Thursday, May 19, 2016

ගොඩයා ගේ බඩට ගහන බටහිර වෙදකම හෙවත් “බට-හිර” වූ ගොඩ වෙදකම

හොර වෙදුන්, බොරු වෙදුන් හා රට වෙදුන් ගැන ලිවීමෙන් පසු එහි දෙවන කොටස ලියන්නේ වෙනත් මානයකින් මේ ප්‍රශ්නය තේරුම් කර ගැනීම සඳහාය. බටහිර කියන්නේ බස්නාහිර හෙවත් බසින හිරුට අයත් අරුතින් වුවත් එය හොඳින් තේරුම් ගන්නට ශාස්ත්‍රීය ලෙස “අපරදිග” කියන වචනය යොදා ගන්නට පුළුවන්. අපි මේ පෙරදිග අපරදිග කතාව කියන්නේ අපි ලෝක සිතියමේ ඉන්න තැනට සාපේක්ෂව. එහෙම නැත්තං ලෝකය අපි දකින සිතියමේ විදියට පැතලි සමතල බිමක තිබෙනවා කියන විශ්වාසයේ මත. ලෝකය ගෝලයේ කිසිම විදියක උතුරු-දකුණු, පෙරදිග-අපරදිග භේදයක් තියෙන්න බැහැ. ඒත් ග්‍රිනිච් රේඛාව බ්‍රිතාන්‍යය උඩින් වැටිලා තියෙන බව පිළිගත්තම අපි හිරු නොබසින අධිරාජ්‍යයේ සංස්කෘතික බලයත්, ඉංග්‍රීසි භාෂාවේ දැනුම් හා තාක්ෂණික ශ්‍රේෂ්ඨත්වය මත යැපීමෙන් එහි ආර්ථික උත්තරීතරත්වයත්, පොදු රාජ්‍ය මණ්ඩලයේ කිරුළට හිස් නැමූවම බ්‍රිතාන්‍යයේ දේශපාලනික ආධිපත්‍යයත් නිකංම පිළිගන්නවා. ඒ නිසා මේ Western කියන අර්ථයෙන් බටහිර යන වචනයට දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික මානයක් තියෙනව. අපි දැන හෝ නොදැන හිර වෙලා ඉන්නේ ඔන්න ඔය කියන දේශපාලනික-ආර්ථික-සංස්කෘතික රාමුව (බටයක්) ඇතුලේ. බටහිර කියන්නේ බටයක හිරවුණු කියන කතාව මං අහුලා ගත්තු එකක්. ඒත් මං ඒක ටිකක් දියුණු කරලා පුළුල් කරලා අපේ ප්‍රස්තුතයට යොදා ගන්නයි මං හිතුවේ.

බටහිර වෙදකම බටයක හිරවෙලා කියන්නේ ඒක පටන් ගන්නේ බට වලින් ඉවර වෙන්නෙත් බට වලින් නිසා. විද්‍යාත්මක පර්යේෂණ කෙරෙන රසායනාගාරයක තියෙන බට ඇතුළේ හිර වෙලා (in-vitro) තිබුණු සංකල්ප සිද්ධාන්ත වෙලා ඒවා දැනුම් අධිකාරියේ මුද්‍රාව තියලා පොත පත හරහා අපේ ඔලු ගෙඩි වල තැන්පත් කරනවා. ඉතින් ඒ දැනුම උපදින්නේ බට තුළ තමයි. දැන් ඊට වඩා පුළුල් ලෙස මේ කාරණය විස්තර කළොත් බටහිර දැනුම් සම්භාරය අනිත් රටවල අධ්‍යාපනයට හා සංස්කෘතියට එන්නත් කරන්නේ ඔවුන්ගේ දේශපාලනික චැනලය (බටය) හරහා. ඒ නිසා බටහිර දැනුම විසිරිච්ච බුරුල්වෙච්ච දියාරුවෙච්ච් දැනුමක් නෙවෙයි. ඒක ඉතා නියත ගති ලක්ෂණ සහිත සංකේන්ද්‍රීය තියුණු විනිවිද යන ගුණ සහිත ප්‍රබල ප්‍රවාහයක්. ඒ නිසා ඒක ඉතා ඉක්මනින් මොළය මගින් ග්‍රහණය කර ගන්නවා. මනසට කා වදිනවා. සංස්කෘතියේ නහර ගත වෙනවා. ඒ නිසා ඒ දැනුම ක්‍රියාත්මක වෙන්නේ ඉතා සංවිධිත පද්ධතියක් ලෙස. එම නිසා එහි ආධිපත්‍යය පිළිගත් අයෙක් එම පද්ධතියෙන් බැහැර නොයයි. ඊට අනුගත වූ අය එහි සිමාවෙන් පිටත සිදුවන දේ සත්‍ය ලෙස පිළි නොගනී. එසේම ඉන් බැහැර වූ දැනුම් දරන අය නිසි සුදුසුකම් ලත් අය ලෙස ද පිළිනොගනී. පද්ධතිය බටයක් වන්නේ එය රේඛීය (linear) ප්‍රවාහයක් ලෙස ගමන් කරන හෙයින්ය. එනිසා මේ දැනුම් පද්ධති වල “ප්‍රමාණ” ලෙස සැලකෙනුයේ සංවෘත පද්ධතියක් (බටයක්) තුළ සීමාකාරී සාධක මත සිදුකරන සම්පරීක්ෂණය පමණි.

මෙබඳු දැනුම් පද්ධතියක් තුළ හැදී වැඩුණු “බටහිර වෙදකම” අපේ රටේ මුල් බැස ගන්නේ යුරෝපීයන් විසින් හඳුන්වා දුන් වැවිලි ආර්ථිකයේ අතුරු පලයක් ලෙසයි. එය පසු කලෙක ක්‍රිස්තියානිය ප්‍රචාරය කිරීමේ සමාජ මෙවලමක් ලෙසත් ආගමික බලය ව්‍යාප්ත කිරීමේ මිෂනාරි මාධ්‍යයක් (clinical Christianity) ලෙසත් යොදා ගැනිණ. මුල් යුගයේ දී බටහිර රෝහල් තුළ ආගමික ප්‍රචාරය සඳහා රෝගීන්ගේ වට්ටෝරු පත්‍රිකාවේ බයිබල ශුභාරංචි වැකි මුද්‍රණය කර තිබිණි. ඒ සඳහා භුමිය සකසා ගැනීමට දේශීය වෛද්‍ය ක්‍රම අඩපණ කිරිමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම් වෙත ආණ්ඩුකාරයා යැවු ලිපියක සඳහන් වූයේ මෙරට සැම ගමක් පාසාම වෙදරාළ නමින් දේශීය වෛද්‍යවරයෙක් සිටින බවයි. ඒ මුල් යුගයේ අපේ රටේ ග්‍රාමීය සෞඛ්‍ය සංවිධානයේ බිම් මට්ටමේ සත්කාර සේවාවයි. පසු කාලයේ “ගොඩ වෙදුන්” වූයේ ගමේ ගොඩේ ගොඩ බේත් වලින් අපේ ගැමියන්ගේ ජිවිත ගොඩ දැමු වෛද්‍ය සංහතියයි. අපේ ගම වල බලි තොවිල් යක්ෂයාගේ කටයුතු ලෙස පහර දී හෙළා දැක ක්‍රිස්තියානි යාඥාව හඳුන්වා දුන්නා. යුරෝපයේ යක්දෙස්සියන් පණ පිටින් පුළුසද්දී අපේ ගොඩ වෙදුන් බේරුණේ ඒ වෙනකොට මේ වෙදකම් ගැන පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය ගවේෂකයින් යම් තරමක අධ්‍යයනයක් කරල තිබුණ හින්ද වෙන්න ඇති. මුල් යුගයේදී ඝර්මකලාපීය වෙදකම (tropical medicine) හරහා යටත් විජිත වල හමුදා සෞඛ්‍යයට අවශ්‍ය සේවා සපයන අතර උණුසුම් රටවල ශාක වර්ග අධ්‍යයනය කරන විද්වතුන් එවපු එක. අපේ රටේ ශාක ගැන මෙන්ම සැඟවුණු ප්‍රතිකාර ගැන යම් ඇගයීමක් කරලා තිබුණ විතරක් නෙවෙයි සමහර පුස්කොළ පොත් ඒ රටවලට ගෙනිහින් තිබුණේ. ඉතිරී පොත් පත් මහනුවර ආක්‍රමණයේදී ගිනි තියල විනාශ කළා.

මේ බටහිර වෙදකම කොහොමද ගොඩය ගෙ බඩට ගැහුවේ? එක පැත්තකින් මේ අය ගේ ස්වාමිවරුන් අපේ කෘෂි සංස්කෘතිය විනාශ කළා. මේ අය අපේ දේශීය ආහාර රටාව හා ඊට අදාළ පාරම්පරික දැනුම තුරන් කළා. ඒක තුළ පැවතුනු සංස්කෘතික වටිනාකම්, විශ්වාස, හර පද්ධතිය මෙන්ම එහි ආරක්ෂාකාරී සාධක හානියට පත් කළා. ඒ මත පදනම් වුණු වෙදකමේ පැවත්ම හා එහි සංකල්ප අභියෝගයට, සමච්චලයට ලක් කළා. ඊට පස්සේ දේශීය වෙදකමෙන් ඉතා පහසුවෙන්, සරලව, අඩු වියදමෙන් සුවපත් කර ගත් ලෙඩ රෝග වලට හම්බ කරපු සල්ලි ටික ගෙවන තැනට වැඩ සිද්ධ කළා. සෞඛ්‍යය කියන්නේ මිල අධික වෙළඳ භාණ්ඩයක් (commodity) බවට පත් කළා. බුලත් අතේ තියල ඇති හැකි පමණින් වෙද මහත්තයගෙන් බේත් ගත්තු ගැමිය චැනල් සර්විස් එකට, ලැබ් එකට, ෆාමසියට සල්ලි ගෙවල බඩගින්නේ ඉන්න තත්වෙට පත් කළා. රොබට් නොක්ස් කියපු සිංහලයාගේ බේත් ගබඩාව තුළ තිබුණු වටිනා ශාක ටික විනාශ කළා. මේ රටේ පවුලේ සෞඛ්‍යය රැකබලා ගත්තු අම්මලා ගේ මොළේට උදේ හවස වෙළඳ දැන්වීම් පොම්ප කරන කොට මේ බට-හිර වෛද්‍යවරු නිහඬව හිටිය.  උපදින්න බලාගෙන බඩේ ඉන්න එකාගේ සෞඛ්‍යයටත් කන කොකා අඬන විදියේ කුනුවෙච්ච පරිසරයක් හදන කොට ඒක අපේ නෙවෙයි කියල අහක බලාගෙන හිටිය.

ඊළඟ කතාව ගොඩ වෙදකම බට-හිර උනේ කොහොමද කියන එක. අපේ වෙදකම දෙස බට-හිර ඇසින් බලන්න ගිහින් වෙච්ච වින්නැහියක් ඒක. විශ්වවිද්‍යාල ඇතුලේ දේශීය වෙදකමේ ඇත්ත නැතත් හොයන්න ඒ බේත් බට ඇතුළේ දාගෙන විශ්ලේෂණ කළා. ඒකෙන් සමහරු කියක් හරි හොයා ගත්ත. සමහරු උපාධි ගත්ත. ඒත් තවම අපි අපේ බේත් ටික දීගෙන යනවා. ඒවා හොඳට වැඩ කරනවා. අපි බට-හිර විෂයයන් ඉගෙන ගන්නවා කියල උදන් අනනවා. ඒත් ආයුර්වේද මුලධර්ම වලට පයින් ගහනව. අන්තිමට බට-හිර වෙච්ච් ආයුර්වේද වෛද්‍යවරු බිහි වෙනවා. මේක දැක්කම බොහෝ දෙනා මාත් එක්ක උරණ වෙයි. මට බනියි. මට අභියෝග කරයි. මාව ගලේ ගහල අපුල්ලයි. ඒත් ඇත්ත කතාව අපි වහගෙන ඉන්නේ. දේශීය වෛද්‍යවරුන්ට බටහිර බේත් දෙන්න පුරුදු කළේ 1883 දී ලියපු “වෛද්‍යාභිදානය” කියන පොත ලියපු ධර්මරත්න උන්නැහේ. එයත් බට-හිර වෙච්ච කෙනෙක්. දේශීය වෛද්‍යවරුන් බට-හිර දැනුම් පද්ධතිය තුළ සිර කිරීම ගොඩ වෙදකම අවනතියට කරා යැවීමේ ලා සාර්ථක උපක්‍රමයක් බව එදා සිටම ඔවුන් වටහා ගත් දෙයක්. ආයුර්වේද විෂයමාලාව තුළට බට-හිර විෂයයන් පාලනයකින් තොරව රිංග වීමේ අරමුණ මේ කියන ඉතිහාසය සමඟ බැඳුණු දෙයක්.

බට-හිර වූ අපේම අය නොසිතන නොදකින එක දෙයක් මා අවසන් වශයෙන් ලියමි. ඒ මේ රටේ දේශීය වෛද්‍යක්‍රමය හෝ ආයුර්වේදය යටත්විජිත පාලනයේ නීතිමය ආධිපත්‍යයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමේ පුරෝගාමීන් වූයේ එදා “ගොඩ වෙදුන්” ය. ඒ අරගලෙයේ ඉදිරියෙන් සිටි බොහෝ වෙදුන් ගේ මුල් තිබුණේ අපේ ගොඩ වෙදකමේ පරපුරු වලය. එදා ඒ සටනට පණ දුන්නේ ගමේ ගොඩේ ගුලි කල්ක තෙල් වලින් දස්කම් දැක්වූ ගොඩ වෙදුන් ගේ සමාජ වටිනාකමයි. අපි අද උදන් අනන බොහෝ ජයග්‍රහණ ඔවුන්ගේ කැපවීම් වල ප්‍රතිඵල බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒත් අවසානයේ ආයුර්වේදය බට-හිර වන විට උන් හිටි තැන් නැති වූයේ ඒ ගොඩ වෙදුන්ගේ පරපුරු වලටය. රජයේ ආයුර්වේද රෝහල් පද්ධතිය ව්‍යාප්ත වූයේ උන්ගේ ගොදුරු බිම් මතිනි. උපාධිධාරීන් හට රජයේ පත්වීම් ලැබුණේ උන්ගේ බුලත් අතේ තිබු පඬුරු වල එකතුවෙනි. අන්තිමේදී ගොඩ වෙදුන් ආණ්ඩුවේ පිං පඩි ලබන තත්වයට පත් විය. දැන් සීමාවාසික පුහුණුවේ පාරම්පරික කාර්තුවට සිය දැනුම ප්‍රදානය කරන ගොඩ වෙදුන්ට ගෙවන්නේ මසකට රු. 500 කි. එයත් ලබා ගැනීමට නොයෙක් දුෂ්කරතාය. සීමාවාසිකයා දහසින් බැඳී පියළි ලබද්දී පුහුණව දෙන ගොඩ වෙදාට ලැබෙන සොච්චම නිගරුවකි.  ආයුර්වේද වෛද්‍ය සභාවේ සිටින ප්‍රභූ වෙදුන් මසකට වරක් රැස්වී දොදොල් සමග ඇපල් කා ගාස්තුව සාක්කුවේ දමාගෙන මාරුවෙයි. ලේඛකාධිකාරී පගාව අල්ලස ජරාව දෙස ඇස් ඇර නොබලයි. හොර වෙදුන් බොරු වෙදුන් සභාව ඉදිරියේ මළපහ කරයි. නිලධාරින් උන්ගේ පස්ස හෝදයි. පසුව බලන විට උන් ලියාපදිංචි ලේඛනයේ සිටියි.

දැන් මේ ලියපු ටිකට මාත් එක්ක ඔට්ටු වෙන්න කැස කවන අයට තව එක දෙයක් කිව යුතුයි. අපි ආඩම්බර වෙන බොහෝ දේ අපි දිනාගත් දේවල් නොවෙයි. මෑත ඉතිහාසයේ මේ ක්ෂේත්‍රයේ දිනා ගත්තු ඒකම වෘත්තීය අයිතිවාසිකම ආයුර්වේද සේවා ව්‍යවස්ථාව විතරයි. ඒකත් රජයේ සේවය සම්බන්ධයෙන් මිසක් සියලු වෘත්තිකයන්ට අදාළ ව ලැබුණු හිමිකමක් නෙවෙයි. අපි දැන් නිතරම අරගල කරන්නේ රජයේ රැකියා සඳහා මිසක් ක්ෂේත්‍රයේ දැවෙන ප්‍රශ්න හෝ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නෙවෙයි. රැකියා අරගලය රැකියා ලැබුණට පස්සේ ඉවරයි. විරැකියාව තියෙනකන් ඒ අරගලය තියෙයි. අපේ වෘත්තීය පිළිගැනීම නිසි නෛතික ආකෘතියක් තුළ ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. බටහිර වෛද්‍යවරුන් ගේ මට්ටමට වැටුප වැඩි වුණාට මදි ඒ නෛතික තත්වය නැතුව. පශ්චාත් උපාධි ගන්න හියාම තියෙන ප්‍රශ්න ගැන කවුද කතා කරන්නේ. අපි වසර හයක් BAMS කරලා ආපහු MSc කරන රටක් මේ. කාය චිකිත්සාව ඉගෙන ගෙන ආපහු පංචකර්ම සහතිකේට සල්ලි ගෙවන රටක් මේ. ගම්පහ උපාධිය තවම CCIM එකෙන් පිළිගන්නේ නැහැ. අලුත් විෂය නිර්දේශය වෛද්‍ය සභාවේ අනුමතියට යවල නෑ. ඒව ඉගෙන ගන්න ශිෂ්‍යයින් ගේ වැරදි නෙවෙයි. පරිපාලනයේ වැරදි. ඒ අය හිතුව ගොඩනැගිලි, රසායනාගාර, උපකරණ වලින් සම්පුර්ණ වුණාම හරි කියල. මදේ නැතුව පොත්ත ලස්සනට හැදුව. IIM එකේ අලුත් සිලබස් එකෙත් ප්‍රශ්න. ලස්සන ලොකු ඉංග්‍රීසි වචන වලින් නවීන විෂයක් දෙකක් ඇතුළට දාල ඒකෙන් කරන්නේ ආපහු අයුර්වේදේ අර බටේ හිර කරන එකමයි (බැන්නට කමක් නෑ. කියන්නේ මං දකින දේ).

හොඳට ජවය තියෙන උනන්දුව කැපවීම තියෙන බි.ඒ.එම්.එස්. පෝතකයෝ ගොඩක් අපිට ඉන්නව. ඒ අයව අපේ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට යොදා ගන්න විධිමත් වැඩපිළිවෙලක් රජයට නෑ. තිබුණෙත් නෑ. ඒ සියලු දෙනාම කරන්නෙ තැනින් තැනින් අල්ල ගත්ත ව්‍යාපෘති. එදිනෙදා ප්‍රහ්න වලට විසඳුම් හොයනවා. අපි මැදිහත් වෙන්න අවශ්‍ය වෘත්තිකයෝ හැටියට මේ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. කල් පවතින ජාතික වැඩසටහනක්. අපි වැඩ කරපු හැම ඇමතිවරයෙකුටම මේ ගැන කියල ඇති. ලියල දීල ඇති. විවේචනය කර ඇති. ඔවුන් ඒ සම්බන්ධයෙන් උරණ වූ අවස්ථා පවා තිබේ. වරෙක මා හට අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව  තහනම් කලාප බවට පත් වුණා. සියලු තනතුරු වලින් නෙරපා දැම්මා. ඒත් මම දරන ස්ථාවරය වෙනස් වන්නේ නැහැ. අදටත් කියන්නේ අපි මේ යන ගමන අවදානම්. සියලු අවාසි සහගත සාධක සමඟ අපි රජයේ රැකියාවෙන් සතුටු වෙනවා. වැටුප් වර්ධකයක්, දිමනාවක්, ශිෂ්‍යත්වයක් අහිමි වුණොත් හැර අපේ ලේ රත් වෙන්නේ නැහැ. අපේ වෘත්තීය අයිතිවාසිකම් ගැන නිහඬව සිටිනවා. වෘත්තීය සංගම් දේශපාලනයේ අතකොලු වෙලා. ඔවුන්ට රිදෙන්නේ නායකයින් හට යමක් අහිමිවන විට පමණයි. අපිට දැන් සැබවින්ම අවශ්‍ය වන්නේ “වෘත්තීයමය සංවිධානයක්” (professional organization) මිස වෘත්තීය සමිතියක් නොවේ. නැතිනම් අපිත් ගොඩයාගේ බඩට ගහන ගොඩට වැටෙයි අනාගතේදී. ලියන්නට ගොඩක් දේ හිතේ සිරවී තිබුණත් මිට වඩා මගේ කිර්ති නාමයට හානි කර ගැනීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා. 

Tuesday, May 17, 2016

හොර වෙදුන්, බොරු වෙදුන් හා රට වෙදුන්



කාලෙකින් ලියන්න හිතුනේ එක්තරා දොස්තර මහත්තයෙක් ලියපු ලිපියකින් මගේ හිතට අසතුටක් දැනුණු හින්ද. ඒ “නොපෙනන මානයේ සිට පෙනෙන මානයට පැමිණි හෙළ වෙද හොරු” යන මැයෙන් 2016.05.15 දින රාවයේ පළ වූ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ලියු ලිපිය. මුළු ලිපියම නොවුවත් ඒකෙ අඩංගු සමහර කරුණු සම්බන්ධයෙන් මගේ අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. වෛද්‍ය ගමගේ මහතා මාධ්‍ය පිටියේදී කලකින් හමු වූයේ නැතත් එතුමා ස්වභාවයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය ගැන දරන බොහෝ විසංවාදී හා විතණ්ඩවාදී අදහස් වලට මා තුළ ඇත්තේ වෘත්තීය අරුචියකි. මෙම ලිපියට හේතු වූ එතුමාගේ ලිපිය තුළින් එබඳු අරුචියක් මතු නොවූ වද එහි සමහර කොටස් කෙරෙහි එකඟ විය නොහැකි නිසා මෙය ලියන්නට සිදු විය. එයින් අදහස් වන්නේ මා එතුමාගේ ලිපියේ බොහෝ කරුණු කෙරෙහි එකඟ වන බවත් සමහර කැරුණු වලට විරුද්ධ නොවන බවත්ය. දේශීය වෛද්‍ය නාමයෙන් පෙනී සිටිමින් ජනතාව මුළා කරන, රෝගීන් සුරා කන, හොර වෙදුන් හා බොරු වෙදුන් ඇති තරම් සිටින බව සත්‍යයකි. ඔවුන් හට ප්‍රචාරය ලබා දෙමින් මාධ්‍යයෙන් ඔසවා තබන බව ඊටත් වඩා කණගාටුවට කරුණකි. අද සිදුවන බොහෝ මෙබඳු බාල ගණයේ ප්‍රචාර සම්බන්ධයෙන් මාධ්‍යයේ පහත් වාණිජමය හැසිරීම වගකිව යුතුය. හොර වෙදුන් බොරු වෙදුන් නිසා සිදුවන හානිය ගැන වාදයක් නැත. එය ආයුර්වේද වෛද්‍ය සභාවේ අඩුපාඩු නිසා සිදුවන සමාජ අපචාරයකි.


ලියාපදිංචියෙන් තොරව ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය කර්මයේ නියැලීම මෙන්ම එබඳු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීමද ආයුර්වේද පනතේ විධි විධාන උල්ලංඝනය කිරීමකි. එසේම දඩුවම් ලැබිය හැකි වරදකි. එසේම ලියාපදිංචිය ලත් වෛද්‍යවරුන් හට මාධ්‍ය ප්‍රචාරය හෝ වෙනත් යම් ලෙසකින් තමන් වෙත රෝගීන් කැඳවා ගැනීම ද ආචාරධර්ම වලට පටහැනිය. එබඳු වෛද්‍යවරුන්ට එරෙහිව විනයානුකුල පියවර ගැනීමේ බලය ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවටය. ඔවුන් වෘත්තීය විෂමාචාරයක් කළ බව සනාථ වුවහොත් එබඳු වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම කළ හැකිය. ආයුර්වේද ක්ෂේත්‍රයේ ද ඉතා විධිමත් නීති පද්ධතියක් තිබේ. ක්‍රියාත්මක කිරීමේ දෝෂය ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවේ නිලධාරීන් ගේ දුර්වලකම මතය. එහෙත් මෑතක සිට ගුවන් විදුලිය, රුපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කරන බොරු දැන්වීම් වලට එරෙහිව පියවර නොගැනීමෙන් ආයුර්වේද වෛද්‍ය සභාව ක්ෂේත්‍රයට තුළ සිය නොහැකියාව ප්‍රදර්ශනය කර තිබේ. “දියවැඩියාව නිට්ටාවට සුව කරන වෙද මහතෙකු ගැන ප්‍රචාරය වන දැන්වීම්” හරහා බොරුව වපුරන ඒ වෛද්‍යවරයා තවමත් නිදැල්ලේ ඒ ජාවාරම කරගෙන යයි. ඒ අපේ වෛද්‍ය සභාව හොර වෙදුන් හා බොරු වෙදුන් ගැන සලකන විදියයි. එබඳු හොර වෙදුන් ගැන පියවර නොගන්නේ ඔවුන් ගෙන් වාසි සැලසෙන නිලධාරින් පුටු වල තාමත් නිරුපද්‍රිතව සිටින නිසාය.


දැන් ගමගේ වෛද්‍යතුමාගේ ලිපියේ මා නුරුස්නා වැකිය දෙසට හැරෙමු. “කරුණු එසේ තිබියදී සැත්කම් වලට බිය නුගත් රෝගීන් දේශීය වෙදකම වෙත යොමු වන බව පෙනේ. මිට අමතරව කැඩුම් බිඳුම් සහ සර්ප දෂ්ටනය සඳහා ප්‍රතිකාර ගැනීමට මිනීසුන් දේශීය වෛද්‍යවරුන් වෙත යොමු වන්නේ, එම වෙදකමේ ඇති සාර්ථකත්වයට වඩා ඒවා පිළිබඳ මිනිසුන් තුළ පවතින විශ්වාසයත්, එම ප්‍රතිකාර ගැමි ජනතාවගේ සංස්කෘතිය හා මනාසේ ගැලපෙන නිසාත්ය.” දේශීය වෙදකමට එරෙහිව සුද්දන්ගේ අධිපතිවාදී විවේචන එල්ල වූයේ අද ඊයේ නොවේ. 1821 දී ජෝන් ඩේවී ඇති තරම් සිය විද්‍යා තර්කන දැනුම උපයෝගී කර ගෙන පුනරුදයේ අවියෙන් දේශීය වෙදකමට තැලුවේය.  ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. අපේ රටේ උරුමය වනසන්නට පැමිණි බ්‍රිතාන්‍ය හමුදාවේ වෛද්‍යවරයෙකි. අපේ රටේ ගොඩ වෙදුන් ඉදිරියේ ඔහු රට වෙදෙකි. අපේ දේශීය වෙදකම ගොඩ වෙදකම ලෙස හෙළා දැක්කේ රට වෙදුන් ය. රට වෙදකම උගත් මෙරට වෙදුන් ය. ඒ සියල්ලෝ රට වෙදුන් ය. ඒ අය සියලු බටහිරෙන් ආනයනය කළ දැනුමට ඇලුම් කරයි. ඊට ගරු කරයි. දේශීය දැනුමට ගරහයි. එය නුගත් ගැමියන් ගේ මිථ්‍යා විශ්වාස ගොන්නක් ලෙසය. ඒ ඔවුන්ගේ ස්වාමියාගේ හඬයි. සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ගැන කෙරෙන පර්යේෂණ ඔවුන් මායිම් නොකරයි. ඒවායේ ප්‍රතිපල විශ්වාස නොකරයි. අද නවීන වෛද්‍ය ක්‍රමය හෙවත් ජෛව වෛද්‍යක්‍රමය (biomedicine) ලෙස හඳුන්වන බටහිර වෙදකම එදා හැදින්වුයේ අධිරාජ්‍යයාගේ වෙදකම (imperial medicine) හෙවත් යටත් විජිත වෙදකම (colonial medicine) ලෙසයි. ඊට හේතුව යුරෝපියානු වෛද්‍යක්‍රමය ආසියානු රටවල ව්‍යාප්ත කළේ අධිරාජ්‍යවාදයේ මෘදු දේශපාලන මෙවලමක් ලෙස නිසාය. අද මේ බල මෙවලම භාවිතා කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමටය.  


අද ගමගේ මහතා ප්‍රතිරාවය කරන්නේ ජෝන් ඩේවී ගේ පරපුරේ පශ්චාත් නුතනවාදී මාදිලියේ අදහස් විනා අන් කවරක් හෝ නොවේ. බලන්න, දේශීය වෛද්‍ය ක්‍රමයේ සමාජ පිළිගැනීම, එහි ව්‍යවහාරික පැවත්ම හා එහි සංස්කෘතික අනන්‍යතාව මත සිය පශ්චාත් උපාධිය සරි කර ගත් ඔබ ඊට ලබා දෙන ගෞරවය. දේශීය වෙදකමට යොමුවන්නේ “සැත්කම් වලට බිය” සහ “නුගත්” රෝගීන් බව ඔබ නිගමනය කරයි. එය ඔබේ නිබන්ධනයේ උපුටනයක් දැයි සැක සහිතය. කැඩුම් බිඳුම් සහ සර්ප වෙදකම ගැන නිසි අධ්‍යයනයක් නොමැතිව හිතලු පළ කරන්නට තරම් ඔබ දුර්වල වී ඇත්තේ පුරුද්දට හතර අතේ වනන නිසාදැයි සිතේ. කැඩුම් බිඳුම් වලට බටහිර ප්‍රතිකාර ලබා ඉන් පසු හරියට අතපය දිග හැරගන්නට දේශීය වෛද්‍යවරුන් ළඟට යන  රෝගීන් ගැන කතා නොකරන්නේ ඇයි? රෝහල් වලට වාර්තා නොවන සර්ප දෂ්ට නිසා අනතුරට පත්වීමට හැකිව තිබු ජිවිත බේරන අපේ ගොඩ වෙදුන් ගැන තොරතුරු නැත්තේ ඇයි? අද බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රචලිත හා ව්‍යවහාරික ප්‍රතිකර්ම වල අසාර්ථකබව නිසා බියට පත් වන රෝගීන් මෙන් ම දුකට පත් වන රෝගීන් ද දේශීය වෙදකමේ පිහිට පතයි. සමහර රෝග සුවපත් කිරීමේදී බටහිර වෛද්‍ය ක්‍රමය දේශීය වෛද්‍ය ක්‍රමයට වඩා ඉදිරියෙන් සිටින බව ගැන කිසිදු විවාදයක් නැත. එහෙත් සැත්කම් නියම කළ රෝගීන් එයින් මුදවා දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවපත් ව යනු අපි දැක ඇත්තෙමු. රෝගීන් ගේ අධ්‍යාපනික නුගත්කමට වඩා භයානක වන්නේ වෛද්‍ය ව්‍යාපාරය මගින් බිහි කළ සමාජමය නුගත්කම හෙවත් ගොනාට ඇන්දවීමෙන් මුදල් කඩා වඩා ගැනීමයි. එය හෙළ වෙද හොරු කළත් රට වෙද හොරු කළත් එකම වරදය. දේශීය වෛද්‍ය ක්‍රමයට නැඹුරු වන්නේ නුගත් සමාජය බව ඔබ කියන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවය. එය ඔප්පු කරන්නට බැරි මුසාවාදයකි. වෘත්තීය නොවන බේගලයකි. නුගතුන්ට ගැලපෙන පට්ටපල් බොරුවකි.


ඊළඟට ඔබ කියන්නේ දේශීය වෙදකමේ ජනප්‍රියත්වයට හේතු වන්නේ “මිනිසුන් තුළ පවතින විශ්වාසය” සහ “සංස්කෘතිය හා මනාසේ ගැලපෙන බව” යන සාධක දෙකය. මේ කතාව දෙපැත්ත කැපෙන තර්කයකි. ඕනෑම වෛද්‍ය ක්‍රමයක් දෙසට මිනිසුන් ඇදී යන්නේ ඒ කෙරහි වන විශ්වාසය නිසාය. ඒ විශ්වාසය ගොඩ නැගෙන්නේ, එය වර්ධනය වන්නේ, එය තිරසාරව දිගු කලක් පවතින්නේ එහි සාර්ථකත්වය නිසාය. එහි ප්‍රතිපල දැනෙන නිසාය. ඒවා ප්‍රයෝගිකව අත් විඳින නිසාය. කොටින්ම කිව හොත් එය සාක්ෂ්‍ය-පාදක (evidence-based) නිසාය. ඊළඟ සාධකය බලන්න. එය බටහිර වෙදකමට නැති දේශීය වෙදකමට පමණක් ආවේණික සාධකයකි. “සංස්කෘතිය හා මනාසේ ගැලපෙන බව” යන්නෙහි “මනාසේ” යන වදන ඔබේය. ඔබ නව යුගයේ වෛද්‍යක්‍රම වල ප්‍රගතිය ගැන දැනුවත් බව කියන හෙයින් සංස්කෘතිය වෛද්‍යක්‍රමයක පැවත්මට කෙතරම් වැදගත් ද යන්න මා කිවයුතු නොවේ. මේ වන විට පර්යේෂකයින් ගේ අවධානය යොමුව ඇත්තේ සංස්කෘතිකමය බලපෑම සෞඛ්‍යය ප්‍රතිලාභ සඳහා යහපත් ලෙස යොදා ගත හැකි අයුරුය. මව්කිරි දීමේ පුරුදු හා ව්‍යවහාර සමාජගත කළේ දේශීය සංස්කෘතියෙන් උදුරා ගෙන බව කියන්නේ නැත. අපේ ආහාර පාන රටාව ගැන කියන්නේ දේශීය වෙදකමේ උරුමය ලෙසින් නොවේ. කොළ පලා වල ගුණ ජනතාවට කියා දෙන්නේ ඒවා යුරෝපයෙන් ආනයනය කළ නිසා නොව එය දේශීය වෙදකමෙන් උරුමව අපේ ජන සන්තානයේ තිබු උරුමයක් නිසාය. එය සංස්කෘතික බුද්ධිමය දේපළක් (intellectual property) ලෙස සොරා ගත්තකි. අදටත් දේශීය වෛද්‍ය ක්‍රමය මේ තරම් බාධක විවේචන මධ්‍යයේ වොරැඳෙන්නේ ඒ මනා සංස්කෘතික ගැලපීම නිසාය. මේ හොර වෙදුන් හා බොරු වෙදුන් ප්‍රයෝජනයට ගන්නේ ද මෙකී පිළිගැනීමේ වාසියයි. එය රට වෙදුන් ගේ අභියෝගයට වඩා දරුණුය. මිනිසුන් රවටන්නේ මෙකී අනන්‍යතාවට මුවා වෙමිනි. ඒත් ඒ සංස්කෘතික උරුමය විකුණා ගෙන කන බොරු වෙදුන් නිසා පරිහානියට යන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අභිමානවත් අනන්‍යතාවයි.


ගමගේ මහතා දක්වන අනෙක් අර්ධ සත්‍යය නම් මේ අද අත්විඳින යහපත් සෞඛ්‍ය දර්ශක වල සියලු ගෞරව බටහිර වෛද්‍ය ක්‍රමය අත් පත් කර දුන් ඒවා ලෙස හුව දැක්වීමය. දේශීය වෙදකම යටපත් කළ ශතක පහක් තුළ මේ රටේ සෞඛ්‍යයට සිදු වූ හානිය ගණන් බලා නැත. ඒවාට සංඛ්‍යා ලේඛන ද නැත. එහෙත් නිදහසෙන් පසු මේ රටේ පසුගිය දශක කිහිපය තුළ යම් ප්‍රමාණයකින් ආයුර්වේද වෛද්‍යවරුන් හා දේශීය වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට දායක වූ බව අමතක නොකළ යුතුය. ඒවා කිසි දිනෙක මුඛ්‍ය ධාරාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඇගයීමට ලක් වූයේ නැත. සංඛ්‍යාත්මක අධ්‍යයනයට බඳුන් වූයේ නැත. එහෙත් ගමේ ගොඩ වෙදුන් ගොඩ දැමු රෝගීන් ගෙන ඉතිරී වූ විදේශ විනිමය, සෞඛ්‍ය පිරිවැය ගැන සොයා බැලුවේ නැත. සියලුම සම්පත්, බලතල හා යාන්ත්‍රණය අතේ තබා ගත් රට වෙදුන් ගේ ආධිපත්‍යය ගොඩ වෙදුන්ට ගැරහුවා පමණි. අවම වශයෙන් එක්ව පර්යේෂණයක් කරන්නට තරම් කොන්දක් තිබු වෛද්‍යවරු සිටියේ අතළොස්සකි. ලෝක සෞඛ්‍ය සංවිධානය 1978 අල්මා ආටා ප්‍රකාශනයෙන් වසර 30 කට පසු 2008 බිජිං ප්‍රකාශනය ද එළි දක්වා දේශීය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සෞඛ්‍ය පද්ධතියට එක් කරගන්නා ලෙස ඉල්ලා සිටියදී පවා එයට හිස් නමන්නටවත් යටත්විජිත මානසිකත්වයේ ගිලිණු රට වෙදුන්ට “වෘත්තීය විවේක බුද්ධියක්” තිබුණේ නැත. එබඳු ප්‍රජාතාන්ත්‍රික බුද්ධිමය ප්‍රතිචාර ඩේවී පරපුරේ ආක්‍රමණික රට වෙදුන් ගෙන් අපේක්ෂා කිරීමද මෝඩකමකි. ගමේ ගොඩේ අපේ ආච්චිලා සීයලා අවුරුදු සීය පැන්නුවේ රට වෙදුන්ගේ බෙහෙත් බලෙන් නොවෙයි. ඒ අයගේ දනිස් වලට ප්ලාස්ටික් පොල්කටු හයි කළෙත් නෑ. ඩයලිසිස් කළෙත් නෑ. බයිපාස් කළෙත් නෑ. ඒත් අගේට දරු මුණුපුරන් දැකල ආණ්ඩුවට බරක් නොවී අවසන් ගමන් ගියා. ඒ දේශීය වෙදකමේ බල මහිමය නිසා.


මේ තත්වය ගමගේ මහතා වැනි අයගේ පෑනෙන් ලියවුණත් අදහස් ගලා එන්නේ යුරෝපීය යටත් විජිත අධිපතිවාදී වෛද්‍ය අධිමානය තුළින්ය. බලාගෙන යන විට එයත් එක්තරා මානසික ව්‍යාධියකි. ඉන් පෙළෙන පුද්ගලයා සිතන්නේ තමන් ගේ බුද්ධිය නිසා මේ අන්දමේ අදහස් පහළ වන බවය. දේශීය වෛද්‍ය ක්‍රමය ජාතික සෞඛ්‍ය පද්ධතියෙන් අවතැන් ව තිබියදීත් එහි දායකත්වය අවම පහසුකම් යටතේ ලබාදුන් පසුගිය දශක කිහිපය කිසිදු ඇගයීමකට ලක් නොකර උදාන වාක්‍ය කියන්නේ රට වෙදුන් ගේ ඒකාධිකාරය තවදුරටත් තහවුරු කිරීමටය. තාක්ෂණික අධිකාරය, මානව සම්පත්, යටිතල පහසුකම්, නෛතික බලය, පරිපාලන ශක්තිය, දේශපාලන ආශිර්වාදය සියල්ලෙන් සම්පුර්ණ බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය සමඟ කරට කර සටනක් දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපේක්ෂා කිරීම ඉතා අනුවණ හා අශික්ෂිත අදහසකි. තාක්ෂණය හා පරිපාලන ඒකාධිකාරය උනා දැමූ කල බටහිර වෙදකමේ ශාස්ත්‍රීය නිරුවත පෙනේ. ඒ බව නොදැන අපේ බොහෝ බක පණ්ඩිතයින් ද උඩ දමමින් වැළඳ ගන්නේ නවීන වෛද්‍ය විෂයන්ය. රට වෙදුන් ගේ පම්පෝරිය අසන්නට ඒවාට අත්පොලසන් දෙන්නට අපේ සම+හරක් වෙදුන් හරිම කැමතියි. මේ රටේ අපේ දේශීය සෞඛ්‍ය උරුමය විනාශ කළ සංස්කෘතික සම්පත් කොල්ල කෑ රට වෙදකමෙන් තොරව සිතන්නට පුළුවන් අපේ වෙදුන් හදන බි.ඒ.එම්.එස්. විෂය නිරදේශයක් ඉල්ලන්නේ ඒ නිසාය. බටහිර වෛද්‍යවරුන් සිය පශ්චාත් උපාධියට හදාරන්නේ අපේ වෙදකමයි. ඒත් උපාධියෙන් පසු ගරහන්නේ ද එයටමයි. අපේ සම+හරක් උපාධිධාරීන් ද හිස උදුම්මවා ගත් විට ඒ වරදම කරයි. අපිට සටනක් ඇත. ඒ ගොඩ වෙදුන් සමඟ නොව රට වෙදුන් සමඟය. අපේ වෙදකමට ගරහන එහි ඉදිරිගමනට බාධා කරන රට වෙදුන් සමඟ කරට කරට හැප්පෙන්න උන් ගෙ ඉස්සරහ කෙළින් හිට ගන්න පුළුවන් උන් විතරක් මේ සටනට වරෙල්ලා.  රට වෙදුන්ගේ දැනුමට වන්දනාමාන කරන, රට වෙදුන් දැක්කම බයේ ගැහෙන දෙකට නැමෙන උන් පැත්තකට වෙයල්ලා.


වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Saturday, July 18, 2015

පණ්ඩිත රාළහාමි දැල්වූ අධ්‍යාපන ප්‍රදීපයේ ආලෝකය බද්දට දීම හෙවත් සිද්ධායුර්වේදයේ (වි)ජනිතකරණ විගඩම




පසු ගිය දා කොළඹ පවත් වූ ආයුර්වේද එක්ස්පෝ 2015 ප්‍රදර්ශනය තුළ ඇවිද යන මට ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්යාතනයට අයත් ප්‍රදර්ශන කුටියක් ද දක්නට ලැබිණ. ගුරුබිමට ඇති ආදරය නිසා එහි ගොඩ වූ මා දුටුවේ සිසු සිසුවියන් කිහිපදෙනෙකු ආයුර්වේදය ගැන ජනතාවට තොරතුරු කියා දෙන අයුරුය. මා කවුදැයි කොහි සිට ආවේදැයි කොහි යන්නේදැයි කුමට ආවේදැයි ඔවුන් නොදන්නා බව මා ඔවුන්ගේ හැසිරීමෙන් දැන ගත්තෙමි. ජනතාවට බෙදා දෙන පණ්ඩිත රාළහාමිගේ රුව සහිත පත්‍රිකාවක් මේසය මත තිබී එය අතට ගෙන කියවීමි. එය ආයතනය ඉදිරිපිට පවත්වා ගෙන යන එක්තරා බෙහෙත් වෙළඳ සමාගමකට අයත් ප්‍රචාරක දැන්වීමකි. එම ආයතනයේ නිෂ්පාදිත නියැදි බෙහෙත් කුප්පි කිහිපයක් ද එම කුටියේ ප්‍රදර්ශනයට තබා තිබිණි. මා මුල්ම ප්‍රශ්නය ඇසුවෙමි. මේ පත්‍රිකාව කුමක්ද? ඒ අපේ සමාගම යැයි සිසුවෙක් කිවේය. විශ්ව විද්‍යාලය සතුව සමාගමක් ඇත්දැයි මා පෙරළා ඇසුවෙමි. අපේ ඕ.පී.ඩි එකේ නැති බෙහෙත් මිළට ගන්නට රෝගීන් යොමු කරන්නේ මේ සමාගමට යැයි සිසුවාගේ පිළිතුර විය. මගේ ප්‍රතිප්‍රශ්නය වුයේ මෙම සමාගම හැර වෙනත් සමාගම් ද ආයතනය ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ තිබෙනවා නේද? ඒවාට රෝගීන් යොමු නොකරන්නේ ඇයිදැයි යන්නයි. මෙම සමාගම සිසුන් හට ඖෂධ නිෂ්පාදන පුහුණුව දෙන බව සිසුවාගේ පසුගාමී පැහැදිලි කිරීම විය. මා ගම්පහ සිද්ධායුර්වේදයෙන් අධ්‍යාපනය අවසන් කරන විට එම සිසුවා ඉපදී නොමැති බව මා ඉඳුරාම දනිමි. එහෙත් ඔහුගේ නොදනුමට හා හීනදීන ආකල්ප වලට හේතුව එය නොවේ. පසුගිය දශකය තුළ මෙම අධ්‍යාපන ආයතනය අවනතිය කරා ගෙනයාමේ අනිටු ප්‍රතිඵලයයි.

මට පණ්ඩිතමානි පිළිතුරු දුන් සිසුවා නියෝජනය කරන්නේ මේ වර්තමාන ඛේදවාචකයට ගොදුරු වූ මේ උතුම් ගුරුබිමේ අඳුරු යුගයට පා තැබූ සිසු සමාජයේ හරස්කඩයි. ඔවුන් ආයතනයේ අසහාය ඉතිහාසය නොදනී. ඔවුන් එහි සම්ප්‍රදායය තුළ ලැබෙන ශික්ෂණය නොලබයි. ඔවුන් හට එහි අභිමානවත් උරුමය ගැන අබමල් රේණුවක හැඟීමක් නැත. ඔවුන් ගේ පෞරුෂයට එහි අනන්‍ය ඇගයුම් ප්‍රණාලියේ සම්මතවාදී ගුණාංග කාන්දු වී නැත. එය ඔවුන්ගේ වරදක් නොව ඒ සඳහා අවශ්‍ය වටපිටාව ආයතනය තුළින් මුලිනුපුටා දැමීමේ ප්‍රතිඵලයි. එහි නිසි ශාස්ත්‍රීය උරුමයන් හී පෝෂණය නොමැතිව යහපත් වෛද්‍ය පරිචර්යා ශික්ෂණය වඳ පීදීමට ලක් වන විට විෂය නිර්දේශය බොන්සායි කිරීමෙන් ආයුර්වේද උපාධිධාරීන් බිහි කිරීමේ නරුම ව්‍යාපෘතියේ අස්වනු නෙලීම ඇරඹිණ. සියලු විරෝධතා ඉවත ලා විලම්බීත විපරිත විගඩම් වික්ෂිප්ත විෂය නිර්දේශයක් නිර්මාණය කළ පරිපාලනය එය ආයතනයේ සෞභාග්‍යය සමෘද්ධිය සංවර්ධනය ඇති කළ බවට මිත්‍යාවක් ද රෝපණය කළේය. ආයතනයක කොඳු නාරටිය බඳු වන්නේ එහි ශාස්ත්‍රීය උරුමයට පණ පොවන විෂය ප්‍රණාලිය වේ. එහි ගුණාත්මක සම්මතයන් පිළිබඳ අබ මල් රේණුවක අවබෝධයක් නොමැතිව සරසවි උඩඟුවෙන් විපිළිසරව ගත් අශික්ෂිත තීන්දුව ඉතා හානිකර බව බොහෝ දෙනා හට නොදැනේ. එයට නායකත්වය දුන් හිටපු අධ්‍යක්ෂවරිය ඇතුළු ගෝල බාලයින් ගේ පටු ආශාවන් සහ වාසිය තකා ආයතනයේ ඉදිරි ගමන පමණක් නොව ආයුර්වේදයේ අනාගතය ද පාවා දුන් බව කිව යුතුය. මේ ක්‍රියාදාමය සඳහා යෙදිය හැකි එක වචනයක් සොයා කල්පනා කරන විට මසිතට නැගුණු වචනය වන්නේ විජනිතකරණය යන්නයි. එය මා ලියන්නට සිතුවේ (වි)ජනිතකරණය ලෙසයි. පළමුව එය එසේ කීමටත් ලිවීමටත් හේතු පැහැදිලි කළ යුතුය.

(වි)ජනිතකරණය යන්නෙන් යම් කිසිවක් තුළ ගැබ්වූ නිසඟ ජනන ශක්තිය හීන කිරීම, අඩපණ කිරීම, අක්‍රිය කිරීම හෝ විකෘති කිරීම ලෙස අදහස් කළ හැකිය. නව අදහස් වලට ඉඩ නොදීම මෙන්ම නව අදහස් යටපත් කිරීම ද මෙහි ලක්ෂණයකි. නුතනවාදී සංකල්ප වලට මුවා වී ගතානුගතික ඥාති මිත්‍ර සංග්‍රහය, පන්දම් ඇල්ලීම වැනි කේවට්ට සම්ප්‍රදාය මත පදනම් වූ අධ්‍යාපන පද්ධතියක් සකස් කිරීම මෙහි අවසන් ප්‍රතිඵලයයි. ප්‍රෞඩ ඉතිහාසයක් අභිමානවත් උරුමයක් ඇති ආයතනයක හර පද්ධතිය ඇස් පනාපිට විනාශ කරනු දැක දැක නිවට නියාලුව කෙඳිරිලි හඬක් හෝ නොනගා බලා සිටින්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසය. එබඳු විනාශයක් අත් කර දුන් අධ්‍යක්ෂවරියට කිසිදු විරෝධයක් නොපෙන්වා ඇගේ සාරි පොටේ එල්ලී ගෙන වාසි ලබා ගන්නේ එහි ප්‍රතිඵල නිසාය. දැන් ඉතිරිව ඇත්තේ වඳ පීදුණු දඹු බවට පත් වූ බී.ඒ.එම්.එස්. විෂය නිර්දේශයක් හා එහි විද්‍යාත්මක රශ්මි කදම්බයෙන් ගිනි කන වැටුණු සිසුන් පිරිසකි. දැන් ඔවුන් biochemistry, analytical chemistry පමණක් නොව quantum physics, biotechnology, molecular biology, plant physiology, marine biology වුණත් සිලබස් එකට දැම්මත් කමක් නැති ගානට පදම් වෙලාය. ආයුර්වේදය තුළ රස බෙහෙත් තියෙන නිසා Metallurgy වැනි විෂයක් වුණත් දැම්මම මොකෝ ...? ඇයි ආයුර්වේදය මෙලොවට බිහි කළ මහා බ්‍රහ්මයා ගැන සොයන්නට astrophysics එහෙමත් ගලපෙනවනේ. බෙහෙත් වලට පස් ගෝ රස ගන්න නිසා veterinary science ටිකකුත් ඉගෙන ගත්තට මක් වෙනවද? මට හිතෙනවා අපේ සෘතු චර්යා ගැන පාඩම හොඳට තේරෙන්න meteorology ටිකකුත් ඉගැන්නුවා නම් පංකාදුයි කියල. හොඳ වෙලාවට මේ ආයතනයේ අධ්‍යක්ෂකමට සංගීත, චිත්‍ර, නැටුම් වගේ විෂයක් පිළිබඳ මහාචාර්ය කෙනෙක් පත් නොවුනේ. එහෙම වුණා නම් අද විෂය නිර්දේශය සංගීත, චිත්‍ර, නැටුම් වලින් පිරිලා.

පර්යේෂණ ක්‍රමවේදය කියල විෂයක් ශිෂ්‍යයින් ගෙ ඔළුවට දමල ඔවුන් ලව්ව පර්යේෂණ නිබන්ධන ලියවලා තීසිස් මානසිකත්වයක් හදන්නේ මුන් ගෙ මොලේ හොඳ නැද්ද කියලත් හිතෙනවා. අන්තිමට දන්නා පර්යේෂණයකුත් නැහැ නොදන්නා ක්‍රමවේදයකුත් නැහැ. ලොකු මාතෘකාවක් බර නිබන්ධනයක් එක්ක පට්ට ප්‍රෙසන්ටේෂන් එකක් කරනවා. ඊට පස්සේ රිසර්ච් ඔස්තාද් කියල හිතනවා. හැබැයි අන්තිමට වෙදකම හරියට දන්නෙත් නැති උඩඟු උපාධිධාරියෙක් බිහිවෙනව. උපාධිය තියෙනව. ඉංග්‍රීසි දන්නවා. ලැප්ටොප් තියෙනවා. ඒත් වෙදකම දන්නේ නැහැ. නොදන්නා දේ ඉගෙන ගන්න කැමතිත් නැහැ. ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට අපි හිතන්නේ සිංහලෙන්. අපේ පරිකල්පනය සිදුවෙන්නේ මව් භාෂාවෙන්. අපේ මහපොළොවේ මුල් ඇදපු අපේ සංස්කෘතිය තේරුම් ගන්නේ සිංහලෙන්. කෂාය ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට කෂායට ගන්න මුල් පොතු ඇට හට ගත්තේ මේ රටේ. ඒවා එකතු කරන්නේ, කිරන්නේ, හදන්නේ සිංහල විතරක් දන්නා මිනිස්සු. ඒවා බොන්නෙත් සිංහල කතා කරන මිනිස්සු. අපේ ආපහු බ්‍රිතාන්‍ය යුගයේ ආකල්ප වලට ගැති වෙච්චි ආයුර්වේද වෛද්‍යවරු පිරිසක් බිහි කරන්නද මේ උත්සාහය කියල මට හිතෙනවා. අපිට ඇත්තටම ඕනේ ආයුර්වේදය ගැන පර්යේෂණ කරන්න දන්නා විද්‍යාඥයින් පිරිසක් ද රෝගීන් සුවපත් කරන්න පුළුවන් ආයුර්වේද වෛද්‍යවරු පිරිසක් ද කියන එක හරියට තේරුම් ගන්න බැරි අය අතට මේ ආයතනයේ පරිපාලනයේ මුල් පුටුව දුන්න එකේ ප්‍රතිඵලේ තමා අපි දැන් භුක්ති විඳින්නේ. කෂාය වල pH අගය බලන්න, TLC, HPLC කියවන්න වෛද්‍යවරු ඕනෙද? ඒවා සාමාන්‍ය විද්‍යාගාර වල කෙරෙන සිල්ලර වැඩ නේ. වෙදකම ඒවාට ලඝු කරල අපේ නවක වෛද්‍යවරුන්ගේ ඔළුව කුරුවල් කරන බහු බූතවිෂය නිර්දේශයක් හඳුන්වලා දීපු එකේ විපාකේ අපිට විඳින්න වෙන්නේ තව කාලෙකට පස්සේ. එතකොට මේ වගේ උඩින් පල්ලෙන් අත පත ගාල විසඳුම් හොයන්න බැරි වෙයි.

අපිට තවමත් බැරි වුණා අපේ උපාධිය වෛද්‍ය ගණයේ සුදුසුකම් වලට ඇතුළත් කරගන්න. අපේ කථිකාචාර්යවරු තවම වෛද්‍ය ගණයේ නෙවෙයි. බි.ඒ.එම්.එස්. එක තවම කලා උපාධියක් වගේ. අපි ඒ වුණාට ඉගෙන ගන්නේ ගැඹුරු නවීන විද්‍යා විෂයයන්. ඒවා ගැන කතා කරන්නේ ඉතා ආඩම්බරයෙන්. ලැජ්ජාවට කාරණය සමහර ආචාර්යවරු ඉස්සරහ සමාගමෙන් කොමිස් එක එනකන් කට ඇරගෙන බලා ගෙන ඉන්නවා. ඊට පස්සේ සිසුන් ට ආයුර්වේදේ ගැන පර්යේෂණ කරන්න උගන්වනවා. තමන්ගේ ආයතනයේ ඉතිහාසය, උරුමය, සම්ප්‍රදාය ගැන ටිකක් කියලා දෙන්න දන්නේ නැති ආචාර්යවරු මෙලෝ රහක් නැතිව තාත්තගේ ලිඳේ කරිජ්ජ් බොනවා. අර ප්‍රදර්ශන කුටියේ හිටපු සිසුන් ට කියල දෙන්න හැදුවේ මේ ආයතනයේ නමට මුවා වෙලා බෙහෙත් සමාගම් දා ගත්ත අයගේ මුදල් වලට ඒ අයගේ පත්‍රිකා බෙදන එක බි.ඒ.එම්.එස්. එකට ගැලපෙන්නේ නැති බව. ඔය (වි)ජනිතකරණයෙන් බිහි වුණු ඉංග්‍රීසි විෂය නිර්දේශයේ රස්නේ නිසා ඔලුව ඉදිමිච්ච අයට සුදු ඕවර් කෝට් එක බර වුණාට අපිට ඒවා ලොකු නැහැ කියන්න. එකයි මම කිව්වේ ඒ හාදය ඉපදෙන කොට මම උපාධිය අරගෙන ඉවරයි කියල. ඒ අයගේ හිස් ගෙඩි වලට ඇතුල් කරලා තියෙන විද්‍යා ආඩම්බරය රෝගීන් සුවපත් කිරීමේ ලා අබමල් රේණුවක හයියක් නැති බව ඒ අය නොදන්නා එක ගැන කණගාටුයි. අපේ පරණ ගම්පහ වෙදමහත්තුරු ලෙඩ්ඩු සනීප කළේ ඔය කෙමිස්ට්‍රි වලින් නෙවෙයි. ඒ අයට අලගු තියන්න පුළුවන් ද මේ අයට. ඒ ගම්පහ වෙද මහත්තුරුන්ගේ දස්කම් වලට තමයි මේ සරසවි වරම ලැබුණේ. කෙටියෙන්ම කියනවා නම් මේ විශ්වවිද්‍යාල තත්වය ලැබන්නේ පැරණි වෙද මහත්තුරුන් ගෙ වෙදකමේ හොඳකම නිසා. ඒ උරුමයට සලකන්න දන්නේ නැති බි.ඒ.එම්.එස්. එක හොඳයි බලු වටින්නේ නැහැ.

ඊටත් වඩා දුක හිතෙන කතාව තමයි බී.ඒ.එම්.එස්. එක සම්පුර්ණ කර ගන්න බැරි අයට මගදී ඩිප්ලෝමා එකක් දීලා ගෙදර යවන එක. ඒ වගේ විලම්බීත විපරීත විගඩම් මේ ආයතනය තුළ සිදු වෙන කන් නිහඬව හිටිය කියන්නේ ඊට වඩා නිවට නියාලු නිර්ලප්ජ්ජිත නින්දිත පාවාදීමක් තවත් තියෙන්න බැහැ. පිටස්තරයින් ඇවිල්ල මේක ඇතුලේ කරණම් ගහන කොට ඒවට අත්පුඩි ගහපු හීන දීන සට්ටම්බියෝ සෙට් එකට අදවත් තමන් කරපු වරද නොතේරෙන එකයි පුදුමේ. හිටපු අධ්‍යක්ෂවරියයි එයාගේ කපටි ආරක්ෂකයෝ ටිකයි එකත්ය් වෙලා මේ ආයතනය දියුණු කරනවා කියල කරපු විනාසේ මෑත කාලයේ ආයුර්වේද ක්ෂේත්‍රයේ සිදු වෙච්ච බරපතල ම පරිහානි වලින් එකක්. ඒ වගේ අශික්ෂිත අධම අශීලාචාර තීරණ ගන්න උන්ට තියෙන අයිතිය මොකක්ද කියල හිතන්න මේ ආයතනයේ උරුමය යන්තමට හරි ගෑවිච්ච ආචාර්යවරුන් ට කොන්දක් තිබුණේ නැති කොට අන් අය ගැන කවර කතාද? ඉන්දියාවේ පශ්චාත් උපාධියට මේ ආයතනයේ උපාධිය පිළිගන්නේ නැත්තේ ඇයි කියල අහන්න බැරි ශිෂ්‍යයෝ අපිට උගන්වන්න හදනවා බේත් කොම්පැනි වල උජාරුව.. මම මේ කතාව කියන කොට මට ඔරවන්න බනින්න ගහන්න පැන්නට වැඩක් නැහැ. ඒ කාලේ අඩු වශයෙන් කාලි කෝවිලක පොල් ගෙඩියක් හරි ගහන්න බැරි වුණ කොට. තමන්ගේ වැටුපෙ කියක් හරි අඩුවෙන කොට තියෙන කැක්කුම වත් මේ වගේ විනාසයක් ඉදිරියේ නැත්තං ඒ අය ගැන කුමන කතාද? එහෙම නැත්තන් පිටරට සම්මන්ත්‍රණයක් ශිෂ්‍යත්වයක් වෙනුවෙන් ඇති උනන්දුව තමන්ගේ ආයතනයේ අනාගතය විනාශ කරන සතුරු බලවේග වලට එරෙහිව සටන් කරන්න නැගී සිටින්න නැති අයගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න එක විතරයි..... ක‍න්න දෙනව නං අපිට බොන්න දෙනව නං අපිට මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ....? කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ. කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං (ආයතනයේ ගීතය) දැන් මං අහන්නේ ශිෂ්‍යයෝ කරන්න ඕනේ බෙහෙත් කොම්පැනි වල පත්‍රිකා බෙදන එකද ආයතනය බේර ගන්න එකද?

මම මේ කතාව කියන්නේ පහු ගිය කාලයේ අත්දැකීම් එක්ක මට අවබෝධ වෙච්ච් ඇත්ත කාරණා මේ ගැන උනන්දු අයගේ අවධානයට යොමු කරන්න. නවීන විද්‍යාවත් එක්ක ආයුර්වේදය ඉදිරියට ගමන් කරන එකයි ආයුර්වේදය විද්‍යාඥයින් ට පාවල දෙන එකයි දෙකක්. ආයුර්වේදය ගැන ප්‍රගතිශිලිව විචක්ෂණ ලෙස බලන විද්‍යාඥයෝ එමටයි. ඒ අතර ආයුර්වේදය තමන්ගේ බඩගෝස්තරය සඳහා යොදාගන්න මාන බලන විද්‍යාඥයෝත් ඉන්න බව අමතක කරන්න එපා. බී.ඒ.එම්.එස්. එක අත ඇරලා රටේ තියෙන ඔක්කොම විෂයන් බදා ගෙන පාඨමාලා ගොන්නක් ආයතනය තුළ පවත්වාගෙන යන්නේ මල්ල පුරෝගන්න බව බොහෝ අය දන්නේ නැහැනේ. ඒ වගේ අයට ආයතනයට හෙණ ගැහුවත් තමන්ගේ මඩිය තර වෙනවා නම් මදැයි. මේ ලිපිය ආරම්භයේදීම මම කියන්න හැදුවේත් පණ්ඩිත රාළහාමිගේ නමයි රුපෙයි විකුණගෙන කන සමාගමක් ගැන. ඒක පටන් ගත්තේ පණ්ඩිත රාළහාමිගේ ම පුත්‍ර රත්නය. එයාට තමන්ගේ තාත්ත වුණත් පණ්ඩිත රාළහාමි දැන් ජාතික වස්තුවක්. මේ රටේ ආයුර්වේදයට අයත් ජාතික සංකේතයක්. එහෙම උරුමයක් විකුණගෙන කන අයනේ ඔය කළමනාකරණ මණ්ඩලයේත් පුර්ණ කාලින සාමාජිකයෝ වෙලා ඉන්නේ. ඉතින් එහෙම අයගෙන් බුද්ධිමිත් සදාචාර සම්පන්න තීරණ බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ හින්දයි අර එදා මට හමුවෙච්ච සිසුන් ගෙ මානසිකත්වයට දොස් පවරන්න බැරි. එහෙම කියල නිකන් ඉන්නත් බැහැ මේ කරපු වින්නැහිය දකින කොට. අවසානයේදී ආධුනික සීමාවාසික පුහුණුව ද විෂය නිර්දේශයෙන් ඉවත් කළ පසු ඉතිරි වෙන්නේ සාමාන්‍ය කලා උපාධියක ඇති අගය පමණක් බව මේ ගොන් රැලට නොතේරීම පුදුමයකි. ඊට හේතුව ඒ තීරණයට අත ඉස්සු හිස පාත් කළ උඩ ගෙඩි දුන් පන්දම් ඇල්ලු ප්‍රශස්ති ගැයූ සියලු දෙනා හට මෙම පාප කර්මයේ විපාක වලින් ගැලවෙන්නට නොහැකිය. පණ්ඩිත රාළහාමි ඇතුළු සිද්ධයුර්වේද සම්ප්‍රදායේ පුරෝගාමීන් ගේ ශාපයෙන් මිදෙන්නට නොහැකිය. මේ රටේ ඉතා විශිෂ්ට ආයුර්වේද අධ්‍යාපන ආයතනයක අනාගතය විනාශ කිරීමේ අධම ක්‍රියාවේ අවලාදයෙන් නින්දාවෙන් නිදහස් වන්නට නොහැකිය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Friday, February 13, 2015

වික්‍රමාරච්චි පරපුරේ එඬරු තෙල් යොදා සිද්ධායුර්වේද ගුරු කුලයේ බඩ සුද්ද කිරීම හෙවත් පර-ජඩ සංයෝගය


නැවත වතාවක් බැලු බැල්මට අවුල් සහගත මාතෘකාවක් යොදා ගැනීම ගැන පළමුවෙන් කණගාටුව පළ කරමි. එහෙත් බොහෝ වෙලාවක් ගත කළ ද මේ ලියන්නට යන දේ හොඳින් නිරූපණය කළ හැකි වෙනත් මාතෘකාවක් ම සිතට නොනැගිනි. මේ ලිපිය ලියන්නට සිතුණේ අද ඊයේ නොවේ. නොයෙක් විට ඊට අදාළ කරුණු එකිනෙක පරයමින් සිත තුළ පෙරැළි කළ මා ඉතා අමාරුවෙන් සිත හදා ගන්නට උත්සාහ කළෙමි. එනමුත් මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ එක්තරා පෝස්ට්ටුවක් නෙත ගැටීමෙනි. මම එය උපුටා දක්වමි. “ශ්‍රී ලංකාද්වීපයේ මහා ආයුර්වේද සෘෂිවරයාණෝ වික්‍රමාරච්චි සම්ප්‍රදාය ඇති කළේ හුදෙක් පරගැති වෙදුන්ට නොව වික්‍රමාරච්චි වෙද පරපුරටය. අනාගතයේ වික්‍රමාරච්චි භාරකාරත්වය පරගැත්තන්ට නතු වීමට ඉඩ නොතබමු. ලේ දහදිය ප්‍රාණය වුවද කැප කර රැක ගනිමු”. මෙය දුටු විට මසිතට නැගුණු ප්‍රශ්න කිහිපයකි.

     ·  වික්‍රමාරච්චි සම්ප්‍රදාය යනු කුමක්ද? එය ඇති වුයේ කෙදිනකද?
     ·  වික්‍රමාරච්චි වෙද පරපුර යනු කෙබඳු ගුරු කුලයක්ද?
     ·  පරගැති වෙදුන් යනු කවරහුද? ඒ පෙරකී වික්‍රමාරච්චි වෙද පරපුරට අයත් නොවන (පිටස්තර) අයද?
     ·  වික්‍රමාරච්චි (((((ආයුර්වේද ආයතනයේ) භාරකාරත්වය මින් පෙර පරගැත්තන් හට නතු වී නොතිබුණේද?
     · මින් පෙර එබඳු පරගැත්තන් එළවා දැමීම සඳහා ලේ, දහදිය හැලූ ඉතිහාසයක් නැත්තේ ඇයි?

මා දැන් මගේ ලිපියේ ප්‍රස්තුතය බවට පත් කර ගන්නේ ඉහතින් දැක්වූ ප්‍රශ්න කිහිපයයි. 1929 ජුලි 19 වැනි දින ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කරන්නේ මෙරට රාජ්‍ය අනුග්‍රහය ලබන ආයුර්වේද අධ්‍යාපන ආයතනය වන කොළඹ “ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය” ආරම්භ කර  දින 40 කට පසුවය.  සැබවින්ම ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පිහිටවූයේ මුඛ්‍යධාරාගත ආයුර්වේද ආධ්‍යාපන ව්‍යුහයට විකල්පයක් ලෙසය. එහි ඓතිහාසික පසුබිම අවබෝධ කර ගැනීම සඳහා පසුගිය සියවස මුල්භාගයේ ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් තුබූ සමාජ ආර්ථික පරිවර්තනයන්ට සාපේක්ෂව දේශීය වෛද්‍ය ක්‍රමයේ දිශානතිය තේරුම් බේරුම් කර ගත යුතුය. කෙටියෙන් සඳහන් කළ හොත් එය ඉන්දියානු ගැති ආයුර්වේද සම්ප්‍රදාය සහ දේශීය අනන්‍යතා සහිත ආයුර්වේද සම්ප්‍රදාය අතර නිහඬ අරගලයේ ප්‍රතිඵලයකි. අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයේ පිළිගත් රාජ්‍ය ප්‍රණාලිය තුළ ස්ථාපිත සම්ප්‍රදාය සහ වෛද්‍ය සමාජයේ පොදු සම්මුතීන් මත පෝෂණය වූ සම්ප්‍රදාය වෙන් වෙන්ව නියෝජනය කළ ආයතන දෙකක් විය.  එහෙත් මේ දෙකම පොදු ආයතන ලෙස ක්‍රියාත්මක වූ බව පිළිගත යුතුය.

ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කළ සමහර බලවේග එය වික්‍රමාරච්චි පරපුරේ දේපලක් සේ හඳුන්වා දුන් බව කුප්‍රකට කරුණකි. එහෙත් සත්‍ය තත්වය වුයේ එය ගම්පහ වෛද්‍ය සංගමය මගින් පොදු අරමුදල් යොදවා ආරම්භ කළ ආයතනයක් වූ බවයි. ඒ සඳහා නායකත්වය සැපයූ පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි වෛද්‍යතුමන් සිය ඉඩමක් ආයතනයේ භෞතික පැවැත්ම සඳහා පරිත්‍යාග කළේය. එහෙත් ආයතනයේ සියලු පරිපාලන කටයුතු ව්‍යවස්ථාවක් අනුව පාලක සභාවක් විසින් සිදු කළ අතර අංග සම්පුර්ණ ශික්ෂණ ආයතනයක් සතු සියලුම අංශ ක්‍රමවත් ලෙස පවත්වා ගෙන යාමෙන් එය රාජ්‍ය ආයතනයට විකල්ප ධාරාවක් සඳහා පුරෝගාමිත්වය දුන්නේය. මෙම ආයතන දෙක එක්තරා ආකාරයක ශාස්ත්‍රීය ගුරු කුල දෙකක් නියෝජනය කළ බව පැහැදිලි වන්නේ ඒවායේ පැවති විෂය නිර්දේශ, පරිචර්යා විධි, ශික්ෂණ ක්‍රමවේදයන් අතර වූ වෙනස් කම් සැලකීමේදී ය. එය තවත් තීව්‍ර වුයේ සමහර අවස්ථා වලදී ආයතනික අනන්‍යතාව මත යම් යම් ශාස්ත්‍රීය වාද විවාද වලට එළඹීම නිසාය. එහෙත් මෑත අතීතය දක්වාම මෙම ආයතන දෙක අතර අඩු වැඩි වශයෙන් ප්‍රතිරෝධතා තිබු බව ප්‍රකට කරුණකි.

වික්‍රමාරච්චි සම්ප්‍රදාය පිළිබඳ සාකච්ඡාව මේ රටේ ඇතිවන්නේ අසූව දශකයේදීය. ඒ මෙම ආයතනයේ අභිමානවත් හා අර්ථවත් සිද්ධායුර්වේද නාමය මකා දමා වික්‍රමාරච්චි නාමය ආදේශ කිරීමත් සමඟය. එය පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහේෂයාණන් පිළිකුල් කළ ආත්ම ප්‍රසිද්ධිය තකා පුද්ගල ප්‍රතිරුප නැංවීමේ නින්දිත ව්‍යාපෘතියේ ප්‍රතිඵලයකි. එතුමා ජිවත්ව සිටියදී පවා කිසි කලෙක ඒම ආයතනය පුද්ගලික දේපළක් ලෙස සලකා කටයුතු නොකළා මෙන්ම සිය ප්‍රතිරූපය උත්කර්ෂයට නැංවීමේ ප්‍රයත්නයන්ට නතු වුයේද නැත. “සිද්ධායුර්වේද” යන්නෙහි ඇති පොදු සාමුහික නියෝජනය සහ ජාතික වටිනාකම අභිබවා සිය පරපුරේ නම සටහන් කිරීමට එතුමා තුළ කිසිදු අවශ්‍යතාවක් නොවිය. එම නිසා වික්‍රමාරච්චි සම්ප්‍රදාය යන්න විවෘත ආර්ථිකයේ හුදු දේශපාලනික මිථ්‍යාවක් විනා අන් කිසිදු වටිනාකමක් ඇති ජාතික අනන්‍යතාවක් සහිත ශාස්ත්‍රීය සම්ප්‍රදායක් නොවේ. අනෙක් අතින් වික්‍රමාරච්චි යන්නෙන් සියලුම වික්‍රමාරච්චිලා නියෝජනය වන අතර පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහේෂයාණන් ගේ ශ්‍රී නාමයට ගෞරවයක් නොවේ. වික්‍රමාරච්චිලා අතර හරක් හොරුන්, කසිප්පු පෙරන්නන් මෙන්ම උපන් ගෙයි මෝඩයින් ද වෙති.

යම් හෙයකින් එතුමන් ගේ කීර්තිනාමයට  බුහුමන් කිරීමේ අභිලාෂයක් වුයේ නම් කළ යුතුව තුබුණේ “පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි අනුස්මරණ” ආරෝග්‍යශාලාව හෝ කෞතුකාගාරය වශයෙන් නම් කිරීමය. එවිට ගම්පහ සිද්ධායුර්වේද සම්ප්‍රදායේ අනෙකුත් පුරෝගාමීන් වූ ඩි. එස්. ජයකොඩි, ආර්. රාජපක්ෂ, එස්.පී.ඩබ්. ශ්‍රිවර්ධන  වැනි උතුමන් ගේ නම් අනුස්මරණයට ද ඉඩක් වෙන් කිරීමේ සදාචාරයක් ඉතිරි වනු ඇත. එහෙත් එක්තරා කණ්ඩායමක් සංවිධානාත්මකව සිද්ධායුර්වේද නාමය, එහි අනන්‍යතාව, ඉතිහාසය සහ උරුමය ඉතා නිර්දය ලෙස යටපත් කළ බව තතු දන්නෝ දනිති. වික්‍රමාරච්චි සම්ප්‍රදාය කරළියට එන්නේ එතැන් සිටය. එහි ඇත්තේ දේශපාලනික අරමුණකි. අද වන විට පණ්ඩිත රාළහාමි පරිත්‍යාග කළ භුමිය ද රජයට විකුණා මුදල් ලබා ගෙන අවසන්ය. එතුමන් ගේ ප්‍රතිපත්ති වෙනුවට ඉතිරිව ඇත්තේ ආයතනයට පිටුපස හරවා ගෙන සිටින ගල් පිළිමය පමණි. දැන් ආයතනය ඉදිරිපිට එතුමන්ගේ නමින් බෙහෙත් වෙළෙන්දෝ සිටිති. සිද්ධායුර්වේද ගුරුකුලයේ අභිමානවත් උරුමයන් බිම හෙළා ඒ මත ඉදි කරන මහල් ගොඩනැගිලි වල සිටින අය සිතන්නේ වික්‍රමාරච්චි සම්ප්‍රදායක් පැවති බවය. එහෙත් එය කෙබඳු දෙයක් දැයි යමෙක් ඇසුව හොත් ඔවුන් නිරුත්තරය.

“පරගැති” වෙදුන් යනු ඊනියා වික්‍රමාරච්චි සම්ප්‍රදායට අයත් නොවන හෝ ගම්පහ ආයතනයේ අධ්‍යාපනය නොලද අය නම් එය වඩා ගැඹුරින් සලකා බැලිය යුතු ගැටලුවකි. ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේ එහි පුරෝගාමීන් වුයේ ඉතා ප්‍රවීණ පාරම්පරික දේශීය වෛද්‍යවරු, ඉන්දියානු ආයතන වලින් අධ්‍යාපනය ලත් ආයුර්වේද වෛද්‍යවරු, ආයුර්වේදහිතකාමි බටහිර වෛද්‍යවරු සහ පෙර අපර දෙදිග භාෂා ශාස්ත්‍රධරයින් ඇතුළු ඉතා පුළුල් වෘත්තිකයින් පිරිසකි. ඔවුන් ගොඩ නැගූ සිද්ධායුර්වේද ගුරු කුලය තුළින් බිහි කළ සිද්ධයුර්වේදඥයින් හැරුණු විට බොහෝ දෙනෙක් එහි අනන්‍යතාව වෙනුවෙන් පෙනි සිටියහ. ඉන්දියානු ආභාෂය ලත් ආයුර්වේදඥයින් සේවාවෙන් මෙහි ශාස්ත්‍රාලෝකය වඩාත් හොඳින් පැතිරී ගිය අවස්ථා ද එමටය. වරින් වර බොරැල්ල ස්දේශීය වෛද්‍ය විද්‍යාලයේ උගත් වෛද්‍යවරුන් ද මෙහි උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබා දි ඇත්තේය. එනිසා මා සිතන්නේ ඕනෑම වෛද්‍යවරයෙකු ගම්පහ සිද්ධායුර්වේද ගුරු කුලයේ උරුමය, සම්ප්‍රදාය හෝ  අනන්‍යතාව වෙනුවෙන් එහි අගයන් පිළිගනිමින් ඒවාට ගරු කරමින්, ඒවා පිළිපදිමින්, ඒවා නියෝජනය කරමින් ඒවා සංවර්ධනය කිරීමේ ලා ඇප කැප වේ නම් එබඳු අයෙකු කුමන ආයතනයකින් ඉගෙනීම ලැබුවද ඔවුන් පිටස්තරයෙකු ලෙස සැලකීම යුතු නොවේ.

එසේ නම් එම් ආයතනයේම උගෙන එහි සම්ප්‍රදාය, උරුමය සහ අනන්‍යතාව ගරු නොකරන ඊට අනුගත නොවන ඒ වෙනුවෙන් පෙනී නොසිටින වෛද්‍යවරුන් හඳුන්වන්නේ කෙසේද? මට නම ඔවුන් පිටස්තරයින් ය. කිසිදු ආයුර්වේද පසුබිමක් නොමැතිව ආයතනයේ මුල් පුටුවට උඩින් පත්වෙන නෝනා මහත්වරුන් පිටස්තරයින් නොවේද? ආයතනයේ ඉතිහාසය අමතක කොට උරුමයට සරදම් කොට එබඳු පිටස්තරයින් ට කඩේ යන ඔවුන් බැලමෙහෙකම් කරන ඔවුන් ඉදිරියේ නැමෙන ඔවුන්ට පන්දම අල්ලන ඔවුන්ගේ පිට කසන අය පරගැතියන් නොවේද? නිසි සුදුසුකම් නොලබා පස්සා දොරෙන් තනතුරු ලද ගමපහ පුස්සෙකුට (මේ කතාව අදාළ වන්නේ ඉතා සුළු පිරිසක් සම්බන්ධයෙනි) නිසි සුදුසුකම් ඇති බොරැල්ලේ නිස්සෙකු මුල් පුටුවේ වාඩි කරවීම අනුමත නොකරන්නේ ඇයි? සසුගිය වසර හයක් තුළ ගෙනගිය පරගැති පාලනය ඉදිරියේ ලේ දහදිය නොසැලු අය දැන් ඉදිරිපත් වන්නේ ඇයි? අන්තිමට ආයුර්වේදය කට ගාගත් දොස්තර පිල්ලියක් ගෙන්වීමේ මන්තරය ජප කරන්නට සුදානමක් ඇති නිසාදැයි සැකයක් තිබේ.  

“ගස් නැති රටේ එඬරු ගසත් ගසක්” යැයි පැරැණි සංස්කෘත කියමනක් ඇත. එයින් හැඟවෙන්නේ සුදුස්සන් නැති තැනක නුසුදුස්සන් කැපී පෙනෙන බවයි. මම මුලින් කී පස්සා දොරෙන් පත්වීම් ලද සමහර ආචාර්යවරුන් සැබෑ එඬරු ගස්ය. එනමුත් දැන් සිදුවෙමින් පවතින්නේ එබඳු එඬරු ගස් පළ දරා ඒවායේ ඇට වලින් තෙල් සිඳ එම තෙල් වලින් සිද්ධාර්යුර්වේද ගුරුකුලයේ බඩ සුද්ද කිරීමේ මෙහෙයුමක් අරඹා ඇති නිසාය. ඔවුන්ගේ අදහස් සහ ප්‍රතිපත්ති අදටත් පදනම් වී ඇත්තේ පන්දම් ඇල්ලීම විභාග සමත් වීමේ  නිර්ණායක ලෙසත් නිදහස් ප්‍රකාශනය පළිගැනීමේ හේතුවක් ලෙසත් යොදා ගන්නා ක්‍රමයයි. පණ්ඩිත රාළහාමි ගස් යට ඉගැන්වූ යුගයේ ආයතනය තුළ වොරැඳි ප්‍රතිපත්ති අද සුවිසල් මහල් රසායනාගාර තුළ අමු අමුවේ උල්ලංඝණය කරයි. එදා නොමිලේ අධ්‍යාපනය දුන් ගුරු පියවරුන් ගේ ශ්‍රේෂ්ඨ පෞරුෂයන් අද දහසින් බැඳී පියළි වලින් වැටුප් ලබන ගෝලයින් අතින් ගැරහීමට ලක්වේ. මාර්තු මස ගුණ සමරුවේදී පුෂ්පෝහාර දක්වා සියල්ල අමතක කරයි. සරසවි වරම් ලැබුණේ ගොඩනැගිලි වලට නොව ආයතනයේ ශාස්ත්‍රීය උරුමයට බව ඒ බොහෝ දෙනා අමතක කරති. ඒ ගැන සිසුන් හට කියා නොදෙති.


පරගැති කතාව ඇසෙන විට මගේ මතකයට එන්නේ සිද්ධායුර්වේද ගුරු කුලයේ අසිරිමත් චරිතයක් වූ ලීලාරත්න වීරසිංහ ගුරු පියාණන් වරෙක පැවසූ දෙයකි. සිද්ධායුර්වේදයට හානි සිදු කරන වුන් එතුමන් හැඳින්වුයේ පරයින් සහ ජඩයින් ලෙසය. එහි අර්ථය නොදත් බොහෝ දෙනා ඒ ප්‍රකාශය ගැන නොසතුටෙන් සිටියද එතුමා ඊට කදිම අර්ථ දැක්වීමක් කළේය. “පරයා” යනු පිටින් ආ අයෙකු හැඳින්වීමට යෙදෙන වචනයක් වුවත් එය අපේ කමට ගරු නොකරන ඇතුලේ සිටිමින් ම ඇතුළත් බව නොපෙන්වන ඇතුළට ද්‍රෝහී වන්නා ද පරයෙකි. “ජඩයා” යනු මෝඩ පුද්ගලයා හැඳින්වීමට යොදන වදනක් ලෙසින් ලෙහෙසියෙන් රැවටිය හැකි හෝ නොදන්නාකම නිසා අන් අයගේ දැනුමට යට වූ අය හට ද යෙදිය හැකිය. ඒ අනුව අදත් මේ ආයතනයේ මෙකී පර-ජඩ සංයෝගය එලෙසින්ම පවතී. එය ආයතනයේ ඉදිරි ගමන වළක්වන පිළිලයකි. පිටින් කඩා පාත් වූ පරයින් ඇතුළත අගයන් ට ගරු නොකර ඒවා පිළිනොගෙන පිටස්තර බලය පතුරුවන විට හරි හැටි සිය ශාස්ත්‍ර පෞරුෂය මෙහෙයවා ගත නොහැකි ජඩයින් ඔවුන් සමඟ අත්වැල් බැඳ ගෙන සිද්ධායුර්වේද සම්ප්‍රදාය ඔලුවෙන් සිටවති. එසේ නැත හොත් ඔලුවෙන් සිටගෙන ඒ දෙස බලති.

මෙම ආයතනය විශ්ව විද්‍යාල ආයතනයක් බවට පත් වන අවස්ථාවේ එහි පැරැණි නම හෙවත් අභිමානවත් සිද්ධායුර්වේද නාමය යළිත් ස්ථාපනය කරන්නට බල කරමින් තනි පුද්ගලයෙකු ලෙසත් එවකට සිද්ධායුර්වේද වෛද්‍ය සංගමයේ ලේකම් ලෙසත් වගකිවයුත්තන් හට කළ ඉල්ලීම් සහ පත්තර වලට ලියු ලිපි විශාල ප්‍රමාණයකි. (ඒවා බොහොමයක් මා ළඟ තවමත් සුරැකිව තිබේ.) මා විශේෂයෙන්ම උත්සාහ කරන්නේ මේ වන විට යටපත් කොට වසා දමා වනසා ඇති ඉතිහාසය නවක වෛද්‍යවරුන් හට සිසුන් හට යම් ප්‍රමාණයකින් උපුටා දක්වන්නටය. වික්‍රමාරච්චි සම්ප්‍රදායක් හෝ පරපුරක් ගැන ඔවුන් කතා කරන්නේ ඒ අතීතය නොදන්නා නිසාය. මේ ආයතනය දේශීය විශ්ව විද්‍යාලයක් නමින් වෙනස් ආයතනයක් බවට පත් කරන බහුබූත යෝජනාවක් අධ්‍යක්ෂවරිය විසින් ඉදිරිපත් කළේ සිද්ධායුර්වේද සම්ප්‍රදායත් ජී.පී.වික්‍රමාරච්චි ප්‍රතිපත්තිත් සියල්ල සිය පෞද්ගලික වාසිය සඳහා පාවා දෙමිනි. ඒවා දැන දැන හිස නමා එය අනුමැත කළේ පරගැති කම නිසා නොවේද? ඒ මා පෙර සඳහන් කළ වික්‍රමාරච්චි පරපුරේ එඬරු තෙල් වලින් සිද්ධායුර්වේද ගුරු කුලයේ බඩ සුද්ද කිරීමේ අරමුණ වෙනුවෙන් ය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

Thursday, February 5, 2015

“ළිං මැඩියන්” ට එරෙහිව “සඳුන් පටවා ගත් බුරුවන්” ගේ උභතෝකෝටිකය හෙවත් සුද්දන්ගේ ආයුර්වේදතරණය


ආයුර්වේදය ක්ෂේත්‍රය තුළ සිදු වන බොහෝ දෑ බෙහෙවින් ම සිත් කළකිරවන නමුත් ඉඳ හිට සිත් කුපිත කරවන දේවල් ද දක්නට ලැබේ. මේ කරුණු වර්ග දෙක වෙන් වෙන්ව සඳහන් කළේ සිත් කළකිරවන දේවල් දිහා බලා සිටිනවා හැර වෙන කළ හැකි දෙයක් නොමැත. ඒවායින් එතරම් හානියක් සිදුවන්නේ ද නැති නිසා බලා සිටීමෙන් පාපයක් ද සිදු නොවේ. අද පවතින සමාජ ආර්ථික වටපිටාව තුළ එබඳු දේවල් අනුමත කරන්නට හෝ ඒවායේ කොටස්කරුවන් වන්නට ද අප හට සිදු වන අවස්ථාවන් ද එළඹේ.  එහෙත් සිත් කුපිත කරවන දේවල් වහා නිවැරදි කළ යුතු ඉතා බරපතල හානි සිදුවන වැරදිය. මා අද කතා කරන්නේ එබඳු සිත් කුපිත කරන සුළු දෙයක් ගැනය. එකී කාරණාවේ මුල මැද අග තරමක් සංකීර්ණ නිසා මෙහි සන්දර්භය ඉතා ප්‍රවේශමෙන් වටහා ගත යුතුය. මෙම මාතෘකාවේ සුද්දන් යන කුලකය අර්ථ දක්වන්නේ බටහිර ජාතිකයන් හෝ යුරෝපීය රටවල වැසියන් පමණක් නොව බටහිර දැනුම් පද්ධතීන් ඔස්සේ ලෝකය විවරණය කරන අය ද ඇතුළත්වය. එනිසා මෙය දාර්ශනික  ස්වරුපයෙන් නිදහස් කර ගැනීමේ ප්‍රයත්නයක් මා තුළ පවතී. ක්‍රමයෙන් ඒ බාධකය පහව යනු ඇතැයි මා සිතමි. මෙහි මා ආයුර්වේදතරණ ය න්න යෙදුවේ ආයුර්වේදාවතරණයෙන් වෙනස් අර්ථයක් සහිතවය. අවතරණය යන්නෙන් ඉහළ සිට පහළට ගලා ඒම හෝ යම් වංශාවලියක පැවත්ම  ගලා යාම  (වංශානුක්‍රමය) යන්න අදහස් වේ. එහෙත් තරණය යනු එගොඩ වීම හෝ එතෙර වීම යන අර්ථය දේ. මෙහි දී යොදා ඇත්තේ ආයුර්වේදයෙන් එගොඩවවිම යන් අරුත ඇති “ආයුර්වේදතරණය” යන්නයි.

ළිං මැඩියන් ගේ සද්භාව විචාරයේ ආකෘතිය කෙබඳු ද යන්න පළමුව වටහා ගනිමු. අපි මේ යෙදුම තුළින් අරුත් ගන්වන්නේ තමන් ගේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට එපිටින් ඇති ලෝකය වටහා නොගන්නා බවත් සියල්ල තමන් දකින තමන්ට වැටහෙන දැනෙන සිමාවන් තුළ තේරුම් ගැනීමත් එය විස්තර කිරීමත් ය. ආචාර්ය සුශ්රුත සඳුන් පටවා ගත් බුරුවන් ලෙස හඳුන්වා දුන්නේ විෂය දැනුම දරා ගනිමින් එහි ප්‍රමාණාත්මක අගය පමණක් දැන එහෙත් එහි ගුණාත්මක අගය නොදැන හෝ අමතක කර කටයුතු කරන ශාස්ත්‍රධරයින් හෙවත් විද්වතුන් ගේ සමාජ නිරුපණයයි. මෙය ආයුර්වේදඥයින් හට මෙන්ම අන් සියලු විද්වතුන් හට ද පොදු විවේචනයකි. සමහර විටෙක මෙබඳු විද්වතුන් විෂය දැනුම භාවිත කරනුයේ සමාජයට පුහු ආටෝපය පෙන්වීම සඳහා වන හුදු ආභරණයක් ලෙස හෝ අන් අය බිය ගැන්වීමට යොදා ගන්නා අවියක් ලෙසය. නම අගට බී.ඒ.එම්.එස්. එකට තව පශ්චාත් උපාධියකුත් එයට වග කියන විශ්ව විද්‍යාලයේ නමත් අපි දරන නොයෙකුත් තනතුරුත් එල්ලා ගත් පමණින් ම අපි "ආයුර්වේදඥ" (ආයුර්වේදය හොඳින් දැනගත්) වන්නේ නැත. එසේම අපි ආයුර්වේදය ගැන යමක් ලියු පමණින් එය ගැන කතා කළ පමණින් එය හොඳින් සංනිවේදනය කළා වන්නේ ද නැත. මෙය විදේශීය රටකින් පැමිණි වෙනත් බසක් කතා කරන අය සම්බන්ධයෙන් තවත් දුෂ්කරය. සුද්දන්ට අදාළව මේ කරුණ තවත් බරපතලය.         

මා හට ආයුර්වේදය පිළිබඳව උනන්දුව දක්වන සුද්දන් කණ්ඩායම් දෙකක් මුණ ගැසී ඇත. එක කොටසක් ආයුර්වේදය භාවිත කිරීමට, එම ප්‍රතිකාර ලැබීමට හෝ එහි දැනුම ලබා ගැනීමට පැමිණෙන කණ්ඩායමයි. මම මින් මතු ඔවුන් “ශ්‍රාවකයින්” ලෙස හඳුන්වමි. අනෙක් කොටස ආයුර්වේදය ගැන අපට ඉගැන්වීමට හෝ ඒ ගැන පැහැදිලි කිරීමට හෝ තමන් දරන මතය පැවසීමට පැමිණෙන කණ්ඩායමයි. මින් මතු ඔවුන් “දේශකයින්” ලෙස හඳුන්වමි. දැන් මා මේ ගැටලුවට අවතීරණ වන්නේ මෙකී ශ්‍රාවකයින් සහ දේශකයින් දෙපස තබා ගෙනය. මේ දෙපක්ෂයම අප සමඟ අදහස් හුවමාරු කර ගන්නේ ඉංග්‍රීසියෙන් ය. මින් පළමු (ශ්‍රාවක) කණ්ඩායම සාමන්‍ය ඉංග්‍රීසි භාෂාවත් දෙවන (දේශක) කණ්ඩායම පාරිභාෂික වදන් බහුල පාණ්ඩිත්‍ය ඉංග්‍රීසියත් උසුරුවයි. මේ කරුණ වඩාත් හොඳින් විග්‍රහ කර ගැනීම සඳහා සුද්දන් කෙරෙහි අප සමාජ සන්තානය තුළ නිර්මාණය කර ඇති අන්‍යභාවයේ (otherness) ආරෝපිත අගයන් කෙබඳු දැයි වටහා ගත යුතුය. ඉදින් අපි පළමු කණ්ඩායමට ආයුර්වේදය ඉගැන්වීමටත් දෙවන කණ්ඩායමෙන් ආයුර්වේදය ඉගෙන ගැනීමටත් කැමත්තෙන් සිටිමු. එය ආඩම්බරයට හෙතුවක් යැයි සිතමු. අපි වරෙක ළිං මැඩියන් හට දෙසන අතරේ සඳුන් පටවා ගත් බුරුවන් හට සවන් දෙමු. මේ ළිං මැඩියන්ට සහ සඳුන් පටවා ගත් බුරුවන් ට මැදිවූ උභතෝකෝටිකය විසඳා ගන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් සුද්දන් පෙරදිග දේවල් හෝ දේශීය දේවල් අගයන විට හෝ ඒවා භාවිත කරන විට අපි ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන්නේ ඇයි? එය අප තුළ ඇති පැරණි පරාධීන මානසිකත්වයේ නටබුන් ය. බිල් ක්ලින්ටන් පන්සලකට ගිය විටත්, බරක් ඔබාමා බෝ පැළයක් රෝපණය කළ විටත් මතුවන්නේ එයමයි. අපේ ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් බණ පදයක් නොඅසන අය සුදු හාමුදුරුවන් ගේ බණ අසන්නට සැදී පැහැදී පෝලිම් වල පොරකන්නේ මෙකී මානසිකත්වය නිසාය. සුද්දන් වැරදි උච්චාරණයෙන් සිංහල සිංදු කියන විට සැනසෙන සිත් අපේ ළමයි ඉංග්‍රීසි වලට ලකුණු අඩුවෙන් ගත් විට රිදෙන්නෙත් එනිසාය. අපි අමාරුවෙන් ළම්යින්ව එලකියුෂන් පන්ති යවන්නේ එනිසා ය. සිංහල වැරදුණත් ඉංග්‍රීසි නිවැරදිව කතා කළ යුතු බව සිතන්නේ බ්‍රිතාන්‍ය කිරීටය කෙරෙහි අපේ මුතුන්මිත්තන් දැක්වූ බය පක්ෂපාතිත්වය නිසාය. එනිසා මම සිතන්නේ අපේ සමාජය තුළ සුද්දන් කෙරෙහි අනියත දේශපාලනික බියක් හෙවත් ජානගත සමාජමය පිළිගැනීමක් ඇති බවය. බිබිසි සීඑන්එන් ඩිස්කවරි නැෂනල් ජියෝග්‍රෆි වැනි නාලිකා හරහා ඒ බිය වැඩි කරන පරිකල්පන මෙවලම් සපයන බව මම සිතමි, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, මානව හිමිකම් කවුන්සලය, ලෝක බැංකුව වැනි ආයතන හරහා ඒ බිය පවත්වා ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික පදනම සපයයි. 

ආයුර්වේදය සිංහලෙන් ලියැවුණු පොත් වලට වඩා ඉංග්‍රීසියෙන් ලියැවුණු පොත් වඩා නිවැරදි යැයි ද ඒවායේ වඩා උසස් ගණයේ විවරණ හෝ විදවත් සංවාද අඩංගු වේ යැයි ද ඒවා වඩා සුදුසුකම් ලත් වියතුන් අතින් ලියැවී ඇතැයිද පිළිගන්නේ ද මෙකී ආස්ථානයේ ම කොටසක් ලෙසය. ඉංග්‍රීසියෙන් ආයුර්වේදය ගැන පළ වන පර්යේෂණ පත්‍රිකා වඩා විද්‍යාත්මක යැයි සිතන්නේ ද මෙ නිසාය. ඉංග්‍රීසියෙන් ආයුර්වේදය ගැන කතා කරන විද්වතුන් නවීන ලොවට ඔබින පරිදි ආයුර්වේදය හදාරා එය ඉදිරිපත් කරන්නේ ය යන මිථ්‍යාව සමාජ ගත වන්නේ ද එනිසාය. එහෙත් අපේ කතා අහන්නට රැස්වන ළිං මැඩි සුද්දන් ඉදිරියේ අපී සඳුන් පටවා ගත් බුරුවන් මෙන් පෙනේ යැයි හැඟීමක් මට තිබේ. අද ආයුර්වේද සම්මන්ත්‍රණ තුළ මෙන්ම ශාස්ත්‍රීය සංග්‍රහයන් තුළ ආයුර්වේදය සාකච්ඡා කරන ප්‍රධාන මාධ්‍යය ලෙස ඉංග්‍රීසිය යොදා ගන්නේ එය වඩා හොඳ සංනිවේදන මෙවලම නිසා නොව එය සුද්දන්ට තේරෙන බාසාව නිසාය. ඉන්දියාවේ ඕනෑම ජාත්‍යන්තර සමුළුවකදී හින්දියෙන් හෝ ප්‍රාන්ත භාෂාවන් ගෙන් සිදු කරන දේශන සහ සාකච්ඡා ඉතා මැනවින් සංවිධානය කෙරේ. ඒ දේශීය විද්වතුන් ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමේ පරමාර්ථය නිසාම නොව ශාස්ත්‍ර පරිභාෂාවේ අනන්‍යතාව ආරක්ෂා කිරීමෙන් එහි ගුණාත්මක අගයන් ඉහළ මට්ටමක රඳවා ගැනීමටය.

ආයුර්වේදයේ පිහිට පතන අයුර්වේදයෙන් යම් සුවයක් හෝ සහනදායී අත්දැකීමක් අපේක්ෂා කරන සුද්දන් කොටස් දෙකකි. එක කොටසක් දැනටමත් ආයුර්වේදය ගැන දැනට පළවී ඇති පොත් පත් හෝ අන්තර් ජාලයේ ලියවිලි පරිහරණය කර ඇති අය වේ. අනෙක් කොටස එබඳු මුලික දැනුමක් හෝ තොරතුරු නොමැති අය වේ. මේ දෙකොටස අතරින් පළමු කොටසට ආයුර්වේදය අවබෝධ කරවීම පහසු යැයි සිතීම මුලාවකි. ඔවුන් දෙගොල්ලම මා දකින්නේ ආයුර්වේදය තුළ ළිං මැඩියන් ලෙසයි. ඒ අයට අපි ආයුර්වේදය ගැන ඉංග්‍රීසියෙන් කියා දෙන විට ඔවුන් එය තේරුම් ගන්නේ “කූප මණ්ඩුක න්‍යාය” අනුවය. ඒ කියන්නේ අප දෙන දැනුම ඔවුන් කියවා තේරුම් ගන්නේ ඔවුන් ගේ සංස්කෘතික වටපිටාව අයත් ලෝක දෘෂ්ටිය තුළ ය. පංච මහා භූත, සප්ත ධාතු, ත්‍රිදෝෂ, අග්නි, ප්‍රකෘති වැනි ගැඹුරු සංකල්ප කෙසේ වෙතත් සද්වෘත, අන්නපාන විධි වැනි ප්‍රායෝගික කරුණු පවා ඔවුන්ගේ මනසේ තැන්පත් වන්නේ උඩු යටිකුරු මාදිලියෙනි. ඉංග්‍රීසි පොත් වල ප්‍රකෘති පරික්ෂාව හුදු සරල ප්‍රශ්නාවලියකට ලඝු කිරීමෙන් ඔවුන් අත දිගු කරන්නේ ඔබට මගේ ප්‍රකෘතිය කිව හැකිද? යන ප්‍රශ්නය නගමිනි. මේ තත්වය ඇති කළේ අර සඳුන් පටවා ගත් බුරුවන් හෙවත් ආයුර්වේදය ඉංග්‍රීසියෙන් වටහා ගත් සුද්දන්ය. මේ සඳහා මම ඓතිහාසික උදාහරණ දෙකක් ගනිමි.

රොබට් නොක්ස් අපේ වෙදකම ගැන කියුවේ කුමක්දැයි යළිත් කියවා බලමු. “මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය. මේ රටේ ඒ සඳහා වෙන වෙනම නම් දැරූ විශේෂ වෛද්‍යවරු හෝ ශල්‍ය වෛද්‍යවරු හෝ නැත්තාහ. කෂාය බෙහෙත් ගැන කැපුම් කෙටුම් පෑස්සුම් ගැන කොයි කාටත් සාමන්‍ය පළපුරුද්දක් ඇත්තේය. ඔසු පිළියෙළ කරන්නේ ගස් වැල් වල කොළ පොතු ආදියෙනි.... එසේම ඒ රටේ මිනිස්සු සර්ප විෂට මෙන්ම අනෙකුත් විෂට ද වෙදකම් කිරීමට ඇති සමත්තු වෙති...... සිංහලයෝ සර්ප විෂ බස්සන්නට හා සර්පයා සපා කෑමෙන් වළකින්නට මන්ත්‍ර ගුරුකම් කිරීමේ ගජ සමත්තුය... සර්වාංග රෝග සුව කිරීම සම්බන්ධයෙන් ඔවුන් තුළ කිසිදු දස්කමක් නැත්තේය.” මා දන්නා පරිදි ආයුර්වේදයට වැටුණු පළමු සුදු (බටහිර) ළිං මැඩියා රොබට් නොක්ස්ය. ඔහු  එදිනෙදා දුටු සිදුවීම් සහ ඔහුගේ අත්දැකීම් ඔස්සේ කරන ලද නිරීක්ෂණ සාමන්‍ය පුද්ගලයෙකු ලෙස වාර්තා කරයි. රොබට් නොක්ස් මේ කතා ලියන්නේ 1659 සිට 1680 දක්වා ඔහු ලද අත්දැකීම් සමුදායයි (An historical relation of the island Ceylon, in the East Indies). මේ නොක්ස් දේශීය වෙදකම ගැන ඔහුගේ සද්භාවවිචාරය තුළ විශ්වාස කළ දේවල් මත වාර්තා කළ අයුරයි. අදත් ආයුර්වේදය ගැන අපෙන් අසන ආයුර්වේද ප්‍රතිකාරයක් ලබන සුද්දෙකු මිට වඩා බොහෝ වෙනස් වාර්තාවක් ඉදිරිපත් කරනු ඇතැයි මම නොසිතමි. ශ්‍රී ලංකාවට සංචාරකයෙකු (නාවිකයෙකු) ලෙස පැමිණ අහම්බෙන් සිරකරුවෙකු ලෙස දිවි ගෙවු නොක්ස් දේශීය වෙදකම ගැන වාර්තා කරන පළමු විදේශිකයා බව අමතක නොකළ යුතුය. එනිසා ඔහුගේ කියවීමට යටින් දිවෙන සද්භාවවිචාරය ගැන ඉතා සියුම් විග්‍රහයක් අවශ්‍ය බව නැවතත් කියමි.

මීළඟට ජෝන් ඩේවී ගේ ආස්ථානය දෙසට හැරෙමු. “බෙහෙත් සැදීම පිළිබඳ ඔවුන්ගේ දැනුම සීමිතය. ඔවුන්ගේ ද්‍රව්‍ය ගුණ නිඝණ්ටුවට අයත් ද්‍රව්‍ය චුර්ණ, කසාය, සාර ලෙස පිළියෙළ කොට ගත් වනෞෂධ මිරිකීමෙන් හෝ උණුකිරීමෙන් ලබාගන්නා නියමිත තෙල් වර්ග කිහිපයක් තෙල් හෝ උකු ද්‍රව්‍ය සංයෝග කළ රසදිය වැනි ලෝහමය ඖෂධ ඉතා සුළු සංඛ්‍යාවක් සුදු ඔක්සයිඩ් තත්වයේ වූ පාසානම් කුඩු තත්වයෙහි වූ තඹ රණ හා රිදී යන මෙයින් සමන්විතය. ඔවුන්ගේ ශල්‍ය කර්මය පවතින්නේ අතිශයින් ග්‍රාම්‍ය ලෙසකිනි.,,, ඔවුන්ගේ ශරීර විද්‍යාව අනුමාන කළ හැකි පරිදි අතිශයින් කාල්පනික ය... සප්ත ධාතු සහ තුන් දොස් අනුසාරයෙන් ද සත්ත්ව ශරීරයෙහි සියලු ම කටයුතු මෙන්ම ශරීරය පිළිබඳ විධිමත් හෝ ව්‍යාකුල හෝ වේවා රෝගී හෝ නිරෝගී හෝ වේවා සියලුම ක්‍රියා ද පිළිබඳ හේතුව ප්‍රකාශ කළ හැකිය යනු ඔවුන්ගේ මතයයි. ඔවුන්ගේ රෝග විනිශ්චය ද ඉහත සඳහන් කළ කාල්පනික ගණයට අයත් වුයේ ඉහත මුලධර්ම පිළිබඳව වගකට නැති තර්ක මාත්‍රය මත සම්පුරණයෙන් ම රඳා පවතී... මේ රෝග 572 පිළිබඳ ඔවුන්ගේ රෝග වර්ගීකරණය ඔවුන්ගේ රෝග විනිශ්චය පදනම් කොට ඇත්තේය. මෙහිදී රෝග ඒ ඒ රෝගය පිළිබඳ රෝග ලක්ෂණ සමුහ වශෙයන් නො සලකා එක් එක්  රෝග ලක්ෂණය හා රෝග ලක්ෂණයක විපර්යාසයක් විශේෂ රෝගයක් ලෙස සලකනු ලැබේ. මෙසේ සංකල්පික හේතුන්ගේ පිහිට ලබන ඔවුන්ගේ රෝග නාම ලේඛනය බොහෝ දික්ය. ඔවුන්ගේ වෛද්‍ය කර්මය ප්‍රත්‍යක්ෂ මූලක ක්‍රමයට වඩා කාල්පනිකය. රෝග ලක්ෂණ සහනය කිරීමට වඩා රෝග හේතු වැළැක්වීම කෙරෙහි වෙයි. එසේ නැතහොත් හුදෙක් පළපුරුද්ද මත පිහිටා සුව කිරීමට උත්සාහ කරති. ඔවුන්ගේ ක්‍රියාමාර්ගයේ ප්‍රධාන ලක්ෂණය නම් පළමු කොට රෝගය පැසවා හෙවත් උත්සන්න කරවා දෙවනුව එය ඉවත් කිරීමයි... වෛද්‍යවරයෙකුගේ අධ්‍යාපනය සුදුසුකම්, ශිල්පයේ තත්වය පිළිබඳ විශේෂ ලක්ෂණ ප්‍රබල ලෙස විදහා දක්වයි.  ලංකාවේ ආයුර්වේදය විග්‍රහ කළ පළමු සුදු (බටහිර) බුරුවා (සඳුන් පටවා ගත්)  ජෝන් ඩේවී ය. ඔහුට අනුව සිංහලයාගේ වෛද්‍ය විද්‍යා දැනුම “සීමිත සිතු බුද්ධිය මත ගොඩ නගන ලද දුරවබෝධ අසත්‍ය ක්‍රමයක්” වේ. ඩේවී සිංහලයාගේ වෙදකම පිළිබඳ විද්‍යාත්මක ක්‍රමය මත පදනම් ව දීර්ඝ විවරණයක් ඉදිරිපත් කරයි. හුදු තමන් සතු ශාස්ත්‍ර බුද්ධිය මත පදනම් ව සීමිත කාලයක් තුළ එකතු කර ගත් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය පමණක් ප්‍රමාණ කොට වෙනත් තර්කානුකුල සාක්ෂි හෝ විෂයානුබද්ධ කරුණු යොදා නොගෙන නිගමන වලට එළඹේ. තමන් ගේ වෘත්තීය ප්‍රවීණතාව හරහා ඊට යම් ශාස්ත්‍රීය අගයක් එකතු කොට ඒවා සමකාලීන පාරිභාෂික පද වලින් සරසා ප්‍රකාශයට පත් කරයි. එනිසා ඔහු සඳුන් පටවා ගත් බටහිර බුරුවන් ගේ පරපුරේ පුරෝගමියෙකු ලෙස හඳුන්වමි.

ජෝන් ඩේවී වෛද්‍යවරයෙකු පමණක් නොව රසායන විද්‍යාඥයෙකු ලෙසත් යම් ප්‍රවීන විද්වතෙකු ලෙස සිය An Account of the Interior of Ceylon, and of Its Inhabitants: With Travels in that Island ග්‍රන්ථය පළ කරන්නේ 1821 දීය. මොහු ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය රසායන විද්‍යාඥයෙක් වන ශ්‍රීමත් හම්ප්‍රි ඩේවී ගේ සහෝදරයා ලෙස එඩින්බර්ග් සරසවියේ පර්යේෂණ වලට ද සහය වන අතර පසු කලෙක ඔහුගේ පර්යේෂණ සඳහා රාජකීය සංගමයේ සම්මානය ද හිමිවේ. මොහු ශ්‍රී ලංකාවට පැමිණෙන විට නුතන යුරෝපයේ විද්‍යාත්මක චින්තනය සරුවට දළු ලමින් පර්යේෂණ ඥානය සියලු විෂයන් කෙරෙහි ආධිපත්‍යය පතුරවමින් තිබු යුගයයි. යක් දෙස්සියන් මරා පුළුස්සමින් යුරෝපයේ පුනරුදය තුළ ගොඩ නැගූ චින්තන විප්ලවයෙන් උද්දාමයට පත් ව ද සිටි විද්වත් සමාජයේ එක් පුරුකක් ලෙස ජෝන් ඩේවී ද හඳුන්වමි. පල්ලියේ නීතිමය බලය මත යුරෝපය තුළ පමණක් ඝාතනය කළ යක්දෙස්සන් ලක්ෂ ගණනක් අතර සුවකරන්නන්, දේශීය වෛද්‍යවරුන්, යාගකරුවන්, ඉතා විශාල සංඛ්‍යාවක් විය. ඔවුන් සියලු දෙනා ජිවිතයෙන් වන්දි ගෙවුවේ ඔවුන් සතු සුවිසල් පාරම්පරික දැනුම් සම්භාරයද ලොවට අහිමි කරමිනි. (මේ ගැන වේනම් ලිපියක් ලියමි.) මට කියන්නට අවශ්‍ය වුයේ යුරෝපිය විද්වතුන් යටත්විජිතයන්හි සම්ප්‍රදායික දැනුම් පද්ධතීන් සහ සංස්කෘතික හර පද්ධතීන් දෙස බැලුවේ යක්දෙස්සන් ගේ සන්දර්භය තුළය. ඩේවී දේශීය දැනුම් විග්‍රහ කිරීමට යොදා ගන්නේ විද්‍යාත්මක රසය පෙවූ ඉතා නිග්‍රහශීලි, අශික්ෂිත, අශ්ලීල, පරිභවාත්මක වදන් සමුදායකි. එය යක්දෙස්සන් ගේ සංකල්ප පණපිටින් මතවාදීව පුළුස්සා දමනවා වැනිය.

ඩේවී ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් මෙන්ම පර්යේෂකයෙක් ද වෙයි. එහෙත් ඔහු ආයුර්වේද දැනුම හෝ දේශීය වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් පළ කරන මත සහ නිගමන හුදු සරල ඒකපාක්ෂික පුර්වනිගමන කිහිපයකි. එනිසා ඔහු ආචාර්ය සුශ්රුත ගේ විග්‍රහයට අනුව සඳුන් පටවා ගත් බුරුවෙකු හා සමානය. අද සමහර විටෙක තමන් ගේ විෂය ප්‍රාමාණික ව ආයුර්වේදය ගැන මත පළ කරන නිගමන වලට එළඹෙන වියතුන් ද ඩේවී ගේ බූරු නිර්ණායක වලින් නිදහස් වන්නේ නැත. මා සිතන අයුරින් ආයුර්වේදය අපි ඉතා ප්‍රවේශමෙන් කියවීමත් තේරුම් ගැනීමත් අන් අයට කියාදිමත් කළ යුතුය. අපිට ඉංග්‍රීසි උගත් පමණින් සුද්දන් හට ආයුර්වේදය කියා දෙන්නට බැරිය. සුද්දන් ආයුර්වේදය උගත් පළියට ආයුර්වේදයේ ගැඹුරු සංකල්ප ගැන අප හට විවරණ ඉදිරපත් කරන්නට බැරිය. මේ වරද අතීතයේදී වේද ග්‍රන්ථ හැදෑරු සුදු විද්වතුන් අතින් ද සිදු වුණා. ඒ අය ඉන්දු-යුරෝපිය ආර්ය සංක්‍රමණයක් හරහා වේදයේ ආගමනය ගැන කතා කළා. ආයුර්වේදය “ආර්ය වෛද්‍යක්‍රමය” ලෙස අර්ථ ගැන්වූ අතර සමහර විටෙක “වෛදික වෛද්‍යක්‍රමය” ලෙස හැඳින්විය. මේ සියල්ල තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් තුබුණු බව වටහා ගත යුතුයි. ඔබ බොහෝ දෙනා නොදන්නා ඉතා අප්‍රකට ඓතිහාසික කාරණයක් මා මෙහි ලා සඳහන් කරන්නට අවශ්‍යයි. 1898 දි නිව්යෝක් නගරයේ එවකට ඇමෙරිකාවේ සුප්‍රකට වෛද්‍ය විශාරදයින් එක්වී ශාස්ත්‍රීය සංගමයක් පිහිටුවා ගනු ලැබිය. එහි නම වශයෙන් යොදා ගත්තේ “චරක ක්ලබ්” යන්නයි. එහෙත් එහි කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු හට සාමාජිකත්වය හිමි වුයේ නොවීම විශේෂයක්.යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව යම් උනන්දුවක් දැක්වූ පසුව අපේ වෙද පුස්කොළ පොත් එකතුවක් අයිතිව සිටි වෛද්‍ය කේසි වුඩ් මෙම සංගමයේ සාමාජිකයෙකු ව සිටි අතර එම පුස්කොළ පොත් 119ක් කැනඩාවේ මැක්ගිල් සරසවියේ විලියම් ඔස්ලර් පුස්තකාලයේ තැන්පත්ව තිබේ. ඔවුන්ගේ අභිමතාර්ථය වුයේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතිහාසය සම්බන්ධ කරුණු හැදෑරීමයි. එහෙත් අපි තවමත් ආයුර්වේදය තුළ “චරක සංහිතාව” ග්‍රන්ථයක් කියවන්නෙමු. උපුටා දක්වන්නෙමු. එහෙත් “චරක” විද්වත් සංසදයක් ලෙස නොකියවන්නෙමු. ආයුර්වේදයේ ඓතිහාසික සුසමාදර්ශය සංකල්පීය රාමුවෙන් ඉවත් කොට කෞතුකාගාරයේ තබා ඇත්තෙමු. මේ අපේ පිට පිටවා ගත් සඳුන් හර ලිහා බැලීමට කාලයයි.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

Tuesday, February 3, 2015

ගඟෙන් දිය බී මුහුදට ආවඩන කරිජ්ජ පුරසාරම හෙවත් ආයුර්වේදයේ ඉන්දියානු යටත්විජිතවාදය


මාතෘකාව දුටු විගස ඔබට එහි කිසියම් සැඟවුණු අරුතක් පෙනෙන බව දනිමි. එනිසා පළමුවෙන් මාතෘකාව ලිහා ගැනීම වැදගත් ය. “ගගෙන් දිය බී මුහුදට ආවඩන” උපමාව යොදන්නේ යම් තැනකින් යම් ප්‍රතිලාභයක් ලබන අයෙකු තමන් හට එම ප්‍රතිලාභය ලබා දුන් මුල් අමතක කොට වෙනත් තැනකට එම ගෞරවය හෝ අයිතිය ලබාදීම පිළිබඳවයි. එම උපමාවේ අරුත වෙනත් මානයකින් විමසා බැලීම සඳහා තවත් උපමාවක සහාය ලදිමි. “පියා ගේ ළිඳ යැයි කරදිය බීම” යනු ගතානුගතික අදහස් හා පිළිගැනීම් වැරදි බව දැන දැන දැනි දැනී එය පිළිනොගෙන හෙළිනොකර දිගින් දිගටම එහිම රැඳී සිටීමයි. මේ උපමාව බිහි වන්නේ මා දන්නා පරිදි සංස්කෘත ශ්ලෝකයක අදහස ලෙසය. “කරිජ්ජ පුරසාරම” යනුවෙන් මා අදහස් කළේ තමන් එකී ගතානුගතික අදහස් වැරදි බව පිළිනොගන්නවා පමණක් එහි අගය අන් අයට ඒත්තු ගැන්වීමට හා එහි උතුම්බව වර්ණනා කිරීමට උත්සුක වීමයි. කරිජ්ජ බීමට අපහසු බවත් ඉන් පිපාසය නොනිවෙනවා පමණක් නොව වැඩිවෙන බවත් දැන දැන එයම අත්දකිමින් එය අන් අයගෙන් සඟවා පියාගෙන් උරුම වූ ළිඳ නිසාම  එහි ගුණ වැනීම කරිජ්ජ පුරසාරමයි.  මුහුදේ ඇත්තේද කරිජ්ජයි. එයද බීමට සුදුසු නොවේ. එහෙත් ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නේ ද මෙකී කරිජ්ජ පුරසාරම නිසාය.

මේ කරිජ්ජ පුරසාරම ආයුර්වේදයට සම්බන්ධ වන්නේ කෙසේදැයි බලමු. අද මේ අපි සියලු දෙනා අතැඟිලි බැඳ වන්දනා කරන ආයුර්වේදය ඉන්දියානු යටත්විජිතවාදයේ දායාදයක් බව මා පිළිගන්නා සාක්ෂ්‍ය-පාදක කල්පිතයයි. පසුගිය ලිපියේ මෙසේ සඳහන් කළෙමි. “බ්‍රිතාන්‍ය කිරීටය යටතේ නිදහස් අරගලයට පුරෝගාමිත්වය දුන් නියමුවෝ දේශීය වෛද්‍ය ක්‍රමයේ නෛතික අයිතීන් සම්බන්ධයෙන් ද සිය න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් දුන්හ. එහෙත් අපිට ලැබුණේ ඉන්දියානු ආකෘතියේ ආයුර්වේද සම්ප්‍රදාය මත පදනම් වූ සුසමාදර්ශයකි.” මේ ප්‍රකාශය බොහෝ දෙනා පිළිනොගන්නා නමුත් එය යළි යළිත් අවධාරණය කරන්නේ ඒ සඳහා ඓතිහාසික මෙන්ම සමාජ විද්‍යාත්මක  සාක්ෂි අතැතිවය. අපි “අපේ ආයුර්වේදය” හෙවත් “ආයුර්වේදයේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය” ලෙස සලකා ගෙන හිස් මුදුනින් පිළිගත් ශාස්ත්‍රීය උරුමය සත්‍ය වශයෙන්ම අපේ අනන්‍යතාව නියෝජනය කරන්නේද? අපි ඒ සඳහා අවස්ථාව ලබා දි තිබේද? අපි එහි සැබෑ මුල් සොයා ගොස් තිබේද? ඒ පිළිබඳව ප්‍රමාණවත් සංවාදයක් කර තිබේද? අපි මේ ගැන විවෘතව සාකච්ඡා කිරීමට සුදානම්ද? කොටින්ම කිව හොත් අපි අද අපිට හඳුන්වා දුන් ඉන්දියානු ආයුර්වේදය හැර අන් දේශීය දැනුම් පද්ධතියක උරුමය ගැන හැඟීමක් තිබේද?

සම්ප්‍රදායික ආයුර්වේද ක්ෂේත්‍රයේ වෘත්තීය අනන්‍යතා තුනක් මට පෙනේ. ආයතනික අධ්‍යාපනයක් නොලද පාරම්පරික ගුරු කුල අධ්‍යාපනය තුළ ශික්ෂණය ලද දේශීය වෛද්‍යවරු එහි පළමු කොටසයි. දෙවැන්න ආයතනික අධ්‍යාපනය ඔස්සේ පොදු අභිඥාන පත්‍රයක් සඳහා නිශ්චිත විෂය නිර්දේශයක් තුළ යම් කාල සීමාවක නියමිත පාඨමාලාවක් හදාරා ඇති වෛද්‍යවරුන් වේ. තුන්වැනි කොටසට අයත් වන්නේ පිළිගත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නිර්ණායක මත උපාධි ලත් වෛද්‍යවරුන් ය. මෙම කොටස් තුන කාලය සමඟ ගලපන විට එකිනෙක අනුපිළිවෙළට තබා අනුක්‍රමයෙන් පරිණාමය වූ බව නිගමනය කළ හැකිය. එහෙත් ඇත්තටම පිළිගැනීමට සිදු වන්නේ දෙවන කොටසින් තුන් වැනි කොටස පරිණාමය වූ බවයි. බොහෝ දෙනා අමතක කරන සත්‍යය නම් පළමු කොටසේ පුර්වජයින් දෙවන කොටස බිහි කිරීමේ ලා ඉතා දැඩි කැපකිරීමක් සිදු කළ බවය. එහි අනෙක් අරුත් වන්නේ පළමු කොටස නොමැති ව තුන්වන කොටස බිහි නොවන බවය. එහෙත් දැන් පළමු කොටස ක්‍රමයෙන් අභාවයට යන හෝ විකරණයට බඳුන් වෙමින් පවත්නා කොටසක් බවට පත්ව තිබේ. එසේ නැතහොත් පළමු කොටස දෙවන කොටසේ හෝ තෙවන කොටසේ ආධිපත්‍යය පිළිගත් ඔවුන්ගේ අනුකම්පාව ලබන පිරිසක් බවට පත්ව තිබේ. මෙය සමහරුන්ට නම් විනෝදයකි. මම අද කතා කරන්නේ ආයුර්වේදයේ එම කරිජ්ජ පුරසාරම ගැනය.

අපි වසර ගණනාවක් ගත කළේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේය. එහි ජාතික වැඩසටහන හැදින්වුයේ  වුයේ හෙළ වෙද පුනරුද නමිනි. අපේ විශ්වවිද්‍යාල ආයතන වල දේශීය චිකිත්සා දෙපාර්තමේන්තු තිබේ. ඒත් කුමක්ද මේ කියන දේශීය වෛද්‍ය ක්‍රමය?. ආයුර්වේද පනතේ 81 වැනි වගන්තිය යටතේ ආයුර්වේද යන්නට දේශීය චිකිත්සා ක්‍රම ඇතුළත් කර තිබේ. එහි අදහස නම් දේශීය වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේ උපාංගයක් හෝ එහි ඇතුළත් කොටසක් බවයි. මෙය නෛතික වශයෙන් දේශීය වෛද්‍ය ක්‍රමය අවතැන් කළ ප්‍රධානතම අවස්ථාවයි. ආයුර්වේදය තුළ ඉන්දියානු යටත් විජිතවාදය නෛතිකව ස්ථාපනය කරන්නේ 1961 අංක 31 දරණ ආයුර්වේද පනත තුලින්ය. ප්‍රධාන විශ්වවිද්‍යාල ආයතන දෙකෙහිම පුරෝගාමී ආයතන ආරම්භ කරනුයේ ඉන්දියානු ක්‍රමයේ ශ්‍රී ලාංකේය දේශීය මාදිලිය ලෙසයි. එය සමාන වන්නේ සියම් දේශයෙන් රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ගෙනවිත් පිරිහී තිබු බුදු සසුන නගා සිටුවීමේ වැඩපිළිවෙලටය. එවිට විසිවන සියවසේ මුල් දශකය තුළදීම ඉන්දියානු යටත් විජිතවාදය ශාස්ත්‍රීය සම්ප්‍රදාය තුළ මැනවින් ස්ථාපිත කරනු ලැබීය. එහෙත් ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය මෙකී සුසමාදර්ශයෙන් පිටස්තර සම්ප්‍රදායක් හඳුන්වා දීමට යම් ප්‍රයත්නයක් දැරූ බව පෙනේ. එහි ඉරණම කෙබඳු වීදැයි විමසීම ඉතා හොඳ සමාජවිද්‍යාත්මක අධ්‍යයනයකි. (මේ කරුණ පසුව වෙනම සාකච්ඡා කරමි.)

දේශීය වෛද්‍ය ආඥා පනත වෙනුවට හඳුන්වා දුන් ආයුර්වේද පනත තුළ පිහිටවනු ලබන සියලු ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ල ආයුර්වේද නාමය යටතේ හඳුන්වනු ලැබිය. ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවට ආයුර්වේද දෙපාර්තමේන්තුව පිහිටුවා ආයතනික අනන්‍යතාව ද පෙරකී යටත් විජිතවාදී බලපෑමට නතු කරන ලදී. ස්වදේශීය වෛද්‍ය විද්‍යාලයෙන් පිරිනැමුණු DIMS යන්න DAMS බවට පත්විය. වෙනස වුයේ Indigenous යන්න වෙනුවට Ayurveda යන්න ආදේශ කිරීමයි. අද වන විට දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ “දේශීය” කොටස හුදු සැරසිල්ලක් පමණක් බවට පත්ව තිබේ. එහි කෞතුක වටිනාකමක් විනා  කිසිදු අනන්‍ය ශාස්ත්‍රීය අගයක් නොමැත. එය බොරැල්ල - ගම්පහ - නාවින්න ඇතුළු ආයුර්වේද ත්‍රිකෝණයම එකසේ අත්විඳින ඉරණමකි. දේශීය හෝ පාරම්පාරික යන යෙදුම බොහෝ සෙයින් (අඩු වැඩි වශයෙන් සැම විටෙකම පාහේ) යෙදුණේ ආයුර්වේදයේ චිර පැවැත්ම තව දුරටත් සුවසේ ඉදිරියට ගෙන යාමට හෝ එහි අගය වැඩි කරන රසකාරකයක් (රම්පෙ, කරපිංචා) හෝ එහි ජාත්‍යන්තර පිළිගැනීම වැඩි දියුණු කරන හෙවත් ප්‍රසන්න පෙනුමක් දෙන සැරසිල්ලක් ලෙස බව නොබියවම කිව හැකිය.

පාරම්පාරික වෙදුන් හුදු රෙද්ද බැනියම ඇඳි බුලත් සපන කොණ්ඩය බැඳී ගැමි පෙනුමක් ඇති බයාදු රුපකායකින් හෙබි පිටිසර බස් වහරන අය ලෙස ගත හොත් බී.ඒ.එම්.එස්. වෛද්‍යවරුන් කලිසම් කෝට් ඇඳ ටයි පටි  පැළඳ ඉංග්‍රීසියෙන් කතා කරන වෘත්තිකයින් පිරිසක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් එය එසේම නොවේ. මෙය ඉතා ගැඹුරට විහිද යන සංවේදී  සමාජ ගැටලුවකි. පාරම්පාරික වෙදුන් යනු උපාධිධාරී වෛද්‍යවරුන් හට ජීවිකාව සලසා දීම සඳහා සිය දිව පෙවෙත කැප කළ පිරිසකි. ඔවුන් රාජ්‍ය අනුග්‍රහය ලත් (එහෙත් අසංවිධිත හා අවුල්සහගත ) දීප ව්‍යාප්ත ආයුර්වේද ප්‍රතිකාර සේවාව නිසා ආර්ථික වශයෙන් අවතැන් වූ වෘත්තීය අනාථයින් පිරිසකි. (බොහෝ පාරම්පරික වෙදුන් සමෘද්ධි සහනාධාර ලාභීන් වේ. වරෙක ඔවුන් හට දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් දිළිඳු සහනාධාර දුන් බවද මතකය.) ඔවුන් නිතර දේශපාලනික අවභාවිතාවට ගොදුරු වන සමාජ සංස්ථාවකි. විටෙක බුද්ධිමය සුරා කෑමට බඳුන් වන එහෙත් ඇගයීමට ලක් නොවන ශාස්ත්‍රධරයින් පිරිසකි. ඔවුන්ගේම නම විකුණන ඔවුන් වෙනුවෙන් පෙනීසිටින ඔවුන්ගේම කපටි ආරක්ෂකයින් හට වරින් වර රැවටෙන පිරිසකි. කොටින්ම ආයුර්වේද ක්ෂේත්‍රය අද පවතින තත්වයට බොහෝ සෙයින් දායක වී එහෙත් අමතක කළ පිරිසකි. එහෙත් පුදුමය නම් ආයුර්වේදයේ ධූරාවලිය තුළ ඔවුන් සිටිනුයේ පහළම ස්ථරයේ වීමයි.

බොහෝ මධ්‍යම බෙහෙත් ශාලා මගින් අත්පත් කර ගෙන් ඇත්තේ ගම් නියම් ගම් වල පාරම්පරික වෙදුන් වටා ගොනුව තිබු රෝගීන් සංචිතය බව සංඛ්‍යාත්මකව ඔප්පු කළ හැකිය. එනිසා රාජ්‍ය සේවයේ වැටුප් ලබන ආයුර්වේදඥයින් පාරම්පරික වෙදුන් රජයට සිය ගොදුරු බිම් පවරා දීම ගැන ඉතා කෘතඥ විය යුතුය. මා මේ කියන “නියම පාරම්පරික වෙදුන්” අද ඉතිරිව ඇත්තේ අතලොස්සකි. ඔවුන්ගේ දැනුම සහ උරුමය සංරක්ෂණය කරන්නට මෑත කාලයේ ගත් සෑම උත්සාහයක් ම රජයේ අදුරදර්ශී බව හෝ ඔවුන්ගේ කපටි ආරක්ෂකයින් ගේ මුග්ධ බව නිසා අඩාල වූ බව මම දනිමි. ඒ සඳහා වෙන් වූ මුදල් කිසි විටෙකත් සැලසුම් සහගත ලෙස භාවිත නොකළ බව සහතිකය. මේ සියල්ලට හේතුව ඉන්දියානු ආයුර්වේද සම්ප්‍රදාය ක්ෂේත්‍රයේ සියලු දේශීය අනන්‍යතා යටපත් කොට සිය ආධිපත්‍යය පතුරුවා තිබීමයි. සියලු තැන්හි එයම ඉස්මතු වීමයි. එනිසාම අපේ දේශීය පාරම්පරික සම්ප්‍රදායේ උරුමයන් සහ අනන්‍යතා ගවේෂණය නොකරීම සහ ප්‍රයෝජනයට නොගැනීම නිසා අපතේ යන බව පෙනේ. මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක් අපට අහිමි වී ගොස්ය. දේශපාලනඥයින් අපේ දේශීය වෙදකම යැයි මොර දුන්නාට එහි අරුත සහ අගය නොදැන හුදු රැල්ලට කරන ඝෝෂාවක් වේදිකාවට ගෙන එයි. ඇමතිවරුන් පත් වූ විට ඔවුන් වට කර ගන්නා ඇඟිලි වලින් හිට ගෙන මුහුණ දික්කරන දැනුමැත්තන් ගේ උපදෙස් වල ද මේ කතාව නොකියැවේ.

මේ කතාවම තවත් විදියකින් කිව හොත් දේශීය වෛද්‍යවරුන් (පාරම්පරික වෙදුන්) පහසුවෙන් ඇන්දිය හැකි ලෙහෙසියෙන් කඩේ යැවිය හැකි පිරිසක් ලෙස ජනප්‍රිය දේශපාලනය තුළ පවතින මතය ඉතා අශික්ෂිතය. සැම මැතිවරණයකදීම වෙද මහත්වරුන් හට ලබා දුන් පොරොන්දු පත්‍රය අද වන තෙක්ම සංශෝධනය කර නොමැති යල් පිනු ලැයිස්තුවක් බව පෙනේ. ඒ තුළ ඇත්තේ සාමවිනිසුරු පදවි වැනි ඉතා අවර ගණයේ පොරොන්දුය. ඉතා අහිංසක ගම්බද වෙද මහතුන් පසුගිය ජනපතිවරණයේ දි අරලියගහ මන්දිරයේ ප්‍රචාරක රැස්වීමට දිවයිනේ සතර දිගින් ගෙනවිත් ගාල් කොට අවසානයේ සමහර වෙද මහතුන් කොළඹ නගරයේ පාර සොයා ගත නොහැකිව ගම්බිම් කරා ගියේ දින කිහිපයකට පසුවය. (අතුරු කතාව: රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් අලුත් ඇඳුම් ඇඳ ජේත්තුවට රජ දැක්මට පේ වී සිටියේ රැකියාව ලබා දුන් පාලකයාට කළ ගුණ සලකන්නටය. සරසවියෙන් ලබා දුන් උපාධිය කොතරම් නොවටිනා දෙයක් දැයි මට සිතුණේ වාසි පිලට පනින වෘත්තීය සමිති නායකයින් ගේ දේශපාලන කතාවලට හුරේ දමන විටය. දැන් ඒ අය මෛත්‍රී පිළේය. යහපාලනයේ කොටස්කරුවන්ය.) කෙසේ වෙතත් සමස්තයක් ලෙස පොදුවේ වෙද මහතුන් ගැන දේශපාලකයින් සිතන්නේ ගෝනි නැතිවම කරේ යන්නට හැකි පිරිසක් ලෙසය.

මා දේශීය චිකිත්සාව හදාරන කාලයේ දැඩි ආයුර්වේදවාදියෙක් වුවා මෙන්ම අනන්‍ය දේශීය චිකිත්සාවක් පිළිබඳ මා තුළ සිදු විශ්වාසයක් නොවිය. ඊට හේතුව අපට දේශීය චිකිත්සාව ඉගැන්වූ ගුරුවරුන් ගේ අඩුපාඩුවක් බව මට අද සක් සුදක් සේ පැහැදිලිය. ඔවුන් දේශීය චිකිත්සාව ලෙස අපට කියාදුන් වට්ටෝරු කිහිපය හැරුණු විට එහි න්‍යායාත්මක හෝ සෛද්ධාන්තික පසුබිමක් ගැන අබ මල් රේණුවක අවබොධයක් නොදුන් බව යි සැබෑව. සමහර විටෙක ඔවුන්ද එය නොදැන සිටියා විය හැකිය. එසේ නම් අපේ ශාස්ත්‍රඥයින් හා පර්යේෂකයින් දේශීය චිකිත්සාවේ සංකල්පීය පදනම හා උරුමයේ මුල් සොයා නොහියේ ඇයි? ඒ සඳහා යම් ශාස්ත්‍රීය පෙළඹවීමක් සිදු නොවුයේ ඇයි? ඊට හේතුව ඉන්දියානු ආයුර්වේදයේ අධිකාරිත්වය සහ එහි අනන්‍යතාවෙන් පරිබාහිර දැනුම් පද්ධතියක් විශ්වාස නොකිරීමට බල කෙරෙන සංස්කෘතිකමය අධිපතිවාදයක් ආයුර්වේද ක්ෂේත්‍රය තුළ පැවතීමයි.  පුරාවිද්‍යාව රාවණා යුගය ගැන නොසොයන්නේත් මහාවංශය හැරුණු කොට වෙනත් ඉතිහාස සම්ප්‍රදායක් මත පදනම් නොවන්නේත් මේ හේතුව නිසාමය. එය බටහිර උගතුන් විසින් අප ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදාය බලෙන් පැටවූ විකල්ප යටත් විජිතවාදය හා සමානය.

කලාපීය බලවතුන් ඇති කිරීම සහ ඒ හරහා කුඩා රටවල් පාලනය කිරීම භූදේශපාලනය තුළ ඉතා ප්‍රබල මෙවලමකි. ඒ මගින් ගෝලීයකරණයේ බලපෑමට කුඩා සංස්කෘතීන් නතු කර ගැනීම හෝ ඒවා කලාපීය සංස්කෘතීන් තුළට අවශෝෂණය කරවීම කාලයක සිට සිදුවන ක්‍රියාදාමයකි. දේශීය දැනුම් පද්ධතීන් ගෝලීය දැනුම් පද්ධතිය තුළ දිය කර හැරීම ද ඊට අයත්ය. ඉන්දියානු ආයුර්වේදය තුළ දේශීය වෛද්‍ය ක්‍රම අත්විදින්නේ ද මෙකී ඉරණමයි. ඉදින් අප සියලු දෙනා මේ ආවඩන්නේ ඉන්දියානු ආයුර්වේදයේ ව්‍යාප්තවාදයට නොවේදැයි කෙසේ කියමුද? මේ තත්වය කෙතරම් දරුණු දැයි කිවහොත් අපේ සමහර පාරම්පරික වෛද්‍යවරුන් ද විශ්වවිද්‍යාල ආයතන වල ඉගැන්වීම කරන විට ඔවුන්ගේ ආයුර්වේද දැනුම පෙන්වීමේ ලා බලවත් උත්සාහයක් ගන්නා අවස්ථාවන් දක්නට ලැබේ. එයින් සිදුවන්නේ තමන් පරම්පරාවෙන් උරුමකර ගත් දැනුමට වඩා ආයුර්වේදීය දැනුම උසස් යැයි පිළිගැනීමයි. ඔවුන් ඒ තත්වයට පත් කර ඇත්තේ ද ක්ෂේත්‍රය තුළ පවත්නා ඉන්දියානු අධිපතිවාදයේ බලපෑමයි. ඔවුන් සිය ජීවිකාව වෙනුවෙන් ආයුර්වේදඥයින් ගේ පසුපස යමින් හෑල්ලු වන අයුරු දකින විට සිහි වන්නේ ආයුර්වේදඥයින් ඉදිරියේ නොනැමුණු පෞරුෂයක් ඇතිව හෙළ වෙදකමේ අභිමානය ලොවට පෙන්වූ “කොණ්ඩ වෙදමහතා” වැනි උත්තුංග චරිතයන් ය.

මේ තත්වය ඉතා හොඳින් මා අත්දකින්නේ සීමාවාසික පුහුණු කාලය තුළ අපේ උපාධිධාරී වෛද්‍යවරුන් පාරම්පරික වෛද්‍යවරයෙකු යටතේ ගත කරන කාර්තුවේ දී සිදුවන අධ්‍යයනය තුළ යි. බොහෝ විට නිසි පුහුණුවක් ලබා ගත හැකි පාරම්පරික වෛද්‍යවරයෙකු සොයා ගැනීමේ ගැටලුවේ සිට අවසානයේ අධ්‍යයන වාර්තාව ඉදිරපත් කරන අවස්ථාව දක්වා මෙකී බලපෑම වරින් වර මතුවේ. අවසානයේ දී බොහෝ සිමාවාසිකයන් සිය වාර්තාව තුළ ඉදිරිපත් කරන්නේ ඉතා පහසුවෙන් කළ හැකි ආයුර්වේද විවරණයක් මිස පාරම්පරික දැනුමේ සංකල්පීය අනන්‍යතා හෝ ශාස්ත්‍රීය අගයන් මත පදනම වූ අධ්‍යනයක් නොවේ. එය ඔවුන්ගේ වරදක් නොව ඔවුන් සරසවිය තුළ ලබන ශික්ෂණය මගින් හුරු කළ යටත් විජිත චින්තනයේ ප්‍රතිඵලයකි. දේශීය චිකිත්සාව යනුවෙන් උගන්වන්නේ ආයුර්වේද මුලධර්ම අනුව රෝග නිර්ණය කොට දේශීය වට්ටෝරු නියම කිරීමයි. ඒ සඳහා වටිකා ප්‍රකරණයෙන් තොරව වූ ගුලියක් කල්කයක් සොයා ගත නොහැකිය. බුද්ධරාජ කල්කය, චන්ද්‍ර කල්කය, නවරත්න කල්කය, යසෝධරා කල්කය, යෂ්ටි කල්කය, ශර්කරාදී කල්කය, රත කල්කය, සුරන්විදුර ගුලිය, වාර්තිකාව ගුලිය, සීතරාම ගුලිය, මාත්තුපහ ගුලිය, ජීවානන්ද ගුලිය, සීතෝදක තෛලය, සර්වවිෂාදි තෛලය, සත්තවාදී තෛලය, සිද්ධාර්ථ තෛලය, ආදී සීමිත බේත් සංඛ්‍යාවක් මත පදනම් වූ දැනුමක් සහිතව දේශීය චිකිත්සාව නිමා වේ.  

ආයුර්වේද ඉතිහාසය තුළ ද දේශීය වෛද්‍ය ක්‍රම වල ශාස්ත්‍රීය සම්ප්‍රදායේ විකාශය කෙරෙහි දක්වන අවධානය ඉතා අඩුය. ඒ අනුව සිසුන් විෂය නිර්දේශය තුළ ඉගෙන ගන්නේ ආයුර්වේදයේ ඉන්දියානු සම්ප්‍රදාය මිස ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත ආයුර්වේදයක් නොවේ. එය පසුගිය කාලය තුළ වඩාත් ඉන්දියානු ආධිපත්‍යයට නතු වන්නේ ඉන්දියානු විශ්ව විද්‍යාල වලින් පශ්චාත් උපාධි ලබන විද්වතුන් දැන හෝ නොදැන ඉන්දියානු ශාස්ත්‍රීය සම්ප්‍රදාය වඩා උත්කර්ෂයට නැංවීමේ හේතුවෙනි. මා සිතන ආකාරයට මෙම විද්වතුන් කළ යුත්තේ සිය බුද්ධි මහිමය යොදවා දේශීය දැනුමේ අනන්‍යතා ඇගයීමට ලක් කිරීමයි. එබඳු විද්වතුන් කිහිප දෙනෙකු සිටින බව ද කිව යුතුය. වරෙක රත කල්කය ගැන කරන ලද පර්යේෂණය එබඳු ආකල්පයක යහපත් ප්‍රතිඵලයකි. එනිසා දේශීය චිකිත්සා විෂය ඇසුරෙන් පශ්චාත් උපාධි හදාරන විද්‍යාර්ථින් සහ පර්යේෂණ වල නියැලෙන ශාස්ත්‍රඥයින් දිරිමත් කළ යුතුය. මා දන්නා බොහෝ වියතුන් දේශීය වෛද්‍ය ක්‍රම ගැන උනන්දුවෙන් කතා කරන අතර ඔවුන් හට සිය මතය නිදහස් ව පළ කිරීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ආයුර්වේදීය ව්‍යාප්තිවාදයෙන් ඉඩ නොලැබේ. ගම්පහ ආයතනයේ දේශීය චිකිත්සා පශ්චාත් උපාධි පාඨමාලාවක් ඇරඹීමට ඉතා දරුණු සටනක් එකල කළමනාකරණ මණ්ඩලය තුළ කරන්නට සිදු වුයේ එනිසාය.

ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කරන විට එහි පුරෝගාමීන් “සිද්ධායුර්වේද” යන නාමය යෙදුවේ ඉතා වැදගත් අරුතක් ඇතිවය. සිද්ධ යන්නෙන් කිසි විටෙකත් දකුණු ඉන්දියානු වෛද්‍ය ක්‍රමය අදහස් නොවිය. එහි නියම අරුත වුයේ “දේශය තුළ නිපන් හෙවත් දේශජ” යන්නයි. එය වඩාත් ගැලපෙනුයේ indigenous යන්නටයි. ස්වදේශීය (native) යන්න ද ඒ සඳහා යෙදිය හැකි නමුත් දේශජ යන්න එහි නියම අරුතයි. එවිට “සිද්ධායුර්වේද” යනු දේශජ වෛද්‍ය දැනුම් පද්ධතිය සහ ඉන්දියානු ආයුර්වේදීය සම්ප්‍රදාය සංකලනය වූ යන්නයි. මුල් කාලයේ දි එහි විෂය නිර්දේශය සකස් වුයේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඊට සරිලන පරිදිය. එහෙත් පසු කාලෙය්දී එහි ප්‍රවේණි අගයන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ආයුර්වේදකරණයට බඳුන් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සම්ප්‍රදාය බිඳගත් අනන්‍යතාව සිඳගත් ආයුර්වේද අධ්‍යාපන ආයතනයක් ලෙස සරසවි පද්ධතියට ඇතුළත් විය. සම්ප්‍රදාය බිඳගත්තේ අනන්‍යතාව සිඳගත්තේ කෙසේ දැයි ඇසුවහොත් ඊට ඉතා සරල පිළිතුරක් ඇත. පොදු ආයතනයක් ලෙස බිහි වු මෙම ආයතනය වික්‍රමාරච්චි පරපුරට අයත් දේපලක් ලෙස නම් කිරීමෙන් ලාබදායි පෞද්ගලික කීර්තිය පිළිකුල් කළ එහි පුරෝගාමියෙකු වූ පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි විශාරදයන් හට මෙන්ම ආදීකර්තෘවරුන් හට ඉතා ප්‍රබල නිග්‍රහයක් සිදු කර තිබේ.  (මේ ගැන වෙනම සංවාදයක් අවශ්‍ය නම් ඊට බොහෝ තොරතුරු මා සතුව තිබේ.)

දැන් මා මේ කරිජ්ජ පුරසාරම පිළිබඳ සංවාදයේ අවසන් කොටසට පැමිණ සිටිමි. දේශීය වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින සියලුම දෙනා අව්‍යාජ පාරම්පරික උරුමයක් සහිත වෛද්‍යවරුන් නොවන බව ඉතා සහතික වශයෙන් කිව හැකිය. ඔවුන් අතුරින් බොහෝ දෙනා අඩු වැඩි වශයෙන් ආයුර්වේදීය සම්ප්‍රදායේ සිරකරුවන් වෙති. වැඩි වශයෙන් ආයුර්වේදයේ ශාස්ත්‍රීය වහලුන් වන්නේ නිසි පාරම්පරික උරුමයක් නොමැති හුදු ඡද්මචරයින් බව කිව යුතුය. මොවුන් පාරම්පරික වෛද්‍ය දැනුම ලෙස ඉදිරිපත් කරන්නේ බාගෙට උගත් වැරදියට උච්චාරණය කරන ආයුර්වේදයම බව මා පුද්ගලිකවම අත්දැක ඇත්තෙමි. කොටින්ම කිව හොත් ඔවුන් හොර වෙදුන්ය. ඔවුන් වෙදකම් කරන්නේ කොම්පැණි වලින් මිලදී ගන්නා ඔසු වලිනි. අනෙක් කොටස දේශීය වෛද්‍යක්‍රම පිලිබඳ ජාතික ආයතනයේ ආයුර්වේදීය පුහුණු වැඩ සටහන් වල ගොදුරු බවට පත් වී පරපුරෙන් උරුම වූ දේශීය දැනුම කුරුවල් කර ගත් “නියම පාරම්පරික වෛද්‍යවරුන්” ය. (දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ ඉංග්‍රීසි නම National Institute of Traditional Medicine වුවද එය “දේශීය” කොටස සමඟ සිංහලට පෙරළන්නේ මා මුලින් කී සැරසිල්ල සඳහාය.) මෙහි කාලයක් දිගින් දිගටම පුහුණු වැඩ සටහන් වලට සහභාගී වුයේ තෝරාගත් පාරම්පාරික යැයි පෙනී සිටි "සිද්ධසාධිතයින්”ය.  (මෙහි ම විසින් යෙදු ඡද්මචර සහ සිද්ධසාධිත යන වදන් වල අරුත චරක සංහිතා සූත්‍රස්ථානය බලා දැන ගන්නේ නම් මැනවි)

ආයුර්වේදයේ ඉන්දියානු ව්‍යාප්තිවාදය අප රට තුළ වඩාත් ප්‍රබලව ක්‍රියාත්මක වන්නේ එක් පසෙකින් ආයුර්වේදයේ නෛතික, ශාස්ත්‍රීය සහ ආයතනික බලය එමගින් අත්පත් කර ගෙන ඇති නිසාය. ඊට අමතරව එයට තව දුරටත් සහයවන්නේ පාරම්පරික වෙදුන් ලෙස පෙනී සිටින හොර වෙදුන්ගේ ක්‍රියා කලාපයයි. එයින් ගම්‍ය වන්නේ දේශීය දැනුම් පද්ධතිය වඩාත් ශක්තිමත් ලෙස විශ්වවිද්‍යාල තුළ නියෝජනය විය යුතු බවය. විශේෂයෙන්ම දේශීය දැනුම් පද්ධතීන් පිළිබඳව ආයුර්වේද නොවන අනෙකුත් ආයතන මගින් දක්වන උනන්දුව කෙරෙහි සතුරු ආකල්පයකින් කටයුතු කරන අවස්ථා කිහිපයක් මම අත් දුටුවෙමි.  (මේ ගැනත් කතා කරන්නට කරුණු බොහෝය.) කෙසේ වෙතත් ආයුර්වේදය ඉදිරියට ගෙන යන්නට වෙර දරන ඉන්දියානු ප්‍රයත්නය අපේ ඇත්තන් වැරදියට වටහා ගෙන ඇති බව පෙනේ. අපි දැන හෝ නොදැන උර දි සිටින්නේ නව දිල්ලි AYUSH දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සාර්ථක කර ගැනීමටය. ඔවුන් දෙන දේ ලබා ගත්තාට කම් නැත. ඒ නිසාම ඔවුන් වෙනුවෙන් කතා කරන්නට අවශ්‍ය නැත. අවශ්‍ය විටෙක අපි එකට කතා කළ යුතු ජාත්‍යන්තර කතිකාවන් වලදී එකට ඉඳ ගැනීම ගැන ගැටලුවක් නැත. මේ සියල්ල සැලකිල්ලට ගෙන ආයුර්වේද ක්ෂේත්‍රයේ නීතිමය රාමුව තුළින් දේශීය වෛද්‍ය ක්‍රම සවිමත් කරන්නට දැන් කාලය එළඹ තිබේ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා