විජිත භාර මහ ලේකම් වරයාට වාර්තා කළේ මෙසේය. ''වංශාධිපති තුමනි, ඌව වෙල්ලස්‌සට ගිය මගේ ප්‍රථම නිල ගමනින් පසු මගේ හිත තුළ බලවත් හැඟීමක්‌ ඇති විය. ඌව සහ වෙල්ලස්‌ස, ලක්‌දිව වනෝද්‍යානයක්‌ යයි මට කිව හැකිය. එහි සෑම ප්‍රදේශයක්‌ම ගොවිතැන් කොට තිබේ. මුලු ප්‍රදේශයම පලතුරු ගස්‌ වලින් පිරී පවතී. වංශාධිපතිතුමනි, ඌව වෙල්ලස්‌සේන් නිපදවන වී වලින් මුළු රටම ස්‌වයංපෝෂිත කිරීමට හැකි වනවා පමණක්‌ නොව, ඉන්දියාවටද සහල් සැපයිය හැකිය.'' එසේ කියූ ඔවුන් අපේ රටේ ආහාර සංස්‌කෘතිය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ පරිභෝජන රටාව සැලසුම් සහගතව කෙටි කලෙකින් විනාශ කර දැමූ ආකාරය 1818 වෙල්ලස්‌සේ කැරැල්ලේන් පසු ඉහත බ්‍රවුන්රිංග් ආණ්‌ඩුකාරයාම යටත් විජිත මහ ලේකම්ට ලීවේ මෙසේය. ''සියලු වාරිමාර්ග ක්‍රම විනාශ කරවා ඇත. පලතුරුවලින් පිරුණු ගස්‌ කපා දමා තිබේ. මුළු පළාතම පාලු වී ඇත. වයස අවුරුදු 18 ට වැඩි වයසේ සිංහල මිනිසුන් මරණයට පත් කොට ඇත. ඌව වෙල්ලස්‌ස දෙපළාතෙම බිත්තර වී සොයා ගැනීමට අපහසුය'' එහෙත් පරාධීන යුගයේ පවා නොමැරී තිබු අපේ ගැමියන් ගේ පරිසරහිතකාමී සොබාවාදය වැනසීමට බ්‍රිතාන්‍ය රජය ගත් වෑයම 1920 ගනන් වලදී බදුල්ලේ කච්චේරියේ රාජකාරී කළ රොබට්‌ නම් ඒජන්ත කෙනෙකු පවත්වාගෙන ගිය දින පොතක ඇති මේ සටහනෙන් පෙනේ. ''ඌවේ මිනිස්‌සු හරි කපටියි. ඔවුන් අපි කියන දෙයක්‌ පිළිගන්නේ නෑ. ඔවුන් අපි දිහා බලන්නේ සැකයෙන්. පහළ ඌවට ජලය හිඟ කිරීමට කළ හැකි එක්‌ ක්‍රමයක්‌ තමයි, අපේ තේ වතු ආශ්‍රිතව, විශේෂයෙන් ''ටර්පන්ටයින්" වැනි ජලය උරා ගන්නා ගස්‌ වැවීම. එවිට ඒ අයත් අපව අනුගමනය කරනවා ඇති. කල් යැමේදී අපි බලාපොරොත්තු වන ජල හිඟය ඉබේම ඇති වේවි''.

අධිරාජ්‍යවාදීන් ගේ පාලනය තුළ පරාධීනව සිටි යුගයේ ගිලිහුණු ජාතික සංස්කෘතික උරුමයන් හා බටහිර ගැති අනුකාරකවාදයට ඇති ලැදියාව සූක්‌ෂම ලෙස මුළු සමාජයම අවනතියට තල්ලු කොට අවසන්ය. පාරම්පරිකව පරිණාමය වෙමින්, සොබා දහමෙන් සුපෝෂණය වූ ඒ විශිෂ්ට ආහාර වේලෙහි උරුමය අපගේ පැරණි සංස්කෘතියේ අංගයක් විය. යටත් විජිතවාදීන් ශ්‍රී ලාංකිකයින්ගේ ගමන ආපසු හරවා ඇත. සියල්ල බිමට සමතලා කරන මහා සංවර්ධනය පරිසරය වනසමින් ඉදිරියට යන අතරේ වාණිජකරණය වූ පරිභෝජනවාදී ජිවන රටාව ඉතා රුදුරු ලෙස සමාජය ගිලගනිමින් සිටී. හිරු සඳු තාරකා ගංගා ඇලදොළ සතා සීපාවා ගහකොළ මහ පොළොව නොඉඳුල් ස්‌වභාවිකත්වය මුලිනුපුටා දැමූ ආහාර රටාවක්‌ වසංගතයක්‌ව මිනිසා ගිලගෙන පැතිර යමින් තිබේ. දෛනිකව උග්‍රවෙමින් පවතින කෙමෙන් අපව මරණය කරා ගෙන යන ලෙඩ රෝග බහුල වෙමින්, බත් කනවාට වඩා බෙහෙත් පෙති ගිල දමන තත්ත්වයකට අපව පත් කර ඇත්තේ, ඉවක්‌ බවක්‌ නොමැතිව කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ, ජාන වෙනස්‌ කළ, කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් යෙදූ, ක්‌ෂණික ආහාර සහ පෝෂණ විෂමතාවයෙන් යුතු වැරදි ආහාර භාවිතයට ගැනීම නිසාවෙනි. අධිරාජවාදීන් තමන්ගේ අනාගත ආහාර සහ වෙළෙද අවශ්‍යතාවයන් සාක්‌ෂාත් කර ගැනීම උදෙසා අපේ රටේ පැවති කෘෂි සංස්‌කෘතිය ඊනියා කෘෂි කර්මාන්තයෙනුත්, වාරි ශිෂ්ටාචාරය වාරි මාර්ග, කොන්ක්‍රීට් වේලි සහ සහ වාරි යෝජනා ක්‍රම මගිනුත් මේ භූමියෙන් මුලිනුපුටා දමන ලදි. ඔවුන් අපේ විශිෂ්ට ස්වාභාවික තිරසාර පරිසරහිතකාමි ආහාර පරිභෝජන රටාව මෙන්ම උසස්‌ පෝෂණීය ගුණදායි ආහාර වර්ගද මෙරටින් අතුරුදහන් කළෝය. 

මෙරට උසස්‌ බීජ වර්ග ඒවායේ ජාන සම්පතද සමගම කොල්ල කා ගත් ඔවුහු අපේ ගොවින් මෝඩ අනුකාරකවාදී නිවටුන් බවට පත් කර, ඔවුන්ගේ උපදෙස් අනුව කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් බවට පත් කළහ. සාමන්‍ය ජනතාව සුදු පාන් පිටි, කිරි පිටි, ඇපල්, මිදි, ටින් මාළු, කෝලා බීම, මීට්‌ බෝල්, සොසේජස්‌, සීරියල් යනු සුපිරි ආහාර යෑයි හිතන මතන ඒවා මත යැපෙන සුපර් මාර්කට්‌ පාරිභෝගිකයින් බවට පත් කොට ඇත. ජනතාව ඒවා බදා වැළඳගෙන ඇත්තේත් ඒවා තමන්ගේ දරුවන් හැට දෙන්නෙත් ඒවායේ අවදානම පිළිබඳ නොදන්නා කමමෙන්ම ඒවාට සුදුසු දේශීය විකල්පයන් සුලබ නොවීම නිසාවෙනි. අපගේ ජාන හුරු වූ ස්‌වභාවික සම්ප්‍රදායික ආහාර වල වටිනාකම සහ ගුණ මහිමය සහ ඒවාට නිසි සුරක්‌ෂිත ඉහුම් පිහුම් ක්‍රම පිළිබඳ නොදන්නා කම නිසාවෙන් ඒවායින් මිදී නවීන මාදිලියේ සැකසුම් ඇසුරුම් කළ ආහාර වලින් යැපෙන්නට පුරුදු වී තිබේ. එම සම්ප්‍රදායික භෝග සහ ඉබේ වැවුණු ආහාර භෝග සුරක්‌ෂිත කර නොගත් නිසාවෙන් සහ වැඩි දියුණු කළ ජාන වෙනස්‌ කළ දෙමුහුන් කළ භෝග වර්ග පමණක්‌ වගා කිරීම නිසාවෙන් ඒවායේ ජාන සම්පතද පිරිහී ගියේය. ඒ අනුව අද දවසේ අප වගා කරන බණ්‌ඩක්‌කා ඇටයේ, ගස්‌ ලබු ඇටයෙ පටන් අල ගෙඩිය දක්‌වා සියල්ල පිටරැටියන්ගේ ය. ඒවා සඳහා අවැසි කෘෂි රසානික ද්‍රව්‍යයද ඒ කෘෂි රසායනික වල සඟවා ඇති සමූල ඝාතක වස විස ද උන්ගේ ය. පස සකස්‌ කරන උදැල්ල ද, සීසාන නඟුල ද උන්ගේ ය. අස්‌වැන්න නෙලන සුනාමිය වැනි යන්ත්‍ර සූත්‍ර ද, අස්‌වැන්න අසුරන ගෝනිය ද, ඒ ගෝනිය මසන ගෝනි කටුවද, නූල් ද උන්ගේය. එහෙත් මෙකී විජාතික සරණ ගිය ආහාර අනුභවයෙන් අප කරා පැමිණෙන රෝග පීඩාදීන් ලැගුම් ගන්නේ අපගේ ශරීර වලය. ඒවායින් මියැදෙන්නේ අපේ මිනිසුන්ය. ඒ රෝග පීඩාදීන් සඳහා බොන බෙහෙත් පෙත්ත ද අවසානයේ අවයව බද්ධ කරන්නට පණ රකින්නට එවන යන්තර ද උන්ගේ වන අතර, ඒවාට ගෙවන්නේ අපේ මුදල් ය. 

කුසගින්නේ සිට මියැදීම තරම් තවත් පාපයක් හෝ මනුෂ්‍යත්වයට අවමානයක් මේ මිහි පිට නැති වුවත් මේ මොහොත වන විටත් ලෝකයේ අති විශාල ජනකායක් කුසගින්නේ මිය යනවා ඇත. දේශගුණික හා කාලගුණික විපර්යාසයන් නිසා ලෝක ජනගහණයෙන් හරි අඩකටත් වඩා දුර්භීක්ෂයන් හේතුවෙන් අන්ත අසරණව සිටී. කෝටි 620ක් තරම් වූ ලෝක ජනගහණයෙන් මිලියන 800ක් පමණ මේ වන විට හාමතේ මියදෙමින් සිටී. වසරේ සෑම දිනකම අප්‍රිකානු, ආසියානු හා ලතින් ඇමරිකානුවන් 60000කට අධික ප්‍රමාණයක් කුසගින්න දරාගත නොහැකිව මිය යයි. මිනිසා විසින් පරිසරය වෙත එල්ල කරන අනිටු බලපෑම් හේතුවෙන් දිනෙන් දින ආන්තික කාලගුණික තත්වයන් නිර්මාණය වන අතර ගෝලීය උණුසුම ඉහළ යමින් ලෝකය තුල උග්‍ර ආහාර හිඟයක් ඇති වෙමින් පවතී. ක්‍රි.ව. 2000න් මෙපිට මෙම තත්වය තවදුරටත් දෙගුණ, තෙගුණ වෙමින් පවතී. ලෝක ජනතාවගේ ප්‍රධාන ආහාර සම්ප්‍රදායට වග කියන සහල්, තිරිඟු, ඉරිගු හා සෝගම් වගාවන් උග්‍ර පාරිසරික ව්‍යසනයන් හේතුවෙන් දැඩි තර්ජනයකට ලක්ව පවතී. චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, මියන්මාරය වන් ලෝක ආහාර නිෂ්පාදනයේ නියමුවන් මේ වන විටත් දැඩි නියං, ගංවතුර, සුළි කුනාටු වලට කොටුව බැට කමින් සිටී. අප්‍රිකානු මහද්වීපික ඇතැම් රටවල් දැඩි නියඟය හා නොනවතින යුධ ගැටුම් හේතුවෙන් උග්‍ර සාගතයකට මුහුණදෙමින් සිටී. මෙලෙස ආහාර හිඟයෙන් බැට කන අහිංසක ජනතාව බේරාගැනීමට ලෝක ආහාර සංවිධානය වැනි සංවිධාන ලොව ප්‍රබල රට වලින් ආධාර උපකාර ඉල්ලමින් සිටී. ලෝකය තුල එලෙස සිදුවෙද්දී අප රට තුලද මන්දපෝෂණ තත්වයන් යළි හිස ඔසවමින් පවතින බවත් මෙයට අප රටේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා ගොදුරුව ඇති බවත් මෑත සමීක්ෂණ ප්‍රතිඵල විදහා දක්වයි. අද අපි වසරක් පාසා අත් දකින නියඟය හා ගංවතුර ආදී ආන්තික කාලගුණික තත්වයන් ගම්බද ගොවිතැන් කරමින් දිවි ගෙවන දිළිඳු ජනතාවටද නාගරිකව වෙසෙන මිළ මුදල් ඇත්තවුන් ට ද එක ලෙස බලපා ඇත. 

කාර්මික විප්ලවය, හරිත විප්ලවය හරහා පාරිසරික තිරසභාවය තුට්‌ටුවකට මායිම් නොකරන නූතන සංවර්ධනය හා සංවර්ධනයේ දර්ශක රාජ්‍ය ප්‍රතිපත්ති තුළ මුල් බැස ගනිමින් තිබේ. ඒවා ජනතාවගේ නොදැනුවත්කම නිසාවෙන් දේශපාලනයේ ජනප්‍රිය සටන් පාඨ බවට පත්ව තිබේ. අපෙන් ඈත් වුණු සම්ප්‍රදායික ආහාර කෙරෙහි අපගේ අවධානය වඩා වැඩියෙන් යොමු විය යුතු යුගයක ආනයනික ආහාර සඳහා විදේශ විනිමය වැය කරමින් සිටිමු. හරිත විප්ලවය ජනතාව මරාගෙන මැරෙන තත්ත්වයකට පත් ව කෘෂිකාර්මික වකුගඩු රෝගය මාරාන්තික ලෙස ගොවිබිම් බිලි ගනිමින් තිබේ. යෙදවුම් සඳහා වැය වන අධික වියදම ගොවීන්ට දරා ගැනීමට නොහැකි වීම නිසාවෙන් පමණක්‌ නොව, පරිසරයට සහ ආහාර භෝග වලට එක්‌කළ අධික වස විස කන්දරාව, ඉවක්‌ බවක්‌ නොමැති පරිසර විනාශය, භෝග විවිධත්වය, මෙන්ම ස්‌වභාවික ආහාර භෝග වඳ වීම ද නිසාවෙන් එය අද දවසේ සම්භාවනාවට පාත්‍ර වන්නේ නැත. අපේ රටට ආවේනික මහා කෘෂි සංස්‌කෘතිය, වාරි ශිෂ්ටාචාරය, මෙරට මහ පොළොවට ගැළපෙන හීය, දේශගුණයට ඔරොත්තු දෙන දේශීය බීජ, සුවදායක පරිසරය හා පරිසරයට හිතකර කෘමි සතුන්, පාංශු ජීවීන් හා ක්‌ෂ්‍රද්‍රජීවීන් ගොවීන්ගේ සම්ප්‍රදායික දැනුම හා සාරධර්ම හරිත විප්ලවය සහ නව ලිබරල් ආරථීක ක්‍රමවේද නිසාවෙන් අපි අහිමි කර ගත්තෙමු. මේ ඛේදවාචකය යළිත් වෙළෙන්දන් ගේ තෝතැන්නක් බවට පත් කොට මුදලට යට වූ ජන මාධ්‍යය එහි නව සංස්කෘතික විලෝපනයක් බිහි කරමින් සිටියි.



විවිධ ප්‍රභව වලින් ලබාගන්නා වූ ආහාරමය පදාර්ථයන් ගණන වැඩි වන්නට අපි පෝෂ්‍ය විවිධත්වය හා පෝෂණ සුරක්ෂිතතාව අතින් පොහොසත් වූවෝ වෙමු. ඒ නිසා වූවේ භෝජන රටාවන් හා රජරට භෝජන රටාවන් අතරත්, යාපා පටුනේ හා රුහුණේ ආහාර රටාවන් අතරත් විවිධ වෙනස්කම් තුළින් අපේ ප්‍රාදේශීය ජන සෞඛ්‍යය හා පෝෂණය ඔවුන්ගේ සම්පත් මතින් ආරක්ෂා විය. නෙළුම් කොළේ බත් කෑමත්, කෙසෙල් කොළේ බත් බැදීමත්, පුවක් කොළපුවේ බත් බැදීමත් පිටුපස බොහෝ සමාජ පාරිසරික දර්ශයන් පවතී. එහෙත් අද නගරයේ අවන්හල් තුළ විකිණෙන නෙළුම් කොළයේ බත් යනු සමාජයේ ජනප්‍රිය භෝජන විලාසයක් විනා සංස්කෘතික හරයන් මත නිපැයුණු පුරුද්දක් නොවේ. මග තොටේ නෙළුම් කොළේ බත්, කෙසෙල් කොළේ බත්, ගමේ විදියට කෑම, පොල් අතු බත් කඩේ ආදී ලොකු පුවරු ගැසූ කඩවල් නොහොත් ආපන ශාලා දක්‌නට ලැබුණ ද නෙළුම් කොළේ, කෙසෙල් කොළේ, පොල්අතු බත් කඩේ විකිණෙන්නේ අපේ අතීතකාමයයි. ශීතකරණ නොමැති අතීතයේ පොදු ජනතාව බොහෝ දුරක් ගෙවා පයින් ගමන් යන කල සිය කුසගින්න නිවා ගැනීමට ආහාර ඇසුරුම් ක්‍රම ගැන අවධානය දැක්වූහ. කෙසෙල් කොළයේ බෙදන ලද බත් මුලක්, පුවක් කොළපුවේ බදින ලද බත් මුලක් අද පොලිතීන් සිවියකින් ඔතා පහසු කරනු ලැබුවද එයින් මතුවන අයහපත් විපාක වලින් මුළු සමාජය ම පීඩා විදි යි.

එසේ නම් අනාදිමත් කාලයක සිට මුතුන් මිත්තන්ගෙන් සාම්ප්‍රදායිකව පැවතගෙන ආ අපගේ උතුම් වූ ආහාර සංස්කෘතියට කුමක් වීද? බහු මාධ්‍යය හරහා ලෝකය අතැඹුලක් වීමෙහි ප්‍රථීපලයක් ලෙස ඇස ගැටෙන ඕනෑ එපා සෑම දෙයක්ම බදාගන්නට යෑමේ ඵලවිපාකයන් ඇස්පනා පිට අපට ඵලදෙන්නට පටන් අරගෙන හමාරය. රටේ හතු පිපෙන්නාක් මෙන් බිහිවන සුපිරි වෙළඳ සල් හා බැලු බැලූ පැත්තේ ඇරෙන සුපිරි අවන්හල් ය. නිවසේ කෑම ටික පිලියෙල කරගන්නට මැලි කමක් දක්වන ගෘහණියන් ගේ හැඳි මිටේ නුවණත් හමාර වී ඇති හෙයින් ඔවුන්ගේ රස නහර පිනවන්නට නිවසෙන් පිට ක්ෂණික ආහාර ඇති පදමට ඇත. මෙරට ජනතා සෞඛ්‍යය නගා සිටවූ සාම්ප්‍රදායික ජිවන ක්‍රමය බහු ජාතික කූට වෙළදුන්ගේ ග්‍රහණයට හසු වී ඇති අතර අපේ ආවේනික වූ පෝෂණ සංස්කෘතිය දරුණු ත්‍රස්තවාදයේ ගොදුරක් වී හමාරය. අපේ දේශීය ගොවි කමේ පදනම බදු වූ කොටු, කොරටු, හේන්ද, ගෙවතු, බඩවැටි, ඕවිටි ද ස්වභාව දහමෙන් අපට දායාද වූ තෙත් බිම්, විල්ලු, කලපු, ගංගා හා ඇල දොල කිසිදාක අපව හාමතේ තබන්නේ නැත. එබැවින් ආර්ථික සම්බාධක පැනවීමෙන් අපේ රටේ ගැමියන් ගේ දේශීය සමෘද්ධිය උදුරා ගත නොහැකි වුවත් ඔවුන්ගේ ආකල්ප සිතුම් පැතුම් වෙනස කිරීමෙන් ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් විතැන් කොට අවසන්ය. 

අපේ පැරැණියෝ අගනා ජල බැදි ශිෂ්ඨාචාරයක් අපට උරුම කර දුන් අතර දිය පහරවල් අවහිර නොකර පහළ මිටියාවත් වල වැව් බැඳ ගොවිතැන් බත් කළෝය. මේ සියල්ල අපේ කෘෂි ජෛව විවිධත්වයේත්, සංස්කෘතියේත් මුදුන් මූලයන් ලෙස අප බතින්, බුලතින් හා පළතුරින් පිරී ඉතිරී ගිය ජාතියක් බවට පත් කළේය. එහෙත් අද වාණිජකරණය වූ මාධ්‍ය විසින් පෝෂණය කර නානාප්‍රකාර මාධ්‍ය කලාවන්ගෙන් ඔතා හැඩ ගැන්වූ ප්‍රචාරක දැන්වීම් අහිංසක පාරිභෝගිකයාගේ ඔළුව හිරි වට්ටමින් ලබා දෙන ආහාරයන්ගේ අගය හා එහි විවිධත්වය සූක්ෂම ආකාරයෙන් වෙනස් කොට ඇති අතර ඒවායේ ගුණාත්මය තුට්ටුවකට මායිම් කළ නොහැකිය. මෙසේ පිට ඔපයට මං මුලා වූ ශ්‍රී ලාංකික ජාතියම අද අඳුරේ ගිලී ඇත. පොලු මුගුරා අමෝරාගත් කිරි පිටි හා පාන් පිටි වෙළදුන්ට අනේක වාරයක් හිස නමමින් නොවටිනා මිලකට වස විස කමින් බොමින් මුහුදට දත නියවන ජාතියක් බවට අප පත්කර හමාරය. හාල්, පරිප්පු, පාන්පිටි, සීනි හා කිරිපිටි අත්‍යාවශ්‍ය ආහාර ලෙස සලකමින් විදේශයන්ට ගැත්තන් වී සිටින්නේ ඉන්නක් නිකන් ඇන්නත් පැලවෙන රත්තරං මහ පොලොවක් අප සතුව තිබියදීත්ය. තවමත් අප බොහෝ ප්‍රමාද නැත. වහ වහා අපගේ පාරම්පරික ආහාර සංස්කෘතිය වෙත දෑස් විවිර කල යුතු කාලය පැමිණ ඇත. අප කල යුත්තේ වසර දහස් ගණනක සිට අපට උරුම අපගේ පාරම්පරික ඥානය වල් වැදීමට නොදී තවදුරටත් පරිණාමය කිරීමයි. මිනිසා හා චිමපන්සින් අතර ජානමය වෙනස 1.2% කි. මේ වෙනස නිසා මිනිස්සු කූඩුවෙන් එළියේ සිට කූඩුව ඇතුළේ සිටින චිම්පන්සින් නරඹති. සත්තුවත්හේ සිටින චිම්පන්සින් උගේ ජාන වලට විරුද්ධව කූඩු කර අපි අපේ ජාන වලට එරෙහිව වාණිජ සංස්කෘතික කූඩුවේ සිරවී සිටිමු. 

නෙළුම් කොළේ, පොල්අතු බත් කඩේ අත වනන්නේ සිතින් ගමට යනු පිණිස ගැමි බතෙහි රස විඳින නාගරික වූ ගැමියාටය. පොල් අතු බත් කඩේ ඇතුළත මේස, පුටු, විදුලිපංකා, විදුලි බුබුළු පමණක්‌ නොව කෑම බඳුන් පවා නවීකරණයෙන් අලංකෘත ආපන ශාලාවක් වන අතර පොල් අතු සෙවිලි කොට තිබෙන්නේ පියස්‌සේ පමණි. නෙළුම් කොළේ බත් කඩේ ද වෙනසකට තිබෙන්නේ පිඟානක්‌ වෙනුවට නෙළුම් කොළයක්‌ තැබීම පමණි. නිවැරැදි දේශීය ගැමි ආහාර වේලක්‌ නම් නෙළුම් කොළයට බෙදිය යුත්තේ හීනටි හාලේ බතුත්, කිරි හොද්දක්‌, කොස්‌ ඇට බැදුමක්‌, කරවල කෑල්ලක්‌, පලාකොළ මිටක්‌ ආදී දේය. එහෙත් බෙදෙන්නේ ගෝවා, බීට්‌ රූට්‌, ලීක්‌ස්‌, කැරට්‌, කුකුළු මස්‌, පපඩම්ය. දේශීය ගැමි රසය හා ගුණය සොයා පොල් අතු බත් කඩේට ගිය ගැමියාට ලැබෙන ආහාර වේල එබඳුය. සමහර විට ඒ නෙළුම් කොළේ ද තායි නෙළුම් කොළයකි. එහි බෙදෙන අර්තාපල් ඉන්දියාවෙන්ය. රට ලූනු, රතු ලූනු, සුදු ලූනු ටිකද ඉන්දියාවේය. පරිප්පු ටික පකිස්‌තානයෙනි. පැපොල් ගෙඩිය තායිලන්ත දෙමුහුන් පැපොල්ය. තක්‌කාලි මලයාසියාවෙනි. හට්‌ටි මුට්‌ටි, වළං, පොල් කටු ඇඳි දේශීය වුවත් එහි ඉදෙන බත, එළවළු සියයට සියයක්‌ දේශීයම නොවේ. එනිසා සැබවින්ම දේශීය ආහාර වේල යන්න තුළ අප ගිලී සිටින අසංස්කෘතික මිථ්‍යාව බිඳ හෙළිය යුතුය. එබැවින් අතීත කාමයෙහි ගිලෙනු රිසියෙන් හෝ තමන් සුවකාමී පුරුදු පුහුණු කරනවා යැයි මුලාවී ගැමි බත සොයා නෙළුම් කොළේ බත් කඩේට පිවිසීම සිත රවටා ගැනීමක්‌ පමණක්‌ වනු ඇත. පොල් අතු පියසි, කෙසෙල් කොළය, නෙළුම් කොළය, මැටි හැළි වළං පොල් කටු හැඳි මිස ගැමි දේශීය බත හෝ දේශීය ආහාර රටාව එහි නැත. අඩුම තරමින් දර ලිපක් හෝ නැත. බත ඉදෙන්නේ ගෑස් ලිපේය. එහෙත් බත තිබෙන්නේ මැටි බඳුන් වලය. බත බෙදන්නේ නෙළුම් කොළයටය. 

මිනිසුන් පෝෂණය කිරීම හා ඔවුන්ගේ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා සොබාදහම සතු හැකියාව හා එහි හරිත සම්පත් තුළ සැඟවී ඇති බලය ඉමහත්ය. එය හඳුනා ගත හැකි, අගය කළ හැකි, භාවිතා කළ හැකි, ආරක්ෂා කළ හැකි, ඉදිරියට ගෙනයා හැකි පරපුරක් නිර්මාණය කිරීම යුගයේ කාර්යභාරය වී තිබේ. සාම්ප්‍රදායික භෝග වර්ග සහ දේශීය ආහාර වර්ග ප්‍රචලිත කිරීම මෙන්ම ඒවා සුලබ කිරීමේ වැඩපිළිවෙලක් ද ජාතික මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් දියත් කිරීම තුළින් සෞඛ්‍යය හා පෝෂණය වෙනුවෙන් කළ හැකි මෙහෙය තවත් පුළුල් වන බවය. අතීතයේ අපේ පැරණියන් අතර භාවිතා වූ සම්ප්‍රදායික දැනුම් හා ඊට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවායේ වැදගත්කම නිසි ලෙස අධ්‍යයනය කොට ඒවා ශිල්පීය ඥානය අදට ගැළපෙන පරිදි ගළපා අනාගත තිරසාර පැවැත්මක්‌ ඇති වන සේ සංවර්ධනයට උචිත පරිදි යොදා ගන්නා ආකාරය අප වහ වහා සොයා බැලිය යුතුව ඇත. මෙබඳු කාර්යයකදී දේශීය වෛද්‍ය ක්‍රමයට කළ හැකි මෙහෙවර අති විශාලය. සහශ්‍රක සංවර්ධන ඉලක්ක වලින් සපුරා නොගත් අරමුණු තිරසාර සංවර්ධන ඉලක්ක හරහා සඵල වේ දැයි අපි දෑස් අයා සිටිමු. මිනිසුන් ගේ පරිභෝජන රටාව තිරසාර ආකෘතියක් තුළ පුනරුත්ථාපනය කරන තුරු මේ පරිසර විනාශය වළකා හරිත ජිවන රටාවක් ඇති කිරීම දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජනගහනය වැඩිවීම මේ මහා පොළොව දරා සිටිනු ඇති වුවත් ඉන් කොටසක් විසින් අනුගමනය කරන විනාශකාරී ජිවන රටාවෙන් වෙන හානිය එයට දරාගැනීමට නොහැකිය. 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා