Saturday, January 31, 2015

ආයුර්වේදයේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සෙවීම හෙවත් ආයුර්වේදහරණය


දීර්ඝ නිහැඬියාවකින් පසුව ආයුර්වේද ක්ෂේත්‍රය හා එහි   උද්ගතයන් පිළිබඳව යළිත් විවේචනාත්මකව ලියන්නට සිතුවේ පසුගිය කාලයේ ආයුර්වේද ප්‍රජාව දකිමින් සිටි සුන්දර සිහිනයෙන් අවදි කරනු පිණිසය.  එය හුදෙක් කිසිවෙකුත් ඉලක්ක කර ගත් ප්‍රහාරයක් නොව කාලයක් මෙම ක්‍රියාවලියේ යම් දායකත්වයක් ලබා දුන් වෘත්තිකයෙකු ලෙස ස්වයං විවේචනයක් ද සහිතවය. වසර ගණනාවක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් හිමිව සිටි අපි දැන් යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිටිමු. සමහරුන් හට මෙය අභිමානයට කැළලකි.  එනමුත් වඩාත් වැදගත් වන්නේ අපි වෙනම කැබිනට් අමාත්‍යාංශයක් තුළ සිටිමින් ලබා ගත් දේ මොනවාද යන්න විමසා බැලීමයි. ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආයුර්වේදයට ඇති පිළිගැනීම තහවුරු කිරීමේ ලා රාජ්‍ය ප්‍රතිපත්ති කෙතරම් දුරකට මෙහෙයවීමට එකී අමාත්‍යංශය සමත් වුයේද යන්න සොයා බැලීම එසේම වැදගත්ය. වර්තමාන ආයුර්වේද ආයතනික පද්ධතිය, පරිපාලන යාන්ත්‍රණය සහ නෛතික මෙවලම් දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රගමනයට කෙසේ දායකත්වයක් ලබා දුන්නේ ද යන්න ඊළඟට පැන නගින ගැටලුවයි. මේ සියල්ලෙහිම ප්‍රතිඵල ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් සාමන්‍ය මහජනතාවට උපරිම සේවාවක් සැපයීමට හැකි ලෙස මානව සම්පත් කළමනාකරණය සිදු නොවුයේ ඇයි?

මහින්ද චින්තනය තුළ මෙන්ම මෛත්‍රී පාලනය තුළ ද දේශීය වෛද්‍ය  ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සඳහන් කර තිබීම අපේ අමන්දානන්දයට හේතු විය යුතු නොවේ. මේ ලියවිලි දෙකෙහිම සඳහන් වන දේ අතර සැලකිය යුතු වෙනස්කමක් නොමැත. එකී ලියවිලි දෙකෙන්ම පෙනෙන්නේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලාංකේය ජාතික දේශපාලනයේ කියවීම ඉතා දුර්වල සහ යල්පිනු ප්‍රක්ෂේපණයක් බවයි. එය සාක්ෂ්‍ය-පාදක මතවාද හෝ තර්කානුකුල විසම්මුතින් මත පදනම් නොවූවකි. ඒවා යළි යළිත් පොරොන්දු වන්නේ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම, වෘත්තිකයින් සතුටු කිරීමේ ලා අවශ්‍ය පරිදි නව පත්වීම් ලබාදිම, පාරම්පරික වෙදකම පිළිබඳ පර්යේෂණ දියුණු කිරීම වැනි ඉතා ගතානුගතික කරුණු සමුදායකි. මා විමසන්නට උත්සාහ කරන්නේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළව අපේ ජාතික දේශපාලන දෘෂ්ටියේ මෙබඳු අවතැන් විමක් කෙරෙහි බලපෑ කරුණු මොනවාද යන්නයි. එසේ ජාතික දේශපාලනය තුළ යහපත් බලපෑමක් සිදු නොකරන තරම් සැහැල්ලු බවක් මේ ක්ෂේත්‍රය තුළ ඇති කිරීමේ වගකීම භාර ගන්නේ කවුද? කිසිවෙකුගේ සිත් නොරිදවා මේ විවරණය කළ නොහැකිය.  පොදුවේ කිවහොත් මේ ක්ෂේත්‍රය “ආයුර්වේදහරණය” කළ පුද්ගලයින් ඊට වගකිව යුතුය. මෙහි සරල තේරුම නම් ආයුර්වේද ක්ෂේත්‍රයේ වගකීම් ආයුර්වේදඥයින් අතින් උදුරා ගැනීම හෙවත් ආයුර්වේදීය අනන්‍යතා අගයන් පළවා හැරීමයි.

ඉහත කී ආයුර්වේදහරණයේ ප්‍රතිඵලය වන්නේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ ආයතන තුළ නායකත්වය සඳහා ආයුර්වේද නොවන පෞරුෂයන් උත්කර්ෂයට නැංවීමයි. ඔවුන් වෙනත් ක්ෂේත්‍ර වල සම්භාව්‍ය විද්වතුන් විය හැකිය. ඔවුන් අදාළ විෂයන් සම්බන්ධයෙන් විශේෂඥයින් බවට ද නිසැකය. එනිසාම ඔවුන් ආයුර්වේද ආයතන පාලනයට හෝ ඒවායේ නායකත්වයට  සුදුසු යැයි කෙනෙක් සිතන්නේ නම් එය මිත්‍යාවකි. මෙකී ක්‍රියාදාමය කාලයක් පුරා ආයුර්වේද ක්ෂේත්‍රය තුළ මුල් බැස ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එම ආයතන වල සිටින ආයුර්වේදඥයින් ද දැන හෝ නොදැන මෙබඳු පාලකයින් ගේ අනුහසට නතු වී සිටි. මේ අඩුපාඩුව ගැන හොඳින් දන්නා පාලකයින් එකිනෙකා තුළ ඇති වෘත්තීය විරසකය දඩමීමා කර ගනිමින් පහසුවෙන්ම තනතුර රැකගනී. පසුගිය කාලය තුළ ආයුර්වේද ආයතන වල මුල් පුටු “ආයුර්වේදහරණය” කිරීමෙන් සිදුවූ හානිය සුළුපටු නොවේ. එබඳු  පාලකයෝ ආයුර්වේදීය අගයන් වෙනුවෙන් පෙනී සිටින ආයුර්වේදඥයින් මෙල්ල කිරීමට හෝ පිටුවහල් කිරීමට කුමන්ත්‍රණ කරති. අවසානයේ ආයතනික සංවර්ධනය මුවාවෙන් පෞද්ගලික වාසිය තකා දේශපාලනික අරමුණු ඉටු කර ගනී. ආයුර්වේදයේ ගැලවුම්කරුවන් ලෙස පෙනි සිටිමින් ආයුර්වේදය සිය බඩගෝස්තරය පිණිස යොදා ගනී.

ආයුර්වේදයේ ප්‍රබල තනතුරු ආයුර්වේද නොවන විද්වතුන් අත්පත් කර  ගැනීමෙන් ක්ෂේත්‍රයේ වැදගත් තීන්දු තීරණ ගැනීමේ බලය  ආයුර්වේදඥයින් ගෙන් උදුරා ගෙන තිබේ. ඔවුන් හුදු අත ඔසවා හිස නමා අනුමැතිය පළ කිරීමේ බයාදු චරිත සඳහා පමණක් තෝරා ගෙන තිබේ. ආයුර්වේදයට අදාළ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා සහභාගී වී ආයුර්වේදය පිළිබඳ දේශන කරන්නේ ද මොවුන්ය. පසුගිය කාලයේ අමාත්‍යංශයේ උපදේශකයින් ලෙස පෙනි සිටි දේශපාලන අනුගාමිකයින් ඉතා තීරණාත්මක ජාත්‍යන්තර සම්මුතීන් වලට අදාළ සම්මේලන වලට සහභාගී වී වහසි බස් දොඩමින් විශාරද බවට පත්විය. ආයුර්වේදඥයින් හට හිමි විය යුතු නියෝජනයන් මෙන්ම වරප්‍රසාද ඔවුන් ගේ ග්‍රහණයට නතු වී තිබේ. බහුශික්ෂණයේ අවශ්‍යතාව පෙන්වා බටහිර විද්වතුන් ආයුර්වේදය තුළ අධිපතිවාදය පතුරුවා හැරීම ආයුර්වේදහරණයේම අංගයකි. මේ තත්වයට වගකිව යුත්තේ දේශපාලනික අතපෙවීම් හරහා බිහි කළ වෘත්තීය හීනමානය හෙවත් “අතවැසි මානසිකත්වය” විනා අන් කවර දෙයක් හෝ නොවේ. මේ තත්වයට නිසි විසදුම් නොසොයා ආයුර්වේදයේ ප්‍රශ්න වලට පැලැස්තර ඇලවීම නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සෙවීම වැනිය. මේ තත්වය  හොඳින් විමසා බලන විට නිදහසෙන් පසුවත් ආයුර්වේද ක්ෂේත්‍රයේ වැඩිකලක් ගත වුයේ බටහිර ගැති අධිරාජ්‍යවාදී පාලනයේ අඳුරු සෙවනැලි යට බව පෙනේ.

උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් බිහිකරන විශ්වවිද්‍යාල ආයතන වල නොයෙක් විට අධ්‍යක්ෂ ධුරය හොබවා ඇත්තේ ආයුර්වේද නොවන විද්වතුන් හෝ පරිපාලන නිලධාරින්ය. ගම්පහ වික්‍රමාරච්චි විද්‍යායතනය සරසවි වරම් ලද ආරම්භයේ සිට මේ දක්වා එහි අධ්‍යක්ෂ ධුරය සඳහා ආයුර්වේදඥයෙකු පත් කොට ඇත්තේ එක වරක් පමණක් වන අතර එය මාස කිහිපයකට සීමා වුයේ මුලින් සඳහන් කළ පරාධීන ආකල්ප නිසාය. එබැවින් එම් ආයතනය බොහොසෙයින්ම ආයුර්වේදහරණයට ගොදුරු වී ඇත. එනිසාම විෂය නිර්දේශය ආයුර්වේදහරණය කරන විට කිසිදු විරෝධයක් නොනැගේ. ආචාර්ය මණ්ඩලය ආයුර්වේදහරණයට ලක් වන විට නගුටවනා අනුමත කරන්නේ එනිසාය. ආයුර්වේදයේ රසායන තන්ත්‍රය වෙනුවට රසායන විද්‍යාව ජය කෙහෙළි නංවන්නේ එනිසාය. සායනික දක්ෂතා සහිත වෛද්‍යවරුන් වෙනුවට රසායනාගාර වලට හුරු කළ විශ්ලේෂකයින් බිහි කරන්නේ එනිසාය. රෝගියෙකුට හරි හැටි  කෂායක් ලියා දෙන්නට බැරි වුණත් අනුන් ලියා  දුන් කෂාය තුළ ඇත්තේ මොනාවාදැයි සොයා බලන්නට හිතෙන “රස පරීක්ෂකයින්” බිහිවන්නේ එනිසාය.

මෙබඳු පාලකයින් යටතේ ගෙවී යන වෘත්තීය වහල් සමය තුළ අත් විඳින අතවැසි මානසිකත්වය අදක්ෂයින් හට නම් ඉතා විනෝදජනකය. වාසිසහගතය. ආයුර්වේදය නිසි ගුරු ඇසුරෙහි හදාරා නිපුණතාව ලද වෛද්‍යවරුන් මෙකී සට්ටැඹී සේවය තුළ රැඳෙන්නට අකැමතිය. එය ඔවුන් හට පිළිකුල් සහගතය. වීදුරු කැට දිලිසෙන්නේ දියමන්ති සමඟ එකට තැබූ විට යැයි පැරණි කියමනක් තිබේ. එනිසා අදක්ෂයින් බොහෝ දෙනා දක්ෂයින් ස්වල්ප දෙනෙකුගේ පිහිටෙන් සිය නම්බුව බේරා ගන්නා බව ඔවුන්ගෙන් ඉගෙන ගන්නා සිසුන් දනී. පාලකයින්ගේ අවශ්‍යතා ඉටු නොකරන සිසුන් පමණක් නොවේ ගුරුවරුන් ද දඩයම් කරන්නේ මෙකී අත්තනෝමතික ඒකාධිපති ආයුර්වේදහාරක පැලැන්තිය විසිනි. දේශපාලන තල්ලුව යොදා එක වරක් පමණක් නොව දෙවරක් නොව තුන් වැනි වර පත්වීමේ කෛරාටික ප්‍රයත්නය ද දරයි. ඒ සඳහා නීති වෙනස් කරන්නට බැරි නම් සියලු උරුමයන් පාවා දි ආයතනයේ ව්‍යුහය වෙනස් කොට අලුත් සරසවියක් බිහි කොට එහි ප්‍රධානත්වය ගැනීමට හෝ වෙර දරති. කාගේත්  වාසනාවට දේශපාලන බල පෙරළියෙන් එකී නරුම යෝජනාව යටපත් වෙද්දී තමන් හට නැටවිය හැකි සුවච කිංකරයෙකු ඒ පුටුවට පත් කිරීමට මාන බලයි.

ගෙය ගිනි ගන්නා විට ඇතුළත උණුසුමෙන් සැනසෙන ගුලි වී නිදන ගිම්හානයේ සුන්දර සිහින දකින අපේ සහෝදර වෘත්තිකයින් ගේ අනාර්ය දැනුමෙන් බිහි කරන සිසුන් ගේ අනාගතය කෙබඳු දැයි විමතියකි. අතීතයේ ප්‍රතාපවත් වියතුන් අතින් සුරැකුණු ආයුර්වේද අධ්‍යාපනය අද බොල් වී හිල් වී දියාරු වෙමින් යන්නේ කාගේ වරදින් ද? ආයතනය තුළ විද්‍යාවේ අනුහස් පෙන්වා ආයුර්වේද අගයන් හීන දීන කොට වෘත්තීය භිෂණය වපුරා ජනිත කරන මගඩියේ අවසානය කෙබඳුද? සාටකය හෝ  සාරි පොට සිඹින කිහිප දෙනෙකු හට පමණක් වරප්‍රසාද හිමි වන මෙබඳු ආයතන වත්මන් “යහපාලනය” නියෝජනය කරන්නේ දැයි යළිත් සිතා බැලීමට කාලය එළඹ තිබේ. පසු ගිය සමයේ ඉදි වූ ගොඩනැගිලි සහ අලුතින් ඇරඹු පාඨමාලා ගණනින් ආයතනයේ සංවර්ධනය මනින්නට හැකි යැයි අතවැසියන්ගේ මතයයි. එහෙත් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය මැන බලන්නේ නම් ඒ සඳහා පාදක කර ගත යුත්තේ ආයුර්වේද අගයන් මත පදනම් වූ දර්ශකයන් වේ. එබඳු මානයක් සකස් කර ගැනීමට යම් නොහැකියාවක් වේ නම් එය ද ඉටු කර දිය හැකිය. එබඳු නොහැකියාවක් ඇතිවන්නේ ද පසුගිය කාලයක් පුරා ආයුර්වේදහරණයට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් නිසාය.

සම්ප්‍රදාය යනු එහි ආදීකර්තෘවරුන් ගේ පිළිම වන්දනා කිරීම් හෝ ඡායාරූප වලට මල් මාලා පැළඳවීම හෝ අනුස්මරණ උත්සව පැවැත්වීම නොව එහි ගුණාත්මක උරුමයන් ඉදිරි පරපුර වෙත දායාද කිරීමයි. ආයුර්වේදය නව ලොව අභියෝග සමඟ ඉදිරියට ගමන් කරන්නේ නවීන විද්‍යාවේ පිහිටෙන් නොව එහි නිසඟ අගයන් සඳහා ඇති පිළිගැනීම නිසාය. නවීන විද්‍යාව යම් තැනක නැගී සිටින්නේ ආයුර්වේදයේ පිහිටෙනි. සමහර විටෙක විද්‍යාඥයින් හට වාරු සපයන්නේ ද ආයුර්වේදයයි. ආයුර්වේදයට නායකත්යවය සැපයිය යුත්තේ ආයුර්වේදඥයින් බව මා කියන්නේ එනිසාය. බහුශික්ෂණය ඇති කළ හැක්කේ එවිටය. බහුවිධතාව ඇති වන්නේ එවිටය. අන්‍යොන්‍ය වෘත්තීය ගෞරවය ඇතිවන්නේ එවිටය. වර්තමානයේ පවත්වා ගෙන යන්නේ අධිපතිවාදී පාලනයකි. එවිට ආයුර්වේදය තුළම  ආයුර්වේදඥයින් සිය වෘත්තීය ස්වාධිපත්‍යය  සහ ශාස්ත්‍රීය ස්වෛරීත්වය අහිමි කළ යටත්වැසියන් ගේ තත්වයට පත් වේ. බොහෝ දෙනා වාසිය හෝ නොදන්නාකම හෝ නරුමබව  හෝ වෘත්තීය ෂණ්ඩකත්වය නිසා මේ තත්වයට කිසිදු ප්‍රතිරෝධයක්, විරෝධයක් නොදක්වයි.

විෂය නිර්දේශයට වැඩියෙන් බටහිර විෂයයන් එකතු කිරීමත් ආයුර්වේද විෂයයන් ඉංග්‍රීසියෙන් ඉගැන්වීමත් ගැන පාලනාධිකාරයට ඇත්තේ ආඩම්බරයකි. එහෙත් ඊට යටින් දිවෙන කණගාටුදායක තත්වය වන්නේ ආයුර්වේදීය අනන්‍යතාව නවක වෛද්‍යවරුන් තුළින් ගිලිහි යාමයි. ඉංග්‍රීසියෙන් ආයුර්වේදය ඉගැන්වීමෙන් දක්ෂ වෛද්‍යවරුන් බිහි කළ නොහැකි බව මෙකී ළිං මැඩියන් නොදැනී. ඉංග්‍රීසියෙන් ආයුර්වේදය ගැන පැහැදිලි කිරීමට ප්‍රමාණවත් සංනිවේදන හැකියාවක් සහ භාෂා නිපුණතාවක් ඇති කිරීම වෙනුවට මුළු මහත් ආයුර්වේදයම ඉංග්‍රීසියෙන් ඉගැන්වීම ඉතා අනුවණ සේම අනිටු ප්‍රතිඵල දෙන ක්‍රියාවකි. එය තාවකාලික ශෝභනකාරී ප්‍රදර්ශනකාමී පුහුආඩම්බරයක් ජනිත කරන නමුත් එහි දීර්ඝ කාලින ප්‍රතිඵලය ඉතා ඛෙදජනකය. එක්තරා අන්දමකින් එය ශාස්ත්‍රීය කර ඇඹීමක් බඳුය. මෙබඳු තීරණ ක්ෂේත්‍රයේ විප්ලවකාරී වෙනසක් ඇති කරන බව හඟවා තම තනතුර බුක්තියට සවි කර ගැනීමට වෙර දරන අයුරු විහිළු සහගතය. මෙහි අසාර්ථක බව දැක දැක නිහඬව සිටින හෝ එය වර්ණනා කරන අය පාලනාධිකාරියෙන් යැපෙන අයවලුන් වීම ගැන පුදුමයක් නොවේ. මෙය ඉතා  නිවැරදිව කිව හොත් අන්ධයින් එකිනෙකාට කන වැල අල්ලනවා මෙන් නිෂ්ඵල ක්‍රියාවකි.  

බ්‍රිතාන්‍ය කිරීටය යටතේ නිදහස් අරගලයට පුරෝගාමිත්වය දුන් නියමුවෝ දේශීය වෛද්‍ය ක්‍රමයේ නෛතික අයිතීන් සම්බන්ධයෙන් ද සිය න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් දුන්හ. එහෙත් අපිට ලැබුණේ ඉන්දියානු ආකෘතියේ ආයුර්වේද සම්ප්‍රදාය මත පදනම් වූ සුසමාදර්ශයකි. එය වරින් වර බුද්ධිමය විපරිණාමයන්ට බඳුන් වෙමින් අද වන විට ආයුර්වේදඥයින් ගේ ආධිපත්‍යයෙන් ගිලිහෙමින් පවතී. බටහිර විෂයයන් විෂය නිර්දේශය තුළ තර්කානුකුල නොවන අන්දමින් වැඩි වපසරියක් අත්පත් කර ගැනීම මෙන්ම  පරිපාලනය ආයුර්වේද නොවන අය ගේ ග්‍රහණයට නතු වීම පසුගිය කාලය තුළ කැපී පෙනුණු තත්වයන් විය. එසේම ශික්ෂණ සහ ශාස්ත්‍රීය තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ බටහිර විද්‍යාව උගත් වීද්වතුන් සහ බටහිර වෛද්‍යවරුන් ගේ “බලපෑම්” සීමාව ඉක්මවා පිළිගැනීමට ලක් කිරීම සහ ඉංග්‍රීසිය තුළින් වෛද්‍යවරුන් ගේ වෘත්තීය සංවර්ධනය හෝ අභිමානය ඇති කළ හැකි බවට මිථ්‍යාවක් සමාජගත කිරීම අද වන විට “මිතුරු වෙසින්” එන ආක්‍රමණයක් බවට පත්ව තිබේ.

මේ සියල්ල හරහා ආයුර්වේද ප්‍රජාව තුළ සිදු කරන සමාජ පරිවර්තනය වන්නේ ඔවුන් තව දුරටත් ජාතික සෞඛ්‍ය පද්ධතියේ විකල්ප වෘත්තිකයින් පිරිසක් ලෙස තබා ගැනීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමයි. එහිදී බටහිර විද්‍යා විෂයධාරීන් සහ වෛද්‍යවරුන් කටුයුතු කරන්නේ යම් ආකාරයක උපදේශකයින් ලෙසය. ආයුර්වේදඥයින් නවීන ලෝකයේ විද්‍යාත්මක හා තාක්ෂණික දැනුමට ගැලපෙන පරිදි පුනුරුත්ථාපනය කළ යුතු යැයි ද එය කළ හැක්කේ ඔවුන්ට යැයි සමහරු සිතති. මෙහි සැඟවුණු දේශපාලන අර්ථය නොදන්නා අය ඒ මතයට ගරු කරයි. හිස නමයි. ඔවුන්ට ඉඩ දි බලා සිටියි. අවසානයේදී තීන්දු තීරණ ගන්නේ ඔවුන්ය. අපි ඒවා අනුමත කරන පිරිසක් පමණක් වෙයි. බටහිර විෂයානුබද්ධ පර්යේෂණ මෙන්ම ඉංග්‍රීසිය ද ඔවුන් පාවිච්චි කරන්නේ ආයුර්වේදඥයින් ගේ වෘත්තීය ස්වාධිපත්‍යය මෙල්ල කිරීමටය. කොටින්ම් කිව හොත් ඔවුන් බියපත් කිරීමටය. එනිසාම ආයුර්වේදය ඉංග්‍රීසියෙන් උගත යුතු යැයි සිසුන් තුළ යම් “මෝඩ ශ්‍රද්ධාවක්” ද බටහිර පර්යේෂණ කෙරෙහි “අන්ධ භක්තියක්” ද ජනිත කරවයි. සිසුන් අතර අසාධාරණ තරගයක් මෙන් ම සමහර සිසුන් තුළ අනවශ්‍ය පිඩනයක් ඇති කරන්නේ අවසානයේ ගෙල වැළ දා ගන්නේ ද මේ නිසාය.

සිසුන් අතර ඇති කරන අශිෂ්ට තරගකාරිත්වය තුළ සමහර අන්තෙවාසික කිංකර හීලෑ කරගත් සිසුන් හට ඉහළට යාමට අත දිගු කරන අතර නම් කළ හෝ වෙන් කළ හෝ ලකුණු කර ගත් සිසුන් හට තරවටු කරන්නට අත ඔසවන බව නොරහසකි. ගුරුවරුන් හට දර දිය අදිමින් ගේදොර අතු පතු ගාමින්, කේලාම් කියමින්, ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින්,  ගුණ ගයමින්, කඩේ යමින්, යුක්තිය පාවා දෙමින් තමන් පසුපස සිටි අතවැසියන් හට සැලකීමේ වැඩවසම් ක්‍රමය අනුගමනය කරන අශික්ෂිත ගුරුවරු තවමත් සිටිති. ඔවුන් නිසි සුදුසුකම් සපුරා තනතුරු ලැබූ ඇය නොවේ. ඔවුන් අතීතයේදී හුරු වූ ක්‍රමය අදට ද වලංගු යැයි සිතයි. අනුන්ගේ පහනින් එළිය බලන්නට පුරුදුව් සිටින හෙයින් සිසුන් ගේ පර්යේෂණ හොරා ගෙන පිටරට සම්මන්ත්‍රණ වලට සහභාගී වෙති. මහන්සියෙන් උපයා ගත් ශාස්ත්‍රීය නිපුණතාවක් නොමැති ඔවුන් සියලු බැරි කම් වසා ගන්නේ පුහු මානය සහ පුරසාරම තුළිනි. ඔවුන් ගේ දින චර්යාවේ ශාස්ත්‍රීය සම්භාෂා වෙනුවට ඇත්තේ ඕපාදුප සහ දොස් පරොස් ය. පාලකයින්ගේ ලාභය උදෙසා  ආයතනයේ ඉතිහාසය, උරුමය සහ අනන්‍යතාව පාවා දෙන මෙබඳු ගුරුවරුන් හට තව දුරටත් ගරු කළ යුත්තේ ඇයි?

තමන් දන්නා දේ පමණක් උගන්වන ගුරුවරුන් සරසවියක් තුළ සිටිය යුතු නොවේ. ඔවුන් ඉගැන්විය යුත්තේ ක්ෂේත්‍රයේ අවශ්‍යතා අනුව යාවත් කාලින වූ ශාස්ත්‍රීය කුසලතා ඔප් නැංවීමේ අරමුණ ඇතිවය. ඒ සඳහා ඔවුන් සිය බුද්ධිමය පර්යාවලෝකනය වඩාත් පුළුල් කළ යුතුවාක් මෙන්ම ඒ සඳහා වන ගවේෂණ, පර්යේෂණ, අන්වේෂණ විශ්වාසනීය ලෙස මෙහෙයවිය යුතුය. ඊට අවශ්‍ය මුලික ශික්ෂණය සපයන්නේ ආයුර්වේද අනන්‍යතාව මත ගොඩනැගුණ ශාස්ත්‍රීය සම්ප්‍රදාය මිස පිටස්තරයින් ගේ සුවපහසුව සඳහා ආනයනය කළ වෙනත් විද්‍යාවන් නොවේ. ආයුර්වේද කූඩාරමට ඔළුව ඔබා ගත් නවීන විද්‍යා ඔටුවා දැන් එහි සුවසේ නිදා සිටින අතර ආයුර්වේදඥයින් හට පා පහර ද එල්ල කරයි. ඔටුවා එළියට ඇද දමන්නට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්නට වඩා වැදගත් වන්නේ ඔටුවා ඇද දැමිය යුත්තේ ඇයි දැයි අපේ ඇත්තන් අවබෝධ කරගැනීමය. එවිට එය වහා කළ යුත්තක් බව වැටහෙනු නියතය. ආයුර්වේදහරණය යනුවෙන් මා ගොඩනැගු සංවාදය ඉදිරියට ගෙනයාමට ආයුර්වේද ක්ෂේත්‍රයේ දැනුමැත්තන් එක්  වන්නේ නම් එය අග්ය් කරමි. එසේ නොමැතිව මෙය කියවා කෝපයෙන් ද්වේශයෙන් මට එරෙහිව මතයක් ගොඩ නගන්නේ කෙසේදැයි සිතමින් කාලය වැය කිරීම නිෂ්ඵලය. මගේ මතය අදට මෙන්ම හෙටටත් වලංගුය. එය ඕනෑම අයෙකු ඉදිරියේත් එලෙසින්ම වලංගුය.  

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා