Friday, January 20, 2017

වත්ත බද්දට දී ඇස්සට දත නියවීම හෙවත් “හරිත විප්ලවය” වමාරා කෑම


Image result for images human evolution fast food

අපේ පැරැණි සමාජයේ මුතුන් මිත්තන් තිරසාර ජිවන රටාවට හුරුවූයේ දේශීය සංස්කෘතිය තුළින් උරුම වූ සම්ප්‍රදායික දැනුමේ ශික්‍ෂණය නිසා ය. ස්වභාවධර්මයේ මූලික නීති වලට අනුගතව එහි අපිරිමිත බලයට ගරු කරමින් එහි සම්පත් තිරසාරව භුක්ති විඳීමේ හුරුව ඔවුන් ගේ ජිවන කුසලතාවක් ලෙස පරපුරෙන් පරපුරට නොනැසී පවතින සම්ප්‍රදායක් බවට පත් විය. ස්වාභාවික වාසභූමි හා ඒවායේ සම්පත් සමඟ ඒකාත්මික වී පැරැණි සමාජය මෙරට තුළ වනගහනය අඩු වීමත් සමඟ සම්ප්‍රදායික ජනජීවිතය තුළ සංස්කෘතික උරුමය අවදානමකට ලක්විය. මේවන විට 29% ක්‌ දක්‌වා හීන වීමත් ඊට සාපේක්‌ෂව ඉදිවන කොන්ක්‍රීට්‌ නගර ව්‍යාපෘතීන් විධිමත් නොවන පරිදි ගොඩනැගීමත් නිසාවෙන් දිනෙන් දින උග්‍ර වන පාරිසරික ගැටලු පිළිබඳව අවදිවීමට සිදුව තිබේ. බෞද්ධ සංස්‌කෘතික සමාජ පරිසරයක්‌ තුළ ඊට ආවේනික ව ගොඩනගා ගන්නා ලද ආහාර පිළිබඳ සිරිත් විරිත්, මානව ධර්මතා හා සමාජ වටිනාකම් බොහොමයක්‌ම පවතින බවත් ඒවා මිනිසා සහ ස්වභාවධර්මය අතර යහපත් අන්‍යොන්‍ය සම්බන්ධතාවකට හේතු වූ බවත් පෙනේ. අනෙක්‌ අතට මෙරට ප්‍රචලිතව තිබූ දේශීය වෛද්‍ය ක්‍රමයට මූලික වශයෙන් පදනම දමා ඇති ආයුර්වේදයේ මූලික අරමුණ වන්නේ සත්වයාගේ පැවැත්මට උපයෝගී කරගන්නා විද්‍යාව ලෙසත්, දීර්ඝායුෂ පිළිබඳ උපදේශය ලෙසත් ය. අපේ පැරණියන් සිය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා යොදා ගත්තේ ස්වාභාවික වන සම්පත් බවට කියැවෙන කදිම උදාහාරණයක්‌ රොබට්‌ නොක්‌ස්‌ගේ එදා හෙළ දිව පොතෙහි දැක්‌ වෙයි. “ඖෂධ පැළෑටිවලින් ලක්‌ වැසියන් හට කිසිම අඩුවක්‌ පාඩුවක්‌ නැති. බෙහෙතක්‌ ගත වූ කළ ඔවුන් යා යුත්තේ කැලෑවටය. එහෙයින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේ ය.”

එහෙත් බටහිර වෛද්‍ය ක්‍රමයේ ආගමනයෙන් පසු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා දියුණු වූ නමුත් දේශීය උරුමයන් හෙළා දැකීමේ අඩුවක් පෙනෙන්නේ නැත. ඉන් ප්‍රධාන තර්කයක් වන්නේ යුරෝපීය වෙදකම මෙරට එන්නට පෙර අපේ රටේ මිනිසුන් ඉතා අඩු වයසින් ජිවිත කාලය අවසන් කළ බවයි. බටහිර වෛද්‍ය ක්‍රමය පැමිණි පසු අපේ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩිවී ඇතැයි යන මිථ්‍යාවට හොඳම පිළිතුර රෝම අධිරාජ්‍යයේ විසූ ප්ලීනි (Pliny) ක්‍රි.ව. 77-79 අතර කාලයේදී ලියු "Natural History" හි ශ්‍රී ලංකාවේ ජීවත් වන මිනිසුන් අවුරුදු 100 ක්‌ ජීවත් වන බව සඳහන් කර තිබීමයි. ප්ලීනි ජීවත් වූ රෝම යුගයේ මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 30 - 40 ක්‌ පමණ වී ඇතැයි සොයා ගෙන තිබෙන අතර එකල රෝමයේ ඉපැදුණු ළමයින්ගෙන් හරි අඩක්‌ම අවුරුදු 10 කට වඩා ජීවත්ව නොසිටි බවට සාක්‌ෂි ඇත. බටහිර ජාතීන්ගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වුණු රෝම ශිෂ්ටාචාරයේ ජීවත් වූ මිනිසුන්ගේ පමණක්‌ නොව, 18 වන සියවස වන විට හිරු නොබසින අධිරාජ්‍යයේ (මහා බ්‍රිතාන්‍යයේ) වැසියෙකුගේ සාමාන්‍ය ආයු අපේක්‌ෂාව වී ඇත්තේ වසර 40 කි. දහතුන් වන සියවසේ දඹදෙනිය රාජධානි සමයේ දී පවා මෙරට අවුරුදු 160 ක්‌ ආයු වැළඳු අය සිටි බවත් සාමාන්‍ය ආයු කාලය අවුරුදු 100 ක්‌ බවත් ධර්මසේන මාහිමි විසින් රචිත සද්ධර්මරත්නාවලියෙහි පතිපූජීකා වස්‌තුවෙහි දැක්‌වෙයි. මෙරට පැරැන්නන් විඳි නිරෝගි සුවය සහ ඔවුන් ගේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳ සාක්‌ෂි කලින් කලට මෙරටට ආ ගිය විදේශිකයින් විසින් තැබූ සටහන්, ලේඛන වලින් පවා පැහැදිළි වෙයි. ක්‍රිස්‌තු වර්ෂ 1660 සිට 1679 දක්‌වා මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ රොබට්‌ නොක්‌ස්‌ විසින් ලියන ලද ''එදා හෙළ දිව'' (පරිවර්තනය) නම් කෘතියෙහි ද ඒ පිළිබඳව ලියෑවුණු සටහනක්‌ මෙසේය. ''ලක්‌වැසියෝ සාමාන්‍යයෙන් අවුරුදු අසූවක පරමායුෂ ඇත්තෝය. අසූවෙහිදීත් ඔවුහු දුර්වල නො වෙති. කන්දේ රජුගේ සහෝදරිය අවුරුදු සියයකට ළං වන තුරු ම ජීවත් වූවාය. කොතරම් මහලු වුව ද ඔවුහු නිරෝග ශරීර ඇත්තෝ ය.'' වයස අවුරුදු 40 ක්‌ 50 ක්‌ පමණ ජීවත් වීම උරුම කර ගත් තත්කාලීන බටහිරයින්ට වසර 100 ක්‌ ජීවත් වන මිනිසුන් ජීවත් වන රටක්‌ තිබීම යනු ඇදහිය නොහැකි ආශ්චර්යයක්‌ ම වූ නිසා සේද මාවතේ පිහිටි අපේ රටට විජාතිකයින් ආවේ ගියේ මුතු මැණික්‌ අලි ඇතුන් පිළිබඳ සොයා බැලීමට පමණක්‌ නොවන බව අප තේරුම් ගත යුතු වේ. 

මානව විද්‍යාවට අනුව නූතන මිනිසා මහ පොළොව මත බිහි වී දැනට වසර ලක්‌ෂයක පමණ කාලයක්‌ ගත වී ඇති අතර, ඉන් වසර 90,000 ක්‌ම ගත කොට ඇත්තේ ශිලා යුගයේ නොහොත් පැලියොලිතික යුගයේ දඩයක්‌කාරයින් සහ ආහාර ද්‍රව්‍ය රැස්‌ කරන්නන් ලෙසයි. ඒ යුගයේ විකසනය වූ වර්ධනය වූ ජාන වල ලක්‌ෂණ අපගේ මුතුන් මිත්තන්ගේ පරිසරයට විශේෂයෙන් ඔවුන්ගේ ආහාර වලට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පරිණාමය වූ අනුවර්ථනය වූ හෙයින් ඒවා වෙනසකට ලක්‌ වී නොමැති බවත් නූතන මානව විද්‍යාඥයින් අවධාරණය කරයි. එබැවින් ඒ යුගයේ අනුභව කළ ආහාර වලට සමාන ස්‌වභාවික (කාබනික) එළවළු හා පලතුරු බහුල වශයෙන් ද, අල වර්ග, ඇට වර්ග, හා මී පැණි වැනි ස්‌වභාවික පැණි වර්ග මධ්‍යස්‌ථ ප්‍රමාණයෙන් ද, ඉඳ හිට වන සතුන්ගේ මස්‌, බිත්තර හා මාළු වර්ග ද ඒ අතීත ආහාර වේලෙහි අඩංගු විය. මෙරට තුළ පරිණාමය වුණු ජනතාවට අන් බොහෝ රටවල්වලට නොමැති පෝෂණ හා ඖෂධීය ගුණයෙන් සරු ආහාර වර්ග භුක්‌ති විඳීමේ භාග්‍යය ලබා ඇත. ක්‍රිස්‌තු පූර්ව දහවන සියවස වන විටත්, මෙරට ජනතාව ගින්දර සහ මැටි භාජනයන් භාවිතය දැන සිටි බව තහවුරු වී ඇතී හෙයින් අපේ මුතුන්මිත්තන් ගේ අතීත ජිවන රටාව කෙතරම් පරිසරහිතකාමිදැයි දැයි සොයා බැලීම වැදගත්ය. දඩයම් යුගයේ දීම ශරීරයට හානියක්‌ නොවන ආහාර වර්ග හඳුනා ගැනීමටත්, පිළියෙල කර ගැනීමත්, ඒවා අතර තිබෙන විෂ හඳුනා ගැනීමටත්, ඒවා ආහාරයට ගත යුතු ආකාරය, නොකෑ යුතු අවස්‌ථාවන්, ඒවායේ රෝග නිවාරණ සහ රෝග සුව කිරීමේ ගුණයන් පිළිබඳවත් මනා නිපුනතාවයක්‌ තිබී ඇත. මෙම දැනුම වැඩි දියුණු වෙමින් පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වීමක්‌ ද සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. අපගේ පැරැන්නන් පිළිකාව, දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග වලින් වැළකී සියක්‌ ආයූ වැළඳීමේ රහස ඇත්තේ පරිණාම ක්‍රියාවලිය තුළ අවුරුදු දස දහස්‌ ගණනක්‌ පුරාවට ඔවුන් විසින් ප්‍රගුණ කොට අනුභව කළා වූ විවිධත්වයෙන්, විචිත්‍රත්වයෙන් අනූන සහ සංඛ්‍යාත්මකව වැඩි ආහාර වර්ග තුළ අන්තර්ගත වන සහ නිසැකයෙන්ම අන්තර්ගත විය හැකි සමබල පෝෂ්‍ය පදාර්ථ, ශාක රසායනිකයන් සහ ජෛව පදාර්ථ වල අනුහසින් බව පැහැදිළි වෙයි. ජීවන රටාව හා බැදී තිබෙන කවර රෝගාබාධයක්‌ සඳහා වුව හේතුවන ප්‍රධාන කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා අතරින් ආහාර පරිභෝජනය සහ ක්‍රියාශීලී ජීවන රටාව මූලික වෙන බව මතකයේ තබා ගත යුතුම වේ. අපට අහිමි වූ, සෞඛ්‍ය සම්පන්න ජීවිතය, පෝෂණය යළි ලබා ගැනීම උදෙසා අප ඉහත කරුණු ගැන දැන ගැනීම අවශ්‍යයෙන්ම වැදගත් වන බව කිව යුතුව තිබේ.

බටහිර ජාතීන් තම දිගු කාලීන සූරා කෑමේ උවමනාවන් සාක්‌ෂාත් කර ගැනීමට තිබුණු ලොකුම බාධාව බවට මෙරට ජනයා සතුව පැවති නිරෝගී කම හා පෝෂණීය ආහාර බව හොඳින්ම හැඳින සිටියහ. උඩරට අල්ලා ගත් පසු, ඌව වෙල්ලස්‌ස පෙදෙස්‌වල නිල ගමනකට සහභාගී වූ ''බ්‍රවුන්රිංග්'' ආණ්‌ඩුකාරයා මෙම නිල ගමන, යටත් විජිත භාර මහ ලේකම් වරයාට වාර්තා කළේ මෙසේය. ''වංශාධිපති තුමනි, ඌව වෙල්ලස්‌සට ගිය මගේ ප්‍රථම නිල ගමනින් පසු මගේ හිත තුළ බලවත් හැඟීමක්‌ ඇති විය. ඌව සහ වෙල්ලස්‌ස, ලක්‌දිව වනෝද්‍යානයක්‌ යයි මට කිව හැකිය. එහි සෑම ප්‍රදේශයක්‌ම ගොවිතැන් කොට තිබේ. මුලු ප්‍රදේශයම පලතුරු ගස්‌ වලින් පිරී පවතී. වංශාධිපතිතුමනි, ඌව වෙල්ලස්‌සේන් නිපදවන වී වලින් මුළු රටම ස්‌වයංපෝෂිත කිරීමට හැකි වනවා පමණක්‌ නොව, ඉන්දියාවටද සහල් සැපයිය හැකිය.'' එසේ කියූ ඔවුන් අපේ රටේ ආහාර සංස්‌කෘතිය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ පරිභෝජන රටාව සැලසුම් සහගතව කෙටි කලෙකින් විනාශ කර දැමූ ආකාරය 1818 වෙල්ලස්‌සේ කැරැල්ලේන් පසු ඉහත බ්‍රවුන්රිංග් ආණ්‌ඩුකාරයාම යටත් විජිත මහ ලේකම්ට ලීවේ මෙසේය. ''සියලු වාරිමාර්ග ක්‍රම විනාශ කරවා ඇත. පලතුරුවලින් පිරුණු ගස්‌ කපා දමා තිබේ. මුළු පළාතම පාලු වී ඇත. වයස අවුරුදු 18 ට වැඩි වයසේ සිංහල මිනිසුන් මරණයට පත් කොට ඇත. ඌව වෙල්ලස්‌ස දෙපළාතෙම බිත්තර වී සොයා ගැනීමට අපහසුය'' එහෙත් පරාධීන යුගයේ පවා නොමැරී තිබු අපේ ගැමියන් ගේ පරිසරහිතකාමී සොබාවාදය වැනසීමට බ්‍රිතාන්‍ය රජය ගත් වෑයම 1920 ගනන් වලදී බදුල්ලේ කච්චේරියේ රාජකාරී කළ රොබට්‌ නම් ඒජන්ත කෙනෙකු පවත්වාගෙන ගිය දින පොතක ඇති මේ සටහනෙන් පෙනේ. ''ඌවේ මිනිස්‌සු හරි කපටියි. ඔවුන් අපි කියන දෙයක්‌ පිළිගන්නේ නෑ. ඔවුන් අපි දිහා බලන්නේ සැකයෙන්. පහළ ඌවට ජලය හිඟ කිරීමට කළ හැකි එක්‌ ක්‍රමයක්‌ තමයි, අපේ තේ වතු ආශ්‍රිතව, විශේෂයෙන් ''ටර්පන්ටයින්" වැනි ජලය උරා ගන්නා ගස්‌ වැවීම. එවිට ඒ අයත් අපව අනුගමනය කරනවා ඇති. කල් යැමේදී අපි බලාපොරොත්තු වන ජල හිඟය ඉබේම ඇති වේවි''.

අධිරාජ්‍යවාදීන් ගේ පාලනය තුළ පරාධීනව සිටි යුගයේ ගිලිහුණු ජාතික සංස්කෘතික උරුමයන් හා බටහිර ගැති අනුකාරකවාදයට ඇති ලැදියාව සූක්‌ෂම ලෙස මුළු සමාජයම අවනතියට තල්ලු කොට අවසන්ය. පාරම්පරිකව පරිණාමය වෙමින්, සොබා දහමෙන් සුපෝෂණය වූ ඒ විශිෂ්ට ආහාර වේලෙහි උරුමය අපගේ පැරණි සංස්කෘතියේ අංගයක් විය. යටත් විජිතවාදීන් ශ්‍රී ලාංකිකයින්ගේ ගමන ආපසු හරවා ඇත. සියල්ල බිමට සමතලා කරන මහා සංවර්ධනය පරිසරය වනසමින් ඉදිරියට යන අතරේ වාණිජකරණය වූ පරිභෝජනවාදී ජිවන රටාව ඉතා රුදුරු ලෙස සමාජය ගිලගනිමින් සිටී. හිරු සඳු තාරකා ගංගා ඇලදොළ සතා සීපාවා ගහකොළ මහ පොළොව නොඉඳුල් ස්‌වභාවිකත්වය මුලිනුපුටා දැමූ ආහාර රටාවක්‌ වසංගතයක්‌ව මිනිසා ගිලගෙන පැතිර යමින් තිබේ. දෛනිකව උග්‍රවෙමින් පවතින කෙමෙන් අපව මරණය කරා ගෙන යන ලෙඩ රෝග බහුල වෙමින්, බත් කනවාට වඩා බෙහෙත් පෙති ගිල දමන තත්ත්වයකට අපව පත් කර ඇත්තේ, ඉවක්‌ බවක්‌ නොමැතිව කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ, ජාන වෙනස්‌ කළ, කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් යෙදූ, ක්‌ෂණික ආහාර සහ පෝෂණ විෂමතාවයෙන් යුතු වැරදි ආහාර භාවිතයට ගැනීම නිසාවෙනි. අධිරාජවාදීන් තමන්ගේ අනාගත ආහාර සහ වෙළෙද අවශ්‍යතාවයන් සාක්‌ෂාත් කර ගැනීම උදෙසා අපේ රටේ පැවති කෘෂි සංස්‌කෘතිය ඊනියා කෘෂි කර්මාන්තයෙනුත්, වාරි ශිෂ්ටාචාරය වාරි මාර්ග, කොන්ක්‍රීට් වේලි සහ සහ වාරි යෝජනා ක්‍රම මගිනුත් මේ භූමියෙන් මුලිනුපුටා දමන ලදි. ඔවුන් අපේ විශිෂ්ට ස්වාභාවික තිරසාර පරිසරහිතකාමි ආහාර පරිභෝජන රටාව මෙන්ම උසස්‌ පෝෂණීය ගුණදායි ආහාර වර්ගද මෙරටින් අතුරුදහන් කළෝය. 

මෙරට උසස්‌ බීජ වර්ග ඒවායේ ජාන සම්පතද සමගම කොල්ල කා ගත් ඔවුහු අපේ ගොවින් මෝඩ අනුකාරකවාදී නිවටුන් බවට පත් කර, ඔවුන්ගේ උපදෙස් අනුව කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් බවට පත් කළහ. සාමන්‍ය ජනතාව සුදු පාන් පිටි, කිරි පිටි, ඇපල්, මිදි, ටින් මාළු, කෝලා බීම, මීට්‌ බෝල්, සොසේජස්‌, සීරියල් යනු සුපිරි ආහාර යෑයි හිතන මතන ඒවා මත යැපෙන සුපර් මාර්කට්‌ පාරිභෝගිකයින් බවට පත් කොට ඇත. ජනතාව ඒවා බදා වැළඳගෙන ඇත්තේත් ඒවා තමන්ගේ දරුවන් හැට දෙන්නෙත් ඒවායේ අවදානම පිළිබඳ නොදන්නා කමමෙන්ම ඒවාට සුදුසු දේශීය විකල්පයන් සුලබ නොවීම නිසාවෙනි. අපගේ ජාන හුරු වූ ස්‌වභාවික සම්ප්‍රදායික ආහාර වල වටිනාකම සහ ගුණ මහිමය සහ ඒවාට නිසි සුරක්‌ෂිත ඉහුම් පිහුම් ක්‍රම පිළිබඳ නොදන්නා කම නිසාවෙන් ඒවායින් මිදී නවීන මාදිලියේ සැකසුම් ඇසුරුම් කළ ආහාර වලින් යැපෙන්නට පුරුදු වී තිබේ. එම සම්ප්‍රදායික භෝග සහ ඉබේ වැවුණු ආහාර භෝග සුරක්‌ෂිත කර නොගත් නිසාවෙන් සහ වැඩි දියුණු කළ ජාන වෙනස්‌ කළ දෙමුහුන් කළ භෝග වර්ග පමණක්‌ වගා කිරීම නිසාවෙන් ඒවායේ ජාන සම්පතද පිරිහී ගියේය. ඒ අනුව අද දවසේ අප වගා කරන බණ්‌ඩක්‌කා ඇටයේ, ගස්‌ ලබු ඇටයෙ පටන් අල ගෙඩිය දක්‌වා සියල්ල පිටරැටියන්ගේ ය. ඒවා සඳහා අවැසි කෘෂි රසානික ද්‍රව්‍යයද ඒ කෘෂි රසායනික වල සඟවා ඇති සමූල ඝාතක වස විස ද උන්ගේ ය. පස සකස්‌ කරන උදැල්ල ද, සීසාන නඟුල ද උන්ගේ ය. අස්‌වැන්න නෙලන සුනාමිය වැනි යන්ත්‍ර සූත්‍ර ද, අස්‌වැන්න අසුරන ගෝනිය ද, ඒ ගෝනිය මසන ගෝනි කටුවද, නූල් ද උන්ගේය. එහෙත් මෙකී විජාතික සරණ ගිය ආහාර අනුභවයෙන් අප කරා පැමිණෙන රෝග පීඩාදීන් ලැගුම් ගන්නේ අපගේ ශරීර වලය. ඒවායින් මියැදෙන්නේ අපේ මිනිසුන්ය. ඒ රෝග පීඩාදීන් සඳහා බොන බෙහෙත් පෙත්ත ද අවසානයේ අවයව බද්ධ කරන්නට පණ රකින්නට එවන යන්තර ද උන්ගේ වන අතර, ඒවාට ගෙවන්නේ අපේ මුදල් ය. 

කුසගින්නේ සිට මියැදීම තරම් තවත් පාපයක් හෝ මනුෂ්‍යත්වයට අවමානයක් මේ මිහි පිට නැති වුවත් මේ මොහොත වන විටත් ලෝකයේ අති විශාල ජනකායක් කුසගින්නේ මිය යනවා ඇත. දේශගුණික හා කාලගුණික විපර්යාසයන් නිසා ලෝක ජනගහණයෙන් හරි අඩකටත් වඩා දුර්භීක්ෂයන් හේතුවෙන් අන්ත අසරණව සිටී. කෝටි 620ක් තරම් වූ ලෝක ජනගහණයෙන් මිලියන 800ක් පමණ මේ වන විට හාමතේ මියදෙමින් සිටී. වසරේ සෑම දිනකම අප්‍රිකානු, ආසියානු හා ලතින් ඇමරිකානුවන් 60000කට අධික ප්‍රමාණයක් කුසගින්න දරාගත නොහැකිව මිය යයි. මිනිසා විසින් පරිසරය වෙත එල්ල කරන අනිටු බලපෑම් හේතුවෙන් දිනෙන් දින ආන්තික කාලගුණික තත්වයන් නිර්මාණය වන අතර ගෝලීය උණුසුම ඉහළ යමින් ලෝකය තුල උග්‍ර ආහාර හිඟයක් ඇති වෙමින් පවතී. ක්‍රි.ව. 2000න් මෙපිට මෙම තත්වය තවදුරටත් දෙගුණ, තෙගුණ වෙමින් පවතී. ලෝක ජනතාවගේ ප්‍රධාන ආහාර සම්ප්‍රදායට වග කියන සහල්, තිරිඟු, ඉරිගු හා සෝගම් වගාවන් උග්‍ර පාරිසරික ව්‍යසනයන් හේතුවෙන් දැඩි තර්ජනයකට ලක්ව පවතී. චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, මියන්මාරය වන් ලෝක ආහාර නිෂ්පාදනයේ නියමුවන් මේ වන විටත් දැඩි නියං, ගංවතුර, සුළි කුනාටු වලට කොටුව බැට කමින් සිටී. අප්‍රිකානු මහද්වීපික ඇතැම් රටවල් දැඩි නියඟය හා නොනවතින යුධ ගැටුම් හේතුවෙන් උග්‍ර සාගතයකට මුහුණදෙමින් සිටී. මෙලෙස ආහාර හිඟයෙන් බැට කන අහිංසක ජනතාව බේරාගැනීමට ලෝක ආහාර සංවිධානය වැනි සංවිධාන ලොව ප්‍රබල රට වලින් ආධාර උපකාර ඉල්ලමින් සිටී. ලෝකය තුල එලෙස සිදුවෙද්දී අප රට තුලද මන්දපෝෂණ තත්වයන් යළි හිස ඔසවමින් පවතින බවත් මෙයට අප රටේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා ගොදුරුව ඇති බවත් මෑත සමීක්ෂණ ප්‍රතිඵල විදහා දක්වයි. අද අපි වසරක් පාසා අත් දකින නියඟය හා ගංවතුර ආදී ආන්තික කාලගුණික තත්වයන් ගම්බද ගොවිතැන් කරමින් දිවි ගෙවන දිළිඳු ජනතාවටද නාගරිකව වෙසෙන මිළ මුදල් ඇත්තවුන් ට ද එක ලෙස බලපා ඇත. 

කාර්මික විප්ලවය, හරිත විප්ලවය හරහා පාරිසරික තිරසභාවය තුට්‌ටුවකට මායිම් නොකරන නූතන සංවර්ධනය හා සංවර්ධනයේ දර්ශක රාජ්‍ය ප්‍රතිපත්ති තුළ මුල් බැස ගනිමින් තිබේ. ඒවා ජනතාවගේ නොදැනුවත්කම නිසාවෙන් දේශපාලනයේ ජනප්‍රිය සටන් පාඨ බවට පත්ව තිබේ. අපෙන් ඈත් වුණු සම්ප්‍රදායික ආහාර කෙරෙහි අපගේ අවධානය වඩා වැඩියෙන් යොමු විය යුතු යුගයක ආනයනික ආහාර සඳහා විදේශ විනිමය වැය කරමින් සිටිමු. හරිත විප්ලවය ජනතාව මරාගෙන මැරෙන තත්ත්වයකට පත් ව කෘෂිකාර්මික වකුගඩු රෝගය මාරාන්තික ලෙස ගොවිබිම් බිලි ගනිමින් තිබේ. යෙදවුම් සඳහා වැය වන අධික වියදම ගොවීන්ට දරා ගැනීමට නොහැකි වීම නිසාවෙන් පමණක්‌ නොව, පරිසරයට සහ ආහාර භෝග වලට එක්‌කළ අධික වස විස කන්දරාව, ඉවක්‌ බවක්‌ නොමැති පරිසර විනාශය, භෝග විවිධත්වය, මෙන්ම ස්‌වභාවික ආහාර භෝග වඳ වීම ද නිසාවෙන් එය අද දවසේ සම්භාවනාවට පාත්‍ර වන්නේ නැත. අපේ රටට ආවේනික මහා කෘෂි සංස්‌කෘතිය, වාරි ශිෂ්ටාචාරය, මෙරට මහ පොළොවට ගැළපෙන හීය, දේශගුණයට ඔරොත්තු දෙන දේශීය බීජ, සුවදායක පරිසරය හා පරිසරයට හිතකර කෘමි සතුන්, පාංශු ජීවීන් හා ක්‌ෂ්‍රද්‍රජීවීන් ගොවීන්ගේ සම්ප්‍රදායික දැනුම හා සාරධර්ම හරිත විප්ලවය සහ නව ලිබරල් ආරථීක ක්‍රමවේද නිසාවෙන් අපි අහිමි කර ගත්තෙමු. මේ ඛේදවාචකය යළිත් වෙළෙන්දන් ගේ තෝතැන්නක් බවට පත් කොට මුදලට යට වූ ජන මාධ්‍යය එහි නව සංස්කෘතික විලෝපනයක් බිහි කරමින් සිටියි.



විවිධ ප්‍රභව වලින් ලබාගන්නා වූ ආහාරමය පදාර්ථයන් ගණන වැඩි වන්නට අපි පෝෂ්‍ය විවිධත්වය හා පෝෂණ සුරක්ෂිතතාව අතින් පොහොසත් වූවෝ වෙමු. ඒ නිසා වූවේ භෝජන රටාවන් හා රජරට භෝජන රටාවන් අතරත්, යාපා පටුනේ හා රුහුණේ ආහාර රටාවන් අතරත් විවිධ වෙනස්කම් තුළින් අපේ ප්‍රාදේශීය ජන සෞඛ්‍යය හා පෝෂණය ඔවුන්ගේ සම්පත් මතින් ආරක්ෂා විය. නෙළුම් කොළේ බත් කෑමත්, කෙසෙල් කොළේ බත් බැදීමත්, පුවක් කොළපුවේ බත් බැදීමත් පිටුපස බොහෝ සමාජ පාරිසරික දර්ශයන් පවතී. එහෙත් අද නගරයේ අවන්හල් තුළ විකිණෙන නෙළුම් කොළයේ බත් යනු සමාජයේ ජනප්‍රිය භෝජන විලාසයක් විනා සංස්කෘතික හරයන් මත නිපැයුණු පුරුද්දක් නොවේ. මග තොටේ නෙළුම් කොළේ බත්, කෙසෙල් කොළේ බත්, ගමේ විදියට කෑම, පොල් අතු බත් කඩේ ආදී ලොකු පුවරු ගැසූ කඩවල් නොහොත් ආපන ශාලා දක්‌නට ලැබුණ ද නෙළුම් කොළේ, කෙසෙල් කොළේ, පොල්අතු බත් කඩේ විකිණෙන්නේ අපේ අතීතකාමයයි. ශීතකරණ නොමැති අතීතයේ පොදු ජනතාව බොහෝ දුරක් ගෙවා පයින් ගමන් යන කල සිය කුසගින්න නිවා ගැනීමට ආහාර ඇසුරුම් ක්‍රම ගැන අවධානය දැක්වූහ. කෙසෙල් කොළයේ බෙදන ලද බත් මුලක්, පුවක් කොළපුවේ බදින ලද බත් මුලක් අද පොලිතීන් සිවියකින් ඔතා පහසු කරනු ලැබුවද එයින් මතුවන අයහපත් විපාක වලින් මුළු සමාජය ම පීඩා විදි යි.

එසේ නම් අනාදිමත් කාලයක සිට මුතුන් මිත්තන්ගෙන් සාම්ප්‍රදායිකව පැවතගෙන ආ අපගේ උතුම් වූ ආහාර සංස්කෘතියට කුමක් වීද? බහු මාධ්‍යය හරහා ලෝකය අතැඹුලක් වීමෙහි ප්‍රථීපලයක් ලෙස ඇස ගැටෙන ඕනෑ එපා සෑම දෙයක්ම බදාගන්නට යෑමේ ඵලවිපාකයන් ඇස්පනා පිට අපට ඵලදෙන්නට පටන් අරගෙන හමාරය. රටේ හතු පිපෙන්නාක් මෙන් බිහිවන සුපිරි වෙළඳ සල් හා බැලු බැලූ පැත්තේ ඇරෙන සුපිරි අවන්හල් ය. නිවසේ කෑම ටික පිලියෙල කරගන්නට මැලි කමක් දක්වන ගෘහණියන් ගේ හැඳි මිටේ නුවණත් හමාර වී ඇති හෙයින් ඔවුන්ගේ රස නහර පිනවන්නට නිවසෙන් පිට ක්ෂණික ආහාර ඇති පදමට ඇත. මෙරට ජනතා සෞඛ්‍යය නගා සිටවූ සාම්ප්‍රදායික ජිවන ක්‍රමය බහු ජාතික කූට වෙළදුන්ගේ ග්‍රහණයට හසු වී ඇති අතර අපේ ආවේනික වූ පෝෂණ සංස්කෘතිය දරුණු ත්‍රස්තවාදයේ ගොදුරක් වී හමාරය. අපේ දේශීය ගොවි කමේ පදනම බදු වූ කොටු, කොරටු, හේන්ද, ගෙවතු, බඩවැටි, ඕවිටි ද ස්වභාව දහමෙන් අපට දායාද වූ තෙත් බිම්, විල්ලු, කලපු, ගංගා හා ඇල දොල කිසිදාක අපව හාමතේ තබන්නේ නැත. එබැවින් ආර්ථික සම්බාධක පැනවීමෙන් අපේ රටේ ගැමියන් ගේ දේශීය සමෘද්ධිය උදුරා ගත නොහැකි වුවත් ඔවුන්ගේ ආකල්ප සිතුම් පැතුම් වෙනස කිරීමෙන් ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් විතැන් කොට අවසන්ය. 

අපේ පැරැණියෝ අගනා ජල බැදි ශිෂ්ඨාචාරයක් අපට උරුම කර දුන් අතර දිය පහරවල් අවහිර නොකර පහළ මිටියාවත් වල වැව් බැඳ ගොවිතැන් බත් කළෝය. මේ සියල්ල අපේ කෘෂි ජෛව විවිධත්වයේත්, සංස්කෘතියේත් මුදුන් මූලයන් ලෙස අප බතින්, බුලතින් හා පළතුරින් පිරී ඉතිරී ගිය ජාතියක් බවට පත් කළේය. එහෙත් අද වාණිජකරණය වූ මාධ්‍ය විසින් පෝෂණය කර නානාප්‍රකාර මාධ්‍ය කලාවන්ගෙන් ඔතා හැඩ ගැන්වූ ප්‍රචාරක දැන්වීම් අහිංසක පාරිභෝගිකයාගේ ඔළුව හිරි වට්ටමින් ලබා දෙන ආහාරයන්ගේ අගය හා එහි විවිධත්වය සූක්ෂම ආකාරයෙන් වෙනස් කොට ඇති අතර ඒවායේ ගුණාත්මය තුට්ටුවකට මායිම් කළ නොහැකිය. මෙසේ පිට ඔපයට මං මුලා වූ ශ්‍රී ලාංකික ජාතියම අද අඳුරේ ගිලී ඇත. පොලු මුගුරා අමෝරාගත් කිරි පිටි හා පාන් පිටි වෙළදුන්ට අනේක වාරයක් හිස නමමින් නොවටිනා මිලකට වස විස කමින් බොමින් මුහුදට දත නියවන ජාතියක් බවට අප පත්කර හමාරය. හාල්, පරිප්පු, පාන්පිටි, සීනි හා කිරිපිටි අත්‍යාවශ්‍ය ආහාර ලෙස සලකමින් විදේශයන්ට ගැත්තන් වී සිටින්නේ ඉන්නක් නිකන් ඇන්නත් පැලවෙන රත්තරං මහ පොලොවක් අප සතුව තිබියදීත්ය. තවමත් අප බොහෝ ප්‍රමාද නැත. වහ වහා අපගේ පාරම්පරික ආහාර සංස්කෘතිය වෙත දෑස් විවිර කල යුතු කාලය පැමිණ ඇත. අප කල යුත්තේ වසර දහස් ගණනක සිට අපට උරුම අපගේ පාරම්පරික ඥානය වල් වැදීමට නොදී තවදුරටත් පරිණාමය කිරීමයි. මිනිසා හා චිමපන්සින් අතර ජානමය වෙනස 1.2% කි. මේ වෙනස නිසා මිනිස්සු කූඩුවෙන් එළියේ සිට කූඩුව ඇතුළේ සිටින චිම්පන්සින් නරඹති. සත්තුවත්හේ සිටින චිම්පන්සින් උගේ ජාන වලට විරුද්ධව කූඩු කර අපි අපේ ජාන වලට එරෙහිව වාණිජ සංස්කෘතික කූඩුවේ සිරවී සිටිමු. 

නෙළුම් කොළේ, පොල්අතු බත් කඩේ අත වනන්නේ සිතින් ගමට යනු පිණිස ගැමි බතෙහි රස විඳින නාගරික වූ ගැමියාටය. පොල් අතු බත් කඩේ ඇතුළත මේස, පුටු, විදුලිපංකා, විදුලි බුබුළු පමණක්‌ නොව කෑම බඳුන් පවා නවීකරණයෙන් අලංකෘත ආපන ශාලාවක් වන අතර පොල් අතු සෙවිලි කොට තිබෙන්නේ පියස්‌සේ පමණි. නෙළුම් කොළේ බත් කඩේ ද වෙනසකට තිබෙන්නේ පිඟානක්‌ වෙනුවට නෙළුම් කොළයක්‌ තැබීම පමණි. නිවැරැදි දේශීය ගැමි ආහාර වේලක්‌ නම් නෙළුම් කොළයට බෙදිය යුත්තේ හීනටි හාලේ බතුත්, කිරි හොද්දක්‌, කොස්‌ ඇට බැදුමක්‌, කරවල කෑල්ලක්‌, පලාකොළ මිටක්‌ ආදී දේය. එහෙත් බෙදෙන්නේ ගෝවා, බීට්‌ රූට්‌, ලීක්‌ස්‌, කැරට්‌, කුකුළු මස්‌, පපඩම්ය. දේශීය ගැමි රසය හා ගුණය සොයා පොල් අතු බත් කඩේට ගිය ගැමියාට ලැබෙන ආහාර වේල එබඳුය. සමහර විට ඒ නෙළුම් කොළේ ද තායි නෙළුම් කොළයකි. එහි බෙදෙන අර්තාපල් ඉන්දියාවෙන්ය. රට ලූනු, රතු ලූනු, සුදු ලූනු ටිකද ඉන්දියාවේය. පරිප්පු ටික පකිස්‌තානයෙනි. පැපොල් ගෙඩිය තායිලන්ත දෙමුහුන් පැපොල්ය. තක්‌කාලි මලයාසියාවෙනි. හට්‌ටි මුට්‌ටි, වළං, පොල් කටු ඇඳි දේශීය වුවත් එහි ඉදෙන බත, එළවළු සියයට සියයක්‌ දේශීයම නොවේ. එනිසා සැබවින්ම දේශීය ආහාර වේල යන්න තුළ අප ගිලී සිටින අසංස්කෘතික මිථ්‍යාව බිඳ හෙළිය යුතුය. එබැවින් අතීත කාමයෙහි ගිලෙනු රිසියෙන් හෝ තමන් සුවකාමී පුරුදු පුහුණු කරනවා යැයි මුලාවී ගැමි බත සොයා නෙළුම් කොළේ බත් කඩේට පිවිසීම සිත රවටා ගැනීමක්‌ පමණක්‌ වනු ඇත. පොල් අතු පියසි, කෙසෙල් කොළය, නෙළුම් කොළය, මැටි හැළි වළං පොල් කටු හැඳි මිස ගැමි දේශීය බත හෝ දේශීය ආහාර රටාව එහි නැත. අඩුම තරමින් දර ලිපක් හෝ නැත. බත ඉදෙන්නේ ගෑස් ලිපේය. එහෙත් බත තිබෙන්නේ මැටි බඳුන් වලය. බත බෙදන්නේ නෙළුම් කොළයටය. 

මිනිසුන් පෝෂණය කිරීම හා ඔවුන්ගේ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා සොබාදහම සතු හැකියාව හා එහි හරිත සම්පත් තුළ සැඟවී ඇති බලය ඉමහත්ය. එය හඳුනා ගත හැකි, අගය කළ හැකි, භාවිතා කළ හැකි, ආරක්ෂා කළ හැකි, ඉදිරියට ගෙනයා හැකි පරපුරක් නිර්මාණය කිරීම යුගයේ කාර්යභාරය වී තිබේ. සාම්ප්‍රදායික භෝග වර්ග සහ දේශීය ආහාර වර්ග ප්‍රචලිත කිරීම මෙන්ම ඒවා සුලබ කිරීමේ වැඩපිළිවෙලක් ද ජාතික මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් දියත් කිරීම තුළින් සෞඛ්‍යය හා පෝෂණය වෙනුවෙන් කළ හැකි මෙහෙය තවත් පුළුල් වන බවය. අතීතයේ අපේ පැරණියන් අතර භාවිතා වූ සම්ප්‍රදායික දැනුම් හා ඊට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවායේ වැදගත්කම නිසි ලෙස අධ්‍යයනය කොට ඒවා ශිල්පීය ඥානය අදට ගැළපෙන පරිදි ගළපා අනාගත තිරසාර පැවැත්මක්‌ ඇති වන සේ සංවර්ධනයට උචිත පරිදි යොදා ගන්නා ආකාරය අප වහ වහා සොයා බැලිය යුතුව ඇත. මෙබඳු කාර්යයකදී දේශීය වෛද්‍ය ක්‍රමයට කළ හැකි මෙහෙවර අති විශාලය. සහශ්‍රක සංවර්ධන ඉලක්ක වලින් සපුරා නොගත් අරමුණු තිරසාර සංවර්ධන ඉලක්ක හරහා සඵල වේ දැයි අපි දෑස් අයා සිටිමු. මිනිසුන් ගේ පරිභෝජන රටාව තිරසාර ආකෘතියක් තුළ පුනරුත්ථාපනය කරන තුරු මේ පරිසර විනාශය වළකා හරිත ජිවන රටාවක් ඇති කිරීම දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජනගහනය වැඩිවීම මේ මහා පොළොව දරා සිටිනු ඇති වුවත් ඉන් කොටසක් විසින් අනුගමනය කරන විනාශකාරී ජිවන රටාවෙන් වෙන හානිය එයට දරාගැනීමට නොහැකිය. 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා