Tuesday, May 9, 2017

ආයුර්වේදයට සීතාම්බර සළු පොරවන සන්නාලියන් ගේ “ගිලෙන නැවේ සාදය”


ලෝකයේ නව සොයා ගැනීම් සියලු ජාතීන් අතර හැමදාම සිදුවුව ද ඒවාට වටිනාකම් ලැබෙන්නේ ගෝලීය වෙළෙඳ පොළ බලවේග අවශ්‍යතාව අනුවය. එසේම ඒ ඒ ජාතීන්ගේ දේශපාලනික දෘෂ්ටිවාද ලෝක බලවතුන් ගේ සංවර්ධන න්‍යාය පත්‍රය හා ගැලපෙන ප්‍රමාණය අනුව එම සොයාගැනීම් වල වැදගත්කම තීරණය වෙන බව බොහෝ දෙනා නොදනී. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ යැයි හංවඩු ගැසූ රටවලට විද්‍යාව හා තාක්ෂණය ලබා දිය යුත්තේ දියුණු යැයි සම්මත රටවල් විසින් බවට පිළිගැනීමක් අප තුළ බිහිකොට ඇත. එනිසා විද්‍යාත්මක පර්යේෂණ නියැලෙන අපේ විද්වතුන් වුවත් සිය නව නිමැවුම් එළි දක්වන්නේ ඒ ගෝලීය මොඩලය හරහාය. අපි දන්නා අපිට පෙනෙන අපිට දැනෙන අපි පිළිගන්නා නව නිපැයුම් වල වටිනාකම් හා වැදගත්කම් තීරණය වන්නේ තොරතුරු සංනිවේදන මාධ්‍ය මගින් අප තුළ නිර්මාණය කරන "සාමූහික නොදැනුවත්කම" ට සාපේක්ෂවය. මේ ආකෘතිය ගොඩනගන්නේ මා අදහස් කළ සාමූහික නොදැනුවත්කම හෙවත් සමාජගත විපරීත බුද්ධිය අප තුළ නිර්මාණය කිරීම හෝ චින්තනයේ කොටසක් ලෙස ස්ථානගත කිරීම හරහා. මෙයින් ඇති වන "දෘෂ්ටිවාදී විලම්බනය" නිසා සාමාන්‍ය විතර්ක බුද්ධිය හා තර්කන හැකියාව සාපේක්ෂව පහළ යනවා. එවිට අපි සිතන්නේ වෙළඳ පොළ අවශ්‍යතා අනුව. ඔවුන් නිපදවන දේ මිළදී ගැනීමට අප තුළ අවශ්‍යතා ද නිර්මාණය කරනවා. අපේ ජන සමාජය ඔවුන් ගේ නිෂ්පාදන මිළදී ගන්නා, ඒවා පාවිච්චි කරන, ඒවා අගයන, ඒවා අන් අයට හඳුන්වා දෙන, ඒවා අපේ ඊළඟ පරපුරට හුරු කරන මෝඩ පාරිභෝගිකයින් පිරිසක් බවට පත් කොට හමාරය. ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙන යාමේ මුලික කොන්දේසිය වන්නේ මේ ගෝලීය දෘෂ්ටිවාදය නිසි ලෙස තේරුම් ගැනීමය. ආයුර්වේදය පිළිබඳ වෘත්තීය අභිමානය ගොඩ නැගීම සඳහා වෙළෙඳ පොළ බලවේග හැසිරෙන අයුරු වෘත්තිකයින් හට තේරුම් බේරුම් කර දීමේ හෝරාව එළඹී තිබේ. 

ලෝකයේ ආර්ථික විද්‍යා න්‍යායන් අනුව මිළදී ගැනීමේ හැකියාව සහිත පාරිභෝගිකයින් බිහිකිරීමෙන් අපි අමාරුවෙන් හරි හම්බ කරන මුදල් ඔවුන්ගේ නිෂ්පාදන මිළදී ගැනීමට යොදන විට ඔවුන් සමෘද්ධිමත් ජාතින් බවට පත්වේ. එම රටවල සාමය පවත්වා ගෙන යාමට අපි යුද්ධ කළ යුත්තෙමු. ඔවුන් ගේ බඩකට පුරවන්නට අපි කුසගින්නේ සිටිය යුත්තෙමු. ඔවුන් ගේ රටවල හරිත ආචරණය අවම කිරීමට අපි අපේ වනාන්තර සුරැකිය යුත්තෙමු. ඔවුන් ගේ කාබන් විමෝචනය අඩු කිරීමට අපි තිරසාර සංවර්ධන ඉලක්ක කරා යා යුත්තෙමු. ඔවුන් ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට අපි එන්නත් ලබා ගත යුත්තෙමු. මේ ක්‍රියාදාමය තවත් මට සිලුටු කිරීමට ඔවුන් වෙත අපේ සම්පත් විකිණීමට අවශ්‍ය මග පෙන්වීමත් ඊට පහසුකම් සැපයීමත් කරයි. අපේ රටවල විද්වතුන් ඔවුන් සඳහා සේවය සපයමින් ඔවුන් ගේ ගීතයට අනුව රංගනය කරයි. ඒ ස්වාමියාගේ හඬට (his master’s voice) වැනෙන නැටවෙන වහලුන් ගේ බුද්ධියයි. අපි හඳුනා ගත යුත්තේ මේ ස්වාමියාගේ හඬ එන්නේ කොහෙන්ද යන්නට වඩා එහි සැඟවුණු අරුත කුමක්ද යන්නයි. ආයුර්වේදයට අත් වෙමින් පවත්නා ඉරණම විග්‍රහ කිරීමට මෙන්ම එය තේරුම් ගැනීමටත් මේ පසුබිම තුළින් වියුක්ත වූ මොඩලයක් සොයා ගැනීමට නොහැකිය. මේ තත්වය ගැන නිසි අවබෝධයක් නොමැති සන්නාලියන් මසා දෙන සීතාම්බර සළු පොරවා ගෙන ආයුර්වේදය ජාත්‍යන්තරය ගෙන යන්නට දත කන බොහෝ දෙනා පිටස්තරයින් ගේ පදයට රුකඩ මෙන් නැටවේ. ඔවුන් දෙස බලා සිටින නව පරපුරේ සමහර වෘත්තිකයින් ද ඊට නොදෙවැනි ලෙස මේ සීතාම්බර සළුව ගැන ගුණ වයයි. ගොනාට ඇන්දවීම හා ගොනාට ඇඳීම යන දෙකම එකිනෙකට නොදෙවැනි ලෙස මේ ප්‍රගුණ කළ මේ සන්නාලියන් අපේ ක්ෂේත්‍රයට කරන හානිය ගැනයි මේ ලියන්නේ. 

ආයූර්වේද ක්ෂේත්‍රය පාලනය කරන්නේ වෛද්‍යවරුන් නොවේ. ප්‍රධාන ආයතන වල මුල් පුටු වල වැජඹෙන්නේ වෛද්‍යවරුන් නොවේ. ඉඳ හිට හෝ ඉහළ තනතුරකට වෛද්‍යවරයෙකු පත් කළත් එබඳු අය වැඩ කරන්නේ පරිපාලන නිලාධාරී මාෆියාවේ අතකොලු ලෙසිනි. දුර්වලයොන් තනතුරු වලට පත් කොට පසුව වෛද්‍යවරුන් පරිපාලනය නොහැකි යැයි මතයක් ඇති කරන්නේ ද මේ මාෆියාව විසිනි. අපේ සෙසු වෛද්‍යවරුන් බහුතරය ද නිලධාරි මාෆියාවේ අකටයුතුකම් ඉවසා සිටින්නේ නිවට කම නිසා යැයි මේ මාෆියාව සිතයි. එනිසා ඔවුන් සියලු වරප්‍රසාද විඳිමින් වෛද්‍යවරුන්ගේ ඔලුවට අත සෝදයි. වෛද්‍යවරුන් ගේ වෘත්තීය අයිතිවාසිකම් වලට පයින් ගසා ඊට එරෙහිවන්නන් මර්ධනය කිරීමට සියලු යටි උගුල් අටව‍යි. සමහර පාවාදෙන්නන් සිය නීච ගති නිසා මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ලෙස නිලධාරී මාෆියාවේ කටු ලෙවකයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් අතර ද මේ තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බව අමතක නොකළ යුතුය. පිටස්තරයින් අපේ ආයතන තුළ මුල් පුටු වල ඉඳ ගැනීමත් ඔවුන්ගේ වහලුන් අනුගාමිකයින් සේ වාසි ලැබීමත් ගෞරවයක් සේ සලකන විද්වතුන් ශාස්ත්‍රඥයින් ලෙස සලකන්නේ කෙසේ දැයි ගැටලුවකි පෞද්ගලික වාසි සඳහා ආයතනික අභිමානය හා වෘත්තීය අනන්‍යතාව පාවා දෙමින් සහචරයින් ගේ සුබසිද්ධිය වෙනුවෙන් පිටස්තරයින් ගේ පය ලෙවකන අය කිසි දින පොදු අරමුණු වෙනුවෙන් පෙනී නොසිටී. එබඳු අය ආයූර්වේදය ගැන ගුරුහරුකම් ගන්නේ මෙකී පිටස්තරයින් ගේ මහා දැනුම් කෝෂ පරිශීලනය තුළිනි. ඔවුන් අනුගමනය කරන සමහර සිසුන් තුළ ද පරාධීනත්වය හා වහල්බව මුල සිටම රෝපණය වන අතර ඔවුන් ද මේ පරගැති ආකල්ප වල ගොදුරු බවට පත් වේ. ආයුර්වේදය ක්ෂේත්‍රයේ මුල් පුටු හෙබවූ බොහෝ පිටස්තරයින් ඒවා අත් හැර ගියේ කැමැත්තෙන් නම් නොවේ. ඔවුන් සමහර විට ආයුර්වේද සංගම් අටවා ගෙන හෝ ආයූර්වේදය තුළින් යැපෙන ව්‍යාපාරිකයින් ගේ පිහිටෙන් අනියම් වාසි ලබමින් හැසිරෙන බව නිසැකය. ඔවුන් සැම විටෙකම මාන බලන්නේ නැවත තනතුරක් ඩැහැගන්නට හෝ තමන්ගේ හෙන්චයියන් හරහා කුමන්ත්‍රණ දියත් කරන්නට ය. අපි ප්‍රවේශම් විය යුත්තේ මේ පිටස්තරයින් හා ඔවුන් ගේ අනුගාමිකයින් ක්ෂේත්‍රය තුළ සිය බලය තහවුරු කිරීමේ කුමන්ත්‍රණය වෘත්තීය අභිමානයට බරපතල අභියෝගයක් නිසාය. දැන් එළඹ ඇත්තේ එය පරාජය කිරීමේ හෝරාවයි. ගෝස්තරය නිසා ඊට සහාය නොදෙන පාවාදෙන්නන් පිටුදකිමු. ඒ සඳහා පුලුල් වෘත්තීය සන්ධානයක් හරහා ප්‍රගතිගාමී බලවේගයක් ගොඩනැගිය යුතුය.

පසුගිය දින කිහිපයේ දී ආයුර්වේද ක්ෂේත්‍රය තුළ බොහෝ දේ සිදුවිය. ඒවායින් බොහෝ දේ සිදු නොවිය යුතුව තිබිණ. තමන්ගේ ම සගයන් ගේ බෙලි කපන්නට ගොස් තම ආයතන වල අනාගතය බිල්ලට දුන් නරුමයින් ද ඒ අතර සිටී බව දුටිමු. බලය උදෙසා වන සිහින සැබෑ කරගැනීමට ඕනෑම තුප්පහි වැඩක් කරනවාට වඩා වැදගත් වන්නේ උසස් වෘත්තීය සංයමයක් හා ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් ක්ෂේත්‍රයක් ගොඩනැගිය හැකි ද යන්නයි. ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙන යා හැක්කේ එය පිටස්තර බලවේගයන්ට පාවා දීමෙන් නොව එහි වෘත්තීය බලය වර්ධනය කිරීමෙන් බව නොදන්නා අලජ්ජි විද්වතුන් සිසුන් නොමග යවන්නේ හුදු බඩගෝස්තරය සඳහා මිස අන් කිසිදු යහපත් අරමුණක් ඇතිව නොවේ. ආයුර්වේදයේ අනන්‍ය ලක්ෂණ මතුකර එහි ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය ඉස්මතු කිරීමට එරෙහිව සිසුන් ගේ සිත් දුෂණය කරන ශාස්ත්‍රීය ක්ලීවතාව ආයතන තුළ රජ කරවන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා සඳහා බව අවබෝධ කළ යුත්තෙමු. ආයූර්වේද ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා විප්ලවකාරී පිම්මක් පැනිය යුතු මොහොතක එකිනෙකා අතර කුලල් කා ගැනීම් ඇතිවීම යම් කම්පනයක් බව කිව යුතුය. මත ගැටුම් හා අදහස් වල නොගැලපීම් නිසා වාද විවාද ඇතිවීම ස්වාභාවික වුවත් ඒවා එකිනෙකාගෙ පෞද්ගලිකත්වයට හානි වන මට්ටමට ඇවිලීම සුබ ලකුණක් නොවේ. එබඳු ගැටුම් වලින් නිර්මාණය වන වියවුල තුළ බොර දියේ මාලු බාන බලවේග ක්‍රියාත්මක වීමත් ඒ අර්බුදය බඩගෝස්‍තරවාදීන් සිය වාසියට යොදා ගැනීමත් සිදුවේ. ආයුර්වේදයට සීතාම්බර සළු පොරවන මේ සන්නාලියන් ගේ ලිං මැඩි මානසිකත්වය නිසා සිදුවන විනාශය ඉමහත්ය. 

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සදාචාරය රැකීමේ ලා වගකියන ආයුර්වේද වෛද්‍ය සභාවේ ෂණ්ඩක ප්‍රතිපත්‍ති හා එහි අලජ්ජී නිලධාරින් ගේ දූෂණ හේතුවෙන් වෙදනම කෙලසන වෙදකම වනසන හොර වෙදුන් රට පුරා රජ කරයි. ඒ කෙරෙහි ඇතිවන වෛරය හා ද්වේෂය නිසා නියම පාරම්පරික වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගෞරවයට හානි නොකළ යුතුය. එසේම පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂාකිරීම වෙනුවෙන් උරදෙන සංවිධාන අවංක ලෙසම හොර වෙදුන් සිය සීමාවෙන් පන්නා දැමිය යුතුම ය. ආයුර්වේද ක්ෂේත්‍රයේ නව නීති සම්පාදනය කරන සෑම අවස්ථාවකම අපි මුහුණ දුන් අභියෝගය වූයේ පාරම්පරික වෙදකම මුවාවෙන් රෝගීන් සුරා කන ඇතැම් හොර වෙදුන් ගේ මුදලින් යැපෙන සට්ටැඹියන් විසින් අටවා ගත් සංවිධාන වල විරෝධයට සාධනීය යෝජනා යටපත් වීමයි. මේ වන විට අපි හඳුනා ගත් ප්‍රධාන අභියෝගය වන්නේ ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය නිසි ලෙස ස්ථානගත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමයි. එහිදී රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් ගේ වගකීම හා කැපවීම ඉතා වැදගත් ය. එසේම රාජ්‍ය සේවයෙන් පිට පෞද්ගලික සේවා සලසන වෘත්තිකයින්ගේ වෘත්තීය ගුණාත්මකභාවය ද ඊට දෙවැනි නොවේ. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ගොඩ නැගීමට ඇවසි පාරම්පරික වෙදකමේ දැනුම් සංරක්ෂණය හා එහි අනාගත උපයෝගීතාවයි. මේ කරුණු වඩා පුලුල්ව හා ගැඹුරින් සංවාදයට බඳුන් කළ හැකි වේදිකාවක් තුළ මත ගැටුම් ඇතිවන්නේ නම් එය සතුටුදායකය. එනිසා අපි වාද විවාද කළ යුත්තේ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හේතු වන තේමාවන් ඔස්සේ බව නැවතත් ලියමි. ආයුර්වේද ක්ෂේත්‍රයේ බොහෝ දෙනා සිටින්නේ “නැව ගිලුණත් බෑන් චූන්” මානසිකත්වයෙනි. ඊට හේතුව ඔවුන් ඉතා කුඩා දේවල් වලින් සතුටු කළ හැකි මෙන් ම තමන්ට සිදු වන අගතියක් විනාසයක් හෝ පාඩුවක් හමුවේ ඉතා සරල බොරු වලින් රැවටිය හැකි නිසාය. ඔවුන් දේශපාලනඥයින් සහ රජයේ නිලධාරින් කියන දේ හිස් මුදුනින් පිළිගන්නා අතර එබඳු දේ තුළින් නිසැකව තමන්ගේ සුබසිද්ධිය සිදුවන බව ද විශ්වාස කරයි. එනිසාම මැතිවරණ පොරොන්දු සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශන කෙරෙහි අසීමිත බැති සිත් උපදවයි. එහෙත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරන්නේ තර්කානුකුල පදනමක් මතය. අපි පෙන්වා දිය යුත්තේ ආයුර්වේදය සඳහා රජය මුදල් වෙන් කළ යුත්තේ ඇයි? යන්නයි. එසේ නැතහොත් රජය ආයුර්වේදය දෙස බලන්නේ අනුකම්පාසහගත ලෙස පවත්වා ගෙන යා යුතු පුණ්‍ය සේවාවක් ලෙසය.

සයිටම් තීන්දුවෙන් දොස්තර සංහතිය කුජීත වී යැයි සියුම් ප්‍රීතියක් ඇති වන හැම විටම ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තීරණය කිරීමේ බලය අධිකරණය සතු කර ගැනීමේ අවදානම ගැන ඇතිවන්නේ කළකිරීමකි. සයිටම් ආයතනයේ බිහිවීමට මෙරට අශික්ෂිත දේශපාලනය හා අශිෂ්ට ආර්ථික ත්‍රස්තවාදය වගකිව යුතුවාක් මෙන්ම එහි පැවැත්ම නිර්බාධිතව තහවුරු කිරීමට වෛද්‍ය සභාවේ අවිනිශ්චිත නිශ්ශබ්දතාව ද බලපෑ බව කිව යුතුය. දොස්තරලාගේ ගෝත්‍රික ආකල්ප හා අවෘත්තීය ධනවාදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්වාගෙන ගිය ඒකාධිකාරය වෛද්‍ය සභාවේ දේශපාලනික අධිපතිවාදය මගින් සුරතල් කරනු ලැබුවා මිස එහි සමාජ බලපෑම තේරුම් ගත්තේ නැත. සයිටම් කෙරෙහි නිදිමත කුසීත ප්‍රතිපත්තියක් අනුගමනය කළ වෛද්‍ය සභාව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් උසාවි යන තෙක් නින්දෙන් ඇහැරුණේ නැත. වෛද්‍ය සිසුන් වෙනුවෙන් අනෙක් සිසුන් පාරේ කඳුලු ගෑස් රබර් උණ්ඩ වලට මුහුණ දෙන තෙක් මෙඩ්ඩන්ට රිදුණේ නැත. රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩි වැටුපට වාහන බලපත්‍රයට ජාතික පාසැල් වලට රෝගීන් බිල්ලට දුන්නා මිස සයිටම් නිසා චැනල් වර්ජනය කළේ හෝ වේලක් නොකා උපවාස කළේ නැත. මෙරට වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමේ නීතිමය බලය ඇතැතිව සිටි වෛද්‍ය සභාව ආයුර්වේද වෛද්‍යවරුන්ට පුප්පන පෙනයවත් සයිටම්ලාට පිප්පුවේ නැත. මේ ආයතනය පිහිටුවා පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවාගත් විගසම නීතිය ඉදියට ගොස් සිය බලය ක්‍රියාත්මක කරන්නට තරම් උවමනාවක් ඔවුන්ට නොතිබුණේ ඇයි ද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. වසර 5 ක් ඉගෙනගත් සිසුන්ගේ ඒ වරදට වන්දි ගෙවිය යුතුද යන මානුෂික ප්‍රශ්නයට දැන් පිළිතුරු සෙවිය යුතුය. අවම වශයෙන් සයිටම් ආයතනය රජයට පවරා ගෙන එහි ගුණාත්මක බව වැඩි දියුණු කිරීම හා සිසුන් හට කඩඉම් යෝග්‍යතා විභාගයක් පවත්වා මේ අර්බුදය නිමවා ගැනීම මීළඟ සාධනීය පියවර වන්නේය. එහෙත් වෛද්‍ය සභාවම ගුණාත්මකභාවයෙන් තොර යැයි නිගමනය කළ සයිටම් දොස්‍තරලා ඔවුන්ටම ලියාපදිංචි කිරීමට සිදුවුවහොත් සභාපති පමණක් නොව මුලු වෛද්‍ය සභාවම හාරාකිරි ක්‍රමයෙන් දිවි තොර කර ගැනීම ගෞරවාන්විතය. මන්ද එසේ නොවුව හොත් බටහිර වෛද්‍ය සභාව ආයූර්වේද වෛද්‍ය සභාවටත් අන්ත අසරණ කුජීත තත්වයට පත්වන නිසාය.

ආයුර්වේද වෛද්‍ය සභාව පසුගිය කාලය තුළ ක්ෂේත්‍රයේ සිදුවූ පරිහානියට වගකිව යුතු ආයතනය බව බොහෝ නිලධාරින් දන්නා නමුත් අන්‍යොන්‍ය වාසි නිසා ලේඛකාධිකාරීවරයාගේ දුෂණ හා අක්‍රමිකතා වසන් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ප්‍රසිද්ධ රහසකි. අභිමානවත් වෘත්තියක් ලෙස ආයුර්වේද වෛද්‍යවරුන් හට සමාජයේ පෙනී සිටීමේ අනභිභවනිය අවස්ථා අහිමි කරනු ලැබුයේ නිතිය වල් වදින විට ආයුර්වේද වෛද්‍ය සභාව අහක බලා සිටීමේ ප්‍රතිඵලය විසිනි. නව නෛතික ප්‍රතිශෝධන යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ ලා බොරු පතුරුවන මෙහෙයුමේ මුලිකයා ලෙස නිලධාරි මාෆියාවේ සුරතලා ලෙස කටයුතු කරන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා බව නොරහසකි. මේ වන විට හොර වෙදුන් හා එක්ව මඩ ගැසීම් හා පෙත්සම් ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ ඔහු එළිපිට අදහස් දක්වන්නට තරම් කොන්දක් නොමැති හීන පෞරුෂයක් නිසාය. මා හිටපු ආයුර්වේද කොමසාරිස් ඇතුළු නිලධාරී මාෆියාවට ප්‍රසිද්ධියේ අභියෝග කරන විට ඔවුන්ට කළ හැකි එකම දෙය නම් මා සම්පත්දායකයෙකු ලෙස වැඩසටහන් වලින් වාරණය කිරීමයි. කෙලින් අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රතිපල ලෙස එබඳු අත්දැකීම් කොතෙකුත් අපි අත් විඳ ඇති අතර එනිසා මොවුන්ගේ ඒකාධිකාරය වැනසීමේ අරගලය අත්නොහරින බව පැහැදිලිව කිව යුතුය. ලෝකයේ ඉපැරැණිම වෛද්‍ය ක්‍රමයක් ලෙස වෛද්‍ය වෘත්තීය ආචාරධර්ම පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කළ ආයූර්වේදය වෘත්තීය ගුණාත්මකභාවය ඉහළින්ම සලකයි. බටහිර වෛද්‍යවරුන් හිපෝක්‍රටීස් ප්‍රතිඥාවට බැඳී සිටින ලෙස ආයූර්වේද වෛද්‍යවරුන් හට ද වෘත්තීය ප්‍රතිඥාවක් යළිත් හඳුන්වා දිය යුතුය. යළි හඳුන්වා දිය යුතු බව කීවේ අතීතයේ මුල්ම වෛද්‍ය ක්‍රමය ලෙස හිපොක්‍රටීස් ආචාර්‍යතුමාටත් පෙර ලොව එබඳු ප්‍රතිඥාවක් ලොවට ඉදිරිපත් කළේ ආයුර්වේදය නිසාය. මේ වන විට බලාත්මක වෘත්තීය ආචාරධර්ම පිළිබඳ නීතීය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අසමත් වෛද්‍ය සභාවක් ඇතිතාක් කුමන ප්‍රතිඥාවකින් වුව ඵලක් නොවේ. එහෙත් අනාගතයේ දී වඩා යහපත් සමාජ පිළිගැනීමක් සහිත වෘත්තීය තත්වයක් ආයූර්වේද වෛද්‍යවරයාට හිමි විය යුතුමය. මා ආයූර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීව සිටි යුගයේ වෘත්තීය ප්‍රතිඥාව නැවත හඳුන්වාදීමේ යෝජනාව සම්මත වී ප්‍රතිඥාවක් ද කෙටුම්පත් කළ නමුත් ඒ කාර්යය අතරමග නවතා දැමිණ. අද වන විට ආයූර්වේද වෛද්‍යවරයාගේ වෘත්තීය අභිමානය හා ගෞරවය ආරක්ෂා කිරීමේ ලා මෙබඳු ප්‍රතිඥාවක අවශ්‍යතාවය වඩාත් කැපී පෙනේ. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වල අවධානය යොමු වීම කාලෝචිත බවයි මගේ අදහස.

ඉතිහාසය දෙස බැලූ විට අපි අවබෝධ කරගන්නා සත්‍යය වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මුල් බැස ගන්නට අවශ්‍ය නිසි පහසුකම් සැපයීමේ වැඩසටහන අඩාල වී ඇති බවය. මේ ආයතන පිහිටුවීමේ ලා පුරෝගාමී වූ දේශීය වෛද්‍ය විශාරදයින්, සංවිධාන හා දේශපාලන නායකයින් ඉන් අපේක්ෂා කළ මහඟු සේවාව ලබා ගැනීමේ අසමත් පාලකයින් ඒවා තුළත් ඉන් පිටතත් කාලයක් පුරා මුල් පුටු වල කාලය කා දැමීමේ අනිටු විපාකය අද විඳිමින් සිටිමු. ඒවායින් බිහිවන උපාධිධාරින් මහ මගට ඇද දැමීමෙන් එහි ශෝචනීය ඉරණම සාමාන්‍ය මහජනයා ද අත්විඳිනු නිසැකය. මේ රටේ ජාතික උරුමයක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කරගැනීමේ මුලික වගකීම ඇත්තේ එහි අධ්‍යාපනය පවත්වා ගෙන යන ආයතන වලටය. වර්තමාන සමාජ අවශ්‍යතා වලට ගැලපෙන වෛද්‍යවරුන් බිහි කිරීමේ ශාස්ත්‍රීය වගකීම රැඳී ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළය. එසේම උපාධිධාරීන් බිහි කර අහක බලා ගෙන සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් ඔවුන්ට නැත. එහෙත් සමහර මුග්ධ බඩගෝස්තරවාදීන් කරන්නේ විශ්ව විද්‍යාලය තුළ නිකං බලා සිටිමින් එළියේ ටියුෂන් ක්‍රමයට උගන්වා මුදල් ගසා කෑමය. ඔවුන් ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගත් ලෙස විකුණන්නේ ඉන්දියානු පර්යේෂණ හරහා ඉදිරිපත් කළ දැනුමයි. මේ කුටිල කුහක මානසිකත්වයෙන් මිදී ඔවුන් සිය උපාධිධාරීන් හට වෘත්තීය අගයන් හා අභිමානය පවත්වා ගැනීමේ අවස්ථාව සැලසුම් කළ යුතුයි. මහජන මුදලින් බිහි කළ වෛද්‍යවරුන් අතරමං කිරීමට රජයට ද කිසි අයිතියක් නැත. එය සිය ජාතික මානව සම්පත් සැලැස්මේ කොටසක් විය යුතුය. එසේ නොමැතිව උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ගේ ශ්‍රමය, දැනුම හා බුද්ධිය නාස්තිවීමට ඉඩ හරින්නේ පසු ගිය දශක කිහිපයක් පුරා සිදු වූ මේ දේශපාලනික අත්වැරැද්ද නිසාය. උපාධියෙන් පසු ඔවුන් මුහුණ දෙන සමාජ ආර්ථික ප්‍රශ්න ගැන බලධාරින් හට අබමල් රේණුවක අවබෝධයක් නැත. එසේම රාජ්‍ය සේවාව තුළ මානව සම්පත් හිඟය නිසා ආයුර්වේද සේවාවේ ගුණාත්මක බව පිරිහෙමින් පවතින අතර වටිනා මානව සම්පත් අපතේ යමින් තිබේ. 

ආයූර්වේදය ඉන්දියානු සම්ප්‍රදායෙන් අප ලද උරුමයක් වුවත් අද වන විට එය නෛතික පිළිගැනීමට ලක් ව ඇත්තේ 1961 අංක 31 දරන ආයූර්වේද පනත මගින් ය. දේශිය චිකිත්සාවේ අනන්‍යතාව නෛතිකව ආයුර්වේදය තුළට ලඝු කොට ඇත්තේ ඒ අනුවය. එහෙත් අපි අභිමානයෙන් කථා කරන දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සුභාවිත චිකිත්සා ඥනය අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රණාලිය තුළ විධිමත් ව ස්ථානගත කර නොමැති බව මගේ පෞද්ගලික නිරීක්ෂණයයි. මීට දශක කිහිපයකට පෙර පූර්වගාමී විශ්වවිදාල ආයතන තුළ පැවති දේශීය චිකිත්සා පරිචය ක්‍රමයෙන් ආයතනික සම්ප්‍රදායන් තුළින් ගිලිහී ‍යාමේ තත්වයට වගකිව යුත්තන් කවුද? අපි ඉතා විවෘතව ස්වයං විවේචනයක් සහිතව මේ තත්වය පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ගොඩනැගිය යුතු කාලය එළඹ ඇත. ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත ච්කිත්සා ඥානයට පාදක වන දේශීය සම්ප්‍රදායන් ආයුර්වේද උපාධි පාඨමාලාව තුළ ‍ප්‍රතිස්ථාපනය කළ යුතු බව එයින් අවධාරණය කෙරේ. මෙහි වඩාත් වැදගත් ම පරමාර්ථය විය යුත්තේ උපාධිධාරී වෛද්‍යවරයා සමාජය තුළ වෘත්තීය අභිමානය සහිතව සුභාවිත චිකිත්සා කෞශල්‍යය හරහා ආයුර්වේදයේ උපයෝගීතාව ලොවට කියාපාන තත්වයට ගෙන ඒමයි. ආයුර්වේද අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශීය අනන්‍යතාව හෙවත් ශ්‍රී ලාංකේය සළකුණ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට මතු වී තිබේ. ගෝලීය ප්‍රවණතා ඉදිරියේ වඩා තිරසාර හා විචක්ෂණ අධ්‍යාපන ප්‍රණාලියක් සකස් කිරීමේ වගකීම විශ්වවිද්‍යාලට පැවරෙන අතර අපි ඒ අභියෝගය නිසි ලෙස අවබෝධ කර ගත්තේ ද යන්න නැවත සාකච්ඡා කළ යුතුය. ක්ෂේත්‍රයට ගැලපෙන හා පිළිගැනෙන පශ්චාත් උපාධි පාඨමාලා සැලසුම් කිරීමේ වැඩපිළිවෙළක් හා සියලු දෙනාට සම අවස්ථා සැලසීමේ ප්‍රතිපත්තියක් මේ සඳහා අවශ්‍යව තිබේ. යෝජිත "දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය" (Post Graduate Institute of Indigenous Medicine) තුළින් මෙම අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා විධිමත් සැලසුමක් හා පුළුල් සංවාදයක් අවශ්‍ය වන අතර එය සවිමත් කිරීමේ ලා සියලු පාර්ශ්වයන් හි සහයෝගය ලැබිය යුතුය. එවිට අනාගතයේ දී නිසි ප්‍රමිතියෙන් යුත් පශ්චාත් උපාධිධාරින් එකම ආයතනයකින් බිහි කිරීමේ ජාතික වැඩසටහන තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව සලකුණු කළ හැකිය.

සයිට්ම් ප්‍රශ්නයෙන් අපි උගත යුතු පාඩම් බොහෝය. ආයුර්වේද වෘත්තිකයින් වෛද්‍ය ගණයට ඇතුළත් කරන නීති සම්මත කරන දිනයේත් මේ විරෝධය දොස්තර නඩයෙන් එල්ල නොවුවහොත් පුදුමයකි. අපේ කොල්ලන් සයිට්ම් ප්‍රශ්නයේදී දොස්තරලාට දෙන සහාය අපේ ප්‍රශ්නයේදී ඔවුන් ගෙන් පෙරලා ලැබේදැයි සැකසහිතය. සීතාම්බර සළු පොරවා ගෙන උජාරුවෙන් දොස්තරලා සමඟ එකට හිටගන්නා විට ඔවුන් අපේ නිරුවත වර්ණනා කරයි. එහෙත් ඔවුන් ගේ ගෝත්‍රිකවාදී ආකල්ප නිසා වෘත්තීය කටයුතු වලදී අප හා එකට අසුන් නොගනියි. ආයුර්වේද වෛද්‍යවරුන් වෛද්‍ය ගණයේ ලා සැලකෙන වෘත්තිකයින් පිරිසක් ලෙස සැලකීමේ අවමානය මට වඩාත් ම දැනුනේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සාමාජිකයින් ලෙස අපේ නම් වලට ඉදිරියෙන් වෛද්‍ය යන්න යෙදීමට එරෙහිව බටහිර වෛද්‍යවරුන් විරෝධය පළ කළ අවස්ථාවේදීය. වෛද්‍ය ගණයේ වෘත්තිකයින් ලෙස නෛතික වරප්‍රසාදය ලබා ගැනීමේ අරමුණින් එදා සිට ඇරඹූ අරගලය කිසි දිනෙක අපි අත් නොහළෙමු. එසේම මේ නීතිමය ස්වෛරීත්වය අපගේ වෘත්තිකයින් හට ලබා දීමේ ලා කැප වූ බවට සාක්ෂි විනා එය පාවාදුන් බවට කිසිම සාක්ෂියක් ඇතිව අයෙකුට අභියෝග කළ නොහැකිය. මේ අර්බුදය විසඳාලීමට නම් අප ඉතා සාවධානව අපේ ක්ෂෙත්‍රයට අදාළ නෛතික ප්‍රතිශෝධන කිහිපයක් කළ යුතුව තිබේ. වෛද්‍ය නාමය හා එහි වරප්‍රසාද බටහිර වෛද්‍ය වෘත්තිකයින් හට ලැබෙන්නේ වෛද්‍ය ආඥා පනතේ විධි විධාන මගින් ය. පසු කාලීනව සම්මත කළ සෞඛ්‍ය අණපනත් හා වෙනත් ආනුෂාංගික නීති මගින් එය ඉතා අනුල්ලංඝනීය ලෙස ස්ථාපිත විය. වෛද්‍ය ආඥා පනත තුළම දේශීය වෛද්‍යවරුන් වෙනම කණ්ඩායමක් ලෙස අර්ථ දැක්විමෙන් හා පසුව සැකසුණු දේශීය වෛද්‍ය අණපනත් තුළින් එය එසේ පිළිගැනීම තුළින් ද අපි නෛතිකව වෛද්‍ය ගණයෙන් පිටමං කරනු ලැබූවෙමු.

එම තත්වය අපේ වෛද්‍ය සේවාවේ යෙදෙන වෘත්‍තිකයින් හට මෙන්ම විශ්වවිද්‍යාල වල උගන්වන ආචාර්යවරුන් හට ද ඉතා බරපතල ලෙස හානිකර වූ නමුත් ඊට යම් විසඳුමක් ලබා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් දියත් නොවීමෙන් ඒ තත්වය වඩාත් උග්‍ර විය. විශේෂයෙන් ම විශ්වවිද්‍යාලයේ උගන්වන ආචාර්යවරුන් වෛද්‍ය ගණයට අයත් නොවීමෙන් ඔවුන් ගෙන් බිහිවෙන උපාධිධාරීන් හට ද වෛද්‍ය ගණයට ඇතුළත් වීමේ සුදුසුකම අහිමි වේ. එය ක්‍රමයෙන් විෂම චක්‍රයක් ව ක්ෂේත්‍රයේ බොහෝ අර්බුදයන් නිර්මාණය කරද්දී තවත් පිරිසක් බටහිර ඖෂධ නියම කිරීමේ අයිතිය ඉල්ලා සිටීමේ තත්වය හමුවේ බටහිර වෛද්‍යවරුන් මේ ප්‍රශ්නයේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ශක්තිමත් කළෝය. කෙසේ වෙතත් එම බටහිර ඖෂධ ප්‍රශ්නය නිසා මේ අර්බුදය වඩාත් සංකීර්ණ වූ අතර වෛද්‍ය ගණයට අයත් නෛතික වරප්‍රසාද ඉල්ලා සිටින්නේ අනියමින් බටහිර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටීමේ උපායක් ලෙස බව බලධාරීන් ගේ අදහස විය. එනිසා මෙම ගැටලුව මතම බටහිර වෛද්‍ය සභාව එහි වෘත්තිකයින් හට අවිද්‍යාත්මක වෛද්‍යක්‍රම සමඟ එක්ව අධ්‍යාපන හෝ පර්යේෂණ කටයුතු වල නියැලිම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කළේය. එනිසා අපේ විශ්වවිද්‍යාල ආයතන වල ඉගැන්වීමේ යෙදී සිටි බටහිර වෛද්‍යවරු ඒවායින් ඉවත් විය.අපි ආයූර්වේද පනත සංශෝධනයේදී පවා මේ කණ්ඩායමේ අදහස් හා මතවාද නිසා දෙගිඩියාවට පත් වුණා. සමහර විට විශාල පසුබෑම් වලට මුහුණ දුන්නා. එනිසා ආයූර්වේදීය අනන්‍යතාවට හිමි විය යුතු නෛතික ස්වාධිපත්‍යය ගිලිහී ගියා. එහෙත් විවිධ මුහුණුවරින් මේ දෙමුහුන් සංකල්පය කරළියට එන අතර එහි බටහිර විද්‍යා විෂයයන් හි ඔතා සරසන ලද පිට ඔපයට රැවටෙන නව පරපුර එයින් තමන්ගේ වෘත්තීය අභිමානය ඇතිවෙතැයි විශ්වාස කරයි.

මේ වෛද්‍ය ගණයේ ගැටලුව හුදෙක් නීති ප්‍රතිශෝධනයක් මගින් පමණක් විසඳිය නොහැකි බව අපි ඉතා පැහැදිලිව පසක් කළෙමු. ඒ සඳහා ප්‍රතිපත්‍තිමය, නෛතික හා ආයතනික ප්‍රතිශෝධන අවශ්‍ය බවත් එය ක්‍රමානුකූලව හා විධිමත්ව සිදුකළ යුතු බවත් අපේ මතයයි. එහි මුල් පියවර ලෙස එකල බටහිර වෛද්‍ය සභාව සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉතිහාසයේ පළමුවරට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් පැවැත් වීය. එසේම ආයූර්වේද වෛද්‍ය සභාව වෙත මේ සම්බන්ධයෙන් මණ්ඩල පත්‍රිකාවක් මගේ අත්සනින්ම ඉදිරිපත් කළෙමි. එහෙත් මගේ රාජකාරි කාලයෙන් පසුව ඊට සිදුවූයේ කුමක් දැයි නොදනිමි. වෘත්තීය ගුණාත්මකභාවය හා ආයතනික බලය අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය අවබෝධ නොකිරීමේ ප්‍රතිවිපාක මේ ගැටලුවේ අවදානම ලඝු කොට සැලකූ බව පෙනේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිය වරප්‍රසාද අත්පත් කර නොගැනීමේ විපාකය ද වෘත්තිකයින් ගේ හිස මහ කඩා වැටුණු බව කිව යුතුය. ආයුර්වේද වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල ආයතන හා දෙපා‍ර්තමේන්තුවේ වෛද්‍ය සේවාව මේ අර්බුදය විසඳීමේ පාර්ශ්වකරුවන් විය යුතුය.ඊළඟ පියවර ලෙස අපි යෝජනා කරන්නේ නෛතික ස්වාධීනත්වය උදෙසා ක්ෂේත්‍රයේ ආයතනික ව්‍යුහය බලගැන්වීමේ මෙහෙයුම වහා කඩිනම් කිරීමයි. මෙවර ඒ සඳහා ලැබුණු අවස්ථාව අපට අනුව නම් ඉතා ප්‍රබල නියෝජනයකි. එමගින් ආයුර්වේද වෛද්‍ය සභාව, ආයුර්වේදය වෛද්‍ය සේවාව, ආයුර්වේද නෂ්පාදන, ආයූර්වේද ආයතන, ආයූර්වේද පර්යේෂණ, යන,ක්ෂේත්‍ර සඳහා වෙනම පනත් සම්පාදනය කිරීම මුල් අදුයර ලෙස ක්‍රියාත්මක කෙරේ. දෙපර්තමේන්තු ව්‍යුහය තුළ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ආයුර්වේද වෘත්තිකයෙකු පත් කිරීම ඊළඟ පියවරයි. යෝජිත නෛතික ප්‍රතිශෝධන තුළ අප වෘත්තිකයින් වෛද්‍ය ගණයට ඇතුළත් වන නීතිමය ප්‍රතිපාදන ඇතුල් කොට තිබේ. පුහුණුව හා නිපුණතාව මත වෘත්තිකයින් ප්‍රභේද කිරීමේ මූලධර්මය මෙහිදී යොදාගෙන තිබේ. මෙවර අපගේ යෝජිත විසඳුම පහසුවෙන් ළඟා කර ගත හැකි පරමාදර්ශී තත්වයක් නොවන බව අවබෝධ කරගත යුත්තේ ක්ෂේත්‍රය තුළත් මීට එරෙහි බලවේග ක්‍රියාත්මක වන නිසාය.

මේ වෛද්‍ය ගණයේ ගැටලුව හුදෙක් නීති ප්‍රතිශෝධනයක් මගින් පමණක් විසඳිය නොහැකි බව අපි ඉතා පැහැදිලිව පසක් කළෙමු. ඒ සඳහා ප්‍රතිපත්‍තිමය, නෛතික හා ආයතනික ප්‍රතිශෝධන අවශ්‍ය බවත් එය ක්‍රමානුකූලව හා විධිමත්ව සිදු කළ යුතු බවත් අපේ මතයයි. එහි මුල් පියවර ලෙස 2005 දී පමණ එකල බටහිර වෛද්‍ය සභාව සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉතිහාසයේ පළමුවරට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් පැවැත් වීය. එසේම ආයූර්වේද වෛද්‍ය සභාව වෙත මේ සම්බන්ධයෙන් මණ්ඩල පත්‍රිකාවක් මගේ අත්සනින්ම ඉදිරිපත් කළෙමි. එහෙත් මගේ රාජකාරි කාලයෙන් පසුව ඊට සිදුවූයේ කුමක් දැයි නොදනිමි. වෘත්තීය ගුණාත්මකභාවය හා ආයතනික බලය අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය අවබෝධ නොකිරීමේ ප්‍රතිවිපාක මේ ගැටලුවේ අවදානම ලඝු කොට සැලකූ බව පෙනේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිය වරප්‍රසාද අත්පත් කර නොගැනීමේ විපාකය ද වෘත්තිකයින් ගේ හිස මහ කඩා වැටුණු බව කිව යුතුය. ආයුර්වේද වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල ආයතන හා දෙපා‍ර්තමේන්තුවේ වෛද්‍ය සේවාව මේ අර්බුදය විසඳීමේ පාර්ශ්වකරුවන් විය යුතුය.ඊළඟ පියවර ලෙස අපි යෝජනා කරන්නේ නෛතික ස්වාධීනත්වය උදෙසා ක්ෂේත්‍රයේ ආයතනික ව්‍යුහය බලගැන්වීමේ මෙහෙයුම වහා කඩිනම් කිරීමයි. මෙවර ඒ සඳහා ලැබුණු අවස්ථාව අපට අනුව නම් ඉතා ප්‍රබල නියෝජනයකි. එමගින් ආයුර්වේද වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සේවාව, ආයුර්වේද නිෂ්පාදන, ආයූර්වේද ආයතන, ආයූර්වේද පර්යේෂණ, යන, ක්ෂේත්‍ර සඳහා වෙනම පනත් සම්පාදනය කිරීම මුල් අදියර ලෙස ක්‍රියාත්මක කෙරේ. දෙපර්තමේන්තු ව්‍යුහය තුළ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ආයුර්වේද වෘත්තිකයෙකු පත් කිරීම ඊළඟ පියවරයි. යෝජිත නෛතික ප්‍රතිශෝධන තුළ අප වෘත්තිකයින් වෛද්‍ය ගණයට ඇතුළත් වන නීතිමය ප්‍රතිපාදන ඇතුල් කොට තිබේ. පුහුණුව හා නිපුණතාව මත වෘත්තිකයින් ප්‍රභේද කිරීමේ මූලධර්මය මෙහිදී යොදාගනු ලැබේ. මෙවර අපගේ යෝජිත විසඳුම පහසුවෙන් ළඟා කර ගත හැකි පරමාදර්ශී තත්වයක් නොවන බව අවබෝධ කරගත යුත්තේ ක්ෂේත්‍රය තුළත් මීට එරෙහි බලවේග ක්‍රියාත්මක වන නිසාය. ගිලෙන නැවේ සාදය නතර කර පිටස්තර ලෝකයට සාවධාන වෙමු.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

No comments:

Post a Comment