Friday, July 1, 2016

මරහ ලෙඩාට මේකප් දැමීම හෙවත් තනි කකුලෙන් රේස් දුවන ආයුර්වේදය


මේ ලිපියේ මාතෘකාවේ කොටස් දෙක නොගැලපෙනව වගේ පෙනුනට කියෙව්වට පස්සේ තේරෙයි ඒ දෙක අපූරු සංයෝගයක් කියල. මරහ ලෙඩා කියන්නේ අද හෙට මියැදෙන පණ අදිමින් ඉන්න ලෙඩා. ඉතින් ඒ ලෙඩා බලන්න කට්ටිය එනකොට ලෙඩා ගේ අයිතිකාරයෝ කරන්නේ ලෙඩාට හොඳට මේකප් දාල සරසල අන්දලා තියනව. ලෙඩා දන්නෙත් නැහැ බලන්න එන අය දන්නෙත් නැහැ ලෙඩා අද හෙට මැරෙනවා කියල. ඒත් ලෙඩාගේ අයිතිකාරයෝ දන්නවා ලෙඩා වැඩි කල් ඉන්නේ නැහැ කියලා. ඒ මදිවට ලෙඩා බලන්න එන අය ලෙඩාට ගේන හොඳ ගුණවත් කෑම බිම ටික ලෙඩාට කන්න හොඳ නැහැ කියල අයිතිකාරයෝ බෙදා ගන්නවා. අන්තිමට ලෙඩා කලින් මැරෙන්නෙ ලෙඩෙන් නෙවෙයි කන්න බොන්න නැතිව. මම දකින්නේ අද මේ රටේ ආයුර්වේද ක්ෂේත්‍රයත් ඒ කියපු මේකප් දාපු මරහ ලෙඩා වගේ. මේක බාරගන්න ඔක්කොම මේකප් දාල ලෝකෙට පෙන්නනවා විතරයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වේ ඒ වගේ කතාවක්.

එතකොට මොකක්ද මේ තනි කකුලෙන් රේස් දුවන කතාව? ඒක බොහොම සරලයි. සුගමයි. ඒත් කටුකයි. අමිහිරියි. ඒ කියන්නේ වෛද්‍යාදී චතුෂ්පාදයෙන් හරියට වැඩ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එක පාදයයි. (එතන පාද කිව්වේ හතරෙන් කොටස කියන එක. ඒත් මගේ වැඩේට මං ඒකෙ සාහිත්‍යමය අර්ථය යොදා ගන්නවා) ඒ කියන්නේ ඉතුරු එක කකුලයි. ඒ නිසා දැන් ආයුර්වේදෙට රේස් එක දුවන්න වෙන්නේ තනි කකුලෙන්. ඒ අන්තිමට ඉතුරු වෙච්ච වෛද්‍ය පාදය විතරයි. මේ විදියට ගියොත් අපි මේ රේස් එකෙන් පරදින්න තියෙන චාන්ස් එක වැඩියි. අපි අමතක කරන්න හොඳ නැහැ මේ රේස් එකේ ප්‍රතිවාදියා කකුල් හතරම හොඳට ශක්තිමත් ඒ මදිවට හොඳ ජොකියෙකුත් එක්ක දුවන්නේ. ඒ රේස් අපි නොන්ඩි පැන පැන යන්නේ. මං මේ ටික කියන කොටම අපේ සමහරු මට පොලු මුගුරු අමෝරයි. ඒත් කරන්න දෙයක් නැහැ මං මේ ටික කිව යුතුමයි. අපි අද මේ දුවන්නේ පරදින රේස් එකේ අන්තිම වට කිහිපය. මේ හෝරාව තීරණාත්මකයි. අපි මේ තත්වය වෙනස් නොකොළොත් අපි පරදිනවා සිකුරුයි. ඒත් මං කියන්නේ නැහැ ලෙහෙසියෙන් පරාජය බාරගන්න කියල. මොකද පිටිය අපේ. නරඹන්නෝ අපේ. ඇයි අපිට බැරි දිනන්න. ඉස්සෙල්ල බලමු මෙහෙම උනේ ඇයි කියල.

අපේ වෙදකමට ඕන කරන මුලිකම සාධකය ඖෂධ. අපේ වෙදකමේ සාර්ථකත්වය රැඳී පවතින්නේ ඖෂධ වල සාඵල්‍යතාව මත බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම නම් අපි අද පාවිච්චි කරන බෙහෙත් ගැන අපිට එහෙම නොසැලෙන විශ්වාසයක් තියෙනවද? ඒවායේ ප්‍රමිතිය, ඒවායේ ගුණාත්මකබව, ඒ වගේම නිසැක ප්‍රතිඵල ගැන අපිට සහතික විය හැකිද? අපි අද ඖෂධ නිපදවන සමාගම් හා ඒ අයගේ සහතිකය මත රැඳී සිටිනවා විනා පොදුවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ගැටලු ගැන හා එය මුහුණ දී ඇති අර්බුදය ගැන දැනුවත් ද? එම අර්බුදය අපේ වෙදකමට බලපාන බව දන්නවාද? එනිසා ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ අර්බුදයෙන් වෙදකමේ අනාගතය වෙන් කරන්නට බැරි බව අපි ඉතා සාවධානව පිළිගත යුතුයි. අපි බටහිර වෛද්‍යවරුන් මෙන් හුදු “බෙහෙත් ලියන්නෝ” (prescribers) පමණක් නොවීය යුත්තේ අපේ සම්ප්‍රදාය තුළ ඖෂධ හා වෛද්‍ය කර්මයේ හරය අතර වන අවියෝජනීය සම්බන්ධතාව තරමක් වෙනස් නිසාය. අපි ලෙඩේ මුල හොයන්නෝ මෙන්ම බෙහෙතේ මුල ද සෙවිය යුත්තෝ වෙමු. 

අපේ ඖෂධ සඳහා අමුද්‍රව්‍ය හිඟයක් ඇති බව කතා කරන්නේ අපි දන්නා අතීතයේ පටන්ය. ඒත් වඳුරන් ගේ ගෙවල් හැදිල්ල මෙන් කවදාවත් නිශ්චිත විසඳුම් දුන්නේ නැත. අමුද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්වයි. අඩු වැඩි වශයෙන් වෙනත් රටවලින් ද ගෙන්වයි. එහෙත් ඒවා මෙරටට ළඟා වන විට ඒවායේ තත්වය සහතික කරන්නට කිසිදු ආයතනයක් නැත. ඒවා ගබඩා කරන තත්ව සහ ගබෝස් ලේන් වෙළඳ පොළ නියාමනය කරන්නට කිසිවෙකුත් නැත. ඉතින් අපි බෙහෙත් වලට දමන අමුද්‍රව්‍ය කෙබඳු ඒවා දැයි නිසැකව දැනගන්නට ක්‍රමයක් නැතිවීමේ අවදානම ගනිමින් සිටිමු. එසේම අපේ දේශීය වනාන්තර වලින් සූරා ගන්නා අමුද්‍රව්‍ය සිඝ්‍රයෙන් හිඟ වෙමින් තිබේ. ඒ මදිවාට සමහර අමුද්‍රව්‍ය වැරදි ලෙස වෙළඳ පොළට එන බවත් සමහර ඒවා නිසැකවම ප්‍රතිනිධි නොව ආදේශක ද්‍රව්‍ය බවත් බොහෝ දෙනා නොදන්නා කරුණකි. එසේම සමහර අමුද්‍රව්‍ය විවිධ රසායනික සංඝටක වලින් දුෂිතය. ඒවා පරික්ෂා කරන්නට කිසිවෙකුත් නැත. එහෙත් අපේ ඇත්තෝ ඒවා සැකයෙන් තොරවම බෙහෙත් වලට දමා ලේබල ගසා වෙළඳ පොළට එවති.  අපිත් ඒවා සැකයෙන් තොරවම රෝගීන් හට ලබා දෙන්නෙමු නැතිනම් නිර්දේශ කරන්නෙමු.

ඊළඟට බලමු උපස්ථායක පාදය. මේක අපි පුළුල් ලෙස ගත්තොත් අද එයින් කියවෙන්නෙ සහායක පරිවාර සේවාවන්. අපේ හෙද සේවය දුවන්නේ බාගෙට පණ ගිහින් ය. අපේ ආයතන වලම පුහුණුව ලත් අය ටික දෙනෙකි. බටහිර රෝහල් වලින් විශ්‍රාම ගිය අය වැඩි දෙනෙකි. සමහරුන්ට පඩි නැගගන්නට වත්  බැරි තරමේ වයසය. දුර්වලය. සම්බාහකයෝ චිකිත්සකයෝ වෙලාය. වාට්ටු වල නැවතී සිටින රෝගින් හට තෙල් සාත්තුව දෙන්නේ පොලිසියෙන් ගහනවා වගේය. ඖෂධ සංයෝජකයින් ලෙස ඉන්නේ සනීපාරක්ෂක කම්කරුවන්ය. බෙහෙත් රෝගීන්ට නිකුත් කරන්නේ බල්ලන්ට ලෙලි පොල් මෙන්ය. ෆාමසියේ භෛෂජ්ජකයින් වෙනුවට වැඩකරන්නේ කම්කරුවන්ය. අනෙක් සේවාවන් ගැන අපේ කිසිදු සැලැස්මක් නැත. එපමණක් නොව අපේ සේවාවන් ඉහළ ගුණාත්මකභාවයෙන් ලබාදෙන්නට මෙකී සහායක සේවා කෙතරම් වැදගත් ද යන්න මේ ක්ෂේත්‍රයේ කිසිදු තක්සේරුවක් නැති බව පෙනේ. වැඩිමනත් අපේ ශික්ෂණ රෝහල් වලද තත්වය කණගාටුදායකය. යක්කල ශික්ෂණ රෝහල බලු වටින්නේ නැත. එය නමට ශික්ෂණ වුණත් වෛද්‍යවරුන් කොමිස් දෙස බලාගෙන ඉස්සරහ සමාගම් වල ඇති බේත් පමණක් ගෝනි ගණන් රෝගීන්ට ලියා දෙති. එබඳු රෝහලකින් අපේ සිසුන් ලබන ශික්ෂණය කුමක්දැයි මට නම් නොවැටහේ.  

ඊළඟට අපි බලමු රෝගී පාදය. සමහර සායන කිහිපයක් හැරුණු විට අපේ රෝහල් වලට බෙහෙත් ගන්නට එන වැඩි පිරිස වයසක උදවිය බව නොරහසකි. එයින් අදහස් වන්නේ ආයුර්වේදය ඔවුන් විෂයෙහි සාර්ථක බවයි. ඊට අනුරූපව වාර්ධක්‍ය වෛද්‍ය (geriatric) සේවා හා ඒ හා බැඳුණු ප්‍රතිකර්ම පුළුල් කිරීමට තරම් ශාස්ත්‍රීය ප්‍රවේශයක් අපේ ආයතන තුළ නොවීම ඉතා කණගාටුදායකය. අපි තෙල් බේත් ගාල අත ගාන එක ටිකක් විධිමත් කරන්න පුනුරුත්ථාපන වෛද්‍ය විද්‍යාව (rehabilitation medicine) විෂය නිර්දේශයට ඇතුල් කරන්න ඒක physical medicine කියන අලුත් නමෙන් යෝජනා කළාම ඇයි mental medicine වැදගත් නැද්ද කියල අහන මැන්ටල් ආචාර්යවරු ඉන්න රටක් මේ. analytical chemistry උගන්වල වෛද්‍යවරු බිහිකරන්න පුළුවන් කියලා හිතන පසුගාමී ආචාර්යවරු ඉන්න රටක් මේ. එසේම අනෙක් ගැටලුව වන්නේ අපි අපේ සේවාවන් විවිධාංගිකරණය කිරීමේ ලා ආයුර්වේද සංකල්ප හා ආයුර්වේදීය අනන්‍යතාව භාවිත නොකිරීමේ අවාසනාවයි. ආයුර්වේද වෛද්‍ය සේවාව වඩාත් රෝගී-කේන්ද්‍රීය සේවාවක් බවට පරිවර්තනය වන්නේ රෝගීන්ගේ අවශ්‍යතා ඉටුවන්නේ නම් පමණක් බව පිළිගත යුතු සිද්ධාන්තයකි. එහෙත් අද රෝගීන් ගේ සමාජ ආකල්ප සමඟ සමපාත වන්නට ආයුර්වේදීය සෞඛ්‍ය සේවා අසමත් වී ඇත්තේ එහි වරද නිසාම නොව රෝගීන්ගේ ආකල්ප සම්පුර්ණයෙන් ම පාහේ බටහිර වෛද්‍ය ක්‍රමයේ දේශපාලනික බලපෑමට යටත්ව ඇති නිසාය. එනිසා රෝගීන් ගේ අවධානය අප වෙතින් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව පිළිගත යුතු සත්‍යයකි. මං හිතන්නේ අපි මේ බලා සිටින්නේ ගෙඩිය පිටින්ම අපේ ඔඩොක්කුවට වැටෙන තෙක් විය යුතුය. එය නම් සිහිනයකි.

රට පුරාම බෙහෙත් කරලා ලෙඩේ හොඳ නොවුණාම ආයුර්වේදේට එන ක්‍රමේට වඩා රෝගියාගේ පළමු තේරීම ආයුර්වේදය වෙන විදියට අපේ ක්ෂේත්‍රය හැදෙන්න ඕනේ. අපේ බේත් කළු පාටයි, ගඳයි, තිත්තයි කියන පරගැති ආකල්පය සමාජයෙන් බැහැර කරන්න ඕනේ. ඒකට අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පෙරමුණ ගන්න ඕනේ. ඒත් මේකට හොඳ ජාතික සැලැස්මක්, විධිමත් වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ අනාගතවාදී නායකත්වයක් යටතේ. ප්‍රතිපත්ති සම්පාදකයින් ගේ භාණ්ඩාගාරේ නිලධාරින් ගේ මොළ සෝදන්න ඕනේ දේශීය වෛද්‍ය ක්‍රම වල ආර්ථික වටිනාකම තේරුම් ගන්න. නැත්තං ආයුර්වේදය පිරිහෙන්න හේතු ඇහුවම කියයි හැමදාම ඔය නාවින්නේ, බොරැල්ලේ, ගම්පහ බස් කොන්දොස්තරලා “ආයුර්වේදේ බහිනවා” කියල උදේ හවස කියන හින්ද තමයි ආයුර්වේදේ බහින්නේ කියලා. ඇයි ආයුර්වේදේ නගිනවා කියල කියන්නෙම නැහැනේ. “සැරදේ සැරදේ ආයුර්වේදේ” කියල අපි උදේ හවස කිව්වත් මේක සැරදෙන්නේ නැහැ ඒකට අවශ්‍ය වැඩ පිළිවෙලක් නැතුව. අපි ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලා සටන් කළ ඉතිහාසයක් තියෙනවද දහ නමවැනි සියවසේ අග භාගයේ හා පසුගිය සියවසේ මුල් යුගයේ හැරුණු විට. ඒ කියන්නේ අපි අවුරුදු සියයකින් නැගිටලා නැහැ. ඒක නිසා අපි මේ විවෘත ආර්ථිකයේ රශ්මියෙන් ගිනි කණ වැටිලා, ගෝලීයකරණයෙන් මත් වෙලා, නවීන විද්‍යාවේ තේජසෙන් තැති ගැන්විලා, බටහිර වෛද්‍ය  ක්‍රමයට බයෙන් මුළු ගැන්නිලා හිටපු කාලේ ඉවර කරන්න ඕනේ. මේ එහෙම නැතිවුණොත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩි කල් නොගොස් තනි අශ්වයාගේ රේස් එකක් බවට පත් වෙනවා. ලෙඩ්ඩු නැතුව, බේත් නැතුව, සහායක සේවා නැතිව වෛද්‍යවරයා මොනව කරන්නද?

දැන් ඉතිරිව ඇත්තේ එක පාදයක් පමණි. ඒ වෛද්‍යවරුන්ය. දැන් අපි තනි කකුලෙන් රේස් එක දුවන්නේ මේ අයගේ හයියෙනි. ඔවුන් ඉතා අමාරුවෙන් ඉගෙන ගනියි. රැකියා විරහිතව දුක් විඳියි. ස්පා වල සේවය කරනවා යැයි නින්දා අපහාස විඳියි. පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදෙන්නට තරම් වෘත්තීය පෞරුෂයක් ඇති අයට අතදෙන්නේ ද නැත. රැකියාව සඳහා උද්ඝෝෂණ කරන්නට සිදු වෙයි. අවසානයේ රජයේ රැකියා ලබා තනි කකුලේ රේස් එක දුවන්නට උර දෙයි. රැකියාවේ නිසි පිළිගැනීමක් හෝ උසස් වීමක් හෝ වැටුප් වර්ධකයක් ලබා ගන්නට නොයෙක් අයුරින් නිලධාරින්ට දර දිය අදියි. මෙලෝ රහක් නැති වෘත්තීය සමිති නායකයින්ගේ තනතුරු රැකදීමට අව්වේ වේලෙයි. ඒවාට නොසලකන නොනැමෙන වෛද්‍යවරුන් ගැරහුමට ලක්වෙයි. සමහරුන් කැප වී සේවය කර බැනුම් අසා අවසානයේ විශ්‍රාම යයි. ආයුර්වේදය විශ්වාස කරමින් සියලු අවම පහසුකම් මැද රෝගීන් සුවපත් කරන දක්ෂයින් අප අතර එමටය. ඒ අතර ඉතා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවත් වෙදකමේ යෙදෙන වෛද්‍යවරුන් ඈත ගම් දනවු වල සිටිති. රජයේ ආයුර්වේද රෝහල් වලින් ඒ අයගේ පාත්තරේට ද හෙනහුරු අත දමයි. ඒ සියලු කරදර මැද ඔවුන් ගෙන් සුවපත් වන රෝගීන් එමටය. එහෙත් ඔවුන් මේ රටේ වෛද්‍යවරුන් ලෙස පිළිගැනීමට තරම් නීතිය සාධාරණ වන්නේ නැත. ඒ සඳහා වෛද්‍ය සභාවේ වැඩ ඉන්නා උත්තමයින් සටන් කරන්නේ ද නැත. අපි සටන් කළ යුත්තේ අපට බාහිරින් එල්ල වන අභියෝග වලට එරෙහිව පමණක් නොවේ. අපේ ක්ෂේත්‍රය තුළම තිබෙන බොහෝ දුර්වලතා මග හරවා ගැනීම සඳහා අපිට යම් ආකාරයක ආක්‍රමණශීලි එහෙත් බුද්ධිගෝචර වැඩ පිළිවෙලක් තිබිය යුතුමයි. මං හිතන්නේ අපි බොහෝ දෙනා හැට ස්වයං විවේචනය ඉවසන්නට තරම් විවේක බුද්ධියක් නොමැති වීමෙන් මේ කරුණු දෙස ද්වේෂසහගත එළඹුමක් තිබෙන්නට පුලුවන්. එහෙත් මා හට අවශ්‍ය වන්නේ මේ කරුණු වඩාත් යුක්තිසහගත සංවාදයකට බඳුන් කළ හැකි ප්‍රති-මතවාදයන්ය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Monday, June 13, 2016

ගොඩ වෙදුන්ගේ සාස්තරයට එරෙහි රට වෙදුන් ගේ ගෝස්තරය



මෙම ලිපිය බ්ලොග් අවකාශයට එක් කරන්නේ පත්‍රයේ මෙලෙසින්ම පළ වීම ගැන සහතිකයක් නොමැති නිසාය. “රට වෙදාගෙන් ගොඩ වෙදාට” යන මැයෙන් පසුගිය 12 වැනි දින රාවය පත්‍රයේ පළවූ වෛද්‍ය ආරියසේන යු. ගමගේ මහතාගේ ලිපිය වැල්වටාරම් හා හිතළු වලින් පිරුණු නීරස කතාන්තරයක් බඳුය. මගේ ලිපියට පිළිතුරක් ලෙස ලියුවත් මා මතු කළ ප්‍රධාන කරුණු වලින් මග හැර ගිය එම දිගු ලියැවිල්ලේ වැඩිපුරම ඇත්තේ ඒ මහතාගේ පුරසාරම් හා හපන්කම් ය. මා තුළ වෛද්‍ය ගමගේ මහතා ගැන යම් වෘත්තීය අරුචියක් වී නම් එය දෙගුණ තෙගුණ වූයේ ඒ මහතා ගේ ලිපිය තුළ වූ බාල ගණයේ විවේචන, විපරිත මනස්ගාත, බොළඳ උපහාස, වැනි සුන්බුන්  මත ගොඩ නැගුණු අසංස්කෘතික (uncultured), අශික්ෂිත (undisciplined) හා අවෘත්තීයමය  (unprofessional) අන්තර්ගතය නිසාය. සමස්තයක් ලෙස ගත් විට එහි වැඩිපුරම ඇත්තේ පුද්ගලබද්ධ හුදකලා සිද්ධි කිහිපයක්  හා ඒ මහතා සහභාගී වූ බව කියන සම්මන්ත්‍රණයක උපුටා ගැනීමක් සවිස්තරාත්මකව ලිවීමට ගත් උත්සාහයකි. එහෙත් අවම වශයෙන් ඒ මත ගොඩ නගන උපකල්පනයක් හෝ ලියා ගැනීමට නොහැකි තරමට බුද්ධි විලම්බනයකට පත් ව ඇති බව පෙනේ. අපේ ප්‍රස්තුතයට අදාළව යම් හරවත් සංවාදයකට එළඹෙන්නේ නම් විශ්ව විද්‍යාලයක දෙවන වසරේ සිසුවෙකු ගේ උත්තර පත්‍රය මිට වඩා ඉහළ මට්ටමක තිබෙන බව නිසැකය. මෙම ලිපියේ මාතෘකාවට “ගෝස්තරවාදය” යන වදන ඇතුළත් කළේ රට වෙදුන් සිය යුරෝකෙන්ද්‍රිය මතවාදය ප්‍රචලිත කරන්නේ ගෝලීය දේශපාලනයේ අවශ්‍යතා මත හැසිරෙන වාණිජමය හා පරිභෝජන රටාවට සමගාමිව නිසාය. එය බටහිර වෛද්‍ය ක්‍රමයේ ආවේණික ගති ලක්ෂණයක් නොව ප්‍රජා සෞඛ්‍යය වෙළඳ භාණ්ඩයක් (commodity) බවට පත් කර ගත් වෛද්‍ය ශාස්ත්‍රීය දැනුම ව්‍යාපාරික ලාභය සඳහා මෙහෙයවන සීමිත පිරිසක් අනුගමනය කරන දහමකි.

ඒ මහතා මගේ ලිපියේ අන්තර්ගතයට අභියෝග නොකර මග හරින්නේ රට වෙදුන් ගේ ගෝස්තරවාදී ප්‍රතිපත්තියෙන් බැහැරව ගොඩ වෙදුන් ගේ සාස්තරය දෙස සංහිඳියාවෙන්, සාමයෙන්, සහයෝගයෙන් සාකච්ඡා කිරීමේ සදාචාරාත්මක ආකල්පයක් නොමැති හෙයිනි. එය හොඳින්ම පෙනී යන්නේ ගමගේ මහතා සිය ලිපිය තුළ කීපවරක් වෛද්‍ය වෘත්තීය සදාචාරයට පටහැනිව රෝගීන්ගේ රහස්‍යභාවය පිළිබඳ නිතිය කඩකරන නිසාය. සම්මත වෛද්‍ය සදාචාරය අනුව සාමාන්‍යයෙන් රෝගීන් ගේ පෞද්ගලික තොරතුරු තුන්වන පුද්ගලයෙකුට සෘජුව හෝ වෙනත් ආකාරයකින් ලබා දීම නොකළ යුතුය. එසේම යම් යම් ප්‍රසිද්ධ පුද්ගලයින් තමාගෙන් ප්‍රතිකාර ගන්න බව මාධ්‍යයට හෙළි කිරීම හෝ යම් වෘත්තීය වාසියක් අපේක්ෂාවෙන් ඒ පිළිබඳව මෙබඳු ලිපි තුළ සාකච්ඡා කිරීමත් ඉතා පිළිකුල් සහගතය. තමන්ගේ මතය හෝ අදහස විධිමත් ව ගොනු කොට ඉදිරිපත් කිරීමට නොහැකි වන විට ඒ සඳහා මෙබඳු ලාමක උපක්‍රම භාවිතා නොකළ යුතුය. එවිට ඔවුන් ගොඩ වෙදුන්ට එරෙහිව නැගෙන මඩ වෙදුන් සේ උගත් සමාජය තුළ පිරිහීමට බඳුන් වේ. මා සිතන්නේ ගමගේ මහතා තුළ වෘත්තීය ශික්ෂණයක් තිබේ නම් පළමුව කළ යුත්තේ මට පිළිතුරු සැපයීම පසෙක ලා මෙකී පුද්ගලයින් ගෙන් සමාව ඉල්ලා සිටීමය. එසේ නොමැති නම් රට වෙදුන් සිය ගෝස්තරවාදී න්‍යාය තුළ වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා ඕනෑම පහත් හැසිරීමක නියැලෙන බව පිළිගැනීමට සිදු වේ. සිය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම එහි දස්කම් විස්කම් ගැන අභිමානයෙන් කතා කිරීමට වෘත්තිකයින් හට ඇති අයිතියට මුවා වී අන් වෛද්‍ය ක්‍රමයක නියැලෙන වෘත්තිකයින් ගේ පෞද්ගලික තොරතුරු මත පදනම්ව වෛද්‍ය ක්‍රමයට අභියෝග එල්ල කිරීම “ගෝස්තරවාදය” විනා අන් කවරක්ද? සාස්තරයට එරෙහි ගොස්තරයේ පදනම එයයි.

දැන් ඒ මහතාගේ පරිකල්පිතයේ සුන්බුන් පිළිවෙලකට ගොඩ ගසා එකිනෙක ගෙන විමසමු. පළමුවෙන් මාවනැල්ල විෂ වෙද මහතාගේ සිද්ධියෙන් මතු කරන කරුණු දෙසට යොමු වෙමු. මාවනැල්ලේ වෙදමහතාගේ ප්‍රතිකාරයෙන් රෝගීන් සුවපත් වන්නේ හුදු විශ්වාසය පමණක් නිසා නොවන බව ගමගේ මහතා පිළිගනියි. අසාධ්‍ය රෝගීන් පමණක් තමා වෙත යොමු කරන බව පැවසීමෙන් එය වඩාත් තහවුරු වේ. වාසනාවට ඒ අවසානයේ වෙදමහතා ගොඩ යන්නේ ගමගේ මහතා වෙදමහතාගේ පොතට ලියු පෙරවදනේ පිහිටෙනි. රජයේ නිලධාරින් පැමිණ පරික්ෂා කරන විට ඉදිරිපත් කිරීමට ගමගේ මහතාගේ අත්සන ඇපයට තබා ගැනීම ගැනද තරමක උද්දාමයක් ඇති බව පෙනේ.  බටහිර වෛද්‍යවරුන්ට මුවා වි සිය ප්‍රතිරූපය නංවා ගන්නා දේශීය වෛද්‍යවරුන් වෙනුවට රට වෙදුන් ඉදිරියේ තමන් උගත් සාස්තරයේ විස්කම් දක්වන දේශීය වෛද්‍යවරුන් ගැන අපට අභිමානයක් තිබේ. එහෙත් ගමගේ මහතා හට සත්‍ය වශයෙන් අවශ්‍ය වන්නේ දේශීය වෛද්‍යවරුන් කරා විෂ වෙදකම සඳහා පැමිණෙන රෝගීන් හට නිසි ප්‍රතිකාරයක් නොලැබෙන බවත් ඔවුන් සුවය ලබන්නේ ප්‍රතිවිෂ ප්‍රතිකාරයෙන් බවත් ය. ශ්‍රී ලංකාවේ සිදු වන විෂ අනතුරු සියල්ලම රජයේ බටහිර රෝහල් වලින් ප්‍රතිකාර නොලබන අතර ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ද සටහන් නොවේ. එසේම දේශීය ප්‍රතිකාර ලබන සියලු රෝගීන් හෝ ඉන් වැඩි දෙනෙකු ප්‍රතිවිෂ එන්නත ලබා සුවපත් වන බවට ද තොරතුරු නොමැත. ඊටත් වඩා වැදගත් වන්නේ දේශීය විෂ වෙදකමෙන් පිහිට ලබන රෝගීන් සියලු දෙනා හෝ වැඩි දෙනා මිය යන බව හෝ අනතුරට පත් වන බවට ද කිසිදු තොරතුරක් නැත. ඒ සියලු සාධක පසෙක ලා මාවනැල්ලේ එක් වෛද්‍යවරයෙකුගේ අදහස් පොදු සාධකය සේ ගෙන දේශීය විෂ වෛද්‍ය ක්‍රමය හෑල්ලු කිරීම ඉතා කණගාටුදායකය.  එපමණක් නොව මෙරටට බටහිර වෛද්‍ය ක්‍රමය හඳුන්වා දීමට පෙර විෂ අනතුරු වලින් මිනිස් ජිවිත බේරා ගත්තේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් බව අමතක නොකළ යුතුය.


ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල තවමත් සෞඛ්‍ය පහසුකම් සඳහා ළඟා වීමේ අවම හැකියාව ඇති ජනතාවට හදිසි ප්‍රතිකාර ලබා දෙන්නේ “සාස්තරය හොඳින් ප්‍රගුණ කළ” ගොඩ වෙදුන්ය. සත්‍ය වශයෙන් ම විෂ අනතුරු වලට වැඩියෙන් මුහුණ දෙන්නේ නාගරික ජනතාව නොව සෞඛ්‍ය පහසුකම් අඩු ග්‍රාමීය ජනතාව නිසා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඔවුන් තබා ඇති විශ්වාසය මාවනැල්ලේ ජනතාව තුළ මෙන් තවමත් පලුදු වි නැති බව කිව යුතුය. එසේම බටහිර ප්‍රතිකාරයෙන් පසුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නා රෝගීන් පිළිබඳවත් යම් සමීක්ෂණයක් කිරීම සුදුසු යැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් හට නොසිතෙන්නේ යට කී ගෝස්තරවාදී ආකල්ප නිසාය. කෙසේ වෙතත් ගමගේ මහතාගේ මව සහ පියා ද “දේශීය වෛද්‍ය ක්‍රමයට ඇලුම් කරන නිසා” වාත අමාරු සඳහා ප්‍රතිකාර ගන්නේ දේශීය වෛද්‍යවරුන් වෙතින්ය. එහෙත් දියවැඩියාවෙන් පෙළෙන මාවනැල්ල ප්‍රදේශයේ බොහෝ දේශීය වෛද්‍යවරුන් ප්‍රතිකාර ගන්නේ ගමගේ මහතාගෙනි. එමගින් ගමගේ මහතා මාවනැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය දියවැඩියා රෝගීන්ගේ ජීවකයා පමණක් නොව වෙද මහත්වරුන් ගේ ද ගැලවුම්කාරයා ලෙස සිය වෘත්තීය මධ්‍යස්ථානයට ප්‍රචාරයක් ලබාදේ. ගෝස්තරවාදය එතැනම ඉස්මතු වන අයුරු බලන්න. ඔහුට අනුව සමහර දේශීය වෛද්‍යවරුන් රෝගීන් හට දෙන උපදෙස් ගමගේ මහතාගේ නම ඇසු පමණින් වෙනස් කරන තරමේ සෞඛ්‍ය බල පරාක්‍රමය පතුරුවා සිටින බව ලිපියේ පුරාජේරු කොටසේ මනාව කියැවේ. එසේම තමාගෙන් ප්‍රතිකාර ගැනීමට එන රෝගීන් හට ද ඔවුන් දේශීය වෙදකම් සඳහා යන වෙද මහතාගේ වෘත්තීය ගරුත්වය කෙළසා “රහස්‍යභාවය” කඩ කරන බව නිරල්ජ්ජිතව කියා සිටියි. ගමගේ මහතා ව්‍යංගයෙන් කියා සිටින්නට උත්සාහ කරන්නේ මාවනැල්ලේ තමන්ගේ මගපෙන්වීම යටතේ “හරස්-යොමුකිරීමේ සේවාවක්” (cross-referral system) පවතින බවය. එහෙත් ඇත්ත වශයෙන් ම එය ගමගේ මහතා වෙත දේශීය වෛද්‍යවරුන් විසින් කරනු ලබන යොමු කිරීම හා ඔහු විසින් කරනු ලබන යොමු කිරීම අතර වෙනස පැහැදිලි කළ හැකි සාධකය වන්නේ “සාස්තරය හා ගෝස්තරය” අතර පරතරයයි.

මීළඟට ගමගේ මහතා සිය විලම්බීත ලිපියේ ගොදුර බවට පත් කර ගන්නේ මාවනැල්ල ප්‍රදේශයේම ඉතා ප්‍රකට වෙද හාමුදුරුනමකි. උන්වහන්සේ වෛද්‍ය විද්‍යාලයක් ද පවත්වා ගෙන යන බව සඳහන් කිරීමෙන් ඔහු දේශීය වෛද්‍ය අධ්‍යාපනය තුළ ද යම් අඩුපාඩුවක් ඇති බවට ඉඟි කරන්නේ උන්වහන්සේ වෙදකම උගන්වන අතරම බටහිර ප්‍රතිකාර ගත බව හැඟවීමෙනි. එසේම වැගන්තලේ වෙදමහතා සහ පාට්ටගම වෙද මහතා ද මේ ගෝස්තරවාදී ආත්ම ප්‍රකාශනයේ ප්‍රචාරක මාධ්‍යය ලෙස පාවිච්චි කරයි. ගමගේ මහතා ගේ පටු වෘත්තීය බුද්ධියෙන් දැකිය නොහැකි ඉතා වැදගත් ම දෙය නම් දේශීය වෛද්‍යවරු බටහිර ප්‍රතිකාර ගැනීම යන කාරණය මත දේශීය වෛද්‍ය ක්‍රමය අසමත් ලෙස හුවා දැක්වීම ළිං මැඩි මානසිකත්වයේ ලකුණක් බවය. එහි පරස්පරය ද සිදුවන බව අමතක වන්නේ එනිසාය. ඒ අනුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බටහිර වෛද්‍යවරුන් නිසා බටහිර වෛද්‍ය ක්‍රමය අසමත් බව පිළි ගත යුතු ද යන්න ගමගේ මහතා ගෙන් අසමු. ඊළඟට මහතා තමන් ගේ අංශභාග රෝගීන් හට කායික හා මානසික සුවය සඳහා හාමුදුරුවන් ගේ තෙල් සම්බාහන ප්‍රතිකාරයට යොමු කරන බව කියයි. ඒ මහතා අනියමින් පිළිගන්නේ අංශභාග රෝගීන් හට තෙල් බේත් සාත්තුවෙන් සුවයක් ලැබෙන බව නොවේද? ගමගේ මහතාට මාවනැල්ල වෙද විදුහලේ දේශනයක් පැවැත්වීමට ලැබීම අරුමයක් සේ පෙනුන ද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මට්ටමේ ඇති දේශීය වෛද්‍ය විද්‍යා ආයතන තුළ නිත්‍ය දේශන පවත්වන බටහිර වෛද්‍යවරුන් හට එය සාමාන්‍ය දෙයකි.

ගමගේ මහතා නොදන්නවා වුවත් (පසු ගිය ලිපියේ සඳහන් පරිදි) ශ්‍රී ලංකාවේ උපාධිධාරී මෙන්ම පශ්චාත් උපාධිධාරී දේශීය වෛද්‍යවරුන් ද සිටින බව දැනගත යුතුය. විශ්ව විද්‍යාල විෂයමාලාවේ නවීන විද්‍යාත්මක විෂයයන් අවශ්‍ය තරම් ඉගැන්වෙන හෙයින් උපාධිධාරී වෛද්‍යවරුන් ඉතා ඉහළ දැනුම් පරාශයක සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වන විට බි.ඒ.එම්.එස්. උපාධිය ලබා රජයේ සේවයට යන දේශීය වෛද්‍යවරයා හා එම්.බී.බී.එස්. උපාධිය ලබා ගත් බටහිර වෛද්‍යවරයාත් සම තත්වයේ ලා සැලකෙන බව අමතක නොකළ යුතුය. එම නිසා ගමගේ මහතා හට  නව දිල්ලියේදී  හමු වූ දේශීය වෛද්‍ය විද්‍යාලයේ අංශ ප්‍රධානියා ගේ උදාහරණය ගැන අප තුළ විමතියක් ඇති නොවේ. නවදිල්ලියේ පුරසාරම නැතිව එබඳු අය ගැන කියන්නට ලංකාවේදී එබඳු අය ගැන කියන්නට අපට පුළුවන. ගමගේ මහතා පුරුද්දක් ලෙස තමන්ගේ විදේශ සංචාර, දේශන, සම්මන්ත්‍රණ හා තනතුරු ගැන නිතර ගෙන හැර දක්වන්නේ බණ්ඩා වෙසක් බලන්නට ගියා වගේය. (එසේ නම් මා ලිපිය ලියන්නේ ද එතෙර දියුණු රටක ඉහළම වෛද්‍ය විශ්ව විද්‍යාලයක සම්මන්ත්‍රණයක් අමතා දේශීය වෛද්‍ය ක්‍රමය ගැන දේශනයක් පවත්වා ඉතා උසස් ඇගයීමකට බඳුන් වූ දිනට පසු දිනය. එහෙත් අපේ බුද්ධිය පෙනෙන්නේ ලබා ගත් උපාධි හෝ විදේශ සම්මන්ත්‍රණ මත නොව පළ කරන අදහස් වල හරවත් බව මතය.) මෙබඳු සංවාදයකදී කරුණු වලට වඩා පුරසාරම් මත යැපෙන සිද්ධි උලුප්පා දැක්වීම නිසා සිදුවන්නේ නිශ්චිත ප්‍රස්තුතයෙන් පිට පැනීමය. ගමගේ මහතා හට නවින විද්‍යාව හා තාක්ෂණය මැජික් සේ පෙනුනත් මේ වන විට දේශීය වෛද්‍ය ක්‍රමය නව තාක්ෂණය සමඟ මුසු වි හමාරය. ගමගේ මහතා වැනි නිෂේධනාත්මක ආකල්ප ඇති “රට වෙදුන්” ගේ තල්ලුව නැතිව පණ ගැන්විය හැකි එන්ජිමක් දේශීය වෛද්‍ය ක්‍රමයට තිබෙන බව අපි හොඳින් දනිමු.


දේශීය වෛද්‍ය උපාධිධාරීන් බටහිර ප්‍රතිකාර කිරීමේ ගැටලුව හා දේශීය වෛද්‍යවරුන් නව තාක්ෂණය භාවිතා කිරීම පටලවා නොගත යුතුය. බටහිර වෛද්‍යවරුන් සිය දස්කම් විස්කම් පාන මෙවලම් හා තාක්ෂණික මෙහෙයුම් සියල්ලම වෛද්‍යවරුන් විසින් සොයා ගත් ඒවා නොව වෙනත් විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදුව වෛද්‍ය ඉංජිනේරුවන් අතින් නවීකරණය වූ ඒවා බව අමතක නොකළ යුතුය. දේශීය වෛද්‍යවරුන් යම් අවස්ථාවක එකී තාක්ෂණයක් සිය න්‍යායට අනුගතව භාවිතා කරන්නේ නම් එය දෙමුහුන්කරණයක් ලෙස අරුත් ගැන්වීම ගෝස්තරවාදී ප්‍රකාශනයකි. දේශීය වෛද්‍ය ක්‍රමය සිය න්‍යායට අනුගතව තාක්ෂණික පරිණාමයකට බඳුන් වූ දැනුම් පද්ධතියකි. දේශීය වෛද්‍ය ක්‍රමය සිය න්‍යායට අනුගතව තාක්ෂණික පරිණාමයකට බඳුන් වූ දැනුම් පද්ධතියකි. එයට අනන්‍ය වූ තාක්ෂණික ශිල්පීය ක්‍රමවේද මෙන්ම අනුගත කළ හැකි ක්‍රමවේදයන් ද තිබේ. ගෝස්තරවාදී න්‍යායන් තුළ දේශීය වෛද්‍ය ක්‍රමය හෑල්ලු කරන රට වෙදුන් නවීන විද්‍යාත්මක දැනුම එයට පුට්ටු කරන්නට කැස කවන්නේ දේශීය වෛද්‍යවරුන්ගේ සාස්තරයට වළ කපන්නටය. එවිට ඔවුන්ගේ ගෝස්තරයට සරිලන පරිදි හොද්ද බොර වේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ දේශීය වෛද්‍ය ක්‍රමය යටපත් කොට යුරෝපීය වෛද්‍ය ක්‍රමය ස්ථාපිත කිරීමේ උපායන් කිහිපයක් අනුගමනය කරනු ලැබිය. පළමුවෙන් පොත් පත් හා මුලාශ්‍ර විනාශ කොට සංස්කෘතික ආයතන පද්ධතියේ මුල් උදුරා දැමු අතර බටහිර වෙදකමට ආගමික හා දේශපාලනික බලය ආරෝපණය කරනු ලැබිය. එපමණක් නොව දේශීය වෛද්‍යවරුන් එම වෙදකමේ යෙදීම වැළැක්වීම සඳහා සමාජමය බාධක යොදමින් ඔවුන් වෘත්තීය වශයෙන් පහළට ඇද දමනු ලැබිය. අවසානයේ ඔවුන්ට බටහිර ප්‍රතිකාර ඉගැන්වීමේ උත්සාහයක් ද 19 වැනි සියවස අගභාගයේ දියත් කරනු ලැබිය. එහි දිගුවක් ලෙස ගමගේ මහතා වැනි ඊනියා ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් එක්ව ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ දී දේශීය වෛද්‍ය ක්‍රම වල අගයට මුවා වි දේශීය වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාර අඩපණ කොට මුඛ්‍ය සෞඛ්‍ය ප්‍රවාහයෙන් ඉවත් කොට තැබීමේ සැලසුම ක්‍රියාත්මක කළෝය.

එහෙත් මේ අය නිතර මතුරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අල්මා ආටා ප්‍රකාශනයෙන් පසුව සිදුවූ කිසිදු ප්‍රගතිගාමී සැලසුමක් මේ රටේ ක්‍රියාත්මක නොකළේ රට වෙදුන් ගේ ගෝස්තරවාදී ප්‍රතිපත්ති වලට පහර වදින නිසාය. මේ රටේ සෞඛ්‍ය වියදම පහළ දමන්නට, විදේශ විනිමය ඉතුරු කරන්නට, ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳව දේශීය වෛද්‍ය ක්‍රමයට වගකීම් පවරන්නට මැලි වන්නේ බටහිර වෙදකමේ අධිපතිවාදී සෞඛ්‍ය වෙළදාමට පාඩු සිදුවන නිසාය. ගමගේ මහතා නියෝජනය කරන්නේ ඒ මතවාදය බව අපිට පැහැදිලිය. 2005 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ සිව් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක නොකළේ මන්ද යන්න මේ අය කතා නොකරයි. 2008 දී සම්මත වූ බීජින් ප්‍රකාශනය අනුව අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය දේශීය වෛද්‍ය ක්‍රම වලට නිසි තැන දී ප්‍රතිසංස්කරණය කරන්නට මේ අය තල්ලුවක් දුන්නේ ද නැත. දැන් දේශීය වෛද්‍ය ක්‍රමයට හයිබ්‍රිඩ් එන්ජිමක් සවි කිරීමට කතා කරන්නේ එහි දේශීය වෛද්‍යවරුන් තුළ ඒ ගැන විශ්වාසයක් නැති බවට නිගමනය කරමිනි. දේශීය ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කරන හා දේශීය ඖෂධ නියම කරන බටහිර වෛද්‍යවරුන් සිටින නිසා එය බටහිර වෛද්‍ය ක්‍රමයේ පරිහානියට හේතු වී ඇති බව නිගමනය කළ හැකිද? දේශීය වෛද්‍යවරුන් ගේ දරුවන් බටහිර වෛද්‍ය අධ්‍යාපනයට යොමු වීම සමාජ ප්‍රශ්නයක් වන්නේ උසස් වෘත්තීය අධ්‍යාපනය තුළ ඊට ලබා දී ඇති සුපිරි අගය, ඉහළ සමාජ බලය සහ උසස් වටිනාකම මතය. දේශීය වෛද්‍ය ක්‍රම සඳහා ඉහළ අගයක් ලැබෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළ මේ තත්වය වෙනස් වන්නට ඉඩ තිබේ. එහෙත් දේශීය වෛද්‍ය ලියාපදිංචිය ලබා ගත් හා ලබා ගන්නට බලා සිටින බටහිර වෛද්‍යවරුන් ද ඇති බව අමතක නොකළ යුතුය. අවසන් වශයෙන් ගමගේ මහතා ගෙන් මා ඉල්ලා සිටින්නේ මෙබඳු වැල් කතා - බොල් කතා පසෙක තබා දේශීය වෛද්‍ය ක්‍රමය ගැන අශාස්ත්‍රීය නිගමන හා මත පළකිරීමේ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා සහේතුක හා සබුද්ධික සංවාදයකට එළඹෙන ලෙසයි.

මෙරට දේශීය වෛද්‍යවරුන් ගේ සත්කාරකත්වයේ තුබූ සෞඛ්‍ය පද්ධතිය රට වෙදුන් විසින් ආක්‍රමණය කාරණා විට ලංකාවේ සෑම ගමකම පාහේ එක් “වෙදරාළ” කෙනෙකු සිටි බව එවකට ආණ්ඩුකාරයා යටත් විජිත මහලේකම් වෙත යවන ලද ලිපියක සඳහන්ය.  ඉන් අදහස් වන්නේ මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බලය හා අයිතිය බටහිර වෛද්‍ය ක්‍රමය විසින් අධිරාජ්‍යවාදී දේශපාලනය හරහා අත්පත් කර ගත් බවයි. ඒ අනුව රට වෙදුන් ගේ ගොස්තරය හොඳින් හැදෙන්නේ වැඩෙන්නේ ගොඩ වෙදුන් ගේ සාස්තරය විනාශ කිරීමේ තරමට බව ඉන් කියවෙන අනියම් අරුතයි. ඒ සඳහා අතීතයේ ඔවුන් භාවිත කළ උපක්‍රම වලට වඩා සියුම් උපාය වත්මනෙහි සැඟවුණු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. දෙමුහුන්කරණය (hybridization) ඉන් එකකි. එය යම් තරමකට වාසි සහගත ප්‍රතිඵල ලබා දුන් බව දැනට දශක කිහිපයකට පෙර අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට බටහිර වෙදකම් කාන්දු කිරීමෙන් සිදු වූ හානියෙන් පෙනේ. ඊළඟට ඔවුන් යෝජනාව වුයේ විකල්ප (alternative) හෝ සම්පුරක (complementary) ආකෘතිය හරහා සාම්ප්‍රදායික හා දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රධාන සෞඛ්‍ය ප්‍රවාහයෙන් කොන් කිරීමේ උපායයි. එහි ක්‍රියකාරකයින් වන්නේ ද බටහිර වෛද්‍යවරුන්මය. ඔවුන්ට දී ඇති ඉලක්කය දේශීය වෛද්‍ය ක්‍රම නවීන විද්‍යාවට සාපේක්ෂව පැහැදිලි කළ යුතු දැනුමක් ලෙස අත්හදා බැලීම් මට්ටමේ තබා ගැනීමය. ඉන් පසුව හඳුන්වා දෙන්නේ සහබද්ධ (integrated) වෛද්‍ය ක්‍රමය පිළිබඳ මිථ්‍යාවයි. මෙය ගෝලීයකරණ දේශපාලනයේ ඉතා භයානක උපායක් වන්නේ එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දේශීය වෛද්‍ය ක්‍රම බටහිර වෛද්‍ය ක්‍රමය විසින් ගිල ගැනීමේ අවදානමක් පවතින හෙයිනි. එවිට අවසානයේ පවතින්නේ එකම වෛද්‍ය ක්‍රමයකි. එය රට වෙදුන් ගේ ගෝස්තරයට ඉතා හිතකරය.

 වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Wednesday, June 8, 2016

ආයුර්වේද අම්බරුවන් කෙත පාලු කරන විට පඹ-ගාලට යට වූ නීතිය



අම්බරුවන් සිටින්නේ කුඹුරු හාන්නට ගොයම් පාගන්නට මිස පරිපාලන කටයුතු වලට නොවේ. ඒත් ඉඳ හිට අම්බරුවන් එබඳු වැදගත් තනතුරු වලට පත් කරන්නේ ඊටත් වඩා දේශපාලන අම්බරුවන් විසිනි. එසේ පත් කළ එක අම්බරුවෙකු ආයුර්වේද වෛද්‍ය සභාවේ ද තනතුරක් දරයි. අද මේ ලිපිය ලියන්නේ ඒ අම්බරුවාගේ ගොන් වැඩ ඉවසා සිටින්නට තරම් සිත් නොදෙන නිසාය. කෙත රකින්නට පඹයෙකු හිටවන්නේ පඹයා ගෙන් සේවාවක් හෝ කිසියම් ක්‍රියාකාරී රාජකාරියක් බලාගෙන නොවේ. ඒත් පඹයා සිටගෙන ඉන්නේ ගොවිරාලගේ නියෝජිතයා ලෙසය. එබඳු පඹයන් රැසක් එකතැනක සිටින විට එය පඹ ගාලකි. හරියට හරක් රැළක් ලගින තැන හරක් ගාල වූවා සේය. දැන් පඹ ගාල කුමක්දැයි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. එහෙත් අම්බරුවාගේ ගොන් වැඩ වලට පඹයින් ගේ විරෝධයක් හෝ ඊට එරෙහිව නැගෙන්නට පඹයින් හට ශක්තියක් හෝ නොමැති බව පමණක් දැනගැනීම ප්‍රමාණවත්ය. එනිසා අද කතා කරන්නේ ඒ පඹ ගාලට යටව වල් වැදුණු ආයුර්වේදයේ නීතියයි.  මෙතැන් සිට මා ලියන දේ මගේ වෘත්තීය අනාගතය තීරණය කරන අවදානම්සහිත කරුණු වන්නට හැකි බව මා හොඳින්ම දනිමි. එහෙත් මීටත් වඩා තීරණාත්මක දේ ලියා බැට කා පුරුදු මගේ පෑනේ ඉවසීමේ සීමාව ඉක්මවා තිබේ.  එනිසා මා දැන් මේ අවදානම ගැනීමට තීරණය කළෙමි.

ආයුර්වේද වෛද්‍ය සභාව යනු මේ රටේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළම නීතිමය අධිකාරි බලය සහිත උත්තරීතර ආයතනයකි. ආයුර්වේද වෛද්‍ය වෘත්තියේ අභිමානය සහ නෛතික වරප්‍රසාද ආරක්ෂා කර දෙන ඉතා බලසම්පන්න ගෞරවනීය සභාවකි. 1961 අංක 31 දරණ ආයුර්වේද පනත යටතේ ස්ථාපනය කළ පුද්ගල මණ්ඩලයකි. එය බටහිර වෛද්‍ය සභාවට නොදෙවෙනි ලෙස සිය අභිමානය සහ බලය පතුරුවා සිය වෘත්තියේ ගරුත්වය හා ගුණාත්මකභාවය ආරක්ෂා කළ යුතු ආයතනයකි. එහෙව් ආයතනයක් අද පත්ව ඇති ජරාජීරණ නිවට නියාලු තත්වය ගැන අපි කණගාටු වීමෙන් පමණක් සෑහීමකට පත් විය නොයුත්තෙමු. මන්ද ආයුර්වේද වෛද්‍ය සභාව බාල්දු වන තරමට අපේ වෘත්තීය අභිමානය හා ගරුත්වය ද පහළට ඇද වැටෙන බැවිනි. මෙවැනි අම්බරුවන් එහි ගෞරවය කෙලෙසද්දී අපි ඊට එරෙහි විය යුත්තේ එය අපේ වෘත්තීය අයිතියක් නිසාය. ආයුර්වේද වෛද්‍ය සභාවේ කාර්යය විය යුත්තේ ආයුර්වේද වෘත්තියේ ප්‍රතිරූපය ගෞරවාන්විතව ඉහළ නැංවීම මිස එය බිම හෙළීම නොවේ . එනිසා අපි බිය විය යුත්තේ හිස නමා ගරු කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුකුලව නීතිය ක්‍රියාත්මක කරන ආයුර්වේද වෘත්තීය වරප්‍රසාද ආරක්ෂා කරන වෛද්‍ය සභාවකට විනා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි පඹයින් රැළකට නොවේ.

ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු හැර අන් අය ඒ සඳහා තමන් පත් කළේ කුමක් නිසාදැයි  නොදනී. සමහරුන් සිතන්නේ එය තමන්ගේ පිනට, වාසනාවට, නම්බුවට, කීර්තියට, ලැබුණු බෝනස් තනතුරක් බවය. සමහරුන් එය තමන්ගේ ලිපි ශීර්ෂයේ, මුද්‍රාවේ, නාම පුවරුවේ සිය නම සරසන ආභරණයක් ලෙස එල්ලා ගෙන සිටී. සමහරුන් මේ සභාවේ කතා කරන්නේ මොනවාද යන්න නොදනී. සමහරුන් කට අරින්නේ කේක්, බූන්දි, පුහුල්දොසි, ඇපල්, කන්නට මිස කතා කරන්නට නොවේ.  එනිසා අම්බරුවා සිය ජාවාරම ජයට කර ගෙන යන්නේ මේ සාමාජිකයින් පඹයින් ට ඇන්දීමෙනි. සමහර සාමාජිකයින් හෝටල් අයිතිකරුවන්ය. සමහරුන් ස්පාකාරයින්ය. දැන් ඔවුන් සාමාජිකත්වය අත් හැර ගොසින්ය. එහෙත් ඊට ගැලපෙන අය පත් කරන්නේ ද නැත. ඉතිරී අයගෙන් දෙතුන් දෙනෙක් නොබියව සිය අදහස් ඉදිරිපත් කරති. මේ විවේචනය ඒ මහත්වරුන් නෝනාවරුන් ගැන නොවේ. මෙය අදාළ වන්නේ ඒ අයට සහාය නොදෙන අම්බරුවාගේ ගොම්පස් අල්ලන පඹ-ගාලේ ඇත්තන්ටය. ඒ අතර හිටපු ලේඛකාධිකාරීවරු දෙන්නෙක් ද සිටී. ඉන් එක් අයෙක් හැසිරෙන්නේ පල් මෝඩයෙක් මෙනි. අනෙකා එලෝ විකාරෙන් මෙලෝ අත ගාන පිස්සෙකි. දෙදෙනාම උඩඟු වී සිටින්නේ තමන් ගේ දැනමුතුකම් ගැනය. නිතර ගොන් කතා කියන හාදයා ලේඛකාධිකාරීකමට පත් කළේ බේත් කොම්පැනියක කළමනාකාර අධ්‍යක්ෂකම දරන ගමන් ය. ඉතිහාසයේ පළමු වතාවට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී එම කාර්යාලයේ සිට බිස්නස් කළේ ඒ හාදයාගේ කාලයේදීය.

දැන් උන්නැහේ ඊට වඩා නරක නින්දිත අශික්ෂිත අයුරින් හැසිරෙන බව සියල්ලෝ දනිති. අල්ලස, දුෂණය, අක්‍රමිකතා සහ අවිධිමත් බව රජයන වෛද්‍ය සභාව වෛද්‍යවරුන්ගේ ඔළුවට අත හෝදා හොරුන් මගඩිකාරයින් රකින නිවට නියාලු ආයතනයක් බවට පත් කළේ මේ අම්බරුවාය. තමන්ට රිසි පරිදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පත් කොට කිසිම දැනුමක් නැති වෛද්‍ය අඩලයින් එහි සභාපති කර මුදලට ලියාපදිංචිය දුන් කාලයේ ගොනු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතු කාලය එළඹ තිබේ. දැන් ඒ මගඩිය තේරුම් ගත් කොමසාරිස්තුමා ඇතුළු වෛද්‍ය සභාව සම්මුඛ පරීක්ෂණ සංචිතයක් සැකසීමෙන් කලබලයට පත් මොහු “හොර ලියාපදිංචිය” සඳහා වෙනත් විකල්ප සොයමින් සිටී. ගෝලයා ලියාපදිංචියට එන විට ගුරුවරයා පරීක්ෂණ මණ්ඩලයේ ය. එය අතටම අහු වුණු විට ප්‍රතිඵල අවලංගු කොට වැඩේ ඉවර කර දැම්මා මිස එයට මුල් වූ අම්බරුවා ට එරෙහි පියවරක් ගත්තේ නැත. පහුගිය කාලයේ පවුල් පිටින් ලියාපදිංචි කළ අයුරු දැන් සොයා බැලිය යුතු බව වෛද්‍ය සභාවට යෝජනා කරමු. වෛද්‍යවරුන්ගේ වෘත්තීය විනය ගැන සෙවීමට පෙර සිය සභාවේ ලේඛකාධිකාරී ගේ හැසිරීම හා කටයුතුවල සදාචාරාත්මක බව හා ඊට අදාළ අක්‍රමිකතා ගැන සෙවිය යුතු නොවේද?

වෛද්‍යවරුන් ගේ සම්මන්ත්‍රණ වලදී ආයුර්වේද නීතිය ගැන දෙසුම් කරන්නට මොහුට ඇරයුම් නොකරන්නේ මොහු ඊට සුදුසු නොවන නිසාය. වරක් දෙකක් එසේ දේශන කරන්නට ගොස් වෛද්‍යවරුන් ඉදිරියේ පච වූ පසුව කරපටියෙන් ගෙල වැල දා ගැනීම හැර වෙනත් දෙයක් කළ නොහැකි විය. අදටත් ආයුර්වේද වෛද්‍ය සභාවේ අභිමානය හා ගෞරවය ආරක්ෂා කිරීමේ පෞරුෂයක් ඇතිව යම සභාවක පෙනී සිටීමට මොහුට හැකියාවක් නැත. එය මුළු මහත් ක්ෂේත්‍රයම දන්නා සත්‍යයකි. එහෙත් වෛද්‍ය සභාවේ සමහර බබාලා නොදැනීම පුදුමයකි. වෛද්‍ය සභා කාර්යාලය තුළම පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදෙන මොහු අමු අමුවේම වෘත්තීය ආචාරධර්ම කඩ කරයි. සාමාන්‍යයෙන් ලේඛකාධිකාරී තනතුරට පත්වන තැනැත්තා අනෙක් වෛද්‍යවරුන් සමඟ තරගකාරී ලෙස වෘත්තියේ නියැලීම නොකළ යුත්තකි. මොහු ඉතා නිර්ලජ්ජිව සිය තනතුර ඒ සඳහා යොදාගනී. වෛද්‍යවරුන් අතර ගැටුම් ඇති වන විට හොඳින් සොයා බලා තෝරාගන්නේ සල්ලි තියෙන පැත්තය. ඉන් පසුව අහිංසක වෛද්‍යවරයා තලාපෙළා වරද පටවා නිහඬ කරයි. සල්ලි ඉදිරියේ පමණක් නීතිය ක්‍රියාත්මක කරන බව පෙන්වන නරුමවාදී නිවට ප්‍රතිපත්තියට විරුද්ධව කිසිවෙක් ඉදිරිපත් නොවේ.

හොර වෙදුන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සිදු නොවන්නේ ඇයිද යන්න වලංගු ප්‍රශ්නයක් නොවන්නේ පගාවට ලියාපදිංචිය ලබා ගැනීම සඳහා හොර වෙදුන් හට අවස්ථාව සලසා ඇති හෙයිනි. හොර වෙදුන් වෛද්‍ය සභාවට බිය නැත්තේ එනිසාය. උන් වෛද්‍ය සභාවට පස්ස හරවන්නේ එනිසාය. හොර වෙදුන් ගේ මගඩි වැඩ නිසා වෛද්‍ය සභාව අපහාස උපහාස විඳින්නේ එනිසාය. කොටින්ම කිව හොත් මේ අම්බරු නිලධාරියා නිසාය. පසුගිය කාලය තුළ ස්පා මුදලාලිලා, බස් වල බේත් විකුණන වෙළඳුන්, ගස් යට සාස්තර කියන හොර වෙදුන් ආදී නොයෙක් ආකාරයෙන් මේ ක්ෂේත්‍රය කෙලෙසන උන් තොග පිටින් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කළේ කවුද යන්න සොයා බැලිය යුතුය. ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයින් ද මේ වරදේ කොටස්කරුවන් බව අමතක නොකළ යුතුය. එපමණක් නොව බටහිර වෛද්‍යවරුන් ද යන්තම අරිෂ්ටයක් දෙකක් කට පාඩම් කොට ලියාපදිංචි වූයේ මොහුගේ ආශිර්වාදයෙනි. මට හොඳින් මතක ඒ කාලයේ ප්‍රතික්ෂේප කළ ලිපි ගොනු යළිත් කරලියට ආවේ මොහුගේ උග්‍ර ආර්ථික අර්බුදයට පිළියම් ලෙසය. ක්ෂේත්‍රයේ පැතිරී ඇති කතා අනුව එක එක වර්ගයේ හොර ලියාපදිංචි කිරීමේ ගාස්තු වෙනස්ය. වරෙක කුරුණෑගල අහිංසක සර්ප වෙද මහතෙකු ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයක් ඉල්ලු පුවත එවක ඇමතිගේ අතටම අහු වුණත් එයින් ඇතිවූ පලයක් නොවීය. මාස කිහිපයකට පෙර වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව හිතුමතේ පරීක්ෂණ මණ්ඩල පත් කොට යාපනයේ විශාල මගඩියක් සිදු කළේය. එහෙත් වෛද්‍ය සභාවේ තීරණ වලට පටහැනිව ක්‍රියාකරන මේ අම්බරුවාගේ සියලු අක්‍රමිකතා  යටපත්ඒ කරන්නේ ඇයි දැයි විමතියකි. ගැන අමතක කොට  මොහුට විරුද්ධව ඇති චෝදනා නොසලකා හරින, මොහුට විරුද්ධ පරීක්ෂණ යට ගසන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක සිටින නෝනා එසේ කරන්නේ කාගේ හයියකින් දැයි සෙවිය යුතුය. තවමත් බලවත් පසුගිය ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියලා නම් මේ යහපාලනයෙනුත් ආයුර්වේද ක්ෂේත්‍රයට වන යහපතක් නැත.

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ඉතා පැහැදිලි හා නිශ්චිත නීති පද්ධතියක් ගැසට් මගින් ප්‍රකාශ කර ඇති නමුත් එය පවා ක්‍රියාත්මක කර ගත නොහැකි නිවට නියාලු තත්වයට අද වෛද්‍ය සභාව පත්ව ඇත්තේ මේ අම්බරුවාගේ නින්දිත හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍යතාවක් නැත. රුපවාහිනි, ගුවන් විදුලි, පුවත්පත් හරහා වෙළෙඳ දැන්වීම් මගින් ප්‍රචාරය කරමින් රෝගීන් සුරා කන මගඩි වෙදුන් මැඩීමට මොහු ට කිසිදු වුවමනාවක් නැත. දියවැඩියාව නිට්ටාවට සුව කරන බව කියමින් පුරසාරම් දැන්වීම් දමන මහවිල වෙදා ගෙන් මොහු ලබන පඬුරු පාක්කුඩම් වලට යටවී නිහඬව සිටින්නේ වෛද්‍ය සභාවේ දුර්වලකම නිසාය. පසුගිය වසරකට ආසන්න කාලය තුළ මොහු මේ දැන්වීම් ඉදිරියේ නිහඬව සිටියා පමණක් නොව වෛද්‍ය සභාවේ විමර්ශන අංශය ද අඩපණ කළේය. දැන් වෛද්‍ය විෂමාචාර වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව ඉතා හොඳින් දන්නා මෙබඳු සුචකයින් රෝගීන් මුලා කොට ඔවුන්ගේ මුදල් සුරා ගනියි. ක්ෂේත්‍රයේ ගුණාත්මක බව ඉතා නින්දිත ලෙස පිරිහෙමින් තිබේ. මේ පිරිහීම ආරම්භ වූයේ මුලින් කි බේත් කොම්පැණිකාර ලේඛකාධිකාරී ගේ පාලන සමය තුළය. ඔහු හිට ගෙන කළ දේ මොහු දුව දුව කරන බව බලා සිටින අයට තේරෙයි. ඔහු වෛද්‍ය සභාව තුළ මේ අම්බරුවා විවේචනය නොකර රකින නිසා මේ ගොන් පාට්  ඔහු ද අනුමත කරන බව පෙනේ.

මොහු නීතිය ක්‍රියාත්මක නොකළාට වෛද්‍ය සහතික පොතක් ගන්නට හෝ හැඳුනුම්පතක් හදා ගන්නට  වෙනත් යම් වැඩකට එන අහිංසක වෙද මහතුන්ට පුප්පන, ගොරවන, කාඩ් බෝඩ් වීරයෙක් ලෙස හැසිරෙයි. නැවත ලියාපදිංචියක් ගැන බොරු බියක් මවා පාමින් නීතිය වැරදියට අර්ථකථනය කොට වෛද්‍යවරුන් ගේ මුදල් ගසා කන මට්ටමට වෛද්‍ය සභාව පත් කළේ මේ අම්බරුවාගේ මග පෙන්වීමයි. වෛද්‍ය සභාව සතු දේපළ හා බලතල අනිසි ලෙස භාවිත කරනවා පමණක් නොව මොහු විසින් කරන ලද වාහන අවභාවිතයේ විගණන වාර්තා යටපත් කොට තිබේ. යන එන ගමන් ස්පා වලට කඩා පැන පගා ගැනීමේ ක්‍රමවේදයක් ද මේ පුද්ගලයා ගේ අනුදැනුම මත ක්‍රියාත්මක වේ. ඒවායේ අයිතිකරුවන් හා වෛද්‍යවරුන් බිය ගන්වා මුදල් කඩා වඩා ගන්නා මේ අම්බරුවාගේ ක්‍රියාකලාපය වෛද්‍ය සභාවට පමණක් නොව මුළු ක්ෂේත්‍රයටම නින්දාවකි.  යම් ආයතනයකට ඇතුළු වීමේදී අනුගමනය කළ යුතු සම්මත රීති හා රෙගුලාසි වලට පටහැනිව තමන්ගේ හිතු මතේ ආයතන වලට කඩා පැනීමේ බලයක් වෛද්‍ය සභාවට නැත. එහෙත් මේ අම්බරුවා සල්ලි වලට ඕනෑම හබකක් යටින් රිංගන තාලයේ බාල ගණයේ නිලධාරියෙකි. වෛද්‍ය සභාවේ ගෞරවය රකිමින් වෙනත් ක්ෂේත්‍ර සමඟ ගණුදෙනු කිරීමේ හැකියාව ඇති නිලධාරින් වෙනුවට වැදගත් සභාවක් නියෝජනය කළ නොහැකි අම්බරුවන් මේ තනතුරු වලට පත් කළ වුන් දැන් ගෙදරය. ඒත් උන්ගේ පව් අපේ කර පිටින් යන විට ඒවාට වග කියන්නේ කවුද?

මෙබඳු අම්බරුවන් විසින් කෙලෙසු වෛද්‍ය සභාවේ ගෞරවය හා පරිහානියට පත් කළ අභිමානය යළිත් අත්පත් කර ගැනීමේ ඉතා දැවැන්ත මෙහෙයුමක් දියත් කළ යුතුය. ආයුර්වේද කොමසාරිස්තුමා ඇතුළු වෛද්‍ය සභාව මෙම මෙහෙයුමේ මූලිකත්වය ගත යුතුය. ඒ සඳහා නායකත්වය දිය හැකි කිහිප දෙනෙකු හෝ වෛද්‍ය සභාවේ සිටින බව අපේ විශ්වාසයයි. එසේ නොමැති නම් මේ තත්වය විෂය භාර අමාත්‍යවරයා වෙත වහා වාර්තා කොට එතුමාගෙන් ඉක්මන් විසඳුමක් ඉල්ලා සිටිය යුතුය. ආයුර්වේද ක්ෂේත්‍රයේ ගුණාත්මක බව හා වෘත්තීය අනන්‍යතාව ඉහළ නැංවීමේ මෙහෙවරට උර දීමේ අයිතිය හා වගකීම සියලු ආයුර්වේදහිතකාමී වෛද්‍යවරුන් සතුය. මේ කරුණු ඉදිරිපත් කළ පුද්ගලයා පෞද්ගලිකව කොටු කර ගැනීමට හෝ ඔහුගෙන් පළිගැනීමට වඩා වටින්නේ කරුණු වළ සත්‍යාසත්‍යතාව සොයා බැලීමයි. නිර්නාමිකව මඩ ගැසීමට වඩා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට තරම් කොන්දක් මට තිබෙන නිසා ඕනෑම අවස්ථාවක මේ ගැන පවත්වන පරීක්ෂණයක් හමුවේ පෙනී සිටීමට කැමැත්තෙමි. එනිසා විධිමත් ලෙස සකස් කළ මෙහි නිත්‍යානුකූල පිටපත් ආයුර්වේද වෛද්‍ය සභාවේ සියලු සාමාජිකයින් වෙත යවනු ලැබේ. මා විශ්වාස කරන්නේ “දුම් දමමින් දිගු කලක් රැඳී සිටිනවාට වඩා එකවර ඇවිලී ආලෝකය දී නිවී යාම” උතුම් බවයි. එබැවින් මා අවුලවන මේ මතය ගින්නක් සේ පැතිරී මේ අවනීතිය දවා අළු කරනු දැකීම මගේ අපේක්ෂාවයි.


වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

Friday, May 27, 2016

ආයුර්වේදයේ ඔළුවට අත සෝදන “දොස්තර” බලය හෙවත් ගෝත්‍රිකයින් දොස්තර වීම


පසුගිය දා ගංවතුරෙන් අනාථ වුවන් හට සායන පැවැත්වු ජීවක ගුණෝපේත වෙදවරු ආයුර්වේද හෝ බටහිර හෝ වේවා ඔවුන් වෙත ජාතියේ උපහාරය හිමි විය යුතුය. සමහරුන් ස්වේච්ඡාවෙන්ම සිය කාලය ධනය වැය කොට එම සේවාවේ යෙදුණ බව අපි දුටුවෙමු. ඒ අතර බටහිර ආයුර්වේද භේදයෙන් තොරව එකට එකම කඳවුරේ සේවා සපයනු සමහර තැන් වල අමුත්තක් නොවීය. එසේ තිබියදී හදිසියේම එක් වරම දොස් තද වූ දොස්තරලා කට්ටියක් ආයුර්වේද වෛද්‍යවරුන් හා එකට සායන කරන්නට බැරි බව පවසා විරෝධයක් පළ කළ බවක් අසන්නට ලැබිණ. ඒ සමඟම සායන පවත්වන්නට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අවසරය ලබා ගැනීමේ අවශ්‍යතාවක් ගැනද පුවත් පළවන්නට විය. එකම අමාත්‍යාංශයක් යටතේ සිටියදී ඇමතිවරයා දේශීය වෛද්‍ය ක්‍රමය ඔසවා තබන්නට යෝජනා කරද්දී දොස්තරලා සිය බලය පෙන්වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්ද සිය ඒකාධිකාරී ව්‍යාප්තවාදය වෙනුවෙන්ද යන්න ගැටලුවකි. එකම වහලක් යට මෙම වෛද්‍ය ක්‍රම දෙකම සේවා සපයන පද්ධතියක් ස්ථාපිත කිරීම අමාත්‍යවරයාගේ අනාගත ප්‍රතිපත්තිය ලෙස වරින් වර ප්‍රකාශයට පත් ව තිබියදී මේ දොස්තර බලය ලෙලවන්නේ එකී යෝජනා නිෂ්ප්‍රභ කිරීමට බව සැකයක් පවතී. රෝගීන්ගේ අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වන්නේ සෞඛ්‍ය සේවය රෝගී-කේන්ද්‍රීය (patient-centered) වන එකක් මිස වෛද්‍ය-කේන්ද්‍රීය (doctor-centered) වන එකක් නොවන නිසාය. ලෝක සෞඛ්‍ය සංවිධානය 2008 වසරේදී පෙන්වා දුන්නේ සෞඛ්‍ය සේවාව වාණිජකරණයට හසුව ඛණ්ඩනීකරණය (fragmentation) වී ඇති බවය. එනිසා විවිධ අංශ අයාලේ හුදකලාව සම්බන්ධීකරණයකින් තොරව කටයුතු කරන බව පෙනේ.

මහජන සෞඛ්‍ය සේවාවේ පොල්මඃකාර සින්නකර අයිතිකරුවන් බවට පත්ව සිටින දොස්තරලා සත්කාර සේවාව ක්‍රමයෙන් සියලු අංශ වල නෛතික බලය තමන් හට අත්පත් කරගැනීමේ අශික්ෂිත ප්‍රයත්නයට අවතීර්ණ වෙමින් සිටින බව නිසැකය. ආයුර්වේද වෛද්‍යවරුන් අළු ගසා දමා කල එළි බසිද්දී ඔවුන් ගේ වෘත්තීය අනන්‍යතාව නිසා දොස්තරලා ගේ පැවත්මට හානියක් වේ යැයි බියක් ජනිත වීම නිසා මේ ක්‍රියාවලිය ඉක්මන් කර ඇතැයි අනුමාන කළ හැකිය. මේ රටේ මහජන මුදලින් ඉගෙන ගත් සියලු වෘත්තිකයින් ජනතා සේවාවට බැඳී සිටිනවා මෙන්ම ජනතාහිතවාදී සේවාවක් ලබා දීම ද ඔවුන්ගේ පරම වගකීමකි. එසේම ජනතා සුබසිද්ධිය හෝ සමාජ ප්‍රගතිය හෝ මහජන සෞඛ්‍යය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේ යුතුකමක් ද ඔවුන් සතුව පවතී. ඒ සියලු වගකීම්, යුතුකම් හා සමාජ ගෞරවය සියල්ලට පයින් ගසා වෘත්තීය ඒකාධිකාරය (monopoly) වෙනුවෙන් සිය රට උරුමයට කෙළ ගැසීමේ නරුම, අධම, කුහක ගතිය උපාධියකින් වසා ගන්නට නොහැකිය. හිත හොඳ දොස්තරලා අතර නින්දිත, අමන, අශීලාචාර දොස්තරලා ද සිටින බව මෙයින් පෙනේ. වඩා නරකම දෙය මෙබඳු දොස්තරලා ඉහළ තනතුරු වල ද සිටීමයි. අපේ රටේ දොස්තරලා සිතන්නේ තමන්ගේ වගකීම වන්නේ බටහිර වෛද්‍යක්‍රමය ආරක්ෂා කිරීම හා වෘත්තීය හිමිකම් සුරැකීම බවය. එය එසේ නම් ආයුර්වේද වෛද්‍යවරුන් ගේ පරම වගකීම හා ශුද්ධ අයිතිය වන්නේ ආයුර්වේද වෛද්‍යක්‍රමය සුරක්ෂිත කිරීමයි. ඒ වෙනුවෙන් පෙනීසිටීම හා එයට උරදීමේ කාර්යය රාජ්‍යය ද භාරගත යුත්තේ දේශීය වෛද්‍ය ක්‍රමය මේ රටේ උරුමයක් ලෙස තවමත් ජනතාව සිය සංස්කෘතික අනන්‍යතාව තුළ පිළිගන්නා නිසාය.

දොස්තරලා සිතා සිටින්නේ මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඔවුන්ගේ බුදලයක් බවය. එහි සියලු බලතල අණ පනත් වලින් සින්නකර ලියා දුන් බවය. දේශීය වෙදකමට අපහාස උපහාස කරන්නේ ඇනුම්පද විහිළු පද ගොතන්නේ ඔවුන්ගේ විනෝදයට අලගු තබන්නටය. සෞඛ්‍ය පද්ධතිය තුළ අපේ රටේ ජනතාව සුරක්ෂිත යැයි ඔවුන්ගේ සියලු සෞඛ්‍ය අවශ්‍යතා සපිරෙතැයි සිතා උදන් අනන්නේ ගොඩ වෙදුන් අතින් සිදුවූ මෙලෝ හසරක් නැති බව සිතමිනි. සෞඛ්‍ය සේවාවේ රාජ්‍ය අංශය දුර්වල කරමින් පෞද්ගලික මාෆියාව ක්‍රමයෙන් ජනතා මුදල් සුරා ගනිද්දී නිහඬව සිටින දොස්තරලා සිය වෘත්තීය ඒකාධිකාරයට අභියෝග එල්ල වන විට පමණක් හඬ නගයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් විපුල ඵල ලබාගෙන, ජනතාවගේ ආයෝජනයෙන් වෘත්තියකට එහා ගොස් ධන උල්පතක් පාදා ගන්නා, එයින් සමාජ හිනි පෙතේ ඉක්මන් නැග්මකට අවස්ථාව ලබා ගන්නා වෛද්‍යවරුන් කියන සමාජ තීරුවට තමන්ට ඉහළ යන්නට දුන් මේ රටේ ජනතාව ගැන තිබෙන හෘදය සාක්ෂිය කියන කාරණය මෙහිදී ඉතා වැදගත්ය. අද වන විට ඖෂධ සමාගම්වලින් අල්ලස් නො ගන්නා වෛද්‍යවරයෙක් සොයා ගැනීම අතිශය දුෂ්කරයි.  බෙහෙත් තුණ්ඩු ලියන කොළ කෑල්ලේ සිට රට සවාරි හා යාන වාහන දක්වා මේ අල්ලස් පරාසය විහිදේ. වෙළඳ නාමයෙන් බෙහෙත් තුණ්ඩු ලිවීමෙන් පමණක් මාසයකට ලක්ෂ ගණනක් මුදල් උපයා ගන්නා වෛද්‍යවරු මේ රටේ සිටී. එහෙව් සියලු පව් වහගෙන ආයුර්වේදයට ඔරවන ගොරවන ගෝත්‍රික දොස්තරලා කෙරෙහි මෙත් සිත් උපදවන්නට නම් නොහැකිය. නොසැලකිල්ල, නොදැනුම හා වගකිම් රහිත බව නිසා මේ රටේ වසරකට හානියට පත් වන හා අවදානමේ හෙළන රෝගී ජිවිත වල ගැන දොස්තරලා ගේ අනුකම්පාව හිමිවන්නේ නැත. එහෙත් ඉඳ හිට කලාතුරකින් ආයුර්වේද බෙහෙතක් විසවීමෙන් හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු ගේ වරදින් රෝගියෙකු හට ආපදාවක් සිදුවුවහොත් එය මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේම අවමගුලක් සේ හඬා වැටෙන්නට අමතක නොකරයි.

තවමත් මේ රටේ ජනතාව ආයුර්වේද වෛද්‍යවරුන් කෙරෙහිත් ආයුර්වේද ඖෂධ කෙරෙහිත් අනල්ප ගෞරවයක් ඇති බව නොකිව මනාය. රෝගීන් ආයුර්වේද රෝහලකට යන්නේ ඔවුන්ගේ රෝගයට පමණක් නොව සිතට ද යම් සහනයක් පතා ගෙන බව කිව යුතුය. ඊට හේතුව ආයුර්වේද වෛද්‍යවරුන් තුළ මානව ධර්මතා ඉහළ තලයක ඇති බවට සමාජ පිළිගැනීමක් තිබෙන නිසාය. සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධිමානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. මෙය මහජන සෞඛ්‍යය කෙරෙහි බලපාන සමාජ ප්‍රශ්නයක් ලෙස ද අර්ථකථනය කළ හැකිය. සමහරුන් ටයි ඇඳ දොස්තර නලාව කරේ එල්ලාගෙන අලුත් වාහන වල ගිය ද එම යුරෝපීය පෙනුමට යටින් සිටින්නේ අමු නොදියුණු අශිෂ්ට ආසියානු ගෝත්‍රිකයෙකි. ඉංග්‍රීසිය උසුරුවන්නට මෙන්ම බටහිර විෂයන් පිළිබඳ පොතේ දැනුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම හා සංස්කෘතික සාක්ෂරතාව නොමැත​. ඒ නිසා රෝගීන්ගේ ජිවිත පරදුවට තබා වර්ජනයට බසිනවා පමණක් නොව රෝගීන් ගේ අයිතිවාසිකම් ඉදිරියේ අලජ්ජිව මුනිවත රකිති. ඇමරිකාව, කැනඩාව, ඕස්ටෙ‍්‍රලියාව, එංගලන්තය වැනි රටවල වෛද්‍යවරුන් සමඟ ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලා සංසන්දනය කර බලන විට ලංකාවේ දොස්තරලා තවම සිටින්නේ ගෝත්‍රික මට්ටමේ බව තේරුම් ගන්නට අමාරු නොවේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුළ රොගීන් පිළිබඳ ගරුත්වය, රෝගීන්ට මානුෂිකව සැලකීම, රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහළ මට්ටමක තිබෙන බව හෙළිවී තිබේ. ඊට අමතරව අනෙකුත් සමාන්තර සේවාවන්හි අයිතිවාසිකම් හා වරප්‍රසාද කෙරෙහි කුහක හා ද්වේෂ සහගත ප්‍රතිපත්තියකින් ක්‍රියා කිරීමද ඔවුන්ගේ වෘත්තීය විකලතාවයකි.

සුළු ප්‍රමානයක් හැරුන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන වෛද්‍යවරු තුළ වෛද්‍ය - රෝගී සන්නිවේදනය (communication skills),  රෝගීන් පිලිබඳ  වගකීම (responsibility) සහ වෛද්‍ය ආචාර ධර්ම හා ආකල්ප (medical ethics and attitudes) ඉතා පහළ මට්ටමක පවතියි.  එසේම සමස්තයක් ලෙස ලංකාවේ වෛද්‍ය පීඨ වල ගුණාත්මක භාවය පිරිහී ඇත​. වෛද්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය හා ඒවාට අනුගත වීමේ ශික්ෂණය ඉතා අවමය. අධ්‍යාපනික ගුණාත්මකභාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. සියලු දෙනා පාහේ රෝගීන් සුරා කෑමේ ව්‍යාපාරයට අඩු වැඩි වශයෙන් දායක වේ. සමහරු රජයේ සේවාවේ යෙදෙමින් මහජන මුදල් ගසා කෑමෙන් මඩි තර කර ගැනීමේ ක්‍රියාවලියට සාර්ථක ලෙස සම්බන්ධ වේ. මේ ගසාකෑම කරන්නේ අඩුවෙන් හා නොසැලකිල්ලෙන් මහජන සේවයෙහි යෙදෙමින් මහජන මුදලින් උපරිමයෙන් වැටුප් හා වරප්‍රසාද භුක්තිවිඳිමින් නිදහසේ පෞද්ගලික ව්‍යාපාරවල යෙදෙමිනි. වෛද්‍ය විශේෂඥ සේවාවන් දිනෙන් දින වැඩිවන්නේ රෝගීන්ගේ මුදල් පසුම්බියට විදින්නට යොදා ගත් උපක්‍රමයක් ලෙසය. එක් එක් ඉන්ද්‍රිය පද්ධතියට එක් දොස්තර බැගින් වූ විශේෂඥතාව එක් එක් ඉන්ද්‍රියට වෙන් වෙන් ලෙස බෙදා ගත්තේ එනිසාය. දැන් ඒ ඒ රෝගය සඳහා විශේෂඥයින් සිටී. වෛද්‍යවරුන් හට ප්‍රචාරය තහනම් වුවත් දොස්තරලා මාධ්‍යය බදු අරන් තරඟෙට සිය හපන්කම් පුරසාරම්, විස්කම්, දස්කම් පුරාජේරු කියවති. රෝගීන් ඔවුන් වෙත කැඳවා ගැනීමට මාධ්‍යය හරහා ප්‍රචාරය කරති. රෝගීන්ගේ තීරණ ගැනීමේ අයිතිය හා ක්‍රියාවලියට බලපෑම් කරති. මේ සියල්ල දොස්තර බලය ව්‍යාප්ත කිරීමේ අධිපතිවාදී ගෝත්‍රික ප්‍රයත්නයේ උපායයන් වේ. රෝගී වෙළඳ පොළ ආයුර්වේදය වෙතින් උදුරා ගැනීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් පොදු මහා ජනයා එයින් ඉවත් කොට තැබීමේ යම් වැඩපිළිවෙලක් අවශ්‍යය. මේ සායන වලින් ආයුර්වේදය පිට මං කරන්නේ ද එහි එක් පියවරක් ලෙසය.

ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලාගේ ගුණාත්මකභාවයේ පිරිහීම සඳහා වෛද්‍ය පීඨ වල උගන්වන ආචාර්යවරු මෙන්ම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ගේ විනය සහ හැසිරීමේ පිරිහීම බලපෑ බව විද්වතුන් පෙන්වා දෙයි. වර්තමානයේ අලූතෙන් වෛද්‍ය සේවයට එකතුවන තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් දුෂ්කර ජීවිතයක් ගත කළ ගම්බද තරුණ තරුණියන් ලෙස සැලකිය හැකිය. ඔවුන් වැඩි පිරිසක් වෛද්‍ය සේවයට එකතුවීම යහපත් වුවත් ඔවුන් පැමිණි දුෂ්කර පරිසරය නිසා සිය වෘත්තියෙන් මුදල් උපයාගැනීමට වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ. එවැනි බොහොමයක් අය පළමුවෙන් පොඩි මෝටර් රථයකින් වෘත්තීය ගමන ආරම්භ කළත් ඔවුන්ගේ ඊළඟ ඉලක්කය සුඛෝපභෝගී ලොකු මෝටර් රථයකි. ඉන්පසු ලොකු දෑවැද්දක් සමග විවාහයක් වගේම මාලිගාවක් වැනි ලොකු නිවසක් තනා ගැනීමය. මේ සියලු ආර්ථික අවශ්‍යතා සඳහා ඔවුන් ඉලක්ක කර ගන්නේ අසරණ රෝගීන් ගේ මුදල් පසුම්බියයි. එහිලා සදාචාර සම්මතයන් නැත. වෙනසකට ඇත්තේ රෝගීන් කැමත්තෙන් මුදල් ගෙවීමයි. එම කැමැත්ත කෘත්‍රිමව ඇති කළ අවශ්‍යතාව මත සිදු වන්නක් බව සමාජ විද්‍යාව අනුව නිගමනය කළ හැකිය. වෛද්‍යවරුන් දිනෙන් දින වර්ධනය වන සුවිශේෂ වෘත්තීයමය තත්වයක් අත්පත් කරගන්නේ තනිකරම රෝගීන් ඇපයට තබා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමෙන් නොවේ. මෙහි වෙනත් කිසිදු වෘත්තියක දක්නට නොලැබෙන සුවිශේෂි දෙෂ්පාලනික සාධකයක් තිබේ. දොස්තරකම ලංකාවේ මිනිසුන්ගේ ජීවන පරමාදර්ශයක් වී තිබේ. එයට මුලික පදනම වැටුණේ අතීතයේ දේශීය වෛද්‍යවරයා කෙරෙහි සමාජයේ ගොඩනැගී තිබු පිළිගැනීම සහ ගෞරවයයි. අද එම සමාජ බලය දොස්තරකම විසින් අත් පත් කර ගෙන තිබේ. ඇත්තෙන්ම දොස්තරලා අද පාවිච්චි කරන්නේ දේශීය වෛද්‍යවරුන් සතුව තිබු නිස්සරණාධ්‍යාශ සමාජ බලයයි. එහෙත් ඊට එදා තිබු මානව ගුණ ධර්ම වල පෝෂණය නොමැත. එනිසා මානව ධර්මතා ප්‍රමුඛ වෛද්‍ය වෘත්තිකයින් බිහි කිරිම සඳහා ඉතා ඉක්මනින් මෙකී අධ්‍යාපන ක්‍රමය හා වෘත්තීය පුහුණු ක්‍රියාවලිය වෙනස් විය යුතු බව පෙනේ.

දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු සිය දරුවන්‍ හෝ දරුවන්ගේ දරුවන් දොස්තරලා කරන්නට සිහින දකින නිසා කිසිවෙක් වෛද්‍ය වෘත්තිය දෙස විවේචනාත්මක වීමට අකැමැති වෙති.  රජයෙන් ආන්තික ඉල්ලීම් ඉදිරිපත් කළත්, දොස්තරලා ගැන කතා කරන්න හෝ දොස්තරලා ගේ ඉල්ලීම් කේවල් කරන්නට ඔවුන් සූදානම් නැහැ. මෙතැන තිබෙන්නේ සංස්කෘතික ප්‍රශ්නයක්. අපි හැමෝම ඉන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරපු දොස්තර හීනෙක. ඒ පර සුද්දන්ගේ ආකල්ප වලින් නිදහස් වෙන්න අපට බැරි වුණා විතරක් නෙවෙයි ඒ හීනය අපේ දරුවන්ගෙන්, බැරි නම් මුණුබුරන්ගෙන් හෝ සැබෑ කර ගන්න අපි හදන්නේ. ඒ වගේ සමාජයක දොස්තර මාෆියාවට එරෙහිව කතා කරන අය ගැන කවුරුත් හිතන්නේ ඉරිසියාකාරයන් ලෙසයි. ඒත් ඇත්ත කතාව නම් රෝගීන් සූරා කන මේ ඖෂධ ජාවාරමට මූලිකව ම වග කියන්න ඕනැ මේ දොස්තර මාෆියාව කියන එකයි. හන්දියේ දොස්තරගේ පොල්කඩයේ සිට පෞද්ගලික මහා රෝහල් දක්වා මේ පුද්ගලික වෛද්‍ය සේවය විහිදෙයි. මේ එක් එක් තැන්වලදී රෝගියා ගසා කෑම සිදු කරනු ලබයි. ෆාමසියේ බෙහෙත් තුණ්ඩුව, ලේ, මුත්‍රා පරීක්ෂණ ආදී දහසකුත් එකක් මගඩි හරහා දොස්තර මාෆියාව සිය අඬු පඬු විහිදුවා සිටියි. රජයේ රෝහලකින් නොමිළයේ දෙන බෙහෙත් ගැනීමට හැකි වීම භාග්‍යයක් වුවත් රජයේ රෝහල් වලට කරන ගමන, බොහෝ දෙනෙකුගේ සිතේ අප්‍රියජනක හැඟීම් ඇති කරවන අත් දැකීමකි. අධික පෝලිම්, අපිරිසිඳුකම හා ඖෂධ හිඟය මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. රෝහල් වල දොස්තරවරු, හෙදියන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩලය රෝගීන්ට සලකන අන්දම නම් ජුගුප්සා ජනක බව නොකිව මනාය.  එහෙත් ආයුර්වේද රෝහලක් තුළ ඇති පරිසරය මිට වඩා හාත්පසින් වෙනස් වූ  සහනශීලි මෙන්ම ආර්ථික වශයෙන් අඩු අවදානමක් සහිත වුවකි. ආයුර්වේද වෛද්‍යවරුන් හට ගමේ ගොඩේ අසරණ රෝගී ජනතාවගේ ජිවන තත්වය හා සංස්කෘතික වටපිටාව ගැන මනා අවබෝධයක් තිබේ.


දොස්තරලා වැඩි දෙනෙක් බිහි වන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටාධාරයෙනි. ඔවුන් සිසුන් ලෙස අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදා හඬ නගන්නේ නැත. එහෙත් දේශීය වෛද්‍ය සිසුන් ඊට වඩා බොහෝ ප්‍රජාතන්ත්‍රවාදීය. ඔවුන් අනෙක් සිසුන් වෙනුවෙන් සිය ජීවිතය, අධ්‍යාපනය, ශිෂ්‍යභාවය, විභාගය කැප කළ අවස්ථා එමටය. දොස්තර වූ පසු ඔවුන් වැඩි දෙනෙකුට රැකියාවට පිවිස ඉතා කෙටි කාලයක් තුළ විශාල ධනයක් උපයා ගැනීමේ අවශ්‍යතාව තිබේ. ඊට හේතුව දොස්තරකම සමාජය තුළ වැජඹෙන ස්තරයට ඔසවා තබන්නට ඒ වත් පොහොසත්කම අවශ්‍යය. ඔවුන්ගේ වැටුප් මෙම අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් නැත.  එබැවින් වෛද්‍යවරු විශාල වශයෙන් පෞද්ගලික සේවයේ යෙදී සිටිති. මෙම පෞද්ගලික සේවා අතර තියුණු තරගයක් ද තිබේ. භෞතික දියුණුව අත්පත් කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට තිබෙන අධිකතර උන්නතිකාමය ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රධාන ලක්ෂණය ලෙස දැක්විය හැකි ය. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තරම් අධ්‍යාපනික කුහකත්වයක් සහිත අංශයක් ලොව තවත් තිබේ ද යන්න සැක සහිත ය.  සෞඛ්‍යය වෛද්‍යවරුන් වෙතින් මිලදී ගත් යුතු රෝහල් මුලික අවශ්‍යතාවක් හා මිල අධික පාරිභෝගික භාණ්ඩයක් (commodity) බවට පත් කරන්නේ වෛද්‍යවරුන් ගේ වෘත්තීය කුහකත්වය මගිනි.  ඔවුන්ට වැදගත් දෙය වන්නේ තමන් ‍ඉගෙන ගන්නා දෙය නො ව අනුන් ඉගෙන ගන්නා දෙයයි. මෙහි සිටින වෘත්තිකයෝ තමන් දන්නා දෙයක් වෙනත් අය ඉගෙන ගනීවි යයි දැඩි බියකින් පෙළෙති. දැනුම බලය ලෙස භාවිතා කරන ශිල්පාධිපත්‍යය (technocracy) හා වෛද්‍ය වෘත්තීය ඒකාධිකාරය හරහා වෙළෙඳ පොළ පාලනය කිරීමේ දේශපාලනික අවශ්‍යතාව ද මෙහි තිබේ. මෙවැනි වෘත්තීය කුහකත්වයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වීමට හා වෙනත් වෘත්තීය ශ්‍රේණි සංවර්ධනය වෙනවාට හේතුව වන්නේ වෘත්තීය ධුරාවලි පිළිබඳ ගැටලුවකි. වෙනත් වෘත්තීය ශ්‍රේණියක් ධුරාවලිය තුළ ඉහළ යනු ඇතැයි බිය නිසා වෘත්තීය ශ්‍රේණි අතර විෂමතා පුළුල් කර ගැනීමට තිබෙන කැමැත්ත මෙන්ම තමන්ගේ වෘත්තීය ශ්‍රේණිය ඉහළ නංවා ගන්නා ගමන් සෙසු වෘත්තීය ශ්‍රේණි තව තවත් පහළට ඇද දැමීමේ කුහක උවමනාවක් ද මෙහි තිබේ. ඔවුන් ආයුර්වේද ක්ෂේත්‍රය වෙත එල්ල කරන්නේ ද මේ සුපුරුදු ගෝත්‍රික ප්‍රහාරයයි. එය තමන්ගේ ගොදුරු බිම් කරා වෙනත් වෘත්තිකයින් ප්‍රවේශ වීම වැළැක්වීමට මග රැක සැඟව සිට පහර දී පළා යන වෘත්තීය ත්‍රස්තවාදයයි. 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා 

Thursday, May 19, 2016

ගොඩයා ගේ බඩට ගහන බටහිර වෙදකම හෙවත් “බට-හිර” වූ ගොඩ වෙදකම

හොර වෙදුන්, බොරු වෙදුන් හා රට වෙදුන් ගැන ලිවීමෙන් පසු එහි දෙවන කොටස ලියන්නේ වෙනත් මානයකින් මේ ප්‍රශ්නය තේරුම් කර ගැනීම සඳහාය. බටහිර කියන්නේ බස්නාහිර හෙවත් බසින හිරුට අයත් අරුතින් වුවත් එය හොඳින් තේරුම් ගන්නට ශාස්ත්‍රීය ලෙස “අපරදිග” කියන වචනය යොදා ගන්නට පුළුවන්. අපි මේ පෙරදිග අපරදිග කතාව කියන්නේ අපි ලෝක සිතියමේ ඉන්න තැනට සාපේක්ෂව. එහෙම නැත්තං ලෝකය අපි දකින සිතියමේ විදියට පැතලි සමතල බිමක තිබෙනවා කියන විශ්වාසයේ මත. ලෝකය ගෝලයේ කිසිම විදියක උතුරු-දකුණු, පෙරදිග-අපරදිග භේදයක් තියෙන්න බැහැ. ඒත් ග්‍රිනිච් රේඛාව බ්‍රිතාන්‍යය උඩින් වැටිලා තියෙන බව පිළිගත්තම අපි හිරු නොබසින අධිරාජ්‍යයේ සංස්කෘතික බලයත්, ඉංග්‍රීසි භාෂාවේ දැනුම් හා තාක්ෂණික ශ්‍රේෂ්ඨත්වය මත යැපීමෙන් එහි ආර්ථික උත්තරීතරත්වයත්, පොදු රාජ්‍ය මණ්ඩලයේ කිරුළට හිස් නැමූවම බ්‍රිතාන්‍යයේ දේශපාලනික ආධිපත්‍යයත් නිකංම පිළිගන්නවා. ඒ නිසා මේ Western කියන අර්ථයෙන් බටහිර යන වචනයට දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික මානයක් තියෙනව. අපි දැන හෝ නොදැන හිර වෙලා ඉන්නේ ඔන්න ඔය කියන දේශපාලනික-ආර්ථික-සංස්කෘතික රාමුව (බටයක්) ඇතුලේ. බටහිර කියන්නේ බටයක හිරවුණු කියන කතාව මං අහුලා ගත්තු එකක්. ඒත් මං ඒක ටිකක් දියුණු කරලා පුළුල් කරලා අපේ ප්‍රස්තුතයට යොදා ගන්නයි මං හිතුවේ.

බටහිර වෙදකම බටයක හිරවෙලා කියන්නේ ඒක පටන් ගන්නේ බට වලින් ඉවර වෙන්නෙත් බට වලින් නිසා. විද්‍යාත්මක පර්යේෂණ කෙරෙන රසායනාගාරයක තියෙන බට ඇතුළේ හිර වෙලා (in-vitro) තිබුණු සංකල්ප සිද්ධාන්ත වෙලා ඒවා දැනුම් අධිකාරියේ මුද්‍රාව තියලා පොත පත හරහා අපේ ඔලු ගෙඩි වල තැන්පත් කරනවා. ඉතින් ඒ දැනුම උපදින්නේ බට තුළ තමයි. දැන් ඊට වඩා පුළුල් ලෙස මේ කාරණය විස්තර කළොත් බටහිර දැනුම් සම්භාරය අනිත් රටවල අධ්‍යාපනයට හා සංස්කෘතියට එන්නත් කරන්නේ ඔවුන්ගේ දේශපාලනික චැනලය (බටය) හරහා. ඒ නිසා බටහිර දැනුම විසිරිච්ච බුරුල්වෙච්ච දියාරුවෙච්ච් දැනුමක් නෙවෙයි. ඒක ඉතා නියත ගති ලක්ෂණ සහිත සංකේන්ද්‍රීය තියුණු විනිවිද යන ගුණ සහිත ප්‍රබල ප්‍රවාහයක්. ඒ නිසා ඒක ඉතා ඉක්මනින් මොළය මගින් ග්‍රහණය කර ගන්නවා. මනසට කා වදිනවා. සංස්කෘතියේ නහර ගත වෙනවා. ඒ නිසා ඒ දැනුම ක්‍රියාත්මක වෙන්නේ ඉතා සංවිධිත පද්ධතියක් ලෙස. එම නිසා එහි ආධිපත්‍යය පිළිගත් අයෙක් එම පද්ධතියෙන් බැහැර නොයයි. ඊට අනුගත වූ අය එහි සිමාවෙන් පිටත සිදුවන දේ සත්‍ය ලෙස පිළි නොගනී. එසේම ඉන් බැහැර වූ දැනුම් දරන අය නිසි සුදුසුකම් ලත් අය ලෙස ද පිළිනොගනී. පද්ධතිය බටයක් වන්නේ එය රේඛීය (linear) ප්‍රවාහයක් ලෙස ගමන් කරන හෙයින්ය. එනිසා මේ දැනුම් පද්ධති වල “ප්‍රමාණ” ලෙස සැලකෙනුයේ සංවෘත පද්ධතියක් (බටයක්) තුළ සීමාකාරී සාධක මත සිදුකරන සම්පරීක්ෂණය පමණි.

මෙබඳු දැනුම් පද්ධතියක් තුළ හැදී වැඩුණු “බටහිර වෙදකම” අපේ රටේ මුල් බැස ගන්නේ යුරෝපීයන් විසින් හඳුන්වා දුන් වැවිලි ආර්ථිකයේ අතුරු පලයක් ලෙසයි. එය පසු කලෙක ක්‍රිස්තියානිය ප්‍රචාරය කිරීමේ සමාජ මෙවලමක් ලෙසත් ආගමික බලය ව්‍යාප්ත කිරීමේ මිෂනාරි මාධ්‍යයක් (clinical Christianity) ලෙසත් යොදා ගැනිණ. මුල් යුගයේ දී බටහිර රෝහල් තුළ ආගමික ප්‍රචාරය සඳහා රෝගීන්ගේ වට්ටෝරු පත්‍රිකාවේ බයිබල ශුභාරංචි වැකි මුද්‍රණය කර තිබිණි. ඒ සඳහා භුමිය සකසා ගැනීමට දේශීය වෛද්‍ය ක්‍රම අඩපණ කිරිමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම් වෙත ආණ්ඩුකාරයා යැවු ලිපියක සඳහන් වූයේ මෙරට සැම ගමක් පාසාම වෙදරාළ නමින් දේශීය වෛද්‍යවරයෙක් සිටින බවයි. ඒ මුල් යුගයේ අපේ රටේ ග්‍රාමීය සෞඛ්‍ය සංවිධානයේ බිම් මට්ටමේ සත්කාර සේවාවයි. පසු කාලයේ “ගොඩ වෙදුන්” වූයේ ගමේ ගොඩේ ගොඩ බේත් වලින් අපේ ගැමියන්ගේ ජිවිත ගොඩ දැමු වෛද්‍ය සංහතියයි. අපේ ගම වල බලි තොවිල් යක්ෂයාගේ කටයුතු ලෙස පහර දී හෙළා දැක ක්‍රිස්තියානි යාඥාව හඳුන්වා දුන්නා. යුරෝපයේ යක්දෙස්සියන් පණ පිටින් පුළුසද්දී අපේ ගොඩ වෙදුන් බේරුණේ ඒ වෙනකොට මේ වෙදකම් ගැන පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය ගවේෂකයින් යම් තරමක අධ්‍යයනයක් කරල තිබුණ හින්ද වෙන්න ඇති. මුල් යුගයේදී ඝර්මකලාපීය වෙදකම (tropical medicine) හරහා යටත් විජිත වල හමුදා සෞඛ්‍යයට අවශ්‍ය සේවා සපයන අතර උණුසුම් රටවල ශාක වර්ග අධ්‍යයනය කරන විද්වතුන් එවපු එක. අපේ රටේ ශාක ගැන මෙන්ම සැඟවුණු ප්‍රතිකාර ගැන යම් ඇගයීමක් කරලා තිබුණ විතරක් නෙවෙයි සමහර පුස්කොළ පොත් ඒ රටවලට ගෙනිහින් තිබුණේ. ඉතිරී පොත් පත් මහනුවර ආක්‍රමණයේදී ගිනි තියල විනාශ කළා.

මේ බටහිර වෙදකම කොහොමද ගොඩය ගෙ බඩට ගැහුවේ? එක පැත්තකින් මේ අය ගේ ස්වාමිවරුන් අපේ කෘෂි සංස්කෘතිය විනාශ කළා. මේ අය අපේ දේශීය ආහාර රටාව හා ඊට අදාළ පාරම්පරික දැනුම තුරන් කළා. ඒක තුළ පැවතුනු සංස්කෘතික වටිනාකම්, විශ්වාස, හර පද්ධතිය මෙන්ම එහි ආරක්ෂාකාරී සාධක හානියට පත් කළා. ඒ මත පදනම් වුණු වෙදකමේ පැවත්ම හා එහි සංකල්ප අභියෝගයට, සමච්චලයට ලක් කළා. ඊට පස්සේ දේශීය වෙදකමෙන් ඉතා පහසුවෙන්, සරලව, අඩු වියදමෙන් සුවපත් කර ගත් ලෙඩ රෝග වලට හම්බ කරපු සල්ලි ටික ගෙවන තැනට වැඩ සිද්ධ කළා. සෞඛ්‍යය කියන්නේ මිල අධික වෙළඳ භාණ්ඩයක් (commodity) බවට පත් කළා. බුලත් අතේ තියල ඇති හැකි පමණින් වෙද මහත්තයගෙන් බේත් ගත්තු ගැමිය චැනල් සර්විස් එකට, ලැබ් එකට, ෆාමසියට සල්ලි ගෙවල බඩගින්නේ ඉන්න තත්වෙට පත් කළා. රොබට් නොක්ස් කියපු සිංහලයාගේ බේත් ගබඩාව තුළ තිබුණු වටිනා ශාක ටික විනාශ කළා. මේ රටේ පවුලේ සෞඛ්‍යය රැකබලා ගත්තු අම්මලා ගේ මොළේට උදේ හවස වෙළඳ දැන්වීම් පොම්ප කරන කොට මේ බට-හිර වෛද්‍යවරු නිහඬව හිටිය.  උපදින්න බලාගෙන බඩේ ඉන්න එකාගේ සෞඛ්‍යයටත් කන කොකා අඬන විදියේ කුනුවෙච්ච පරිසරයක් හදන කොට ඒක අපේ නෙවෙයි කියල අහක බලාගෙන හිටිය.

ඊළඟ කතාව ගොඩ වෙදකම බට-හිර උනේ කොහොමද කියන එක. අපේ වෙදකම දෙස බට-හිර ඇසින් බලන්න ගිහින් වෙච්ච වින්නැහියක් ඒක. විශ්වවිද්‍යාල ඇතුලේ දේශීය වෙදකමේ ඇත්ත නැතත් හොයන්න ඒ බේත් බට ඇතුළේ දාගෙන විශ්ලේෂණ කළා. ඒකෙන් සමහරු කියක් හරි හොයා ගත්ත. සමහරු උපාධි ගත්ත. ඒත් තවම අපි අපේ බේත් ටික දීගෙන යනවා. ඒවා හොඳට වැඩ කරනවා. අපි බට-හිර විෂයයන් ඉගෙන ගන්නවා කියල උදන් අනනවා. ඒත් ආයුර්වේද මුලධර්ම වලට පයින් ගහනව. අන්තිමට බට-හිර වෙච්ච් ආයුර්වේද වෛද්‍යවරු බිහි වෙනවා. මේක දැක්කම බොහෝ දෙනා මාත් එක්ක උරණ වෙයි. මට බනියි. මට අභියෝග කරයි. මාව ගලේ ගහල අපුල්ලයි. ඒත් ඇත්ත කතාව අපි වහගෙන ඉන්නේ. දේශීය වෛද්‍යවරුන්ට බටහිර බේත් දෙන්න පුරුදු කළේ 1883 දී ලියපු “වෛද්‍යාභිදානය” කියන පොත ලියපු ධර්මරත්න උන්නැහේ. එයත් බට-හිර වෙච්ච කෙනෙක්. දේශීය වෛද්‍යවරුන් බට-හිර දැනුම් පද්ධතිය තුළ සිර කිරීම ගොඩ වෙදකම අවනතියට කරා යැවීමේ ලා සාර්ථක උපක්‍රමයක් බව එදා සිටම ඔවුන් වටහා ගත් දෙයක්. ආයුර්වේද විෂයමාලාව තුළට බට-හිර විෂයයන් පාලනයකින් තොරව රිංග වීමේ අරමුණ මේ කියන ඉතිහාසය සමඟ බැඳුණු දෙයක්.

බට-හිර වූ අපේම අය නොසිතන නොදකින එක දෙයක් මා අවසන් වශයෙන් ලියමි. ඒ මේ රටේ දේශීය වෛද්‍යක්‍රමය හෝ ආයුර්වේදය යටත්විජිත පාලනයේ නීතිමය ආධිපත්‍යයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමේ පුරෝගාමීන් වූයේ එදා “ගොඩ වෙදුන්” ය. ඒ අරගලෙයේ ඉදිරියෙන් සිටි බොහෝ වෙදුන් ගේ මුල් තිබුණේ අපේ ගොඩ වෙදකමේ පරපුරු වලය. එදා ඒ සටනට පණ දුන්නේ ගමේ ගොඩේ ගුලි කල්ක තෙල් වලින් දස්කම් දැක්වූ ගොඩ වෙදුන් ගේ සමාජ වටිනාකමයි. අපි අද උදන් අනන බොහෝ ජයග්‍රහණ ඔවුන්ගේ කැපවීම් වල ප්‍රතිඵල බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒත් අවසානයේ ආයුර්වේදය බට-හිර වන විට උන් හිටි තැන් නැති වූයේ ඒ ගොඩ වෙදුන්ගේ පරපුරු වලටය. රජයේ ආයුර්වේද රෝහල් පද්ධතිය ව්‍යාප්ත වූයේ උන්ගේ ගොදුරු බිම් මතිනි. උපාධිධාරීන් හට රජයේ පත්වීම් ලැබුණේ උන්ගේ බුලත් අතේ තිබු පඬුරු වල එකතුවෙනි. අන්තිමේදී ගොඩ වෙදුන් ආණ්ඩුවේ පිං පඩි ලබන තත්වයට පත් විය. දැන් සීමාවාසික පුහුණුවේ පාරම්පරික කාර්තුවට සිය දැනුම ප්‍රදානය කරන ගොඩ වෙදුන්ට ගෙවන්නේ මසකට රු. 500 කි. එයත් ලබා ගැනීමට නොයෙක් දුෂ්කරතාය. සීමාවාසිකයා දහසින් බැඳී පියළි ලබද්දී පුහුණව දෙන ගොඩ වෙදාට ලැබෙන සොච්චම නිගරුවකි.  ආයුර්වේද වෛද්‍ය සභාවේ සිටින ප්‍රභූ වෙදුන් මසකට වරක් රැස්වී දොදොල් සමග ඇපල් කා ගාස්තුව සාක්කුවේ දමාගෙන මාරුවෙයි. ලේඛකාධිකාරී පගාව අල්ලස ජරාව දෙස ඇස් ඇර නොබලයි. හොර වෙදුන් බොරු වෙදුන් සභාව ඉදිරියේ මළපහ කරයි. නිලධාරින් උන්ගේ පස්ස හෝදයි. පසුව බලන විට උන් ලියාපදිංචි ලේඛනයේ සිටියි.

දැන් මේ ලියපු ටිකට මාත් එක්ක ඔට්ටු වෙන්න කැස කවන අයට තව එක දෙයක් කිව යුතුයි. අපි ආඩම්බර වෙන බොහෝ දේ අපි දිනාගත් දේවල් නොවෙයි. මෑත ඉතිහාසයේ මේ ක්ෂේත්‍රයේ දිනා ගත්තු ඒකම වෘත්තීය අයිතිවාසිකම ආයුර්වේද සේවා ව්‍යවස්ථාව විතරයි. ඒකත් රජයේ සේවය සම්බන්ධයෙන් මිසක් සියලු වෘත්තිකයන්ට අදාළ ව ලැබුණු හිමිකමක් නෙවෙයි. අපි දැන් නිතරම අරගල කරන්නේ රජයේ රැකියා සඳහා මිසක් ක්ෂේත්‍රයේ දැවෙන ප්‍රශ්න හෝ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නෙවෙයි. රැකියා අරගලය රැකියා ලැබුණට පස්සේ ඉවරයි. විරැකියාව තියෙනකන් ඒ අරගලය තියෙයි. අපේ වෘත්තීය පිළිගැනීම නිසි නෛතික ආකෘතියක් තුළ ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. බටහිර වෛද්‍යවරුන් ගේ මට්ටමට වැටුප වැඩි වුණාට මදි ඒ නෛතික තත්වය නැතුව. පශ්චාත් උපාධි ගන්න හියාම තියෙන ප්‍රශ්න ගැන කවුද කතා කරන්නේ. අපි වසර හයක් BAMS කරලා ආපහු MSc කරන රටක් මේ. කාය චිකිත්සාව ඉගෙන ගෙන ආපහු පංචකර්ම සහතිකේට සල්ලි ගෙවන රටක් මේ. ගම්පහ උපාධිය තවම CCIM එකෙන් පිළිගන්නේ නැහැ. අලුත් විෂය නිර්දේශය වෛද්‍ය සභාවේ අනුමතියට යවල නෑ. ඒව ඉගෙන ගන්න ශිෂ්‍යයින් ගේ වැරදි නෙවෙයි. පරිපාලනයේ වැරදි. ඒ අය හිතුව ගොඩනැගිලි, රසායනාගාර, උපකරණ වලින් සම්පුර්ණ වුණාම හරි කියල. මදේ නැතුව පොත්ත ලස්සනට හැදුව. IIM එකේ අලුත් සිලබස් එකෙත් ප්‍රශ්න. ලස්සන ලොකු ඉංග්‍රීසි වචන වලින් නවීන විෂයක් දෙකක් ඇතුළට දාල ඒකෙන් කරන්නේ ආපහු අයුර්වේදේ අර බටේ හිර කරන එකමයි (බැන්නට කමක් නෑ. කියන්නේ මං දකින දේ).

හොඳට ජවය තියෙන උනන්දුව කැපවීම තියෙන බි.ඒ.එම්.එස්. පෝතකයෝ ගොඩක් අපිට ඉන්නව. ඒ අයව අපේ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට යොදා ගන්න විධිමත් වැඩපිළිවෙලක් රජයට නෑ. තිබුණෙත් නෑ. ඒ සියලු දෙනාම කරන්නෙ තැනින් තැනින් අල්ල ගත්ත ව්‍යාපෘති. එදිනෙදා ප්‍රහ්න වලට විසඳුම් හොයනවා. අපි මැදිහත් වෙන්න අවශ්‍ය වෘත්තිකයෝ හැටියට මේ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. කල් පවතින ජාතික වැඩසටහනක්. අපි වැඩ කරපු හැම ඇමතිවරයෙකුටම මේ ගැන කියල ඇති. ලියල දීල ඇති. විවේචනය කර ඇති. ඔවුන් ඒ සම්බන්ධයෙන් උරණ වූ අවස්ථා පවා තිබේ. වරෙක මා හට අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව  තහනම් කලාප බවට පත් වුණා. සියලු තනතුරු වලින් නෙරපා දැම්මා. ඒත් මම දරන ස්ථාවරය වෙනස් වන්නේ නැහැ. අදටත් කියන්නේ අපි මේ යන ගමන අවදානම්. සියලු අවාසි සහගත සාධක සමඟ අපි රජයේ රැකියාවෙන් සතුටු වෙනවා. වැටුප් වර්ධකයක්, දිමනාවක්, ශිෂ්‍යත්වයක් අහිමි වුණොත් හැර අපේ ලේ රත් වෙන්නේ නැහැ. අපේ වෘත්තීය අයිතිවාසිකම් ගැන නිහඬව සිටිනවා. වෘත්තීය සංගම් දේශපාලනයේ අතකොලු වෙලා. ඔවුන්ට රිදෙන්නේ නායකයින් හට යමක් අහිමිවන විට පමණයි. අපිට දැන් සැබවින්ම අවශ්‍ය වන්නේ “වෘත්තීයමය සංවිධානයක්” (professional organization) මිස වෘත්තීය සමිතියක් නොවේ. නැතිනම් අපිත් ගොඩයාගේ බඩට ගහන ගොඩට වැටෙයි අනාගතේදී. ලියන්නට ගොඩක් දේ හිතේ සිරවී තිබුණත් මිට වඩා මගේ කිර්ති නාමයට හානි කර ගැනීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා. 

Tuesday, May 17, 2016

හොර වෙදුන්, බොරු වෙදුන් හා රට වෙදුන්



කාලෙකින් ලියන්න හිතුනේ එක්තරා දොස්තර මහත්තයෙක් ලියපු ලිපියකින් මගේ හිතට අසතුටක් දැනුණු හින්ද. ඒ “නොපෙනන මානයේ සිට පෙනෙන මානයට පැමිණි හෙළ වෙද හොරු” යන මැයෙන් 2016.05.15 දින රාවයේ පළ වූ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ලියු ලිපිය. මුළු ලිපියම නොවුවත් ඒකෙ අඩංගු සමහර කරුණු සම්බන්ධයෙන් මගේ අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. වෛද්‍ය ගමගේ මහතා මාධ්‍ය පිටියේදී කලකින් හමු වූයේ නැතත් එතුමා ස්වභාවයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය ගැන දරන බොහෝ විසංවාදී හා විතණ්ඩවාදී අදහස් වලට මා තුළ ඇත්තේ වෘත්තීය අරුචියකි. මෙම ලිපියට හේතු වූ එතුමාගේ ලිපිය තුළින් එබඳු අරුචියක් මතු නොවූ වද එහි සමහර කොටස් කෙරෙහි එකඟ විය නොහැකි නිසා මෙය ලියන්නට සිදු විය. එයින් අදහස් වන්නේ මා එතුමාගේ ලිපියේ බොහෝ කරුණු කෙරෙහි එකඟ වන බවත් සමහර කැරුණු වලට විරුද්ධ නොවන බවත්ය. දේශීය වෛද්‍ය නාමයෙන් පෙනී සිටිමින් ජනතාව මුළා කරන, රෝගීන් සුරා කන, හොර වෙදුන් හා බොරු වෙදුන් ඇති තරම් සිටින බව සත්‍යයකි. ඔවුන් හට ප්‍රචාරය ලබා දෙමින් මාධ්‍යයෙන් ඔසවා තබන බව ඊටත් වඩා කණගාටුවට කරුණකි. අද සිදුවන බොහෝ මෙබඳු බාල ගණයේ ප්‍රචාර සම්බන්ධයෙන් මාධ්‍යයේ පහත් වාණිජමය හැසිරීම වගකිව යුතුය. හොර වෙදුන් බොරු වෙදුන් නිසා සිදුවන හානිය ගැන වාදයක් නැත. එය ආයුර්වේද වෛද්‍ය සභාවේ අඩුපාඩු නිසා සිදුවන සමාජ අපචාරයකි.


ලියාපදිංචියෙන් තොරව ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය කර්මයේ නියැලීම මෙන්ම එබඳු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීමද ආයුර්වේද පනතේ විධි විධාන උල්ලංඝනය කිරීමකි. එසේම දඩුවම් ලැබිය හැකි වරදකි. එසේම ලියාපදිංචිය ලත් වෛද්‍යවරුන් හට මාධ්‍ය ප්‍රචාරය හෝ වෙනත් යම් ලෙසකින් තමන් වෙත රෝගීන් කැඳවා ගැනීම ද ආචාරධර්ම වලට පටහැනිය. එබඳු වෛද්‍යවරුන්ට එරෙහිව විනයානුකුල පියවර ගැනීමේ බලය ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවටය. ඔවුන් වෘත්තීය විෂමාචාරයක් කළ බව සනාථ වුවහොත් එබඳු වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචිය අත්හිටුවීම හෝ අවලංගු කිරීම කළ හැකිය. ආයුර්වේද ක්ෂේත්‍රයේ ද ඉතා විධිමත් නීති පද්ධතියක් තිබේ. ක්‍රියාත්මක කිරීමේ දෝෂය ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවේ නිලධාරීන් ගේ දුර්වලකම මතය. එහෙත් මෑතක සිට ගුවන් විදුලිය, රුපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කරන බොරු දැන්වීම් වලට එරෙහිව පියවර නොගැනීමෙන් ආයුර්වේද වෛද්‍ය සභාව ක්ෂේත්‍රයට තුළ සිය නොහැකියාව ප්‍රදර්ශනය කර තිබේ. “දියවැඩියාව නිට්ටාවට සුව කරන වෙද මහතෙකු ගැන ප්‍රචාරය වන දැන්වීම්” හරහා බොරුව වපුරන ඒ වෛද්‍යවරයා තවමත් නිදැල්ලේ ඒ ජාවාරම කරගෙන යයි. ඒ අපේ වෛද්‍ය සභාව හොර වෙදුන් හා බොරු වෙදුන් ගැන සලකන විදියයි. එබඳු හොර වෙදුන් ගැන පියවර නොගන්නේ ඔවුන් ගෙන් වාසි සැලසෙන නිලධාරින් පුටු වල තාමත් නිරුපද්‍රිතව සිටින නිසාය.


දැන් ගමගේ වෛද්‍යතුමාගේ ලිපියේ මා නුරුස්නා වැකිය දෙසට හැරෙමු. “කරුණු එසේ තිබියදී සැත්කම් වලට බිය නුගත් රෝගීන් දේශීය වෙදකම වෙත යොමු වන බව පෙනේ. මිට අමතරව කැඩුම් බිඳුම් සහ සර්ප දෂ්ටනය සඳහා ප්‍රතිකාර ගැනීමට මිනීසුන් දේශීය වෛද්‍යවරුන් වෙත යොමු වන්නේ, එම වෙදකමේ ඇති සාර්ථකත්වයට වඩා ඒවා පිළිබඳ මිනිසුන් තුළ පවතින විශ්වාසයත්, එම ප්‍රතිකාර ගැමි ජනතාවගේ සංස්කෘතිය හා මනාසේ ගැලපෙන නිසාත්ය.” දේශීය වෙදකමට එරෙහිව සුද්දන්ගේ අධිපතිවාදී විවේචන එල්ල වූයේ අද ඊයේ නොවේ. 1821 දී ජෝන් ඩේවී ඇති තරම් සිය විද්‍යා තර්කන දැනුම උපයෝගී කර ගෙන පුනරුදයේ අවියෙන් දේශීය වෙදකමට තැලුවේය.  ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. අපේ රටේ උරුමය වනසන්නට පැමිණි බ්‍රිතාන්‍ය හමුදාවේ වෛද්‍යවරයෙකි. අපේ රටේ ගොඩ වෙදුන් ඉදිරියේ ඔහු රට වෙදෙකි. අපේ දේශීය වෙදකම ගොඩ වෙදකම ලෙස හෙළා දැක්කේ රට වෙදුන් ය. රට වෙදකම උගත් මෙරට වෙදුන් ය. ඒ සියල්ලෝ රට වෙදුන් ය. ඒ අය සියලු බටහිරෙන් ආනයනය කළ දැනුමට ඇලුම් කරයි. ඊට ගරු කරයි. දේශීය දැනුමට ගරහයි. එය නුගත් ගැමියන් ගේ මිථ්‍යා විශ්වාස ගොන්නක් ලෙසය. ඒ ඔවුන්ගේ ස්වාමියාගේ හඬයි. සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ගැන කෙරෙන පර්යේෂණ ඔවුන් මායිම් නොකරයි. ඒවායේ ප්‍රතිපල විශ්වාස නොකරයි. අද නවීන වෛද්‍ය ක්‍රමය හෙවත් ජෛව වෛද්‍යක්‍රමය (biomedicine) ලෙස හඳුන්වන බටහිර වෙදකම එදා හැදින්වුයේ අධිරාජ්‍යයාගේ වෙදකම (imperial medicine) හෙවත් යටත් විජිත වෙදකම (colonial medicine) ලෙසයි. ඊට හේතුව යුරෝපියානු වෛද්‍යක්‍රමය ආසියානු රටවල ව්‍යාප්ත කළේ අධිරාජ්‍යවාදයේ මෘදු දේශපාලන මෙවලමක් ලෙස නිසාය. අද මේ බල මෙවලම භාවිතා කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමටය.  


අද ගමගේ මහතා ප්‍රතිරාවය කරන්නේ ජෝන් ඩේවී ගේ පරපුරේ පශ්චාත් නුතනවාදී මාදිලියේ අදහස් විනා අන් කවරක් හෝ නොවේ. බලන්න, දේශීය වෛද්‍ය ක්‍රමයේ සමාජ පිළිගැනීම, එහි ව්‍යවහාරික පැවත්ම හා එහි සංස්කෘතික අනන්‍යතාව මත සිය පශ්චාත් උපාධිය සරි කර ගත් ඔබ ඊට ලබා දෙන ගෞරවය. දේශීය වෙදකමට යොමුවන්නේ “සැත්කම් වලට බිය” සහ “නුගත්” රෝගීන් බව ඔබ නිගමනය කරයි. එය ඔබේ නිබන්ධනයේ උපුටනයක් දැයි සැක සහිතය. කැඩුම් බිඳුම් සහ සර්ප වෙදකම ගැන නිසි අධ්‍යයනයක් නොමැතිව හිතලු පළ කරන්නට තරම් ඔබ දුර්වල වී ඇත්තේ පුරුද්දට හතර අතේ වනන නිසාදැයි සිතේ. කැඩුම් බිඳුම් වලට බටහිර ප්‍රතිකාර ලබා ඉන් පසු හරියට අතපය දිග හැරගන්නට දේශීය වෛද්‍යවරුන් ළඟට යන  රෝගීන් ගැන කතා නොකරන්නේ ඇයි? රෝහල් වලට වාර්තා නොවන සර්ප දෂ්ට නිසා අනතුරට පත්වීමට හැකිව තිබු ජිවිත බේරන අපේ ගොඩ වෙදුන් ගැන තොරතුරු නැත්තේ ඇයි? අද බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රචලිත හා ව්‍යවහාරික ප්‍රතිකර්ම වල අසාර්ථකබව නිසා බියට පත් වන රෝගීන් මෙන් ම දුකට පත් වන රෝගීන් ද දේශීය වෙදකමේ පිහිට පතයි. සමහර රෝග සුවපත් කිරීමේදී බටහිර වෛද්‍ය ක්‍රමය දේශීය වෛද්‍ය ක්‍රමයට වඩා ඉදිරියෙන් සිටින බව ගැන කිසිදු විවාදයක් නැත. එහෙත් සැත්කම් නියම කළ රෝගීන් එයින් මුදවා දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවපත් ව යනු අපි දැක ඇත්තෙමු. රෝගීන් ගේ අධ්‍යාපනික නුගත්කමට වඩා භයානක වන්නේ වෛද්‍ය ව්‍යාපාරය මගින් බිහි කළ සමාජමය නුගත්කම හෙවත් ගොනාට ඇන්දවීමෙන් මුදල් කඩා වඩා ගැනීමයි. එය හෙළ වෙද හොරු කළත් රට වෙද හොරු කළත් එකම වරදය. දේශීය වෛද්‍ය ක්‍රමයට නැඹුරු වන්නේ නුගත් සමාජය බව ඔබ කියන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවය. එය ඔප්පු කරන්නට බැරි මුසාවාදයකි. වෘත්තීය නොවන බේගලයකි. නුගතුන්ට ගැලපෙන පට්ටපල් බොරුවකි.


ඊළඟට ඔබ කියන්නේ දේශීය වෙදකමේ ජනප්‍රියත්වයට හේතු වන්නේ “මිනිසුන් තුළ පවතින විශ්වාසය” සහ “සංස්කෘතිය හා මනාසේ ගැලපෙන බව” යන සාධක දෙකය. මේ කතාව දෙපැත්ත කැපෙන තර්කයකි. ඕනෑම වෛද්‍ය ක්‍රමයක් දෙසට මිනිසුන් ඇදී යන්නේ ඒ කෙරහි වන විශ්වාසය නිසාය. ඒ විශ්වාසය ගොඩ නැගෙන්නේ, එය වර්ධනය වන්නේ, එය තිරසාරව දිගු කලක් පවතින්නේ එහි සාර්ථකත්වය නිසාය. එහි ප්‍රතිපල දැනෙන නිසාය. ඒවා ප්‍රයෝගිකව අත් විඳින නිසාය. කොටින්ම කිව හොත් එය සාක්ෂ්‍ය-පාදක (evidence-based) නිසාය. ඊළඟ සාධකය බලන්න. එය බටහිර වෙදකමට නැති දේශීය වෙදකමට පමණක් ආවේණික සාධකයකි. “සංස්කෘතිය හා මනාසේ ගැලපෙන බව” යන්නෙහි “මනාසේ” යන වදන ඔබේය. ඔබ නව යුගයේ වෛද්‍යක්‍රම වල ප්‍රගතිය ගැන දැනුවත් බව කියන හෙයින් සංස්කෘතිය වෛද්‍යක්‍රමයක පැවත්මට කෙතරම් වැදගත් ද යන්න මා කිවයුතු නොවේ. මේ වන විට පර්යේෂකයින් ගේ අවධානය යොමුව ඇත්තේ සංස්කෘතිකමය බලපෑම සෞඛ්‍යය ප්‍රතිලාභ සඳහා යහපත් ලෙස යොදා ගත හැකි අයුරුය. මව්කිරි දීමේ පුරුදු හා ව්‍යවහාර සමාජගත කළේ දේශීය සංස්කෘතියෙන් උදුරා ගෙන බව කියන්නේ නැත. අපේ ආහාර පාන රටාව ගැන කියන්නේ දේශීය වෙදකමේ උරුමය ලෙසින් නොවේ. කොළ පලා වල ගුණ ජනතාවට කියා දෙන්නේ ඒවා යුරෝපයෙන් ආනයනය කළ නිසා නොව එය දේශීය වෙදකමෙන් උරුමව අපේ ජන සන්තානයේ තිබු උරුමයක් නිසාය. එය සංස්කෘතික බුද්ධිමය දේපළක් (intellectual property) ලෙස සොරා ගත්තකි. අදටත් දේශීය වෛද්‍ය ක්‍රමය මේ තරම් බාධක විවේචන මධ්‍යයේ වොරැඳෙන්නේ ඒ මනා සංස්කෘතික ගැලපීම නිසාය. මේ හොර වෙදුන් හා බොරු වෙදුන් ප්‍රයෝජනයට ගන්නේ ද මෙකී පිළිගැනීමේ වාසියයි. එය රට වෙදුන් ගේ අභියෝගයට වඩා දරුණුය. මිනිසුන් රවටන්නේ මෙකී අනන්‍යතාවට මුවා වෙමිනි. ඒත් ඒ සංස්කෘතික උරුමය විකුණා ගෙන කන බොරු වෙදුන් නිසා පරිහානියට යන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අභිමානවත් අනන්‍යතාවයි.


ගමගේ මහතා දක්වන අනෙක් අර්ධ සත්‍යය නම් මේ අද අත්විඳින යහපත් සෞඛ්‍ය දර්ශක වල සියලු ගෞරව බටහිර වෛද්‍ය ක්‍රමය අත් පත් කර දුන් ඒවා ලෙස හුව දැක්වීමය. දේශීය වෙදකම යටපත් කළ ශතක පහක් තුළ මේ රටේ සෞඛ්‍යයට සිදු වූ හානිය ගණන් බලා නැත. ඒවාට සංඛ්‍යා ලේඛන ද නැත. එහෙත් නිදහසෙන් පසු මේ රටේ පසුගිය දශක කිහිපය තුළ යම් ප්‍රමාණයකින් ආයුර්වේද වෛද්‍යවරුන් හා දේශීය වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට දායක වූ බව අමතක නොකළ යුතුය. ඒවා කිසි දිනෙක මුඛ්‍ය ධාරාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඇගයීමට ලක් වූයේ නැත. සංඛ්‍යාත්මක අධ්‍යයනයට බඳුන් වූයේ නැත. එහෙත් ගමේ ගොඩ වෙදුන් ගොඩ දැමු රෝගීන් ගෙන ඉතිරී වූ විදේශ විනිමය, සෞඛ්‍ය පිරිවැය ගැන සොයා බැලුවේ නැත. සියලුම සම්පත්, බලතල හා යාන්ත්‍රණය අතේ තබා ගත් රට වෙදුන් ගේ ආධිපත්‍යය ගොඩ වෙදුන්ට ගැරහුවා පමණි. අවම වශයෙන් එක්ව පර්යේෂණයක් කරන්නට තරම් කොන්දක් තිබු වෛද්‍යවරු සිටියේ අතළොස්සකි. ලෝක සෞඛ්‍ය සංවිධානය 1978 අල්මා ආටා ප්‍රකාශනයෙන් වසර 30 කට පසු 2008 බිජිං ප්‍රකාශනය ද එළි දක්වා දේශීය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සෞඛ්‍ය පද්ධතියට එක් කරගන්නා ලෙස ඉල්ලා සිටියදී පවා එයට හිස් නමන්නටවත් යටත්විජිත මානසිකත්වයේ ගිලිණු රට වෙදුන්ට “වෘත්තීය විවේක බුද්ධියක්” තිබුණේ නැත. එබඳු ප්‍රජාතාන්ත්‍රික බුද්ධිමය ප්‍රතිචාර ඩේවී පරපුරේ ආක්‍රමණික රට වෙදුන් ගෙන් අපේක්ෂා කිරීමද මෝඩකමකි. ගමේ ගොඩේ අපේ ආච්චිලා සීයලා අවුරුදු සීය පැන්නුවේ රට වෙදුන්ගේ බෙහෙත් බලෙන් නොවෙයි. ඒ අයගේ දනිස් වලට ප්ලාස්ටික් පොල්කටු හයි කළෙත් නෑ. ඩයලිසිස් කළෙත් නෑ. බයිපාස් කළෙත් නෑ. ඒත් අගේට දරු මුණුපුරන් දැකල ආණ්ඩුවට බරක් නොවී අවසන් ගමන් ගියා. ඒ දේශීය වෙදකමේ බල මහිමය නිසා.


මේ තත්වය ගමගේ මහතා වැනි අයගේ පෑනෙන් ලියවුණත් අදහස් ගලා එන්නේ යුරෝපීය යටත් විජිත අධිපතිවාදී වෛද්‍ය අධිමානය තුළින්ය. බලාගෙන යන විට එයත් එක්තරා මානසික ව්‍යාධියකි. ඉන් පෙළෙන පුද්ගලයා සිතන්නේ තමන් ගේ බුද්ධිය නිසා මේ අන්දමේ අදහස් පහළ වන බවය. දේශීය වෛද්‍ය ක්‍රමය ජාතික සෞඛ්‍ය පද්ධතියෙන් අවතැන් ව තිබියදීත් එහි දායකත්වය අවම පහසුකම් යටතේ ලබාදුන් පසුගිය දශක කිහිපය කිසිදු ඇගයීමකට ලක් නොකර උදාන වාක්‍ය කියන්නේ රට වෙදුන් ගේ ඒකාධිකාරය තවදුරටත් තහවුරු කිරීමටය. තාක්ෂණික අධිකාරය, මානව සම්පත්, යටිතල පහසුකම්, නෛතික බලය, පරිපාලන ශක්තිය, දේශපාලන ආශිර්වාදය සියල්ලෙන් සම්පුර්ණ බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය සමඟ කරට කර සටනක් දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපේක්ෂා කිරීම ඉතා අනුවණ හා අශික්ෂිත අදහසකි. තාක්ෂණය හා පරිපාලන ඒකාධිකාරය උනා දැමූ කල බටහිර වෙදකමේ ශාස්ත්‍රීය නිරුවත පෙනේ. ඒ බව නොදැන අපේ බොහෝ බක පණ්ඩිතයින් ද උඩ දමමින් වැළඳ ගන්නේ නවීන වෛද්‍ය විෂයන්ය. රට වෙදුන් ගේ පම්පෝරිය අසන්නට ඒවාට අත්පොලසන් දෙන්නට අපේ සම+හරක් වෙදුන් හරිම කැමතියි. මේ රටේ අපේ දේශීය සෞඛ්‍ය උරුමය විනාශ කළ සංස්කෘතික සම්පත් කොල්ල කෑ රට වෙදකමෙන් තොරව සිතන්නට පුළුවන් අපේ වෙදුන් හදන බි.ඒ.එම්.එස්. විෂය නිරදේශයක් ඉල්ලන්නේ ඒ නිසාය. බටහිර වෛද්‍යවරුන් සිය පශ්චාත් උපාධියට හදාරන්නේ අපේ වෙදකමයි. ඒත් උපාධියෙන් පසු ගරහන්නේ ද එයටමයි. අපේ සම+හරක් උපාධිධාරීන් ද හිස උදුම්මවා ගත් විට ඒ වරදම කරයි. අපිට සටනක් ඇත. ඒ ගොඩ වෙදුන් සමඟ නොව රට වෙදුන් සමඟය. අපේ වෙදකමට ගරහන එහි ඉදිරිගමනට බාධා කරන රට වෙදුන් සමඟ කරට කරට හැප්පෙන්න උන් ගෙ ඉස්සරහ කෙළින් හිට ගන්න පුළුවන් උන් විතරක් මේ සටනට වරෙල්ලා.  රට වෙදුන්ගේ දැනුමට වන්දනාමාන කරන, රට වෙදුන් දැක්කම බයේ ගැහෙන දෙකට නැමෙන උන් පැත්තකට වෙයල්ලා.


වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා